එක්සත් ජාතීන්ට නව යෝජනාවක් – ජනපති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට කියයි

එක්සත් ජාතීන්ට නව යෝජනාවක් – ජනපති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට කියයි

එක්සත් ජාතීන්ට නව යෝජනාවක්

අපරාධ චෝදනා එල්ලවූවන්ට නඩු පැවරිය යුතුයි

මිල සූත‍්‍රය පිළිබඳව ඉදිරි අය වැයෙන් පසු තීරණයක්

අර්බුද මතුවන අයුරින් ජනාවාස ඇතිකිරීමක් සිදුව නැහැ

ශ‍්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව කටයුතු කරනවා – ජනපති මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට කියයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ මෙම මස 25 වන දින තමන් ශ‍්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ අපගේ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා මෙන්ම පසුගිය යුද සමයේදී දෙපාර්ශ්වය අතර සිදුවූවා යැයි පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබඳ තවමත් ඉතිරිවී ඇති ගැටලු රැසක් සුහදශීලීව විසඳාගැනීමට ඒ මගින් හැකියාව ලැබෙනු ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ද ලිඛිතව භාරදීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කෙළේ අද (14) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ය.

මාධ්‍යවේදින් සහ සිවිල් වැසියන් පැහැර ගැනීම, ඝාතනය කිරීම් ඇතුළු සිදුවීම්වලට අදාළව 2015 වසරේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණවල පවතින යම් යම් දෝෂ සහිත ස්ථාන පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා ගත්ත ද එම කිසිවෙකුට මෙතෙක් නඩු පවරා නොතිබීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වය පිළිබඳව ද පැහැදිලි කළේය.

එමෙන්ම 2015 අගෝස්තු මාසයේ සිට ති‍්‍රවිධ හමුදා නිලධාරින් ද යම් යම් පරික්ෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් භාරයට පත්කර තිබුණ ද ඔවුන් කිසිවෙකුට එරෙහිව නඩු පවරා නොමැති අතර, ප‍්‍රමාණවත් හේතු සාධක තිබේ නම් නඩු පැවරීමට කටයුතු කිරීම මිස, අනවශ්‍ය ලෙස ඔවුන් රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගැනීම හේතුවෙන් රජය අපකීර්තියට පත්වන බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ තමා අපරාධ පරීක්ෂණ දෙපාරත්තමේන්තුවේ නිලධාරින්ට සහ පොලිසිපතිවරයා වෙත තදින් උපදෙස් ලබා දුන් බව ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් රජය යටතේ කිසිසේත් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී නොමැති බවයි. යුද්ධයක් නැති රටක හමුදාව පවත්වාගෙන යාමේදී ප‍්‍රතිසංවිධාන කිරීමක් සිදු වුව ද දුර්වල වීමක් සිදුව නොමැති අතර, අද අපගේ ආරක්ෂක හමුදාවන්ට පසුගිය කාලයටත් වඩා ලොව ප‍්‍රබල රටවල පුහුණු අවස්ථා මෙන්ම සහයෝගයන් හිමිව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අද ද ජාතික අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව කියා සිටියේය.

ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක හමුදාව පිළිබඳ ඇතැමුන් සිදුකරන විවිධ ප‍්‍රකාශ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒවා ඔවුන් ඇතැම් පෞද්ගලික කරුණු මුල් කර ගනිමින් සිදු කරන ප‍්‍රකාශ බවයි.

තෙල් මිලට අදාළ මිල සූත‍්‍රය පිළිබඳ ඉදිරිපත්වී ඇති විවේචන සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මිල සූත‍්‍රය තවදුරටත් පවත්වාගෙන යනවා ද, නැතහොත් දැනට වඩා මහජනතාවට හිතකර තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් අවශ්‍ය සංශෝධනවලට ලක් කරනවා ද යන්න පිළිබඳ ඉදිරි අය වැය යෝජනා අනුව පියවර ගන්නා බවයි.

රට තුළ සිදුවන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා වාරි ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදුකෙරෙන වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහන පිළිබඳව ද මාධ්‍ය ආයතන දැනුවත් කළේය.

අද වී සඳහා ඉහළ මිලක් ලැබෙන අතර ඒ පිළිබඳ මාධ්‍ය ආයතනවලින් නිසි ප‍්‍රචාරයක් නොලැබෙන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා වී මිළ ඉහළ ගියද සහල් මිල ඉහළ යාමට ඉඩ නොතබා පාරිභෝගිකයාට සහන සලසමින් කටයුතු කිරීමට රජය වගබලාගෙන තිබෙන බව ද කියා සිටියේය.

උතුරේ සිංහල ජනතාව පදිංචි කරවන බවට පසුගිය දිනවල මුලතිව් ප‍්‍රදේශයේ ගෙනගිය උද්ඝෝෂණය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ ප‍්‍රතිපත්තියක් ලෙස ඕනෑම ජන කොටසකට රටේ ඕනෑම තැනක ජීවත්වීමට අයිතියක් තිබෙන බවයි.

පළාත් භේදයෙන් තොරව සියලු ජනතාව සංහිඳියාවෙන් සහ සමඟියෙන් ජීවත්වන රටක් අපේක්ෂාව වන නමුත්, අර්බුද ඇතිවන අයුරින් ජනාවාස ඇතිකිරීමක් රජයේ මැදිහත්වීමෙන් සිදුවී නොමැති අතර, ඉදිරියට ද එලෙස සිදු නොකරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රජයට ඉදිරිපත් කර ඇති එම සියලු චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේ ය.

