තමා සැමදා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට පැමිණි අයෙකු නොවන බව ජනපති අවධාරණය කරයි.

තමා සැමදා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට පැමිණි අයෙකු නොවන බව ජනපති අවධාරණය කරයි.

තම නිල කාලය පිළිබඳ මත විමසුුමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවෙකු කලබල විය යුතු නැති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත් ජනාධිපති ධුරයෙන් නික්ම යාමට තමා සූදානම් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (12) පස්වරුවේ අකුරැස්ස ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

තමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් සිදු කළේ තමාට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට තිබෙන වසර ගණන පිළිබඳ නොව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳ සමාජය තුළ මත දෙකක් ඉදිරිපත්වී තිබීම නිසා බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

තමා ජනාධිපති ධුරයේ සැමදා රැඳී සිටීමට පැමිණි අයෙක් නොවන බව පැවසූ ජනාධිපතිතුමා එහෙත් තමන් රට වෙනුවෙන් දකින සිහිනයක් වන ජාතික සංහිඳියාව ශක්තිමත් වූ මෙන්ම සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ලොව පිළිගත් රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ඔසවා තැබීමේ සිහිනය වෙනුවෙන් තනතුරු තිබුණත් නැතත් සැමදා කැපවන බව ද අවධාරණය කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ මාතර දිස්ති‍්‍රක් පළමු ජන හමුව මෙලෙස අකුරැස්සේදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ පක්ෂයේ ප‍්‍රතිපත්තිය සහ දර්ශනය සමග ජනතාවාදී ගමනක් යාමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන බවයි.

එමෙන්ම හොඳ ප‍්‍රාදේශීය සභාවක් හා හොඳ පළාත් සභාවක් තුළින් අනාගතයේ හොඳ ආණ්ඩුවක් සැදීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙහෙයවන බව ද පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස එහි සදාකාලිකව රැදී සිටීමටවත්, තමන්ගෙන් පසු තම දරුවෙකුට එම පුටුව සූදානම් කිරීමටවත් කටයුතු නොකරන අතර එහි නායකත්වය දරනු ඇත්තේ ඉදිරියේදී මෙම තේරි පත්වන තරුණ නියෝජිතයින්ට බව ද සඳහන් කළේය.

එමෙන්ම තමන්ට කිසිදු අවස්ථාවක පෞද්ගලික න්‍යාය පත‍්‍රයක් නොමැති අතර ඇත්තේ රට සහ රටේ අනාගතය වෙනුවෙන් න්‍යාය පත‍්‍රයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ තුළ වඩාත් ජනතාවාදී සහ මානවවාදී දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවන බව ද අවධාරණය කළේය.

උතුරේ හමුදා කඳවුරු ඉවත්කරන බවට රජයට නැගෙන චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ යුද්ධය කළ සහ යුද්ධය දිනූ රටක අද යුද හමුදා මූලස්ථානයක් නොමැති අතර යුද හමුදා මූලස්ථානය තිබූ අක්කර 06 ක භූමිය ෂැංගි‍්‍රල්ලා සමාගමට ඔප්පුවකින් පවරා දුන්නේ තම රජය නොව පසුගිය රජයම බවයි.

එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල ප‍්‍රබල කි‍්‍රයාකාරින් රැසක් මෙහිදී ජනාධිපතිතුමාට සහය පළ කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්වීම ද විශේෂත්වයක් විය.

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, චන්දිම වීරක්කොඩි, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, හිටපු ප‍්‍රධාන අමාත්‍ය එච්.ජී. සිරිසේන, පළාත් අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර, හේමාල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජන හමුවට එක්ව සිටියහ.

අකුරැස්ස ප‍්‍රදේශයේ පැවති ජන හමුව අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2018-01-12)

අකුරැස්ස ප‍්‍රදේශයේ ආදරණීය ජනතාව හමුවන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.

