ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනපති පවසයි.

ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව  ජනපති පවසයි.

උතුරුමැද උපාධිධාරින් 539කට ජනපති අතින් ගුරු පත්වීම් 

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දැනුමෙන් සහ වෙනස්වන ලෝකයට ගැළපෙන නිර්මාණාත්මක කුසලතාවලින් පරිපූර්ණ අනාගත පරපුරක් බිහි කිරීම මෙන්ම නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන, දරුවන්ගේ අධ්‍යාත්මික ගුණවගාවන් ද පෝෂණය කරමින් යහපත් පරපුරක් ගොඩනැඟීමට අද දවසේ ගුරුවරයා වෙත පැවරී ඇති වගකීම අතිමහත් බවයි.

උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 538 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහි දී සිදු වූ අතර සංකේතාත්මක ව ජනාධිපතිතුමා අතින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, චන්දිම ගමගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිතුමා කළ කතාව 2019-09-09 කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී

මේ රජරට භූමියේ දී ඔබට දරුවන් භාරදෙන අවස්ථාවකට සහභාගිවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. ආණ්ඩුකාරතුමා කිව්වා මේක රස්සාවක් නෙවෙයි කියලා හිතන්න කියලා. ඇත්තටම මේක රස්සාවක් නෙවෙයි. මෑතක දී තමයි ගුරු වෘත්තිය කියලා ආවේ. බොහෝ අය ගුරුවරයා හඳුන්වන්නේ ගුරු මෑණිවරු සහ පියවරු කියලා. ගුරුවරු දෙවෙනි වන්නේ මවට සහ පියාට පමණයි. මෙතන සිටින අය අතර විවාහක අය අවිවාහක අය ඇති. නමුත් අදින් පස්සේ ඔබලා සියලු දෙනා මව්වරු සහ පියවරු වෙනවා. ඒ ඔබට දරුවන්ගේ භාරකාරීත්වය ලැබන නිසා.

රජරට ප්‍රදේශය ලංකාවේ පළාත් අතරේ දුෂ්කර ප්‍රදේශ විදියටයි හැඳින්වෙන්නේ. රජයේ චක්‍රලේඛ යම් යම් කාර්යයන් කිරීමේ දී පළාත්, දිස්ත්‍රික්ක, ගම්මාන භූගෝලීය වශයෙන් කාලගුණික දේශගුණික වශයෙන් වෙන් කර තිබෙනවා. ඒ අතරිනුත් අපි අධ්‍යාපන මට්ටම කතා කරනවා. සෞඛ්‍ය සේවාවේ දත්ත තොරතුරු ගැන කතා කරනවා. ඒ සියල්ලත් එක්ක අනුරාධපුරය හා පොළොන්නරුව ගැන කිව්වොත් දුෂ්කර ප්‍රදේශ විදියට හඳුන්වනවා වගේම මේ ප්‍රදේශවල අති දුෂ්කර ප්‍රදේශත් තියෙනවා. අනුරාධපුර නගරයේ පහසුකම් නැති පාසල් තිබෙනවා. කැකිරාව මධ්‍ය විද්‍යාලයට තිබෙන පහසුකම්, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට තිබෙන පහසුකම් නගරයේ ඈත පාසල්වලට තිබෙනවාද කියා ඔබ දන්නවා ඇති. පොළොන්නරුව රාජකීය, ආනන්ද බාලිකා වැනි පාසල් සමග නගරයෙන් බැහැර ප්‍රදේශවල පාසල්වල තත්ත්වය ඔබ දන්නවා.