ශ‍්‍රී ලංකා-සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීමට තමා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන අතර එම පරික්ෂණ කටයුතු අද ඉතා සාර්ථකව සිදුවන බවත් ඒ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවත් කියා සිටියේ ය.

එම කමිටු වාර්තාව මඟින් මෙම ගිවිසුමෙන් රටට අහිතකර තත්ත්වයක් ඇතිකරවන බවට නිර්දේශ ඉදිරිපත් කළහොත් එම අහිතකර තත්ත්වයන් ඉවත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා යම් බරපතළ තත්ත්වයක් වාර්තා වුවහොත් ඒ සඳහා ද අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේ ය.

එමෙන්ම තිරසර සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා රටේ වන ඝනත්වය ඉහළ නංවාගැනීම ඇතුළු පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව සහ ඒ සඳහා ජනතාව එක්කර ගැනීමේ ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළකට සහය ලබාදෙන ලෙස මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-09-14 වන දින – ජනාධිපති මන්දිරයේ දී)

සියලුම ජනමාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සහ ජනමාධ්‍යවේදීන් සියලු දෙනා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ සුන්දර උදෑසන ඔබ සියලු දෙනා හමුවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මාගේ ආරාධනය පරිදි මේ හමුවීමට පැමිණි සියලු දෙනාටම මගේ ස්තූතිය පුද කරනවා. අපි මාස තුන හතරකට සැරයක් හමුවෙනවා. එම රැස්වීම්වලදී අපි ඉතාම සුහදව පවතින දේශපාලන තත්ත්ව සහ වටපිටා පිළිබඳව කතාබහ කරනවා. සාකච්ඡා කරනවා.

සියලුම රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍ය ආයතන මටත් ජනාධිපති කාර්යාලයට වගේම රජයට ලබා දෙන සහයෝගය අගය කරනවා. අද මේ හමුවේ දී කරුණු කිහිපයක් කතා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඉන් ප‍්‍රමුඛත්වය දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුවට අපේ නියෝජිතයන් සමඟ ලබන සතියේ මම සහභාගි වෙනවා. අලුතින් පත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය හමුවීමට ද එහි දී මා බලාපොරොත්තු වෙනවා. එතුමිය බොහෝම දීර්ඝ දේශපාලන අත්දැකීම් තිබෙන අන්තර්ජාතික වශයෙන් පුළුල් අවබෝධයක් සහ දැනුමක් තිබෙන පරිණතභාවයක් තිබෙන කෙනෙක්. අපිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙනුත් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිලි පිළිබඳවත් ඔබ දන්නවා.

මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිලි අතර, යුද්ධය පැවැති කාලයේ වගේම යුද්ධයේ අවසාන කාලය තුළ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ පැමිණිලිත් තිබෙනවා. මෙයින් ඇතැම් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසිනු යි. ඒ සඳහා සහයෝගය දක්වන වෙනත් ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා. අපේ රටේ යුද්ධය අවසන් වී අවුරුදු 10 කට ආසන්නයි. එයින් මුල් අවුරුදු 6 ක කාලය තුළ පැවති රජය මානව හිමිකම් කොමිෂන් සභාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ප‍්‍රශ්න ඇති කර ගෙන තිබුණා. එක්සත් ජාතීන් ගේ සංවිධානය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ‍්‍රී ලංකා රජයේ යම් ඈත්වීමක් තිබුණා. ඒ ඈත්වීම නිසා ශ‍්‍රී ලංකා රජයට සහ ජනතාවටත් රටටත් ඉතාම බරපතළ අවාසි තත්ත්වයන් ගොඩනැගී තිබුණා.

අපේ දේශපාලන ප‍්‍රතිවාදීන් පිළිගත්තත් නැතත් 2015 ජනවාරි 08 වන දා පැවැති ජනාධිපති ඡන්දයෙන් මා ජයග‍්‍රහණය කොට මේ රට භාරගන්නා විට අපට ආර්ථික සම්බාධක පැනවීම ආරම්භ කර තිබුණා. එම පැනවීම ආරම්භ කිරීමේ හොඳම සාධකය වන්නේ යුරෝපා සංගමය මඟින් පැනවූ මත්ස්‍ය අපනයන තහනම සහ GSP සහනය ඉවත් කිරීමයි. එය රටකට එරෙහිව ආර්ථික සම්බාධක ක‍්‍රියාත්මක කිරීමේ මුල් පියවර ලෙසයි මම දකින්නේ.

හිටපු ජනාධිපතිතුමාට අවුරුදු දෙකකට කලින් මැතිවරණයකට යන්න සිදුවුණෙත් ඒ නිසයි. ජනාධිපති ඡන්දයක් සඳහා වසර දෙකක් කාලය තිබියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා මෙන්ම ඒ වන විට පැවැති වෙනත් පුළුල් ජාත්‍යන්තර බලවේග සහ ප‍්‍රබල රාජ්‍යයන්ගෙන් එල්ල වූ අභියෝගයට මුහුණ දීමට ඇති වූ අසීරුතාවය නිසා මැතිවරණයට යොමු වුණා කියායි මා විශ්වාස කරන්නේ. අපි බලයට පත්වෙලා ඒ තිබුණු තත්ත්වය සමනය කරගත්තා. ඈත්වී තිබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය වඩා මිත‍්‍රශීලි තත්ත්වයකට අපි අරගත්තා. මානව හිමිකම් කොමිසම බරපතළ ලෙස අපෙන් ඈත්වී සිටියා. ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් කරපු උපවාසයේ දී එවකට සිටි රාජ්‍ය නායකයා ගොස් තැඹිලි පෙවීමත් නවනීදන් පිල්ලේ මානව හිමිකම් කොමසාරිස්තුමිය ලංකාවට පැමිණි වෙලාවේ ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් කළ අපහාසාත්මක ප‍්‍රකාශයත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකිව යුත්තන්ට තේරුම් ගොස් තිබුණා. නමුත් අපේ රජය බලයට පත්වී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඉතාම හොඳ මිත‍්‍රශීලීභාවයක් ඇති කරගත්තා.

