තමා රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වය ද තහවුරු කළ බව ජනපති පවසයි.

තමා රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන් ම අධිකරණයේ ස්වාධීනත්වය ද තහවුරු කළ බව ජනපති පවසයි.

අධිකරණ ක්ෂේත්‍රයට දේශපාලන බලපෑම් සහ ඇඟිලි ගැසීම්වලින් තොරව ස්වාධිනව හා අපක්ෂපාතීව තීන්දු තීරණ ගත හැකි නිදහස් පරිසරයක් ගෙවී ගිය වසර පහේ දී තමා රට තුළ ගොඩනඟා දුන් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (05) පෙරවරුවේ එක් වෙමිනි.

නව අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විත අතර ඒ සඳහා රුපියල් මිලියන 327ක් වැය කර තිබේ. මහාධිකරණයක්, දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, අනෙකුත් කාර්යාල පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත ව මෙම අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙන අතර එහි ඉදිකිරීම් සඳහා 2017 පෙබරවාරි 25 වන දින ජනාධිපතිතුමා අතින් මුල් ගල් තැබිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරු ව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විවේචන සහ අපවාද කොතෙක් එල්ල වුව ද තමා අද රට තුළ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කර තිබෙන බවයි.

විධායක ජනාධිපති ධූරය ආරම්භ වූ දා සිටම මේ රටේ සිටි සෑම ජනාධිපතිවරයෙකුට ම අධිකරණයට බලපෑම් කිරීම සහ ඇඟිලි ගැසීම පිළිබඳ චෝදනා එල්ලවී ඇති අතර තම පාලන කාලය තුළ එවන් කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති බව පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ තමා නිහතමානීව සතුටු වන අතර එය මෙරට අධිකරණ ක්ෂේත්‍රය මෙන්ම රටේ ජනතාව ද ලැබූ විශිෂ්ට වරප්‍රසාදයක් ලෙස සලකන බවයි.

ඇමතිනි තලතා අතුකෝරල, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කරමින් ජනාධිපතිතුමා කළ කතාව 2019-09-05

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන අයටත්, සාමාන්‍ය ජනතාවටත් නඩු කටයුතු සම්බන්ධයෙන් තිබුණු අපහසුතාවයන් මඟහැරීමට නව ගොඩනැගිල්ලක් ඉදිකරලා එය ඔබ සියලු දෙනාට භාරදීමේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. විජයදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරනා කාලය තුළ තමයි 2017 පෙබරවාරි මාසේ මේ ගොඩනැගිල්ලට මුල් ගල තියලා වැඩ ආරම්භ කළේ. අවුරුදු දෙකයි මාස කිහිපයක් තුළ මේ වගේ විශාල ගොඩනැගිල්ලක වැඩ අවසන් වෙලා තියෙනවා. ඒ ගැන මා ඉතාමත් සතුටුවෙනවා. මේ ඉදිකිරීම් කටයුතු කළ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට මගේ විශේෂ ස්තූතියක් පිරිනමනවා. ගොඩනැගිල්ලේ තිබෙන ප්‍රමිතිය ගුණාත්මකභාවය සමග නිසි කලට එහි වැඩ අවසන් කර දීම පිළිබඳව. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ ඇමතිතුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටත් මා ස්තූතිවන්ත වෙනවා මුදල් සහ අවශ්‍ය පහසුකම් දීලා මේ ගොඩනැගිල්ල නිමකරන තෙක් අමාත්‍යාංශය මේ සඳහා දැක්වූ සහයෝගය පිළිබඳව.

අපි පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය සේවයේත් පොදු මහජනතාවගෙත් කටයුතුවලට අවශ්‍ය සියලු පහසුකම් දුන්නා. ගැටලු නිරාකරණය කළා. නව නගරයට පැමිණි ඕනෑම කෙනෙකුට තවමත් අලුතින් වේගයෙන් ඉදිවන විශාල ගොඩනැගිලි දකින්නට පුළුවන්. මම හිතන්නේ පොලිස් අධිකාරි කාර්යාලයේ වැඩ කටයුතුතව මාසෙකින් දෙකකින් ඉවර වෙයි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය දෙපාර්මේන්තු එක වහළක් යටතට ගැනෙන නව පරිපාලන සංකීර්ණයක වැඩ කටයුතුත් මේ වනවිට අවසන් කරමින් සිටිනවා. දිසා ලේකම් කාර්යාලයේ සහ නව පරිපාලන සංකීර්ණයේ වැඩ තව මාස දෙකකින් විතර අවසන් වෙනවා.

කොළඹින් බැහැරව රාජ්‍ය සේවකයින් සඳහා තට්ටු නිවාස ඉදිකළ එකම දිස්ත්‍රික්කය වන්නේ පොළොන්නරුවයි. විවිධ දෙපාර්තමේන්තුවල සේවය කරන කාර්ය මණ්ඩල සඳහා නිල නිවාසවල විශාල හිඟයක් තිබුණා. ඊට විසඳුමක් ලෙස ලංකාවේ පළමු වතාවට කොළඹින් පිට රජයේ සේවකයින්ට දෙන තට්ටු නිවාස වල වැඩ කටයුතු දැන් අවසන් කර තිබෙනවා. ලබන මාසේ විතර අපි එය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.

