කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

රුපියල් මිලියන 1200ක වියදමින් සංවර්ධනය කෙරුණු අඹන නව නගරය ජනපති අතින් ජනතා අයිතියට

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මෙරට කෘෂි ආර්ථිකයේ

නව පරිවර්තනයක් ඇතිකරනු ඇති බව ජනපති පවසයි.

රසායනික පොහොරවලින් බැහැරව කාබනික පොහොර භාවිත කිරීමේ ප්‍රතිපත්තියකට රට ගමන් කළ යුතුයි.

21 වන සියවසේ මෙරට වාරි විස්මිතය ලෙස හැඳින්වෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ සිදු විය.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ කලුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල, පල්ලේගම ප්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කර තිබේ. මෙහි සම්පූර්ණ ජල ධාරිතාව ඝන මීටර් දස ලක්ෂ 248කි. එනම් අක්කර අඩිවලින් 200,880කි.

කළුගඟ පහළ නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලැබූ පවුල් 3000ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2,000ක පමණ ප්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපැයීමෙන් අනතුරුව අතිරික්ත ජල ප්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කරනු ලැබේ. ඒ සඳහා කිලෝ මීටර් 9ක් වූ ඇළ මාර්ගයක් ඉදිකරමින් පවතින අතර මෙම ඇළ මාර්ගය මඟින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයට ඝන මීටර් 35ක් මොරගහකන්ද ජලාශයට ගමන් කරනු ලබයි.

කළුගඟ ජලාශය නිර්මාණය වීම හේතුවෙන් මොරගකන්ද -කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මඟින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප්‍රමාණය හා පැරණි අඹන් ගඟ, යෝධ ඇළ හරහා මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ප්‍රමාණය තවත් වර්ධනය වී ඒ ප්‍රදේශවල කෘෂිකාර්මික සංවර්ධනය තවදුරටත් පුළුල් වේ.

මේ හැර පැරණි අඹන් ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද ඇළහැර අමුණ ප්‍රදේශයෙන් ගලා ගිය ජල ප්‍රමාණය වයඹ ප්‍රදේශයේ පවුල් 40,000කට පමණ වසර පුරා තිරසර ලෙස වගා කිරීමටත් අනෙකුත් පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපැයීමටත් හැකි වන සේ කළු ගඟ ජලාශයේ ජලය මොරගහකන්ද ජලාශය වෙත සැපැයීම සිදු වේ.

රජ රට ජනතාව දුටු දීර්ඝකාලීන සිහිනයක් සැබෑ කරමින් මහවැලි මහ සැලැස්මේ අවසන් ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක ව නිම කෙරුණේ ජනාධිපතිතුමාගේ අසීමිත කැපවීම හා දැඩි අධිෂ්ඨානය හේතුවෙනි.

අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් කළුගඟ ජලාශයේ සංචිත දිය දහර මුදා හැරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මොරගහකන්ද – කළුඟග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1200ක වියදමින් සංවර්ධනය කෙරුණු අඹන නව නගරය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි.

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය ආශ්‍රිත අඹන, නාඋල ප්‍රදේශයේ පවුල් දස දහසකට පමණ සිය සේවාවන් පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දෙමින් කෝන්ගහවෙල පැරණි ප්‍රාදේශීය රෝහල වෙනුවට සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකළ නව රෝහල, ගොවිජන සේවා මධ්‍යස්ථානය, සමෘද්ධි කාර්යාලය, පොලිස් මුරපොළ, තැපැල් කාර්යාලය සහ නිල සෙවණ සේවා පියස, සති පොළ, වන සංරක්ෂණ බිට්ටු කාර්යාලය, ලග්ගල, ගුරුවෙල ප්‍රදේශයේ වනජීවි බීට්ටු කාර්යාලය මෙන්ම මොරගහකන්ද ජලාශ පරිශ්‍රය තුළ ආකර්ෂණීය අයුරින් ඉදිකරන ලද සංචාරක නිකේතනය ද අද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

අඹන නව ප්‍රාදේශීය රෝහල ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එම පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දැනට රට තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් මහජනතාවට ඉහළම ප්‍රතිලාභයක් සැලසෙන ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද – කළුගඟ මහ ජල යෝජනා ක්‍රමය බවයි.

