ජනවාරි අටට එරෙහි අභියෝග ජයගැනීමට ආත්ම ශක්තිය තමා සතු බව ජනපති පවසයි

ජනවාරි අටට එරෙහි අභියෝග ජයගැනීමට ආත්ම ශක්තිය තමා සතු බව  ජනපති පවසයි

දූෂිතයන් වටා පමණක් නොව යහපත් රටක් වෙනුවෙන් අප ඉලක්ක කොට ගත් සියලු අරමුණු වටා වළලු සෑදී ඇති බවත් එසේ වුවද, ඒ සියල්ල ජයගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය තමා සතුව ඇති බවත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, රාවය පුවත්පතට තිස් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද(15) සන්ධ්‍යාවේ පැවති විද්වත් කථිකාවට එක්වෙමිනි.

රාවය ඇතුළු මාධ්‍යවල නිර්දය විවේචනයන්ට තමා නිරතුරුව මුහුණදෙන බව පැවසූ ජනාධිපතිතුමා සියලුදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ලස්සන රටක් දැකීම රාවයේ මෙන්ම තමාගේත් අරමුණ බවත් ඒ අරමුණු වෙනුවෙන් යන ගමනේදී සහයෝගයෙන් හා අවබෝධයෙන් යුතුව යන්නේ නම් එය වඩාත් පහසුවනු ඇති බවත් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම තමා භාරගැනීම වික්ටර් අයිවන් මහතා ප‍්‍රමුඛ දිගුකාලීන මිතුරන් බොහෝදෙනෙකුගේ දැඩි විවේචනයට ලක් වුව ද, දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ඇතුළු යහපාලන රජයේ අපේක්ෂා ඉටුකර ගැනීමට ඉන් ලැබුණු සහාය අවතක්සේරු කළ නොහැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය. ජනවාරි 8 ජයග‍්‍රහණයෙන් පසුව දින සියයේ වැඩපිළිවෙළ තමාට භාරදුන්නේ විපක්ෂයට වැඩි බලයක් ඇති පාර්ලිමේන්තුවක් සමග බව කී ජනාධිපතිතුමා එම අභියෝගය ජයගැනීමට තමාගේ පක්ෂ සභාපතිකම පිටිවහලක් වූ බව අමතක නොකළ යුතු බව ද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ, ජාතික ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පත්කිරීම පිළිබඳව දැඩි විවේචන එල්ල වුවද එම පිරිස මැතිවරණයෙන් පරාජය වූයේ, හිටපු නායකයින්ගේ සංවිධානාත්මක ප‍්‍රචාරක වැඩපිළිවෙළින් බවත් දින සියයේ වැඩපිළිවෙළ ඉටුකර ගැනීමට මෙන්ම ඉදිරි පියවරවලදීත් පක්ෂයේ විශ්වාසවන්ත කණ්ඩායමක් තමා වටා සිටීම අත්‍යවශ්‍ය බවත් ය.

රාවය තිස්වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ තරුණ විචාරකයින්ගේ තරගයේ ජයග‍්‍රාහකයින්ට තිළිණ සහ සහතිකපත් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්දන්, මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් යන මහත්වරු එහි පැවති විද්වත් කථිකාව හමුවේ අදහස් පළ කළහ.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුළු මැතිඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පුවත්පත් හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාවය පුවත්පතේ තිස්වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ මහජන සභාව අමතා ජනාධිපතිතුමා කළ කතාව (2016-11-15)

අද මේ සභාවේ වාඞීවී සිටින විට මට දැනුණේ මම ජනාධිපතිවරයා ලෙස නොවෙයි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාට කලින් පොදු අපේක්ෂකයා විදියට මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණ වෙලාවේ ඒ එදා වේදිකාවක ඉන්නවා කියලයි. එකට වේදිකාවේ හිටපු හුඟ දෙනෙක් මෙතන සිටින නිසා. රාවය තිස්වසරක අභිමානවත් ගමන් මගක්. රාවය පුවත්පතෙහි ආරම්භය සිදුවන්නේ 1986. යම් සාහිත්‍ය නිර්මාණයක් යම් නිබන්ධනයක් සාහිත්‍යයට කලාවට දර්ශනයට අයත් කිසියම් වූ නිර්මාණයක් ශාස්ත්‍රීය කාර්යයක් විද්‍යාත්මක දෙයක් බිහිවෙන්න, ඒ යුගයට අදාළ දේශපාලන සහ ආර්ථික පසුබිම බලපානවා.

