කතාකරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු බව ජනපති අවධාරණය කරයි.

කතාකරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු බව ජනපති අවධාරණය කරයි.

කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලු දේශපාලනඥයන් වගකිව යුතු බව ජනාධිපතිතුමා පවසයි.

කතාකරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

සරල සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්-කුරාණය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.

ඉස්ලාම් ආගමේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙන්ම මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය සහ ආගමික පසුබිම පිළිබඳ අනෙකුත් ජාතින්ට අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන අයුරින් හුදු පරිවර්තනයකට පමණක් සීමා නොවූ කියවා තේරුම්ගත හැකි අන්දමේ සරල සිංහල භාෂාවෙන් මෙම පරිවර්තනය සිදුකර තිබීම විශේෂත්වයකි.

ඉස්ලාමීය විද්වතුන්ගේ අදහස් ලබා ගනිමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමයේ මූලිකත්වයෙන් මෙම කටයුතු ක්‍රියාවට නැංවිණි.

මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙළේ දී කතාකරන භාෂාව අනුව සමාජය තුළ සිදුව ඇති බෙදීම මහත් බාධාවක් වී ඇති බවයි.

සියලු ජාතින් සහ ආගමිකයන් අතර ඇතිකරගන්නා අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මඟින් මෙම බෙදීම අවසන් කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා ශුද්ධ වූ අල්-කුරාණය සිංහල බසට පරිවර්තනය කිරීමට ගත් පියවර රට තුළ ජාතික සමඟිය සහ සංහිඳියාව ඇතිකිරීමේ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් බව ද සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ භාෂාව අනුව පාසල් වර්ගීකරණය කිරීම ද අවසන් විය යුතු අතර තම සංකල්පයක් මත පොළොන්නරුවේ ඉදි කළ ත්‍රෛභාෂා ජාතික පාසල් ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් පළාත් සඳහා ද ව්‍යාප්ත වීම ඉතා වැදගත් බවයි.

සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශූද්ධ වූ අල්-කුරාණයේ පළමු පිටපත සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමයේ සභාපති අෂ්-ෂෙයික් මුෆ්ති රිස්වි තුමන් මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ඉස්ලාමීය පූජකවරුන් ද, හිටපු අමාත්‍ය නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර්, ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා යන මහත්වරුන් ද, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සංගමයේ ලේකම් එම්.එම්.ඒ. මුබාරක් තුමා ඇතුළු එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල් කුරාණය එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවය අමතා ජනාධිපතිතුමා කළ කතාව – 2019-04-07 – BMICH

තමුන්නාන්සේලාගේ සංගමයේ සභාපතිතුමා සඳහන් කළ විදියට, අල් කුරාණය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම මේ යුගයේ වැදගත් සිදුවීමක් විදියට ඉතිහාසයට එකතු වෙනවා. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් බෙදිලා වෙන්වෙලා ඉන්න අංශ කිහිපයක් තිබෙනවා. ධනය ඇති අය පොහොසතුන් විදියටත් ධනය නැති අය දුප්පතුන් විදියටත් බෙදිලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ප‍්‍රබල ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා කතාකරන භාෂාව අනුව මිනිසුන් බෙදීම. ඒ තුළින් දැක්වෙන්නේ නොදියුණු සමාජයක ලක්ෂණයක්. උගත් සමාජය, බුද්ධිමත් සමාජය, දියුණු සමාජය කිසිවිටෙකත් භාෂාව නිසා බෙදෙන්නේ නැහැ.

