මෙරට සන්නිවේදනයේ නව පරිවර්තනයක් සනිටුහන් කරමින් නෙලුම් කුලුන ජාතියට දායාද කෙරේ

මෙරට සන්නිවේදනයේ නව පරිවර්තනයක් සනිටුහන් කරමින් නෙලුම් කුලුන ජාතියට දායාද කෙරේ

ජාතික සම්පතක් ලෙස මෙය රැක ගැනීමත්, රට හමුවේ ඇති අභියෝගයත් තේරුම්ගෙන කටයුතු කළ යුතුයි – ජනපති පවසයි.

නෙලුම් කුලුනේ පරිපාලනය රාජ්‍ය සමාගමක් යටතට

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උස ම කුලුන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලුන ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම ශ්‍රී ලාංකීය සන්නිවේදනයේ නව පරිවර්තනයක් මෙන් ම ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් බවයි.

ජාතික සම්පතක්, සන්නිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඓතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටු වනවා සේ ම, ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලයන 19 ක් වූ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීන EXIM බැංකුව රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණයක් සැපයීමට එකඟ වී තිබුණි. මෙකී ඉදිකිරීම සඳහා 2012-01-03 වන දින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ඇතිකර ගත් අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන් ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවන අතර සිදුකළ විමර්ශනවල දී එම සමාගම ව්‍යාජ එකක් බව ද අනාවරණය වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයක ම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළ ව ද ශ්‍රී ලංකාව එකී ණය වාරිකය වන රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයට ම වාර්ෂික ව ගෙවීමට සිදු ව ඇත. එමෙන් ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල් කෝටි 120ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ. එමෙන්ම නෙලුම් කුලුනේ ඉදිරි ඉදිකිරීම් සඳහා තවත් රුපියල් කෝටි 300ක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මහජන මුදලින් ඉදිකෙරුණු මෙම සම්පත ආරක්ෂා කර ගැනීමේ වගකීම ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා කියා සිටියේ නෙලුම් කුලුනේ ඉදිරි ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් එය රාජ්‍ය සමාගමක් බවට පත්කිරීමට කටයුතු කරන බවයි.ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර පෞද්ගලික සමාගමක ස්වරූපයෙන් කටයුතු කරන රාජ්‍ය සමාගමක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අද දිනයේ විවෘත කෙරුණු නෙථම් කුලුනෙහි පාදමේ විශ්කම්භය මීටර් 45න් යුතු වන අතර, මීටර් 356 ක උසකින් යුක්තය. කුලුනේ ප්‍රධාන අංගය සන්නිවේදනය වන අතර කුලුනේ ඉහළ ඉදිකර ඇති ඇන්ටනා ආවරණයේ මුළු දිග මීටර් 90ක් පමණ වේ. එම ඩිජිටල් ඇන්ටනාව උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60 සහ නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කෙරේ. මින් රූපවාහිනී සමාගම් 20 ක් ගුවන් විදුලි එෆ්.එම්. විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සමත් වේ.

මෙම කුලුන ඉදිකිරීමේ මූලික සැලසුම් 2008 වසරේ දී සැකසෙන අතර 2012 දී එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් ලැබිණි.ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට් තාක්ෂණය, උස් ගොඩනැගිලි කම්පන අධ්‍යාපන විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා සහිත ශ්‍රී ලාංකීය විද්වතුන්, ඉංජිනේරුවන් 70ක වඩා මේ සඳහා දායක වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු සිසු සිසුවියන් සිය ගණනකට ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අනගි අවස්ථාවක් ද මේ හරහා උදා කෙරේ.

නෙලුම් කුලුන ජාතියට දායාද කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

නෙලුම් කුලුනට අදාළ වෙබ් අඩිවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ජනාධිපතිතුමා චීන නියෝජිත පිරිස අතර සමරු තිළිණ හුවමාරුකර ගැනීම ද සිදු විය.

