ජාතික සංහිඳියාව තුළ සැඟවුණු ISIS ත‍්‍රස්තවාදය

ජාතික සංහිඳියාව තුළ සැඟවුණු ISIS ත‍්‍රස්තවාදය

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදි ප‍්‍රහාර සම්බන්ධ විමර්ශන කටයුතු තියුණු ලෙස සිදුවෙමින් පවතී. එම ප‍්‍රහාරයන් හා සම්බන්ධ පුද්ගලයන් රැසක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක අංශ රටපුරා කළ සෝදිසි මෙහෙයුම්වල දී අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට සමත් විය. මේ පසුපස පවතින දේශපාලන කඹ ඇදිල්ල මෙන්ම දේශපාලන හා මුදලට සිදුකරන්නට යන පාවාදීම් ත‍්‍රස්තවාදය විනාශ කිරීමට එක් පසෙකින් බාධාවක් වී ඇත.
 
 මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, මාධ්‍යයන්හිත් වාද විවාද රැසක් සිදු වුවද ඒ කිසිවකින් අත් වූ සෙතක් නැත. අද ඇති ගැටලූව මේ ප‍්‍රහාරයන් මෙතරම් කඩිනම් වූයේත්, තවත් රටක සිදුවීමකට මෙරට ජනතාවගෙන් පළිගත්තේ මන්ද යනාදි හේතූන්ය. එහෙත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩ පිළිවෙළ හා මෙම ප‍්‍රහාරයන් අතර බොහෝදුරට සම්බන්ධකම් තිබිය හැකි බවට විශාල සැකයක් පවතී.
 
 ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම අතර ඇත්තේ සුවිශාල සම්බන්ධයකි. ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැඩිපිරිසක් මුස්ලිම් ජාතිකයන්ය. එනිසා මේ ප‍්‍රහාරය හා සම්බන්ධ වන්නේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයකි. ජාත්‍යන්තරය සිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සඳහා ත‍්‍රස්තවාදය ව්‍යාප්ත කරමින් පවතී. අනෙක් පැත්තෙන් අවි ආයුධ නිෂ්පාදනය කරන රටවල් සිය නිෂ්පාදනයන්හි අලෙවියේ වර්ධනය උදෙසා ත‍්‍රස්තවාදය ව්‍යාප්ත කරමින් සිටියි. මේ සියල්ලට දේශීය ත‍්‍රස්තවාදීහු බිලිවෙමින් සිටිති.
 
 අද ලෝකයටම වසංගතයක් වී තිබෙන හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන්නේ ඇෆ්ගනිස්තානය, පකිස්තානය, ප‍්‍රංශය හා මැද පෙරදිග රටවල පිහිටි නීති විරෝධී රසායනාගාර තුළය. රණවිරුවන් සිහිකිරීම සඳහා යොදා ගන්නා පොපි මල් වැඩි වශයෙන් වගා කෙරෙන්නේ ඇෆ්ගනිස්තානයේය. එම මලින් හටගන්නා ගෙඩි සූරා එයින් ලබා ගන්නා මැලියම්වලින් අබිං නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරේ. එම අබිං නමැති මත්ද්‍රව්‍ය රසායනික ක‍්‍රියාකාරකමට ලක්කිරීමෙන් මෝර්පීන් මත්ද්‍රව්‍ය නිපදවයි. එම මෝර්පීන් තවදුරටත් රසායනික ක‍්‍රියාකාරකමට ලක්කිරීමෙන් හෙරොයින් නිෂ්පාදනය කරනු ලබයි.
 
 හෙරොයින් නිෂ්පාදනය සඳහා යොදාගන්නා පොපි වගාව අතින් ලෝකයේ පළමු තැන හිමිව ඇත්තේ ඇෆ්ගනිස්තානයට බව මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය 2018 වසරේ නිකුත් කළ වාර්තාව සඳහන් කරයි. එම වාර්තාවට අනුව 2017 වසරේ ලෝකය පුරා හෙක්ටයාර් 4,20,000 ක පොපි වගාකර ඇත. එයින් සියයට 75 ක්ම වගාකර ඇත්තේ ඇෆ්ගනිස්තානයයි. ලෝකයේ අබිං නිෂ්පාදනය ආරම්භය පටන් වාර්තාගත වැඩිම අබිං නිෂ්පාදනය සිදුව ඇත්තේ ද මේ වසරේය. එම වසරේ අබිං නිෂ්පාදනය ටොන් 10,500 කි. එයින් ටොන් 9000 ක්ම නිෂ්පාදනය කර ඇත්තේ ඇමරිකාවේ පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය විසිනි.
 
