පළාත් පාලන ආයතනවලට පත්වන නව නියෝජිතයින්ට වංචා දූෂණ සඳහා ඉඩක් නොමැති බව ජනපති අවධාරණය කරයි.

පළාත් පාලන ආයතනවලට පත්වන නව නියෝජිතයින්ට වංචා දූෂණ සඳහා ඉඩක් නොමැති බව ජනපති අවධාරණය කරයි.

එළැඹෙන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට පත්වන නව සභාපතිවරුන් සහ මන්තී‍්‍රවරුන් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුව ද වංචා, දූෂණ සහ ප‍්‍රචණ්ඩත්වය සඳහා ඔවුන්ට කිසිසේත් තමන්ගෙන් ඉඩක් නොලැබෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

එලෙස හැසිරෙන සියලු දෙනා වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කර ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබාදෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (31) පොළොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

පළාත් පාලන ආයතනවලට පමණක් නොව ඉන් ඉහළ සියලු අංශවලට ඉදිරියේදී නීතියේ ආධිපත්‍ය තුළ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ජනතාවගේ මුදල් සොරා කමින් වංචාව, දුෂණය වැපිරූ යුගය තම පාලන කාලය තුළ නිමා කිරීම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිතිතුමා යහපත් චර්යාවකින් ජනතා යහපත උදෙසා කැපවන මහජන නියෝජිතයින් පිරිසක් රට තුළ ගොඩනගන බව කියා සිටියේය.

පසුගිය ආණ්ඩුව ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ අගතිගාමී වැඩපිළිවෙළේ ආරම්භය පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ හැසිරීම සහ කි‍්‍රයාකාරිත්වය බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඊට එවකට නායකයාගෙන් හිමිවූ ප‍්‍රතිචාරය එම ආයතන අගතිය කරාම ගමන් කිරීමට ඉවහල් වූ අන්දම සිහිපත් කළේය.

උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සහ දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ සිරිපුර කොට්ඨාසය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් මෙම හමුවට එක්ව සිටියහ.

මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමා හමුවූ සිරිපුර මධ්‍ය මහා විද්‍යාලේ 10වන වසරේ ඉගෙනුම ලබන අතක් අහිමි එන්.පී. විනිතා දමයන්ති සිසුවිය තමන්ට කෘති‍්‍රම අතක් ලබාගැනීමට සහයවන ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම අවස්ථාවේම තම පෞද්ගලික වෛද්‍යවරයා අමතා එම දැරිය කොළඹට කැඳවා එම ඉල්ලීම කඩිනමින් ඉටුකරදෙන ලෙස උපදෙස් ලබා දුන්නේය.

ඉන් අනතුරුව දිඹුලාගල නුවරගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහා ද ජනාධිපතිතුමා සහභාගී විය.

එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ මෙතෙක් කල් සියලු දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවේ කථා කළ සම්ප‍්‍රදායික සංවර්ධනය සහ වෛරය, ක්‍රෝධය වපුරන පුද්ගල චරිත ඝාතන හා පසුගාමී තත්ත්වයන් වෙනුවට රටට අවශ්‍ය භෞතික සහ අධ්‍යාත්මික සංවර්ධන වෙනුවෙන් නව වැඩපිළිවෙළක් වටා සියලු දෙනා ඒකරාශී විය යුතු බවයි.

දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්තී‍්‍ර හෙන්ද්‍රික් අප්පුහාමි මහතා ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට සහය පළ කරමින් ජනාධිපතිතුමා අතින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම ද මෙහිදී සිදු විය.

පොළොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ පැවති ජනහමුව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව (2017-12-31)

