පක්ෂයටත්, පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලුදෙනාට පිළිගත හැකි වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ජනපති පවසයි.

පක්ෂයටත්, පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලුදෙනාට පිළිගත හැකි වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ජනපති පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන අතර, එසේ සිදුවුවහොත් පක්ෂයේ ශක්තිය ඔවුන් සියලුදෙනාට පෙන්විමට සූදානම් බව අවධාරණය කරන ජනාධිපතිතුමා පක්ෂයටත්, පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලුදෙනාට පිළිගත හැකි සහ සතුටට පත්විය හැකි වැඩපිළිවෙළකට ඉදිරියේදී සූදානම් බව කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (15) පස්වරුවේ රත්නපුරයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට නියමිත සමුළු මාලාවේ ප්‍රථම සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ රත්නපුරේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද, ඡන්ද පසුබිම සලකා බලන විට එම කිසිවෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නැතිව ජයග්‍රහණය කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ජනාධිපති ධූරය මෙන්ම පස් වසරක් පුරා ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශූද්ධ වූ වැඩපිළිවෙළක ප්‍රතිඵලත් සමඟ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙපාර්ශ්වයෙන්ම ආරාධනා ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු සාකච්ඡාවකට එක්ව නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා වට කිහිපයකට එක්ව සිටින්නේ අංක 01ට මාතෘ භූමියත්, අංක 02ට පක්ෂයේ අනන්‍යතාවයත් තබමින් බව ද සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා කියා සිටියේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර ආරක්ෂා වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඉදිරිපත් කළ ලිපිය හේතුවෙන් වන අතර එහි ඉහළම නායකයන්ට සහ පහළ පාක්ෂිකයන්ට ඒ පිළිබඳ කෙළෙහිගුණයක් ඇතිමුත් දෙවන පෙළ ඇතැම් පිරිසකට එය අමතක වී තිබීම පිළිබඳ තමා කනගාටු වන බවයි.

මැතිවරණය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් යන දෙපාර්ශ්වයම මේ වන විට තානාපති කාර්යාල සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද පැවසූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවන් කොන්දේසි කිසිවක් නොමැති බවත් අපේකම, ස්වදේශීයත්ව සහ සංස්කෘතිය අගයන, වංචාවෙන් දූෂණයෙන් තොර නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙන බවත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, තිලංග සුමතිපාල, වීරකුමාර දිසානායක, රෝහණ ලක්ෂ්මන් පියදාස, ශාන්ත බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක යන මහත්වරුන් සහ අතුල කුමාර රාහුබද්ධ, භානු මනුප්‍රිය යන මහත්වරුන් ඇතුළු රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සම්මේලනය අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 
2019-09-15 දින

අපි පහුගිය තුන්වෙනි දා පක්ෂයේ 68 වන සංවත්සර උලෙළ කොළඹ දී පැවැත්වුවා. ඉන් පසුව මධ්‍යම කාරක සභාව තීරණය කළා සෑම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා සම්මේලන පවත්වන්න ඕනේ කියලා.

