අද රටට අවශ්‍ය වගකීමද ?.. වගවීමද…?

අද රටට අවශ්‍ය  වගකීමද ?.. වගවීමද…?

දස වසරකට පසු යළිත් මරාගෙන මැරෙන බෝම්බ බිය රටට දැනෙන්නට පටන් ගත්තේ අයි එස් ත්‍රස්තයන් විසින් කතෝලික දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන අටකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරත් සමඟය. රටේ ආරක්ෂක අංශවල හීන වූ සුපරීක්ෂාව මෙතරම් විනාශයකට හේතු වූ බව පැහැදිලිය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විදෙස් මාධ්‍යයට කරන ලද ප්‍රකාශය රටේම හාස්‍යයට හා පිළිකුලට ලක්විය. ඔහුගේ ප්‍රකාශයත් සමඟ එම ධූරය දැරීමට තමන් නුසුදුස්සෙක් බව ප්‍රදර්ශනය කළේය. අනෙක් අතට පොලිස්පතිවරයාගේ දුර්වලතාවය යළි යළිත් ප්‍රදර්ශනය විය. මේ නිසාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දෙදෙනාටම සිය ධූරවලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ දැනුම්දීමට අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්වුවද පොලිස්පති පූජිත ජයසුන්දර ඉල්ලා අස්වූයේ නැත මේ සිද්ධියට වගකිවයුත්තෙකු වුවත් ඒ වගකීම් පැහැරහැරීමේ චෝදනාව මත ඔහු අනිවාර්ය නිවාඩු යැව්වේය. පොලිස්පතිවරයා පත්වූ දා පටන් ඔහුගේ සේවය හා වගකීම් පිළිබඳ ප්‍රශ්න විටින් විට මතුවුවත් ඔහුව පත්කිරීමට මුල් වූ පිරිස එය නොසලකා හැරියා පමණක් නොව ඔහුව ආරක්ෂා කිරීමට පියවර ගත්තේ ඕනෑම කටයුත්තක් ඔහු ලවා කරගැනීමට තිබු පහසුව නිසාය.

මේ රටට අයි එස් ත්‍රස්ත තර්ජනයක් ඇති බවට තොරතුරු හෙළිවූයේ අද ඊයෙක නොවේ. මේ පිළිබඳව 2016 නොවැම්බර් මස 18 වැනිදා පාර්ලිමේන්තුවේදි එවකට අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය හෙබවූ ආචාර්ය නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා හෙළි කළ අවස්ථාවේ ඊට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ඇතුළු පිරිසක් විරුද්ධ විය. අද විශේෂයෙන් සෙවිය යුත්තේ එම මන්ත්‍රීවරුන් සහ ත්‍රස්තවාදී සංවිධාන අතර ඇති සබඳතා පිළිබඳවය. විශේෂයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අක්කර 75 ක පොල් වත්තක පවත්වාගෙන ගිය බව කියන තව්පික් ජමආත්  ත්‍රස්තවාදී කඳවුර වැටලූ අවස්ථාවේ එම ත්‍රස්තයන් බේරාගැනීමට බලපෑම් කළ දේශපාලඥයන් පිළිබඳ තවදුරටත් නිහඬව සිටිය යුතුද?

මුස්ලිම් අන්තවාදියෙකුගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවුඩයක් ඔස්සේ මෙම පුහුණු කඳවුර හා එහි වළ දමා තිබූ කිලෝ 250 ක සී 4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, නයිට්‍රිජන් ගැලුම් 6 ක්, ඩෙටනේටර් 99 ක් යනාදි වශයෙන් බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය පවා සොයාගෙන තිබුණි.එවැනි දේ සිදුවූයේ මේ මුස්ලිම් දේශපාලඥයන් දැනුවත්වද යන්න පිළිබඳව වෙනම විමර්ෂණයක් සිදුකළ යුතුය.

