කෘෂි අපනයන ඉහළ නැංවීමට කි‍්‍රයාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනපති පෙන්වා දෙයි.

කෘෂි අපනයන ඉහළ නැංවීමට කි‍්‍රයාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය  ජනපති පෙන්වා දෙයි.

කෘෂි බෝග නිෂ්පාදනවල ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවර්ධනයක් ඇති කරමින්, අපනයනය ඉහළ නැංවීම සඳහා කි‍්‍රයාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ අද (30) පෙරවරුවේ මහනුවර අර්ල් රිජන්සි හෝටලයේ පැවති ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන ජාත්‍යන්තර සමුළුව අමතමිනි.

අපේ රටේ කෘෂි ආර්ථිකය පිළිබඳව තිබෙන ඓතිහාසික තොරතුරු සමග නැවත රට කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේදී ගම්මිරිස් කර්මාන්තය ඉතා වැදගත් ක්ෂේත‍්‍රයක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ගම්මිරිස් ගොවීන් ශක්තිමත් කිරීමට සහ එම කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු පියවර ගැනීමට රජය කටයුතු කරන අතර, ප‍්‍රති අපනයනය හේතුවෙන් පසුගිය කාලය තුළ දේශීය ගම්මිරිස් මිල පහත වැටීමක් සිදු වුවද රජයක් ලෙස ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම ලබාදීමට කටයුතු කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ඉහළ නැංවීමට රජය ආරම්භ කළ ප‍්‍රමුඛ ව්‍යාපෘතීන් වන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන තුළ මෙන්ම ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය තුළ ද ගම්මිරිස් කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සඳහා වැඩසටහන් රැසක් අන්තර්ගත බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

විශ්වීය කුළුබඩු ලෙස හඳුන්වන ගම්මිරිස්, ලෝකයේ වැඩියෙන්ම පරිභෝජනය කරන ස්වභාවික රසකාරකය වේ. ලෝක ගම්මිරිස් පරිභෝජනයේ ශීඝ්‍ර වර්ධනයත් සමග ගම්මිරිස් නිෂ්පාදනය කරන රටවල එකමුතුවක අවශ්‍යතාවය පැනනැගුණු අතර ගම්මිරිස් නිෂ්පාදනය හා අලෙවි ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් 1972 දී පිහිටුවන ලද අන්තර් ජාතික ගම්මිරිස් ප‍්‍රජාව මේ වන විට ලොව පිළිගත් අන්තර් ජාතික සංවිධානයක් බවට පත්ව ඇත. ගම්මිරිස් නිෂ්පාදනය කරන ප‍්‍රධාන රටවල් වන ඉන්දුනිසියාව, වියට්නාමය, මැලේසියාව, ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව මෙහි පූර්ණ සාමාජිකත්වය දරණ අතර පිලිපීනය හා පැපුවානිව්ගිනියාව ආශි‍්‍රත සාමාජිකත්වය දරයි.

ලෝකයේ හෙක්ටයාර් 475,000 ක පමණ වූ වපසරියක ගම්මිරිස් වගාව ව්‍යාප්තව ඇති අතර මෙ.ටො. 430,000ක් පමණ නිෂ්පාදනයක් ලෝක වෙළෙඳපොළට වාර්ෂිකව නිකුත් කරනු ලැබේ. ඒ අනුව ගෝලීය වාර්ෂික ගම්මිරිස් පරිභෝජනය මෙ.ටො. 420,000ක් පමණ වේ.

ගම්මිරිස් ශී‍්‍ර ලංකාවේ ද ප‍්‍රධානතම අපනයන බෝගයක් වන අතර හෙක්ටයාර් 40,000ක පමණ වගා වපසරියක ව්‍යාප්තව ඇත. එමෙන්ම වසරකට ගම්මිරිස් මෙ.ටො 15,000ක් පමණ අපනයනය කර රුපියල් මිලියන 10,000ක් පමණ වූ විදේශ විනිමය ප‍්‍රමාණයක් දේශයට උපයා දෙයි. සාමාන්‍යයෙන් අපනයන බෝග ආශි‍්‍රතව පාර්ශ්වකරුවන් ලක්ෂ 10ක පමණ කටයුතු කරන අතර ගම්මිරිස් කර්මාන්තය ආශි‍්‍රතව ගොවි පවුල් ලක්ෂ 04ක් පමණ ජීවිකාව පවත්වාගෙන යනු ලැබේ.

ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවගේ 45 වන ජාත්‍යන්තර සමුළුව ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 02 වනදා දක්වා මහනුවරදී පැවැත්වෙන අතර සාමාජික රටවල නියෝජිතයින් 100 ක පමණ ඊට එක්ව සිටිති.

ශී‍්‍ර ලංකාවේ කුළුබඩු නිෂ්පාදනය පිළිබඳව විශේෂ ප‍්‍රදර්ශනයක් ද මේ හා සමගාමීව සංවිධානය කර තිබෙන අතර එම ප‍්‍රදර්ශනය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. දීප ව්‍යාප්තව පැවති තරගවලින් ජයග‍්‍රහණය කළ සිසු සිසුවියන්ට තිළිණ සහ සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. එමෙන්ම ගම්මිරිස් කර්මාන්තයේ හොඳම වගාකරු, හොඳම තවාන්කරු, හොඳම අපනයනයකරු සහ හොඳම අගය වැඩිකළ නිෂ්පාදකයාට ද ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිණි.

අමාත්‍ය දයා ගමගේ, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අන්තර්ජාතික ගම්මිරිස් ප‍්‍රජාවේ සභාපති බන්දුල වික‍්‍රමාරච්චි, විධායක අධ්‍යක්ෂ හෝග් තී ලියන්, අන්තර්ජාතික ගම්මිරිස් ප‍්‍රජාවේ ශී‍්‍ර ලංකා නියෝජිත ආචාර්ය අශෝක සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන වාර්ෂික සමුළුවේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2017-10-30 දින මහනුවර )

අපේ රටේ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ප‍්‍රචලිත, අපේ කලාපයේ රටවල් රාශියක ප‍්‍රධාන අපනයන කුළුබඩු නිෂ්පාදන කෘෂිකර්මාන්තයක් වන ගම්මිරිස් කර්මාන්තය මුල්කර ගනිමින් පවත්වන, ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන සමුළුවට ඔබ සියලු දෙනා එක්වී සිටින අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

මේ සමුළුවේ අරමුණු සාර්ථක කිරීම සඳහා පැමිණ සිටින අපේ මිත‍්‍ර රටවල නියෝජිතයින් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නා අතර, ඒ සියලු දෙනාට අපේ රජයේ ස්තූතිය පිරිනමනවා අපේ රටට පැමිණ ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන සමුළුවට සහභාගිවීම පිළිබඳව.

අපනයන කෘෂිකර්මාන්තය අපේ රටට මෙන්ම මෙහි සිටින සියලුම රටවල විදේශ විනිමය වර්ධනය සඳහා ඉතාමත් ප‍්‍රමුඛ වූ ක්ෂේත‍්‍රයක්. අපේ රටේ ගෙවීගිය දශක කිහිපය තුළ ගම්මිරිස් කර්මාන්තය, ගම්මිරිස් ව්‍යාපාරය, වරින් වර වර්ධනය වෙමින් ඉදිරියට පැමිණ තිබෙනවා. එක් පැත්තකින් ආහාරයක් වශයෙනුත් තවත් පැත්තකින් ඖෂධයක් වශයෙනුත් තවත් පැත්තකින් සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍යයක් වශයෙනුත් අංශ ගණනාවක් යටතේ ගම්මිරිස් අපට මෙන්ම ලෝකයේ සෑම ප‍්‍රජාවකටම වැදගත් අත්‍යාවශ්‍ය කෘෂි නිෂ්පාදනයක්.

මේ සමුළුව අද පැවැත්වෙන්නේ 45 වන වරටයි. මා විශ්වාස කරනවා මීට පෙර පැවැත්වූ සමුළු 44 ක් පුරා ඔබ දුෂ්කර අත්දැකීම් රාශියක් ලබන්නට ඇති එහි සාර්ථකත්වයක් ලබන්නත් ඇති. ඒ සියල්ල තුළ ගම්මිරිස් කර්මාන්තය සඳහා ඔබ සෑම කෙනෙක්ම ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් එක්වී සිටීම ඉතාමත් වැදගත් කොට සලකනවා.