අද ඔබ හමුවීමට ලැබීම පිළිබඳව බලවත් සතුටක්. පසුගිය ජනාධිපතිවරණයේ දී මට පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ගමක් ගානේ එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතේ රැස්වීම් 7 ක් තිබුණා. දේශපාලන පක්ෂ භේදයක් නැතිව, ඒ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ඔබ මට ලබාදුන්නා. මේ පොළොන්නරුව ආසනය ජනාධිපතිවරණයේ දී ජයග‍්‍රහණය කළේ වැඩි ඡන්ද 32000 කින්. මහවැලි සී කලාපය, දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, දිඹුලාගල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය, මේ ප‍්‍රදේශ වල සංවර්ධනය සදඟා පසුගිය වසර 30 කට ආසන්න කාලයක් තමුන්නාන්සේලා සමග මම ඉතා සමීපව කටයුතු කළ කෙනෙක්. අපි දන්නවා දැන් මේ දිස්ත‍්‍රික්කය මොනතරම් සංවර්ධනය වෙලාද කියලා. ගාමිණී දිසානායක හිටපු ඇමතිතුමාගේ අභාවයත් සමග සිදුවූ දේ ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එතුමා ඇරඹූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ ඉතිරි වී තිබුණු වැඩපිළිවෙල මම එත් පැත්තකින් අවසන් කළා. ඒ වගේම මොරගහකන්ද වැනි යෝධ ව්‍යාපෘතීන් ආරම්භ කරලා වැඩ අවසන් කළා.

එදා මම ජපානයේ ජයිකා ආයතනයෙන් මුදල් අරගෙන අද සමහර අයට මතකත් නැතිව ඇති රුපියල් කෝටි 700 ක් වියදම් කෙරුවා මේ සී කලාපයේ ඇළවල්, අමුණු, පාරවල් හදන්න, ගොවි සංවිධාන ශක්තිමත් කරන්න. සි කලාපය සංවර්ධනය හා ප‍්‍රතිසංවිධානය කරන්න. මේ කලාපයේ අහවල් දේ නොකළ කියලා කෙනෙකුට කියන්න පුළුවන්කමක් නැහැ. අඩුපාඩුවක් ඉතුරුවෙලා තිබෙනවා නම් ඒවා මගේ වැරැද්දෙන් නෙවෙයි කොහේහරි තිබුණු වෙනත් අඩිපාඩු නිසා සිදුවූ ප‍්‍රමාදයන් හෝ තොරතුරු හරි හැටි නොලැබීම්.

”පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ මේ දිස්ත‍්‍රිත්තයේ ඓතිහාසික සංවර්ධනයන් සිදුවෙනවා. කිසිම කාලෙක සිදු නොවුණු විදියට. පාසල් සියල්ලම හැදෙනවා. සිරිපුර, නුවරගල විතරක් පාසල් 15 කට වැඩියෙන් අලුතෙන්ම ගොඩනැගිලි හදා තිබෙනවා. මේ දිස්ත‍්‍රික්කයේ පාසල් 242 න් දැන් 150 ක වැඩ අවසන් කර තිබෙනවා. පොළොන්නරුව මහ රෝහල මොනතරම් වේගවත්ව වෙනස් වී ගෙන එනවද කියා ඔබ දන්නවා. මගේ ඉල්ලීමට චීනයෙන් ලැබුණු වකුගඩු රෝහලට මීට සති දෙකකට පෙර මුල් ගල තැබුවා. ඒ වැඩ කටයුතු හෙට අනිද්දා චීන ඉදිකිරීම් ආයතන පටන් ගන්නවා. මගේ ඉල්ලීමක් අනුව මීට මාස එකහමාරකට පෙර ඉන්දීය රජයෙන් ලැබුණු ත්‍රෛභාෂා පාසලට මුල් ගල තැබුවා. එවැනි ත්‍රෛභාෂා උගන්වන පාසලක් ලංකාවේ කොහෙවත් නැහැ. එහි ඉදිකිරීම් මේ වනවිට පොළොන්නරුවේ ආරම්භ කර තිබෙනවා. ක‍්‍රීඩාංගණ, රෝහල්, පානීය ජලය, මාර්ග සංවර්ධනය මේවා කිසිම කාලයක නැති විදියට කරගෙන යනවා. අපි පටන් ගත්තේ 2015-2016-2017 වශයෙන් තුන් අවුරුද්දක්. 2018 වසර අවසන් වනවිට මේ දිස්ත‍්‍රික්කයේ කිසිම පාසලක, කිසිම රෝහලක, කිසිම විහාරයක, කිසිම ගමක යටිතල පහසුකම්වල සංවර්ධනය ඒ කිසිදේක අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒ සියල්ල සැලසුම් කරලා වේගවත්ව කරගෙන යනවා.

පොළොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාස වල ඉදිකිරීම් පුද්ගලික ආයතන වලට බාර නොදී මම ති‍්‍රවිධ හමුදාවට භාරදුන්නා. ඒ තුළ නිසි ප‍්‍රමිතියකින්, දූෂණයෙන් තොරව ඒ කාර්යය කෙරෙන බවට විශ්වාසයි. මේ දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් 15 ක් තිබෙනවා. එයින් 8 ක හෝ 9 ක වැඩ ඉවරයි. ඒ තුන් අවුරුදු සැලැස්මෙන් පිරිවෙන් අංග සම්පූර්ණ ලෙස ප‍්‍රතිනිර්මාණය කෙරෙනවා. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ගත්විට එයට හැම රාජ්‍ය නායකයෙක්ම පැමිණ තිබෙනවා. නමුත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය වුණේ නැහැ. දැන් ගියොත් බලන්න පුළුවන් කෝටි කීයක් වියදම් කරලා එහි සංවර්ධන කටයුතු වෙනවාද කියලා.

2017 වසරේ ස්වයං රැකියා වලට විතරක් පොළොන්නරුව දිස්ත‍්‍රික්කය සඳහා රුපියල් කෝටි 60 ක් වෙන්කරා. නමුත් මම කනගාටුවෙනවා නිලධාරී මහත්වරුන්ගේ දක්ෂකම නිසා වැඩට ගත්තේ කෝටි පහයි කෝටි 55 ක් අද ආපහු භාණ්ඩාගාරයට යවනවා. මේ ගම්වල තරුණ දරුවන්ට ඔවුන්ගේ කුසලතා, නිර්මාණ, වෘත්තීය අධ්‍යාපනය, දක්ෂතා වලින් යමක් කරන්නයි මුදල් වෙන් කොට තිබුණේ, ඒවා ණය නෙවෙයි ප‍්‍රදානයන්. ගිය මාසේ වනවිට අපි එක්දහස් ගණනකට ආධාර ලබා දුන්නා, ඒ එක්දහස් ගණනකට වැය කර තිබෙන්නේ කෝටි 05 යි.

අපෙ රටේ හාල් සල්ලිවලට ගන්න අයට හාල් මිළ ප‍්‍රශ්නයක්. ඒකට හේතුව ඔබ දන්නවා. දැන් වසර දෙකක සිට නියඟය තිබුණා. මේ කන්නයටනම් වතුර තිබෙනවා. මේ කන්නයට මහවැලි සී කලාපය, බී කලාපයට වතුර තිබෙනවා. ගිරිතලේ ව්‍යපාරයේ වැඩ නැහැ. සියයට 25 යි වැඩ කරන්නේ. මින්නේරි ව්‍යපාරය වැඩ කරනවා. කවුඩුල්ල ව්‍යාපාරයේ සියයට 30 යි වැඩ කරන්නේ වතුර නැති නිසා. අනුරාධපුර දිස්ත‍්‍රික්කය ගත්විට සියයට විස්සක් විතර පමණයි වැඩ කරන්නේ අනෙක් ජලාශ වල වතුර නැහැ. ත‍්‍රිකුණාමලය, වවිනියාව, මන්නාරම දිස්ත‍්‍රික්කත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව, නිකවැරටිය, යාපහුව ප‍්‍රදේශවල බොන්නවත් වතුර නැහැ. ගම්පහ කටාන ප‍්‍රදේශවල බොන්න වතුර නැහැ.

මේ පාරිසරික විපර්යාසය ලෝකේ අනෙක් රටවල් වලටත් එහෙමයි. රත්නපුර, කෑගල්ල, කළුතර දිස්ත‍්‍රික්ක ගංවතුර ගලලා ජීවිත සිය ගණනක් විනාශ වුණා. ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටුණා. ඇයි මේ. ආණ්ඩුවේ වැරුද්දක්ද. වැලි අදින, පස් කපන, කඳු කපන, කැලෑ විනාශ කරන, ගහකොළ විනාශ කරන මේ රටේ පරිසරය විනාශකරන හැම කෙනෙක්ම ඊට වගකියන්න ඕනෑ.

