පරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකළ යුතු බව ජනපති පවසයි.

පරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකළ යුතු බව ජනපති පවසයි.

Sorry, this entry is only available in සිංහල and தமிழ். For the sake of viewer convenience, the content is shown below in one of the available alternative languages. You may click one of the links to switch the site language to another available language.

පරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ (10) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි.

පරිසරය රැක ගැනීමට සියලුදෙනාට පැවරී ඇති වගකීම මෙහි දී අවධාරණය කළ ජනාධිපතිතුමා වනාන්තර ආරක්ෂා කිරීම, රුක්රෝපණය සහ පරිසරයට සංවේදී වීම මෙන් ම ගහකොළ, ඇළ දොළ, සතා සිපාවට, මහ පොළොවට ආදරය කිරීම, සහ පෝෂණය කිරීම මිනිසුන් ලෙස අප ඉටු කළ යුතු මූලික වගකීමක් සහ යුතුකමක් බව ද කියා සිටියේ ය.

එමෙන්ම තමා ජීවත්වන පරිසරය, ගහ කොළ, සතා සීපාවා රැක ගැනීමට දරුවන් කුඩා කාලයේ සිට පුරුදු පුහුණු වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

පරිසර සංවේදි නායකයෙකු ලෙස පරිසරය රැක ගැනීම වෙනුවෙන් තමා ඉකුත් පස් වසර පුරා සුවිශේෂි වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිතුමා පරිසරය රැක ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට ත්‍රිවිධ හමුදාව යෙදවීමට තමා පියවර ගත් බව ද සිහිපත් කළේය.

ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි.

පරිසර නියමුවෝ 40 දෙනෙක් මෙහිදී ජනාධිපති පදක්කමින් අභිසෙස් ලැබූහ.

පරිසර සංරක්ෂණයෙහි ලා පරිසර අධ්‍යාපනයේ වැදගත්කම” මැයෙන් විද්වත් දේශනයක් කොළඹ විශ්වවිද්‍යාලයේ, හෙද අධ්‍යාපන අංශයේ, වැඩබලන පීඨාධිපති මහාචාර්ය දේවක වීරකෝන් මහතා විසින් මෙහිදී සිදු කළේය.

2019 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සම්පාදනය කෙරුණු සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව
2019-10-10 දින ජනාධිපති මන්දිරය

සෑම වසරකම පවත්වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප‍්‍රදානය අදත් පැවැත්වෙනවා. පසුගිය වසරේත් ජනාධිපති මන්දිරයේ දී මේ උත්සවය පැවැත්වුවා. පරිසරය හා එහි වටිනාකම් පිළිබඳව දීර්ඝ ව කතා කිරීම අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව ඔබ දැනුවත් බව මා දන්නවා. අපේ මහාචාර්යතුමාගේ දේශනයටත් ඔබ සවන් දුන්නා. ඒ තුළිනුත් ඔබ තවත් දැනුම්වත් වෙන්න ඇති.

අපි පුංචි දූපත් රාජ්‍යයක්. ජනගහනය මිලියන 20කට ටිකක් වැඩියි. මිනිසාට පමණක් නොව සියලු සත්ත්වයන්ට ජීවිත්වීමට ස්වාභාවික සම්පත් අවශ්‍යයි. හිරු, සඳු, ගංගා ඇළ දොළ මේ සියල්ල ස්වාභාවික සම්පත්වලට අයත් වෙනවා. රතු ඉන්දියානු නායකයා සියැටල්ගේ කතා ඔබ අසා ඇති. ඔහු කියා තිබෙනවා මිනිසුන් හිතාගෙන ඉන්නවා මහපොළොව මිනිසුන් ගේ කියලා. නමුත් මහපොළොව මිනිසුන්ගේ නෙවෙයි මිනිස්සු කියන්නේ මහපොළොවේ කොටසක් කියලා. මිනිස්සු හිතනවා මහපොළොව අපේ කියලා. ඒ නිසා ගස් කපනවා. වැලි ගොඩ දානවා. ස්වාභාවික සම්පත් විනාශ කරනවා. සතුන් විනාශ කරනවා. මිනිස්සු හිතනවා ඒ සියලු දේ මිනිසුන්ගේ කියලා. නමුත් ඒවා මිනිසුන්ගේ නෙවෙයි. මිනිසා ස්වාභාව ධර්මයේ කොටසක් පමණයි.

