ජාතීන් වශයෙන් බෙදී වෙන් වී ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනිමට ඉඩ නොතබන ලෙස ජනපති සියලුදෙනාගෙන් ඉල්ලයි.

ජාතීන් වශයෙන් බෙදී වෙන් වී ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනිමට ඉඩ නොතබන ලෙස ජනපති සියලුදෙනාගෙන් ඉල්ලයි.

ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වන්නේ ජාතීන් වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.

රට කැඞීමේ ත‍්‍රස්ත අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිතුමා සියලූ ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියේ අද (17) පස්වරුවේ ගාල්ල, හික්කඩුව, තොටගමුව පුරාණ රත්පත් රාජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ 21 වන දා ප‍්‍රහාරය අපේ රටේ ප‍්‍රශ්නයක් නොව ජාත්‍යන්තරයේ ප‍්‍රශ්නයක් බවයි. එය අපේ රටේ ප‍්‍රශ්නයක් බවට පත්කරගනිමින් කටයුතු කිරීමට ජනතාව පෙළඹුණහොත් ඒ තුළින් රටක් වශයෙන් මුහුණදීමට සිදුවන අසීරුතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා අවධාරණය කළේ තමාට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද 21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙනුත්, එම ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ නැඟී සිටිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම තමා ගත් බවයි.

සත්‍ය ගමන් කරන්නේ ඉතා සෙමෙන් වන අතර අසත්‍ය ඉතා වේගයෙන් ගමන් කරන බව කියා සිටි ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුව ද ත‍්‍රස්තවාදය රටෙන් තුරන් කර දැමීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව අවධාරණය කළේය.

සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය සහ සියලු සත්ත්වයන්ට ආදරය, සෙනෙහස දැක්වීම පිළිබඳ බෞද්ධ දර්ශනය තුළින් මනා ම`ගපෙන්වීමක් සිදුකරන අතර, කිසිඳු අධ්‍යාත්මික දර්ශනයක් තුළ මිනිසුන් මැරීමට උගන්වා නොමැති බව ද ජනාධිපතිතුමා මෙහි දී ස`දහන් කළේය.

මෙරට විසු අසමසම කවීන්ද්‍රයාණන් වහන්සේ ලෙස සැලැකෙන ෂඞ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ‍්‍රී රාහුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ වැඩ විසු පුණ්‍ය භූමිය වන තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය කේන්ද්‍රකර ගෙන අධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් රාජ්‍ය වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණී.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.

තොටුගමුව පුරාණ රත්පත් රජමහා විහාරය පූජා නගරයක් බවට පත් කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාවේ දී ඊට අදාළ ඔප්පුව සහ සන්නස් පත‍්‍රය ජනාධිපතිතුමා අතින් විහාරාධිපති හිමිවරුන් තිදෙනා වෙත පිළිගැන්විණි.

විහාරස්ථාන සහ දහම් පාසල් සඳහා මුල්‍යාධාර ලබාදීම, සාමණේර උපසම්පදා සහතිකපත් ප‍්‍රාදේශීය කාර්යාල මගින් නිදහස් කිරීම සංකේතවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමින් ප‍්‍රමුඛ ත්‍රෛනිකායික ගරුතර මහා සංඝරත්නය ද බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, අර්ජුන රණතුංග, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන්, හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාල පරිශ‍්‍රයේ ඉදිකෙරුණු අභිනව ධාතු මන්දිරය අද (17) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අභිනව ධාතු මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා එහි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරය සිදු කළේය.

