ජනපති දියසෙන්පුර ජනහමුවේ

ජනපති දියසෙන්පුර ජනහමුවේ
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දියසෙන්පුර අද(11) ජනහමුවක් පැවැත්විණ. 
 
ජනාධිපතිතුමා පැමිණ සිටි ජනතාව ඇමතූ අයුරු. 
 
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 
 
මැදිරිගිරිය, දියසෙන්පුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිතුමා කළ කතාව ( 2018-01-11)

මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ දී දීර්ඝ කාලයක සිට හඳුනන ඔබ සැම හමුවීමට ලැබීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. ලබන මස පැවැත්වෙන ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී අපි පැහැදිලිවම තීන්දු කරා අත ලකුණෙන් පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ තරග කරමු කියා.

මෙතන සිටින බොහෝ පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛව බුලත් කොළයට පසුගිය ඡන්ද ගණනාවක දී ඡන්දය භාවිතා කළා. ඒ වගේම මෙතන ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණට ඡන්දය පාවිච්චි කළ අය. මම පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා මේ රටේ ජනතාව මාව ජයග‍්‍රහණය කරවනු ලැබුවා. මම එදා ඉදිරිපත් වුණේ හංසයා ලකුණෙන් කියලා තමුන්නාන්සේලා දන්නවා. මේ මැතිවරණය ඉතා පැහැදිලිවම ගම හදන ගමට සුදුසු නියෝජිතයෙක් පත්කරගන්න තිබෙන මැතිවරණයක්. මේක ආණ්ඩු හදන ආණ්ඩු පෙරළන මැතිවරණයක් නෙවෙයි. දේශපාලන වේදිකාව තුළ නොයෙක් දේවල් කියන්න පුළුවන්. නොයෙක් දේවල් ඇසෙන්නට පුළුවන්. මේ මැතිවරණයේ දී තමුන්නාන්සේලාට ඉතාම හිතවත් ගමේ නියෝජිතයෙක් ගමේ සංවර්ධන කටයුතුවලට පාර හදන්න, බෝක්කු හදන්න, පන්සලේ වැඩ කටයුතුවලට, විදුලිය ප‍්‍රශ්නවලට, පානීය ජල ප‍්‍රශ්නය විසඳාගන්න තමයි මේ පත්වෙන නියෝජිතයාගේ වගකීම වෙන්නේ.

ලංකාවේ කොට්ඨාස ඡන්ද ක‍්‍රමය, ගම් සභා ඡන්ද ක‍්‍රම තිබුණේ මිට වසර 49 කට පෙරයි. 1969 දී. ඒකාලේ මම වයස 17, 18ක පාසල් සිසුවෙක්. මම ඒ වයසෙදීත් අපේ ගමෙන් ඡන්දේ ඉල්ලපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට ඡන්දය අරන් දෙන්න ගමේ ගෙවල් ගානේ ගියා. අද මේ මැතිවරණය ආණ්ඩුව තුළ බොහෝ සාකච්ඡාවට සංවාදයට ලක් වුණා පසුගිය අවුරුද්දක් දෙකක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු දෙනා එක මතයක සිටියා පැරණි මනාප ඡන්ද ක‍්‍රමයට මේ මැතිවරණයත් පැවැත්විය යුතුයි කියලා. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළත් ඇමති මණ්ඩලය තුළත් පැහැදිලිව කිව්වා මනාප ඡන්ද ක‍්‍රමයට යන්න බැහැ එයින් සමාජය විනාශ වුණා දූෂණය වුණා . ඒ නිසා ගුණ යහපත් ජනතාව කියන දේ අහන නියෝජිතයින් පත්කරගන්න නම් කොට්ඨාස ඡන්ද ක‍්‍රමයට යා යුතුයි කියලා. අවසානයේ අපි දිනුවා. ඒ මේ මැතිවරණයේ පළවෙනි ජයග‍්‍රහණය වසර 49 කට පස්සේ ගමට මන්ත‍්‍රීවරයෙක් කොට්ඨාසයට මන්ත‍්‍රීවරයෙක් පත්කරන මේ ඡන්ද ක‍්‍රමය ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා. මේක තමුන්නාන්සේලාගේ ජයග‍්‍රහණයක්.