අපි අද රත්නපුරයට ආවේ රට පූුරා යන දිස්ත්‍රික් සම්මේලන මාලාවේ පළවෙනි සම්මේලනයට. අපි දිස්ත්‍රික් සම්මේලන මාලාව ඉදිරි මාස එකහමාරක් ඇතුළත අවසන් කරනවා. අපි පසුගිය මැයි දිනය ඉතාමත් සාර්ථක ව කරා. ඊට කලින් සියලු ම මැයි දින ඉතාමත් සාර්ථකව පැවැත්තුවා. අවුරුදු පහක් පක්ෂ සංවත්සර උත්සවය ඉතාමත් ඉහළින් අපි පැවැත්වුවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන ගමක් ගානේ ගිහිල්ලා සංවිධාන හදාගෙන ඉදිරි වැඩපිළිවෙළ හදාගෙන යන වේලාවක් මේක. මට ආරංචි වුණා ඊයේ මේ සම්මේලනයේ කටයුතු කරපු සහෝදරවරු, සංවිධායකවරු මේ ස්ථානයේ කොඩි දාලා මේ වැඩ කටයුතු කරනකොට රත්නපුර දිස්ත්‍රික්කයේ ගණන්කාරයෝ ටිකක් ඇවිල්ලා කරදර කළා, හිරිහැර කළා, පහර දුන්නා කියලා. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ පහර දීම් පිළිබඳ හොඳම අත්දැකීම තියෙන්නේ මට. 2015 ජනවාරි 08 වන දින ඡන්ද ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට මම කතා කරන්න පටන් ගත්තම තමයි එදා ගහන්න පටන් ගත්තේ. අපේ රැස්වීමේ හිටපු කිහිප දෙනෙකුට තුවාල වුණා. හැබැයි අවසාන ප්‍රතිඵලය කුමක් ද, ප්‍රතිඵලය ගුටිකාපු මම දිනුවා ගහපු අය පැරදුණා. ඔන්න ඕක තමයි සිද්ධ වුණේ. ඒ නිසා අපිට ගහන්න ගහන්න, අපි ගුටි කන්න කන්න අපි දිනනවා. ගහන අය පරදිනවා.

මම ජයග්‍රහණය කළ පසුගිය ජනාධිපතිවරණයෙන් රටේ ජනතාව ඉල්ලා සිටියේ කුමක් ද, මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විදිහට ඉඳලා රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් එළියට ආවේ කුමක් සඳහා ද, ඒ වේලාවේ මගෙන් ඉල්ලුවේ නෑ මේ රටේ ජනතාව කන්න අඳින්න, මගෙන් ඒ වේලාවේ ඉල්ලුවේ නෑ රැකියාවන්, හැට දෙලක්ෂ පනස් දාහකට ආසන්න ඡන්ද සංඛාවකින් මම ජයග්‍රහණ කෙරෙව්වේ රටේ ජනතාව නිදහස සහ ප්‍රජාත්‍රන්තවාදය යන ඉල්ලීම වෙනුවෙන්.

ඒ කාරණා දෙකම මේ අවුරුදු පහකට කිට්ටු කාලය තුළ, මම ඉටු කරලා තියෙනවා. විවේචන තියෙනවා, චෝදනා තියෙනවා, නින්දා අපහාස කරනවා, නමුත් 2015 ජනවාරි 08 ඡන්දෙන් එදා ආණ්ඩුව පැරදුණේ ඇයි. ඒ මැතිවරණයෙන් මම ජයග්‍රහණය කෙළේ ඇයි. අද සන්ධාන පෙරමුණු සාකච්ඡාව ගැන කතා කරන කොට විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ 2015 ජනවාරි 08 මැතිවරණයෙන් එදා ආණ්ඩුව පැරදුණේ ඇයි කියන කාරණය හිතට ගන්න ඕනේ සෑම පාර්ශ්වයක්ම.

දැන් අද සමහර අය කියනවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩක් නෑ, හයියක් නෑ, ඡන්ද ලක්ෂ හතරකට පහකට වැඩිය නෑ, ඒගොල්ලන්ට බලවේගයක් නෑ කියලා. නමුත් මම එක දෙයක් කියනවා 2015 ජනවාරි 08 ඡන්දය මම දිනුවේ පක්ෂ ලේකම් විදිහට, ඉඳලා එළියට ඇවිල්ලා. ඒ එළියට ආවට පස්සේ ඒ ලේකම්කමත් මට නෑ. මම අපේක්ෂකයා විතරයි. අද අපි මැතිවරණයක් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතේ තියාගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමත් සමඟ ජනාධිපති තනතුරත් එක්කයි කියන එක මම මේ වේලාවේ සඳහන් කරන්නට ඕනේ.