අනතුරුව අභිනව ධාතු මන්දිරයේ සර්වඥ ධාතුන් වහන්සේ සහිත කර`ඩුව තැන්පත් කළ ජනාධිපතිතුමා එම ධාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දේවාල පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, වජිර අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ද සීනිගම, දෙවොල් මහා දේවාලයේ භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය වෙසක් මහෝත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන
මැතිතුමා කළ කතාව
2019.05.17 වන දින ගාල්ල, හික්කඩුව, තොටගමුව පුරාණ රත්පත් රාජමහා විහාරස්ථානයේ දී

අපි අද මේ ඓතිහාසික මහා පින්බිමට එක්වී සිටින්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවත්වන රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහායි.
තොටගමුව ශ‍්‍රී රාහුල හිමියන් වැඩ විසූ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමියන් වැඩ විසූ වෑත්තෑවේ හිමියන් වැඩ විසූ මේ උතුම් ඓතිහාසික මහා පින්බිම පූජා නගරයක් බවට පත් කිරීමට හැකිවීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අපේ රටේ ජනගහනය මිලියන විස්සකට වඩා වැඩියි. එයින් 76% ක් සිංහල ජනතාව. බුදුන් වහන්සේගේ තෙමඟුල සමරන්නේ අපේ රටේ පමණක් නොවෙයි. ලෝකය පුරා ව්‍යාප්ත වී සිටින බෞද්ධ ජනතාව මේ සම්බුදු තෙම`ගුල සමරනවා. ථෙරවාදි බෞද්ධ දර්ශනයේ මූලස්ථානය තමයි අපේ රට. ලොව පුරා බෞද්ධ ජනතාව කෝටි සංඛ්‍යාත ජනකායක් සිටිනවා.
චීන රාජ්‍ය නායකයන්ගේ සාකච්ඡාව අවසන් වී මේ රටේ ජාතික ආරක්ෂාවට ලබා ගත් සම්පත් විශාල ප‍්‍රමාණයක් සම`ග ඒ ගමන අවසන් කරලා එන්න පැය කිහිපයකට පෙර චීනයේ ජනාධිපති ෂින්ජින්පින් මැතිතුමා සම`ග විශේෂ වැඩසටහනකට සහභාගි වී සිට නැගිටලා එන වෙලාවේ එතුමා මගේ අතින් අල්ලගෙන කිව්වේ බෞද්ධ රටවල් විදියට ලංකාවත් සම`ග අපේ බැඳීම තිබෙන්නේ අවුරුදු දහස් ගණනක සිට කියලා. මේ වගේ යුගයක එතුමා එසේ පැවැසීම පිළිබඳවත් බුදුදහමේ තිබෙන ඓතිහාසික වැදගත්කම පිළිබඳව සිහිපත් කිරීම ගැනත් අපි සතුටු වෙන්නට ඕනෑ. මා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව අවස්ථා 10 කදි පමණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවී කතා බහ කරලා තිබෙනවා.
ඒ බොහෝ අවස්ථාවලදි එතුමා කියන්නේ බෞද්ධ සංස්කෘතියත් බෞද්ධ ශිෂ්ටාචාරයත් සමඟ මහා භාරතය සහ ශ‍්‍රී ලංකාව අතර තිබෙන සම්බන්ධතාවයි අද මේ තවත් ශක්තිමත් වෙන්නේ කියලා. අපේ රටේ දමිළ ජනතාවත් සමඟ මුළු ලෝකයේම ජීවත් වන දමිළ ජනතාව දස ලක්ෂ 100 ක් පමණ වෙනවා. ලෝකයේ ජීවත් වන ඉස්ලාම් ජනතාව කෝටි එකසිය තිහක් පමණ වෙනවා. අපේ කෝටි 02 ක ජනතාව තුළ සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් මේ සියලු ජනකොටස් නියෝජනය වෙනවා.