අපේ රට බි‍්‍රතාන්‍ය පාලකයින් අල්ලාගෙන සිටි කාලය තුළ සිංහල සටන්කාමීන් සමග මුස්ලිම් සටන්කාමීන් එකට එකතුවෙලා බි‍්‍රතාන්‍ය පාලකයින්ට විරුද්ධව සටන් කළා. අවසාන සිංහල රජවරුන් අවසාන නායක්කාර වංශික රජවරුන් රජකම් කළ කාලයේ ලංකාවේ සිංහල සහ ඉස්ලාම් ජනතාව එකතුවෙලා ආක‍්‍රමණික හමුදාවට විරුද්ධව සටන් කළා. ඒ එකතු වී කළ දෙයින් අපිට යටත්විජිත පාලනයෙන් මිදෙන්න පුළුවන්කම ලැබුණා. 1940 දශකයේ දී සිංහල, දමිල, ඉස්ලාම් මේ සියලු භාෂාවන් කතාකරන ජාතීන්ගේ නායකයින් එකට ඉඳලා සුද්දන්ට විරුද්ධව සටන් කළා. ඒ නිසයි අපට මේ රට නිදහස් කරගන්න පුළුවන් වුණේ.

නමුත් අපේ රටේ දේශපාලනඥයින්ගේ ම තිබෙන වැරදි නිසා අපි භාෂාමය වශයෙන් බෙදිලා එකිනෙකාට වෛර කරන්න පටන් ගත්තා. සැකයෙන් බලන්න පටන් ගත්තා. මේ භාෂාව නිසයි බෙදුනේ. අපි සියලූ දෙනා එකම ආහාර ගන්නවානම් අපේ තියෙන ශරීර අවයව සියල්ලම එක නම් ඇයි අපි බෙදෙන්නේ කියන කාරණය විශේෂයෙන් අපේ රටේ උගතුන් විද්වතුන් සමාජය දැනුවත් කිරීම ඉතාමත් ම අවශ්‍යයි. අපිට අත්දැකීම් තිබෙනවා. පසුගිය වසර 50 ක 60 ක කාලය තුළ සිංහල, දමිල, මුස්ලිම්, ඉස්ලාම් ජනතාවගේ සමගිය වගේ ම බෙදීම පිළිබඳව අපිට සතුටුවිය හැකි සහ සතුටු විය නොහැකි කාරණා තිබෙනවා. ඒ කාරණාවලදී මම විවෘතව චෝදනා කරන්නේ පක්ෂ භේදයකින් තොරව මේ රටේ දේශපාලනඥයින්ටයි. ඉන්දියාවේ භාෂාවන් 400ක් පමණ කතාකරන ජනතාව ඉන්නවා. ඒ ඕනෑම කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබේ ජාතිය කුමක්ද කියලා ඒ සෑම කෙනෙක්ම කියන්නේ මම ඉන්දියන් ජාතිකයෙක් කියලා. නමුත් අපේ රටේ තමයි සිංහල ජාතිය, දමිල ජාතිය, මුස්ලිම් ජාතිය කියලා බෙදීම තියෙන්නේ. මේ හේතුව අපේ රටේ දියුණුවට බාධාවක් වෙලා තියෙනවා.

ඒ වගේම අපේ ඉතිහාසයේ දී දේශපාලනඥයෝ කරලා තිබෙන වැරදි අතර මම දකින බරපතළ වරදක් තමයි සිංහල මහා විද්‍යාලය, දමිල මහා විද්‍යාලය, මුස්ලිම් මහා විද්‍යාලය ආදි ලෙසට පාසල් නම් කරලා වෙන් කිරීම. එය මම දකින්නේ පසුගිය වසර ගණනාවක් තුළ අපි කරගත් ලොකු වරදක් විදියට. මම මීට සති කිහිපයකට පෙර පොළොන්නරුව නගරයේ පාසලක් විවෘත කරන්න ගියා. සිංහල, දමිළ, මුස්ලිම් ජාතීන් වල දරුවන් සියල්ලන්ම ඉගෙන ගන්නවා. ඒ දුන්න ආදර්ශය අපි මීට වසර ගණනකට කලින් දුන්නා නම් මම හිතනවා මේ ජාතීන් අතර තිබෙන බෙදීම, අවිශ්වාසය නැතිවෙනවා කියලා.