2015 දී මම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිය විට හිටපු ලේකම් බෑන්කී මූන් මහතා මා සතුටින් පිළිගෙන සුහද කතාබහක් පැවැත්තුවා. අප අතරේ ඉතා වටිනා බැඳීමක් ඇති වුණා. මානව හිමිකම් කොමිසම සමඟත් ඒ විදියමයි. හිටපු කොමසාරිස් හුසේන් කුමාරයා සමඟ අපි ඉතාම හොඳ සුහදතාවයක් ඇති කර ගත්තා. අපට තිබෙන ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා දෙපාර්ශ්වයම ඉතාම හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි කියා එකඟතාවයන් ඇති කරගෙන ඒ තිබුණු බොහෝ නරක තත්ත්වයන් අපි හොඳ පැත්තට හරවා ගත්තා.

මේ වන විට යුද්ධයත් සමඟ ජාත්‍යන්තරයේ ඉතිරි වී තිබෙන දේවල් මොනවාද? ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට අදාළව යම් යම් ක‍්‍රියාමාර්ගවලට පිවිසීමේ දී අපට විසඳාගත යුතු ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපේ රටේ ස්වාධීනත්වය, ජාතික ආරක්ෂාව, ත‍්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කරගෙන අපි කටයුතු කිරීම එහිදී ඉතාම වැදගත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය අදත් විනය ගරුක හමුදාවක් කියලා ඉතාම ඉහළින් අපේ ආරක්ෂක හමුදාව පිළිගන්නවා. ඒ නිසා සාමසාධක හමුදාවලට අපේ අය ගන්නවා. අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රතික්ෂේප කරලා නම්, කවදාවත් සාම සාධක හමුදාවලට අපෙන් ගන්නේ නැහැ. වාර්ෂිකව සාමසාධක හමුදාවලට අපි යවනවා. හමුදා නිලධාරී කාර්යමණ්ඩල වගේම භෞතික සම්පත් යුද උපකරණ, හෙලිකොප්ටර් අපි යවනවා.

එහෙත් අපේ ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන යෝජනාවල තත්ත්වය අපිට අහිතකරයි. එම තත්ත්වය හිතකර වාතාවරණයකට ගෙන යන්නේ කොහොමද කියන ප‍්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අපි කොහොමද සෑම කෙනෙකුටම කරදරයක් ප‍්‍රශ්නයක් නොවන විදියට ඒවා විසඳගන්නේ. අපිට එවැනි වෝදනා එල්ල කරනවා වගේම අනෙක් පැත්තෙන් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ පවුල්වල සිරභාරයේ සිටින ඥාතීන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වෙලා අධිකරණයෙන් වැරදිකරුවන් වී සිර දඬුවම් විඳින අය සහ තවමත් නඩු පවරා නැති පිරිස් නිදහස් කරන්න කියා ඔවුන් ඉල්ලීම් කරනවා. මේ දෙපාර්ශ්වයේ ඉතිරිවී තිබෙන ප‍්‍රශ්න ටික අපි කොහොමද සුහදව විසඳ ගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවේ දී 25 වන දින සිදුකරනු ලබන මගේ කතාවේ දී මම බලාපොරොත්තු වෙනවා විශේෂ විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කරන්න. එය කුමක් ද කියා මා දැන් සඳහන් කරන්නේ නැහැ. එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මහ කොමසාරිස්තුමියටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මහ ලේකම්තුමාටත් ලිඛිතව භාරදීමට බලාපොරොත්තු වෙනවා. නව මහ කොමසාරිස්තුමිය පත් වී ශ‍්‍රී ලංකා රජය සම්බන්ධයෙන් රජයේ කටයුතු පිළිබඳව අපිට ප‍්‍රශංසාත්මක පණිවුඩයක් එතුමිය දුන්නා. දැනට කටයුතු කරන ආකාරය, ජාතික සංහිඳියාව පිළිබඳව ඒ සම්බන්ධයෙන් අපිට දැඩි විවේචනයක් එල්ල නොකර රටේ ක‍්‍රියාත්මක වන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප‍්‍රශංසාත්මකව එතුමිය ප‍්‍රකාශයක් කළා. ඒ සම්බන්ධ අපි එතුමියට ස්තූතිවන්ත වෙනවා.