මීට වසර 30 කට පෙරයි රාවය බිහිවුණේ. මා විශ්වාස කරන්නේ සමාජ විද්‍යාත්මක විග‍්‍රහයන් සහිත දේශපාලන, ආර්ථික, සාහිත්‍ය කලා විෂය ක්ෂේත‍්‍රය පිළිබඳව පුළුල් විවේචනාත්මක සහ විග‍්‍රහයන් විචාරශීලී ලෙස ඉදිරිපත් කරන ජනතාවට ධනාත්මක චින්තනයක් ලබාදීමට පෙරමුණ ගත්, උත්සාහ ගත් උත්සාහ කරන රාවය වැනි පුවත්පතක් බිහිවීමේ පසුබිම එදා ඒ යුගය තුළ තිබුණා. එක් පැත්තකින් වසර 6 කට පත්වෙච්ච පාර්ලිමේන්තුව වසර 12 කට කල්දාලා ‘‘මැතිවරණ සිතියම හැකිළුවා’’යි කියන කතාව එදා රාජ්‍ය නායකතුමා ප‍්‍රකාශ කළා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව රටේ ජනතාවට ප‍්‍රශ්නයක් මතුවුණා. 83 කළු ජූලියත් සමග රටේ යුද්ධයේ ආරම්භයත් සමග රට පිළිබඳව බොහෝ ප‍්‍රශ්න ගණනාවක් ජනතාව තුළ ඇතිවුණා. 83 කළු ජූලියෙන් වසර 3 කට පස්සේ රාවය බිහිවෙනවා. ඒ වගේම 88-89 ජනතා විමුක්ති පෙරමුණේ තරුණයින්ගේ කැරැල්ල ආරම්භ වීමට වසර දෙකකට තුනකට කලින් රාවය බිහිවෙනවා.

එවැනි දේශපාලන, සමාජ සහ එවකට තිබූ ආර්ථික පසුබිමත් සමග රාවය වැනි පුවත්පතක අවශ්‍යතාවය තුළ රාවය නිර්මාණය වුණ බවයි මගේ අදහස. රාවය සැමදාම ජනතාවට රටට ඉතාමත් ධනාත්මක චින්තනයකින් යහපත් දෙයක් ළඟා කර දීම සඳහා විශාල උත්සාහයකින් සහ කැපවීමකින් කටයුතු කළා. මට මතකයි 1994 පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව බලයට පත්කිරීමේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති වශයෙන් පත් කිරීමේදී ඒ යුගයේ කාර්යභාරය රාවය විසින් ඉටුකරනු ලැබුවා.

එදා මෙදා ගමන් මග ගත්විට අවශ්‍ය තැනේදී රාවය සිය නිර්භීත බව සහ සිය විචක්ෂණභාවය පරිණතභාවය ඔබේ අපේ මාතෘ භූමිය වෙනුවෙන් පෙන්නුම් කර තිබෙනවා. නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් මූලික අයිතිවාසිකම් ඒ සියල්ලත් එක්ක යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා රාවය හැමවිටම පෙරමුණේ සිටියා. ඒ වගේම මට මතකයි මීට වසර 5 කට පෙර රාවය 25 වන සැමරුම පවත්වන අවස්ථාවේ මම සෞඛ්‍ය ඇමතිවරයා විදියට එදා ඒ අවස්ථාවට සහභාගී වුණා. අපි සියලු දෙනාම එකට එකතුවෙලා ගිය වසරේ ජනවාරි මාසයේ 8 වෙනිදා අලුත් ආණ්ඩුවක් හැදුවා. හැට දෙලක්ෂ පනස් දහසකට ආසන්න ජනතාවක් ඡන්දය පාවිච්චි කළා. ඒ හැට දෙලක්ෂ පනස් දහසකට ආසන්න ජනතාවගේ අරමුණු, ප‍්‍රාර්ථනාවන් තුළ පොදු බවක් වගේම තවත් පැත්තකින් ඒ අපේක්ෂාවල විවිධත්වය හැට දෙලක්ෂ පනස් දහසකට වැඩියි කියලයි මම විශ්වාස කරන්නේ.

