ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනපති පවසයි.

ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය සහිත පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනපති පවසයි.

ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (10) පස්වරුවේ තුල්හිරිය මාර්ස් ඇතිනා ශාලාවේ දී ආරම්භ වූ නිවර්තන ජීව විද්‍යාව සහ සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා – ශාන්තිකර සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

තිරසර මානව හා සාමාජීය පැවැත්මක් තහවුරු කිරීම උදෙසා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.

ලෝක තිරසර පරිසර කළමනාකරණ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ආසියා-ශාන්තිකර කලාපයේ නිවර්තන රටවල වෙසෙන සියලු දෙනාට පැවරී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ජෛව විවිධත්වයෙන් අනූන, ආවේණික හා ඒකදේශීය අතිවිශාල ශාක හා සත්ත්ව ප්‍රජාවක් කලාපය සතුවීම එයට හේතුව බව ද සඳහන් කළේය.

හුදෙකලා වූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වන වගා කිරීම මගින් එම හුදෙකලා වනාන්තර කොටස් සම්බන්ධ වී ශාක හා සත්ත්ව ප්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු කෙරෙන බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණ කොට ආවේණික හා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැක ගැනීමේ හෙට දවස වෙනුවෙන් වූ අද දවසේ වගකීම ද පැහැදිලි කළේය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විටත් ලෝකයේ නිවර්තන කලාපීය රටවල ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රබල කථිකාවක් ගොඩනැගී ඇති බවයි. එබැවින් ආසියා -ශාන්තිකර කලාපයේ නිවර්තන ජෛව සංරක්ෂණය උදෙසා වූ දෙස් විදෙස් විද්‍යාර්ථින් සහභාගීවන මෙම සමුළුව ශ්‍රී ලංකාව තුළ පැවතීම අප රට ලැබූ මහඟු ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා එය ලාංකීය විද්වත් ප්‍රජාව ලද වටිනා අවස්ථාවක් බව ද කියා සිටියේය.

එමෙන් ම ශ්‍රී ලංකාවේ විශාල ආහාර බෝග ප්‍රමාණයක් වන සතුන් විසින් විනාශ කිරීමේ ගැටලුව කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඊට ලබාදිය හැකි ස්ථීරසාර විසඳුමක් පිළිබඳ මෙම සමුළුවේ දී ලෝකවාසී සියලු පර්යේෂකයන්ගේ මෙන්ම විද්වතුන්ගේ ප්‍රමුඛ අවධානයක් යොමු වනු ඇති බව තමා විශ්වාස කරන බවයි.

නිවර්තන ජීව විද්‍යා හා සංරක්ෂණ සංගමය 13 වන වරටත් පවත්වන ආසියා -පැසිපික් සම්මේලනයේ රැස්වීම ශ්‍රී ලංකාවේ දී පළමු වරට අද සිට 13 වන දා දක්වා පැවැත්වෙන අතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කොළඹ විශ්වවිද්‍යාලය සහ සබරගමුව විශ්වවිද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්බන්ධීකරණයෙන් එය සංවිධානය කරනු ලබයි.

ජනාධිපතිතුමා අතින් සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද සිදු විය.

සම්මේලනයට අදාළ වැඩසටහන් නිබන්ධනය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියන්න, තිලංග සුමතිපාල යන මහත්වරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් ද, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිවර්තන ජීව විද්‍යා සහ සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා – ශාන්තිකර සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිතුමා කළ කතාව  2019.09.10 තුල්හිරිය මාර්ස් ඇතීනා ශාලාව

අද මේ වැදගත් සමුළුව ආරම්භ කරන අවස්ථාවේ ඔබ සමඟ එක් වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා . ඒ වාගේම 2019 වසරේ මේ ආසියා ශාන්තිකර සමුළුව ශ්‍රී ලංකාවේ අපේ රටේ පැවැත්වීම පිළිබඳව ද ඉමහත් සතුටට පත්වෙමින් මේ සමුළුවේ නායකත්වය ගෙන සිටින මේ සංවිධානයේ සාමාජිකත්වය ගෙන සිටින ඒ සෑම කෙනෙකුටම මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා.