මේ සඳහන් කළ කරුණු පසු පස තිබෙන තවත් කරුණු තිබෙනවා. අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන පරීක්ෂණ කිහිපයක් තිබෙනවා. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය. කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහර දීම. තරුණ ළමයින් 11 දෙනෙක් පැහැර ගොස් මරා දැමීම. එක්නැලිගොඩ මාධ්‍යවේදියාගේ අතුරුදන් වීම. මෙවැනි කරුණු ගණනාවක් ගැන පරීක්ෂණ තිබෙනවා. නමුත් ඊයේ මම කැඳවූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී පොලිස්පතිතුමාගෙන් ලබා ගත් අලුත්ම වාර්තාව අනුව මම කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා. මේ රටේ මහජනයා විශේෂයෙන්ම මාධ්‍යවේදීන් විදියට ඔබත් බලා සිටින මාධ්‍යවේදීන් ඝාතන, පහරදීම් වැනි දේ පිළිබඳව කිසිම කෙනෙකුට මෙතෙක් නඩු පවරා නැහැ. පරීක්ෂණ කරනවා. ඇප දෙනවා. සමහර අය ඇතුළේ තියාගෙන සිටියා. දවස් හතරකට පෙර යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයා මාස පහක් අත්අඩංගුවේ තබා ගෙන සිට නිදහස් කළා. ඔහුටත් නඩු පැවරීමක් නැහැ. නාවික හමුදාවේ දසනායක කියන ජ්‍යෙෂ්ඨ නිලධාරියාවත් දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තියාගෙන ඉඳලා නිදහස් කළා නඩුවක් පවරා නැහැ.

පසුගිය දිනවල ඔබේ මාධ්‍ය තුළම යම් ප‍්‍රවෘත්තිවල ප‍්‍රමුඛත්වය ලබා දුන් කාරණයක් වන්නේ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා පිළිබඳව. ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීට එල්ල කර තිබෙන චෝදනාවක් වන්නේ දරුවන් පැහැර ගෙන ඝාතනය කරපු ඒ කණ්ඩායමේ කෙනෙකුට රටින් පිටවීමට ආරක්ෂාව දුන්නා කියා. මේ තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් ඝාතනය කරපු අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදියට අත්අඩංගුවට ගත්තා. ඔවුන් රිමාන්ඩ් කළා. ඇප දුන්නා. එක් කෙනෙක් තියාගෙන සිටිනවා. වැඩි ගණනක් නිදහස් කර තිබෙනවා. ඒගොල්ලන්ටත් නඩුවක් නැහැ තව. චෝදනා පත‍්‍රයක් දීලා නැහැ. නඩුවක් පවරා නැහැ.

දවස් තුනකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන්ටත් පොලිස්පතිතුමාටත්, නීතිපතිටත් තදින්ම මම උපදෙස් දුන්නා. මම ඔවුන්ට තදින්ම දෝෂාරෝපණය කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයට ඇයි මේ තරුණයෝ පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපු අයට නඩු දාන්නේ නැත්තේ කියා. ඇප පිට බොහෝ අය ගෙදර සිටිනවා. එක් කෙනෙක් ඇතුළේ ඉන්නවා. ඔවුන්ට නඩුවක් නැතුව චෝදනා පත‍්‍රයක් දෙන්නේ නැතුව නඩු විභාගයක් යන්නේ නැතුව එවැනි ඝාතනවලට සම්බන්ධ වූවා යැයි කියන එක් පුද්ගලයෙකුට රටින් පිට වෙන්න සහයෝගය දුන්නා කියා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අත්අඩංගුවට ගන්න අධිකරණයට කඩදාසි යවලා තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියාගෙනුත් ප‍්‍රකාශයක් අරගෙන නැහැ. මෙවැනි දේ පිළිබඳව මාධ්‍යවලට නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැති නිසා මාධ්‍ය සිදුකරන යම් ප‍්‍රවෘත්ති පළ කිරීම් තුළ ව්‍යාකූලතාවයන් අසමතුලිතතාවයන් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ දවස්වල රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තමයි මේ ළමයි මරන්න ඇත්තේ කියලා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන විදියට එහෙම ඝාතනවලට එයාගේ සම්බන්ධයක් නැහැ. එයට සම්බන්ධ කෙනෙකුට පිටවෙන්න දුන්නයි කියන චෝදනාවක් තමයි තිබෙන්නේ.