අල් කුරාණය සිංහලයට පරිවර්තනය කිරීම මේ රටේ ජාතික සංහි`දියාව ඇති කිරීමට ගත් විශිෂ්ට පියවරක්. සිංහල භාෂාවෙන් තිබෙන විට භාෂා භේදයකින් තොරව පාසල් දරුවන් මේක කියවනවා. ඒ කියවන විට තිබෙන දර්ශනය පැහැදිළිව තේරුම් ගනී. ඒක තමයි ඉතාමත් වැදගත් වන්නේ. අපි බෞද්ධයින් විදියට ත‍්‍රිපිටකය, මුස්ලිම් ජනතාවගේ අල් කුරාණය, හින්දු ජනතාවගේ භගවත් ගීතාව වැනි දේ සෑම කෙනෙක්ම ඉගෙන ගන්නවා නම් අපි යහපත් මිනිසුන් වෙනවා. ඒ වගේම අපි අතර තිබෙන වෛරය නැතිවෙනවා. සිංහල, දමිල, මුස්ලිම් කියලා මේ ජාතීන් අතර තමයි ගැටුම් ඇති කරන්නේ. ඒ ගැටුම් ඇති කරගැනීමට හේතුව මම දකින්නේ සාමාන්‍යයෙන් මිනිසුන් දන්නවා මත්ද්‍රව්‍ය භාවිතා කරන එක වැරදියි කියලා. නමුත් ඒවා භාවිතා කරනවා. ඒ වගේම නොයෙකුත් නීති විරෝධී වැඩ වැරදියි කියලා දැන දැන කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ ගැටුම් ඇතිවෙන්නේ ඒ විදියටයි.

බෞද්ධ වුණාට බෞද්ධ දර්ශනයේ තිබෙන ප‍්‍රතිපත්ති නැත්නම් වැඩක් නැහැ. දැන් ඔබ දන්නවා අපි යම්කිසි උත්සවයකට ගියාම පන්සිල් ගන්නවා. පන්සිල් පද පහේ තිබෙන වටිනාකම් ඔබලාගේ අල් කුරානයේ තිබෙනවා. හැම ආගමක් ම තමන්ගේ දර්ශනය තුළ තිබෙන විදියට චරිතය හැඩගස්වාගෙන තිබෙනවා නම් ඒ ගැටුම් ඇතිවෙන්නේ නැහැ.

බෞද්ධ ද, හින්දු ද කි‍්‍රස්තියානි ද මේ සෑම කෙනෙක්ම තමාගේ ආගමික දර්ශනය කමන් පිළිපදන්නේ නැති වුණාම තමයි ගැටුම් ඇති වෙන්නේ. 2017 දී මහනුවර ඇති වූ ගැටුම්වලදී මම මහනුවරට ගිහින් භික්ෂූන් වහන්සේලා, හින්දු පූජකතුමන්ලා, ඉස්ලාම් පුජකතුමන්ලා ඒ සියලූ දෙනාත් අපේ මැතිඇමතිවරුනුත් ගෙන්වලා මහනුවර ජනාධිපති මන්දිරයේ සාකච්ජා කරන්න පටන් ගත්තා, ගැටුම් අවසන් කිරීම ස`දහා. නමුත් මම එතැන දී දැක්ක දේ ඒ පුජකතුමන්ලා අතරේත් ඒ ප‍්‍රශ්නය සාකච්ජා කරලා විසඳන්න බැරිව ගියා. ඒක තමා ඇත්ත තත්ත්වය. ඒ සාකච්ජාවල දී තම තමන් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් කතා කරන මිසක් හැමදෙනාම ප‍්‍රශ්නයට මැදිහත් වෙලා මධ්‍යස්ථව කතා නොකරන තත්වයක් ඇති වුණා. පසුගිය මේ අවුරුදු හතරක වැඩි කාලය තුළ මේ රටේ ජාතික සමගිය, සංහි`දියාව ගොඩනැගීම කාර්යයයේ දී බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කි‍්‍රස්තියානි සියලුම පූජකතුමන්ලා ගෙනල්ලා අපි වරින් වර ආගමික සහජීවනය සඳහා සාකච්ජා පත්වනවා.