ජනාධිපති ධුරය පසුගිය අවුරුදු හතරහාමාරක කාලයේ මේ රටේ ජනතාවට පැහැදිලි වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ රටට ශුද්ධ වූ වැඩපිළිවෙළක් පෙන්නුම් කළා. මම මේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කට්ටියගේ නෙමෙයි මගේ වැඩපිළිවෙළ ගැන. දූෂණයෙන් වංචාවෙන් තොරව කොහොම ද රට ගෙනියන්නේ, රට විනාශ කරලා තිබුණු මත්ද්‍රව්‍යවලින් කොහොමද රට බේර ගන්නේ, ගස් කපන, කෑළෑ කපන, ගල් පර්වත කඩන, මහපොළොව හාරන පිරිස්වලින් පරිසරය කොහොමද රැක ගන්නේ, මේ රටේ විනාශ වෙලා ඉන්න දරුවෝ ටික කොහොමද රැක ගන්නේ එවැනි වැඩපිළිවෙළවල් රාශියක් එක්කයි මම ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ. ඒ වැඩපිළිවෙළේ ප්‍රතිඵලත් එක්කයි අපි ඉදිරි ජනාධිපතිවරණ ව්‍යාපාරය කරන්නේ.

අපි ගැන අඩු තක්සේරු තබන අය ඉන්නවා. නමුත් මම එක දෙයක් කියන්න ඕනේ. දැන් මේ පහුගිය මාස දෙකක් ගත්තොත් එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව, මේ රටේ තානාපති කාර්යාල කිහිපයක්, මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඉදිරිපත්වෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයෝ ගැන රටේ ජනමත සමීක්ෂණ කළා. දැන් සති තුනකට ඉස්සෙල්ලා කරපු එකක ප්‍රතිඵල ආවා. මම නම් වශයෙන් කියන්නෑ. ජනාධිපති අපේක්ෂකයෝ විදිහට නම් කරලා තියෙන අයව තමුන්නාන්සේලා දන්නවා. ඒ වාගේම අපේක්ෂකයා විදිහට නම් කරගන්න උත්සහ කර ගන්න අයවත් දන්නවා. යූ.එන්.පී එක ගත්තම සජිත් ද, රනිල් ද, කරු ජයසූරිය යන අයගෙන් කවුරු හරි එක් කෙනෙක් කියමුකො. එතකොට දැන් පසුගිය මාස දෙකේ එක් එක් සංවිධාන, ජාත්‍යන්තරව ගත්තොත් තානාපති කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලන පක්ෂ ඒ ඔක්කොම කරලා තියෙන සමීක්ෂණවල ප්‍රතිඵලය කුමක් ද?

ඔය නම් කරලා ඉන්න නම් වෙන්න හදන එකම අපේක්ෂකයෙකුටවත් කරලා තිබෙන සමීක්ෂණවලට අනුව සියයට 40කින් එහා ඡන්ද පෙන්නලා නෑ. දැන් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න දිනන අපේක්ෂකයා, පාවිච්චි කරන ඡන්දවලින් සියයට 51 එකකට වැඩිය ගන්න ඕනේ. මම අද දවාලෙත් බොහොම ඉහළ තැනකින් කරපු සමීක්ෂණ වාර්තාවක් කියවලා ආවේ. ඒ සියයට 51 වැඩිය ඡන්ද ගන්න ලබන මැතිවරණයේ ඡන්ද ලක්ෂ 645000කට වැඩිය ගන්න ඕනේ දිනන අපේක්ෂකයා. දැන් කරලා තිබෙන සමීක්ෂණවලින් කිසිම කෙනෙකුට සීයයට 40ක් නෑ. කවුරු කයිවාරු ගැහුවත් වැඩක් නෑ සීයයට 40කට වැඩියෙන් ගන්න ඕනේ. සියයට 12ක් වැඩි කර ගන්න වෙනවා. ඒ සියයට 12 ගන්න ඉදිරි මැතිවරණ ව්‍යාපාරවල ඔය කතා කරන කිසිම කෙනෙකුට බෑ.

