ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනපති ගත් පියවරට විදේශයන්හි වැඩවෙසෙන ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය 

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනපති ගත් පියවරට විදේශයන්හි වැඩවෙසෙන ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය 

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාව විසින් රැකගෙන ආ නිර්මල බුදු දහම අන්තර්ගත වූ උතුම් ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගත් පියවර විදේශයන්හි වැඩවෙසෙන ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ පැසසුමට ලක් වෙයි.

එම කටයුත්ත වෙනුවෙන් තම පූර්ණ ආශිර්වාදය සහ සහය පළ කරන බව කෙන්යාවේ නයිරෝබි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටිරාවන විමල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළහ.

ජගත් පරිසර සමුළුවට සහභාගීවීම සඳහා කෙන්යාවේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (16) පෙරවරුවේ නයිරෝබි ආසන්නයේ පිහිටි නයිරෝබි බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගත්තේ ය.

එහිදී ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කිරීමෙන් අනතුරුව විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

දාගැබකින්, භාවනා මධ්‍යස්ථානයකින්, භික්ෂු ආරාමයකින් සමන්විත ථෙරවාද බෞද්ධ විහාරස්ථානයක් වන මෙම විහාරය මීට දශකයකට පමණ පෙර ආරම්භ වූවකි.

අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පිළිගැනීමට කෙන්යා ජාතිකයින් විශාල පිරිසක් ද විහාරස්ථානය වෙත රැස්ව සිටි අතර එම දරු දැරියන් පිරිසක් විසින් විචිත්‍රවත් සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමාව පිළිගත්හ.

විහාරස්ථානය වැඳපුදාගත් ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය යටිරාවන විමල ස්වාමින් වහන්සේ බැහැදැක සුවදුක් විමසා අටපිරිකර පූජා කළේය.

උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

ශ්‍රී ලංකාවේ ශාසනික සහ ආගමික ප්‍රබෝධය වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.

විහාරාධිපති ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

 

Share This Post

NEW