මට අදහස් දහසක් හිතන්න පුළුවන්. ඔබට අදහස් ලක්ෂයක් හිතන්න පුළුවන්. ඒ නිසා හැට දෙලක්ෂ පනස් දහසකට ආසන්න ඡන්දය දුන්න ඡන්ද දායකයින්ගේ බලාපොරොත්තු අසීමිතයි. වික්ටර් අයිවන් මැතිතුමාගේ දේශනයේදී එතුමා කිව්වා මොර සූරන වැස්සක් බලාපොරාත්තු වුණේ. නමුත් පොද වැස්සක් වැස්සෙ කියලා. තමුන්නාන්සේලා පත්කළ ජනාධිපති විදියට ඒ බලාපොරොත්තු ඇතිව මම කියනවා ඒ පොද වැස්ස පොද වැස්සක් පමණක් නෙවෙයි ඒක මල් වැස්සක් බව මම එය නොබියව මම කියනවා. ඒකට හේතු රාශියක් තියෙනවා.

පොදු එකඟත්වය මත පොදු අපේක්ෂකයා ලෙස මාව තෝරගන්න අත්සන් කළ සංවිධාන ඇතුළු ආයතන හතළිස් නමයක් එදා ඒ මැතිවරණ ප‍්‍රකාශනය හදලා තිබුණා. ඒ මැතිවරණ ප‍්‍රකාශය තුළ ජනවාරි 8 වනදා ඡන්දයෙන් 9 වනදා ජනාධිපති ලෙස සුබ නැකතින් දිවුරුම් දීලා මාව පත්කළ ඔබලා මට බාරදුන්නා දින සියයේ වැඩ පිළිවෙළක්. ඒ දින සියයේ වැඩපිළිවෙළ දුන්නේ විපක්ෂයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තියෙද්දි. ලෝකයේ කිසිම රටක නොවුන දෙයක් කරන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් කරන්න. පාර්ලිමේන්තුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. මාව බලයට පත්කළ පාර්ශවවලට ඒ වෙලාවේ තිබුණේ හතරෙන් එකක් වගේ සංඛ්‍යාවක්. නමුත් ඒ අසීරු කාර්යය අපි කළා. 19 වන සංශෝධනය සම්මත කළා.

අනුර දිසානායක මැතිතුමාගේ කතාවේදී එතුමා කිවුවා කැබිනට් මණ්ඩල සාමාජිකයින් ගණන 30ක් කියලා එකඟ වුණා කියලා. මමත් මේ රටේ ජනාධිපතිධූරයට පත්වන්න කළින් හා පසුවත් අපේ රටේ 30ක කැබිනට් එකක් ගැන හොඳට හිතපු කෙනෙක්. ඒ ගැන හොඳට සැලකිල්ල යොමුකළ කෙනෙක්. මොරසූරන වැස්ස ජනවාරි මස 10 වනදා වස්සවන්න පුළුවන්කම තිබුණා නම් මම වස්සනවා. තිහක කැබිනට් එක හදලා ආණ්ඩුව කරන්න පුළුවන් කමක් තියෙනවා නම් හෙට මම ඒක කරනවා. ඒ දෙකම කරන්න පුළුවන්කම තිබුණා නම් ඔබට වඩා මමයි සතුටු වෙන්නේ.

පාර්ලිමේන්තුවට පත්වන 225 න් අනුර කුමාර දිසානායක මහතා කියපු දූෂණ වළල්ල තුළ ඉන්නේ කවුද කියලත් එතුමා කිවුවා. ඔබ අපි බලාපොරොත්තු වන පරමාදර්ශී රාජ්‍යයක්, ගෞරවනීය රටක් ගොඩනගන්න අපි යනවිට මේ දූෂණයට, හොරකමට තියෙන වළල්ල ඒ සඳහා විතරක් නෙමේ තියෙන්නේ. ඔබ අපි බලාපොරොත්තු වන අරමුණ ඉටුකරගන්න තියෙන අරමුණු සියයක් තියෙනවා නම් ඉන් එකක් නම් හොරකම, දූෂණය, නාස්තිය අනෙක් අනූ නමයටත් ඒ වළල්ල තියෙනවා. එතැනයි ප‍්‍රශ්නය තියෙන්නේ. මාව ජනාධිපතිධූරයට පත්කරලා, ඒ විශිෂ්ට කැපවීම රට වෙනුවෙන් ජනතාව පරිත්‍යාග කරලා, දින සියයේ වැඩ පිළිවෙළේ කළ හැකි සියල්ල අපි උපරිමයෙන් කරලා, මහ මැතිවරණයකට ගියා. මේ වළලු කඩාගෙන යන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නැතිව පුළුවන් ද? නමුත් වළලු කඩාගෙන යන්න ව්‍යවස්ථාමය වශයෙන් බලය අගෝස්තු මස ලැබුණේ නැහැ.