මේ රටේ සන්ධාන පෙරමුණු ඉතිහාසය තමුන්නාන්සේලා දන්නවා. 56 බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවත්, පෙරමුණ ආණ්ඩුවක්, සන්ධාන ආණ්ඩුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළවැනි ආණ්ඩුව මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුවක්. ඊට පස්සේ 60 ජූලි ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පිහිටවපු සෑම ආණ්ඩුව ම පෙරමුණු, සන්ධාන ආණ්ඩු. තනියෙන් හැදුවේ නෑ. තනියෙන් හදන්න පුළුවන් වුණේ නෑ. එතකොට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ගොඩවල් දෙකක් වෙලා ඉන්නේ තමුන්නාන්සේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක බලවේගයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම හිටපු, පිරිසකගේ පොහොට්ටුව තවත් බලවේගයක්. සන්ධාන හදද්දී, මේ සන්ධාන ඉතිහාසයේ මම හුඟාක් කැප කිරීම් කරපු කෙනෙක්. මං අවුරුදු 12ක් 13ක් පක්ෂයේ ලේකම්වරයා විදියට අඛණ්ඩ ව එක දිගට හිටපු කාලයේ පෙරමුණ, සන්ධානය පවත්වාගෙන යන්න මම හුඟාක් කැප කිරීම් කරපු කෙනෙක්. 2004 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි එකට එකතු කරන සන්ධානයක් හදන්න මම තමයි වැඩිපුරම නිදි මැරුවේ.

හවස 7ට වාඩි වුණාම ජවිපෙ නායකයොත් එක්ක අපි පාන්දර 1 – 2 – 3 වෙනකන් සාකච්ඡා කළා. දවසක් දෙකක් නෙමෙයි, මාස 4ක් ඒ විදියට සාකච්ඡා පැවැත්තුවා. මාස 4ක් සාකච්ඡා පවත්වලා සන්ධානය හදලා තමයි චන්ද්‍රිකා මැතිනියත් එක්ක අපි එකතු වෙලා පාර්ලිමේන්තුව විසුරුවලා මහමැතිවරණයකට ගියේ. මේ රටේ පවත්තපු අවසාන ජාතික මැතිවරණ ගත්තහම. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අද පොහොට්ටුවේ බලවේග මේ ඔක්කොමත් එකට ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාදයි. 2015 ජනවාරි 08 මගේ ජයග්‍රහණයෙන් පසුව ප්‍රතිවාදීන් කිව්වා ඕක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා. ඕක ඉන්දියන් කුමන්ත්‍රණයක් කිව්වා. ඇමරිකන් ඉන්දියන් කුමන්ත්‍රණයකින් රාජපක්ෂ ආණ්ඩුව පැරැද්දුවයි කිව්වා. හැබැයි ඒ කියපු අයගෙන් අහනවා, 2015 අගෝස්තු මැතිවරණයත් ඇමරිකන් කුමන්ත්‍රණයක්ද, ඉන්දියන් කුමන්ත්‍රණයක්ද කියලා. 2015 අගෝස්තු මැතිවරණය යූඑන්පී පරාදයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පරාදයි. දෙගොල්ලොම පරාදයි.