ඒ ගැනත් එයාගෙන්වත් ප‍්‍රකාශයක් අරගෙන නැහැ. ඒ වගේම 2015 අට වෙනි මාසේ ඉඳලා මේ ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යම් යම් පරීක්ෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් තිබෙනවා. රිමාන්ඩ් භාරයට පත් කරලා තිබෙනවා. ඒ එක්කෙනෙකුටවත් නඩුවක් පවරලා නැහැ. මේ තත්ත්වයන් පිළිබඳව මම බොහෝම තදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, නීතිපතිතුමාටත් කිව්වා ඇයි මෙවැනි දේ සිදුවෙන්නේ. මේ නඩු පැවරීම් කරන්න. එතකොට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තියාගෙන ඉඳලා නිකන්ම එළියට දානවා. එතකොට රණවිරු දඩයම කියලා චෝදනාවක් ආණ්ඩුවට එනවා. ඒ නිසා මේ තිබෙන තත්ත්වය සාමාන්‍ය ජනතාව වැරදියට තේරුම් ගන්නවා. ඒවගේම මාධ්‍යයට ලැබෙන තොරතුරු ඒ අය වාර්තා කරන්නේ. ඒ මඟින් ජනතාව නොමඟ යනවා. ජාත්‍යන්තර වශයෙන් වැරදි වැටහීම් ඇති වෙනවා. ඒ නිසා මම කිව්වා මේවට නඩු දාන්න. මේ නඩු නොදැමීම ප‍්‍රශ්නයක්. එවැනි දුර්වලතාවයක් ඒ අංශවල තිබෙනවා. මමත් මේ ගැන තදින් ඒ අයට දොස් කිව්වා. ඒවගේම ලොකු කුඩා භේදයකින් තොරව නඩුවක් පවරන්න බැරි නම් එහෙම නම් කෙනෙක් අත්අඩංගුවට අරගැනීමත් වැරදියි. අත්අඩංගුවට අරන් දීර්ඝ කාලයක් ඇතුළේ තියන් ඉඳලා එළියට දාන එකත් වැරදියි. මෙතනදි මටත් අවශ්‍ය වැරදිකරුවන්ට නඩු පැවරීම. දඬුවම් දෙන එක අධිකරණයේ වැඩක්. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් ඔය ලැයිස්තුව ඔබ දන්නවා. තරුණයන් එකොළොස් දෙනෙක් පැහැර ගැනීම. පරීක්ෂණවල කියන්නේ ඒ අයගේ පවුල්වලින් කප්පම් ගන්න පැහැර ගත්තා කියලා. ඒවා ඉතාම බරපතළ වැරදි. ඒ පුද්ගලයන්ට ඒවට දෙන්න තිබෙන ඉහළම දඬුවම් දිය යුතුයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මම කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මොකද මේ කාරණාත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අපිට එරෙහිව තිබෙන කරුණු.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව මාධ්‍ය තුළ නොයෙක් දේවල් යනවා. එක එක්කෙනා කියන දේවල්. රටේ ආරක්ෂක තත්ත්වය කිසිම තැනක කිසිසේත්ම දුර්වල වෙලා නැහැ. කිසිම තැනක හමුදාව දුර්වල වෙලා නැහැ. හමුදාවට අපි අලුත් උපකරණ දීලා තිබෙනවා. පුහුණුවීම් ලබාදීලා තිබෙනවා. මම ජනාධිපති වුණාට පසුව පසුගිය කාලයට වඩා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එක්ක ඇති කර ගත් සුහදතාවයත් එක්ක ඇමරිකාව, එංගලන්තය, ජපානය, චීනය, ඉන්දියාව, පකිස්තානය වැනි ලෝකයේ ප‍්‍රබල රටවල් අපේ හමුදාවට දෙන පුහුණුවීම් පවා වැඩි කරලා තිබෙනවා. දෙන උදව් වැඩි කරලා තිබෙනවා. දැන් සති දෙක තුනකට කලින් අපට පරිත්‍යාගයක් විදියට ලැබෙන නැවක් ගන්න අපේ නාවික හමුදාපති ඇමරිකාවට ගියා. මම හිතන්නේ ඒ නැව භාර ගත්තා. අපට ඒ විදියේ නැව් වගේම ආරක්ෂක අංශයට අවශ්‍ය බොහෝ යුද උපකරණ පරිත්‍යාග වශයෙනුත් බොහෝ රටවල්වලින් ලැබෙනවා. ඒ නිසා ඒවා ගැන ප‍්‍රශ්නයක් නැහැ.

හමුදා කඳවුරු මෙච්චර තිබුණා. දැන් මෙච්චර ඉවත් කරලා මේ මේ හේතු නිසා කියලා මුද්‍රිත මාධ්‍යවල එහෙම වාර්තා වෙනවා. එල්.ටී.ටී.ඊ යුද්ධයේ තිබුණු භයානක තත්ත්වය ඔබ අප කවුරුත් දන්නවා. ඒක මොනතරම් ප‍්‍රබල යුද්ධයක් ද කියලා දන්නවා. අපේ ආරක්ෂක හමුදාව විසින් පරාජයට පත් කෙරුවේ ලෝකයේ ප‍්‍රබලම ත‍්‍රස්තවාදී සංවිධානයක්. ඒ ප‍්‍රබල ත‍්‍රස්තවාදී ගරිල්ලා කණ්ඩායම සහ අපේ ආරක්ෂක හමුදා අතර තදබල සටන් ඇති වුණු අවස්ථාවල අපේ ආරක්ෂක හමුදා තැන් තැන්වල තාවකාලික කඳවුරු ඇති කර ගන්නවා. තාවකාලික කඳවුරු ඇති කර ගන්න එක යුද්ධයක් තිබෙන රටක සාමාන්‍ය දෙයක්. යුද්ධය අවසන් වෙලා සම්පූර්ණ සාමකාමී තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ තාවකාලික හමුදා කඳවුරු, ඒ කළ දේවල් හුඟක් වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ත්වයට එනවා.

යුද්ධයට දීර්ඝකාලීන ඉතිහාසයක් තිබෙනවා. 1976 ඇල්ෆ‍්‍රඩ් දොරෙයිඅප්පා ඝාතනය තමයි ප‍්‍රභාකරන්ගේ පළවෙනි වෙඩිල්ල. ප‍්‍රභාකරන්මයි එයාගේ පිස්තෝලයෙන් ඒ වෙඩිල්ල තිබ්බේ. නමුත් යුදමය තත්ත්වයක් ඇති වුණේ 1983 විතර ඉඳලා. 1983 සිට අපේ ආරක්ෂක හමුදා ප‍්‍රහාර එල්ල කරමින් ඉදිරියට යන විට ඒ ඒ තැන්වල කඳවුරු ඇති කළා. රජයේ ඉඩම්වල කඳවුරු ඉදිකරන්න අවශ්‍ය වුණා. යුද්ධය පවතින ප‍්‍රදේශවල තිබූ සාමාන්‍ය ජනතාව ගේ පුද්ගලික ඉඩකඩම්වලත් කඳවුරු ඉදි කරන්න සිදු වුණා. පාසල් වලත් කඳවුරු ඉදි කරන්න සිදු වුණා. රෝහල් විතරයි ඉතුරු වුණේ. එවැනි දේවල් සිදු කරන්න වුණේ ඒ තිබුණු ප‍්‍රබල යුද්ධය නිසයි.