රටේ ගොවිජනතාවට එම ව්‍යාපෘතිය මඟින් විශාල සේවාවක් සැපයෙන අතර ගොවිජන ආර්ථිකය සමෘද්ධිමත් වනවා සේම රටේ ජාතික ආර්ථිකයට ඒ තුළින් පුළුල් දායකත්වයක් හිමිවනු ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකේ ම අපේක්ෂකයන් රසායනික පොහොර නොමිලයේ ලබාදෙන බවට කර ඇති යෝජනාවට තමා එකඟ නොවන බවයි. රසායනික පොහොර භාවිතය වකුගඩු රෝගය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ගොවීන්ට පහසුකම් සැලසීම දේශපාලන නායකයන්ගේ වගකීම වුව ද සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට බාධාවක් වන තීන්දු තීරණවලට කිසිවිටෙකත් එළැඹිය යුතු නොවන බව යි.

සෞඛ්‍ය සම්පන්න නීරෝගි ජාතියක් වෙනුවෙන් රසායනික පොහොර භාවිතයෙන් බැහැරව කාබනික පොහොර භාවිතා කිරීමේ ප්‍රතිපත්තියක් කරා රට ගමන් කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මාධ්‍ය හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා රෝහල් වාට්ටු සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් රෝගින්ගේ සුව දුක් විමසීමට ද අමතක නොකළේය.

අනතුරුව උත්සව පරිශ්‍රය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත වූ අතර රජරට ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබු ජල ගැටලුවට විසඳුම් ලබාදීමෙන් මෙම මහා ජල යෝජනා ක්‍රමය ජාතියට දායාද කිරීම ඒ හා සමගාමීව ප්‍රදේශයේ සිදු කෙරුණු දැවැන්ත සංවර්ධනය සමඟ ජන ජීවිතයට අත්කර දුන් පරිවර්තනීය වෙනස පිළිබඳ මෙහි දී ප්‍රදේශවාසී ජනතාව ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදිත්වය පළ කර සිටියහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, මොරගහකන්ද ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය සහ අඹන නව ප්‍රාදේශීය රෝහල ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව ප්‍රාදේශීය රෝහල පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව
2019-11-07

මා ඉතාමත් සතුටු වෙනවා, මේ රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් දෙමින්, පසුගිය වර්ෂ කිහිපය තුළ ආරම්භ කළ මොරගහකන්ද, කළුගඟ යෝධ බහුකාර්ය ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ මංගල දියවර නිතුත් කිරීමේ අවස්ථාවය එක් වීමට ලැබීම පිළිබඳව.

2015 නොවැම්බර් මාසයේ ලග්ගල ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කරන්න මුල්ගල තැබුවේ, නිධන් වස්තු තැන්පත් කළේ. අවුරුදු හතරකට පසුව අද පුළුවන් වුණා වැඩ නිම කරලා ජලය නිකුත් කරන්න. අපේ රට වර්තමානයේ පමණක් නොව වසර දහස් ගණන සිට කෘෂිකාර්මික රටක්. අපේ ශිෂ්ටාචාරය කෘෂි ශිෂ්ටාචාරයක්, අපේ සංස්කෘතිය කෘෂි සංස්කෘතියක්, අපේ ජාතික ආර්ථික, කෘෂි ආර්ථිකයක් මත පදනම් වූවත් අද නව ලෝකයේ අධිතාක්ෂණයත් සමඟ අපි සංවර්ධනයේ නව ඉසව් කරා ඉදිරියට යන අවස්ථාවක තමයි මොරගහකන්ද, කළුගඟ යෝධ සංවර්ධන යෝජනා ක්‍රමය අපි පටන් ගත්තේ.

විශේෂයෙන්ම පසුගිය වසර 5කට ආසන්න කාලය තුළ පුළුවන් වුණා මේ ව්‍යාපෘතිය තුළ පුළුල් ප්‍රගතියක්, සංවර්ධනයක්, දියුණුවක් පෙන්වන්නට. ඒ තුළ මා ඉතාමත් සතුටු වෙනවා රටේ මූලික වශයෙන් ම ජනතාවගේ දුගීභාවය තුරන් කරන්න, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩ නගන්න, දරුවන්ගේ අධ්‍යාපනයට පුළුල් ආයෝජනයක් කරමින් අධ්‍යාපන කේෂ්ත්‍රය වර්ධනය කරන්න, රාජ්‍ය පරිපාලනය රාජ්‍ය ආයතනවල විවිධ ආයතන, දෙපාර්තමේන්තු, ඒ සියල්ල ලග්ගල ප්‍රදේශයේ විශේෂයෙන් ම පහුගිය අවුරුද්දේ විවෘත කර ලග්ගල නගරයත්, අද අඹන නගරයත් මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය තුළ මාතලේ දිස්ත්‍රික්කය විශේෂයෙන් ම ලග්ගල මැතිවරණ කොට්ඨාසය සංවර්ධනය පුළුල් පරිවර්තනයකට යොමු වී තිබෙනවා. ලග්ගලත්, අඹනත් නගර දෙක ම නම් කළේ හරිත නගර විදියට.