 ලෝකයේ අවි ආයුධ නිෂ්පාදනයේ බලවතා වන ඇමරිකාව විසින්ම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේත් බලවත් වීම සෙසු රටවලට විශාල අර්බුදයක් වී තිබේ. පසුගිය කාලය පුරා මෙරටට ගෙන්වූ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත් විය. එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග මෙරට පරිභෝජනය සඳහා එවන ලද්දක් නොවන බව පැහැදිලිව දර්ශනය විය. එසේ නම් ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු පළක් ලෙසට ශ‍්‍රී ලංකාව භාවිත කර ඇති බව පැහැදිලිය. එය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රටවලට එල්ල වූ ලොකු අභියෝගයක් විය. 
 
 මෙම පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ලවූ දා පටන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය හා තමන්ගේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙළ අතර සෘජු සම්බන්ධයක් ඇති බවට ප‍්‍රකාශ කරන්නේ ඒ නිසාය. එක් පැත්තකින් මේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩපිළිවෙළ අසාර්ථක කිරීම හෝ අඩපණ කිරීම මෙහි එක් අරමුණක් විය හැකිය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා පවසන ආකාරයට මේ ලෝකයේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලට පැවැත්මක් නැත. පසුගියදා අම්පාර සායින්දමරුදු ප‍්‍රදේශයේ දී ආරක්ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් හමුවේ දී ජනාධිපතිවරයා එය වඩාත් පැහැදිලි කළේය.
 
 ලෝකයේ කිසිම ත‍්‍රස්තවාදි සංවිධානයක් හෝ ව්‍යාපාරයක් ආයුධ නිෂ්පාදනය නොකරන අතර ආයුධ නිෂ්පාදනය කරන අය ඒවා නිෂ්පාදනය කළේ නැත්නම් ත‍්‍රස්තවාදීන්ට ආයුධ නැත. ඒ නිසා මේ සියල්ල හොඳින් වටහාගත යුතු බවත් ජනාධිපතිවරයා කීවේය. අද ජනාධිපතිවරයා රටේ ත‍්‍රස්තවාදය තුරන් කිරීම සඳහා පොලිසියට හා ආරක්ෂක හමුදාවට උපරිම ලෙස බලය දෙමින් සාමය සංහිඳියාව තහවුරු කිරීම තමන් අතට ගෙන කරන මෙහෙය සුළු පිරිසකගේ විවේචනයට ලක්ව තිබේ. එම විවේචන පසුපස ඇත්තේ එක්කෝ ජාතිවාදය නැත්නම් දේශපාලනය. ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය දෙස පාට කණ්ණාඩිය ගලවා බැලීම අතිශයෙන්ම වැදගත්ය. විශේෂයෙන් සමාජ ජාලා වෙබ් අඩවි මඟින් විකෘති අදහස් උදහස් වැඩි වශයෙන් සමාජගත කෙරේ. අප සිතිය යුත්තේ එය අනාගතයට බලපාන ආකාරය ගැනයි. 
 
 මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ භූමිකාව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්විය. එමඟින් ක‍්‍රිස්තියානි ආගමත් ධර්මයත් ගැන කිසිදා නොවිරූ ප‍්‍රබෝධයක් හැඟීමක් ජනතාව තුළ ඇතිකරන්නට වූයේ ජාති ආගම් කුල භේදයකින් තොරවය. උන්වහන්සේගේ සිත් තුළ කිසිම අවස්ථාවක වෛරයක් පළිගැනීමේ චේතනාවක් ඉස්මතු වූයේ නැත. අනෙක් සැමට වඩා මේ ගැන දුක වේදනාව සංවේගය එතුමන් තුළ තිබූ බව අපි දුටුවෙමු. එහෙත් සමාජ මාධ්‍ය මඟින් උන් වහන්සේටත් අපහාස කර තිබෙන අවස්ථා අප දුටුවෙමු. එහිදී අපට කියන්නට ඇත්තේ ඒ කාලයේ බුදුරජාණන් වහන්සේට අපහාස කළ නින්දා කළ උදවියද සිටි බවය. අද ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ඒ සියල්ල වඩාත් හොඳින් තේරුම් ගෙනය.
 
 ජනාධිපතිවරයාටත් කාදිනල් තුමාටත් අපහාස වන අයුරින් චෝදනා කරන උදවිය කියන්නේ සියලූ මුස්ලිම් වැසියන් සමූල ඝාතනය කර මේ ප‍්‍රශ්නය විසඳිය යුතු බවද ? එසේ මෙවැන්නක් විසඳිය හැකිද ? එදා එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය ආරම්භක අවධියේ මෙවැනිම මතධාරීන්ගේ අදහස වූයේ සියලූ දෙමළ ජනයා මරාදමා ඒ ගැටලූවට විසඳුම් සෙවිය යුතු බවය. 83 කළුජුලිය ඇති කළේත් එවන් අරමුණක් පෙරදැරි කරගෙනය. එයින් සිදු වූයේ එල්.ටී.ටී.ඊයට එතෙක් සම්බන්ධ නොවී සිටි බහුතරයක් එල්.ටී.ටී.ඊ ය හා එක්ව එම සංවිධානය ශක්තිමත් කිරීම පමණක් නොව ඔවුන්ට ජාත්‍යන්තර අනුග‍්‍රහය ලැබීමට ඉඩ සලසාදීමත්ය. එයින් ශක්තිමත් වූ ත‍්‍රස්තවාදය තිස් වසරක් පුරා දීර්ඝ වී අවසන් වූයේ ජීවිත දස දහස් ගණනක් වගේම විශාල දේපළ හානියක් සිදුවීමෙන් පමණක් නොව අනිසි ජාත්‍යන්තර බලපෑම් රැසකට යටවීමෙනි.
 