පරිසරය පිළිබඳව කතා කරන විට, මේ සමුළුවට සහභාගි වීමට ඔබ පැමිණ සිටින්නේ ලෝකයේ තිබෙන ඉතාමත් ලස්සන, සුන්දර පරිසරයේ ඉහළම අගයක් තිබෙන රටක් වූ මාගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවටයි. මාගේ රට මා දකින්නේ එකම උද්‍යනයක් විදිහටයි. මාගේ රටේ උතුරේ සිට දකුණටත්, දකුණේ සිට උතුරටත්, නැඟෙනහිර සිට බටහිරටත් ඒ කුමන දිශාවකට ගියත්, ඉතාමත් සුන්දර රමණීය රටක්, පරිසර සම්පත් ඉහළම මට්ටමින් තිබෙනවා.

පරිසර සංරක්ෂණය විශේෂයෙන් ම එහි වැදගත්කම ගැන දේශපාලඥයන්ට, බොහෝ විද්වතුන්ට හැඟීමක් ඇති වූයේ පසුගිය දශක තුනකට වඩා අඩු කාලයක් තුළයි. ඊට පෙර ලෝකයේ කාර්මිකරණයත් සමඟ තාක්ෂණයක් සමඟ පරිසරය සංරක්ෂණය කරන්න, ස්වාභාවික සම්පත් රකින්න, පරිසරයේ සුන්දරත්වය රකින්න දේශපාලඥයන්ට පමණක් නොවෙයි බොහෝ විද්‍යාඥයන්ටත් උවමනාවක් තිබුණ් නෑ.

එහෙත් මිනිසා ප්‍රමුඛව සියලු සත්ත්වයාට හුස්ම ගන්න බැරි වන විට ජීවත් වෙන්න හුස්ම ඉහළ පහළ ගන්න බැරි තත්වයක් ඇති වන විට තමයි පරිසරය පිළිබඳ බොහෝ අය සොයන්න පටන් ගත්තේ. ඒ නිසා ලෝකයේ ඉහළම සංවර්ධනයක් තිබෙන ධනවත් පොහොසත් අධි තාක්ෂණය තිබෙන රටවල්වල ඔක්සිජන් බැග් එක කරේ දාගෙන නහයට වයර් හයි කරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. මාගේ අත්දැකීම අනුව මම හිතනවා ශ්‍රී ලංකාව වාගේම ලෝකයේ බොහෝ රටවල්වල පරිසරය විනාශ කරන්නේ මට පෙනෙනෙ විදිහට දේශපාලන බලය තිබෙන ජාවාරම්කරුවන් ව්‍යාපාරිකයන්.

මම මීට අවුරුදු හතරහමාරකට පෙර මේ රටේ ජනාධිපතිවරයා විදිහට පත් වුණ අවස්ථාවේ දී මා බලයට පත් කළ සංවිධාන වල නායකයන් මගෙන් විමසා සිටියා ජනාධිපතිධුරය හැර ඔබට තව අමාත්‍යංශ දෙකක් භාර ගන්න පුළුවන්ද, ඔබ කැමති අමාත්‍යාංශ මොනවාද කියලා. බොහෝ ජනාධිපතිවරු කියන්නේ තමාට අවශ්‍ය මුදල් අමාත්‍යාංශය කියලයි. බොහෝ ජනාධිපතිවරු කියන්නේ තමාට අවශ්‍ය අමාත්‍යාංශ වාණිජ්‍ය වටිනාකම් වලින් පිරුණු ව්‍යාපාරික ක්ෂේත්‍රයට අයත් ඒවා බවයි. එහෙත් මා කියා සිටියේ මට අවශ්‍ය පරිසර අමාත්‍යාංශය කියලයි. මම එසේ කිව්වේ මාගේ රටේ පරිසරය විනාශ වීම මා බොහෝ සේ අත්දැකපු නිසයි. පරිසරය විනාශ කරන්න දේශපාලඥයන් නායකත්වය ගත්ත නිසයි. දූෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, දූෂිත රාජ්‍ය නිලධාරීන් පරිසරය විනාශ කිරීමෙන් නායකත්වය ගන්නවා මම දන්න විදියට. ඒ නිසා පරිසර සංරක්ෂණය, ජෛව විවිධත්වය, මේ සියල්ල රැකීම, ආරක්ෂා කිරීම, සංරක්ෂණය, පෝෂණය, සුරක්ෂිත කිරීම ඒ සියල්ල සඳහා අපි කැපවිය යුතු වෙනවා.

තිරසර මානව සමාජයක පැවැත්ම තහවුරු කිරීම සඳහා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. මෙහි අරමුණ පවතින සම්පත් භාවිතයට නොගැනීම හෝ හුදෙක් අනාගතය වෙනුවෙන් ඉතිරි කොට තැබීම නොව අප අවට පරිසරය ඇති සම්පත් මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරමින් මිනිසා හා පරිසරය අතර තුල්‍යතාවය පවත්වාගෙන යෑමයි.