නූතන සංවර්ධනයේ දී පරිසර සංරක්ෂණයට දෙන ප්‍රමුඛතාවය හේතුවෙන් විශේෂයෙන් ම හරිත නගර ගොඩනැගීම අපේ ප්‍රධාන කාර්යයක්. ඒ තුළ ස්වාභාවික සම්පත් ආරක්ෂා වීම, පරිසර සංරක්ෂණය සිදුවීම, පරිසර දූෂණ වැළැක්වීම, ඒ තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම සහ ඒ වගේ ම ආර්ථිකයට දෙන පුළුල් දායකත්වය ඉතාමත් වැදගත්. මොරගහකන්ද, කළුගඟ යෝධ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය දේශීය අරමුදල්, චීනය, සවුදි, කුවෙට්, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය මෙවැනි අපේ මිත්‍ර විදේශ රටවලින් ලැබුණු ණය, ආධාර, ප්‍රධානයන් සමඟ මේ යෝධ ව්‍යාපෘතියට රුපියල් කෝටි විසිතුන්දාහකට වැඩිය වැය කරනවා.

කළුගඟ සහ මොරගහකන්ද මහා ජලාශ ඉදිවීමත්, වයඹ, රජරට, නැගෙනහිර, මධ්‍යම පළාත මුල් කරගත් යෝධ මහ ඇළවල් වයඹ මහ ඇළ, ඇලහැර ඉහළ මහ ඇළ, මිනිපේ මහ ඇළ මේ ඇළවල් සමඟ වැව් 2300ක් පමණ අපේ ප්‍රතිසංස්කරණය වෙනවා. එයින් අද ජීවත් වන ජනතාවට වගේ ම මේ රටේ අනාගතයේ උපදින ජනතාවට රටේ ආර්ථික සංවර්ධනයට පුළුල් ශක්තියක් ඇති වෙනවා. දුගීභාවය තුරන් කරන්න, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න, විදේශ වත්කම් වැඩි කරන්න, ඒ තුළින් ඇතිවන ප්‍රධාන වශයෙන් ම අපනයන සංවර්ධනයට, විදුලිබල නිෂ්පාදනයට මේ කරුණු මුල් කරගෙන යෝධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. කළුගඟ සංවර්ධන සමස්ත ආයෝජනය කළුගඟ සඳහා පමණක් රුපියල් කෝටි 3600ක් වෙනවා. කුවේට් අරමුදල ඩොලර් මිලියන 46කට ආසන්න සංඛ්‍යාවක්, ඔපෙක් අරමුදල ඩොලර් මිලියන 34කට වැඩි සංඛ්‍යාවක්, සවුදි අරමුදල ඩොලර් මිලියන 62කට ආසන්න සංඛ්‍යාවක්, දේශීය අරමුදල් රුපියල් කෝටි 61කට වැඩි සංඛ්‍යාවක්. මේ විදියට රුපියල් මිලියන 36,000ක් කළුගඟ ජලාශයට අපි වැය කරලා තිබෙනවා. කළුගඟ පහළ නිම්න සංවර්ධනය ඇළවල්, වැව්, අමුණු සංවර්ධනය. ඒ වගේ ම ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය සුභසාධන සේවාවන් ශක්තිමත් කරන්න අප භාණ්ඩාගාරයේ දේශීය අරමුදල් රුපියල් කෝටි 2300ක් වැය කරනවා මිලියන 23,000ක්. ඒ යටතේ ලග්ගල හරිත නගරය ආශ්‍රිත සියලු පොදු පහසුකම් ඇති වෙනවා. පාසැල්, රෝහල්, රජයේ කාර්යාල ඒ සියල්ලත් එක්ක. වම් හා දකුණු ප්‍රධාන ඇළ මාර්ග සහ අතුරු ඇළ මාර්ග සඳහා කිලෝමීටර 250ක් සංවර්ධනය, පාසැල්, ග්‍රාමීය රෝහල්, තැපැල් අනෙකුත් පහසුකම් සමඟ කුඩා වැව් මේ ප්‍රදේශයේ පමණක් 10ක් සංවර්ධනය වෙනවා.