වික්ටර් අයිවන් මහතා ඇතුළු මගේ හිතවත් මිත‍්‍රයින් මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත්තා කියලා මට එකදිගට ගැහුවා. තවත් ගහනවා මම දන්නවා. නමුත් අපි මේ බලාපොරොත්තු වන අරමුණ ඉටුකරගන්න වුවමනා තැනට යන්න ගිය අගෝස්තු මස මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට බලය ලැබුණාද? දෙසිය විසිපහෙන් එකසිය හයයි නම් ලැබුණේ අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්න, පනත් ගණනාවක් සම්මත කරන්න, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මම භාර නොගත්තා නම් මම දන්නවා අපි අද ඉන්නේ කොතැනද කියලා.

මේ ගැන බරපතළ විවේචන තිබෙනවා. ජාතික ලැයිස්තුවට මම පත්කරපු අය සම්බන්ධයෙන් බරපතළ විවේචන තිබෙනවා. මට කුමන විවේචන, චෝදනා සහ දෝෂාරෝපණ ආවත් අගෝස්තු 17 ට පෙර ගෙන ගිය ආණ්ඩුව හදාගත්ත තාවකාලික ආණ්ඩුව ගෙන යන්න මට ශක්තිය දුන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර ඇමතිවරු ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවිධානාත්මකව ජනතාව නෙවෙයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම කණ්ඩායමක් විසින් පරාජය කළා. මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළා. උඹලා මෛත‍්‍රීපාල එක්ක ගියා නම් උඹලාව පාර්ලිමේන්තුවට යවන්නේ නෑ. ඒ අයට විතරක් වෙනම ප‍්‍රකාශන ගහලා, ඡායාරූප දාලා, නම් ගහලා ආසන වලට බෙදලා ඡන්දය දෙන්න ඕන මේ අයටයි මෛත‍්‍රීපාලගේ මිනිසුන්ට දෙන්න එපා කියලා ප‍්‍රචාරය කළා.

අගෝස්තු මාසයේ 17 ප‍්‍රතිඵල සමග මම ආණ්ඩුවක් හදන්න  ඕන. 106 න් ආණ්ඩුවක් හදන්න ඕන. අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න 2/3 ක බලයක් ගන්නට ඕන. එතනදී මට විශ්වාස මිනිසුන් කණ්ඩායමක් සිටිය යුතුයි එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට. යම් යම් ප‍්‍රශ්න තිබෙන්නට පුළුවන්. විවේචන තියෙන්න පුළුවන්. නමුත් රාවයේ අරමුණම තමයි මගෙත් අරමුණ. ඒ බව බොහෝම පැහැදිලිව මම කියන්නට ඕන. මම එදා තිබුණු ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්ෂකයා වුණාම මහින්ද ආජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ සියලුදෙනා කිව්වා මෛත‍්‍රීපාල ඔළුව කළුගලේ ගහගත්තා කියලා. මම ඒ වේලාවේ භාරගත් අභියෝගය කීදෙනෙක් භාර ගනීද කියා මම දන්නේ නැහැ. මේ ගැනත් නොයෙකුත් විවේචන තිබෙනවා. නෑ එයා නොවයි අරයා ආවා නම් ප‍්‍රශ්නයක් නැහැ. අරයාව දාන්න තිබුණා ඒත් දිනනවා, එහෙම කියනවා. නමුත් මේ භාරගත් අභියෝගය සහ මම මුහුණ දුන් ප‍්‍රශ්න මම කරපු පරිත්‍යාගය, ජනාධිපතිට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් නැතුව 19 වෙනි සංශෝධනය 2/3 කින් පාස් කළ එක මේවා ගැන කී දෙනෙක් කතා කරනවාද? මේවා කී දෙනෙක් අගය කරනවාද?

