ඉකුත් වසර කිහිපය තුළ තමා කැපවී කටයුතු කළේ රටේ පොදු ජනතාවට ආර්ථික සහ සමාජයීය සමෘද්ධිය උදාකරදීම වෙනුවෙන් බව ජනපති පවසයි.

ඉකුත් වසර කිහිපය තුළ තමා කැපවී කටයුතු කළේ රටේ පොදු ජනතාවට ආර්ථික සහ සමාජයීය සමෘද්ධිය උදාකරදීම වෙනුවෙන් බව ජනපති පවසයි.

ඉකුත් වසර කිහිපය තුළ තමා කැපවී කටයුතු කළේ රටේ දුගී භාවය තුරන් කර පොදු ජනතාවට ආර්ථික සහ සමාජයීය සමෘද්ධිය උදාකරදීම වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

ඒ වෙනුවෙන් වූ වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නැංවූ අතර කඩිනමි නොවුණත් සැබෑ සංවර්ධනයක ප‍්‍රතිලාභ අද රටේ ගොවි ජනතාවට හිමිව ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පොළොන්නරුව, මැදිරිගිරිය ප‍්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට අද (01) එක්වෙමිනි.

මැදිරිගිරිය ලංකාපුර ඇතුළු ඒ අවට ප‍්‍රදේශ රැසක් නිකසළ පුරවරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව සුංගාවිල ප‍්‍රදේශයේ ඉදිකරන ලද යන්ත‍්‍රානුසාරි කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය පළමුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. ජයිකා ආයතනයේ සහය ඇතිව ඉදිකර තිබෙන මෙම මධ්‍යස්ථානය මගින් දිනකට කසළ ටොන් 50ක් පමණ ප‍්‍රතිචකී‍්‍රකරණය කෙරෙන අතර ඉන් කොම්පෝස්ට් පොහොර ටොන් 20ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. වැය කර ඇති මුදල රුපියල් මිලියන 230 ක් වන අතර ව්‍යාපෘතිය ඉදිරියේ දී දිවයිනේ පළාත් නවය තුළම කි‍්‍රයාවට නැංවීමට නියමිතය.

සමරු ඵලකය නිරාවරණය කර යන්ත‍්‍රානුසාරි කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි කසළ ප‍්‍රතිචකී‍්‍රකරණ කි‍්‍රයාවලිය නිරීක්ෂණය කිරීමට ද එක් විය.

සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ ද, ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ ජයිකා ආයතනයේ නියෝජිත පිරිසක් ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, ප‍්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර, දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන, ලංකාපුර ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.එම්.එස්.ජී.බී. විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර රුපියල් මිලියන 58ක වියදමින් ඉදිකෙරුණු බිසෝපුර නව මහවැලි සංචාරක නිවාසය ද අද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

මහවැලි ගංගාද්‍රෝණිය ආශ‍්‍රිත ගොවි ජනපදවල කෘෂිකාර්මික ප‍්‍රජාව දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇති ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු විය.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ තවත් එක් අතුරු ඵලයක් වූ මැදිරිගිරිය නව සංවර්ධන කලාපයේ ජනපදික ගොවි ජනතාවගේ සමාජ ව්‍යවසායකත්ව සංවර්ධනය නංවාලීම අරමුණු කර ගනිමින්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු කරවීමේ ව්‍යාපෘතියේ දායකත්වයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන සමග ඒකාබද්ධව කි‍්‍රයාත්මක කරන ලද මහවැලි අත්සළු පියස, මහවැලි ඇපරල් සහ මහවැලි මින් විසිතුරු මැදුර හා මහවැලි මල් හා පැළ තවාන විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අනතුරුව පැවති උත්සවයේ දී මහවැලි ඉඩම්ලාභීන් සඳහා ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ මැදිරිගිරිය ජනපදිකයන් සඳහා ඉඩම් ඔප්පු 1222 ක් ප‍්‍රදානය සංකේත්වත් කිරීම, ගොවින් වෙත ශුද්ධ වාරි පද්ධති කට්ටල ලබා දීම සංකේතවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර, පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන් වෙත නිවාස ප‍්‍රදානය කිරිමේ වැඩසටන යටතේ මැදිරිගිරිය හා ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 13 දෙනෙකු වෙත නිවාස හිමිකම් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙරට අනාගතය ගොඩනැඟීමේ දී ප‍්‍රධාන සාධකයක් වන්නේ ගොවි ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීම බවයි. රටේම ගොවි ජනතාව මුහුණ දී සිටි ජල ගැටලුව ඇතුළු මූලික ගැටලුවලට විසඳුම් ලබාදෙමින් ගොවි ජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් තමාට පසුගිය වසර කිහිපය තුළ ඉටුකිරීමට හැකි වූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඞී.එම්.එස්. දිසානායක, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන, නගරාධිපති චානක සිදත් රණසිංහ, හිටපු පළාත් සභා මන්තී‍්‍ර සම්පත් ශ‍්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මැදිරිගිරිය ප්‍රදේශයේ පැවැති විවෘත කිරීම්වලින් අනතුරුව ගරු ජනාධිපතිතුමා කළ කතාව (2019-06-01 වන දින)

අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිසෝපුර ගම්මානයේ ජනතාව විදියටත්, ඒ වගේම මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව වන ඔබේ ජීවන අරගලය ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රතිලාභ රාශියක් ලබන වේලාවක්.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට වියදම් කරන රුපියල් කෝටි 2300ක පමණ මුදලින් බිසෝපුර ජනපදය ගොඩනගන්න, අපි රුපියල් කෝටි 300ක් වැය කරනවා. එයින් මේ වන විට සියයට 90 ක් අපි වියදම් කරලා තිබෙනවා. ඇළවල්, මහාමාර්ග, රජයේ ගොඩනැගිලි, රෝහල්, පාසල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු භෞතික සම්පත් සංවර්ධනය නිසා මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනයේ පුළුල් ගොඩනැගීමක් ඇති වෙනවා.

මහවැලි ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ජීවත් වන දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට ලක්වූ ගොවි ජනතාව මේ තිබෙන තත්ත්වයන්ට හුරු කිරීමේ ව්‍යාපෘතිය, අද ක්‍රියාත්මක වෙනවා. එක්සත් ජාතීන්ගේ යුන්එන්ඩීපි ආයතනය මහවැලි අධිකාරිය, සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් වශයෙනුයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. මේ වැඩසටහන් අවසන් වන විට රුපියල් කෝටි 300කට වැඩියෙන් වැය කරනවා. ඒ වගේම කාලගුණික දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපෘතිය තුළ තවත් කෝටි ගණනක් තමුන්නාන්සේලා වෙනුවෙන් වැය කරනවා. මේ තුළ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ ව්‍යාපෘති රාශියක් තිබෙනවා. අද මම ගිහින් බැලුවා මහවැලි අත්සළු පියස, මහවැලි අත්සළු පුහුණු මධ්‍යස්ථානය, ඇඟලුම් පුහුණු මධ්‍යස්ථානය, මහවැලි මල් හා පැළ තවාන් ව්‍යාපෘතිය, විසිතුරු මත්ස්‍ය අලෙවි සැල ඒවාගේම හරිත ප්‍රජා අලෙවි සැල මේ ව්‍යාපෘති සියල්ල වගේ ම අද මේ ප්‍රදේශයේ 1120 දෙනෙකුට ඉඩම් සඳහා අවසර පත්‍ර, ප්‍රදාන පත්‍ර ලබා දෙනවා.

මේ සියලු සංවර්ධන කටයුතුවල අරමුණ, රටේ ආර්ථිකය ශක්තිමක් කිරීමයි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී එහි ප්‍රමුඛත්වය දිය යුත්තේ ගොවි ජනතාවටයි. එසේම අඩු ආදායම්ලාභී පවුල්වල විරැකියාව, ආර්ථිකය කඩා හැලීම, දුගීභාවය, තුරන් කිරීමට ප්‍රමුඛත්වය ලැබිය යුතුයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මාන්තය අනෙකුත් විවිධ ක්ෂේත්‍ර හරහා කරන පුළුල් අයෝජන මඟින් අපි මේ ප්‍රදේශ සංවර්ධනය දිරිගන්වනවා. පසුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවේ බිහි වූ නව ගම්මානයක් විදියට බිසෝපුර ගම්මානය පිළිබඳ මම ඉතාමත් සතුටු වෙනවා මෙහි ප්‍රතිඵල ජනතාවට භුක්ති විදින්නට ලැබෙන්නේ ඉදිරි වසරවලයි.