ඒ වගේම අපේ අයවැයෙන් ලොකුම මුදලක් වෙන් කරන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයට. මේ අවුරුද්දේ වෙන් කළ මුදල මගේ මතකයේ හැටියට රුපියල් බිලියන දෙසිය තිස් ගණනක් හෝ ඊට වඩා වැඩියි. යුද්ධය අවසන් වෙලා අවුරුදු දහයකට කිට්ටු වෙලත් වැඩිම මුදලක් වෙන් වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් ගත වූ විට යුද්ධයක් නැති රටක හමුදාව පවත්වාගෙන යෑමේ ක‍්‍රමයකට ඒ ඒ හමුදාවල් ප‍්‍රතිසංවිධානය වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ප‍්‍රතිසංවිධානය වුණාට හමුදාව කොහෙවත් දුර්වල වෙන්නේ නැහැ. අදත් හමුදාවට බඳවා ගැනීම් සිදුකරනවා. විශේෂයෙන්ම, ගුවන් හමුදාව, නාවික හමුදාව අපි ශක්තිමත් කරනවා. දැන් යුද්ධයක් නැති වුණාට තාක්ෂණික වශයෙන්, වාණිජ්‍ය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් ගුවන් සහ නාවික හමුදා ශක්තිමත් කරන එක ඉතා වැදගත්. මොකද අපේ රටේ හමුදාවට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ගුවන් නියමුවන් පුහුණු කරපුවහම අපිට ඕනෑතරම් ගුවන් නියමුවන් දෙන්න පුළුවන්. නාවික හමුදාවේ කැප්ටන්ලා පුහුණු කළහම ඒ අයට ඕනෑතරම් ලෝකයේ රටවල්වල රැකියා අවස්ථාවන් තිබෙනවා.

ඒ වගේම තමයි ගුවන් යානා සහ නැව්වල තාක්ෂණික කටයුතු කාර්මික කටයුතු පිළිබඳව පුහුණුව ලබලා හොඳ සහතිකයක් ගත්තම ලෝකයේ ඊට අදාළ රැකියාවකට යන්න පුළුවන්. අපට ආරක්ෂක හමුදාවලට අවශ්‍ය ප‍්‍රමාණය වගේම වැඩි පිරිසට ලෝකයේ වෙනත් රටවලට ගිහිල්ලා රැකියාවල් කරන්න පුළුවන්. අදත් අවුරුදු පතා ගුවන් හමුදාවේ සේවය කරන අය පුහුණුවීම් ලබලා විදේශ රටවලට යනවා.

නේපාල සංචාරයේදි මට දැනගන්න ලැබුණා අපේ ගුවන් හමුදාවේ ඉඳලා දැන් ගුවන් නියමුවන් විදියට නේපාලයේ වැඩකරන ගුවන් භටයන් ඉන්න බව. අපි ගුවන් සහ නාවික අංශ හුඟක් ශක්තිමත් කරනවා. ඒවගේම යුද හමුදාවත් ශක්තිමත් කරනවා. යුද හමුදාව කොහේවත් දුර්වල වෙලා, දුර්වල කරලා නැහැ.

මම මේ කතාව කියන්නේ සුහද කතාබහක් විදියට. යුද්ධය කරන කාලෙත් මුල ඉඳලම එක එක අවස්ථාවලදි හමුදාපතිවරු අතරේ සුහදතාවය, මිත‍්‍රශීලීභාවය වගේම ගැටලුත් තිබුණානේ. ඒක රහසක් නෙවෙයි. ඒවා තවමත් තිබෙනවා. විශ‍්‍රාම ගිහිල්ලත් තිබෙනවා. හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨයෝ නිකුත් කළ පොත් කීපයක්ම තිබෙනවා. ඒ පොත් බලපුවහම ඒ ලියපු කෙනා තමයි ලොකුම වීරයා. මම මාසයකට පමණ කලින් දැනට ජීවත්ව සිටින යුද්ධයට සම්බන්ධ අසූ ගණන්වල හිටපු ත‍්‍රිවිධ හමුදාවේ හිටපු සෑම හමුදාපතිවරයෙක් ම කැඳවූවා. මම ඒ අයගෙන් ඇහුවා මේ රටේ අයට තව අවුරුදු සීයකින් පමණ දකින්න මේ යුද්ධය පිළිබඳව සැබෑ නිල වාර්තාවක් තිබෙනවද? කියලා. එහෙම එකක් නැහැ. යුද්ධය ඇති වුණේ ඇයි? පසුබිම මොකද්ද? එල්.ටී.ටී.ඊ සංවිධානය කියන්නේ කුමක්ද? අසූ ගණන්වල ඉඳලා වරින් වර ඇති වුණු ජයසිකුරු වැනි මෙහෙයුම් පිළිබඳව අපි දිනපු අවස්ථා අපි පරාජය වුණු තැන් ඉන්දීය හමුදාවේ පැමිණීම. මේවා පිළිබඳව රජය විදියට නිකුත් කළ කිසිම නිල වාර්තාවක් කොහෙවත් නැහැ. දැන් ජීවතුන් අතර ඉන්න අය මේ ගැන කතා කරයි. යුද්දේ කළ අය මැරුණට පස්සේ නැහැ. ඒ නිසා ආරක්ෂක ලේකම්තුමා ඇතුළු ඒ සියලු දෙනයි හමුදාපතිවරු සියල්ලනුයි ගෙනැල්ලා ඒ ගැන කතා බහක් කරලා මම කිව්වා ඒ අවශ්‍ය තොරතුරු සියල්ල හදන්න කියලා. අපි ආරක්ෂක අමාත්‍යාංශයේ පොඩි යුනිට් එකකුත් හැදුවා. ජයවර්ධනපුරයි කොළඹ විශ්වවිද්‍යාලය යි මේ සඳහා ඒකාබද්ධ කර ගන්නවා. මේක බොහෝම අපක්ෂපාතීව බොහෝම මධ්‍යස්ථව සිදුවෙන්නේ. යුද්ධයේ පසුබිම, ආරම්භය, විවිධ අවස්ථාවල ඇති වුණු තත්ත්වයන්, ජයග‍්‍රහණ ඇතුළත් කර ග‍්‍රන්ථයක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එය අපේ ඉතිහාසයට වැදගත් වෙනවා. ජාත්‍යන්තර සංවිධානවලට දෙන්න වැදගත් වෙනවා. ඒක දවසකින් දෙකකින් මාසයකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අවුරුදු දෙක තුනක් යයි. නමුත් මම ඒක ආරම්භ කළා.

