කොරෝනා පාලනයට තවත් පියවර

කොරෝනා පාලනයට තවත් පියවර

අද ප්‍රබල තීරණ දෙකක් …

  • සඳුදාඋදේදක්වාඇඳිරිනීතිය …
  • සියලුආකාර කණ්ඩායම්චාරිකාතහනම් …

 

කොරෝනා හෙවත් Covid 19 වෛරසය රට තුළ ව්‍යාප්තිය නතර කරනු පිණිස රජය තවත් ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි.ඒ සඳහා ඉවහල්වන ප්‍රබල තීරණ දෙකක් අද ගනු ලැබීය.

පළමුවැන්න අද (20) සවස 6.00 සිට 23, සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පැනවීමයි.

දෙවැන්න වෛරසයේ ව්‍යාප්තියට ඉඩ සලසන සියලු ආකාර චාරිකා නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමයි.

දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය සඳුදා උදේ 6.00ට අවසන් වෙයි. ඉන් පසු නැවත ඇඳිරි නීතිය පනවන වේලාව ඉරිදා නිවේදනය කරනු ලැබේ. විනෝද චාරිකා, වන්දනා ගමන් සහ දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම බලපැවැත්වෙන පරිදි අද තහනම් කෙරිණ. මහජනයා සමූහ වශයෙන් විවිධ ස්ථානවල එක් රැස්වීම රෝග ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් බව හඳුනාගෙන ඇත. එසේ වුවද විදේශීය සංචාරකයන් කණ්ඩායම් වශයෙන් රට තුළ ගමන් බිමන් කිරීම දක්නට ලැබේ. මෙරට වැසියෝ ද අවදානම නොතකා විනෝද චාරිකාවල නිරත වෙති. චාරිකා තහනමේ ප්‍රධාන අරමුණ එවැනි ඒකරාශීවීම් නතර කිරීමය.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට රජය ඉහළම ප්‍රමුඛත්වය දී තිබේ. උද්ගතව ඇති තත්ත්වය දිනපතා සහ දවස පුරා අධ්‍යයනය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත යුතු ඉදිරි පියවර ගැන නිලධාරීනට උපදෙස් දෙයි.

ජනතාව රැස්වන ස්ථානවල මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාව පවත්වා ගන්නැයි රජය ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී. බස්රිය සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලද මේ පිළිවෙත අනුගමනය කළ යුතුය. බස් රියෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ ඒවායේ ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ හිඟයකින් තොරව රට පුරා බෙදා හැරීමට විධිවිධාන සලසා තිබේ. ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් භාණ්ඩ බෙදාහරින්නැයි සතොස ඇතුළු වෙළඳ ආයතන වෙත උපදෙස් දී ඇත.

මාර්තු 20 සිකුරාදා සිට 27 සිකුරාදා දක්වා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහා නිවසේ සිට වැඩකරන සතියක් ඊයේ (19) ප්‍රකාශයට පත් කෙරිණ. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික අංශයේ ආයතනවලට තමන්ට වඩාත් සුදුසු දුරස්ථ සන්නිවේදන ක්‍රමයක් සකසා ගැනීමට පිළිවන.

විවිධ උසාවිවල නඩු විභාග කිරීමේදීත් ජනයා සමූහ වශයෙන් රැස්වීම සීමාවන අයුරින් ක්‍රියා කරන්නැයි අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Share This Post