අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට තිස් වසරක් සපිරීමේ උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට තිස් වසරක් සපිරීමේ උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

වසර 1989 දී ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ මංගල සමරවීර මහතා එදා මෙදා තුර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් රටේත්, මාතර පුරවරයේත් ජනතාවගේ දියණුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේය.

“සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා” නමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව ගරු කරන දේශපාලනඥයෙක් බවයි.

ඔහුගේ 30 වසරක දේශපාලන දිවිය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය.

මෙම උත්සවයේ ප‍්‍රධාන දේශනය එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමැන්තා පවර් මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ආර්. සම්බන්ධන් යන මහත්ම මහත්මින් සහ රාජ්‍ය නිලධාරින්, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවයේ දී ජනාධිපතිතුමා කළ කතාව

2019-02-28 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

වසර 30 ක පාර්ලිමේන්තු දේශපාලන දිවිය සමරමින් මගේ මිත්‍රයෙක් වූ මංගල සමරවීර මැතිතුමාගේ කළ කී දෑ මෙන්ම ඔහු විසින් කළ කාර්යයන් සහ ප්‍රතිපත්ති පිළිබඳ කතාකරන වෙලාවක ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටුවෙනවා.

මංගල මුලින්ම මට හමු වුණේ 1988 දී යි. අපි 89 පෙබරවාරි මස 15 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට ගියා. මංගලත් මමත් එදා පාර්ලිමේන්තුවට තේරී පත්වූ අනෙක් අයත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේ 89 මාර්තු මාසේ 9 වැනිදායි. මංගලත් අපිත් මුලින්ම ගියේ ආණ්ඩුවට නොව විපක්ෂයට බව ඔබ දන්නවා. පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරයෙක් මුලින්ම යා යුත්තේ ආණ්ඩු පක්ෂයට නොව විපක්ෂයට කියායි මා විශ්වාස කරන්නේ. විපක්ෂයට මුලින්ම යන මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විපක්ෂයේ සිටින කාලය තුළ දී ඉගෙනගන්නවා. හොඳ අත්දැකීම් රාශියක් ලබනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙන අවස්ථාවක ඔහු පරිණත වී තිබෙනවා. ඔහු ඊට සූදානම් වී තිබෙනවා. මම හිතනවා මංගලත් මමත් ඒ යුගයේ දී මැති සබයට ගිය සියල්ලනුත් එසේයි කියා.

මංගලත් අපි සියලු දෙනාත් පාර්ලිමේන්තුවට ආපු කාලේ අපි සියලු දෙනා ආධුනිකයන් නිසා අපි බොහෝ වෙලාවට දේශපාලනය කතා කළා වගේම පෞද්ගලික දේවල්, විවිධ ජාත්‍යන්තර ප්‍රවණතා ගැන කතා කළා වගේම යාළු මිත්‍රකම් පදනම් කරගෙන විහිළු තහළු කළා. මංගල 89 පාර්ලිමේන්තුවට ආ මුල් කාලේ මංගලගේ අතේ නිතරම කිහිල්ලේ ගහගෙන ආපු කළුපාට බෑග් එකක් තිබුණා. අතේ මල්ල තිබුණාට, ඔහු එවකට කිසිවෙකුටත් කඩේ ගියෙ නැහැ. බොහෝ වෙලාවට පාර්ලිමේන්තු ලොබියේ අපි කතා කර කර ඉන්න වෙලාවට මංගල හිටපු ගමන් ඔහුගේ මල්ල තියලා එහෙට මෙහෙට යනවා. අපි ඒ වෙලාවට වට පිට බලලා මංගල එන්න කලින් මල්ල පුරවනවා. ඔහුගේ බෑග් එකට දැමිය යුතු දේ වගේම නොදැමිය යුතු දේ අපි දැම්මා. මංගල ගෙදර ගිහින් පහුවදා පාර්ලිමේන්තුවට ආ විට වටපිට බලලා අපි දෙස බලලා කවුද මේ ජරා වැඩ කරන එවුන් කිය කිය බණිනවා. අපි හුඟක් විනෝද වෙනවා. මංගලත් අපිත් ඒ විදියට තමයි අපේ පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ කළේ.

විශේෂයෙන් කියන්නට ඕනෑ මංගල හිත හොඳ මිනිහෙක්. ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව වෙනුවෙන් මංගල කැපවූ කෙනෙක්. ඒ පිළිබඳ අපි කවුරුත් මංගලට ගරු කරනවා. ඔහු විවිධ අමාත්‍යාංශ භාරගත් සෑම අවස්ථාවකම භාරගත් සෑම වැඩක්ම විශාල කැපවීමකින් ඉටු කළා. ඔහු දේශපාලනඥයෙකුට වඩා ඇසුරු කිරීමේ දී වඩාත් ප්‍රියමනාප මිත්‍රශීලීකමක් සෑම කෙනෙක් සමඟම ඇති කර ගන්නා සැබෑ ගුණ යහපත් මනුෂ්‍යයෙක්.

ඒ නිසා ඔබේ වසර 30 ක දේශපාලන ජීවිතය ඛේමාගේ කොළුවා නමින් හඳුන්වන මේ අවස්ථාවේ මේ කොල්ලා පිළිබඳව කතා කරන්න බොහෝ දේ ඇතත් මම එයට කාලය ගන්නේ නැහැ. ඔබ දක්ෂයෙක්. ඔබ ඕනෑම කෙනෙකුගේ හිත දිනාගන්න පුළුවන් කෙනෙක්. ඔබේ දක්ෂතාවයන්, හැකියාවන්, දැනුම, ඔබේ බුද්ධිය ඔබේ පරිණත භාවය රටට අවශ්‍යයි. එය ගෙවී ගිය තිස් වසරටත් වඩා හෙට දවසටයි. ඒ නිසා මංගල ඔබ දේශපාලනඥයෙක් වගේම මා ආදරය කරන මිත්‍රයෙක් වශයෙන් මම ඔබට ඉදිරි දේශපාලන අනාගතය ගෙවී ගිය තිස් වසරට වඩා රටට ප්‍රතිඵල පෙන්විය හැකි දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට යා හැකි, සැබෑ මානවවාදී ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජාතික සමඟිය හා සංහිඳියාව ශක්තිමත් කිරීමේ වගකීම් උසුලන්නට හැකි වේවා කියා ඔබට මා සුබ පතනවා.

ස්තූතියි.

Share This Post

NEW