මම විශ්වාස කරනවා දැනුම ප්‍රදානය කර දැනුමෙන් දරුවන් සන්නද්ධ කිරීම ඔබගේ වගකීමක් කියලා. සරත් ඒකනායක ආණ්ඩුකාරතුමා කිව්වා මගේ මව ගුරු මෑණි කෙනෙක් කියලා. මගේ මව ගුරු මෑණිකෙනෙක් පමණක් නෙවෙයි මගේ මුළු ගෙදරම තක්සලාවක්. ඒ කාලේ කෑලෑවෙන් වටවෙච්ච අපේ ගමේ පාසලට ආපු ගුරු මෑණිවරු සහ පියවරුන් ආවේ ඈත ප්‍රදේශවල සිටයි. පොළොන්නරුවේ කවුරුවත් හිටියෙ නැහැ. අනුරාධපුරයෙන් කවුරුත් ආවෙ නැහැ. අපි පුංචි කාලේ ගුරු සේවයට ගුරුවරුන් අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් බිහිවෙලා තිබුණේ ඉතාම සුළු පිරිසක්. ගුරුවරු සියයට පහක් දහයක් තමයි අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් බිහිවෙලා තිබුණේ. බොහෝ ගුරුවරු ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල අයයි. අඩු වශයෙන් මාතලේ, කුරුණෑගල හා නුවරවත් නැහැ. අපි පාසල් යන කාලේ රජරටට ආපු ගුරුවරුන්ගෙන් සියයට අනූවක් බස්නාහිර, සබරගමුව, දකුණ යන ඈත පළාත්වලින් ආපු ගුරුවරුයි. නමුත් මෙහෙට ඇවිත් ලස්සනට දරුවන්ට ඉගැන්නුවා. හරියට නවාතැන් ගන්න තැනක් නැහැ. මගේ මව ගුරු මෑණිකෙනෙක් නිසා මගේ ගමේ පාසලට ආපු ගුරු මෑණිවරු සියලු දෙනාම නවාතැන් ගත්තේ අපේ නිවසේ. ඒ කාලේ ගුරු නිවාස නෑ. සාමාන්‍යයෙන් යන්තම් පුංචි ඇඳක් තියාගෙන මුල්ලකට වෙලා නිදා ගන්න පුළුවන් පහසුකමක් හොයාගන්න එකත් ඒ කාලේ ඉතාම අමාරුයි .

එහෙම ගුරු සේවයට ආ සමහර අය මේ ප්‍රදේශයේම විවාහ වෙනවා. සමහර අය මේ ප්‍රදේශයේම ස්ථිරවම පදිංචි වුණා. අද අනුරාධපුරෙන් පොළොන්නරුවට පත්වීමක් දුන්නොත් යන්නේ නෑ. පළාත් සභා වටලනවා. අනුරාධපුර නගරයෙන් කැබැතිගොල්ලෑවට දුන්නොත් අධ්‍යාපන කාර්යාලය වටකරනවා. අපිට ගෙදර ඉදලා යන්න ඕනේ කියනවා. පොළොන්නරු නගරයේ පදිංචි කෙනෙකුට පත් වීමක් දුන්නොත් දිඹුලාගලට, වැලිකන්දට, අරලගන්විලට යන්නේ නෑ. ඒ විදියට මනස හැදුවේ කවුද? ඇයි එහෙම වුණේ. අපිට කුඩා කාලයේ අපට උගන්වපු ගුරු මෑණිවරු, පියවරු හැතැප්ම 100ක් 150ක් තමන්ගේ බිරිඳ, දරුවෝ දාලා, දෙමාව්පියෝ දාලා ඇවිල්ලා අවුරුදු ගාණක් ඉගෙන්නුවා. සේවය කළා. නමුත් දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්සුන්ගේ අධ්‍යාත්මය පහළට ගියා. ඒ අධ්‍යාත්මය පහළට යනකොට තමන් ගැන විතරක් හිතන්න පටන් ගත්තා. තමන් ගැන පමණක් සිතීම තුළ අනුන් ගැන සිතීම නොසලකා හැරියා. නමුත්ගුරු සේවය සැම විටම ඔබ ගැන නොසිතන අනුන් ගැන සිතන සේවයක්. දරුවන්ට දැනුම දෙනවා කියන එක මහා පින්වන්ත සේවයක්. ඒ නිසා මා විශ්වාස කරනවා, අද දවස ඔබට වඩාත් වාසනාවන්ත ජීවිතයක මූලික අඩිතාලමක් කියලා. ඔබේ විශ්ව විද්‍යාල ජීවිතය එක් පැත්තකින් ඔබට සුන්දරයි වගේම බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නට ඇති.