මනාප ඡන්ද ක‍්‍රමය තිබෙන විට ප‍්‍රාදේශීය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට පත්වෙන අය කටයුතු කරන්නේ ගම අමතක කරලා. ගමේ ඡන්ද තිබුණත් එකයි නැතත් එකයි කියලා කොහේ හරි දුවලා ඡන්ද ටිකක් එකතුකරලා දිනනවා. ඒකෙන් ගම අමතක වෙනවා. පාර්ලිමේන්තුවට යන සමහර අය පළවෙනි සැරේ පාර්ලිමේන්තු ගිහින් ඊළඟ වතාවේ පරදිනවා. ඒකට හේතුව පළවෙනි සැරේ දිනුවට පස්සේ ඒ අය කොළඹට වෙලා ඉන්නවා. ගමට යන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ ඡන්දවලින් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ මා වසර 27 ක් එක දිගට පාර්ලිමේන්තුවේ හිටියා. සෑම මැතිවරණයකදීම පොළොන්නරු ජනතාව මා එක්ක හිටියා. මාව ජයග‍්‍රහණය කෙරෙව්වා. මේ රටේ ජනාධිපති ධුරයට පත්වු සියලු දෙනා ජනාධිපති වෙන්න කලින් අගමැති වෙලා හිටියා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වෙලා හිටියා. නමුත් මේ රටේ ජනතාවගේ ඡන්දය නිසා මම විතරයි මේ රටේ ජනාධිපතිවරුන් අතරේ විපක්ෂනායක වෙන්නේ නැතුව, අගමැති වෙන්නේ නැතිව, ඇමතිකමින් කෙළින්ම ජනාධිපති වූ පුද්ගලයා. ඒ විදියට මම තමුන්නාන්සේලා ප‍්‍රමුඛ මේ රටේ ජනතාවගේ හිත දිනාගෙන තිබුණා.

කෘෂිකර්ම ඇමති කාලේ සෞඛ්‍ය ඇමති කාලේ මට කරන්න පුළුවන් වැඩ කොටස් අවංකව රට වෙනුවෙන් කළා. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ 89 පෙබරවාරි 15 මැතිවරණයේ දී මහා භීෂණ යුගයක් තිබුණේ. ඒ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරලා විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් විදියට පළවෙනි වසර 06 තුළ වැඩකරන විට මේ මැදිරිගිරිය ප‍්‍රදේශය මම අමතක කළේ නැහැ. මම මේ රැස්වීමට එන්න පෙර දියසෙන්පුර ප‍්‍රදේශයේ රැස්වීමකට ගිහින් ආවේ. ඒ රැස්වීමේ දී පාසල් දරුවෙක් ඇවිත් මට ලිපියක් දුන්නා පරිපාලන ගොඩනැගිල්ලක් ඕනෑ කියලා. මම බැලුවා පාසල කුමක්ද කියලා. ඒ කොහොඹදමන විද්‍යාලය. මම 89 පාර්ලිමේන්තුවට ගිහිල්ලා 90 වසරේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මුලින්ම පාසලකට ගොඩනැගිල්ලක් හදලා දුන්නේ කොහොඹදමන විද්‍යාලයට. ඒ කාලේ එතැන පාසලක් තිබුණේ නැහැ. විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් විදියට මගේ ප‍්‍රතිපාදන වෙන් කරලා තමයි ඒ පාසලට ගොඩනැගිල්ලක් ලබාදුන්නේ.

ඒ නිසා මම පසුගිය අවුරුදු 30 ක කාලය තුළ තමුන්නාන්සේලාට වගේම රටට පෙන්වලා තියෙනවා මට වගකීමක් දුන්නොත් මම එය කරලා තියෙනවා කියලා. මැදිරිගිරිය වගේම පොළොන්නරුව දිස්ති‍්‍රක්කය ගත් විට පසුගිය අවුරුදු 20 ක, 25 ක කාලය තුළ සංවර්ධනයේ විශාල වෙනස්කම් රාශියක් ඇති වුණා.

පසුගිය අවුරුදු තුන තුළ මා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ මම පටන් ගත්ත “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ මේ දිස්ති‍්‍රක්කයේ පාසල් 150 ක් අංග සම්පූර්ණ පාසල් බවට පත් කරලා තියෙනවා. පාසල් හැටක පමණ අලුත් ගොඩනැගිලි විවෘත කරලා තියෙනවා. මට එන්න වේලාවක් නැති නිසා මම කිව්වා මම එන්න අවශ්‍ය නැහැ විවෘත කරන්න කියලා. මේ දිස්ති‍්‍රක්කයේ ඕනෑම රෝහලක සංවර්ධන කටයුතු ඔබ දකිනවා. පොළොන්නරු මහ රෝහල, හිඟුරක්ගොඩ ද, බකමුණ ද, වැලිකන්ද ද, අරලගන්විල මේ ඕනෑම රෝහලකට ගියොත් තමුන්නාන්සේලා දකිනවා මේ දිනවල අලුත් ගොඩනැගිලිවල වැඩ අවසන් වෙලා, නව ගොඩනැගිලි ඉදි වෙනවා.

බීමට ජලය හිඟකම මේ දිස්ති‍්‍රක්කයේ ඉතාමත් උග‍්‍රයි. මේ දිස්ති‍්‍රක්කයේ පානීය ජල ප‍්‍රශ්නය විසඳන්න මේ වන විට ව්‍යාපෘති රාශියක් කි‍්‍රයාත්මක වෙනවා. ඉදිරි අවුරුද්දක්, අවුරුදු එක හමාරක කාලය තුළ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් ද රෝහල ද, පානීය ජලය ද ගම්වල පාරවල් ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු අංග සම්පූර්ණ කරන්න පුළුවන් බව පෙනෙන්නට තියනවා.