සෙනසුරාදාට මම රාවය පුවත්පත බලන විට, මට හිතෙනවා ටෙලිෆෝන් කරලා අහන්න වික්ටර් අයිවන් මහතාගෙනුයි, ජනරංජන මහත්තයාගෙනුයි තමුන්නාන්සේලාගේ පොදු සතුරා මම ද කියලා. මට එහෙම අහන්න හිතෙන්නේ ගහන ගැහිල්ලට. මේ වගේ ජනාධිපති කෙනෙක් අහුවුණේ නැහැනේ ගහන්න. තමුන්නාන්සේලාට ගහන්නත් අයිතිය තිබෙනවා පත්කරපු නිසා. මම කලින් කිව්වා වගේම දූෂණ වටා පමණක් නොවෙයි අනිත් අරමුණුවලට යාමට එරෙහිවත් වළලු හැදිලා තියෙනවා. මේවා කඩාගෙන අපි ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න මට එදා වගේම අදත් හෙට දවසේත් ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානය තිබෙනවා.

මාධ්‍ය ගත් විට අද බොහෝ වේලාවට කතා කරන්නේ මොනවාද? රජයේ වැඩපිළිවෙළ නෙවෙයි කතා කරන්නේ. රජය කරන හොඳ වැඩ නෙවෙයි. සාමාන්‍යයෙන් ගමේ කියමනක් තිබෙනවා, මට ඒක අහන්න වෙනවා. ජනාධිපතිගේ මල්ලේ සියඹලා ඇත්තේම නැද්ද  කියා. මුකුත්ම නැති විදියටයි හැමදෙයක්ම සිදු වෙන්නේ.

මේ තිබෙන අමාරුකම් සහ අභියෝගත් එක්ක ප‍්‍රධාන වශයෙන් ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ඉස්සරට ගෙන යාමේදී බොහෝ වේලාවට මාධ්‍යයේ හැසිරීම ගත්තහම මම මීට පෙර අවස්ථා ගණනාවකදී කිව්වා අඩු තරමින් ආණ්ඩුවේ පත්තරේවත් දිනමිණ පත්තරේවත් උදේට අරන් බැලුවහම රටේ ජනතාවට රට ගැන හැඟීමක් ඇවිල්ලා ඔලුව උස්සන්න පුළුවන් ප‍්‍රවෘත්තියක් ප‍්‍රධාන ශීර්ෂ පාඨයක් තියෙන්න ඔනෑ.

අපිට රට ගොඩ නගන්න ඕනෑ. අප ඉස්සරට එන්න ඕනෑ අපි වැඩ කරන්න ඕනෑ. අපිට හොඳ ඉතිහාසයක් තිබෙනවා. ඒ තුළ අපි රට ඉස්සරහට ගෙනි යන්න ඕනෑ. මෙහෙම ප‍්‍රවෘත්තියක් උදේ දැක්කහම මුල් පිටුවේ දකින්න අපිට ආසයි. කැඩිච්චා බිඳිච්චා වෙන් වේච්ච පුපුරපුවා මරපූ ඒවා තමයි ඔක්කොම තියෙන්නේ. දිනමිණත් එහෙමයි. මේක තමයි මම කිව්වේ වළල්ල හැම තැනම තියෙනවා.

විශේෂයෙන් රාවය 30 වසරක මේ විශිෂ්ට ගමන් මගේදී ඔබ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හොඳ රටක් හදන්න, ආදරණීය රටක් හදන්න මේ ගෙන යන වැඩ පිළිවෙළ අපි ඉතාමත් අගය කරනවා. අපි සියලු දෙනාගේ පොදු අරමුණ මේ අරමුණ. මේ බලාපොරෙත්තු වන අරමුණ. ඒ අරමුණ ඉෂ්ට කර ගන්න සියලු දෙනාම කටයුතු කරනවා. අපි තවමත් ප‍්‍රමාද නැ කියලා මම විශ්වාස කරනවා.

අපිට අවශ්‍ය තීන්දු තීරණ ගන්න අවශ්‍ය වැඩපිළිවෙළ ඉස්සහරට ගෙනි යන්න අපි බලාපොරෙත්තු වන අරමුණ කරා රටක් විදියට ඉදිරියට යන්න. අපිට ආර්ථික අර්බුද වගේම දේශපාලනික වශයෙන් විශේෂයෙන්ම තිබෙන වටා පිටාව තේරුම් අරගෙන යා යුතු වෙනවා. අද මේ රටේ සිංහල සහ මුස්ලිම් ජනතාව අසමගි කරවන්න අර්බුදයක් හදන්න විශාල ක‍්‍රමන්ත‍්‍රණයක් තියනවා.