විශ්ව විද්‍යාලයෙන් පිට වුණාට පස්සේ පහුගිය අවුරුදු කිහිපයක් තුළ රස්සාවක් ගන්න, පෙළපාළි යන්න, පිකටින් කරන්න, උද්ඝෝෂණ කරන්න, උපවාස කරන්න, මැති ඇමතිවරු හම්බෙන්න ඔබ කොතෙකුත් ඒ සඳහා කාලය වෙන් කරන්න ඇද්ද? නමුත් ඔබ අද සිට පටන් ගත්තේ පිබිදුණ ජීවිතයක්. අහිංසක දරුවන්ගේ අනාගතය තිබෙන්නේ ඔබ අතේ. ඔවුන්ට හොඳට ආදරය කරන්න. ඔබේ පාසැල් ජීවිතයේදීත් ඔබට විවිධ අත්දැකීම් ඇති, සමහර විට පන්තිභාර ගුරුතුමා පන්තියේ සමහර දරුවන්ට ආදරේ කළා, කොටසක් නොසලකා හැරියා. සමහර දරුවෝ ළඟට අරන් හිනා වෙලා කතා කළා, සමහර අයගේ මුහුණ දිහාවත් බැලුවේ නෑ. අපි පාසැල් යන කාලයේ ගුරුවරු අපිට කොච්චර වේවැලෙන් ගහලා තියෙනවද? මම පාසැල් තුනක ඉගෙන ගත්තා. ගමේ පාසල උයන, ඊට පස්සේ නගරයේ තෝපාවැව මහා විද්‍යාලය, ඊට පස්සේ රාජකීය මධ්‍ය මහා විද්‍යාලය. ඔය පාසැල් තුනේදීම මම හොඳට ගුටි කාලා තියෙනවා. දවසක් තෝපාවැව මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා මාව විදුහල්පති කාමරයට ගෙනෙල්ලා වේවැලක් කැඩනකන් ගැහුවා. මම ම දන්නේ නෑ ඇයි මට එහෙම ගැහුවේ කියලා. මම පස්සේ හොයලා බලපුවාම මට ආරංචි වුණේ පන්තියේ හුඟක් කෑ ගහනවා ඇහුනා කියලා. මම ගෙදර ගිහිල්ලා කිව්වේ නෑ. ගෙදර ගිහින් කිව්වනම් මට අම්මත් ගහනවා. ඒ මොකද අම්මා ගුරුවරියක් විදියට දන්නවා ඒ කාලේ වැරදි නොකර එහෙම ළමයෙකුට ගහන්නේ නෑ කියලා.

මම තාත්තට කිව්වෙත් නෑ. මොනවා හරි නරක වැඩක් කරන්න ඇති ඒ නිසා ගැහුවේ කියලා තාත්තා කියන නිසා. හැබැයි කන මිරිකුවොත්, ටොක්කක් ඇන්නොත්, පොලිසියේ තමයි දරුවයි දෙමව්පියොයි. ඉතින් සමාජය පිරිහෙලා කියනවා. ඒ පිරිහෙන කරුණු අතර එක් කාරණයක් තමයි දෙමව්පියෝ දරුවන්ට අනවශ්‍ය විදිහට ආදරය කිරීම. දරුවෝ පාසලට යැව්වම ගුරුවරුන්ට අවශ්‍ය විදිහට දරුවෝ හදාගන්න ඉඩ දෙන්න ඕනේ. අධ්‍යාපන මනෝ විද්‍යාව අනුව දරුවන්ට බරපතල දඩුවම් දෙන එක වැරදි බව ඇත්ත. ඒක නිසා අලුත් අධ්‍යාපන ක්‍රම, තාක්ෂණික ලෝකකයට සිටින දරුවන් දෙමව්පියන් තමා වැඩ කරන්න තිබෙන්නේ.