මේ කටයුතුවල දී එක් පැත්තකින් මොරගහකන්ද ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විජේරත්න මහතා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, පරිසර අමාත්‍යාශයේ ලේකම් අනුර දිසානායක මහතා, මේ ප්‍රදේශයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන්, නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්, කොට්ඨාස කළමනාකරුවන්, කාර්ය මණ්ඩල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සමග වගේ ම පළාත් සභාවට රේඛිය අමාත්‍යාංශවලට අයත් ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මේ සියලු අංශ විවිධ ක්ෂේත්‍ර හරහා මේ සංවර්ධනයට එකතු වෙනවා. ඒ එකතු වීම තුළ මම හිතන්නේ ඔබ දකිනවා මීට අවුරුදු 10ට කලින් කොහොමද බිසෝපුර තිබුණේ කියලා. දැන් අවුරුදු 10ට පසු මේ ප්‍රදේශයේ අද තත්ත්වය කුමක් ද ? මම මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහවැලි කලාපයක් බවට පත් කෙරුවේ 2004. ලංකාවේ මහවැලි කලාප 10ක් තිබෙනවා. ඒ මහවැලි කලාප 10න්  4 ක් පොළොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය වෙනවා. වැලිකන්ද පැත්ත මහවැලි බී කලාපය, නුවරගල, සිරිපුර, දෙහිඅත්තකණ්ඩිය සී කලාපය, ඒ වගේම මොරගහකන්ද, බකමුණ කලාපය ඒවගේම තමුන්නාන්සේලාගේ මැදිරිගිරිය ප්‍රදේශය. ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක මහවැලි කලාප හතරක් නැහැ. මේ මහවැලි කලාප හතරක් ඇතුළු කළේ අවුරුදු විසිපහකට වැඩි කාලයක් මම මහවැලි ඇමතිවරයා විදියට වරින්වර කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගත්තොත් 2004 මහවැලි කලාපයක් බවට පත් කරලා, ලංකාවේ මහවැලි අධිකාරිය සහ ගොවි ජන දෙපාර්තමේන්තුවේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා මැදිරිගිරියේ එක සතියක් සම්පූර්ණයෙන්ම පාරවල් ටික හැදුවා. මේවා සමහර අයට අමතකයි. සමහර අයට මේවා මතක් වුණත් කියන්නේත් නැහැ. මතක තියන අය නම් මේවා කියනවා. මැදිරිගිරිය පුළුල් වෙනසකට ලක්වුණේ මහවැලි කලාපයක් විදියට සංවර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් විදියටයි. අද මැදිරිගිරිය රෝහල අපි මොනතරම් සංවර්ධනය කරලා තියෙනවා ද? අලුත් ගොඩනැගිලි කොච්චර දීලා තියෙනවා ද මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල්වලට නව ගොඩනැගිලි දුන්නේ නැති පාසලක් නැති තරම්. මේවා අංග සම්පූර්ණ කරලා තිබෙනවා. මුළු දිස්ත්‍රික්කයේ ම ඒ වෙනස කරලා තියෙනවා.

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන, මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඒකාබද්ධව තමා මේ පුළුල් සංවර්ධන කාර්යයන් ඉෂ්ට කරන්නේ. රටක අනාගතය ගොඩනැගීමේ දී ඉතාමත් වැදගත් සාධකය තමයි ගොවි ජනතාව, ගොවි ජනතාව ශක්තිමත් කිරීම ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, රටේ දූගීභාවය තුරන් කිරීම මේ කරුණු තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේ කරන සියලුම ආයෝජන ඒ වෙනුවෙන්. මේ සියල්ල තමුන්නාන්සේලාගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා. ලෝකයේ කිසිම රටක් නැහැ අපේ රටේ වගේ සහනාධාර දෙන. අද මම සහභාගි වෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීමේ උත්සවයකට. මේ සියල්ල සඳහා රජය වියදම් කරන මුදල් ප්‍රමාණය එක්ක මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ආර්ථික තත්ත්වය උසස් කිරීමයි. මේ ප්‍රදේශය පසුගිය අවුරුදු 10දී විශාල පරිවර්තනයක ලක් වෙලා තිබෙනවා, නව ජනපද ව්‍යාපාරයක් විදියට. මේ බිසෝපුර නව ජනපදය හැදුවේ අරමුණු දෙකකින්. ඒ අරමුණු දෙක තමයි මැදිරිගිරිය ප්‍රදේශයේ ඉඩම් නැති අයට ඉඩම් ලබා දෙන්න. අනෙක් පැත්තෙන් මොරගහකන්ද කළුගඟ ප්‍රදේශයත් එක්ක ඒ ප්‍රදේශයේ මාතලේ දිස්ත්‍රික්කය විශේෂයෙන් ලග්ගල ප්‍රදේශයේ ජලයට යටවෙන අයට ඉඩම් ලබා දෙන්න. මොරගහකන්ද කළුගග ජලාශයට යටවෙන ජනතාව 3000 ක් විතර ඉන්නවා. ඒ සියලු දෙනා මැදිරිගිරියට එන්න බැහැ කියලා අපිට මාතලේම ඉඩම් ඕනෑ කියලා කිව්වා.