ජාතික සමගිය ගොඩ නගලා, සංහිඳියාව ශක්තිමත් කරලා, ඒ පොදු අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා අපි යන ගමන වළක්වන්න ඒ සඳහා සංවිධානාත්මක වූ අතිවිශාල වශයෙන් මුදල් යොදවන පැහැදිලි දේශපාලන කුමන්ත‍්‍රණ තියෙනවා. ඒ සියල්ලත් එක්කයි අපි මේ වැඩ කරන්නේ. ඒ සියල්ල එක්ක වැඩ කරන කොට රාවය වගේම මේ ආණ්ඩුව හදන්න, මාව ජනාධිපති ධුරයට පත් කරන්න ඒ කැප කිරීම් කරපු ඒ සියලු දෙනාගෙන්ම මා කාරුණිකව ගෞරවයෙන් ඉල්ලන්නේ සැම විටම අපි ඒ පොදු අරමුණ කරා යෑම සඳහා ශක්තිමත් වෙන්න අවශ්‍යයි. ඒ ශක්තිය දෙන්න කියලා මම කියන්නේ. අපිට විශේෂයෙන්ම නිර්දය ලෙස කරන විවේචනවලදී ඒ විවේචනයේ තියෙන වාසිය ජනාධිපතිට එන්නේත් නැ. ඒ විවේචනයේ වාසිය රාවයට එන්නේත් නෑ. ඒ විවේචනයේ වාසිය ගන්නේ වෙන කෙනෙක්. මාගේ අවුරුදු 50 ක දේශපාලන අත්දැකීම් එක්ක මට හොඳට හුරුයි මේ විවේචන. මේ පහරකෑම් පහරදීම් හොඳට මට හුරුයි. මම ඒවාට හොදට ඔරොත්තු දෙනවා. නමුත් අපි යන ගමන ඒ අරමුණ කරා යන්න අපි සියලු දෙනා මීට වඩා අපේ සුහදශිලීභාවය, මිත‍්‍රශීලිභාවය අපිට අවශ්‍යයි. ඔබේ ආශිර්වාදය ඉතාමත් සධාරණ වූ විවේචනය මම ඉතාමත් අගය කරනවා මම බලාපොරොත්තු වෙනවා.

ඒ නිසා අපි සැම කෙනෙක්ම එක අරමුණක් කරා යන ගමන රට වෙනුවෙන්, ඔබේ අපේ මාතෘභූමිය වෙනුවෙන්. මා නැවත නැවතත් රාවයේ විශිෂ්ට මානවවාදී ගමන ඉතා අගය කරමින්. දේශපාලන, ආර්ථික, කලාව, සාහිත්‍ය, ඇතැම් වේලාවට විද්‍යාත්මක කේෂ්ත‍්‍රය ඒ සියලු අංශ තුළින් ජනතාවට වඩාත් නිසි මගක් පෙන්වීමට දැඩි කැපවීමක් කරන රාවයේ උතුම් අරමුණ තව තවත් ශක්තිමත් වේවා යි ඒ අරමුණ සාර්ථක වේවා යි කියා මා ආශිර්වාද කරමින් විශේෂයෙන් වික්ටර් අයිවන් මහතාටත් ජනරංජන මහතා ඇතුළු රාවයේ කර්තෘ මණ්ඩලයටත් මෙයට අනුග‍්‍රහය දක්වන සහයෝගය ලබා දෙන සියලු දෙනාටත් ආශිර්වාදය පිරිනමමින් ස්තූති වන්ත වෙනවා.

රාවයේ තිස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව පිළිබඳ කතා කරන අපිට අඩු තරමින් රාවයේ තිස් වසරක සමරුව පවත්වන දවසේ වඩා හොඳ රටක් ගොඩ නගන්නට ඒ ගැන කතා කරන්න ලැබෙයිි කියන විශ්වාසය තුළ ඒ සඳහා ඔබ අප සියලු දෙනා එක්ව මිත‍්‍රශීලිව සහයෝගයෙන් සහෝදරත්වයෙන් කටයුතු කරමුයි කියන ඉල්ලීම කරමින් සියලු දෙනාට ස්තූති වන්ත වෙමින් නිහඬ වෙනවා.

Share This Post

NEW