මම ඒකයි කිව්වේ සමහර වෙලාවට සෑහෙන්න වයසට ගියත් සමහර අයගේ කුහකකම් නැතිව යන්නේ නෑ කියලා. අමනාපකම්, කුහකකම් දේශපාලනඥයන් අතරෙත් තිබෙනවා. හැම කෙනාගෙම එහෙමනේ. හිටපු ගමන් නින්දෙන් ඇහැරුණා වගේ එක් එක් අය එක එක දේ කියනවා. ආරක්ෂාව ගැන. හමුදාව ගැන කියනවා. කියපුවහම තමුන්නාන්සේලාත් ඉතින් දානවා. ප‍්‍රවෘත්තිත් ඕනෑ නේ.

තෙල් මිල සූත‍්‍රය ගැන බොහෝ විවේචන තිබෙනවා. ලෝකයේ සමහර රටවල්වල මේ මිල සූත‍්‍රයට තමයි තෙල් මිල උඩ පහළ යන්නේ කියලා තමයි රජය තීරණයක් අරගෙන මේක ක‍්‍රියාත්මක කළේ. නමුත් මේ සූත‍්‍රයේ හැටියට මේක පහළ යන්නේම නැහැ. උඩමයි යන්නේ. ඒක තමයි පටන් ගත්ත දවසේ ඉඳලා අපිට තිබෙන අවාසිය. ඉතින් මහජනයාගෙන් බැනුම් අහනවා. මට ඊයෙත් කට්ටියක් මුණගැහිලා කිව්වා බස් හිමියන්ටත් මේක බලපානවා කියලා. ඇත්තටම මේ ගැන ලොකු විවේචනයකුත් තිබෙනවා. මේ මිල සූත‍්‍රය අපි තවදුරටත් පවත්වාගෙන යනවද?. මෙහි සංශෝධනයක් කරනවද? මේ සම්බන්ධයෙන් දැනට වඩා මහජනයාට හිතකර තත්ත්වයක් ඇති කර ගන්න. ඉදිරියට එන අයවැය යෝජනා එක්ක තීරණයක් ගන්න මම බලාපොරොත්තු වෙනවා.

ඒත් එක්කම අනිකුත් සංවර්ධන කටයුතු ගැන කතා කිරීමේ දී මොරගහකන්ද කළු ගඟ ජලාශයේ වැඩ සෑහෙන ප‍්‍රමාණයක් අවසන් කරලා තිබෙනවා. කළු ගඟ ජලාශයේ වැඩ කරගෙන යනවා. වයඹ මහ ඇළ, මිනිපේ මහ ඇළ සහ උතුරු මැද යන ඔයවල්වල වැඩත් දැන් හොඳින් කෙරී ගෙන යනවා. ඊට සම්බන්ධ වැව් 2400 ක වැඩ කෙරී ගෙන යනවා. උතුරේ වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ව ලබන සතියේ ප‍්‍රධාන ව්‍යාපෘති කීපයක වැඩ ආරම්භ කරනවා. වැව් ගැන කියන කොට කියන්න ඕනෑ මේ අවුරුද්දේ කාලගුණික දේශගුණික තත්ත්වය පසුගිය අවුරුදු තරම් ම නරක් වුණේ නැහැ. පසුගිය අවුරුදු තුනට වඩා මේ අවුරුද්දේ වර්ෂාව ටිකක් වැඩිපුර ලැබුණා. ඒ නිසා පිටරටින් සහල් ගේන එක නවත්වන්න අපට පුළුවන්කම ලැබුණා. මේ කාලයේ වී වලට ලොකු මිලක් තිබෙනවා. නමුත් ඒ පිළිබඳව මාධ්‍යවත් කවුරුවත් කතා කරන්නේ නැහැ. වී මිල පහළ ගියාම තමයි මාධ්‍යවල ගහන්නේ වී මෝල් මෙහෙමයි වී මෝල් මාෆියාව පෞද්ගලික අංශය මෙහෙම කරනවා කියලා. දැන් මේ දවස්වල තෙත නාඩු වී රුපියල් 40 න් ඉහළ. කීරි සම්බා රුපියල් 60 න් ඉහළ. වී අලෙවි මණ්ඩලයට තාම වී ඇටයක්වත් ඇවිල්ල නැහැ. එන්නෙම නැහැ. පෞද්ගලික අංශය ලොකු තරගකාරිත්වයකින් කුඹුරුවලටම ගිහිල්ලා ගන්නවා. විශාල වී මිල ඉහළ යෑමක් ඇති වෙලා තිබෙනවා. නමුත් අපි බලනවා ඒ වී මිල ඉහළ ගියාට සහල් මිල ඉහළ යන්න නොදී ඒවා පාලනය කර ගන්න. අනවශ්‍ය ලෙස වී මිල ඉහළ ගිහින් සහල් මිලට ඒක බලපෑවොත් පාරිභෝගිකයාට අවාසියක් නොවන විදියට අපි ඒ තරගකාරිත්වයට මුහුණ දෙනවා.