අපට තවත් එවැනි ත‍්‍රස්තවාදී යුද්ධයකට මුහුණදීමට නොහැකිය. එනිසා මේ මතුවන්නට ආ අයි එස් අයි එස් ත‍්‍රස්තවාදය සහමුලින් තුරන් කිරීමේ බලය ආරක්ෂක අංශ වෙත ලැබී ඇති මොහොතක ඔවුන්ට කිසිවෙකුගේත් බලපෑම්වලින් තොරව එම කාර්ය ඉටුකිරීමට සහාය වීම අප සැමගේ වගකීමකි. ත‍්‍රස්තවාදීන්ට හෝ ත‍්‍රස්තවාදී සංවිධානයකට අවශ්‍ය කරන්නේ 83 කළු ජුලිය මෙන් ව්‍යසනයක් රට තුළ නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමය. එවැන්නක් කිරීම මඟින් සමස්ත මුස්ලිම් ජනතාව එම ත‍්‍රස්තවාදය හා එක්කර ගැනීමය. අප කිසිදු ආකාරයකින් ඊට ගොදුරු නොවී මුස්ලිම් ජනතාව ත‍්‍රස්තවාදීන්ගෙන් වෙන්කර ගැනීමට දායක විය යුතුය.

  ත‍්‍රස්තවාදීහු බොහෝ අවස්ථාවල තම කටයුතු සඳහා ආගමික ස්ථාන යොදා ගැනීම සිදුකරති. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් යුද්ධ කළ අවධියේ උතුරු නැගෙනහිර ක‍්‍රිස්තියානි දේවස්ථාන තුළ අවි ආයුධ සඟවා තිබියදී සොයාගත් අවස්ථාද ඇත. ඉස්ලාම් පල්ලි තුළ කඩු ඇතුළු අවි හමුවීමද එවැනිම අවස්ථාවකි. එවන් දේ සඳහා වගකිවයුතු ඒ හා සුළු වශයෙන් හෝ සම්බන්ධ සියලූ දෙනා අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පමුණවීමට ආරක්ෂක අංශ පියවර ගතයුතුය. ඒ සඳහා සියලූ දෙනා සහාය විය යුතුය. විශේෂයෙන් ඒ වෙනුවෙන් මුස්ලිම් ජනතාවගේ සහාය ආරක්ෂක අංශවලට හිමිවිය යුතුය.
 
 මේ ත‍්‍රස්තවාදයට එරෙහිව විවිධ මුස්ලිම් පාර්ශ්ව, මුස්ලිම් දේශපාලඥයෝද අදහස් පළකරමින් සිටිති. මේ මොහොතේ ඔවුන් සිදුකළ යුත්තේ තමන්ගේ නිදහස, විශ්වාසය, සාමය, සංහිඳියාට අහිමි කළ මේ ත‍්‍රස්තවාදයට එරෙහිව සමස්ත මුස්ලිම් ජනතාව පෙළගැස්වීමය. සෑම ප‍්‍රදේශයකම මුස්ලිම් ජනතාව ඒකරාශි කර අයිඑස් ත‍්‍රස්තවාදයට එරෙහිව උද්ඝෝෂණය කළ යුතුය. විවිධ රටවල මුස්ලිම් ජනතාවට එරෙහිව ප‍්‍රහාරයන් සිදුවූ අවස්ථාවල ශ‍්‍රී ලංකාවේ ජුම්මා වැඳුම් කරන දිනවල මුස්ලිම් ජනතාවගේ විරෝධතාව රටපුරා දැකගන්නට හැකිවිය. එවැනිම විරෝධතාව මේ සිද්ධීන් සම්බන්ධයෙන්ද සංවිධානය කිරීම මුස්ලිම් දේශපාලඥයන්ගේ වැඩි අවධානයක් යොමුවිය යුතුය. ත‍්‍රස්තවාදය තුරන්කර සැබෑ සංහිඳියාවක් සාමයක් ඇතිකළ හැක්කේ එවන් ක‍්‍රියාදාමයක් පමණි. එසේ කිරීමෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කරන සාමකාමි දේශයක් ගොඬනැඟීමේ ක‍්‍රියාදාමයට දායකවීම සැමගේ වගකීමකි, යුතුකමකි.

ටී. චන්ද්‍රසේකර

Share This Post

NEW