අද මැදිරිගිරිය ජාතික පාසල ද දිවුලන්කඩවල ද හිඟුරක්ගොඩ ආනන්ද බාලිකාව ද මින්නේරිය පාසල ද ඒ කවර පාසලකට ගියත් ගම් ඇතුලේ පාසල්වලට ගියත් දකින්න පුළුවන් කරන වෙනස්කම් මොනවාද කියලා. හිඟුක්ගොඩ ආනන්ද බාලිකාවට මේ වන විට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මේ ගම්වල දරුවනුත් ඒ පාසලට යනවා. මගෙන් පාසලට අවශ්‍යයි කිව්වේ පිහිනුම් තටාකයක්. දැන් එහි වැඩ කටයුතු කරගෙන යනවා. මේ දිස්ති‍්‍රක්කය ලංකාවේ සංවර්ධිත දිස්ති‍්‍රක්ක අතර පළවෙනි තැනට ගෙන ඒමයි මගේ බලාපොරොත්තුව.

මම කවදා හරි ජනාධිපතිවරයෙක් විදියට මේ තනතුරෙන් සමුගන්න දවසට මගේ හෘද සාක්ෂිය තුළ මට හිතන්න පුළුවන්කම තියන්න ඕනෑ මම ජනතාවට ණය නැහැ. මම ජනතාවට වැඩ කෙරුවා කියලා. ඒ වැඩ කරනවා වගේම මේ කාලය තුළ හොරකම, වංචාවට, නාස්තියට, දූෂණයට ඉඩ දෙන්න මට පුළුවන් කමක් නැහැ.

මෙවර පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 8 ක් තියෙනවා. අලුතින් පොළොන්නරුව නගර සභාව. ඊට කලින් හතයි. ඒ හතේ හිටපු සභාපතිවරු හත් දෙනාගෙන් මෙවර මැතිවරණයේ දී හතර දෙනෙකුට ඉල්ලන්න බැහැ. ඒ අයට ඉල්ලන්න බැරි ඒ අය මහජන දේපළ රාජ්‍ය දේපළ සම්බන්ධ වැරදි කරලා, වංචා කරලා අධිකරණයෙන් ඒ අය වැරදිකරුවන් කර තියෙන නිසා.

අපි ඒ විදියට ඒ අයට දඬුවම් දීලා තියෙනවා. මේ රටේ දුප්පත්කම වැඩි වෙන්න කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි අරක්කු සිගරැට්. ඊට වඩා ප‍්‍රධාන දෙයක් මහා පරිමාණ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඊට සම්බන්ධ වෙච්ච දූෂිත නිලධාරීන් මහජන දේපළ සම්පත් විශාල වශයෙන් ගසා කෑම.

මේ නිසා මම බරපතළ වංචා පිළිබඳ විමර්ශනයට කොමිෂන් සභාවක් දැම්මා. ඒ වගේම මහ බැංකුවේ මහා මංකොල්ලයට තව කොමිෂන් සභාවක් දැම්මා. මේ කොමිෂන් සභා දෙකේ වාර්තා පසුගියදා මට ලැබුණා. කෙනෙක් හිතන්න පුළුවන් මේක සැලසුම් කරලා කරපු දෙයක් කිියලා. එහෙම නොවෙයි මම එවැනි සැලසුමක් කරලා නැහැ. කොමිෂන් සභා දෙකේම එකම සතියේ වාර්තා එකට ආවා. ඊයේ පාර්ලිමේන්තුවේ ගහ ගත්තේ මේ කොමිෂන් සභා දෙකේ වාර්තා දෙකේ කරුණු මුල් කරගෙනයි. මේ කොමිෂන් සභා වාර්තා දෙකේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම සම්බන්ධකම් තියෙන අය පිළිබඳ සඳහන් වෙනවා.

2008 සිට 2016 අවුරුද්ද වෙනකම් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රුපියල් කෝටි දහස් ගණනක් හොරකම් කරලා තියෙනවා. ඒ නිසා තමයි ඊයේ පාර්ලිමේන්තුවේ දොගොල්ලොම ගහ ගත්තේ එක එක්කෙනාට චෝදනා කර ගත්තේ. ආණ්ඩුවේ කොටසක් විපක්ෂයේ අයට හොරු කියනවා. විපක්ෂයේ අය ආණ්ඩුවේ කොටසකට හොරු කියලා කියනවා. රටේ ජනතාව බලා ගෙන ඉන්නවා මෙතන හොරා කවුද හොරකම් නොකරපු කෙනා කවුද කියලා.