අපේ රටේ අපනයන කුළුබඩු කර්මාන්තය සම්බන්ධයෙන් තිබෙන්නාවූ ඓතිහාසික පසුබිම, කෘෂි ආර්ථිකයක් වශයෙන් තිබෙන වැදගත්කම, විදේශ වත්කම් ඉපයීමේදී තිබෙන්නාවූ වැදගත්කම, අපනයන වෙළෙඳපොළට එහි තිබෙන දායකත්වය මේ සියල්ල මුල්කර ගැනීමේදී, ගම්මිරිස් කෘෂි ව්‍යාපාරය සෑම අතින්ම වැදගත්කම් රාශියක් දරනවා. කෘෂිකර්මාන්තය ලෝකයේ විවිධ ව්‍යාපෘති සැලසුම් කරන ඉලක්ක සහගත වැඩසටහන්වලදී සිදුකෙරෙන කාර්යයන්ට වඩා කෘෂිකර්මාන්තය බොහෝ විට වාර්ෂික ඉලක්ක එසේ නොමැති නම් පස් අවුරුදු සැලසුම්, දස අවුරුදු සැලසුම්වලදී බලාපොරොත්තු වන ඉලක්ක සාර්ථක කර ගැනීමේ අභියෝග රාශියකට මුහුණ දෙනවා. කෘෂි කර්මාන්තයේදී මුහුණදෙන අභියෝග කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඇතිවන විවිධ ලෙඩ රෝග, ඇතිවන වෙනත් ආර්ථික ගැටලුු, වෙළෙඳපොළ ඉල්ලුම මේ කියන තත්ත්වයන් තුළ ඇතැම් විට කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ගම්මිරිස් පමණක් නොවේ සියලු නිෂ්පාදන ගැටලුවලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා.

අපි දන්නා පරිදි අපනයන වෙළෙඳාමේදී ගම්මිරිස් පමණක් නොවේ අපේ රටේ තේ කර්මාන්ත වැනි අංශ ගත්විටත් වෙනෙත් අපනයන භාණ්ඩ පිළිබඳව අවධානය යොමු කළ විටත්, ඇතැම් විට ප‍්‍රති අපනයනය කිරීමේදී බොහෝ ප‍්‍රශ්න ඇතිවී තිබෙනවා. අපේ රටෙත් ගම්මිරිස් සහ තේ පිටරටින් ගෙන්වා ඒවා ඇසුරුම් කරලා තවත් රටවල්වලට අලෙවි කරනවා. ප‍්‍රති අපනයනයෙහි සාර්ථක අසාර්ථකභාවයන් පිළිබඳව කතා කළ විට දේශීය වශයෙන් බරපතළ ප‍්‍රශ්න ඇති වෙනවා. අපේ රටේ පසුගිය මාස කිහිපයේදී ගම්මිරිස් කර්මාන්තයේ සිටින ගොවීියන්ගේ දුක් ගැනවිල්ලක් තිබුණා, ගම්මිරිස් ප‍්‍රති අපනයනයේදී මේ රටේ ප‍්‍රති අපනයනය බලපෑමෙන් මිල පහත වැටීමක්, අලෙවි කරන්න බැරිකමක්, වෙළෙඳපොළ පිළිබඳව ප‍්‍රශ්නයක්, මතුවී රජය ඒ පිළිබඳව සාකච්ඡා කළා ඊට අවශ්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන්. වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නිෂ්පාදනයේදී අපනයනය සහ ප‍්‍රති අපනයනයේදී මූලික වශයෙන් භාණ්ඩයක තිබිය යුතු ගුණාත්මකභාවය, ප‍්‍රමිතිය ඉතාමත් වැදගත් වෙනවා. ගම්මිරිස් කර්මාන්තයේත් ගොවියා නිෂ්පාදනය කරන විවිධ වර්ග, විවිධ ශ්‍රේණීන් මේ නිෂ්පාදන ඒ ආකාරයෙන්ම නිසි ගුණාත්මකභාවයෙන් සහ ප‍්‍රමිතියෙන් වෙළෙඳපොළට ලබාදීමත් පාරිභෝගිකයාට ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ලබා ගැනීමත් පහසුකම් තිබිය යුතු වෙනවා.

ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දයා ගමගේ මැතිතුමා ගම්මිරිස් ඇතුළු විදේශ වෙළෙඳපොළට වටිනාකමක් තිබෙන කුළුබඩු නිෂ්පාදන වර්ධනය කිරීම උදෙසා විවිධ පියවර රාශියක් ගෙන තිබෙනවා.

අපේ අපනයනය නිෂ්පාදනවල ප‍්‍රමාණය පිළිබඳව අපට සතුටුවිය හැකි තැනක අප නැහැ. ඒ නිසා ගම්මිරිස් කර්මාන්තය හෝ වේවා අනෙකුත් කෘෂි නිෂ්පාදන අපනයනය සඳහා දැනට වඩා වැඩි වර්ධනයක් සඳහා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ගොවීන් දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයි.

අපි මීට මාස දෙකකට පෙර ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයක් ආරම්භ කළා. අපේ රටේ එක් කොටසක් දැන් වසර එකහමාරක් දැඩි නියඟයකින් පෙළෙනවා. රටේ තවත් ප‍්‍රදේශ ගංවතුර නිසා විනාශ වුණා. ගංවතුර සහ නියඟය නිසා අපේ රටේ කෘෂි නිෂ්පාදන මේ වසරේ සියයට 50 ක පහත වැටීමක් තිබෙනවා. මේ වසරේ ඉදිරි වර්ෂාව අපේක්ෂාවෙනුයි ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය ආරම්භ කළේ. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ගොවි ජනතාව, පාසල් දරුවන් සියලු මැති ඇමතිවරු, පළාත් සභා ඒ සියල්ල අපි මේ වැඩසටහන සඳහා එකතුකරගෙන සිටිනවා. මේ වැඩසටහන තුළත් ගම්ම්රිස් කර්මාන්තය පිළිබඳව ප‍්‍රමුඛ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ නිසා ගම්මිරිස් වගා කිරීමේ කටයුතුවල නිරත ගොවීන්ට වේවා, එසේ නොවේනම් ඒ ව්‍යාපාරික අංශ වැඩිදියුණු කර ගැනීමට සිටින පෞද්ගලික අංශ වේවා ඒ අයට යම් ගැටලු තිබේ නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවා තිබෙන කෘෂිකාර්මික අංශය හා සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබා ගත හැකියි. ඒ වගේම දයා ගමගේ ඇමතිතුමාගේ අමාත්‍යාංශයෙනුත් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියි.

ඒ වගේම අපි පසුගිය සතියේ ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපෘතිය. ඒ තුළින් අපේ රටේ දේශීය කර්මාන්තවලට අතහිත දීමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා අපි විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කර තිබෙනවා. ඒ මුදල් වෙන්කළේ ගම්වල ඉන්න ගොවීන්ට වගේම නව නිෂ්පාදන නව කාර්මික ව්‍යාපෘති සඳහා උනන්දුවක් දක්වන පිරිස්වලට තම දක්ෂතාවයන් හැකියාවන් මුල්කර ගනිමින් ආර්ථිකය යහපත් කර ගැනීම සඳහා.

ඒ නිසා දේශීය ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය තුළත් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය තුළත් ගම්මිරිස් කර්මාන්තය සඳහා මෙන්ම සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප‍්‍රමුඛත්වය දී තිබෙනවා. ඒ නිසා ගම්මිරිස් කර්මාන්තය දියුණු කිරීම සඳහාත් ගුණාත්මකභාවයෙන් ඉහළ ප‍්‍රමිතියකින් යුත් නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය සූදානම්.

අද මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දුන් සියලු දෙනාට මා ස්තූතිය පුද කරනවා. එමෙන්ම ගම්මිරිස් ජාත්‍යන්තර වෙළෙඳපොළට යොමු කිරීමට වෙහෙස මහන්සිය ගන්නා සියලු දෙනාටත් මගේ ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.!

 

 

Share This Post

NEW