අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍ය බව ජනපති පවසයි.

අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍ය බව ජනපති පවසයි.

අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබිමේ අවස්ථාවට අද (05) පෙරවරුවේ එක් වෙමිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපතිතුමා අතින් නව දෙමහල් ගොඩනැඟිල්ලට මුල් ගල තැබුණු අතර, ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් පාසල් සිසුවියක විසින් ඊට අදාළ සමරු ඵලකය නිරාවරණය කළාය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාන ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන්නේ දරුවන්ට තම දක්ෂතාවයන් අනුව අනාගතය ගොඩනඟාගැනීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් බවයි.

05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාවය අනුව තෝරාගත් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළ තුළින් අවස්ථාව ලැබෙන අතර, පාසල් වර්ගීකරණයක් සිදුකරමින් එම පාසල් අදාළ විශේෂිත විෂය ක්ෂේත්‍රය සඳහා පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

නවෝත්පාදන සහ හරිත ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයකට දරුවන් යොමු කිරීම මෙන්ම කලා උපාධිය ලබාගෙන රැකියා ඉල්ලා දරුවන් මහ පාරේ උද්ඝෝෂණ කරන යුගය නිමා කිරීම නව වැඩපිළිවෙළේ අරමුණ බව ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ය.

විදුහල්පතිනි පුෂ්පිකා බන්දුවංශ මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහර, කඩවත මහාමායා විද්‍යාලයේ ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවය අමතමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-04-05 දින

ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක්. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

ඔබේ පාසලට අද මේ පැමිණියේ තුන්වෙනි වරටයි. මම සෞඛ්‍ය ඇමතිවරයා කාලෙත් පාසලේ ආරම්භ කරපු වැඩසටහනකට ආවා මට මතකයි. ඉන්පසුව මේ තනතුරට පත්වුණාට පස්සේ දැන් මාස තුන හරතකට කලින් ඇවිල්ලා අද නැවතත් පැමිණීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා.

ලක්ෂ 450 ක මේ ගොඩනැගිල්ල දරුවන්ට ලබාදුන්නේ මමවත්, ඉසුරු දේවප්‍රිය මහ ඇමතිතුමාවත් ලසන්ත අලගියවන්න මැතිතුමාවත් නොවේ. මේ ගොඩනැගිල්ල පාසලට ලබාදුන්නේ ඔබේ පාසලේ ඇරොබික් ජිම්නාස්ටික් කණ්ඩායමේ දක්ෂකම් පෙන්නූ දරුවොයි කියන එක මං විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒක නිසා මේ ගොඩනැගිල්ල ලැබීමේ සම්පූර්ණ ගෞරවය ඒ දරුවන්ට. සාමාන්‍යයෙන් මම හිතන්නේ සුමානෙකට පාසල් තුන හතරකට මට යන්නම වෙනවා. ඒ වගේම සතියකට පන්සල් දෙක තුනකට උත්සවවලට යන්න වෙනවා.

පාසලකට ගියොත් අනිවාර්යයෙන් ඒ පාසලෙන් ඉල්ලීමක් එනවා තියෙන අඩුපාඩු පිළිබඳව. ඒක සාධාරණයි. පන්සලක පිංකමකට උත්සවයකට ගියොත් විවෘත කිරීමකට ඒ විවෘත කිරීම ඉවර වෙනවත් එක්කම ඒ පන්සලේ හාමුදුරුවෝ කියනවා අපිට තව ගොඩනැගිල්ලක් ඕනයි කියලා. නමුත් ඇත්තටම අපිට ඒ හැමදේම දෙන්න පුළුවන් නම් හොඳයි. දෙන්න පුළුවන් නම් හරිම සතුටින් අපි දෙනවා. නමුත් රජයේ ආර්ථික තත්ත්වය භාණ්ඩාගාරයේ වාර්ෂිකව මුදල් වෙන්කිරීම් සැලකිල්ලට ගැනීමේදී අපි සම්පත් ලබාදීමේදී රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ වඩාත් අවශ්‍යතාව ප්‍රමුඛතාව තේරුම් ගැනීමයි. ජාතික සංවර්ධනයේත් රජයක් විදියට ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතුයි. සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් මොනවාද කියලා.