කාටවත් 113ක් නෑ. මේ රටේ 6 වන ජනාධිපතිවරයා විදියට එකම ජනාධිපතිවරයා මමයි, දයාසිරි ජයසේකර සහෝදරයා, කිව්වා වගේ පාර්ලිමේන්තුවත් නැතුව, ආණ්ඩුවක් කරපු. පාර්ලිමේන්තුවේ මට ආණ්ඩුවත් නෑ, විපක්ෂයත් නෑ. ජේ.ආර්.ජයවර්ධන හයෙන් පහක බලයෙන් ජනාධිපතිකම කෙරුවා. රණසිංහ ප්‍රේමදාසට පාර්ලිමේන්තුවේ බලය බහුතරය තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට බහුතරය තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට 2010 මැතිවරණයෙන් තුනෙන් දෙකක බලය ආවා. ඒ විදියට තමයි ජනාධිපතිකම කෙරුවේ. නමුත් පාර්ලිමේන්තුවේ මට ආණ්ඩුවත් නෑ, විපක්ෂයත් නෑ. මම ආවේ හොඳ ආණ්ඩුවක් කරන්න 2015. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කරලා පිරිසිදු රාජ්‍ය පාලනයක් කරන්න ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙන පැත්තක ගියා. දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් කරන්න ඇවිල්ලා දූෂණයේ උපරිමයට ගියා රනිල් වික්‍රමසිංහ. එහෙම නම් දැන් ඉදිරියේ ආණ්ඩුවක් හදන්න දැන් එක්සත් ජාතික පක්ෂයේ කුමක්ද තත්ත්වය. අපිට නොයෙක් නොයෙක් දේවල් කියන්න පුළුවන්. හැබැයි දේශපාලන යථාර්ථයත් එක්ක ගණන් මිනුම් හදලා බලපුවාම අපි දන්නවා රටේ ඡන්ද කොහොමද පාවිච්චි වෙන්නේ.

සිංහල ඛෞද්ධ ඡන්ද කොහොමද පාවිච්චි වෙන්නේ, දමිළ ඡන්ද කොහොමද පාවිච්චි වෙන්නේ, වතුකරයේ ඡන්ද කොහොමද පාවිච්චි වෙන්නේ, මුස්ලිම් ඡන්ද කොහොමද පාවිච්චි වෙන්නේ කියලා දන්නවා. දැන් යූඑන්පීයේ අර්බුද තියෙන බව ඇත්ත. හැබැයි දැන් යූඑන්පී නායකයෝ ඒගොල්ලන්ගේ පෙරමුණ හදන්න ඊයේ හවසත් සාකච්ඡා කළා, පෙරමුණට අයිති නායකයෝ ඔක්කොම එකතු වෙලා. ද්‍රවිඩ එක්සත් පෙරමුණ, ටීඑන්ඒ නායකයෝ, සම්බන්ධන්ලා මනෝ ගනේෂන්ලා, රවුෆ් හකීම්ලා ඒ වගේම චම්පික රණවකලා, රිෂාඞ් බදුර්දීන්ලා එයාලා ඊයේ හවසත් එකතුවෙලා සාකච්ඡා කළා කොහොමද ඒගොල්ලෝ පෙරමුණක් හදන්නේ කියලා. මම මේ බොහොම විවෘත ව කතා කරන්නේ. ඡන්ද ප්‍රතිඵලවලින් පස්සේ කතා කරලා වැඩක් නෑ. පොහොට්ටුවේ ගම් මට්ටමේ ඉන්න පාක්ෂිකයෝ කියන්නේ කවුද. පොහොට්ටුවේ ගම් මට්ටමේ ඉන්න පාක්ෂිකයෝ කියන්නේ ශ්‍රී ලංකාකාරයෝ.

