අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ.

අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ.

රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ගෙන යන සුබසාධන සේවාවන් තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි.

වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ඉකුත් සිව් වසර තුළ ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ඉටු කළ පුළුල් වැඩකොටස හේතුවෙන් දිවයින පුරා වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව මේ වන විට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇති බව ජනාධිපතිතුමා පවසයි.

කවුරුන් කුමන විවේචන සිදු කළ ද ඉකුත් සිව් වසර තුළ රටේ මහජන සේවාවන් වඩා ශක්තිමත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා අහිංසක ජනතාව වෙනුවෙන් එම සේවාවන් තවදුරටත් පුළුල් කරන බව ද කියා සිටියේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධ ව ඉදිකරන ලද ‘මෙත්සිරි සෙවණ’ වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (20) පෙරවරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ගොඩනංවන ලද ජාතික වකුගඩු අරමුදලේ පූර්ණ ප්‍රතිපාදන මත මෙම වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිකර තිබේ. ඒ දිවයිනේ විවිධ පළාත්වල ඉදිකෙරෙන වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානවල දෙවන මධ්‍යස්ථානය ලෙසයි. මෙහි පළමු මධ්‍යස්ථානය පසුගිය දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී විවෘත කෙරිණි.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මේ වන විට වකුගඩු රෝගින් 17,000ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එම රෝගීන්ට එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් මෙම මධ්‍යස්ථානයේ පවති. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා ද මෙහි පහසුකම් සපයා තිබෙන අතර සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ දේශන ශාලා ඇතුළු පහසුකම් රැසකින් සමන්විත ය.

සමරු ඵලකය නිරාවරණය කර වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

“මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මේ අතර මිහින්තලයේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් නිවාඩු නිකේතනයේ ස්ථාපනය කර ඇති 601 වන ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අඩු ආදායම්ලාභී පවුල් 2000ක් සඳහා ගෘහස්ථ ජල පෙරණ උපකරණ ලබාදීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 05 දෙනෙකු වෙත ගෘහස්ථ ජල පෙරණ උපකරණ ප්‍රදානය කිරීම, වකුගඩු රෝගින් 200 දෙනෙකු සඳහා රුධිරගත සීනි මට්ටම පරික්ෂා කිරීමේ උපකරණ ප්‍රදානය සංකේතවත් කිරීම මෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගින් ඇතුළු රෝගීන් සඳහා භාවිතා කිරීම පිණිස රුධිර පීඩන මාපක උපකරණ 200 ක් උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වකුගඩු රෝග නිවාරණය සම්බන්ධව පාසල් සිසුන් අතර පවත්වන ලද දීප ව්‍යාප්ත තරගාවලියේ ජයග්‍රහණ ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 05 දෙනෙකු වෙත ත්‍යාග හා සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අනුරාධපුර මෙත්සිරි සෙවණ වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් සිදුකරන ලද කැපකිරීම අගයමින් නිලධාරින්ට සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සමයේ තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගි කරගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ස්ථාපිත කරන ලද ජාතික වකුගඩු අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව ඇත. අදාළ අරමුදලේ ප්‍රතිපාදන යොදාගනිමින් වකුගඩු රෝගීන්ගේ සුබසාධන කටයුතු, රෝගී ප්‍රතිකාර සඳහා අවශ්‍ය යටිතල පහසුම් සම්පාදනය, වකුගඩු රෝගය නිවාරණය සඳහා සහ රෝග මූලය හඳුනාගැනීම සම්බන්ධ ව සිදුකෙරෙන පර්යේෂණ සඳහා දායකත්වය දැක්වීම හා වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශ සඳහා පිරිසිදු පානීය ජලය සම්පාදනය ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

රුපියල් මිලියන 800කට අධික පිරිවැයක් දරමින් වකුගඩු රෝගය ව්‍යාප්ත ව ඇති ප්‍රදේශ සඳහා ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති 600 ක් පමණ මේ වන විට ස්ථාපනය කර ඇති අතර ඉසුරුමුණිය විහාරස්ථානයේ ඉදිකර ඇති එහි 600වන ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අද පෙරවරුවේ ඉසුරුමුණිය විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේ ය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර විහාර පරිශ්‍රයේ ඉදිකර ඇති ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය විවෘත කළේය.

වාරියපොල ශ්‍රී සුමංගල විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය තුමුල්ලේ සීලක්කන්ද නායක ස්වාමින් වහන්සේ, තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නායක ස්වාමින් වහන්සේ, ඉසුරුමුණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර රටට සහ ගරු ජනාධිපතිතුමාට සෙත් පතමින් ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් ද උන්වහන්සේලා විසින් සිදු කළහ.

ඉසුරුමුණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව සුමංගල නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වීරකුමාර දිසානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ යුද හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙත්සිරි සෙවන වකුගඩු රෝහල විවෘත කිරීමේ උත්සවයේ දී ගරු ජනාධිපතිතුමා කළ කතාව – 2019-03-20 අනුරාධපුරය

හඳුනා නොගත් වකුගඩු රෝගය වශයෙන් හැඳින්වුවත් අපේ විශේෂඥ වෛද්‍ය, හෙද අනෙකුත් අතුරු වෛද්‍ය පරිපුරක වෛද්‍ය සේවාවන්වල ඒ සෑම කෙනෙක්ම මේ රෝගීන් සඳහා රජයේ දෙන සම්පත් පාවිච්චි කරමින් විශාල සේවයක් ඉටු කළා.

පසුගිය අවුරුදු හතරක කාලය තුළ අපේ වර්තමාන රජය යටතේ වකුගඩු රෝගීන්ගේ රෝග නිවාරණය ප්‍රතිකාර අංශ අපි වඩාත් ශක්තිමත් කළා. ගරු සෞඛ්‍ය ඇමතිතුමා පැහැදිලි කරපු ආකාරයට මේ ගොඩනැගිල්ල අපි අද විවෘත කරන්නේ ජාතික වකුගඩු අරමුදලෙන්. රුපියල් කෝටි 44 ක් වැය කරලා. අපි දැන් සති දෙකකට කලින් මහනුවර රුපියල් කෝටි 63 ක් වැය කරලා, මේ වගේම ගොඩනැගිල්ලක් විවෘත කළා. මේ ගොඩනැගිලි ඉදි කිරීමේ දී විශේෂයෙන්ම යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සුවිශේෂ කාර්යභාරයයක් ඉටු කළා. ඒ වගෙම් මේ ගොඩනැගිලි ඉදි කළ වගේම අපි ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍ර ප්‍රතිආශ්‍රිතකරණ යන්ත්‍ර ජාතික වකුගඩු අරමුදල යටතේ 601 ක් හදලා ජනතාවට පරිත්‍යාග කරලා තිබෙනවා.

මීට ස්වල්ප මොහොතක පෙර මිහින්තලයේ ප්‍රදේශයේ රජයේ සේවකයින් සඳහා ජල පෙරණ යන්ත්‍රයක්, ඊට පෙර අපි මේ අසල තිබෙන විහාරස්ථානයේ බැතිමතුන්ට සහ මහා සංඝරත්නය සඳහා ඒ ජල පෙරණ යන්ත්‍රයක් ලබා දුන්නා. මේ විදියට වකුගඩු රෝගීන් සඳහා පසුගිය අවුරුදු හතරක් තුළ ප්‍රමුඛත්වයක් දෙමින් විශාල වැඩ කොටසක් කළ බව කියන්න අවශ්‍යයි. මෙහි ප්‍රතිඵලයක් විදියට අද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙන වාර්තා තුළ වකුගඩු රෝගීන්ගේ අඩු වීමක් පෙන්නුම් කරනවා. එය ඉතාමත් ම සතුටු දායක ආරංචියක්. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ප්‍රතිකාර අංශ ශක්තිමත් කිරිම, ඒ වගේම ජල පෙරණ යන්ත්‍ර ගම්වලට ලබා දීම රජය විතරක් නොවෙයි රාජ්‍ය නොවන සංවිධාන මේ සඳහා විශාල වශයෙන් උදව් කළ බව සෑම කෙනෙක්ම දන්නවා. අපි මහනුවර ගොඩනැගිල්ල වියදම් කරපු කෝටි 63 ක් මේ ගොඩනැගිල්ලට වියදම් කරලා තියෙන කෝටි 44 ආසන්න මුදලක් ගත් විට කෝටි 100 කට ආසන්න මුදල් වියදම් කරලා තිබෙනවා. මේවා සතයක්වත් රජයේ මුදල් නොවෙයි.