ලෝක තිරසර පරිසර කළමනාකරණ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ආසියා ශාන්තිකර කලාපයේ නිවර්තන රටවල වෙසෙන අප සැම ගේම උර මතට පැටවී තිබෙනවා. මන්ද යත් ජෛව විවිධත්වයෙන් අනූන වූ ආවේණික හා ඒකදේශීය අතිවිශාල ශාක හා සත්ත්ව ප්‍රජාවක් අප සතුව පවතින නිසා. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් බැවින්, බොහෝ පාරසරික ක්‍රියාවලීන් ආශ්‍රිතව අන්තර්ජාතික අවධානය නිතැතින්ම යොමු වීමට හේතු වෙනවා.

අප රට බොහෝ පර්යේෂණ අවස්ථාවන්ට තෝතැන්නක් මෙන් ම සංරක්ෂණ කාර්යයන් සඳහා අන්තජාතික වශයෙන් සහය ලැබීමට ද අප රට මනා පිටිවහලක්. රජයක් වශයෙන් රට තුළ සිදු වන ජීවී විශේෂවල හායනය වළක්වා තිරසර භූමි සංවර්ධන ක්‍රමවේද ශාක හා සත්ව, වාසස්ථාන සංරක්ෂණය හා පෝෂණය ආදී ක්‍රියාමාර්ග මඟින් අප රටේ ජෛව විවිධත්වය ස්ථායි මට්ටමකට ගෙන ඒම සඳහා ක්‍රියාමාර්ග ගැනීම කාලීන ලෙස අතිශයින් වැදගත් වෙනවා. මේ සඳහා අදාළ ආයතන හා සාමාන්‍ය රටවැසියා තුළ මෙන්ම මහජන නියෝජිතයන්, අතර ද වඩා යහපත් ආකල්පවලින් සපිරි කතිකාවතක් ඇති විය යුතු තිබෙනවා. හුදෙකලා වූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වන වගා කිරීම මඟින් එම හුදෙකලා වනාන්තර කොටස් සම්බන්ධ වී ශාක හා සත්ත්ව ප්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු වන බව මගේ විශ්වාසයයි.

එමෙන්ම පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණය කොට ආවේණික හා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැකගැනීම හෙට දවස වෙනුවෙන් අප උරමත පැටවී ඇති වගකීම් ඉටු කිරීමත්, අවශ්‍ය වෙනවා. මේ වන විටත් ලෝකයේ නිවර්තන කලාපීය රටවල්වල ජෛව විවිධත්වය පිළිබඳ ප්‍රබල කතිකාවතක් ගොඩනැඟී තිබෙනවා. එබැවින් ආසියා ශාන්තිකර කලාපයේ නිවර්තන ජෛව සංරක්ෂණය උදෙසා දෙස් විදෙස් විද්වතුන් සමන්විත සමුළුවක් අප රට තුළ පැවැත්වීමට ලැබීම අප ලැබූ මහඟු විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි මා සලකන්නේ.

එමෙන්ම එය ලාංකීක විද්වත් ප්‍රජාව වෙත ලැබුණු වටිනා අවස්ථාවක් කියලා මා විශ්වාස කරනවා. ජෛව පද්ධති සඳහා නිසි වටිනාකම් ලබා දීමට අප රජය මඟින් ගෙන යන වැඩපිළිවෙළ තවත් ඔප්නැංවීම සඳහා මේ ජාත්‍යන්තර සමුළුව ඉමහත් සේවයක් ලබා දෙන බව මගේ විශ්වාසයයි. ජාතික වශයෙන් ජෛව පද්ධතිය පිළිබඳ ඇගැයීම කොට නිසි වටිනාකමක් ලබා දීමටත්, සංවර්ධන ක්‍රියාවලීින් අනෙකුත් පරිසර පද්ධති හා මානව ප්‍රජාව ගැටෙන අවස්ථාවන්හි දී පාරිසරික සංරක්ෂණයට මුල් තැනක් ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අපට මෙහි දී හැකියාවක් ඇති බව මාගේ විශ්වාසයයි. ජෛව විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් එක් වී මෙලෙස ඇප කැප වන සහෘද ලෝකවාසීන් සියලුම පර්යේෂණයන්ටත්, පර්යේෂකයන්ටත් පරිසරය සංරක්ෂණය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කරන අප රටේ පරිසරවේදීන් හා සංරක්ෂණවේදීන්ටත්, මම ස්තුතිවන්ත වෙනවා.