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මුළු කණ්ඩායම අදත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදියට තියාගෙන ඉන්නේ අපිනේ. මහින්ද අමරවීර මන්ත්‍රීතුමාගේ ලියුමෙන් තමයි අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒක නිසා පොහොට්ටුවේ නායකයින්ට කළගුණ තේරෙනවා, මට පේනවා ඒක. පොහොට්ටුවේ ගමේ ඉන්න පාක්ෂිකයින්ටත් කළගුණ තේරෙනවා. ශ්‍රී ලංකාකාරයෝනේ පොහොට්ටුවේ වුණාට. හැබැයි මේ පොහොට්ටුවේ ඉන්න දෙවන පෙළ කට්ටියට කළගුණ තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හරි කියලා. එහෙනම් මං කිව්වේ අර ජනාධිපති ඡන්දේ දිනන්න සියයට 51 කට වැඩිය ඡන්දය ඕනේ. ඡන්ද සංඛ්‍යාවෙන් ගත්තොත් හැටහතර ලක්ෂ පනස්දාහකට වැඩිය ඕනේ ඡන්දේ දිනන කෙනාට. එහෙනම් අපි නැතුව දිනන්න පුළුවන්ද, ඒක තමයි ඇත්ත තත්ත්වය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. අපි දැන් ඇත්ත කියන්න එපැයි. අපිට දෙගොල්ලෝම අත වනනවා. යූඑන්පි යත් අත වනනවා, ඒගොල්ලොත් අත වනනවා. හැබැයි අපි යූ.එන්.පී එකත් එක්ක සාකච්ඡා පවත්වලා නැහැ. එළියෙත් නැහැ. රහසිනුත් නැහැ. ඒ මොකද යූ.එන්.පී එකත් එක්ක බේරාගන්න බැරි ගණුදෙනු හුඟක් තියෙනවා. යූ.එන්.පී.එකට කවදාහරි අනාගතයක් තියෙයි මහබැංකු කොල්ලයේ නායකයෝ ටික යූ.එන්.පී.එකේ නැති දාට. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි පොහොට්ටුව එක්ක සාකච්ඡා වට කිහිපයක් ගිහින් තියෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට වැඩපිළිවෙළක් විදියට යෝජනාවලියක් ඉදිරිපත් කර තියෙනවා. අංක එක රට. රට වෙනුවෙන් ආණ්ඩුවක් විදියට කරන වැඩපිළිවෙළ කුමක්ද කියා. අංක දෙක පක්ෂයේ අනන්‍යතාවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයේ දී පක්ෂයේ ප්‍රතිපත්ති, දර්ශනය, බණ්ඩාරනායකරුවන් බිහිකළ මේ රටේ සමාජ විප්ලවයේ හර පද්ධතීන් එක්ක දේශපාලන ක්‍රමය. ඒ දේශපාලන ක්‍රමයේ ඒ පදනමින් තමයි පොහොට්ටුව ඇති වුණේ. නැතිව වෙන විදියකට බිහිවුණා නෙවෙයි නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකෙන විදියට අපි සාකච්ඡා පවත්වනවා. අපි පාක්ෂිකයෝ, සංවිධායකවරු පාවා දෙන්නේ නැහැ.

මන්ත්‍රී කණ්ඩායම් පාවලා දෙන්නේ නැහැ. අපිට පිළිගත හැකි සතුටු විය හැකි වැඩපිළිවෙළක් සඳහා යි සාකච්ජා කරන්නේ. ඒ නිසා මේ සාකච්ඡා තුළ කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වටිනාකමක් නොදී අවතක්සේරුවට යනවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටිනාකමක් නැති පක්ෂයක් විදියට තක්සේරු කරලා අපිට වටිනාකමක් දෙන්නේ නැත්නම් අපේ වටිනාකම හැම කෙනෙකුටම පෙන්වන්න අපි ලෑස්තියි. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමටත් මම කියන්නේ ඒකයි. අපේ සංවිධායකවරුන්ටත් මම කියන්නේ ඒකයි. ඒ නිසා අපි හිතන්නට ඕනෑ සන්ධාන, පෙරමුණු ලේසියෙන් හැදුවෙ නැති බව. මොකද සන්ධානයක් හදන්න ගියාම ඒ සියලු පාර්ශ්ව තම තමන්ගේ ගෞරවය හිතනවා. ඒ සියලු දේම රැකගන්න කටයුතු කරනවා. ඒ නිසා අපේ රටේ අනාගතය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අප විසින් ගෙන යා යුතු වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම ඉතා අවශ්‍යයි.