කථානායක කරූ ජයසුරිය මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැතිඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ සභාපති, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, චීන තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ නෙළුම් කුලුන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
2019.09.16 වන දින

අපේ රටේ විශේෂයෙන්ම මේ යුගය තුළ ගොඩනැඟිලි තාක්ෂණයේ නව පරිවර්තනයක් වගේම නව යුගයක උදාවක් ඇති කරන මේ කොළඹ නෙළුම් කුලුන අද සිට විවෘත කරලා ජනතා අයිතියට පත් කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ගොඩනැඟිලි තාක්ෂණයේ නව පිම්මක් වගේම මේ නෙළුම් කුලුන සන්නිවේදන තාක්ෂණයේ නව පිම්මක්. විශේෂයෙන්ම තාක්ෂණික වශයෙන් ලෝකයේ පරිවර්තනයන් වේගයෙන් සිදුවන යුගයක අපේ රටෙත් මේ නව ඉදිකිරීම නව පරිවර්තනයක් ඇති කරනවා කියලයි මම විශ්වාස කරන්නේ.

මෙම නෙළුම් කුලුන අපේ රටේ සංචාරක ව්‍යාපාරය තුළ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් තවත් වැදගත් පියවරක්. අනුරාධපුර යුගය පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගය දක්වා වාරි තාක්ෂණය. ගොඩනැඟිලි තාක්ෂණය, ඒ විවිධ ක්ෂේත්‍ර හරහා ගොඩනැඟුණු ප්‍රතිමා නිර්මාණය මෙවැනි විශිෂ්ට තාක්ෂණික නිර්මාණයන් පිළිබඳව උරුමයක් තිබෙන රටක්. ඒ වගේම කොළඹ නෙළුම් කුලුන ශ්‍රී ලංකාව ලැබූ තාක්ෂණික ජයග්‍රහණයක් විදියටයි මම සලකන්නේ. ඒ නිසා දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා කොළඹ නෙළුම් කුලුන වැදගත් ස්ථානයක් බවට පත් වනවාට කිසිදු සැකයක් නැහැ.

ඒ වගේම මේ කුලුනේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නැහැ. නමුත් අපි විවෘත කිරීමට තීරණය කළේ දැනට අවසන් කර ඇති ප්‍රමාණය තුළ එය විවෘත කිරීමට හැකියාවක් තිබෙන නිසයි. ඉතිරි සම්පූර්ණ ප්‍රමාණය සකස් කරලා වැඩ අවසන් කරලා විවෘත කිරීම සඳහා තව යම් කාලසීමාවක් ගත වෙනවා වගේම තව සෑහෙන මුදලකුත් අවශ්‍ය වෙනවා. මේ තත්ත්වයට මේ ගොඩනැඟිල්ල ගෙන ඒමට වසර 07 ක කාලයක් ගත වී තිබෙනවා.

2012 තමයි මෙහි වැඩ ආරම්භ කරලා තිබෙන්නේ. මේ ගෙවී ගිය වසර 07 ක කාලය තුළ මේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුවුණා. මේ ගොඩනැඟිල්ල පරිත්‍යාගයක් නෙවෙයි ණය මුදලක් ලබාගෙන සිදුකරන ලද ගොඩනැගිල්ලක්. මේ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ මුදල චීනයේ එක්සින් බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබා ගත් විශාල මුදලක්. මේ විශාල ණය මුදල සමඟ මේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා 2012 දි එවකට අපේම රජය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. ඒ ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, චීනයේ එක්සිම් බැංකුව ඒවගේම චීනයේ සමාගම් දෙකක් අත්සන් කර තිබෙනවා. ඒ ණය ගිවිසුම තුළ මේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට එකඟ වී තිබෙන මුදල රුපියල් බිලියන් 16 ක්. රුපියල් කෝටි 1600 ක්. ඒ මුදලෙන් අපිට ලැබුණේ බිලියන් 12 යි. කෝටි 1200 යි. 2017 දි ඉතිරි ගෙවීම් නැවතුණා. චීන එක්සිම් බැංකුව 2017 දි බිලියන් 12 කින් ණය මුදල නැවතුණා. ඉතිරි මුදල දීම වැළැකුණා.

මේ ගොඩනැඟිල්ල අපිට ලැබුණු ජාතික සම්පත්. තාක්ෂණයේ සහ සන්නිවේදනයේ නව පරිවර්තනයක්. ඒ සියල්ලෙහිම ඓතිහාසික කාර්යයක වැදගත්කම පිළිබඳව සතුටු වෙනවා වගේම තවත් කිව යුතුම දෙයක් තිබෙනවා. ඒ තමයි 2012 දි මේ ගොඩනැඟිල්ලේ වැඩ ආරම්භ කරන්න ශ්‍රී ලංකා රජය කෝටි 200 ක් රුපියල් බිලියන් 02 ක් අත්තිකාරම් වශයෙන් ගෙවලා තිබෙනවා. ඒ ගෙවලා තිබෙන්නේ චීනයේ ඇලිත් කියන සමාගමට. 2016 වන විට ඇලිත් සමාගම අතුරුදන් වුණා. ඇලිත් සමාගමට වුණු දෙයක් නැතිව ගියා. ශ්‍රී ලංකා රජය දුන්න රුපියල් කෝටි 200 ක මුදලත් ආගිය අතක් නැතිව ගියා. ඒ රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල ගෙවලා තිබෙන්නේ 2012 දි.