මීට වසර තුනකට පෙර මේ ස්ථානයේම පසුගිය ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණින් තරග කරමින් අකුරැස්ස ජනතාව අමතන්නට දෙසැම්බර් මාසයේ සන්ධ්‍යාවක මම පැමිණියා. අද අවුරුදු තුනකට පස්සේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට, ජනාධිපතිවරයා විදියට, බුලත් කොළයට ඡන්දය පාවිචිචි කරලා හොඳට හුරු පුරුදු ජනතාවක් නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් සමග මම ඔබ හමු වන්නේ ඉතාමත් සතුටින්.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ අපේකම්, දේශීයත්වය, අපේ සංස්කෘතිය, අපිට උරුම දේ, අපේ භාෂාව, අපේ ආගම අපේ කියන ශී‍්‍ර ලාංකිකයින්ට අනන්‍ය වූ සියල්ල පෝෂණය කිරීමේ, සුරක්ෂිත කිරීමේ, පවත්වාගෙන යෑමේ ඒවා පිබිදීමේ ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. බණ්ඩාරනායක මැතිතුමා 56 ආණ්ඩුව හදලා, මේ රටේ නව පොදු ජන යුගයක් උදා කළා. බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුව, මෙතන ඉන්න වැඩිහිටියෝ දන්නවා, කියවන දැනුම සොයා යන තරුණ දරුවෝ දන්නවා එදා දේශපාලන පක්ෂයකට වඩා දේශීයත්වය මුල් කර ගත් පුළුල් සංස්කෘතික සමාජ බල වේගයක් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය. බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ අපි, අපිට ගැළපෙන අපිට උරුම වූ අප වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් නොතිබූ නිසා බණ්ඩාරනායක මැතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැදුවා.
බණ්ඩාරනායක මැතිතුමාගේ අවුරුදු තුනක කාලය ලබා ගත්ත අයිතීන් පොදු ජනතාව අදත් අමතක නොකරන ජනතාව ස්පන්දනය, හෘද සාක්ෂියේ කැඩපතක් බවට පත් වී තිබෙනවා. අපි අද ජීවත්වන සමාජය 56 යුගය නොවෙයි. අපි ජීවත් වන සමාජය 70 ආණ්ඩු හදපු යුගය නොවෙයි. අද ජීවත්වන ලෝකය 94 ආණ්ඩු හදපු ලෝකය නොවෙයි. අපි අද ජීවත් වන සමාජය 2005 ආණ්ඩු හදපු ලෝකය නොවෙයි.

නව තාක්ෂණය, මානව සම්පත් සංවර්ධනය, දැනුම ඒ සියල්ල සමග වේගයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වන ලෝකය උචිත ආකාරයට, ගැළපෙන ආකාරයට රාජ්‍ය පාලනය සකස් කළ යුතු වෙනවා. ඒ රාජ්‍ය පාලනයට නව ලෝකය හඳුනන නව පරපුරේ සිතුම් පැතුම් හඳුනන දේශපාලනඥයින් අවශ්‍ය වෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඒ ඓතිහාසික කාර්යභාරය ඉටු කරන්නට ඔබේත් මගෙත් මාතෘභූමියේ හෙට දවස වෙනුවෙන් පෙනී සිටින ඔබේ පක්ෂය, ජනතාවගේ පක්ෂය, මාතෘ භූමියේ පක්ෂය ජාතියේ අනාගතය තීන්දු කරන තීරණාත්මක දේශපාලන පක්ෂය කියන එක අමතක කරන්න එපා.
සමහර අය අහනවා මම දැන් අවුරුදු තුනක් මෙනවාද කළේ කියලා. සමහර අය කියනවා රට පාවා දුන්නා කියලා. සමහර අය කියනවා රණවිරුවෝ දඩයම් කරනවා කියලා. සමහර අය කියනවා අපි රට විකුණනවා කියලා. සමහර අය කියනවා අපි රට බෙදනවා කියලා. ඒ එකක් වත් අපි කරලා නැහැ.
මේ අවුරුදු තුනේ මේ රට රැකුණේ 2015 ජනාධිපති ධුරයට පත් වෙලා, මේ රට වෙනුවෙන්, ඔබ වෙනුවෙන් ඔබෙත් මගේත් මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් මේ රට ජාත්‍යන්තරයෙන් බේරා ගත් නිසයි.

මම ජනාධිපති ධුරයට පත් වෙන විට අපේ අතේ තිබෙන ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන් අපේ රටට මිත‍්‍ර රටවල් හිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193 ක් තිබෙනවා. එයින් අපිට රටවල් පහකට වැඩිය හිටියේ නැහැ. ජාත්‍යන්තර බලවේග, ජාත්‍යන්තර තර්ජන අපිට අවි අමෝරාගෙන අපිව ප‍්‍රතික්ෂේප කරමින් හිටියේ. ලෝකයේ අපි තනි වෙලා හිටියේ ලෝකයේ.