මම 2015 මැතිවරණයේ දී පෞද්ගලිකව දුන් පොරොන්දු රාශියක් තිබුණා. මේ කතා කළ ලේකම්තුමාලා, මන්ත්‍රීතුමාලා කිව්වා. මේ වසර හතර හමාරේ ආණ්ඩුවේ තුවක්කුවක් පත්තු කරලා වෙඩිල්ලක් තියලා නැහැ කිසිවෙකුට. ඒ වාර්තාව කිසිම ජනාධිපති කෙනෙක් තියලා නැහැ. මීට පෙර සිටි පස් දෙනාගෙන්ම ඒ වාර්තාව කැඩිලා තියෙනවා. මේ රටේ ජනතාවට දෙන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස මම ඉහළම විදියට දුන්නා. 2015 ජනවාරි 8 මගෙන් බලාපොරොත්තු වෙච්ච දේ මම ඒ විදියට ඉටු කළා. රටේ ජනාධිපතිවරයාට තිත්ත කුණුහරුපයෙන් බණින්න, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බෙල්ල කපලා, බඩ කපලා ලේ ගලාගෙන යන කාටුන් සමාජ වෙබ් අඩවිවල දාන්න තරම් මම නිදහස දීලා තියෙනවා. තමුන්නාන්සේලා දකිනවා ඇතිනේ ඒවා. ඒ මම දුන්න නිදහස නිසා. එහෙම මගේ අතපය කැපුවා කියලා මම කලබල වෙන්නේ නැහැ. අපට තියෙන්නේ අමනුස්සයෝ මනුෂ්‍යයින් කරන එකයි.

මගේ පෞද්ගලික ජීවිතය තුළ මම කිව්වා මම ජනාධිපති මන්දිරවලට පදිංචියට යන්නෙ නැහැ කියලා. මම ගියෙ නැහැ. මම කිව්වා මගේ බිරිඳ හෝ දරුවන්ට කිසිම විදියක මම නැතිව ගුවන් යානා භාවිතා කරන්න දෙන්නේ නැහැ කියලා. ඒවා 78 සිට හිටපු ජනාධිපතිවරුන්ගෙන් කඩවෙච්ච දේවල්. හැබැයි මේ වසර පහකට කිට්ටු වෙන්න මම නැතිව ගුවන් යානයක මගේ දරුවෝ සහ බිරිඳ ගියෙ නැහැ. කොළඹින් පොළොන්නරුවට ගියෙත් නැහැ. පොළොන්නරුවෙන් කොළඹට ආවෙත් නැහැ. ජනාධිපති මන්දිරයේ වියදම් ගැන මම කියන්නේ නැහැ ඒවා වෙනස් කළ හැටි. දූෂණයට වංචාවට විරුද්ධව මම ගත්ත තීන්දු තීරණ තමුන්නාන්සේලා දන්නවා. මේ ආණ්ඩුවේ වංචා, දූෂණ හොයන්න මම ජනාධිපති කොමිසමක් පත් කළා. මම දැක්කා 12 වෙනිදා අගමැතිතුමාට යන්න තිබුණා නමුත් 19 වැනිදා යන්න දින ඉල්ලාගෙන තිබෙනවා කොමිසමට යන්න. මොන ආණ්ඩුවේ මොන ජනාධිපතිවරයා ද තමන්ගේ ආණ්ඩුවේ අගමැතිවරයා කොමිෂන්වලට යැව්වේ. මහ බැංකු කොල්ලයේදීත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට කොමිසම ඉදිරියට යන්න සිදු වුණා. මේ දිනවල යන කොමිසමටත් ඔහුට යන්න වෙනවා. මේ රට හදන්න තියෙන ප්‍රධාන අභියෝග මොනවාද. ඒ තමයි දූෂණය, වංචාව, හොරකම හා නාස්තිය. දූෂණය කියන දේශපාලන සටන් පාඨය අපේ රටේ ඉතිහාසයේ මැතිවරණ වේදිකාවල තිබුණා. නමුත් ඉතාම ප්‍රබල විදියට දූෂණය කියන සටන් පාඨය ආවේ 94 මැතිවරණයට චන්ද්‍රිකා මැතිනිය ඉල්ලපු වෙලාවේ.