කාර්මීකරණය සමග වෙනස්වන ලෝකයේ පසුගිය වසර 25 ක 30ක කාලය තුළ තමයි ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමට දේශපාලනඥයින්ට විද්වතුන්ට අවධානය යොමු කරන්න සිදුවුණේ. කාර්මීකරණයත් සමග වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීමත් හුස්ම ගැනීමට ඔක්සිජන් නොලැබීමත් කියන කරුණු මුල් කරගෙන බරපතළ ව්‍යසයනයන් ලෝකය පුරා සිදුවුණා. පසුගිය දශක දෙකක තුළ තමයි ලෝකයේ දේශපාලනඥයින්ට ඒ පිළිබඳව අවධානය යොමු වුණේ විද්වතුන් ඒ පිළිබඳව පැහැදිලි කිරීමෙන් අනතුරුව. එතෙක් මහා කොන්ක‍්‍රීට් නගර බිහි කළේ. ස්වාභාවික සම්පත් සියල්ල විනාශ කළා. විශාල කර්මාන්තශාලා ඇතිවුණා. විශාල සංවර්ධනයක් තිබෙන රටවල මිනිසුන්ට හුස්ම ගන්න ඔක්සිජන් නැති නිසා ඔක්සිජන් බෑග් මිළට අරගෙන තමයි බට ගහගෙන පාරේ යන්නේ. එවන් යුගයක් අද ඇතිවී තිබෙනවා.

නමුත් අපට ස්වභාව ධර්මයාගෙන් සියල්ල ලැබී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල්වලට නැති දේවල් අපිට තිබෙනවා. වර්ෂාව, සුළඟ, ඇළ දොළ, හිරු එළිය, සඳඑළිය, මහපොළොව, සතා සිව්පාවා, ගහ කොළ තිබෙනවා. ඇතැම් රටවල් බොන්න ජලය ගේන්නේ වෙනත් රටවල්වලින්. ඇතැම් රටවල්වල ගස් නැති නිසා වෙනත් රටවල්වලින් ගස්, පැළ, ලී වර්ග ගේන්වා. ඇතැම් රටවල සතුන් නැහැ. අපේ රටේ වගේ හිරු එළිය නැති රටවල් තිබෙනවා. බොහෝ රටවලට අපිට වගේ සඳඑළිය නැහැ. අපේ රටේ සම්පත් ආරක්ෂා කරන්න රටක ජනතාව වගේම උගතුන්, බුද්ධිමතුන් සිය කාර්යය ඉටු කරනවා වගේම රජයක් විදියට දරුවනුත් පරිසර ආරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත් වෙනවා. පරිසරයට ආදරයට කිරීමේ වැදගත්කම දරුවන්ට කියලා දෙන්න සිදුවෙනවා. ඒ නිසයි මෙවැනි වැඩසටහන් සංවිධානය කර තිබෙන්නේ. ඇයි පරිසර නියමු වැඩසටහන් පවත්වන්නේ. ඇයි පරිසර නියමුවන් හදන්නේ. ඇයි පරිසර අමාත්‍යාංශයක් හදලා තියෙන්නේ. ඇයි මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවා තිබෙන්නේ. මේ සියල්ල පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. පරිසර විෂය විද්‍යාත්මක විෂයක් වගේම ආධ්‍යාත්මික දර්ශනයක්. ඒ නිසා එහි තිබෙන වටිනාකම් බොහෝයි. අද මේ උත්සවය දිහා බලන විට අපි මේ කතා කරන වේදිකාව මල්වලින් සරසලා තිබෙනවා. මල් නැත්තම් ලෝකේ මොකද වෙන්නේ කියලා කවුරුත් හිතුව ද. මල් පිපෙන්න ගස්, පැළ තියෙන්න ඕනේ. මල් දිහා ඕන තරමක් වෙලා බලා ගෙන ඉන්න හිතෙනවා. නොසන්සුන් සිතකට පවා මලක් දිහා බලා ගෙන ඉන්න කොට ඒ සෙනෙහෙබර බව ඇති වෙනවා. එච්චරද මල දෙන්නේ, මල සුවද දෙනවා, හැඟීම් දෙනවා, ආදරය දෙනවා, ඒ වාගේම මලකින් මී පැණි දෙනවා. මලකින් රොන් ගන්න දෙනවා. ඉතින් ඔබට සහ අපිට සෙනෙහෙබර, සුවඳ, ආහාර, බෙහෙත් ඖෂධ, මී පැණි දෙන මලට මුකුත් ලැබෙනවා ද අවසානේ. මලට මුකුත් ලැබෙන් නෑ මල පරවෙලා යනවා. ස්වභාව ධර්මයේ දායාද මොනතරම් විශිෂ්ට ද බලන්න. මේ දවස්වල කවුරුත් දන්නවා කනට ඇහෙනවා ජනාධිපතිවරණය ගැන. ලෝකයේ දියුණු රටවල මැතිවරණ පත්වන විට අපේ්ක්ෂකයෝ පරිසර ආරක්ෂා කිරීම ගැන ප‍්‍රතිඥා දෙනවා. ඉන්දියාවේ අබ්දුල් කලාම් ජනාධිපතිවරයා විද්‍යාඥයෙක්. ඔහු විශ්වය පිළිබඳව වියතෙක්. එතුමා මැතිවරණවලදී කියා සිටියා දේශපාලන පක්ෂවලට ජන්ද දායකයින් සමගගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. ඒ මොකද්ද. එක් මන්ත‍්‍රීවරයෙක් පත්වුණා ට පස්සේ වසරකට ඒ රටේ පැළ ලක්ෂ 10ක් වත් හිටවන බවට. අබ්දුල් කලාම් ජනතාවට කිව්වා අන්න එහෙම ගිවිසුමකට එන අපේක්ෂකයාට, එය ක‍්‍රියාත්මක කරන අපේක්ෂකයාට ජන්දය දෙන්න කියලා. ලෝකයේ බොහෝ රටවල ජන්දය ඉල්ලන අපෙක්ෂකයෝ තමාගේ මැතිවරණ ප‍්‍රකාශනයේ ප‍්‍රතිඥා දෙනවා පරිසර සංරක්ෂණය පිළිබඳව.
බුදුන් වහන්සේ තරම් පරිසරවේදියෙක් නැහැයි කියලා ඔබ අහලා තිබෙනවා. කිතුනු දර්ශනය තුළ පරිසර සංරක්ෂණය ගැන තිබෙනවා. ඉස්ලාම් දහම තුළ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව මොනතරම් දේ තිබෙනවාද. හින්දු දර්ශනය තුළත් එසේ තිබෙනවා. මිනිසා ප‍්‍රමුඛ සියලු සත්ත්වයාගේ පැවැත්මට ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම වැදගත් වෙනවා. ස්වාභාවික සම්පත් නැත්නම් මුලින්ම විනාශ වෙන්නේ මිනිසුන්.ඒ නිසයි ඔබ දැනුවත් කරන්නේ, මෙවැනි වැඩසටහන් පවත්වන්නේ, පදක්කම් පළඳවන්නේ සම්මාන දෙන්නේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න ඕනෑ නිසයි. අපි ස්වාභාවික සම්පත්වලින් අනූන රටක්. අපි හැම කෙනෙක්ම ඒ සඳහා කැපවෙන්න ඕනෑ.