අපේ රට ඇතුළේ ප‍්‍රශ්න විසඳාගන්න රට දියුණු කරන්න රටේ අනාගතය ගොඩනගන්න අපි ලෝකය දිනා ගත යුතුයි. ලෝකය දිනා නොගෙන තනිව හැදුනු රටවල් දැන් වසර ගණනකට පෙර අපෙත් ශිෂ්ටාචාරය සභ්‍යත්වය අපේකම් සමග අපි ඉතිහාසය පිළිබඳව කතා කරන්නේ රජවරුන්ගේ රාජ්‍ය පාලනයන් පිළිබඳවයි. ස්වයංපෝෂිත භාවය, ශාස්ත‍්‍රීය දියුණුව, කලා ශිල්ප, වාරි තාක්ෂණය , ප‍්‍රතිමා ශිල්පය, සාහිත්‍ය ආර්ථික සමෘද්ධිය ආදී සියල්ල රජුන් විසින් රට පාලනය කළ යුගයක්. අද රජවරු නොවෙයි රට පාලනය කරන්නේ මිනිසුන්. රටේ මිනිසුන්ට රට පාලනය කරන්න දෙන්නේ නැති මිනිසුන්ට පැවැත්මක් නැහැ. රටේ මිනිසුන්ට අවශ්‍ය විදියට රට පාලනය ගෙනියන්නේ නැත්නම් ජනතාව පාලකයාව එළවනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය නිදහස අද ලෝකයේ සමස්ත ප‍්‍රජාව භුක්ති විඳින්නා වූ මානව ඉතිහාසයේ අරුමකම් කියන විෂයන් හා ක්ෂේත‍්‍රයන් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි අපේ රට ලෝකය හමුවේ තිබුණු වැරදි චිත‍්‍රය මම වෙනස් කළා. මම ලෝකයේ සියලු රාජ්‍ය නායකයින් හමුවුණා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සිට ජාත්‍යන්තර සංවිධානවල නායකයින් මම හමුවුණා. මම ලෝක නායකයින් ඉදිරියට ගියේ අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර, මානව අයිතිවාසිකම් තහවුරු කරන ආණ්ඩුවක් විදියට මේ රට වසර 70 කට ආසන්න කාලයක් කරවපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ බලය මගේ දෑතට අරගෙන. මම ඒ නායකයින්ට කිව්වා මගේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මම තහවුරු කර තිබෙනවා. නිදහස තහවුරු කර තිබෙනවා. මාධ්‍ය අයිතිය පරිපූර්ණ කර තිබෙනවා. රට කරවන ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ දෙක එකතුකර ගෙන මිනිස්සුන්ට අවශ්‍ය විදියට රටේ ජනතාවගේ කැමැත්ත පරිදි මම ආණ්ඩුවක් කරනවා. ඒකට මට සහයෝගය දෙන්න කියලා. ඒ කාලේ වේදිකා පුපුරවපු, 2015 ජනාධිපතිවරණයේදීත් හැම ගමකම, නගරයකම වේදිකාවල හඬ දුන්න ජාත්‍යන්තර යුද අධිකරණය, විදේශීය විනිශ්චයකාරවරු, විදුලි පුටුව ඒ සියල්ල මම අයින් කරලා අද නිදහස් සමාජයක් විදයට ඉදිරියට යන්නට අපේ මාතෘ භූමිය නිදහස් රටක් ලෙස මම හදලා තියෙනවා. ලෝකයේ රාජ්‍ය නායකයින් මම ගැන විශ්වාසය තිබ්බා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මම ගැන විශ්වාසය තිබ්බා. පොදු රාජ්‍ය මණ්ඩලය මම ගැන විශ්වාසය තිබ්බා. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන මම ගැන විශ්වාසය තිබ්බා.

ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනියන්න චෝදනාවලට ලක්වෙලා සිටි, විදේශීය විනිශ්චයකරුවන්ගෙන් නඩු අහන්න වග උත්තරකරුවන් වෙලා සිටි දඬුවම් නියමකරපුවහම විදුලි පුටුවේ තබන්න සූදානම්කර සිටි මේ රටේ රණවිරුවෝ බේරාගත්තේ මමයි. එය මම මුළු රටටම ඇහෙන්න කිව යුතුයි. රණවිරු දඩයම මම දැක්කා එක්තරා කාලයක දී යුද්ධය ජයග‍්‍රහණය කරවපු යුද නායකයා හමුදාපතිවරයා ජම්පරය අන්දවලා හිරේට යවලා හිරබත් කන්න දීලා කරපු රණවිරු දඩයම ඔබ එදා දැක්කා. අද අපිට තමුන්නාන්සේලාත් සමග දිනා ගත් රට නිදහසේ ඉදිරියට ගෙනියන්න පුළුවන්. දැන් අපට අපේ ප‍්‍රශ්න විසඳාගන්න පුළුවන්. දැන් අපට ලෝකයා හමුවේ අපට අවශ්‍ය දේවල් කතාකරන්න පුළුවන්.

