සංචාරක කටයුතු සඳහා මෙන්ම බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණිමේ දී රටවල් රැසක් වීසා වලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

සංචාරක කටයුතු සඳහා මෙන්ම බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණිමේ දී රටවල් රැසක් වීසා වලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

සංචාරක කටයුතු සඳහා මෙන්ම බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණිමේ දී රටවල් රැසක් වීසා වලින් නිදහස් කිරීමට මේ වන විට රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කඩුවෙල කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට අද (09) පස්වරුවේ එක් වෙමිනි.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන සඳහා සහ බෞද්ධාගමික පුනරුදයක් වෙනුවෙන් එම තීරණයට එළැඹි බව සඳහන් කළ ජනාධිපතිතුමා ලබන අප්‍රේල් මාසයේ සිට එය ක්‍රියාත්මක කෙරෙන බව ද සඳහන් කළේය.

කාම්බෝජයේ සිට මෙරටට පැමිණිමේ දී වීසා ලබා ගැනීම පිළිබඳ මතුව ඇති ගැටලු පිළිබඳ මහා සංඝරත්නය කළ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා සඳහන් කළේ ඉදිරියේ දී සංචාරක සහ බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණිමේ දී කාම්බෝජය ද වීසා වලින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයට ප්‍රධාන හේතුව ථෙරවාද බෞද්ධ දර්ශනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ථෙරවාද බෞද්ධ දර්ශනය පිළිබඳ මූලස්ථානය ලෙස ශ්‍රී ලංකාව සියලු බෞද්ධ රටවල් සමඟ සබඳතාවන් ශක්තිමත් කර ගනිමින් එහි උන්නතියට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ප්‍රකාශ කළේය.

ථෙරවාද බෞද්ධ දර්ශනය ප්‍රචලිත කාම්බෝජයේ විස්මිත කලා කෞශල්‍යය හා ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රදර්ශනය වන පරිදි මෙම අභිනව විහාර මන්දිරය ඉදි කර තිබේ.

අද පස්වරුවේ කඩුවෙල, ඉහළ බෝමිරිය, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වත්වත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව විහාර මන්දිරය විවෘත කළේය.

කාම්බෝජයේ වටී ලංකා විහාරයෙහි රෝපණය කිරීම සඳහා ශ්‍රී මහා බෝධි අංකුරයක් එම විහාරාධිපති පූජ්‍ය අරියවංස නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

කාම්බෝජ උප සංඝරාජ පූජ්‍ය ඔමි ලිමි හෙඞ් නායක හිමිපාණන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද උන්වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

විහාර මන්දිරය නිර්මාණය කිරීමට දායක වූ කාම්බෝජ ගෘහ නිර්මාණ ශිල්පියා ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් කෙරිණි. එමෙන්ම කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් වහන්සේලා වෙත ඇගැයීම් සහතික පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පූජ්‍ය නාපාන පේමසිරි නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය අත්තංගනේ සාසනරතන නායක හිමිපාණන් වහන්සේ, කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කාම්බෝජ උප සංඝරාජ පූජ්‍ය ඔමි ලිම් හෙඩි නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාම්බෝජ ගිහි පැවිදි විශාල පිරිසක් ද, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

කඩුවෙල කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව 2019-03-09

අද මේ පුණ්‍ය කටයුත්තට සහභාගීවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා. මට ආරාධනා කිරීම පිළිබඳව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ වැදගත් කටයුතු 2 ක් වුණා. එක පුණ්‍ය කටයුත්තක් තමයි කඩුවෙල කාම්බෝජ විහාරස්ථානයේ බුද්ධ මන්දිරය විවෘත කිරිම. අනෙක් පුණ්‍ය කටයුත්ත තමයි කාම්බෝජයේ උප සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වෙත ගෞරව නාම ප්‍රදානයක් පිරිනැමීම. මේ උතුම් පුණ්‍ය කටයුතු දෙකම අපි බෞද්ධයින් ලෙස ගරු කරන අවස්ථාවන්.

මේ උත්සවයේ ආරම්භයේ දීම මහානායක ගෞරවනීය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ අනුශාසනා කළා මෙවැනි බෞද්ධ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ දැක්කේ පළමු වරටයි කියලා. ඒ කරුණ සඳහා උන්වහන්සේ සමඟ අප ද එකඟ වෙනවා. ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතරේ වසර දහස් ගණනක් සම්බන්ධතාවයක් තියෙනවා. එයට ප්‍රධාන හේතුව බෞද්ධ දර්ශනයයි. ශ්‍රී ලංකාවත් කාම්බෝජයත් ථෙරවාදී බෞද්ධ දර්ශනය ඇති රටවල් ලෙස හඳුන්වන්න පුළුවන්. බෞද්ධ ඉතිහාසය පිළිබඳව ඉගැනීමේ දී කාම්බෝජයේ බෞද්ධ ඉතිහාසය පිළිබඳව කරුණු රාශියක් සඳහන් වෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කිරීමේ දී ඔබ සෑම කෙනෙක්ම දන්නවා වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ බෞද්ධ ඉතිහාසයක් අපට උරුමයි. බුදුන් වහන්සේගේ කාලයේත් ඉන් පසුවත් ආසියාතික රටවල් සියල්ලම බෞද්ධ රටවල් ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ගෞතම බුදු පියාණන් වහන්සේගේ දවසේ ධර්ම ප්‍රචාරක කටයුතුවලදී ආසියාතික රටවල් බෞද්ධ රටවල් වශයෙන් පත්වුණා කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවට බෞද්ධ දර්ශනය ගෙන ඒමේ දී ඉන්දියාවේ අශෝක අධිරාජයා තමයි මූලිකත්වය ගත්තේ. එසේ වූයේ මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ වැඩම කරවීමත් සමඟයි. කාම්බෝජයේ බෞද්ධ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී ද එවැනි කරුණු රාශියක් සඳහන් වෙනවා.