2015 ජනවාරි මස 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වුණ වේලාවේ රටේ මට හිතවත් ඒ මැතිවරණ ව්‍යාපාර ශක්තිය දුන්න උදවිය පොස්ටර්, කටවුට්, බැනර් සඳහා වැය කරන්නට ඉදිරිපත් වුණා. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය මුදල් දෙන්න ඉදිරිපත් වුණා. මම ඒ වෙලාවේ පොදු අපේක්ෂකයා විදියට පොස්ටර්, බැනර්. කටවුට් ගහන්න එපා, පරිසර සංරක්ෂණය කරන්නට අවශ්‍යයි. පොලිතීන් පාවිචිචි කරන්න එපා ඒ වැය කරන මුදල් අපි ආරම්භ කරන වකුගඩු අරමුදලට ලබා දෙන්න කියලා මම එදා අපේක්ෂකයෙක් විදියට පුද්ගලික බැංකු ගිණුමක් ආරම්භ කළා. ඒ පුද්ගලික බැංකු ගිණුමට මිලියන් සියගණනක් ජනතාව පරිත්‍යාග කළා. මම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ, 2015 පළවෙනි අයවැය යෝජනාව තුළ එවකට මුදල් ඇමති රවි කරුණානායක මැතිතුමා මගේ උපදෙස් අනුව මගේ පුද්ගලික බැංකු ගිණුම රජයේ ජාතික වකුගඩු අරමුදල වශයෙන් නම් කළා. ඉන් පසුව අපි ජාත්‍යන්තර වශයෙන්නුත් සහයෝගය ඉල්ලා සිටියා. විවිධ පරිත්‍යාගශීලින්ගෙන් මුදල් ලැබුණා. මේ වන විට අපිට මිලියන් 2000 වැඩිය පරිත්‍යාග ලැබිලා තියෙනවා. මේ ගොඩනැගිලි දෙකකට වැය කරපු මුදල් ඒ වගේම රෝගී ප්‍රතිකාර අංශ රෝගී පවුල් ඒකකවල දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය ඒ වගේම පවත්වන විවිධ නිවාරණ වැඩසටහන් රාශියක් අපි මේ අරමුදල තුළින් ක්‍රියාත්මක කළා.

රජයේ මුදල් සතයක්වත් වැය කරන්නේ නැතුව විශාල ගොඩනැගිලි දෙකක් පසුගිය සති දෙකකට කලින් මහනුවර දී ත් අද අනුරාධපුරයේ දීත් මේ ජනතාවට පරිත්‍යාග කිරීමට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මේ සියලු කටයුතුවලදී සෞඛ්‍ය ආමාත්‍යාංශය, පළාත් සභාව, යුද නාවික, ගුවන්, පොලිස් මෙන්ම රජයේ අනෙකුත් ආයතන වකුගඩු රෝගීන් සඳහා ගෙන යන පුළුල් ජාතික වැඩ පිළිවෙළේ දී අපිට විශාල අනුග්‍රහයක් දක්වලා තියෙනවා. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ කෙරෙන පුළුල් අයෝජනය තුළ අද විශාල ප්‍රතිඵල තිබෙන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවාවට වැය කරන මුදල ලෝකයේ ඉහළ ම සංවර්ධනයක් තිබෙන රටවලවත් මේ විදිහේ සම්පුරණයෙන්ම වැය කරන්නේ නැහැ. සෑම ධනවත් රටවල ම මුදල් කරලා තමයි සේවාන් ලබා දෙන්නේ. නමුත් ලෝකයේ ඉතාමත්ම රටවල් දහයක් පහළොවක් පමණ මේ විදිහේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා.

චිනය වගේ රටක් ගත් විට ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයට ගියවිට අවුරුද්දකට අපේ රටේ සල්ලිවලින් රුපියල් ලක්ෂ අටක්, දහයක් වියදම් කරන්නට අවශ්‍යයි මේ රටේ පළවෙනි ශ්‍රේණියේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සම්පුරණයෙන්ම නොමිලේ ලබා දෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවාව අසීිමිත මුදලක් වාර්ෂිකව වැය කරනාවා. සෞඛ්‍ය සේවාවේ අද ගත් විට රටේ ඕනෑම රෝහලකට ගියොත් අලුත් ගොඩනැගිල්ලක් හැදෙනවා. එහෙම නැත්නම් අලුතින් මැෂින් එනවා. මානව සම්පත් වර්ධනය කරනවා වෛද්‍ය, හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ශක්තිමත් කරන්න පුහුණු වීම් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. ඒ නිසා මේ රටේ රජය පිළිබඳ කුමන විදිහේ විවේචන තිබුණත් මහජන සේවාවන් අඩාල වෙන්නේ නැතුව ඒවා ශක්තිමත් කරමින් මුලික වශයෙන් ඒ සේවාවන්වලට ප්‍රමුඛත්වයක් දෙමින් අපි කටයුතු කරලා තිබෙනවා. අද පසළොස්වක පෝය දිනයට මේ වන්දනීය පූජනීය මහා සංඝතරත්නය අනෙකුත් පුජකතුමාලා, සියලු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව විශේෂයෙන් සෞඛ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල, පළාත් අධ්‍යක්ෂතුමන්ලා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මේ සෑම දෙයකට දෙන අනුග්‍රහය දායකත්ව කැපවීම ඉතාමත් අගය කරනවා.