රටක දීර්ඝකාලීන ආයෝජනය වන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපනයට කිසිම අඩුවක් නැතිව සියලු දේවල් අපි ලබාදෙනවා. කිසිම ආණ්ඩුවකින් අපි වෙන්කළ තරම් මුදල් අධ්‍යාපනයට වෙන් කර නැහැ. කිසිම ආණ්ඩුවකින් පළාත් සභාවට මුදල් දුන්නේ නැහැ, අධ්‍යාපනයට අපි දුන්න තරම්. සෞඛ්‍ය සේවයේ ගොඩනැගිලි, යන්ත‍්‍රසූත‍්‍ර දීලා තිබෙනවා. පොළොන්නරුව මහරෝහලේ ඇති යන්ත‍්‍ර කොළඹත් නැහැ. ඒ සියල්ල අපි අංග සම්පූර්ණ කර තිබෙනවා.

සංවර්ධනය තුළ හොඳ විභාග ප‍්‍රථිපල ලැබෙනවා. ජනතවාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය එන්න එන්නම වර්ධනය වෙනවා. නමුත් අපි දියුණු වෙන්න දියුණු වෙන්න මනුස්සකමින් පිරිහෙනවා. ගමේ පන්සලේ හාමුදරුවෝ උදේට සවසට බණ දේශනා කරනවා. ගුවන් විදුලිය, රූපවාහිනිය උදේ ඇහැරෙන විටත් නින්දට යනවිටත් පිරිත් දානවා. නමුත් ලංකාවේ සියදිවි නසා ගැනීම් වලින් පොළොන්නරුව දිස්ත‍්‍රික්කය ඉහළටම ඇවිත් තිබෙනවා. ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වලින් දෙවන තැනට ඇවිත් තියෙනවා. අරලගංවිල පොලිස් බල ප‍්‍රදේශයේ පසුගිය වසරේ පමණක් 28 දෙනෙක් සියදිවි නසාගෙන තිබෙනවා.

අද දේශපාලන වේදිකාවල ක්‍රෝධය, ඊර්ෂියාව, බැණ ගැනීම්, එක එක්කෙනාගේ පුද්ගලික අඩුපාඩු ගැන ඇහෙනවා. අපි දියුණු මිනිස්සු බවට පත්වෙන්න ඕනෑ. දියුණු රටක් ගොඩනගන්න ඕනෑ. දියුණු සමාජයක් ඇතිකරන්න ඕනෑ. පරිසරය වගේම මත්ද්‍රව්‍ය වලින් මේ රට මොනතරම් විනාශ වෙලාද. ඉස්සර කොළඹ විතරයි මත්කුඩු, මත්පෙති තිබුණේ. අද හැම ගමකම මත්පෙති, මත්කුඩු තියෙනවා. කලිසම් සාක්කුවේ මත්කුඩු තිබුණ දරුවෝ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා. අපි කතාකරන සංවර්ධනයේ වෙනසක් දකින්න ඕනෑ. හැමදාම කෑගහන සංවර්ධනයට වැඩිය වෙනස් සංවර්ධනයකට අපි යන්න ඕනෑ. මේ ප‍්‍රාදේශීය සභාව අත ලකුණෙන් තරග කරලා අපේක්ෂකයෝ ජයග‍්‍රහණය කරලා අලුතෙන් හදන දිඹුලාගල වගේම මේ රටේ හදන ප‍්‍රාදේශීය සභා සියල්ල, මෙතෙක් කල් කරපු භෞතික සංවර්ධනය වගේම මිනිස්සු හදන සංවර්ධනයට මම යොමුකරනවා. පුළුල් ජාතික වැඩපිළිවෙලක් මම ක‍්‍රියාත්මක කරනවා.

මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක්, පරිසරය ආරක්ෂා කරන සමාජයක්. සියදිවි නසාගන්නේ නැතිව අභියෝග වලට මුහුණ දෙන අභියෝග තේරුම් ගැනීමේ හැකියාව ඇති පරපුරක් හැදිය යුතු වෙනවා. අද තරුණ දරුවෝ තමයි වැඩිපුර සියදිවි නසාගන්නේ. මේවා වළක්වා ගැනීමට අවශ්‍ය වෙනස්කම් වලට අපි යන්න ඕනෑ. මේවා කයිවාරු දේශපාලනයෙන් කරන්න පුළුවන්කමක් නැහැ. අද සහල් මිල ගැන එක් පැත්තකින් කතාකරනවා. මේ ප‍්‍රදේශ වල කුඹුරු තියෙන පිරිස කවුරුවත් කියනවාද
පසුගිය කන්න ගණනාවක වී වලට ලැබුණු මිළ ගැන. ඒ ගැන කතාකරන්නේ නැහැ. ඉතිහාසයේ කවදාවත් නොලැබුණු ඉහළ මිළක් පසුගිය වසර කිහිපය තුළ වී වලට ලැබුණා. ඒක ඔබ හැම කෙනෙක්ම දන්නවා. අපි බොහෝ දේවල් පුද්ගලිකව හිතනවා. අපි පොදුවේ හිතන්නේ නැහැ. හොඳ සමාජයක් හදන්න හොඳ රටක් හදන්න හොඳ ආයතන හදන්න ඔබ කැපවෙන්න ඕනෑ.

මම ජනාධිපති වෙලා රට ඇතුලේ තියෙන ප‍්‍රශ්න විසදන්න කලින් මට තිබුණු අභියෝගය ලෝකය දිනා ගන්න එක. හිටපු ජනාධිපතිතුමා අවුරුදු දෙකක් බලයේ ඉන්න තියෙද්දි ඇයි ඡන්දයකට ගියේ. ඒ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි නිසා. ඒවාට විසඳුම් නැති නිසා. ලෝකයාම අපෙන් ඈත් වෙච්ච නිසා. ලෝකයේ දියුණු බලවත් ප‍්‍රබල ජාතීන් අපිට නොයෙකුත් දෝෂාරෝපණ කරලා, අපිට නොයෙකුත් බලපෑම් කරලා, අපෙන් ඈත් වෙච්ච නිසා. ඒක තමා ඇත්ත කතාව. රට හදන්න කලින් ලෝකය දිනාගන්න ඕනෑ.

තමුන්නාන්සේලා ගමක ජීවත් වෙන කොට ගෙදර වටේ ඉන්න අය තරහ කර ගෙන, වෛර කර ගෙන තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුලුවන් ද? ඒ විදියට අපිට වටේ තියෙන රටවල් අපෙන් ඈත් වුණාම හුදකලා රටක් හැටියට පවතින්න පුලුවන්? මම ලෝකයම නැවත දිනා ගත්තා. රට වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන්. ඒක කාටවත් කරන්න පුළුුවන් දෙයක් නොවෙයි. දැන් පසුගිය සති දෙකකට තුනකට කලින් රැසියාව අපෙන් තේ මිළදී ගැනීම නැවැත්වුණා තේවල කෘමියෙක් හිටියා කියලා. රැසියානු ජනාධිපතිමා මා සමග පෞද්ගලිකව ඉතා හිතවත්. මම එතුමාට ලිපියක් ලිව්වා මගේ රටේ ආර්ථිකය පිළිබඳව හිතන්න. දෙරටේ දිර්ඝ කාලීව මිත‍්‍රත්වය ගැන හිතන්න. ඒක නිසා මේ තේ තහනම අයින් කරලා දෙන්න කියලා. එතුමා වහාම තේ තහනම ඉවත් කළා. ඒ ලෝකය දිනා ගත්ත හැටි. මේ පොහොර ප‍්‍රශ්නයක් ඇති වුණා. හේතුව වුණේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ පොහොර මිළ වැඩි වීම නිසා පෞද්ගලික අංශය පොහොර ගෙන්වීම නැවැත්වීමයි. මම ගිය සතියේ පකිස්ථානයේ අගමැතිතුමාට දුරකතනයෙන් කතා කළා. පොහොර ප‍්‍රශ්නයක් තියෙනවා කියලා මට පොහොර ටිකක් එවන්න කියලා. පකිස්ථානය පොහොර අපනයනය කරන එක තහනම් කරලා තිබුණේ. මම කතා කරලා දවස් කිහිපයයි. මට පෙරේදා පාකිස්ථාන අගමැතිතුමාගෙන් පණිවුඩයක් ආවා මෙක්ටි‍්‍රක් ටොන් 75000 වහාම එවන්න ලෑසිතියි කියලා. ඒ විදියට අපි ලෝකය දිනා ගෙන තියෙනවා.