වි‍ජයදාස රාජපක්ෂ මහතා එදින පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය හා අද සිදුවීම අතර ඇත්තේ සුවිශේෂි සබඳතාවයකි. එම ප්‍රකාශය මෙසේය “අයි එස් අයි එස් සංවිධානය පිළිබඳව අප රටේ ජනතාව තුළ විශාල බයක් තිබෙනවා. අයි එස් අයි එස් සංවිධානය සම්බන්ධවත් මම යමක් කියන්න ඕනෑ. මේ වනවිට අපේ රටේ විශේෂ බුද්ධි අංශ කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අද ඊයේ ඉඳලා නෙවෙයි.කාලයක් තිස්සේ සිටයි.නමුත් මේ වනවිට ඒවා වැඩි වේගයෙන් ක්‍රියාත්මක වෙනවා.අපේ රටේ පවුල් හතරකට සම්බන්ධ 32 දෙනෙක් මේ වනවිට සිරියාවට ගිහිල්ලා අයි එස් අයි එස් සංවිධානයට සම්බන්ධවෙලා තියෙනවා. ඒ සාමාන්‍ය මුස්ලිම් පවුල්වල අය නෙවෙයි.උගත්, වැදගත් කියලා මේ සමාජය පිළිගන්නා පවුල් හතරක අය ඊට සම්බන්ධයි.

ඒ පවුල්වලට අදාළ 32 දෙනෙක් සිරියාවට ගිහිල්ලා අයි එස් අයි එස් සංවිවිධානයේ කටයුතුවලයෙදී තිබෙනවා. ඒ වගේම සමහර මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල දේශන පවත්වන්න යම් යම් අය එනවා ඒ අය එන්නේ ගුරුවරු වශයෙන් නෙවෙයි. සංචාරක වීසා මතයි. ඒ උදවිය ඇවිල්ලා බේරුවල, කල්මුණේ, කල්එළිය, කුරුණෑගල ආදී ප්‍රදේශවල තිබෙන මුස්ලිම් පාසල් කිහිපයකට ගිහිල්ලා දරුවන්ගේ මනස විකෘති කරනවා.අන්තවාදය උගන්වනවා.ඒ හරහා අපේ රටේ බරපතළ ගැටලුවක් ඇතිවෙමින් පවතිනවා.

තබ්ලික් ජමාහත්, තව්හීද් ජමාඅත්, ජමාඅතේ ඉස්ලාම් යනුවෙන් ඒ ගොල්ලන්ගේ නිකාය විදිහට තිබෙන සංවිධාන හතරක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ උදවියත් ඇනකොටා ගන්නවා. සමහර ස්ථානවල මිනීමැරුම් සිදුවෙලා තියෙනවා. බරපතළ සිදුවීම් 15 ක් වාර්තාවෙලා තියෙනවා.”

විජයදාස රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය කළේ කටකහනවාට නොවන බව පැහැදිළිය. එදා පොලිසිය බාරව තිබුණේ සාගල රත්නායක ඇමතිවරයාටය. නමුත් මේ දක්වා ඒ ගැන සොයා බලන්නට කටයුතු නොකළේ ආණ්ඩුව තුළින්ම ඇතිවූ බලපෑම් නිසාද යන ප්‍රශ්නය මතුවෙයි. එදා විජයදාස රාජපක්ෂ මහතාගේ කතාවට කිපී ඔහු ජාතිවාදය අවුස්සන්නේ යැයි මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා චෝදනා කළ බවත් අද ඔහු මේ ගැන කියන්නේ කුමක් දැයි ප්‍රශ්න කළේය.

එහෙත් මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ කාත්තන්කුඩියේ පල්ලියක අන්ත ජාතිවාදී හා ආගම්වාදී දේශනයක් පවත්වන ලද ජම්ආත් කල්ලියේ නායකයා පිළිබඳ තොරතුරු හඬපටයත් සමඟ පොලිස්පතිවරයා වෙත ලබා දී ඔහු අත් අඩංගුවට ගෙන විමර්ෂණ කරන ලෙස ඉල්ලා සිටියත් එය පොලිසිය නොසලකා හැරී බවත් එහි විපාකවලට අද හැමෝටම මුහුණ දෙන්නට සිදුව ඇති බවත්ය.

මේ ගැන අවධානය යොමුකිරීමේ දී ආරම්භයේ මුස්ලිම් අන්තවාදි කල්ලිවල ව්‍යාප්තිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රධානීන් කටයුතු කිරීම කර හැර ඇති බවක් පෙනෙන්ට ඇත. එහි සැඟවුනු රහස සොයා ගතයුතුය. මුස්ලිම් සමාජය තුළ අන්තවාදී හා මූලධර්මවාදී සංවිධාන රැසක් බිහිවී ක්‍රියාත්මකව පවති. එම සංවිධාන ඉස්ලාම් ධර්මයට පවා පටහැනි ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර ඊට එරෙහිවන ඉස්ලාම් ආගමික නායකයන්ට මරණීය තර්ජන පවා එල්ල වූ බවත් මෙයින් සංවිධාන වැඩි ප්‍රමාණයක් බිහිව ඇත්තේ නැගෙනහිර පළාතේ බවත් මුස්ලිම් නායකයන් පෙන්වා දෙති. එබැවින් එවන් සංවිධාන හඳුනාගෙන ඒවා තහනම් කිරීමටත්, එහි ක්‍රියාකාරී පිරිස අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දඬුවම් කිරීමටත් පියවර ගතයුතුය.