මේ මාතර ප‍්‍රදේශය කෘෂි ආර්ථිකයක් තිබෙනවා. තේ, රබර්, පොල්, වී, අනෙකුත් අපනයන බෝග තිබෙනවා. අපේ තේවල කෘමියෙක් සිටියා කියලා අපේ තේ වැඩිපුරම ගන්න රට රුසියාව පසුගිය 30 වෙනිදා සිට තේ මිලදී ගැනීම වහාම නවත්වනවා කියලා නිවේදනයක් නිකුත් කරා. මම රුසියානු ජනාධිපති වැලැඩ්මිර් පුටින් මහතාට ලිපියක් ලිව්වා අපේ හිතවත්කම, මිත‍්‍රතාවය තුළ අපේ ආර්ථික ප‍්‍රශ්න තිබෙනවා. ගැටලුවක් තිබෙනවා නම් විසඳාගමු මේ තේ තහනම් ඉවත් කරන්න කියලා. මම නියෝජිත පිරිසකුත් ඇරියා මම වෙනුවෙන් ඇමතිවරු. ලියුම යවලා පැය 24 ක් යන්න කලින් තේ තහනම ඉවත්කරගත්තා. මම එහෙමයි ලෝකය දිනාගෙන තිබෙන්නේ.

පසුගිය දවස්වල ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නයක් ආවා. ජාත්‍යන්තර වශයෙන් මිල වැඩිවීම තුළ පුද්ගලික අංශය ප‍්‍රමාද කළා. අපි අමාරුවේ වැටුණා. ගොවීන් අමාරුවේ වැටුණා. පකිස්ථානු අගමැතිතුමාට මම දුරකතනයෙන් කතාකරලා කිව්වා අපට මෙහෙම ප‍්‍රශ්නයක් තිබෙනවා අපට අවශ්‍ය පොහොර ටික එවන්න කියලා. එතුමා කිව්වා අපේ ස්ටොක් බලලා මම පණිවිඩයක් දෙන්නම් කියලා. පැය 24 ක් යන කලින් මට පණිවිඬේ ලැබුණා. මම ඉල්ලුවේ මෙටි‍්‍රක් ටොන් 40000 යි. නමුත් මෙටි‍්‍රක් ටොන් 75000 ක් දෙනවා කියලා මට පණිවිඩේ ආවා.
අද බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ තිබුණා පකිස්ථානු ප‍්‍රදර්ශනයක් විවෘත කරන්න මම ගියා. පකිස්තානු අගමැතිතුමා එහි පැමිණි සිටි පකිස්ථානු ඇමතිවරයෙක් අතේ මට ආරාධනයක් එවලා තිබුණා. මාර්තු 23 පකිස්ථානු ජාතික නිදහස් දිනය. එදින ප‍්‍රධාන ආරාධිතයා ලෙස පකිස්තානයට එන්න කියලා. ඉන්දියාව ද චීනය ද ඇමරිකාව ද යුරෝපය ද මැද පෙරදිග ද අරාබිය ද ඒ සියල්ල මම ඔබ වෙනුවෙන් දිනා ගෙන තිබෙනවා. එසේ යන ගමනේ දී මේ රට අලුත් රටක් කරන්න ඔය කරන විවේචන චෝදනා, නින්දා, අපහාස, උපහාස, මගේ වසර 50 ක දේශපාලන ජීවිතයේ විඳ දරා ගන්න පුළුවන් ආත්ම ශක්තියක් සහ ආත්ම ධෛර්යයක් මට තිබෙනවා.