අපි මේ ගැන දැන ගත්තට පස්සේ මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළා. චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහත්මයට මම පුද්ගලිකව වගේම නිල වශයෙන් දැනුම් දුන්නා මේ ඇලිත් කියන සමාගම හොයලා දෙන්න කියලා. ඒ මොකද කලින් ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ අත්සන් කළ සමාගමක්. නමුත් අතුරුදන් වුණාට පස්සේ ඇලිත් කියලා එවැනි සමාගමක් ලෝකේ කොහෙවත් නැහැ. එවකට සිටි අපේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමාටත් අපි දැනුම් දුන්නා. චීනයේ සිටින අපේ තානාපතිතුමාටත් දැනුම් දුන්නා. මම කරුණාසේන කොඩිතුවක්කු මහත්මයට කිව්වා ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් කරලා තිබුණු ඇලිත් සමාගමේ ලිපිනය බීජිං නගරයේ ලිපිනයක්. ඒ නිසා චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයටත් දන්වලා මේ ගැන පෞද්ගලිකව සොයලා බලන්න මේ ලිපිනය තිබෙන ස්ථානයට ගිහින් බලන්න කියලා මම කිව්වා. අපේ තානාපතිතුමා ඒ ස්ථානය බලන්න ගියා. ඒ ලිපිනයේ එහෙම සමාගමක් නැහැ. එතකොට අත්තිකාරමට වුණු දෙයක් නැහැ. සමාගමත් නැහැ. ඒ තත්ත්වය උඩ තමයි චීනයේ එක්සිම් බැංකුව බිලියන් 16 ක ණය මුදලින් බිලියන් 12 කින් නැවතුණේ. ඊටපස්සේ අපට සිදු වුණා අපේ සල්ලිවලින් මේ කුලුන හදන්න. මේ රටේ ජනතාවගේ සල්ලිවලින්. මේ මුළු කුලුනම හදලා තිබෙන්නේ මේ රටේ ජනතාවගේ සල්ලිවලින් තමයි. මොකද මේ ලැබුණු රුපියල් බිලියන 12 ත් ණය. අපි අවුරුද්දකට රුපියල් බිලියන 2400 ක් එක්සිම් බැංකුවට ගෙවන්න ඕනෑ. වසර 10 ක්. අපි 2018 මිලියන් 2400 ක් ගෙව්වා ඒ අවුරුද්දේ ගෙවිය යුතු ණය මුදල. රුපියල් කෝටි 240 ක් අපි ගෙවලා තිබෙනවා. 2019 මේ අවුරුද්දේ මේ වන විට මිලියන් 1200 ක් ගෙවලා තිබෙනවා. කෝටි 120 ක් ගෙවලා තිබෙනවා. එතකොට වසරකට කෝටි 240 ක් නැත්නම් මිලියන 2400 බැගින් වසර 10 ක් මේ ණය මුදල අපිට ගෙවන්න තිබෙනවා.