ලෝකයේ තිබෙන විවිධ අසමානතාවන් ගැටුම් විවිධ හැලහැප්පිලි නොසන්සුන්තාවන් මේ සියල්ලටම පැහැදිලි විසඳුම බෞද්ධ දර්ශනය තුළ තිබෙනවා. බුදුන් වහන්සේගේ දර්ශනය තුළ සමානාත්මතාවය සමාජ සාධාරණත්වය මනුස්සකම සියලු සත්ත්වයාට ආදරය, කරුණාව, දයාව, සෙනෙහස දක්වන ආකාරය ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ වැඩම කරවීම ඒ වගේම සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩම කරවීම අපේ රට තුළ බුදුදහම ප‍්‍රචලිත වෙන්න ශක්තිමත් වෙන්න මහා බෞද්ධ සංස්කෘතික පදනමක් ඇති වෙන්න හේතු පාදක වුණා කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා හැදුණු සමාජයක්, විනයගරුක සමාජයක්, අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා නිතර කතා කරන අනුශාසනා කරන පන්සිල් රකින සමාජයක් ලෝකය පුරා ව්‍යාප්ත කරන්න පුළුවන් නම් එය කොතරම් හොඳ ද කියලා අපි තේරුම් ගන්නට ඕනෑ.
පසුගිය මාසයේ 21 වෙනිදා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය අන්තවාදි ආගමික ත‍්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දක්. ඔවුන්ගේ අභිමථාර්ථයන් ඉෂ්ට කර ගන්න නම් ඊට විරුද්ධ සියලු දෙනා මරා දැමිය යුතුයි, ඒ මරාදමන පුද්ගලයන් දෙවියන් වහන්සේට එකතු වෙනවයි කියලා කියනවා. කිසිදු ආධ්‍යාත්මික දර්ශනයක මිනිසුන් මැරිය යුතුයි කියලා සඳහන් වන්නේ නැහැ.
අපි ත‍්‍රිපිටකය ජාතික උරුමයක් කළේ ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට කටයුතු යොදා තිබෙන්නේ ථෙරවාදි බෞද්ධ දර්ශනයේ මූලස්ථානය විදියට ලෝකය තුළ මේ උතුම් මහා බෞද්ධ දර්ශනය තව තවත් ශක්තිමත් කරන්න. අපි මත්ද්‍රව්‍යවලට විරුද්ධව ප‍්‍රධාන ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළේ බෞද්ධ දර්ශනයට අනුවයි. ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අන්තවාදි ආගමික ත‍්‍රස්තවාදීන් අතරේ තිබෙන සම්බන්ධතාව අපේ රටේ බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. අපේ‍්‍රල් 21 වෙනිදා සිදුවීමෙන් පසුව මම කොතෙක් අවිවේකී වුණත් ඉඩ ලැබුණු හැම විටම මේ අන්තවාදී ආගමික දර්ශන සහිත ත‍්‍රස්තවාදය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. අන්තවාදී ආගමික දර්ශනවලින් බිහිවුණු ත‍්‍රස්තවාදයත් ලෝකයේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී ව්‍යාපාරත් ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ ජාවාරම් මේ සියල්ල එකම ගමන් මඟකයි යන්නේ.