අද මම අහගෙන හිටියා මේ වේදිකාවෙත් මහබැංකුව වෙනුවෙන් පත්කරපු ජනාධිපති කොමිසම ගැන. නමුත් මේ වේදිකාවෙන් මට ඇහුනේ නැහැ ඊට පෙර පත්කරපු බරපතළ වංචා, දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම් ගැන. මම දැන් සතියකට පෙර එළිදැක්වුවේ කොමිෂන් සභා දෙකක් පිළිබඳ වාර්තායි. එකක් බරපතළ දූෂණ, වංචා ජනාධිපති කොමිෂන් සභාව. අනෙක මහබැංකු බැඳුම්කර කොමිසම. මේ දෙකේම වගඋත්තරකාරයෝ තමුන්නාන්සේලා මේ වනවිටත් දන්නවා. පාර්ලිමේන්තුවේ කවුරු ගහගත්තත් එකිනෙකාට හොරා කියා ගත්තත් කොමිෂන් සභාවේ වාර්තාවලින් පේනවා කවුද හරි කවුද වැරදි කියලා. ඉදිරි දිනවලදී ඒ වාර්තා අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට මගේ කිසිඳු පසුබටවීමක් නැහැයි කියලා මම ඉතා පැහැදිලිව කියනවා. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන පක්ෂයක වුවත් අපි හොඳ රටක් හදන්න ඕනෑ. අද තමුන්නාන්සේලා රූපවාහිනිය දිහා බලලා අතේ තිබෙන ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය බලලා, එහෙම නැත්නම් ලෝකයේ රටවල්වල ගිහිල්ලා කියනවා අනේ මේ වගේ අපේ රට හදන්න බැහැ නේද කියලා සුසුම් හෙළනවා. අපි එක්කත් කියනවා ඇයි අර රට වගේ අපේ රට හදන්න බැරි කියලා. අපේ රට මහා දැනුමක් තිබෙන ජනතාවක් ඉන්න රටක්, උගතුන්, බුද්ධිමතුන්, විශේෂඥයින්, විද්‍යාඥයින්, පඬිවරුන්, අපේ රටේ ඈත අතීතයේ සිටියා වගේම අදත් අඩුවක් නැහැ. ජනතාව හැමවිටම සූදානම් රට ඉදිරියට ගෙනයාමට. පසුගිය වසර 60 ක මේ රටේ ඉතිහාසය තුළ ජනතාව බලය දීලා තිබෙනවා නායකයින්ට දේශපාලන පක්ෂවලට උඹලා රට හදපල්ලා කියලා. යම් යම් ප‍්‍රමාණවලට රට හැදුණා. හැදුවා. යුද්ධය නිසා අපි හුඟක් පසුබෑවා. ආර්ථිකය කඩා වැටුණා. නමුත් අපට වඩා අඩු දියුණුවක් තිබුණු ලෝකයේ රටවල් හොඳ තැනක ඉන්නකොට අපිට තවම ඒ තැනට යන්න බැරිවුණා.

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හැටේ දශකයේ බලය අල්ලලා එදා මැතිවරණයට ගිය අවස්ථාවේ ඔහු සිංගප්පූරු ජනතාවට කිව්වේ ලංකාව වගේ රටක් හදන්න මට ඡන්දය දෙන්න කියලා. ඊට වසර 25 කට පසුව ඡන්දෙකට ගිය ලී ක්වාන් යූ කිව්වා උඹලා විරුද්ධ පක්ෂයට ඡන්දෙ දුන්නොත් මම ගොඩනගපු සිංගප්පූරුව ලංකාව වගේ වෙයි. ඒ නිසා සිංගප්පූරුව බේරාගන්න නම් මට ඡන්දෙ දෙන්න කියලා. අපේ රට විනාශ කෙරුවේ දූෂිත දේශපාලනඥයින් විසින්. අපේ රට විනාශ කෙරුවේ රටට ආදරයක් නැතිව පුද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර හදාගන්න දේශපාලනඥයින්. අපේ රට ඉදිරියට යන්න බාධාව දේශපාලනඥයින් කරන වංචා, දූෂණ, පොදු මහජන දේපළ අවභාවිතය සහ විනාශ කිරීම, සාක්කු පුරවා ගැනීමයි. ප‍්‍රාදේශීය සභාවට ගිය තැන ඉඳලා ඒක තමයි හුඟක් අය කරන්න පටන් ගන්නේ. හැම කෙනෙක්ම නෙවෙයි.

මේ රටේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ජනාධිපති වුණේ ලංකා සමසමාජ පක්ෂයෙන් තරග කරලා නාගරික මන්ත‍්‍රීවරයෙක් විදියට මුලින්ම පත් වුණේ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා නාගරික මන්ත‍්‍රීවරයෙක් වී පසුව රාජ්‍ය නායකයා වුණා. අගමැති වුණා. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා නාගරික මන්ත‍්‍රීවරයෙක් වී ජනාධිපතිතුමා වුණා. ඒ විදියට පහළින් උඩට ආවා. මේ සිටින අපේක්ෂක මහත්ම මහත්මීන්ටත් තමන්ගේ හෘද සාක්ෂිය අවංකකම, ජනතාවාදී බව, කැපවීම ඒ තුළ ජනතාවට සේවය කළහොත් මේ සිටින අය අනාගතයේදී මේ රටේ ඇමතිවරු, අගමැතිවරු, ජනාධිපතිවරු සියලු දෙනා දැන ගතයුතුයි. නමුත් වැඩේ වරද්ද ගත්තොත් ප‍්‍රාදේශීය සභාවෙන්ම ඉවරයි. එතනින්ම ගෙදර. එයත් තේරුම්ගත යුතුයි.

අපි හොඳ රටක් හදන්න ඕන. හොඳ සමාජයක් හදන්න ඕන. පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගෙනයා යුතුයි. රටේ අනාගතය පිළිබඳව සිතිය යුතුයි. දරුවන්ට හෙට හොඳ දවසක් ඕනේ. විනයගරුක, ශීලාචාර සමාජයක් ගොඩනගන්නට ඕන. මම තමුන්නාන්සේලාට පැහැදිලිවම ප‍්‍රතිඥාවක් දෙනවා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදියට තමුන්නාන්සේලා බුලත් කොළයට ඡන්දේ දීලා එක්සත් ජනතා නිදහස් සන්ධානයට පත්වන මන්ත‍්‍රීවරු පත්වන සභාපතිවරු මම හොඳ විනයක් ඇති හික්මීමක් ඇති දේශපාලනයේ නව ප‍්‍රවේශයක් කරා ජාතික දේශපාලන ගමනක් යන ජනතාවාදී පිරිසක් බවට මම ඒ අයව පත්කරනවා. මම ඒ අයව පුහුණු කරනවා. මම ඒ අයට හොඳ විනය ක‍්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දෙනවා. ඒ අනුව ඔබට හොඳ පිරිසිදු පාලනයක් ඔබේ ගමට දෙන්න බලාපොරොත්තු වෙනවා. කවුරු කෙසේ කීවත් මේ ඡන්දය ආණ්ඩු පෙරළන ඡන්දයක් නොවේ. මේ ඡන්දය ගමට නියෝජිතයා පත්කර ගැනීමක්. ගම හදාගන්න මේ අපේක්ෂක මහත්ම මහත්මීන් සියලු දෙනාම ඔබේ ගමට පත්වන පැහැදිලිවම මම ඔබට කියනවා, ඔවුන් ඔබේ නියෝජිතයා පමණක් නොවේ. ඒ සියලු දෙනාම මගේ ද නියෝජතයින් ලෙස මම ඔවුන්ට පත්වීමක් දී තිබෙනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති විදියට. ප‍්‍රාදේශීය සභාවට නගර සභාවට මුදල් හිඟයක් මම තියන්නේ නැහැ. කිසිදු සම්පත්වල අඩුපාඩුවක් මම තියන්නේ නැහැ. ඒ වගකීම මම බාරගන්නවා. ඒ නිසා හොඳ රටක් හදන්න අපි තමුන්නාන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා පෙබරවාරි 10 වැනිදා බුලත් කොළයට ගෞරවනීය ඡන්දය භාවිතා කරන්න කියා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු ගමනක් යන්න තියෙනවා. මට නෙවෙයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන දර්ශනය සහ ප‍්‍රතිපත්තිවලින් සැදුම්ලත් පරිපූර්ණ වූ ජනතාවාදී ගමනක් යන්න මම මේ පක්ෂය ශක්තිමත් කරනවා. මම මේ පක්ෂයේ සදාකාලික රැඳීසිටින කෙනෙක් නෙවෙයි නායකයා විදියට. මම මේ පක්ෂය මගෙන් පසු පුටුව මගේ දරුවන්ට හදන කෙනෙක් නෙවෙයි. මගෙන් පසු මේ පක්ෂයේ සභාපතිවරු වෙන්නේ නායකයෝ වෙන්නේ මේ සිටින අයයි. මේ අපේක්ෂක මහත්වරුන් තමයි ඒ වගකීම භාරගන්නේ. මට පුද්ගලික න්‍යාය පත‍්‍ර නැහැ. මට තිබෙන්නේ රට වෙනුවෙන් න්‍යාය පත‍්‍රයක්. මට තිබෙන්නේ රටේ අනාගතය සඳහා න්‍යාය පත‍්‍රයක්. මට තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ න්‍යාය පත‍්‍රයක්. මට තිබෙන්නේ වාම ප‍්‍රගතිශීලි ජනතාවාදී මානවවාදී දේශපාලන ව්‍යාපාරයක න්‍යාය පත‍්‍රයක්. මම අකුරැස්ස ආසනයේ ගෙයක් ගානේ ගිහින් තිබෙනවා. ගමක් ගානේ ගිහින් තියෙනවා. 1993 පළාත් සභා මැතිවරණයේ එච්.ඊ. සිරිසේන මහතාගේ ගෙදර මම මාසයක් එකහාමාරක් නැවතිලා හිටියා. ඒ නිසා මට අකුරැස්ස හොඳට පුරුදුයි. අකුරැස්සේ ජනතාව හොඳට හුරුපුරුදුයි. මාතර උගත් බුද්ධිමත් ගෞරවනීය ගුණයහපත් ජනතාව මට හොඳට හුරුපුරුදුයි. මම අලුත් ලෝකයක් හදන්න නව තාක්ෂණයත් එක්ක නව දේශපාලන ගමනක් යන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා හොඳ ප්‍රාදේශීය සභාවකින් හොඳ පළාත් සභාවකින් අනාගතයේ හොඳ ආණ්ඩුවක් හදන්න ඔබට අවශ්‍ය මාර්ගය සකස් කරන්නයි මගේ කැපවීම තිබෙන්නේ. මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජන කොටස්වල සංහිඳියාව, සමගිය ඒ සියල්ල ගොඩනැගෙන සමාජයක් සෑදීමයි මගේ එකම අභිප‍්‍රාය සහ මගේ එකම අරමුණ.