අපි ඉතාමත් සතුටුවෙනවා ශ්‍රී ලාංකිකයන් වගේම ශ්‍රී ලංකා රජය විදියට කාම්බෝජයේ බෞද්ධ ජනතාවත් කාම්බෝජයේ භික්ෂුන් වහන්සේලාත් මේ විදියට පැමිණීම සම්බන්ධව. මේ අවස්ථාව දෙරට අතරේ වසර දහස් ගණනක් මිත්‍රත්වය තහවුරු කරන අවස්ථාවක්. අපේ ගෞරවනීය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ පිළිගැනීමේ කතාවේ දී සඳහන් කළා ශ්‍රී ලංකාවත් කාම්බෝජයත් අතර තිබෙන සම්බන්ධතා වැඩිකර ගැනීමට ඇති බාධාවන් පිළිබඳව. එහිදී ප්‍රධාන වශයෙන් උන්වහන්සේ සඳහන් කළා මේ රටට පැමිණීමට වීසා ලබාගැනීමේ දී තිබෙන කරදර පිළිබඳව. මම මෙහිදී ඉතාම සතුටු දායක පුවතක් ඔබ වහන්සේලාට ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ තමයි අපි පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී තීරණයක් ගත්තා සංචාරක ව්‍යාපාරය සඳහා ලංකාවට පැමිණෙන අයටත්, ඒ වගේම බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණෙන රටවල් රාශියකට වීසාවලින් නිදහස් කිරීමට. අපේ රට ළඟම තියෙන රටවල් හතරකට පහකට ඇරෙන්න ලෝකයේ අනෙක් සියලුම රටවල්වලට සංචාරකයින් වීසාවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ නීතිය කාම්බෝජයටත් වලංගු වෙනවා. කාම්බෝජයේ ජනතාවත් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අපි වීසාවලින් නිදහස් කරනවා. එය ලබන මාසයේ සිට ක්‍රියාත්මක වෙනවා. අපි එවැනි තීරණයක් ගත්තේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න. ඒ වගේම ඔබගේ රට වැනි රටවල්වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. ඒ නිසා එම බාධාවන් ඉවත් කිරීමට ලැබීම ගැන අපි රජය විදියට සතුටුවෙනවා.

ඒ වගේම ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ සඳහන් කළා ඉඩම් කොටසක් වෙන් කර ගැනීම පිළිබඳව. ඒ සම්බන්ධයෙනුත් අපි ඉදිරියේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාම්බෝජයෙන් පැමිණි ස්වාමීන් වහන්සේලා මට කාම්බෝජයට පැමිණීමට ආරාධනාවක් බාරදුන්නා. මම මැයි හෝ ජූනි මාසයේ බලාපොරොත්තු වෙනවා කාම්බෝජයට පැමිණීමට. එසේ පැමිණීමේදී තෑගිත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ තෑගි ගැන මට අනුශාසනා කළේ අපේ ගෞරවනීය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ. උන් වහන්සේ මට අනුශාසනා කළා අපේ රටේ තිබෙන නා ගස් කාම්බෝජයේ නොමැති බව. ඔබ සැම කෙනෙක්ම දන්නවා නා රුක කියන්නේත් බෝධි රුක්ෂයක්. ඒ නිසා මම කාම්බෝජයට පැමිණීමේ දී බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවෙන් කාම්බෝජයට නා පැළ කිහිපයක් රැගෙන ඒමට. මා හිතනවා එය දෙරටේ සම්බන්ධය වැඩි වෙන්න හොඳ දෙයක් කියලා. ඒ නිසා මේ රටවල් දෙක අතරේ මිත්‍රත්වය, සම්බන්ධතාවය වැඩිකර ගැනීම අපට ඉතාමත් අවශ්‍යයි. අපේ රටේ බෞද්ධ ජනතාව විශාල වශයෙන් කාම්බෝජය වන්දනා කරන්න යනවා. ඒ නිසා මේ කටයුතුවලින් දෙරටේම සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීමට පුළුවන්. දෙරටේම ජනතාවට දෙරට අතර සංචාරය කරන්න අවශ්‍ය පහසුකම් අපි තවත් වැඩි කරනවා.

මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබ සැමට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

Share This Post

NEW