අද විවෘත වෙන අඹන නවනගරයට පමණක් සමස්ත ආයෝජනය කෝටි 120ක්. මේ සමග අඹන ග්‍රාමීය රෝහල, තැපැල් කාර්යලය, සේවා පියස, පුස්තකාල, සමෘද්ධි බැංකුව, වන සංරක්ෂණ කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, සති පොළ, පොලිස් මුර පොළ, කාපට් මාර්ග, ග්‍රාමීය ජල යෝජනා ක්‍රම විවෘත වෙනවා. මේ යටතේ නව ගොඩනැගිලි සමග නව සංවර්ධනයක ඇතිවූ නව උදාව පරිවර්තනයක්. කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාවුල සහ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල නැවත පදිංචි කළ පවුල් ගණන 2150ක්. බෙදාදුන් මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 4300කට වැඩියි. වගා ප්‍රදේශ සඳහා අක්කර 3225ක් පදිංචියට අක්කර 1075ක් දී තිබෙනවා. මේ ඉඩම් වලට වන්දි ගෙවීමේ දී ලංකාවේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක ගෙවීම් නොකළ ආකාරයට මේ ඉඩම්වලට අපි වන්දි ගෙව්වා.

කළු ගඟ ව්‍යාපෘතිය ආශ්‍රිතව ලග්ගල පල්ලේගම විශාල ජල යෝජනා ක්‍රමයේ ආයෝජන වටිනාකම රුපියල් මිලියන 4500යි. ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව 6000කට වැඩියි. මේ තුළ සංවර්ධන කාර්යයන් සිදුවෙනවා වගේම තවත් විවිධ ක්ෂේත්‍ර හරහා කෙරෙන ආයෝජනයන් තිබෙනවා. ඒ තුළ මාතලේ දිස්ත්‍රික්කයට මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉතාමත් වැදගත් වෙනවා.

දැනට ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන යෝජනා ක්‍රම තුළ රටේ ජාතික ආර්ථිකයට සහ මහජන සුබ සාධනයට වැඩිම ප්‍රතිලාභයක් නිෂ්පාදන ක්‍රියාවලියේ සිට දෙන ප්‍රධානම යෝජනා ක්‍රමය තමයි මොරගහකන්ද කළු ගඟ සංවර්ධන යෝජනා ක්‍රමය. මේ තුළ අපි සතුටු වෙනවා නව සංවර්ධනයත් සමග රටේ ඉදිරියට යාමට පුළුවන් වීම ගැන. විශේෂයෙන්ම ගොවිජනතාවට මේ තුළ සිදුවෙන්නේ විශිෂ්ට සේවාවක්. ගොවීන්ගේ දුප්පත් කමෙන් මිදෙන්න ආර්ථික සංවර්ධනය ඇති කරන්න, ඔවුන්ගේ දරු පවුල්වල අනාගත සුබ සිද්ධිය සඳහා පළාත් 5කට විතර මේ තුළ සිදු වෙන්නේ පුළුල් දායකත්වයක්, මගපෙන්වීමක්. ඒ නිසා අපි සැමවිටම අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, යටිතල පහසුකම් මේ සියල්ලටම ප්‍රමුඛතාවයක් දී අපි කටයුතු කර තිබෙනවා. මම හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා විදියටත් ජනාධිපතිධුරයට පත්වූ පසුවත් මේ රටේ ව්‍යාපෘති රාශියක් දියත් කළා. මත්ද්‍රව්‍ය මර්දනය, පරිසර සංරක්ෂණය, දරුවන් රකිමු, වකුගඩු රෝග නිවාරණය ආදී කටයුතු පුළුල් ජාතික ව්‍යාපෘති මම ක්‍රියාත්මක කළා.