මම කටාර් වලට ගියා. මාස දෙකකට විතර කළින් කටාර් වලින් මම ගුවන් යානයෙන් මෙහේ බසින විට කාටර්වලින් ගුවන් යානයකින් මෙහේ ඇවිල්ලා එහේ ඇමතිවරයෙක් සහ විශාල ආයෝජයකයින් පිරිසක්. ඔවුන් පැය විසිහතරෙන් ලංකාවට ආවා. ඇවිල්ලා තෑග්ගකුක් දීලා ගියා. ලංකාවේ ඕනෑම නගරයක් අංග සම්පූර්ණ නගරයක් විදියට, සම්පුර්ණ වියදම් දරලා, ගොඩනගන්න පොරොන්දු වෙමින්. මම අවශ්‍ය නගරයක් නම් කරලා ඒ අයට දුන්නා. මට මේ විදියට මහා දිග ලැයිස්තුවක් කියන්න පුළුවන්. චීන ජනාධිපතිතුමා පොළොන්නරුවට වකුගඩු රෝහලක් අවශ්‍යයි කිව්වාහම එය ලබා දුන්නා. ඉන්දීය අගමැතිතුමාගෙන් මම ත්‍රෛභාෂා පාසලක් පාසලක් දෙන්න කියලා ඉල්ලුවා. එය ලබා දුන්නා. දැන් ඒකේ වැඩ කටයුතු කර ගෙන යනවා. මෙහෙම ජාත්‍යන්තර වශයෙන් අපි ලෝකය දිනා ගත්ත කාලයක් මීට කළින් මෑත යුගයේ තිබුණේ නැහැ. ඒ සියල්ල ඔබ වෙනුවෙන්, රට වෙනුවෙන්.
ප‍්‍රදේශීය සභා, නගර සභා දැන් පාරවල් හදන එකටයි බොක්කු හදන එකටයි සීමා වෙන්න බැහැ. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න විට අපේ හාමුදුරුවෝ කිව්වා ජනාධිපතිතුමා මේ දිනන මන්තී‍්‍රවරු රටේ හොඳ වැඩ පිළිවෙළක් ගෙනියන්න අවශ්‍යයි කියලා උන්වහන්සේ කිව්වා. ඒ වැඩ පිළිවෙළ දැනටමත් අපි සැලසුම් කරලා තියෙන්නේ. ලංකාවේ ප‍්‍රාදේශීය සභාවල හිටපු සභාපතිවරුගෙන් සියයට 50 කට මෙවර තරග කරන්න බැහැ. වංචා, දූෂණ, මිනිමරුම්, මත්කුඩු චෝදනා. මතක ඇති 2012, 2013 කාලවල ප‍්‍රාදේශීය සභාවල සභාපතිවරු කරපු දේවල්.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සභා 7න් 4 ක හිටපු සභාපතිවරුන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ. දුෂණ, වංචා චෝදනා. රජයේ මුදල් වංචා කරලා. ඔබ දන්නවා මට වඩා හොඳින් ඒ ගැන. රාජ්‍ය දේපල අයථා පරිහරණය වැනි චෝදනාවලට ඒ සියලු දෙනාට දඩුවම් දෙන්න සිද්ධ වුණා.