යුද්ධයක් කරපු රටක අපි යුද්ධය ජයග‍්‍රහණය කරපු රටක අපි, අපේ යුද හමුදාවට අප කවුරුත් ගරු කරනවා. නමුත් අද අපේ යුද හමුදාවට හමුදා මූලස්ථානයක් නැහැ. සමහර අය මට නොයෙකුත් චෝදනා කරනවා උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කරනවා කියලා. කෝ රටේ යුද හමුදා මූලස්ථානය. ෂැන්ග‍්‍රිල්ලා සමාගමට අක්කර 6 ක යුද හමුදා මූලස්ථාන භූමිය ඔප්පුවකින් දුන්නේ මම නෙවෙයි. යුද හමුදා මූලස්ථානයේ කාර්ය මණ්ඩල හමුදාපතිතුමා ඇතුළු සියලු දෙනාම කොළඹ නගරයේ සහ නගරයෙන් පිට තැන් තැන්වල සී සීකඩ පුද්ගලික ගොඩනැගිලිවල කුලිය ගෙවනවා මාසයකට මිලියන 43 ක්. අවුරුද්දකට මිලියන 500 ක්. දැන් අවුරුදු හතරකට වැඩිය ගෙවනවා මිලියන 500 ක් ගානේ ගොඩනැගිලිවලට කුලිිය විතරක්, මේවා පිළිබඳ දිගට කතාකරන්න වේලාවක් නැහැ. නැත්නම් ඔබ සියලු දෙනා අහගෙන ඉන්නවා, මම හෙට උදේ වෙනකල් මට කතාකරන්න පුළුවන්. මම යන්න ඕන තිස්සමහාරාමයේ රැස්වීමට. මම අවසාන වශයෙන් තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මගේ නිල කාලය පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතළ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමක් කරන්න අවශ්‍ය ලිපි කඩදාසි නීතිපතිතුමා මගින් ඉදිරිපත් කළා. මම වසර ගණන් ඉල්ලුවේ නැහැ ඒකෙන්. මම දැක්කා මාධ්‍ය තුළ අපේ දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ පමණක් නොවේ ආණ්ඩුවේ පිරිසකගේත් ප‍්‍රකාශයන්. බොහොම කලබල වෙලා සමහර අය. කවුරුවත් කලබල වෙන්න වුවමනාවක් නැහැ. මට කලින් හිටපු ජනාධිපතිවරුත් ඔය මත විමසුම කළා තමාගේ නිල කාලය පිළිබඳ ගැනත්.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වුණා. නීතිවේදීන්ගෙන් ඉදිරිපත් වුණා. උගතුන්ගෙන් ඉදිරිපත් වුණා. ඒ අනුව මම කිව්වා එහෙනම් අපි මේක විසඳගමු කියලා. ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමක් කියලා. මේ රටේ සියලු මැතිවරණයන්වල ප‍්‍රතිඵල ජනතාව පිළිගන්නවා. මේ රටේ මෑත භාගයේ යම් ප‍්‍රමාණයකට පිරිසිදු වුණා. ඒ නිසා ජනතාව පිළිගන්නවා. මැතිවරණ ප‍්‍රතිඵලය දේශපාලන නායකයින් පිළිගන්නවා. ඒ වගේම තමයි මේ රටේ අධිකරණය. මේ රටේ අධිකරණය දෙන්නේ කුමන තීරණය ද, ඒ ඕනෑම තීරණයක් අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. නීතියේ ආධිපත්‍යය මම ශක්තිමත් කරලා තිබෙනවා. අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය, අධිකරණයේ තහවුරු කරලා තිබෙනවා. විනිසුරුවරුන්ට දුරකතනයෙන් කතාකරලා නඩු තීන්දු වෙනස් කරන, වගඋත්තරකරුවන් නිදහස් කරන ක‍්‍රමය මම වෙනස් කරලා තිබෙනවා. මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සිය අභිමතය පරිදි ඒ කටයුතු ඉටු කරන්න අපි පසුබිම හදලා තිබෙනවා.
ඒ නිසා මගේ නිල කාලය පිළිබඳව මත විමසුම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කිරීම ගැන කිසිකෙනෙක් කලබල වෙන්න වුවමනාවක් නැහැ. අධිකරණයෙන් දෙන තීන්දු මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. මම හෙට නොවේ අද වුණත් ගෙදර යන්න සූදානම් කියලා මම පැහැදිලිවම කියනවා. ඒකයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ. එහෙම නැතිව මම පුටුවේ පැළවෙන්න ආපු මිනිසෙක් නෙමේ. මට සිහිනයක් තිබෙනවා රට ගැන. මට බලාපොරොත්තුවක් තිබෙනවා රට ගැන. ජනතාව හා රට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය. මගේ දේශපාලන ජීවිතයේ වසර ගණනක් දැකපු සිහිනයක් මම පසුගිය සතියේ සැබෑ කරගත්තා. ඒ තමයි මොරගහකන්ද මහා ජලාශයේ ජලය නිකුත් කිරීම. විවිධ බාධා කම්කටොලු රාශියක් මධ්‍යයේ ඒ කැපවීම දුෂ්කර ක‍්‍රියාවක් කරලා ජනතාවට පූජා කළා.