මේ රටේ මහජනයාට ඉතා පැහැදිලියි අද පක්ෂ භේදයක් නැතුව දේශපාලන බලය අරගෙන හොරකම් කරලා තියෙන්නේ කවුද? හොරු කවුද කියලා.

ඉස්සර කොළඹ නගරයේ මහ පාර දිගේ මිනිස්සු සාක්කුවේ සල්ලි දාගෙන යනකොට පික් පොකට්කාරයෝ ඒ කාලේ හුඟාක් හිටියා. දැන් නම් හුඟාක් අඩුයි. පාරේ මිනිස්සුන්ගේ සල්ලි අරගෙන දුවනවා නැත්නම් පර්ස් එක අරගෙන දුවනවා. අහිංසක අම්මලා, අක්කලාගේ නංගිලාගේ පර්ස් එක දැක්කොත් අරගෙන දුවනවා.

පර්ස් එක අයිති කෙනාත් පස්සෙන් දුවනවා මගේ සල්ලි ගත්තා. හොරා අල්ලා ගන්න කියලා. හොරාත් දුවනවා අන්න හොරෙක් කියලා මිනිස්සු දන්නේ නැහැ මේ දුවන්නේ හොරා එක්ක කියලා. පික් පොකට් ගහපු කෙනාත් දුවනවා ආන් හොරා කියලා. හොරා කවුද කියලා දන්නේ නැහැ. එයත් එක්ක දුවනවා පික් පොකට් ගහපු කෙනාත් දුවනවා. ඊයේ පාර්ලිමේන්තුවේ දැක්කෙත් එහෙම එකක් තමයි.

මේ නිසා මේ රට හදන්න නම්, රට හැදෙන්න නම් පළවෙනි දේ තමයි දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, ඊට සම්බන්ධ දූෂිත ව්‍යාපාරිකයින් කරන මේ හොරකම් වංචා අවසන් කළ යුතුයි.

මේ නිසා අපි මේ රටට හොඳ දේශපාලන සංස්කෘතියක් හඳුන්වලා දෙන්න අවශ්‍යයි. අද තමුන්නාන්සේලා රූපවාහිනියෙන්, අන්තර් ජාලයෙන් ලෝකයේ දියුණු රටවල් දැකලා තියෙනවා ඒ වගේම ඔබ කල්පනා කරනවා ඒ රටවල් කොච්චර දියුණු ද ලස්සන ද අපේ රට ඒ විදියට හදා ගන්න බැරි ඇයි කියලා.

අපේ රට අද ලස්සන රටක් බවට පත්කරගන්න බැරි මේ දේශපාලනඥයින්ගේ තිබෙන බරපතළ හොරකම්, වංචා නිසා. සිංහල රජ කාලේ ඒ තිබුණ නීති එක්ක හොඳ පාලනයක් තිබෙන කොට රාජාණ්ඩු වලට බයේ හොරකම් කෙරුවේ නැහැ. හොරකම් කෙරුවොත් රජ්ජුරුවෝ හිස ගසා දමනවා. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙනවා. නීතියක් තිබෙනවා. ස්වාධීනත්වය සමාජයට ලැබිලා ඒ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තමන්ගේ දැනුමත් එක්ක ඉතා සුළු පිරිසක් බරපතළ වංචා දූෂණවලට පාවිච්චි කරනවා. මේ රටට ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. මේ රටේ උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, විද්‍යාඥයින්ගේ හිඟයක් නැහැ. මේ රට දියුණු කරන්න සියලු දෙනා ඉන්නවා. නමුත් මේ රට දියුණු කරන්න පසුගිය වසර 25 ක 30 ක කාලය තුළ බාරගත්ත දේශපාලනඥයින් බොහෝ වැරදි කරලා තිබෙනවා.

ඩී.එස් සේනානායක මැතිතුමා, එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක වගේ නායකයින් මොනතරම් ශ්‍රේෂ්ඨ නායකයින් ද. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා 56 මැතිවරණය කළේ එතුමාගේ කොළඹ ගේ උකස් කරලා. එතුමා මැරුණට පසුව මැතිණියයි දරුවෝ තුන්දෙනයි තනි වුණාම ගේ උකසට ගත්ත කෙනා ගේ ඉල්ලුවා. ඒ වෙලාවේ සර්.ජෝන් කොතලාවල හිටපු අගමැතිතුමා තමයි මැදිහත් වෙලා එම ගැටලුව විසඳා දුන්නේ. ඒ කාලයේ නායකයින් එහෙමයි වැඩ කළේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ ආණ්ඩුවේම නීතියක් හදලා තමන්ගේ ඉඩකඩම් බෙදලා දුන්නා. ඩඩ්ලි සේනානානයක මැතිතුමාත් මොනතරම් අවංක නායකයෙක් ද. ඔහු මියයන වෙලාවේ ඔහුගේ ගිණුමේ තිබුණේ රුපියල් 460 යි. එහෙමයි දේශපාලනය කළේ ඒ කාලේ දේශපාලනඥයින්.