ඔබ අද සතුටු වෙනවා වගේ මම දන්නවා රජරට උතුරු මැද පළාතේ අද ඔබට පත්වීම් දෙනවයි කියන ආරංචියක් සමග ඔබ වාගේම මේ සුදුසුකම් තිබෙන විශාල පිරිසක් අද පත්වීම් නොලැබීම නිසා කණගාටුවට පත්වෙනවා. ගිය සුමානෙත් ඇවිල්ලා පොළොන්නරුවේ මගේ ගෙදර වටකෙරුවා මං ඉන්න වෙලාවේ. මම කිව්වා ඔයාලගේ ප්‍රශ්න විසඳනවා කියලා. දැන් ආණ්ඩුකාරතුමත් කිව්වා මේ විභාග වලින් පාස් වෙච්චි අය වගේම අනෙක් අයගේ ප්‍රශ්නවලටත් ඉදිරි දිනවල විසඳුම් දෙන ඔබේ හිතේ ඇති ඇයි මොකටද ජනාධිපති එන්නේ මෙතනට පත්වීම දෙන්න කියලා. හාමුදුරුවනේ දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා මමත් ඇමතිවරයෙක්. සාමාන්‍යයෙන් මහපොළ ශිෂ්‍යත්ව විශ්වවිද්‍යල දරුවන්ට ලැබුනම ඒ ඒ දිස්ත්‍රික්ක වල දිසාපතිතුමන්ලා පුංචි උත්සවයක් තියෙනවා. මහපොල ශිෂ්‍යත්වලාභි ළමුන් ගෙනල්ලා ශිෂත්වය පුංචි උත්සවයකින් දෙනවා. දැන් අවරුදු 20කට පෙර පොළොන්නරුවේ මහපොළ ලැබුණු දරුවන් ගෙනල්ලා ඔය වාගේ උත්සවයක් තියෙලා ඇතුලත්මුදලි මැතිතුමා ආරම්භ කරපු මහපොළ ගැන දරුවන්ට කියලා දුන්නා. උත්සවයේ අවසානයේ දිසාපතිතුමන් කිවුවා දැන් අපි කැමතියි දරුවෙකුගේ අදහස් දැන ගන්න කියලා. ඒ නිසා කාටහරි ඇවිල්ලා කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. දිසාපතිතුමාගේ කතාව ඉවර කන්න කළින් එකපාරට ඉතා වේගයෙන් පුටුවෙන් නැගිට්ට තරුණ දරුවෙක් ඉදිරියට ඇවිත් මයික් එක ගෙන මොනවටද අපිව ගෙන්නුවේ මේවා දෙන්න. අතිනුත් පාඩු කරගෙන අපරාදේ නිකන් අපිව මෙහාට ගෙන්නුවා මේක තැපෑලේ එව්වා නම් හම්බෙනවා කියලා ඔහු කිව්වා. ඒ නිසා ඔබත් හිතන්න පුළුවන් මේ ජනාධිපති එන්න ඕනෙද, මැතිඇමතිවරු එන්න ඕනෙද කියලා මේ පත්වීම තැපෑලේ එව්වා නම් ඉවරනේ කියලා.

ගුරු වෘත්තියට පත්වීම් දෙන එක මහා මංගල්‍යයක් විදිහටයි අපි දකින්නේ. මම ජනාධිපති විදියට එන්නේ උගතුන් විදියට ඔබට ගරු කරන්න. ඔබ නිදහස් අධ්‍යපනය තුළ කොතෙක් දුක්ෂරතාවලට මුහුණ දෙන්න ඇතිද. අද ගුරු සේවයට එක්වෙමින් ඔබ ජීවිතය ජය ගන්න තවත් පියවරක් ඉස්සරහට තිබ්බා.

මැතිඇමතිවරු එන්නේ අපි එන්නේ ඔබේ සේවය අගය කරන්න. ඔබේ උගත් දේ අගය කරන්න. ඔබට දෙන පත්වීම අගය කරන්න. ඒ නිසා ඔබ සියලු දේනාට සුබ පතනවා. ආණ්ඩුකාරතුමත්, පළාත් සභාවේ සියලුම කාර්යය මණ්ඩලවලට අයත් නිලධාරීන්ට ගෞරවණීය ස්තූතිය පුද කරනවා. මේ උතුම් කාර්යය ඉටු කිරීම සඳහා සහය දුන් සියලු දෙනාට ස්තූති කරමින් ඔබන් සමුගන්නවා.

 

Share This Post

NEW