ඒවගේම මෙහි තිබෙන ඉතිරි වැඩ අවසන් කරන්න අපිට තව මිලියන් 3000 ක් නැත්නම් කෝටි 300 ක් අවශ්‍ය වෙනවා.
පසුගිය වසර 05 කට ආසන්න කාලය තුළ මගේ අත්දැකීම තමයි මාස 02 කට 03 කට සැරයක් භාණ්ඩාගාරයට සල්ලි දෙන්නේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව. ඔබ දන්නවා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට විශාල ආදායමක් තිබෙනවා. ඒ ආදායමෙන් තමයි සල්ලි ගෙවන්නේ. රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කිව්වම අපි තමයි සල්ලි දෙන්නේ. ඉතින් මේ සල්ලි මේ රටේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න තිබෙන සල්ලි. මේ රටේ සංවර්ධනයට තිබෙන සල්ලි. රෝගීන්ට බෙහෙත් ගන්න ළමයින්ට ඩෙස් පුටු ගන්න තිබෙන සල්ලිවලින් තමයි මේ ගොඩනැඟිල්ල හදලා තිබෙන්නේ. ඒ නිසා අපිට ඉතිරි වැඩ කරන්න තව රුපියල් කෝටි 300 ක් අවශ්‍යය යි. ඉතිරි කාලය තුළ ඒ වැඩකටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ තත්ත්වය පැහැදිලි කළේ මේ දකින සුන්දරත්වය වගේම අපිට තිබෙන අභියෝගත් අප විසින් තේරුම් ගත යුතු නිසා. ඒ පසුබිම කෙසේ වෙතත් මම ඉතාමත් සතුටු වෙනවා මේ වගේ නව නිර්මාණයක් මම පෙර කී පරිදි සන්නිවේදනයේ නව පරිවර්තනයක් සිදුකිරීමට ලැබීම පිළිබඳව. මේ ගොඩනැඟිල්ල ඉදි කිරීමේදී මොරටුව විශ්වවිද්‍යාලය තමයි උපදේශන සේවාවන්වල සිටියේ. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමාලා උපදේශන සේවාවේ කටයුතු කළා. ඒවගේම පසුගිය වසර කිහිපය තුළ තාක්ෂණික ඉංජිනේරු සේවාවල විශ්වවිද්‍යාල සිසුන්ට මේ මඟින් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගන්නට වගේම නව දැනුම ලබාගන්නට අවස්ථාව ලැබුණා. ඒ නිසා අපට ලැබුණු සම්පත අපි ආරක්ෂා කර ගන්නට ඕනෑ. හොඳින් නඩත්තු කරන්න ඕනෑ.

ඒවගේම අපි මුදල් අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගත්තා මෙය රාජ්‍ය සමාගමක් බවට පත් කරන්න. රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමේ අනුමැතිය අපිට පසුගිය දවස්වල ලැබුණා. ඒ අනුව ඉදිරි සති දෙකක පමණ කාලය තුළ ඒ සමාගම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කරලා මෙය පෞද්ගලික සමාගමක ස්වරූපයට කටයුතු කරන රාජ්‍ය සමාගමක් බිහි කිරීමේ කාර්යය අපි කරනවා. මේ ගොඩනැඟිල්ලේ තිබිය යුතු අනෙකුත් අලංකාර දේවල් වෙළෙඳසැල්, සාප්පු, අවන්හල් ඉදිරියේදි විවෘත කරන්න තිබෙනවා. ඒ සඳහා කටයුතු කළ යුත්තේ අමාත්‍ය මණ්ඩල එකඟතාවය අනුව බිහිවන සමාගම විසින්. එම සමාගම විසින් ටෙන්ඩර් කැඳවලා ඒ ආයතන පිහිටුවීම ඉදිරියේදි සිදු කරනවා.

මෙය අපේ රටට ලැබුණු ජාතික සම්පතක්. තාක්ෂණයේ සහ සන්නිවේදනයේ නව පියවරක්. මෙය ජනතා අයිතියට පත් කිරීමට ලැබීම පිළිබඳ නැවත නැවතත් සතුටු වෙනවා. ඒවගේම මේ සඳහා චීන එක්සිම් බැංකුව ලබාදුන් ණය මුදලට චීන රජයටත් එක්සිම් බැංකුවටත් අපි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිකිරීම් කළ මේ දක්වා අප සමඟ සිටින ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් කළ අනෙක් සමාගම මේ දක්වාම විශාල කැපවීමකින් ක්‍රියා කළා. ඒ අයටත් අපි ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමාලා උපදේශන කාර්යයේදි දුන් තාක්ෂණික සහයෝගය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයටත් මාගේ ස්තූතිය පළ කරමින් මේ සඳහා සහයෝගය දුන් සියලුම ආයතන, සංවිධාන, පුද්ගලයන් ඒ සෑම කෙනෙකුටම රජය වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. මේ තාක්ෂණික කුලුන ජනතා අයිතියට පත් කිරීම තුළ ඒ සේවාවන් සියලුදෙනාටම වඩාත් සුවපහසු විදියට සැලැසේවායි කියලා ආශිර්වාද කරමින් මගේ කතාව අවසන් කරනවා.

තෙරුවන් සරණයි.

Share This Post

NEW