රටේ ජාතික සංහිඳියාව ඇතිකිරීමේ ඒ ශක්තිමත් පදනම ගැන මට සිහිනයක් තිබෙනවා. මේ රටේ සියලු දෙනා සමගියෙන් ජීවත් කරවීම පිළිබඳ සිහිනයක් තිබෙනවා. සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව ජාතීන් අතර සමගිය ඇතිකරලා නැවත යුද්ධයක් ඇති නොවන්නට රට සහ සමාජය හැදීමේ සිහිනයක් තිබෙනවා. අදට වඩා හෙට දවසේ අපේ දරුවන් ලෝකය ජයගන්න හැකි ප‍්‍රබුද්ධ ජාතියක් බවට ඔබේත් මගේත් මාතෘභූමිය ගොඩනැගීම පිළිබඳ මට සිහිනයක් තිබෙනවා. ඒ සිහිනයට මට තනතුරු තිබුණත් නැතත් කැපවෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ මැතිවරණයට එක්ව සිටින සියලු දේශපාලන පක්ෂ අපි එකඟ කරගෙන තිබෙන සහෝදර මිත‍්‍රශීලිභාවය තුළ මේ අපේක්ෂක මහත්වරු ඔබේ වගේම අපි ඉදිරිපත් කරලා තිබෙනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර කිසිදු දිනයක ඉදිරිපත් නොකරපු පළාත් පාලන ආයතන 339 කට. කවදාවත් එපමණ ගණනකට ඉදිරිපත් කර නැහැ. උතුර නැගෙනහිර හැමතැනම ඉදිරිපත් කරලා තිබෙනවා.

ඒ නිසා මේ පෙබරවාරි 10 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා නායකත්වය අරගෙන සියලු මැති ඇමතිවරු සංවිධායකවරු සමග අත ලකුණට හා බුලත් කොළයට සුබ පතනවා, ආශිර්වාද කරනවා. ඔබට ජය ස්ථිරයි කියලා පැහැදිලිව කියනවා.

 

 

 

Share This Post

NEW