අද මේ ප්‍රශ්නය මුල්කරගෙන මුස්ලිම් ජනතාව මහත් අභියෝගයකට මුහුණ දියයුතු තැනට තල්ලුවී සිටිති. මේ තත්ත්වයට 1971/ 88/89 වකවානුවේ සිංහල  ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය නිසා තර්ජනයට ලක්ව සිටි අතර එයින් තමනුත් රටත් බේරාගැනීම සඳහා සිංහල ජනතාව ආරක්ෂක අංශ වෙත නොපමාව නොපැකිල ඔවුන් දන්නා සියලු තොරතුරු සැපයීම නිසා කෙටි කළකින් එම ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට හැකිවිය. එමෙන්ම 30 වසරක් පුරා පැවැති කොටි ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමටත් දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරගෙන සැක දුරුකර ගැනීමටත් ඔවුන් දන්නා සියලු තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදීමෙන් එම ත්‍රස්තවාදි යුද්ධය අවසන් කරගෙන දෙමළ ජනතාවට සැකෙන් බියෙන් තොරව ජීවත්වීමේ නිදහස හිමිවිය.

අද අපි මුහුණ දෙන්නේ ජාත්‍යන්තර මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදයකටයි. එයින් සියලු මුස්ලිම් වැසියන් කෙරෙහි සමස්ත ජනතාව සැකෙන් බලන තත්ත්වයක් උදාවී ඇත. එයින් මිදීම සඳහා සමස්ත ශ්‍රී ලංකාවාසි මුස්ලිම් වැසියන්ට සුවිශේෂ වගකීමක් පැවරී ඇත. එනම් මේ මුලධර්මවාදී ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව ඇති සියලු තොරතුරු නොපමාව ආරක්ෂක අංශ වෙත ලබාදීමය. එසේ කිරීමෙන් තමන් පමණක් නොව සමස්ත මුස්ලිම් වැසියන්ගේම ආරක්ෂාව, විශ්වාසය තහවුරු වනු ඇත.

වි‍ජයදාස රාජපක්ෂ මහතා ජම්ආත් සංවිධාන පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කර වසර තුනකට පසුව මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවන මොහොතේ ඒ සිදුවීම කල්තියා දැන සිටි සමහර මැති ඇමතිවරුන් ඒ පිළිබඳ කිසිදු පියවරක් නොගෙන සිටියේ කුමක් නිසාද ? එහි පසුබිම කුමක්ද ? මෙම සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා රටතුළ සිටියේ නැත. එවන් මොහොතක ආරක්ෂක ඇමති සේනාවිධායක නැතැයි නිහඬව සිටින්නටද ජනතාව මේ අයට ඡන්දය දී බලයට පත්කළේ. එසේ නිහඬව සිටීමෙන් මේ සියලුදෙනා දැන හෝ නොදැන බරපතළ වරදක් සිදුකර ඇත. ඒ වරදට වගකිව යුතු උදවිය මෙහි නැ‍ඟෙන චෝදනාව ජනාධිපතිවරයා මත පැටවීමට උත්සාහ දැරීම කොතෙක් දුරට නිවැරදි ද? මෙම විනාශයට වගේම ඉදිරි අභියෝග තව කෙනෙකු පිට නොපටවා සාමුහිකව ඊට වගකීමට සියලු පාර්ශ්ව ඉදිරිපත්විය යුතුය. අද ඇති ප්‍රශ්නය අප හඹා යායුත්තේ වගකීම වෙනුවෙන්ද ? වගවීම වෙනුවෙන්ද කියා සිතා බැලිය යුතුය.

මෙම සිද්ධියේ වගකීම ජනාධිපතිවරයා පිට පැටවීමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊටත් පෙර මෙම සංවිධාන පිළිබඳ තොරතුරු අනාවරණය වූ අවස්ථාවේ නිසි පියවර නොගැනීම නිසාම මේ විනාශයට අද අහිංසක වැසියන්ට මෙවන් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය.