මම පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන පටන් ගත්තේ ගමත් නගරයත් මේ දිස්ත‍්‍රික්කයේ එක සමානව සංවර්ධනය කරන්නයි. මට මේ කරන සංවර්ධනයේදී මගේ නියෝජිතයෙක් සෑම ගමකටම අවශ්‍ය වෙනවා. මේ පත්කරන අපේක්ෂකයාට ඔබ අත ලකුණට ඡන්දය දෙන පුද්ගලයාට මම සලකන්නේ ඔබ පත්කරන මගේ නියෝජිතයෙකු ලෙසටයි. ඔහුට ගම දියුණු කරන්න, ප‍්‍රාදේශීය සභා දියුණු කරන්න ඒ අවශ්‍ය සියලු පහසුකම් මම ලබාදෙනවා.

අද පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මංතීරු 4 කින් යුතු පාරක් හැදුවා. මම චීන ජනාධිපතිතුමාට කිව්වා මට වකුගඩු රෝහලක් දෙන්න කියලා ඔහු එය අපට පරිත්‍යාග කළා. දැන් ඒ කටයුතු කෙරෙනවා. මම ඉන්දියානු අගමැතිට කිව්වා මට හොඳ පාසලක් දෙන්න කියලා. භාෂා තුනෙන්ම උගන්වන පාසලක් දුන්නා. දැන් එය පොළොන්නරු නගරයේ ඉදිකරගෙන යනවා. මේවා කරන්නේ මේ දිස්ත‍්‍රික්කයේ දරුවන්ට හා ජනතාවටයි. පාසල්වල තිබෙන තදබදය ගත්විට විශේෂයෙන්ම නගරයේ පාසල් වලට තිබෙන තරගය වළක්වන්නයි සෑම පාසලක්ම එක වගේ කරන්නයි මම මේ වැඩසටහන හදලා තියෙන්නේ. පොළොන්නරුව මහරෝහලට යා යුතු අත්‍යවශ්‍ය රෝගියෙක් හැරෙන්නට අනෙක් සියලු දෙනාට ගමෙන් ඒ වැඩටික කරගන්න තමයි ගමේ රෝහල මම දියුණු කරගෙන යන්නේ.
පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් 15 ක් තියෙනවා. ඒ පිරිවෙන් අංග සම්පූර්ණ කර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය අධ්‍යාපනය දීම සඳහා දැන් පිරිවෙන් 08 ක වැඩ ඉවරයි. මේ මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් පිරිවෙන් කිහිපයක වැඩ දැන් ඉවරයි තවත් කිහිපයක වැඩ කරගෙන යනවා. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට රාජ්‍ය නායකයෝ ආවා. ඒ සියලු දෙනා ආවා ගියා විතරයි. එහි අවශ්‍ය වෙනස්කම් කළේ නැහැ. මා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නව වෙනස්කම් සඳහා විශාල මුදලක් වැය කර තිබෙනවා. හුඟක් වැඩ දැන් නිමයි. ඒ නිසා තමුන්නාන්සේලාගේ ගමට වැඩ කරන්න මට නියෝජිතයෙක් දෙන්න.