තමුන්නාන්සේලාට මතක ඇති එතුමිය හැමතැනම ගිහින් කිව්වේ දූෂණය, භීෂණය වළක්වන්න මට ඡන්දය දෙන්න කියලා. මමත් කිව්වා 2015 ජනවාරි 8 මැතිවරණයෙ දී. නමුත් කිසිම ආණ්ඩුවකට පුළුවන් වෙලා නැහැ දූෂණය නවත්වන්න. ඒකට හේතුව දේශපාලනඥයින්ගේ තිබෙන බරපතළ වැරදි. දේශපාලනඥයින් දූෂණයේ නායකත්වය ගන්නා විට ඒ තරගයට ඊට එහා යනවා නිලධාරීන්. ඒ නිසා මේ රට ගොඩගන්න නම් හැම කෙනෙකුටම අපේකම තියෙන්න ඕනෑ. මේ වසර හතරහමාරේ ප්‍රධාන දෙයක් තමයි දේශීයත්වය නොසලකා රනිල් වික්‍රමසිංහ මහතා සහ එම කණ්ඩායම වැඩකිරීම. මාත් සමඟ ඇතිවූ ගැටුම්වලට හේතුව එයයි. ඒ නිසා අපි අපේ සංස්කෘතිය අගයන, වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් සමාජයක් ඇති කරන්න නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවෙන්නේ. ඒ සඳහා යි මේ සම්මේලන තියන්නේ. ඒ සඳහායි පක්ෂ සම්මේලන තියන්නේ.

ඒ නිසා ඉදිරියේ දී හදන ආණ්ඩුවක ඒ එකඟතාවයන්, අපේ යෝජනා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, දූෂණයෙන් තොරවීම, සමානාත්මතාවය වැනි කරුණු වැලක් කියන්න පුළුවන්. අපේ සංස්කෘතිය, විදේශ ගැති නොවීම. හැබැයි අපි විතරයි. තානාපති කාර්යාල එක්ක සාකච්ඡා නොකරන්නේ. ආණ්ඩුවේ අයයි විපක්ෂයේ අයයි මේ දවස්වල තානාපති කාර්යාල සමග සාකච්ඡා කරනවා. මම දන්නේ නැහැ මොනවද සාකච්ඡා කරන්නේ කියලා. මැතිවරණයක් ආසන්නයේ සාකච්ඡා. ඔතන තමයි වරද්දා ගන්න තැන. මේ රටේ මැතිවරණ ව්‍යාපාරයක් ශක්තිමත් කරන්න ඡන්දයක් තියන්න කිසිම තානාපති කාර්යාලයක් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය නෑ. ඒක අපිට අවශ්‍ය නැහැ අපි කරන්නෙත් නැහැ. ඒක අපේ ප්‍රතිපත්තියක්. අපි පක්ෂය විදියට ඉදිරියට යමු. තමුන්නාන්සේලා අතරමං වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය අපි හැම කෙනෙකුටම පෙන්වනවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු, පළාත් පාලන මන්ත්‍රීවරු, මන්ත්‍රීතුමියන්, අපේ පාක්ෂිකයන් සියල්ලන්ගේම ජනතාවාදී වාම ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ගොඩනගමින් ස්වදේශිකවාදය මුල් කරගෙන අපි ඉදිරියට යනවා. ඒ සඳහා අපි එකට පෙළගැසෙමු. අත්වැල් බැඳගමු. ජයග්‍රහණය ස්ථිරයි. ස්ථිරයි. අපි පරදින්නේ නැහැ. පරදින්න දෙන්නෙත් නැහැ. අපි ජයග්‍රහණය කරමු.

ඔබට ජයවේවා.

 

Share This Post

NEW