පසුගිය අපේ‍්‍රල් මාසයේ 03 වෙනිදා රාජ්‍ය සේවකයන් ප‍්‍රමුඛව පාසල් දරුවන් එක්ව මත්ද්‍රව්‍යවලට විරුද්ධව බක්මහ දිවුරුම නමින් දිවුරුමක් දුන්නා. අපේ‍්‍රල් 21 වෙනිදා මේ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ ඒ මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලින් ගොඩනැඟුණු සමාජවල ගුණාත්මකභාවය යට වුණා. බක්මහ දිවුරුම මිනිසුන්ට අමතක වුණා. සමාජය යහපත වෙනුවෙන් සිදු කළ ත‍්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම ලෝක උරුමයක් සඳහා යෝජනා කිරීම ආදි සියල්ල අමතක වුණා. ලෝකයේ පරිසරය පිළිබඳව පැරණිම පරිසරවේදියාණන් වන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තරම් පරිසර සංරක්ෂණය පිළිබඳ ගහකොළ ඇළ දොළ මහ පොළොව සතා සීපාවා ආරක්ෂා කිරීම පෝෂණය කිරීම පිළිබඳව බුදුන් වහන්සේ තරම් කිසිදු දාර්ශනිකයෙක් කිසිදු ආධ්‍යාත්මික දාර්ශනිකයෙක් දේශනා කරලා නැහැ. ඒ සියල්ලම අද යටපත් වෙලා. අපි එහෙම නම් ත‍්‍රස්තවාදය පිළිබඳව කතා කර කර සිටිනවද? අපේ ආගමික දර්ශනයන් අපේ හැදුණුකම් අපේ විනය අපේ බෞද්ධ දර්ශනයෙන් ගොඩනැඟෙන සමාජය නැවත ශක්තිමත් කරන්න සෑම කෙනෙක්ම රටක් විදියට එකට එකතු වෙනව ද කියන කාරණය යි අපි හිතන්නට ඕනෑ.
රජය පිළිබඳව මා පිළිබඳව මොන විදියේ විවේචන තිබුණත් අපේ හෘදය සාක්ෂියට එකඟව කළ යුතු දේ අපි කරනවා. කරලා තිබෙනවා. අසත්‍ය සමාජය පුරා ඉතාමත් වේගයෙන් ගමන් කරනවා. සමාජයේ සත්‍ය ඉතාමත් සෙමෙන් ගමන් කරනවා.
අසත්‍යයෙන් නින්දා අපහාසයට ලක් වුණු ලෝකයේ බුදුන් වහන්සේ තරම් වෙනත් කෙනෙක් නැහැ. උපමා කතා ආශ‍්‍රයෙන් ඒ පිළිබඳව කියන්න බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා බෞද්ධ සමාජයක් විදියට බෞද්ධ රටක් විදියට මේ එන අභියෝගවලට මුහුණ දෙන්න අපි සියලු දෙනාගේම සමගිය එකමුතුව තමයි අවශ්‍ය වන්නේ. අපට අප පිළිබඳව අවබෝධයක් අවශ්‍ය වෙනවා. හවසට රූපවාහිනිය බලපුවහම මිනිසුන්ගේ සිත් සතන් අවුල් වෙනවා. නොසන්සුන් වෙනවා. සත්‍ය කුමක්ද පිළිගත යුත්තේ කුමක්ද කියන එක හවසට රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති දැක්කහම කෙනෙකුට තේරුම් ගැනීම ප‍්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තමයි මාධ්‍යයේ පිරිහීම. යහපත් බව, ගුණාත්මක බව, විනය, සීලාචාරකම හැදිච්චකම ගොඩනඟන්න ජනතාවගේ සිත් සතන් ශක්තිමත් කිරීම රටක ජනතාවගේ ආත්ම අභිමානය ආත්ම ශක්තිය ආත්ම ධෛර්ය ගොඩනැංවීමට අභියෝගයකට ලක් වූ විට ජනතාව සියලු දෙනා එකට එකතු කරලා ගොඩනඟන්න සිංහල ද දමිළ ද මුස්ලිම් ද මැලේ ද බර්ගර් ද ඒ සියල්ල එක තැනකට ගන්න අපේ මාධ්‍යවලට කිසිම උවමනාවක් නැහැ. ඒ නිසා අපි නොසන්සුන් වෙලා සිටිනවා. මම දකින විදියට ඒ නොසන්සුන්තාවට එකම විසඳුම බෞද්ධ දර්ශනය යි. ඒ නිසා මොන විදියේ අභියෝග ආවත් මේ රටේ ත‍්‍රස්තවාදය තුරන් කරන්න පසුගිය දින ගණනාව තුළ විශේෂයෙන් අපේ‍්‍රල් 21 වෙනිදා සිද්ධියෙන් පසුව අපි රජයක් විදියට කළ යුතු සෑම දෙයක්ම කළා.
