අලුත් හුස්මක්

අලුත් හුස්මක්

අපේ රට අනාදිමත් කාලයක පටන් ලෝකයේ ප්‍රසාදයටත්, ආකර්ෂණයටත් ලක් වන්නේ අති සුන්දර දේශයක් ලෙසය. ඒ අපේ රටේ භූමියේ පිහිටිම නිසාම පමණක් නොවේ. ජාතියක් හැටියට අප අත් පත් කරගත් බොහෝ අගනාකම් ද සහිතවය.

ඒසේ වුවත් අපේ රට කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයට අභියෝගවන බොහෝ ගැටලුවලට මුහුණ දි සිටී. ඒ අතර පරිසරයට අසංවේදී සමාජයක් බිහිවෙමින් තිබීම ද ප්‍රමුඛ කාරණයකි.

අතීතයේ අප මුතුන් මිත්තෝ පරිසරය සමඟ වුයේ අනුලංඝනීය බැඳිමකි. ඕව්හු ගහට, කොළට, ඇලට, දොළට බොහෝ ආදරය කළෝය. ඒ අතීත උරුමය අපෙන් ගිලිහී යාමෙන් අප විශ්වාස කළ පරිසරයට මිනිසා ද්‍රෝහිවිමේ ප්‍රතිවිපාක ඇස් පනා පිට අපි විඳිමින් සිටියෙමු. ඒ සඳහා යම් හෝ සැනසුමක්, සුසුමක් අපට හිමි වන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාරවය. එහිදී ද නාගරික සංවර්ධන විෂය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනිමත් සමඟ අපට ලෝකයේ නගර සැලසුම්, පරිසර කළමනාකරණය අත්විඳීමේ භාග්‍යය උදා වෙයි. ඒ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සෘජු මැදිහත්වීමත් සමඟය. නගරය පිරිසිදු භූමියක් වන වේගයෙන්ම නගරාසන්න මඩ වගුරු සොදුරු ජල තටාක බවට පත්වෙමින්, වල් වැදී තිබු නගරාසන්න භූමි භාග චිත්තාකර්ෂණීය කලාප බවට පත් වෙමින්, ශාරිරික සුවතා මංතීරු ආදිය දිනෙන් දින නාගරිකයන්ට හිමි විය.

ලෝකයේ අප අන්තර්ජාලයෙන්, රූපවාහිනියෙන් දුටු බොහෝ සෞන්දර්යාත්මක නාගරික වට පිටාවන් අප ඇස් පනා පිට දෘශ්‍යමාන වන්නට විය. කුණු ගඳ ගසමින් තිබු කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම සංවර්ධන වන සුන්දරම නගරය බවට පත්වෙමින් තිබිණි. තදාසන්න නාගරිකය ද ඊට සමගාමීව සුන්දර පිරිසිදු වටපිටාවක් නිර්මාණය කළේය.

මේ සැබෑ වුණු සිහිනවලට කණ කොකා හඬන්නට පටන්ගත්තේ ද 2015 වර්ෂය ආරම්භයේදී ය. සුපුරුදු ලෙස එදා සිට අපේ රටේ මංමාවත් නැවතත් කුණුවලින් පිරි ගියේය. රාජ්‍ය ඇමතිවරුන්ගේ වුවමනාවන් වෙනුවෙන් මංතීරු ගලවා දැමීය. නගර අපවිත්‍ර විය. විදෙස් රටවල මහ කුණු කඳු ලංකාවට ගොඩබෑවේය. ලංකාව කුණු බැහැර කරන අංගනයක් බවට පත් විය. කුණු මාෆියාව විසින් රාජ්‍ය නිලධාරියා ඇතුලු වගකිවයුතු සියල්ලෝ නිශ්ශබ්ද කරනු ලැබීය. ප්‍රතිඵලය වූයේ ඉතිහාසයේ නරකම, දරුණුම පාරිසරික ඛේදවාචකය ලෙස කුණු කන්දකට යට වී බොහෝ දෙනෙකුගේ ජීවිත ද දේපළ ද අහිමි වීමය.

ඒ සියල්ල නැවත අතීතයට එක් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය පෙරට ගැනීමත් සමඟය. දැන් රට ඒ සඳහා සූදානම්ය. දිනෙන් දින, පැයෙන් පැය රට පිරිසිදු වෙමින් තිබේ.

තැන තැන ගොඩගැසී තිබු කුණු කඳු ඉවත් කෙරෙයි. නැවතත් පරිසරය සහ මහජනයා අතර මිතුරුදම වර්ධනය වේ. අවිධිමත්ව කසළ බැහැ කිරීම විධිමත් වෙමින් තිබේ. රට වැසියා, පරිසරය සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව අපේක්ෂාවෙන් බලා සිටී. රාජ්‍ය නිලදාරින් තරුණ කණ්ඩායම්, පාසල් දරුවන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ජනපතිවරයාගේ පරිසර හිතකාමී වැඩපිළිවෙළ සමඟ ස්වේච්ඡාවෙන් එක්ව සිටී.

අපට ඕනෑ එවැනි රටකි. එවැනි සමාජයකි. පිරිසිදු රටකි. සෞඛ්‍යාරක්ෂිත පරිසරයකි. එය දිනෙන් දින ඉටුවෙමින් තිබේ.

මේ ඔබ දකින්නේ එකී යතාරථයේ ඔබේ සිහිනය සැබෑ වීමයි. අපේ රට නැවත සුන්දර වටපිටාවක් සහිත පිරිසිදු හුස්මක් ගත හැකි රටක් කිරීමේ ප්‍රයත්නයයි.

පරිසරය විසින් අපට දෙන නිහඬ වටිනා පණිවිඩයක් තිබේ. ඒ  “ඔබ මා රකින්න මා ඔබත් ඔබේ දරුවනුත් දිවි ඇති තුරා රකින්නේය” යන්නය.

 

Share This Post

NEW