“ශ්‍රී ලංකා මුස්ලීම්ස්” නැමැති සංවිධානය 2018-06-19 දින මාධ්‍ය හමුවක් පවත්වා විශේෂ ප්‍රකාශයක් සමඟ ඉදිරියේදී රටේ ආරක්ෂාවට එල්ලවිය හැකි තර්ජන පිළිබඳ අනාවරණයක් කරමින් කරන ලද ඉල්ලීම කෙරෙහි එදා සැලකිල්ලක් නොදක්වා තිබීමත් අප මුහුණ දුන් ත්‍රස්ත ප්‍රහාරයට තවත් හේතුවක් විය හැකිය.

ශ්‍රී ලංකා මුස්ලීම්ස් නැමැති සංවිධානයේ මහ ලේකම් ආෂුක් රිම්ජාන් එම මාධ්‍ය හමුවේදි මෙසේද කියා සිටියේය.

සමාජ මාධ්‍ය ජාලා පවතින මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කරමින් සිටින බව පැහැදිලියි.දෙමළ – මුස්ලිම්, සිංහල – මුස්ලිම් ජාතිවාදි අරගල ඇතිකිරීමට කවුරු හෝ  උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇත. එහි අභ්‍යන්තරය හඳුනාගත යුතුය.මෙයට මුස්ලිම් ජාතිකයන් වගකිවයුත්තන් නොවිය යුතුයි. ශ්‍රී ලංකාවේ මූලධර්මවාදි මුස්ලිම් සංවිධාන ව්‍යාප්තිය වැඩිවීමත්, ඔවුන් දක්වන අන්තවාදී ප්‍රකාශ නිසාත්, සාමාන්‍ය මුස්ලිම් ජනතාව පීඩාවට පත්වෙමින් සිටිති. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා තවුහීත් ජමාහත් (SLTJ)  සංවිධානය විසින් බුදුරජානන් වහන්සේ පදනම් කරගෙන කරන ලද පහත් මට්ටමේ ප්‍රකාශය නිසා මුස්ලිම් වරුනුත්, රටත් විනාශ කරන තැනට පත්ව ඇත.

එවැනි මුස්ලිම් මූලධර්මවාදි සංවිධාන වහාම තහනම් කිරීමට රජය පියවර ගතයුතුයි. ඔවුන්ගේ ප්‍රකාශයන් රට තුළ සන්නද්ධ මුස්ලිම් සංවිධාන ක්‍රියාත්මක වන බවට සැක පහළ කරයි. එම සංවිධාන ශ්‍රී ලංකාව තුළට ව්‍යාප්තවීමට පෙරාතුව මෙරටේ මුස්ලිම් ජනතාව සාමයෙන් සමඟියෙන් ජීවත් වූ බව සිහිකරවීමට කැමැත්තෙමි.

මුස්ලිම් ජනයා නියෝජනය කරන මුස්ලිම් නාමය යොදාගත් දේශපාලන පක්ෂ  හා සෙසු දේශපාලඥයන් ජාතිවාදය ඇවිලවීමට තවත් පැත්තකින් හේතුවක් වී ඇත. ඔවුන් කරනු ලබන ප්‍රකාශ නිසා සිංහල දෙමළ ජනතාව කුපිතව නැගී සිටිති. එමගින් ප්‍රශ්න ඇතිවෙමින් පවති. ඒ හැර සාමාන්‍ය ජනතාව ප්‍රශ්න ඇති කරන්නේ නැත. මෙය සිදු කරන්නේ මුස්ලිම් මූලධර්මවාදි සංවිධානත්, මුස්ලිම් දේශපාලඥයනුත් මුස්ලිම් ජනයාව ප්‍රහාරයන්ට ලක්කරන තැනට තල්ලු කරමින් සිටිති. මේ තත්ත්වය රජයේ අවධානයට ලක්විය යුතුයි. අප සංවිධානය මේ මූලධර්මවාදීන්ව අප තරයේ හෙළා දකිමු. මුස්ලිම් ජනයාගේ ජාතික සමඟිය වනසන තවුහීත් සංවිධාන වහාම තහනම් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මුස්ලිම් දේශපාලඥයන් කරනු ලබන අන්තවාදි ප්‍රකාශ වලට එරෙහිව තදින්ම කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමු.