ඒ වගේම තමයි අපි අධ්‍යාපන ක්ෂේත්‍ර ගත්තොත් පාසලක අවශ්‍ය දේවල්වලින් ප්‍රමුඛතාවය හඳුනාගැනීම ඉතාමත් අවශ්‍යයි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරලා පොළොන්නරු දිස්ත්‍රික්කයේ තියෙන්නේ පාසල් 247 යි. පාසල් 247 ම අංගසම්පූර්ණ කරලා තියෙනවා ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක නැති ආකාරයට. ඒ වගේම තමයි රෝහල්, මාර්ග, අනෙකුත් පහසුකම්. ඒ විශේෂ ව්‍යාපෘතියක් විදියට අරගෙනයි. නමුත් ඇත්තටම අපි හිතන්නට ඕන මේ ප්‍රමුඛතාවයන් පිළිබඳව සැලකිල්ල යොමු කරනවා වගේම පාසලකින් වෙනත් ක්ෂේත්‍රයකින් විශිෂ්ටයන් බිහිවන්නේ ඒ විශිෂ්ටයා බිහිවීමට ඔහුට මුල් වූ අභියෝග තුළයි. අභියෝග ජයග්‍රහණ ගැනීම තුළ විශිෂ්ටයෙක් බිහිවෙනවා. අධ්‍යාපනය ද සෞඛ්‍ය වෙනත් ක්ෂේත්‍රයකද තාක්ෂණික අංශයක ද ඒ ඕනෑම තැනක ක්‍රීඩාද සාහිත්‍ය ද කලා ද සංස්කෘතිය ද ඒ ඕනෑම අංශයක ද එහෙමයි. දේශපාලනය ද එහෙමයි. ඉතින් ඒ නිසා මම මේ දරුවන්ට දුන්න ගොඩනැගිල්ල මට මතකයි මම ගිය අවුරුද්දේ ආපු වේලාවේත් විදුහල්පතිතුමිය මේ ඉල්ලීම මට කළා. අර සෑම පාසලකම කරන ඉල්ලීම වගේ තමයි ඒ ඉල්ලීමත් සැලකුවේ ඒ වේලාවේ. දෙන්න පුළුවන් නම් දෙනවා නමුත් දීමේ හැකියාව කොහොමද කියලා. නමුත් මම කියපු විදියට දරුවන් පොළොන්නරු ගිහිල්ලා මම ඉගෙන ගත්ත මගේ පාසලේ රාජකීය විද්‍යාලයේ ඇරබික් ජිම්නාස්ටික් කණ්ඩායම ඔවුන්ගේ දක්ෂතා පෙන්නපු වැඩසටහන එක්කම මම ඇත්තෙන්ම තීරණය කළා මේ ගොඩනැගිල්ල කොහොමහරි දෙන්න ඕන කියලා. මං මහඇමතිතුමාට කිව්වා මහඇමතිතුමා සල්ලි නැද්ද කියලා. මහඇමතිතුමා ඇහුවා සර් කීයක්ද කියලා. එතකොට ඇස්තමේන්තුව මට එවලා තිබ්බේ මං කිව්වා මිලියන 45ක්. ආ ඒක මම දෙන්නම් මං ගාව සල්ලි තියෙනවා කිව්වා. ඉතින් ඒ අනුව තමයි මේක වුණේ. ඒක නිසා මහඇමතිතුමාටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේකට මාව හුඟාක් උනන්දු කළා මුල සිටම ලසන්ත අලගියවන්න ඇමතිතුමත් මේ ගොඩනැගිල්ලේ අවශ්‍යතාව පිළිබඳව. ඉතින් ඒ විදියට තමයි වුණේ. මම ඒ ගැන ඊට වඩා කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ.