ත‍්‍රිවිධ හමුදාව පරිසරය ආරක්ෂා කිරීමට යොදවපු ප‍්‍රථම අවස්ථාව තමයි මගේ පසුගිය වසර 5ක කාල සීමාව. එය සිදුවී ඇත්තේ පළමු වතාවටයි. නීති විරෝධී ලෙස ගස් කැපීම, පස් කැපීම, ගල් කැඞීම කරන්නේ කවුද ස්වාභාවික සම්පත් මුහුදෙන් අරන් යන්නේ කවුද.ගුවන් හමුදාව සතියකට සැරයක් වනාන්තර උඩින් ගිහින් අධීක්ෂණය කරනවා. ගංජා වවන ඒවත් අහුවෙනවා. ඊට පස්සේ ඒ ප‍්‍රදේශයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම්වත් කරනවා වැටලීම් කරන්න කියලා. මුහුදෙන් එළියට ගෙන යන ස්වාභාවික සම්පත් තිබෙනවාද කියලා බලන්න නාවික හමුදාවට භාරදී තිබෙනවා. යුද හමුදාව පොලීසිය සමග එක්ව වැටලීම් කරනවා. පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම පුළුල් විෂය ක්ෂේත‍්‍රය පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නේ ඔබට වගකීම් භාරදෙන්නේ පරිසර සංරක්ෂණයේ තිබෙන වැදගත්කම නිසයි.

ඒ නිසා මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙමින් මෙහි සංවිධාන කටයුතු කළ සියලු ආයතනවලටත් ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි!
ජනාධිපති මාධ්‍ය අංශය
2019-10-10

Share This Post

NEW