ඒ සියලු දෙනාටම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් ලබා දී වන්දිත් දුන්නා. ලංකාවේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක ඒතරම් විශාල මුදලක් වන්දි වශයෙන් පුද්ගලයින්ට ඉඩම් වලට ගෙවීම් කරලා, නැහැ. අද මොරගහකන්ද ව්‍යාපාරය තමයි වැඩිම වන්දියක් ගෙවූ ව්‍යාපාරය, රජයේ පොදු කටයුත්තකට ඉඩම් ගැනීම නිසා. මේ දිස්ත්‍රික්කයට මේ ඉඩම් බෙදලා දෙන්න තිබුණා. නමුත් මම තීරණය කළේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ලංකාපුර ප්‍රාදේශීය කොට්ඨාසය ප්‍රමුඛව මේ ඉඩම් දෙන්න ඕනෑ කියලා. ඒ අනුව මේ වන විට 800කට අපි ඉඩම් දීමේ කටයුතු කරලා තිබෙනවා. ඉදිරියට තව දෙන්න තියෙනවා. මෙහි දෙවන අදියර ගත් විට ක්‍රියාත්මක වීම තුළ පැහැදිලි ලෙස මුළු පවුල් 12000 ක් විතර වෙනවා. දෙවන අදියර අනාගතයට භාරයි. මේ ආරම්භය අපි කළා. මුල් අඩිතාලම දැම්මා. ඒ මුල් අඩිතාලම තුළ තමයි මේ සංවර්ධනය ඔබ දකින්නේ. මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව ආර්ථික අමාරුකම් ප්‍රශ්න රාශියක් තිබෙන ජනතාවක්. සැපවත් ජීවිත ගත කරන සියයට එක්කෙනෙක් වත් නැහැ. ගොවි ජනතාව කියන්නේ සැප විඳින අය නොවෙයි. දරුවන්ගේ අනාගතය, තමන්ගේ පවුල් සංස්ථාව ගොඩ නැගීම මේ කියන කරුණු මුල් කරගෙන අභියෝග රාශියක මුහුණ දෙන ජනතාවක් ගොවි ජනතාව කියලා කියන්නේ. ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ සුබසාධනය. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය මේ කටයුතුවල ප්‍රධාන වශයෙන් අවශ්‍ය පහසුකම් තමුන්නාන්සේලාට ලබා දීමයි මේ සියලු දෙයින් කරලා තියෙන්නේ.

ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා එක්සත් ජාතීන්ගේ කාලගුණික දේශගුණික විපර්යාස අරමුදල හරහා අපිට ලැබෙන ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දීමට හැකි වීම පිළිබඳව. මැදිරිගිරිය, බිසෝපුර, වලපනේ කොට්ඨාස තුනයි ඒ සදහා අපි තෝරා ගත්තේ. අපේ රට නියඟය, සුළිසුළං, ගංවතුර, සුනාමි විවිධ අපදා තත්ත්වයන් තිබෙන රටක්. ඒ සඳහා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ අරමුදලට ලංකාව තෝරා ගෙන තිබෙන්නේ.

තමුන්නාන්සේලාට මේ ප්‍රතිලාභ ලබා දීලා සංවර්ධන කටයුතුවලට ලබා දෙන්න, හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා.

අපේ ප්‍රාර්ථනාව වූ තමුන්නාන්සේලාට උසස් ජීවන තත්ත්වයක්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා අපි කැපවෙන බවත්, ප්‍රකාශ කරමින් මේ කටයුතුවලට සහයෝගය ලබා දුන් මැති ඇමතිවරුන්, සියලු රාජ්‍ය නිලධාරීන්, මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා පුළුල් කාර්යයක් කරන යුද, නාවික, ගුවන්, පොලිසිය මේ සෑම අංශයකට මගේ විශේෂ ස්තූතිය ප්‍රකාශ කරනවා.

ස්තූතියි. තෙරුවන් සරණයි.

 

Share This Post

NEW