වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා අසරණ වූ ස්ථීර නිවසක් නොමැති පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්

වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා අසරණ වූ ස්ථීර නිවසක් නොමැති පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්

වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා අසරණ වූ, ස්ථීර නිවසක් නොමැති පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ආරම්භ කිරීමට අවධානය යොමු වෙයි.

වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන පිළිබඳ ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.

අද රටටම තර්ජනයක් වී ඇති වකගඩු රෝගය නිවාරණය වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහන ජාතික අවශ්‍යතාවයක් සේ සලකා ඒ සඳහා සක්‍රීයව දායකවීම සියලු අමාත්‍යාංශ මෙන්ම ආයතනවල වගකීමක් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්, ඔවුන්ගේ පවුල් සහ ප්‍රජාව සඳහා සුබසාධන වැඩසටහන් රැසක් ද වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාවට නංවා තිබෙන අතර ඔවුන් දිරිමත් කරමින් ජීවන තත්ත්වය නඟා සිටුවීම එහි අරමුණයි.

තෝරාගත් දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී රෝගීන් සඳහා ජීවනාධාර ලබාදීම, වකුගඩු රෝගය හේතුවෙන් දෙමාපියන් අහිමිවූ උසස් පෙළ හදාරන පාසල් සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදීම ඇතුළු වැඩසටහන් ඒ අතර වන අතර ඒවායේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වකුගඩු රෝගය ව්‍යාප්තව තිඛෙන ප්‍රදේශවල ජනතාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීමට ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එම කටයුතු තවදුරටත් පුළුල් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගින්ගේ රුධිර පිරිසිදු කිරීම සඳහා වැයවන අධික මුදල දරාගත නොහැකිවීම හේතුවෙන් එම ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන අතර ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් සහන සැලසීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

පූජ්‍යය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යයවරුන් වන රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, විජිත් විජයමුණිද සොයිසා, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන්ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Share This Post

NEW