මේ දවස්වල හැම පාසලකටම ගියහම මම එක කාරණයක් කියනවා. අදත් මෙතනත් ඒක කියනවා. ඒ තමයි 5 ශිෂ්‍යත්ව විභාගය වෙනස් වීම පිළිබඳ. මං හැමතැනම කියන්නේ මං කියපු දේ සමහර අය තේරුම් අරගෙන තියෙනවා. විශේෂයෙන් සමහර අම්මලා තේරුම් අරගෙන නැහැ. මට ආරංචි වෙනවා දොස් කියනවා කියලා. ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරලා කොහොමද අපේ ළමයාව හොඳ ඉස්කොලෙකට දාගන්න තිබ්බ අවස්ථාව නැතුව යනවානේ කියලා. ඇත්තෙන්ම ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්නේ එකපාරට අද හෙට නෙවෙයි. ඊට විකල්ප වැඩපිළිවෙළක් සමග. ඒකට අවුරුදු දෙකක් විතර යයි. ඒ විකල්ප වැඩපිළිවෙළ කුමක්ද? 5 ශිෂ්‍යත්ව ආරම්භය මම හිතන්නේ දරුවනේ දෙමව්පියෝ දන්නවා වැඩහිටියෝ දන්නවා 5 ශිෂ්‍යත්වය ආරම්භ වුණේ ඔය අද පවත්වන තරගකාරී විභාගයකින්, ඔය හොඳයි කියලා කියන පාසලක් ලබාගන්න නෙමෙයි. 5 ශිෂ්‍යත්වය ආරම්භ වුණේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළ රටේ ආර්ථික අමාරුකම් දැඩි ලෙස තියෙන ඉතාමත් දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විභාගයක් පවත්වලා ඒ දුප්පත්ම පවුල්වල දරුවන්ට ඉගෙන ගන්න පාසලක් තෝරගෙන පහසුකම් තිබෙන ඒ දරුවා වෙනුවෙන් රජය යම්කිසි වැය බරක් දැරීමට. ඒක තමා ප්‍රතිපත්තිය. නමුත් පසුකාලීනව මෙය වෙනත් පැත්තකට ගියා. ඒ තුළ තරගකාරීත්වය ඇතිවුණා. මම හිතන්නේ මම ඕන නෑ 5 ශිෂ්‍යත්වයෙන් දරුවෝ විඳින දුක පැහැදිලි කරන්න. අම්මලාට තියෙන මානසික පීඩනය. අම්මාගේ තාත්තාගේ ඒ සඳහා තියෙන බලාපොරොත්තු එක්ක දෙමව්පියොත් දරුවොත් මොනතරම් අසීරු අමාරු සටනක් ද 5 ශිෂ්‍යත්වයත් එක්ක කරන්නේ ඒ ඇයි කියලා අහපුවහම කියන්නේ හොඳ පාසලක් ගන්න. එහෙමනම් හොඳ පාසලක් කියලා කියනව නම් ලංකාවේ නරක පාසලුත් තියෙනවා. එහෙම නම් ළමයා ඉන්නේ නරක පාසලක. හැබැයි අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ හොඳ පාසලක් සහ නරක පාසලක් කියලා වෙන් කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම නැත්නම් හොඳ නැති පාසලක් කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යත්ව විභාගය තුළ බලාපොරොත්තු වෙන්නේ 5 අවලංගු කරලා අටේ පන්තියේ දී ඒ දරුවගේ දක්ෂකම් අනුව අදාළ එක් එක් විෂය ක්ෂේත්‍රවලට ඒ දරුවා තෝරලා වෙන් කිරීමයි. ඒ වෙන් කරනකොට කොළඹ දරුවෙකුට හම්බවෙන්න පුළුවන් සමහර වේලාවට පොළොන්නරුවේ පාසලක්. ඒ වගේම ගාල්ලේ දරුවෙකුට හම්බෙන්න පුළුවන් මහනුවර පාසලක්. ඒ මොකද එක් එක් පාසල් වර්ගීකරණය කරලා ඒ පාසල ඒ විශේෂිත විෂය ක්ෂේත්‍රයක් සඳහා පුළුල් කරනවා. අනික් විෂයන් වැඩකරන කොට ක්‍රියාත්මක කරන කොට. ඒ අනුව තමා මේ කටයුතු කෙරෙන්නේ.

එතකොට මම තව දෙයක් කියන්නට ඕන. මම පාර්ලිමේන්තුවට පත්වුණේ 1989 පෙබරවාරි මාසේ. 1989 පෙබරවාරි මාසේ මම පාර්ලිමේන්තුවට පත්වන විට මට දරුවෝ දෙන්නයි හිටියේ. දුවලා දෙන්න විතරයි. මන්ත්‍රීවරයෙක් වුණාට පස්සේ තමයි මට පුතෙක් හම්බුණේ. ඉතින් මගේ දුවලා දෙන්න ගම්පහ ගෝතමියට තමයි මම දැම්මේ මන්ත්‍රීවරයෙක් වෙන්න ඉස්සරවෙලා. හරියටම පන්තිය මතක නැහැ. ඒ අතරේ මාව මන්ත්‍රීවරයෙක් විදියට තේරුණා පාර්ලිමේන්තුවට. මං මොකද කළේ? සාමාන්‍යයෙන් මන්ත්‍රීවරු කවුරුත් කරන්නේ පාර්ලිමේන්තුවට තේරිච්ච ගමන් ඈත ප්‍රදේශවල එයාගේ පළමුවෙනි කාර්යය තමයි පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනවා එක්කම තමන්ගේ දරුවෝ ගෙනල්ලා කොළඹ පාසලකට දාන එක. මම ඒ දේ නොකළ කෙනෙක්. මම කරපු දේ මං දන්නෑ කිසිම මන්ත්‍රීවරයෙක් කරලා නැහැ. කිසිම අම්මා තාත්තා කෙනෙකුත් කරන්නේ නැති දෙයක්. මොකක්ද ඒ ? මං මන්ත්‍රීවරයෙක් වුණාම ගම්පහ ගෝතමී එකේ ඉගෙන ගත්ත මගේ දූලා දෙන්නා ඒකෙන් අස් කරගෙන මම ඉගෙන ගත්ත පොළොන්නරුව රාජකීය විද්‍යාලයට ගිහින් දැම්මා. මං කිව්වා ගම්පහ කොළඹ පාසලකට වැඩිය මම ඉගෙන ගත්ත පාසලේ ඔයාලා ඉගෙන ගන්න කියලා. මගේ දරුවෝ තුන්දෙනාම පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ.