මේ සෑම දෙයක්ම කරන්නේ අසරණ දුප්පත් ජනතාව සඳහායි. මේ සෞඛ්‍ය සේවාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්නේ මේ දුප්පත් ජනතාවයි. ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා මේ රටේ වකුගඩු රෝගයට ලක් වන්නේ මේ රටේ දුප්පත් ජනතාවයි. එය පොහොසතුන්ට හැදෙන රෝගයක් නොවන බව සෑම කෙනෙක්ම දන්නවා. පසුගිය අවුරුදු විසි පහක, තිහක වාර්තා ගත් විට මේ රෝගයට ලක් වෙලා තිබෙන්නේ දුප්පත් ඉතාම දුගී ජනතාවයි. රෝගයට එක පවුලක කෙනෙක් ලක් වුණාම සමහර වේලාවට මේ පවුලට මේ රෝගය ව්‍යාප්ත වෙලා මුළු පවුලක් ම විනාශ වෙනවා.

ඒ වගේම ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා මේ අභියෝගය ජයගන්න වකුගඩු රෝගීන්ගේ තත්ත්වය පාලන කරන්න ඒ වැඩි වෙන සංඛ්‍යාව අවම කරන්න, ඉදිරි අවුරුදු කිහිපය තුළ ගෙනයන වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කරන්න, මේ හඳුනා නොගත් වකුගඩු රෝගය සහමුලින්ම තුරන් කරන්න කටයුතු කරනවා. මුලින්ම මෙය හැඳින්වුයේ රජරට වකුගඩු රෝගය කියලා නමුත් අද මේ රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක මේ වකුගඩු රෝගය තිබෙනවා.

ඒ නිසා තමා මේ ප්‍රමුඛත්වය දීලා තිබෙන්නේ. සෞඛ්‍ය ඇමතිතුමා කියපු විදියට මම 2015 මම චිනයේ කරපු නිල සංචාරයේ දී චින ජනාධිපති ෂි ජිං පින් මැතිතුමාගෙන් වකුගඩු රෝගීන්ගේ තත්ත්වය පැහැදිලි කරලා ඉල්ලීමක් කළා. අපිට රෝහලක් ලබා දෙන්න කියලා. ඒ අනුව රුපියල් කෝටි 1500 ක් වැය කර වකුගඩු රෝගීන් සඳහා ජාතික රෝහල මේ වන විට පොළොන්නරුවේ ඉදි වෙමින් පවතිනවා. ඔබ යන එන විට දකිනවා ඇති මේ උතුරු මැද රජරට ප්‍රදේශයත් ඒ වගේම නැගෙනහිර ප්‍රදේශය ඌව ප්‍රදේශය. ඒ වගේම වයඹ ප්‍රදේශය මේ රෝගයට ලක් වූ රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙන්නේ. ඒ නිසා මධ්‍යස්ථානයක් විදියට තමයි අපි පොළොන්නරුව තෝරා ගත්තේ ඒ රෝහල ඉදිකරන්නට. ඒ වගේම අනෙකුත් සියලු රෝහල්වලට අනෙකුත් පහසුකම් ලබා දෙමින් රජයක් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් ලබා දෙන මුදල් අමාත්‍යාංශය, පළාත් සභාවෙන් වෙන සේවාවන් ඉතාමත් අගය කරමින් මේ අසරණ දුප්පත් රෝගීන් වෙනුවෙන් අපි සෑම අතින්ම අපේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට උපරිම මෙහෙයක් ගන්නවා. රෝගීන්ගේ ප්‍රමාණය අවම කරමින් මේ රෝගය සම්පුරණයෙන්ම අපේ රටේන් තුරන් කරන්න අපි සියලු දෙනාම කැප වීමෙන් වැඩ කරමු යි කියන ඉල්ලීම් කරමින්, අද උතුම් පසළොස්වක පොහොය දිනයක මෙවැනි උතුම් කටයුත්තක් ඉටු කිරිම අනුග්‍රහය දැක්වූ සියලු මැති ඇමතිතුමන්ලා සෞඛ්‍ය සේවයේ සියලු දෙනාටත්, ආරාධිත අමුත්තන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය පළ කරනවා.

 

Share This Post

NEW