මෙතන සිටින පුජකතුමන්ලා ඒ සාකච්ජා සඳහා සහභාගි වෙලා තිබෙනවා. ඒ සාකච්ජාවට සෑම පාර්ශ්වකයකින් ම එන්නේ බොහොම උගත් නායකයින්. උගත් බුද්ධිමත් මේ නායකයින් අතර සාකච්ජාවලදී අසීරු, අමාරු තත්ත්වයන් ඇති වෙනවා. කොච්චර ඉස්සරහට ගියත් අපි තමන්ගේ පැත්ත විතරක් කතා කරන්න පටන් ගන්නවා. මම මම ගැන කතා කළොත් අනෙක් අයත් එක්ක තියෙන ප‍්‍රශ්නයක් විස`දාගන්න බැහැ. සාමන්‍යයෙන් මම දකින දේ තමයි මේ ලෝකයේ තියෙන ප‍්‍රශ්නවලදී ප‍්‍රශ්න වැඩි වෙන්න ප‍්‍රධාන හේතුව, මිනිස්සු අපි මැරෙන බව නොසිත ජීවිතයට කාල සටහනක් හදනවා, සීමාවක් නැති කාලසටහනක්. ඒ කෙළවරක් නැති කාලසටහනට සම්පත් එකතු කරන්න පටන් ගන්නවා. කාලසටහනක් හදා ගන්නවා මම අවුරුදු 60 න් ද 70 වෙන් ද 80 න් ද 90 ද ඊට පස්සේ මම නැහැයි කියලා ඊට පස්සේ තමයි අපි ජීවත් වෙන්න හරි හම්බ කරන්නත් ඕනෑ. නමුත් හරි හම්බ කරන එකත් අසීමිතව කරනවා හැමදාම ජීවත් වෙනවා කියලා හිතාගෙන. ඒ නිසා මැරෙන බව කියලා හිතන්නේ නැතුව ජීවත් වෙනකොට ප‍්‍රශ්න වැඩි වෙනවා. අනෙක් කාරණය තමයි අනික් අය ගැන හිතන්නේ නැතුව හැම වේලාවේම තමන් ගැන හිතනවා. මම මම ගැන විතරක් හිතනවා අනෙක් අය ගැන හිතන්නේ නැතුව.

මේ දර්ශනය තුළත් තියෙනවා නායකයින්ගේ තිබිය යුතු ලක්ෂණ. නායකයින්ගේ ප‍්‍රධාන ලක්ෂණය තමයි නායකයා තමන් ගැන හිතන්නේ තැතුව අනුන් ගැන හිතන්න ඕනෑ.

උතුම් අල් කුරාණයේ උතුම් දර්ශනය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් මේ රටේ ජාතික සමගිය ගොඩනගා ගන්න, සංහිඳියාව ශක්තිමත් කරන්න, ජාතීන් අතර මිත‍්‍රශිලීභාවය ඇති කරන්න මේ දැනුම ලබාගන්න සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය මේ කරපු ඓතිහාසික වූ ඉතාමත් ම විශිෂ්ට කි‍්‍රයාව පිළිබ`දව මම ඉතාමත් සතුටු වෙනවා.

මේ ගැන තමුන්නාන්සේලාගේ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයට මේ ස`දහා සම්බන්ධ වූ සෑම කෙනෙකුටම මෙයට සම්බන්ධ වූ ඒ උලමාවරුන් ඇතුළු ඒ පූජකතුමන්ලාටත් මම රජය විදියටත්, ජනතාව විදියටත් සමස්ත සියලූ ජාතීන් වෙනුවෙනුත්, මගේ ගෞරවය, ආදරය සහ ස්තූතිය ප‍්‍රණාමය පුද කරනවා.

මෙය කාලයට උචිත කාලයට අවශ්‍ය මේ යුගයට අවශ්‍ය ඓතිහාසික වැදගත් කාර්යයක් තමුන්නාන්සේලා කරන්නේ. එනිසා ඒ සියලු දෙනා ස්තූතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.

 

Share This Post

NEW