2001 තිබිබ්ච මැතිවරණයේදී ආණ්ඩු පෙරළියක් ඇතිවුණා. ඒ ආණ්ඩු පෙරළියේ ප්‍රතිඵලය මගේ දරුවෝ තුන්දෙනාට රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න අපහසුතාවයක් ඇතිවුණා. බොහෝ ප්‍රශ්න ඇතිවුණා. දරුවෝ තුන්දෙනා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මං ගෙදර ඉන්නවානම් මාව බඳාගෙන අඬනවා ඉස්කෝලේ යන්න බෑ කියලා. අම්මාව බදාගෙන අඬනවා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා අපිට ඉස්කොලේ යන්න බැහැ කියලා. ඒ මැතිවරණ ප්‍රතිඵලය ලංකාවේ දේශපාලන සාදාචාරය සහ ලංකාවේ තිබෙන දේශපාලන සංස්කෘතියේ පහත් බවේ ප්‍රතිඵලයක්. ඊට පස්සේ මං මගේ දරුවෝ කොළඹට ගෙනාවා ඒ ප්‍රශ්නය නිසා. නැත්නම් මම ගේන්නේ නැහැ. මගේ දරුවෝ තුන්දෙනාම අද උපාධිධාරීන් එක් එක් විෂය ක්ෂේත්‍රවල. නමුත් මම මගේ ප්‍රතිපත්තිය මං මේ පැහැදිලි කළේ. විශේෂයෙන් මේ අධ්‍යාපනයේ තිබෙන තරගකාරීත්වයේදී විභාග සමත් වීමේ දැඩි අවශ්‍යතාව ය වගේම මේ මම කියන යෝජනාව තුළ 5 අවලංගු කරලා 8 තියලා ඒ එක් එක් විෂය ක්ෂේත්‍රයන්ට දරුවන් තේරීම තුළ බලාපොරොත්තු වෙන අංක එක තමයි නවෝත්පාදන ආර්ථිකය. අපි කතාකරන හරිත ආර්ථිකය තුළ දරුවා සුදුසු ක්ෂේත්‍රවලට යොමුකරලා කලා උපාධිය අරගෙන විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා අවුරුදු ගාණක් බෝඞ් උස්සගෙන මහ පාරේ පෙළපාළි යන රස්සාවල් ඉල්ලන උද්ඝෝෂණය කරන ක්‍රමේ නැති කිරීමේ ප්‍රධාන විසඳුමක් ඒක. ලෝකයේ බොහෝ රටවල දියුණු තත්ත්වය එයයි. දැන් බලන්න අපේ පාසල්වල තත්ත්වය මේ පාසලේ 2100 කොළඹ රාජකීය විද්‍යාලයේ 8000 විශාඛා 7000 යි. ආනන්ද විද්‍යාලයේ 6000 කට වැඩියි. මම රටවල්වලට ගියහම ගියදේ වගේම ඒ ගිය දේට වඩා අමතර දේවල් සොයලා බලනවා.

ජර්මනියේ, යුරෝපයේ පාසලක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබෙනවා පාසලක සිටිය යුතු දරුවෝ ගණන පන්තියේ දරුවෝ ගාණ. පන්තියේ දරුවෝ ගාණ 30යි. පාසලක උපරිමය 1000 යි. ඒක නීතිගත කරලා තිබෙනවා. ඒකේ මුලින්ම විනය, විනයත් එක්ක ඇතිවන දැනුම. එතැන්ට මේ රට වෙනස් වෙන්න ඕන. හොඳ පාසල් සහ නරක පාසල් කියන එක නැති කරලා. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා අද දවසේ පින්වන්ත වාසනාවන්ත දරුවෝ පිරිසක් සමග මේ සුන්දර උදෑසන එක්වන්න ලැබීම ගැන. විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, දරුවන් ඔබ සියලු දෙනාටත් උදව් කළ මැති ඇමතිවරු සියලු දෙනාටත් සෑම කෙනෙකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා තෙරුවන් සරණයි.

 

 

Share This Post

NEW