මේ රාජ්‍ය වෙසක් උත්සව දිනයේදි සඳහන් කරන්නට ඕනෑ ඔබවහන්සේලාගේ අනුශාසනා මඟපෙන්වීම් දේශපාලන පක්ෂවල එකමුතුව තුළ පොලිසිය, ත‍්‍රිවිධ හමුදාව බුද්ධි අංශ විශාල කැපකිරීමක් කළා. ඒ තුළ අපිට ප‍්‍රතිඵල තිබෙනවා. ඒ ප‍්‍රතිඵලය නිසා තමයි 21 වෙනිදායි පසුව කිසිදු ප‍්‍රහාරයක් එල්ල කරන්න ත‍්‍රස්තවාදින්ට බැරිව ගියේ. ඔවුන්ගේ මූලස්ථාන සොයා ගත්තා. ඔවුන් සිටි තැන් සොයා ගත්තා. ඔවුන් පුහුණු වෙන තැන් සොයා ගත්තා. ඔවුන්ගේ කඳවුරු සොයා ගත්තා. ඔවුන්ගේ අවි ආයුධ සොයා ගත්තා. අපේ බුද්ධි අංශ, ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒ දක්ෂතාව සහ කැපවීම පෙන්නුම් කර තිබෙනවා. මෙවැනි අවස්ථාවක විශේෂයෙන් ඒ කරුණු මා සඳහන් කළේ යහපත් සමාජයක් පිළිබඳව කතා කරන විට බෞද්ධ දර්ශනය පදනම් කර ගත් බෞද්ධ සංස්කෘතියෙන් බෞද්ධ ශිෂ්ටාචාරයෙන් ගොඩනැඟුණු රටක ජනතාවක් විදියට මේ රටේ ජාතික සමඟිය සමඟ සියලුදෙනා එකට ගොඩනැඟීම පිළිබඳව මුල් වෙන්නට ඕනෑ.
චීනයේ පැවැති සාකච්ඡාවේදි චීනයේ ජනාධිපති අගමැති දේශපාලන මණ්ඩලයේ සභාපති මේ සියලු දෙනාම මා හමු වුණා. චීනයේ දේශපාලන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් මම ප‍්‍රශ්නයක් ඇහුවා. දේශපාලන මණ්ඩලයේ සභාපති චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරයාටත් වඩා ප‍්‍රබලයි. අපි වගේ ලෝකයේ කිසි රටක් සමඟ ගැටුමක් නැති ලෝකයේ කිසිම ජාත්‍යන්තර සංවිධානයක් සමඟ ගැටුමක් නැති ඉතාම සාමකාමී කිසිදු ජාත්‍යන්තර ගැටුමකට මතභේදයකට සම්බන්ධ වෙලා නැති අපි වගේ අවිහිංසාවාදී රටකට ඇයි මේ ත‍්‍රස්තවාදින් පහර දුන්නේ කියලා මම ඇහුවා. එතුමා දුන්නු උත්තරය තමයි ජනාධිපතිතුමනි ඒ පහරදීම කරන්නේ රට කඩන්නයි කියලා. ඒ පහර දීමේ සාර්ථකත්වය ඔවුන්ට ඉෂ්ට වෙන්නේ රට කැඩුණොත්. අද වගේ දවසක විශේෂයෙන් සිංහල බෞද්ධයන් විදියට අපේ සාකච්ඡා තුළ මූලික වශයෙන් පදනම් වෙන්නට ඕනැ ඒ ත‍්‍රස්තවාදින්්ගේ අරමුණ රට කැඞීම නම් ඒ රට කැඞීම සිද්ධ වෙන්නේ අපි සිංහල, දමිළ, මුස්ලිම් කියලා බෙදුණොත්. මුස්ලිම් ජනතාවගේ ගෙවල්වලට ගල් ගහලා හිරිහැර කරලා ගෙවල් ගිනි තියලා කඩ ගිනි තියලා කටයුතු කළොත් ත‍්‍රස්තවාදින්ගේ අරමුණ සාර්ථක වෙනවා. එවිට මුස්ලිම් ජනතාවට හිතෙනවා අපිට වෙනම රටක් තිබෙනවා නම් කොච්චර හොඳ ද කියලා. මේ පුංචි රට එහෙම කාටවත් බෙදන්න දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ත‍්‍රස්තවාදය කියන්නේ කුමක්ද කියන එක අපි තේරුම් අරගන්න ඕනෑ. ලංකාවට පැමිණි ඇමරිකාවේ ආරක්ෂක ඇමතිවරයා පසුගිය මාසේ මා සමඟ කිව්වේ ඔබ පැහැදිලිව ලංකාවේ ජනතාවට කියන්න මේ සිද්ධිය ලංකාවේ ප‍්‍රශ්නයක් නෙවෙයි. මේක ලෝකයේ ප‍්‍රශ්නයක් කියලා. ලංකාවේ ප‍්‍රශ්නයක් කියලා හිතාගෙන ලංකාවේ මිනිස්සු වැඩ කරන්න පටන් ගත්තොත් ලංකාවේ මිනිස්සු විශාල අමාරුවකට වැටෙයි. මේක ලෝකයේ ප‍්‍රශ්නයක් කියන එක පැහැදිලිව තේරුම් ගන්න. මේ ජාත්‍යන්තර ප‍්‍රශ්නය විසඳන්න ලංකාවට ජාත්‍යන්තර සහයෝගය නොමැතිව බැහැයි කියන එකත් විශේෂයෙන්ම අවධාරණය කර ගන්න කියන එක එංගලන්තයේ ආරක්ෂක ඇමතිවරයා මා සම`ග ප‍්‍රකාශ කළා. මේ සියලූ දේවල් අපි සිහියට ගන්නට ඕනෑ.
ඒ නිසා මෙවැනි උතුම් පූජනීය ස්ථානයක ඓතිහාසික මහා පුදබිමක සිට අපි රාජ්‍ය වෙසක් උත්සවය සැමරීමේදී බෞද්ධ දර්ශනය පදනම් කර ගත් සාමකාමී රටක් ලෝකයට ආදර්ශවත් රටක් ගොඩනැඟීම අප සියලුදෙනා තුළ සංහිඳියාව ගොඩනඟා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා.
අද වගේ දවසක මේ උතුම් පුණ්‍ය භූමියට පැමිණ වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අනුශාසනා මගපෙන්වීම අවවාද අනුව සංවිධාන කරන ලද මෙම මේ උතුම් පුණ්‍යෝත්සවයට විශේෂයෙන්ම විශාල සහයෝගයක් දී කටයුතු කළේ නායකත්වය ගත්තේ බුද්ධශාසන අමාත්‍ය ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යතුමා. වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරු මෙන්ම ආණ්ඩුකාරතුමාලා මැති ඇමැතිවරු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් ඒ සියලු දෙනාම මේ කර්තව්‍ය සඳහා විශාල සහයෝගයක් දැක්වූවා. ඒ නිසා පොලිසිය, ත‍්‍රිවිධ හමුදාව ඒ සියලූ අංශවලටත් දිසාපතිතුමා පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්තුමා කාර්යමණ්ඩල ඒ සෑම කෙනෙක්ම ප‍්‍රාදේශීය ලේකම්තුමාලා ක්ෂේත‍්‍රයේ නිලධාරින් මේ සෑම කෙනෙක්ම මේ උතුම් රාජ්‍ය වෙසක් උලෙළ මේ ඓතිහාසික මහා පුද බිමේදි සාර්ථක කර ගන්න ඔබ සෑම කෙනෙක්ම දුන් සහයෝගය සහ අනුග‍්‍රහය ඉතාමත් අගය කොට සලකමින් බුදුන් වහන්සේගේ ධර්මය අනුව උන්වහන්සේගේ දේශනාව අනුව යහපත් සමාජයක් මෙන්ම යහපත් රටක් හදන්න අප සියලු දෙනාම එක්ව කටයුතු කරමුයි කියන ඒ ගෞරවනීය ආයාචනය කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් ඔබෙන් සමුගන්නවා.
ස්තුතියි.
තෙරුවන් සරණයි. !
2019.05.19
ජනාධිපති මාධ්‍ය අංශය

Share This Post

NEW