මේ දිස්ත‍්‍රික්කය වගේම රජරට, ත‍්‍රිකුණාමලය, වව්නියාව පැත්තේ ගොවි ජනතාව වසර 50 ක් 60 ක් තිස්සේ වතුර ඉල්ලුවා. ඔවුන් කිව්වා මොරගහකන්ද ජලාශය හදලා දෙන්න කියලා. මෙය ගොවි ජනතාවගේ සිහිනයක් බවට පත්වෙලා තිබුණා. කුඹුරේ මරා ගත්තා වතුර නැතිව. වතුර බෙදා ගන්න ගිහින් ජීවිත කොච්චර නැති වෙලා තියෙනවාද පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ. කඩිනම් මහවැලිය තුළ යම් ප‍්‍රමාණයට ඒ ප‍්‍රශ්නෙ විසඳුණා. නමුත් සැබෑ ලෙස ගොවීන්ගේ අවශ්‍යතාවය වුණේ මොරගහකන්ද ජලාශයයි. 2007 ජනවාරි 25 මුල්ගල තියලා මම එදා ආණ්ඩුවෙන් වැඩ කරන්න පටන් ගත්තහම මට වසර 05 ක් යනකම් සල්ලි නොදි හිටියා. මම ජපානයෙන් මුදල් ඉල්ලා සල්ලි හොයාගෙන ආණ්ඩුවට ඉදිරිපත් කළා. මම චීන මූල්‍ය සමාගමක් එක්ක කතාකරලා ආණ්ඩුවට ඉදිරිපත් කළා. ඒ එකකටවත් මට ඉඩ දුන්නේ නැහැ. වසර 16 කට වැඩි කාලයක් ඇමතිකම් කරමින් ඉංජිනේරු මහත්වරුන් එක්ක වැඩ කළ මාව හිටපු ගමන් ඉංජිනේරු මහත්වරුන්ගෙන් අයින් කරලා දොස්තර මහත්වරුන්ට භාර දුන්නා. සෞඛ්‍ය ඇමති කෙරුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේදීත් මම අවංකව වැඩ කළා. සිගරට් වලට දාපු නීති රීති පිළිබඳ අද තමුන්නාන්සේලාවත් මාධ්‍යවත් කතාකරන්නේ නැහැ දේශපාලන වේදිකාවේ කතාකරන්නේ නැහැ මම ජනාධිපතිවෙලා මාස තුනෙන් ඖෂධ පනත සම්මත කෙරුවා. බෙහෙත් මිල කොච්චර අඩුවුණාද කියලා තමුන්නාන්සේලා දන්නවා. මීට වසරකට පෙර තිබූ පැරසිටමෝල් පෙත්ත අද කීයද. මීට වසරකට පෙර හතියට ගන්න ඉන්හේලර් එකක මිල කීයද. ඉන්හේලර් එක රුපියල් එක්දහස් ගණනකින් අඩුවෙලා තියෙනවා. හෘද සැත්කම්වලදී අවශ්‍ය ස්ටෙ‍්‍රන්ත් සම්පූර්ණයෙන් අද රජයෙන් දෙන්නේ. පිළිකා රෝගීන්ට ආණ්ඩුව ඒ කාලේ දුන්නේ ලක්ෂ 15 යි. මම ඒ දවස්වල කොච්චර ආණ්ඩුවට කිව්වද පිළිකා රෝගියෙක් ලක්ෂ 15 න් මොනව කරන්නද කියලා. නමුත් මම ජනාධිපති වූ පසු අද රෝහලකට ඇතුළත් කළ විට කරන වියදම අසීමිතයි. එක ලෙඩෙක්ට අද ලක්ෂ 150 ක් 200 ක් වැය කරනවා.

ඒ වගේ අපි ජනතා සුවයට වැඩ කරනවා. තව විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. මොරගහකන්ද ජලාශය තුළ වැවි 1600 ක් ප‍්‍රතිසංස්කරණය වෙනවා. මොරගහකන්ද ජලය අපි නිකුත් කෙරුවා. කළුගඟ ජලාශයේ වැඩ කරගෙන යනවා. කළුගඟෙන් කිලෝමිටර් 7 ක උමගයක් එනවා මොරගහකන්දට. ඒත් එක්කම මොගරහකන්ද පැත්තෙන් මෙහාට එන ඉහළ ඇළ හදනවා. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජල ප‍්‍රශ්නය විසඳන්න මොරගහකන්ද ජලාශයේ ජලය ගලේවෙල පැත්තෙන් විශාල උමගක් දිගේ රැගෙන ඒමට සැලසුම් තොට තිබෙනවා. මම දැන් දින හතරකට පෙර ඉංජිනේරුවරුන් ගෙනල්ලා ඒ කටයුතු ඉක්මන් කිරීම ගැන කතාකළා. අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කොටසක වැව් 1600 ක් ප‍්‍රතිසංස්කරණය පටන් ගන්නවා මේ වසරේ. මේ ව්‍යාපෘතිය හැරුණුවිට ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ හමුදාව යොදලා වැව් 60 ක වැඩ අවසන් කළා ඉතාම ලස්සනට. මොරගහකන්ද ජලාශයේ වතුර තමුන්නාන්සේලාට ඉදිරියේ දී එනවා. දැනුත් එනවා. වසර පතා නියඟය නිසා කවුඩුල්ල ගොවි ජනතාව පීඩා විඳිනවා. මෙය පොළොන්නරුවට පමණක් නෙවෙයි. අනුරාධපුරයේ කලාවැව, රාජාංගනය ප‍්‍රදේශවල වැව් කොටසකට විතරයි වතුර තියෙන්නේ. කොටසකට නැහැ. කුරුණෑගල ගල්ගමුව, නිකවැරටිය, යාපහුව ප‍්‍රදේශවලට වතුර නැහැ. ගම්පහ දිස්ත‍්‍රික්කයේ කටාන ප‍්‍රදේශයේ බොන්න වතුර නැහැ.

ඔබ දැනටමත් මාධ්‍ය හරහා දකින්නට ඇති ඇමරිකන් ඉතිහාසයේ වැඩිම සීතල දවස ලබන 20 වෙනිදා කියලා දැන් විද්‍යාඥයින් කියනවා. මේ වන විට ඇමෙරිකාවේ සිය ගාණක් මැරිලා තියෙනවා. අපිට නියඟය නිසා බොන්න වතුර නැහැ. එහේ සීතල නිසා මිනිස්සු මැරෙනවා. එයයි තත්ත්වය. ලෝකයේ සෑම රටකටම මේ කාලගුණික විපර්යාසයෙන් බලපෑම් තිබෙනවා. අපි කැලේ ගස් කපලා මහා කඳු කපලා පස් අරගෙන මහා ගල් පර්වත කඩලා කිසිම විනයක් නොමැතිව කටයුතු කිරීමේ ප‍්‍රතිඵල තමයි මේ අපිට ඇවිල්ලා තිබෙන්නේ. මේ දේවල් වෙනස්කර ගන්නනම් අපි හැමෝම සොබාදහම වෙනුවෙන් යම් යම් කැපවිම් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි විනයක් ඇතිව කටයුතු කළ යුතුයි.