බොදුබල සේනා සංවිධානයේ නායක ඥානසාර හිමියන් සිරගත කිරීම සිදුවූයේ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ නඩුවකින් නොවුනද සමහර අන්තවාදී මුස්ලිම් ජාතිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ ඊට සතුට පළකරන ප්‍රකාශ නිකුත් කරමින් සිටිති. එය ඉතා අශෝභන ක්‍රියාවකි. එවන් ප්‍රකාශ අතර තවදුරටත් ඥානසාර හිමියන් සිරගතව සිටීම සිංහල ජනතාව තුළ ඇති මුස්ලිම් වෛරය ඉහළ යා හැකියි. තවත් ප්‍රශ්න ඇතිවිය හැකියි. එබැවින් අතිගරු ජනාධිපති තුමනි, මේ පිළිබඳ අවධානය යොමුකර උන් වහන්සේට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ඉල්ලා සිටිමු.

එමෙන්ම හින්දු ජනතාව නියෝජන කරන බව කියන සිවසේනා නැමැති අන්තවාදී සංවිධානය තහනම් කිරීමට රජය කඩිනම් පියවර ගතයුතුයි. මෙම සංවිධානය ජාතිවාදය අවුලවමින් සිටියි. මේ අයුරින් සාමයට ලැදි මුස්ලිම් ජාතික සංවිධාන හා පුද්ගලයන් මෙවන් තොරතුරු ආණ්ඩුවේ අවධානයට ගෙන ආවේ මෙවන් භයානක තැනකට රට තල්ලුවනු ඇතැයි කියන බිය නිසාය. ඒ කිසිවකට සවන් නොදී කටයුතු කිරීම තුළ රට අති භයානක අභියෝගයකට මුහුණ දී සිටියි.

මේ සිදුවීමේ දී වගනොකිවයුතු කිසිවෙකුත් නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කරන ලද්දේ එවන් පසුබිමක සිටිමින්ය.ත්‍රස්තවා දී  ප්‍රහාරයක් එල්ලවන බවට රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු අදාළ අංශවල වගකිවයුතු ප්‍රධාන නිලධාරීන් තමන් දැනුවත් කිරීමට අපොහොසත් වී ඇති බව කියා සිටි ජනාධිපතිවරයා  එවැනි දැනුවත් කිරීමක් සිදුකර තිබුණේ නම් මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට වහා ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබූ බවය. ඉදිරි පැය 24 ක් තුළ ආරක්ෂක ලොක්කන් වෙනස් කරමින් හෙට උපදින දරුවන් වෙනුවෙන් ම්ලෙච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවත් අවධාරණය කළේය.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කළ මෙරට ත්‍රිවිධ හමුදාවට මෙය අවසන් කිරීම එතරම් අපහසු කාර්යයක් වන්නේ නැත. මෙරට මුස්ලිම් ජනතාව මේ මොහොතේ ආණ්ඩුව හා ආරක්ෂක අංශ සමඟ සිටිමින් තමන් දන්නා සියලු තොරතුරු ලබාදෙමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහය වීමෙන් තමන්ටත් තමන්ගේ දරුවන්ටත් නිදහස් ආරක්ෂාකාරී පරිසරයක් ගොඩ නැගීමට ඉවහල් වනු ඇත. මෙම ඉස්ලාම් ත්‍රස්තවාදයට අනුබල දෙමින් සිටින දේශපාලඥයන් හඳුනාගෙන ඔවුනට එරෙහිව තදින්ම කටයුතු කිරීමට ආරක්ෂක අංශ පියවර ගතයුතු අතර ඊට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් එල්ලවීමට ඉඩ නොදිය යුතුය.

මෙම සිදුවීම්වලින් පසුව රටපුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී පුපුරණ ද්‍රව්‍ය, තියුණු අවි ආයුධ, ත්‍රස්ත පුහුණු මධ්‍යස්ථාන හා කඳවුරු රැසක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්විය. තිස් වසරක් පුරා පැවැති කොටි ත්‍රස්තවාදය පරාජය කල ඒ වගේම 1971, 1988/89 භීෂණය හා කැරැළි මැඩපැවත්වූ මෙරට ආරක්ෂක හමුදාව ලෝකයේ දක්ෂම හමුදාව බවට පත්විය. එවන් හමුදාවක් අපට සිටිය දී තවත් විදෙස් හමුදාවක් මෙරටට අවශ්‍ය  වන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැමවිටම විදෙස් හමුදාවක් ගෙන්වීමට ඉඩනොදෙන බව පවසන්නේ ඒ නිසාවෙන්මය.

ටී.චන්ද්‍රසේකර

Share This Post

NEW