දැන් මේ දිනවල රටේ මැතිවරණයක් තිබෙන වෙලාවක්. මම අහගෙන හිටියා මැතිවරණයට ඉදිරිපත් වෙලා සිටින ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයන් සඳහන් කරනවා ජනතාවට පොරොන්දු දෙනවා රසායනික පොහොර නොමිලේ දෙනවා කියලා. මගේ නම් ප්‍රතිපත්තිය කෘෂිකර්ම ඇමැති විදියට කටයුතු කළ කාලෙත් සෞඛ්‍ය ඇමැති විදියට කටයුතු කළ කාලෙත් අද ජනාධිපති විදියට කටයුතු කරන කාළෙත් රසායනික පොහොරවලින් බැහැරවෙලා කාබනික පොහොර ගොවීන්ගේ කෘෂිකර්මාන්තය සඳහා පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තියකට රට යායුතුයි කියන එක තමයි මගේ නම් ප්‍රතිපත්තිය සහ දර්ශනය. මේ රටේ වකුගඩු රෝගින්ගේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන්නට වුවමනා නැහැ ඔබ දන්නවා. වකුගඩු රෝගින් සඳහා වෙනම විශේෂ අරමුදලක් ආරම්භ කරලා අපි ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් ගෙන ගියා. පසුගිය අවුරුදු තුනක හතරක කාලය තුළ අපි ගෙනගිය වැඩපිළිවළවල් වල ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවයෙන් අපිට විශාල දායකත්වයක් ලැබුණා. ඒ වගේම පානීය ජලය සඳහා අප ආරම්භ කළා පිරිසිදු පානීය ජල ව්‍යාපෘතීන්. මේ තුළ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය අවුරුදු තුනේ සංඛ්‍යා ලේඛනවලට අනුව අඩුවීමක් පෙන්වා තිබෙනවා. හැබැයි ඒ අතරවාරේ තමයි මැතිවරණ පොරොන්දු දෙන්නේ රසායනික පොහොර නොමිලේ දෙනවා කියා ගොවි මහත්වරුන්ට. ගොවි මහත්වරුන්ට හරි සතුටු ඇති මේවා නොමිලේ දෙනවාට. මම ඡන්දෙ ඉල්ලන්නේ නැති කෙනෙක් විදියට කියන්න ඕන මම නම මේකට සම්පූර්ණ විරුද්ධයි, මේ රසායනික පොහොර නොමිලේ දෙනවාට. රසායනික පොහොර අද ලෝකයේ රටවල් කීයක්ද භාවිතා කරන්නේ. රසායනික පොහොරත් පිටරටින් ගේන කිරිපිටිත් අද ලෝකයේ රටවල් සියයට අනූවක් පාවිච්චි කරන්නේ නැහැ. ගොවීන්ට රසායනික පොහොර නොමිලේ දෙන්න රටවල්වලින් ගේනවානම් ඒ පොහොර නැව් එක්කම වකුගඩුත් නැව් පිටි පස්සෙන් ගේන එක හොඳයි. මොකද මේ රටේ වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්නය ගත්තාම ලෝක සෞඛ්‍ය සංවිධානය, අපේ විශ්වවිද්‍යාල පර්යේෂණ අංශ කරපු සියලු‍ පර්යේෂණවල අවසාන ප්‍රතිඵලය ලෙස ඔවුන් කියන්නේ රසායනික පොහොර, කෘෂි රසායනික තමයි මේ වකුගඩු රෝගයට මුල්වෙලා තිබෙන්නේ කියලා. ගොවියා රකින එක හොඳ දෙයක් සහනාධාර දෙන්න ඕන, ගොවියා රකින්න ඕන, ගොවියාට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන, දුප්පත් ගොවියන් නගා සිටවන්නට ඕන රසායනික පොහොර නොමිලේ දීම තුළ නම් මේ රටේ වකුගඩු රෝගීන් වැඩිවීම තමයි සිදු වෙන්නේ. එය කිසිසේත්ම සුදුසු නොවන බවත් මේ වගේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් කරන අතරවාරේ මේ වගේ දවසක ඒ ගැනත් සඳහන් කරන්නට ඕන.

අද මේ කටයුතුවලදී මහවැලි අමාත්‍යාංශය ප්‍රමුඛ අනෙකුත් ආයතන ලබාදුන් සහයෝගය පිළිබඳව ස්තූතිවන්ත වෙමින් ඉදිකිරීම් කටයුතු කිරීම වෙනුවෙන් දායක වූ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට කම්කරුවා දක්වා සියලු දෙනාටත් මා ස්තූතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

 

Share This Post

NEW