තමුන්නාන්සේලාට මතකද 2012 පළාත් සභා මැතිවරණය. 2012 පළාත් සභා මැතිවරණ කාලයේ පොළොන්නරුව, අනුරාධපුර ප‍්‍රදේශවල විශාල නියඟයක් තිබුණා. මේ දිස්ත‍්‍රික්කේ වැව් සේරම හිදුණා. මගේ ජීවිත කාලයටම 2012 තමයි දැක්කේ පරාක‍්‍රම සමුද්‍රය සම්පූර්ණයෙන්ම වතුර බින්දුවක්වත් නැතුව හිඳිලා තියෙනවා. ඒ කාලේ මම හිටපු ආණ්ඩුවේ නායකයින්ට කිව්වා මෙහේ නියඟය නිසා මෙච්චර මිනිස්සු පීඩා විඳිනවා. මේ මේ දේවල් දෙන්න ඕන කියලා. ඒ වෙලාවේ ඡන්දයක් තිබුණු නිසා මුදල් අමාත්‍යාංශය පුවත්පත්වල ලොකුවට දැම්මා නියඟය නිසා ගොවින්ට දෙන සහන ගැන. මේ තියෙන්නේ ඒ දාපු පත්තර දැන්වීම. නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනම් වැඩසටහන්, මුදල් අමාත්‍යාංශය. 2012 අගොස්තු 10 වැනිදා. මේකේ තියෙනවා හැමදේම දෙනවා කියා. ඒකේ කියලා තියෙන විදියට නොදෙන දෙයක් නැහැ. හැබැයි එක දෙයක්වත් දුන්නේ නැහැ. අද අපිට කරන චෝදනා සමග මම තමුන්නාන්සේලාට කියන්න ඕන නියඟය වෙලාවේ හිටපු නායකතුමාව මම පොළොන්නරුවට එක්කගෙන ආවා. වේලිච්ච මහා වෙල්යායවල්වල මම එක්කගෙන ගියා. මුලින්ම චොපර් එකේ ඇවිල්ලා බැස්සේ බකමූණ ගම්මානයකට. එතන ගොවි සංවිධානයක මහත්වරුන් සමග කමතකයි සාකච්ඡාව තිබුණේ. ගොවි සංවිධානයේ සභාපතිතුමා තමන්ට තිබෙන ප‍්‍රශ්න දිගට හරහට කතා කරන්න ගත්තා. එතකොට මගෙන් ඇහුවා මාව මොකටද මෙතන්ට එක්කගෙන ආවේ කියලා. මම කිව්වා, මිනිස්සුන්ගේ තිබෙන ප‍්‍රශ්න දැනගන්න ඕන නිසා කියා. මම මේ පෙන්නුවේ එදා පත්තරේ දාපු මුදල් අමාත්‍යාංශයේ බොරු පොරොන්දු. මෙවර පැමිණි නියඟයේදී මැදිරිගිරියේ වගේම ලංකාවේම මේ නියඟයට ගොදුරුවූ ජනතාවට මාස නවයකට දහයකට කලින් ආරම්භ කළා වියළි ආහාර සලාකයක් පවුල් ලක්ෂ අටකට දෙන්න. පසුගිය දිනවල වර්ෂාව ලැබීම හේතුවෙන් එය ලක්ෂ හතරකට අඩුවී තිබෙනවා.

අපි හොඳ ප‍්‍රාදේශීය සභාවක් හදමු. හොඳ මහජන නියෝජිතයින් පිරිසක් හදමු. ගමේ තිබෙන වැඩටික අපි කරගමු. විනයක් හික්මීමක් ඇතිව වැඩකරන්න පුරුදු කරමු. මම පක්ෂයේ විනය හරියට ක‍්‍රියාත්මක කරනවා සියලු සභාපතිවරුන්ට මන්ත‍්‍රීවරුන්ට. ඇමතිවරුන්ටත් එහෙමයි. මගේ පක්ෂයේ අයට මම කුමනාකාරයකින්වත් පක්ෂ විනයෙන් පිට වැඩ කරන්න දෙන්නේ නැහැ. වැරදි කෙරුවොත් දඬුවම් දෙනවා.