ඔබට මතකයි මම ආණ්ඩුවෙන් ඉවත් වුණේ 2014 නොවැම්බර් මස 21 වෙනිදා. මම 2014 මුල, හිටපු ජනාධිපතිතුමාට කිව්වා ලංකාවේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ හැසිරීම පිළිබඳව. මේ ආණ්ඩුවට හොඳ නැහැ මේක පක්ෂයට හොඳ නැහැ. මේ අය ගෙන්වලා අපි අවවාද කරලා තදින් විනය නීති කි‍්‍රයාත්මක කරමු කියලා. මේ අය ගෙන්වන්න කිව්වා. දිනයක් දාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ලංකාවේ හිටපු සභාපතිවරු ගෙන්වුවා. එදා හිටපු ජනාධිපතිතුමාත් මමත් විතරයි හිටියේ. ඒ වේලාවේ කිසිම ඇමතිවරයෙක් වත් හිටියේ නැහැ. මම විනාඩි 45 ක් විතර කතා කරලා කිව්වා. ස්ත‍්‍රී දුෂණවලට අහු වෙලා තියෙනවා. මත්කුඩු චෝදනා වලට අහු වෙලා, මිනීමැරුම් චෝදනා වලට අහු වෙලා, රජයේ දේපල අවභාවිතා කරලා අහු වෙලා තිබෙන, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගෙන ඇති සභාපතිවරුන් අපේ පක්ෂයට විශාල කැලලක්. ඒ නිසා පක්ෂයේ ලේකම් විදියට මම විනය නීති හරියට කි‍්‍රයාත්මක කරනවා. රටේ නීතියක් තියෙනවා ඒ නීතියට අනුව වැඩ කරන්න අපිට සිදු වෙනවා කියලා. මගෙන් පස්සේ කතා කළේ හිටපු ජනාධිපතිතුමා. එතුමා විනාඩි පහකට වැඩියේ කතා කළේ නැහැ. කෙටියෙන් කතා කළා. කතාව අවසන් කළේ කොහොමද “කරන දෙයක් කරනවකෝ අහු නොවෙන්න” කිව්වා. අන්න එකා තමා දුන්න අවවාදය. එදා හිටපු සභාපතිවරු වේදිකාවට ගෙන්වලා මට ලක්ෂයක් ඉස්සරහා තියලා අහන්න පුළුවන් එහෙම කිව්වේ නැද්ද කියලා. සභාපතිවරු ඔක්කොම මට බැණ බැණ ගියා. අරූට තියෙන අමාරුව කියලා. අපි මොනවා හරි කර ගත්තහාම මොකද කියලා. ජනාධිපතිතුමා අපිට ඕන විදියට කර ගන්න කිවිවා. දැන් ඕනෑ විදියට කර ගත්තා. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළේ මම නොවෙයි. රාජපක්ෂය ආණ්ඩුව පාරාජය කළේ ඒ අගතිගාමී වැඩ කළ හිටපු සභාපතිවරු. මතකනේ සුදු ජාතික කාන්තාවක් දූෂණය කරන්න ගිහින් ඒකට විරුද්ධ වුණහම සුදු ජාතිකයා මරලා දැම්මා. තව තව ලස්සන කතා ඔබ දන්නවානේ. සිය වෙනි ජුබිලිය එහෙම තියපු හැටි. ඒකාලේ පත්තර බලපුවම මතක් වෙයි. ඒවා කියන්න බැහැ මේවගේ තැන් වල. ඒ කාළේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ, මන්තී‍්‍රවරුන්ගේ් පිරිහීමක් තිබුණා. මම බොහොම පැහැදිලිව කියනවා පෙබරවාරි 10 වෙනිදා පත් වෙන සභාපතිවරු, මන්තී‍්‍රවරු මොන පක්ෂයේ වුණත් ඒක මට ප‍්‍රශ්නයක් නැහැ. ශී‍්‍ර ලංකා ද යු. ඇන්. පී ද කියලා ප‍්‍රශ්නයක් නැහැ වැරැද්දට දෙන්න තියෙන ඉහළම දඩුුවම දෙනවා නීතිය හරියට කි‍්‍රයාත්මක කරලා, යහපත් සදාචාර සමාජයක නීතියට හිස නමන පිරිසක් මම පළාත් පාලන ආයතනවල බිහි කරනවා. ඒ කාලේ කරපු දෙවල් මම කරන්න දෙන්නේ නැහැ. දැන් ඔබ දකිනවා පළාත් පාලන ආයතනවල විතරක් නොවේ ඊට වඩා ඉහළ ආයතන වලටත් ඉදිරියේ දී නීතියේ අධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන්න සිද්ධ වෙනවා.

අපි මේ තියෙන තත්වයන් තෙරුම් ගන්න අවශ්‍යයි. අපි මිනිසුන්ට ආදරය කරන සමාජයක් හදන්න අවශ්‍යයි. මිනිසුන්ගේ අඩුපාඩු කම්, නැතිබැරිකම් වලදී මිනිසුන්ගේ ඇති වන ප‍්‍රශ්නවලදී මිනිසුන්ගේ් ඇස්වලට කදුළු උනද්දී කදුළු එන දේශපාලනඥයෝ පිරිසක් හදන්න අවශ්‍යයි.