1950 දශකයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා අනුරාධපුර නව නගරය බිහිකිරීමත් සමග අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලය තමයි එදා අනුරාධපුර නව නගරය ඉදිකරන්න පටන් ගත්තේ. ඒ යුගයේම තමයි එතුමා පොළොන්නරුව නව නගරය බිහි කළේ. පනහේ හැටේ දශකවල තමයි තිබුණු පරණ අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල දැනට තිබෙන කච්චේරිය, දිසා ලේකම් කාර්යාලය රජයේ අනෙක් කාර්යාල ඉදිකර තිබෙන්නේ. සාමාන්‍යයෙන් රජයේ සේවකයින්ගේ නිල නිවාසවලට අයත් භූමි ප්‍රමාණය ඉතාමත් සීමිතයි. නමුත් 50 දශකයේ හැදූ නව නගර සැලැස්ම තුළ එක නිල නිවාසයක් සඳහා අක්කර භාගයක ඉඩක් වෙන් කර තිබුණා. මම ඒ සැලැස්මත් වෙනස් කරා. ඒ ඉඩම් රජයේ වෙනත් කටයුතුවලට ගන්න පුළුවන්. වැඩිවන ජනගහනයත් සංවර්ධන කටයුතුත් හේතුවෙන් තිබෙන සීමිත භූමි ප්‍රමාණයෙන් ප්‍රයෝජන ගත යුතුයි.

මම සතුටු වෙනවා වේගයෙන් සංවර්ධනය වන පොළොන්නරු දිස්ත්‍රික්කයේ නව නගර සැලැස්ම තුළ රාජ්‍ය ආයතන, කාර්යාල විධිමත්ව ක්‍රමවත්ව සැලසුම් සහගතව තව ඉදිරියට වසර 50කට සෑහෙන ආකාරයට නිමා කරන්න පුළුවන්කම ලැබීම පිළිබඳව. ඒ තුළ විනිශ්චයකාරතුමාලා, නීතිඥවරු සහ මහජනතාවට තිබුණු අපහසුතාවයන් මඟ හැරලා ඉඩකඩ ඇතුව තෘප්තිමත් භාවයකින් කටයුතු කරන්න මේ නව ගොඩනැගිලි සංකීර්ණය උපයෝගී වෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.

ගෙවී ගිය වසර 5කට ආසන්න කාලයේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පටන් සියලු අධිකරණවලට දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට හැකි පරිසරය අපි නිර්මාණය කළා. දේශපාලන බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට සවන් නොදී ස්වාධීනව, අපක්ෂපාතීව තීන්දු තීරණ ගැනීමේ නිදහස් පරිසරයක් මම ගොඩනගලා තිබෙනවා. සමාජය වශයෙන් විවේචන දෝෂාරෝපණ කොතෙක් තිබුණත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කර තිබෙනවා. එය තමයි ජනතාවට අවශ්‍ය වුණේ. විධායක ජනාධිපති ධුරය ආරම්භ වෙච්ච දවසේ ඉඳලාම 1978 සිටම අධිකරණයට බලපෑම් කිරීම පිළිබඳව ජනාධිපතිවරුන්ට චෝදනා එල්ල වුණා. අධිකරණයට අනවශ්‍ය ඇඟිලි ගැසීම් සහ අධිකරණය සම්බන්ධයෙන් වැරදි තීන්දු තීරණ ගැනීම ආදී චෝදනාවන් මට පෙර සිටි සියලුම ජනාධිපතිවරුන්ට එල්ල වී තිබෙනවා. නමුත් මගේ ජනාධිපති ධුර කාලය තුළ එවැන්නක් සිදුවී නැහැ. ඒ ගැන මා ඉතාමත් සතුටු වෙනවා. එය විනිශ්චයකාරතුමාලාට ලැබුණු විශිෂ්ට වරප්‍රසාදයක් සේම රටේ ජනතාවට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් සහ අයිතියක් බවයි මගේ විශ්වාසයයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධිකරණයට, පොලීසියට එන පැමිණිලිවල දී ළමා අපචාර සිදුවීම් පිළිබඳ අයහපත් තත්ත්වයක් තිබෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7න් දෙකක් දිගු කලක සිට ළමා අපචාර වැඩිපුර සිදුවන ප්‍රදේශ විදියට ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. ඒක පොළොන්නරු දිස්ත්‍රික්කයට පමණක් නෙවෙයි රටටම කැළලක්. අනෙක් පැත්තෙන් ගත්විට නගරය විනාශ කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය අද පිටිසර ගම්බද සිසාරා ගොස් ගම්බද දරුවන් පවා අශිෂ්ට වූ දේවල්වලට යොමු වී තිබෙනවා. මෑතක දී රටම දැක්කා මින්නේර්ය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්ත වයස 20ක තරුණ මවක් පොලිස් ස්ථානාධිපතිරයා ඉදිරියේ හඬා වැටුණා මත්කුඩු ඉල්ලා. දරුවා අඬනවා කිරි ඉල්ලලා. මව කියනවා මට කිරි එරෙන්නේ නැහැ මත්කුඩු නැතුව දරුවාට කිරි දෙන්න මට කුඩු ටිකක් ඕනෑ කියලා. දරුවාට කිරිදෙන්න නම් මවට කිරි එරෙන්න නම් කුඩු අවශ්‍ය යුගයක් අපේ සමාජය තුළ නිර්මාණය වෙලා.

යහපත්, විනයගරුක, හික්මුණු සමාජයක් හදන්නට සියලු සත්ත්වයාට බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීම අපේ පුළුල් වගකීමක් වෙනවා. එය ඉටු කිරීමේ දී අධිකරණ ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ කැපවීම, මා ඉතාමත් අගය කරනවා. අද අධිකරණ ඇමතිතුමිය ආවේ එන්න පුළුවන්කමකට නෙවෙයි එතුමිය අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඉතින් මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබෙන් සමුගන්නවා.

 

 

Share This Post

NEW