පක්ෂයේ පිටදීත් කෙනෙකුට මොන පක්ෂයේද මොන තනතුරේද කියන එක මට ප‍්‍රශ්නයක් නැහැ. රාජ්‍ය දේපළ, මුදල්, වත්කම්, මහජන දේපළ රුපියලක් හොරකම් කළත් කෝටි සිය ගාණක් හොරකම් කළත් ඒ ඕනෑම කෙනෙකුට පක්ෂය, තනතුර නොතකා දෙන්න තිබෙන ඉහළම දඬුවම දෙන්න අවශ්‍ය පසුබිම මම මේ රටේ හදලා තිබෙනවා. දැනටත් ක‍්‍රියාත්මක කරනවා. මේ රට දුප්පත් වෙලා තිබෙන්නේ හොරකම, වංචාව නිසා. ඒ නිසා ගම්සභාව ප‍්‍රාදේශීය සභාව මුලින්ම නිවැරදි වෙන්න ඕන. ඇයි නිවැරදි වෙන්න ඕන. ඇයි එහි හැදිච්ච පිරිසක් සිටිය යුතුයි කියා මම නිතරම කියන්නේ. මේ රටේ ජනාධිපතිවරු ගත්විට, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මුලින්ම කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙක්. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා නාගරික මන්ත‍්‍රීවරයෙක් හැටියටයි දේශපාලන ජීවිතය ආරම්භ කළේ. පසුව රටේ රාජ්‍ය නායකයා වුණා. අගමැති වුණා. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙක් හැටියට පැමිණ රටේ ජනාධිපති වුණා. මට නාගරික මන්ත‍්‍රීවරයෙක් වෙන්න ගම්සභා මන්ත‍්‍රීවරයෙක් වෙන්න ඡන්ද තිබුණේ නැහැ ඒ කාලේ. ඒ නිසා මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මේ අය මේ රටේම ප‍්‍රදේශීය සභාව ගම්සභාව භාරගන්නවා වගේම අනාගතයේදී පළාත් සභාව භාරගන්නවා. රට භාරගන්නවා. ඒ අයට පුළුවන් රටේ නායකයෝ වෙන්න. තමන්ගේ අවංකකම, කැපවීම, හික්මීම, විනය ඒ සියල්ල සමගයි ඔබට දේශපාලනයේදී ඉදිරියට යන්න හැකිවෙන්නේ. ඒ නිසයි මම කිව්වේ ගුණගරුක, විනයගරුක පිරිසක් මම හදනවා කියා. ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් විවේචනයන් තිබිය හැකියි. සමහර අපේක්ෂකයින් ගැන තමුන්නාන්සේලා කියනවා ඇති එයානම් හරිම හොඳයි කියා. සමහර අය කියනවා ඇති ටිකක් හොඳයි කියලා. සමහරුන්ට කියනවා ඇති මේ මේ අඩුපාඩු තිබෙනවා කියා. නමුත් රටක් විදියට අපේක්ෂකයෝ තෝරන විට සෑම කෙනෙක් පිළිබඳව පුද්ගලිකව සොයා බලා 100% හොඳම කෙනෙක් කියා තෝරාගන්න පුළුවන්කමක් නැහැ. 100% ක් හොඳ මිනිස්සු ලෝකයේ කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේ හැර. මගෙත් අඩුපාඩුකම් ප‍්‍රමාද දෝෂ තිබෙන්නට පුළුවන් මම මනුෂ්‍යයෙක් විදියට. මම ගමේ නියෝජිතයාගේ වගකීම භාර ගන්නවා. මම මේ මැතිවරණයෙන් පසු සෑදෙන ප‍්‍රාදේශීය සභාව සමග දිනන මන්ත‍්‍රීවරු තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයට ඇවිත් හමුවෙනවා. අවශ්‍ය මුදල් මම වෙන්කර දෙනවා. මුදල්වල කිසිම හිඟයක් තියන්නේ නැහැ. වැඩ කිරීමට අවශ්‍ය පසුබිම මම ගොඩනගා දෙනවා.

පෙබරවාරි 10 වැනිදා ඡන්දපොළට ගිහිල්ලා අත ලකුණට ඡන්දය දී මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන්න කියා ඉතා ගෞරවයෙන් මා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදී දේශපාලන මතය කුමක් වූවත් කුමන දේශපාලන පක්ෂයකට අයත් වූවත් දේශපාලන පක්ෂයකට අයත් නැති වූවත් සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ මට අවශ්‍ය නියෝජිිතයා මට පත්කර දෙන්න. ඔහුගේ වගකීම මම භාරගන්නවා. එයා නෙවෙයි වැඩ කරන්නේ. ඔහු හරහා මමයි වැඩ කරන්නේ කියන එක මම තමුන්නාන්සේලාට පැහැදිලිව සඳහන් කරනවා. අපේක්ෂකයින්ට වගේම තමුන්නාන්සේලාට ජය ප‍්‍රාර්ථනා කරනවා.

ස්තූතියි.

 

 
 

Share This Post

NEW