උතුරේ සිංහල ජනතාව පදිංචි කරවනවයි කියලා මුලතිව් ප‍්‍රදේශයේ උද්ඝෝෂණයක් පසුගිය සතියේ තිබුණා. මම හිතන්නේ ප‍්‍රතිපත්තියක් විදියට නම් උතුර ද නැගෙනහිර ද දකුණ ද බටහිර ද කියලා නැහැ. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් හැමකෙනාට ම රටේ ඕනෑම තැනක ඉන්න අයිතිය තියනවා. නමුත් මේ කියන විදියේ සිංහල ජනතාව පදිංචි කිරීමක් කිසිසේත්ම වෙලා නැහැ. වව්නියාව දිස්ක‍්‍රික්කයේ තමයි මහවැලි එල් කලාපය තිබෙන්නේ. වැලිඔය සිංහල ජනපද ඇති කෙරුවේ අසූ ගණ්නවල ගාමිණී දිසානායක ඇමතිතුමා. ඒ ප‍්‍රදේශවල ඒ පවුල්වල වර්ධනය වීම් එක්ක ඒ ප‍්‍රදේශවල ඉන්න අයට ඒ ගම්වල ඉන්න අයට ඉඩම් දෙනවා වෙන්න පුළුවන්. නමුත් කිසිම විදියකින් පිටින් ගෙනිහිල්ලා සිංහල ජනතාව පදිංචි කිරීම් කළේ නැහැ. නමුත් ඒ අය උඝෝෂණයක් කළා. උතුරේ දේශපාලන නායකයොත් හුඟ දෙනෙක් ඒකට සහභාගි වෙලා හිටියා. සංවිධානාත්මකව රජය එහෙම දෙයක් කරලා නැහැ. ඒ උද්ඝෝෂණයේදි රජයට ඉදිරිපත් කළ විරෝධතාවයන් අපි සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. අපි රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ මේ රටේ පළාත් ද දිස්ත‍්‍රික්ක ද ඒ කිසිම භේදයක් නැතිව ඉතාම සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් ජාතික සමඟියෙන් ඉන්න රටක්. නමුත් ඔය විදියේ අර්බුද ඇති වන විදියට ජනාවාස ඇති කිරීම, පදිංචි කිරීම් කිසි තැනක රජය මැදිහත් වෙලා කරලා නැහැ. කියන එක කියන්නට ඕනෑ.

සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් පෝස්ටර් ගහලා තිබෙනවා මම දැන් එනකොටත් දැක්කා. මේ පිළිබඳව විවිධ විවේචන සහ චෝදනා තිබෙනවා. මාධ්‍ය තුළත් මේ සම්බන්ධයෙන් යම් මතයන් ඉදිරිපත් කළා. ඒ නිසා මම ඒ සඳහා විද්වතුන් ගෙන් සහ ආර්ථික විශේෂඥයන් ගෙන් සැදුම්ලත් වෙනම කමිටුවක් පත් කළා. ඒ අය දැන් ඒ ගැන පරීක්ෂණ කරගෙන යනවා. රටට අහිතකර දේවල් තිබෙනවා නම් රටේ ඕනෑම කෙනෙකුට පුළුවන් ඒකට ඇවිල්ලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. එම විශේෂ විද්වත් කමිටුවේ කටයුතු ඉතාම සාර්ථකව කෙරී ගෙන යනවා. ඕනෑම කෙනෙකුට කරුණු ඉදිරිපත් කරන්න තවමත් ඉඩ තිබෙනවා. සිංගප්පූරු ගිවිසුමේ අයහපත් තැන් පිළිබඳව ඒ කමිටු වාර්තාව රජයට නිර්දේශ කළොත් ඒ කමිටු නිර්දේශය අනුව ඒ අයහපත් තැන් සම්පූර්ණයෙන් ඉවත් කරනවා. මම ඒ වගකීම සම්පූර්ණයෙන් භාර ගන්නවා. මේ වාර්තාවේ එවැනි වැරදි තැන්, රටට අහිතකර තැන්, දේශීය කර්මාන්ත සහ දේශීය ආර්ථිකයට අහිතකර තැන් තිබෙනවද කියන එක පෙන්වා දීම විද්වතුන් සහ අනිකුත් ක්ෂේත‍්‍රවල වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාට මම කියනවා තවත් ඒ ගැන උනන්දු වෙලා එවැනි ප‍්‍රශ්න තිබෙනවා නම් එම විද්වත් කමිටුවට ඉදිරිපත් කරන්න කියලා.

මේ කාරණා තමයි දැනට මට කියන්න තිබෙන්නේ. වෙනත් මගේ පැත්තෙන් විශේෂ දෙයක් නැහැ.

ඔබ සියලුදෙනාටම ස්තූතියි.

Share This Post

NEW