අලි මිනිස් ගැටුම පිළිබඳව මා ඔබට යමක් කිව යුතුයි. ලංකාවේ ආහාර නිෂ්පාදනයෙන් කෘෂිකර්ම නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සතුන් විනාශ කරනවා. රටේ මිනිසුන්ට කන්න තියෙන දේවල් සතුන්ට කන්න දීලා බඩගින්නේ මිනිසුන් ඉන්න රටක් මේක. මම දන්නේ නැහැ එහෙම රටවල් ලෝකයේ තියෙනවාද කියලා. ආහාර වැඩියෙන්ම විනාශ කරන්නේ වඳුරන්, රිලවුන්, ඌරන්, වල් අලි වැනි සතුන්. මේ රට පොහොසත් රටක් නෙවෙයි දුප්පත්ම රටකුත් නෙවෙයි. මධ්‍ය ආදායම් ලබන රටක්. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව යන ආයතනවල නියෝජිතයන් පසුගිය දිනක මා හමුවී ප්‍රකාශ කළා ලබන වසරේ සිට අපේ රට ලෝකයේ ඉහළ ආදායම් ලබන රටක් විදියට නිර්දේශ කරනවා කියලා. අද මැදි ආදායම් ලබන රටක් විදියට හඳුන්වා දී හෙට ඉහළ ආදායම් ලබන විදියට හැඳින්වුවත් අපේ රටේ දුප්පත්කම හුඟක් තියෙනවා. මම ජාත්‍යන්තර පරිසර සමු`එවලට සහභාගි වී තිබෙනවා. මට හමුවෙනවා ලෝකයේ රාජ්‍ය නායකයන්, විද්‍යාඥයන්. ඒ අවස්ථාවල අපි සුහදව රටවල් අතරේ තිබෙන ප්‍රශ්න කතා කරනවා. මීට මාස තුනකට පෙර කෙන්යාවේ තිබුණු පරිසරය පිළිබඳ සමු`එවකට මම සහභාගි වුණා. එහි දී මම මට හමුවූ විද්‍යාඥයන් සමග පැවසුවා අපේ රටේ ආහාර සතුන් විසින් විනාශ කිරීම පිළිබඳව. මම ඇහුවා ඔබලාගේ රටවලත් එහෙමදත මේකට විසඳුමක් හොයා ගත්ත ද කියලා. ඒ සෑම රටකම අය දුන්නේ එක පිළිතුරක්. වැඩිපුර ඉන්න සතුන් මරලා දානවා කියලා ඒ අය මට කිව්වා. මම කිව්වා අපේ රට බෞද්ධ රටක්. ඒ නිසා අපිට සත්තු මරන්න බැහැ. ඒ නිසා මිනිසුන්ට කන්න තියෙන දේවල් සතුන්ට දීලා මිනිසුන් බඩගින්නේ ඉන්නවා කියලා. පරිසරය ආරක්ෂා කිරීම කියන්නේ මිනිසා වගේම සියලු සත්ත්වයාගේත් ආරක්ෂාවටයි. සියලු ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. අලි මිනිස් ගැටුම, සතුන්ගෙන් ආහාරවලට වන හානිය පිළිබඳවත් පරිසරවේදීන් විදියට විද්‍යාඥයන් විදියට අවශ්‍ය විසඳුම් ඔබ විසින් අපට දිය යුතුයි. ඒ මොකද අපි විද්‍යාඥයන් නෙවෙයි දේශපාලනඥයන් නිසා. අපි කොහොමද අපේ ආහාර ටික බේරා ගන්නේ. අපි කොහොමද අපේ ආහාර ටික බේරාගන්නේ. අලි මිනිස් ගැටුමට මම දන්නේ නැහැ ලෝකයේ කොහෙවත් විසඳුමක් ලැබිලා තියෙනවාද කියලා.

කෙසේ වෙතත් පරිසර සංරක්ෂණය කියන්නේ අපිට තිබෙන පු`එල් වගකීමක්. ඒ වගේම අපිට තිබෙන ප්‍රශ්නවලට විසඳුම් දීමත් ඔබේ වගකීමක්. මේ සමු`එව මගින් අපිට තිබෙන ප්‍රශ්නවලට විසඳුම් යම් ආකාරයකට හෝ සාකච්ඡාවට භාජනය වනු ඇතැයි කියලා මා විශ්වාස කරනවා. මට මේ සමු`එවට ආරාධනා කිරීම පිළිබඳව නැවතත් ස්තුතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා.

 

Share This Post

NEW