මේ රටේ ජනාධිපති ධූරය, පාර්ලිමේන්නතුව, පළාත් සභා, පළාත් පාලන ආයතන ඡන්දෙන් පත්වෙන ආයතන හතරක් තිබෙනවා. පළාත් පාලන ආයතනවලට තරග කරන කෙනෙක් තමාගේ දැනුම, අධ්‍යාපනය, අවංකකම, කැපවීම, ඇති අයට ඒ තුළ රටේ ඉදිරියට යන්න පුළුවන්. ලංකාවේ මේ මැතිවරණය තරග කරන අපේකෂකයින් අතරින් තමයි තව අවුරුදු පහළොවකින්, විස්සකින් මේ රටේ ජනාධිපති, අගමැති, මහ ඇමතිවරු, කැබිනට් ඇමතිවරු බිහි වෙන්නේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වුණේ මුලින්ම නාගරික මන්තී‍්‍රවරයෙක් හැටියට පත් වෙමින්. එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩානායක මැතිතුමා අගමැති වුණේ මුලින් නාගරික මන්ති‍්‍රවරයෙක් හැටියට පත් වෙමින්. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වුණේ ඉස්සෙල්ලා කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙක් හැටියට පත් වෙමින්. මේ අපි ඉදිරිපත් කරලා ඉන්න අපේකෂකයෝ තමන්ගේ චර්යාව, තමන්ගේ චරිතය, කැපවීම, ගුණවත් කම, යහපත් කම, කැපවීම, අවංකකම ඒ සියල්ල එක්ක වැඩ කළොත් රටට හොඳ අනාගතයක් වගේම ජනතාවට හොඳ අනාගතයක් වගේම ඒ අපේකෂයින්ටත්, මන්ති‍්‍රවරුන්ට හොඳ අනාගතයක් ලැබෙනවා.

ප‍්‍රතිවිරුද්ධ දේශපාලන වේදිකාවල කතා කරන බොහෝ සම්ප‍්‍රදායික පසුගාමී අදහස්, වෛරය, ක්‍රෝධය, ද්වේශය අවුළුවන කතා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ මේ රටේ සියලු දෙනා එකට එකතු වෙලා රට හදන එකයි. රට ගොඩනගන එකයි. මේ මැතිවරණය තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන්, අත ලකුණ ඉදිරිපත් වෙලා සිටින අපේක්ෂක මහත්ම මහත්මීට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ නියෝජිතයින් ද මගේ නියෝජිතයින් ගම්වල බව ඉතාමත් පැහැදිලිව ප‍්‍රකාශ කරනවා.

ඉදිරි සංවර්ධන වැඩ කටයුතුවලට මම ඔවුන් දැනටමත් කොළඹට ගෙන්වලා, සියලු දෙනාට උපදෙස් ලබා දුන්නා. තමාගේ කොට්ඨාසයේ සංවර්ධන සැලැස්ම හදන්න එය ගමේ ඡන්ද දායකයින්ට ඉදිරිපත් කරන්න. තමාගේ ප‍්‍රාදේශීය සභාවේ සංවර්ධන සැලැස්ම හදන්න. ඒක ප‍්‍රදේශයේ ජනතාවට ඉදිරිපත් කරන්න. ජයග‍්‍රහණයෙන් පසුව මුදල් වෙන් කරලා, ඒ අවශ්‍ය වැඩවලට කඩිනම්ව ප‍්‍රමුඛත්වය ලබා දෙන්න.

මේ සියලු දෙනා එකට එකතු වෙලා හොඳ රටක් හදන්න කැපවිය යුතුයි. මම ඔබ සියලු දෙනා කෙරෙහි විශ්වාසය තබනවා.
මේ දිස්ති‍්‍රක්කයේ ගම ගොඩ නගන්න, වැඩිම ශක්තිය ඇත්තේ නිදහස් පක්ෂයේ අපේක්ෂකයින්ට. ඒක අමතක කරන්න එපා. ඔබ සියලු දෙනාට ගෞරවනීය ස්තුතිය පුද කරමින්, පෙබරවාරි 10 වෙනිදා ඔබේ ගෞරවනීය ඡන්දය අත ලකුණට පාවිචිචි කරන්ක කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා.

Share This Post

NEW