නව තාක්ෂණික දැනුමත් සමග ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැඟෙනු දැකීම තම අපේක්ෂාව බව ජනපති පවසයි.

නව තාක්ෂණික දැනුමත් සමග ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැඟෙනු දැකීම තම අපේක්ෂාව බව ජනපති පවසයි.

නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ අද නාගරික සහ ග්‍රාමීය බේදයකින් තොරව රටේ සියලු දරුවන්ට හිමිව තිබෙන අතර, ඔවුන් එම සියලු තාක්ෂණික මෙවලම් රටේ සහ තම අනාගතයේ යහපත උදෙසා භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි.

අද ග්‍රාමීය පාසල්වල දරුවන්ට ද නවීන තාක්ෂණික මෙවලම් පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා, තමා එම පාසල් වෙත ගිය විට එම දරුවන් ඉල්ලා සිටින්නේ ඩෙස් පුටු සේම පරිගණක බව ද කියා සිටියේ ය.

එම සියල්ල කිසිදු බේදයකින් තොරව දරුවන්ට ලබාදීමට තමන් කටයුතු කරන්නේ රටේ සියලු දරුවන්ට අධ්‍යාපනයේ සාධාරණයක් ඉටු කිරීමට බව පැවසූ ජනාධිපතිතුමා නවීන තාක්ෂණයත් සමග ගුණ යහපත් දරු පරපුරක් රට තුළ ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බව ද කියා සිටියේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.

විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඩී.වී ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ක්‍රීඩාගාරය ඉදිකර තිබේ.

අද පෙරවරුවේ තර්ස්ටන් විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

පළමුව විද්‍යාල භූමියේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා මල් කලඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ක්‍රිකට් ක්‍රීඩාංගණ සංකීර්ණය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

විදුහල්පති කේ.වී.ඒ.එල්.ඩයස් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

ආදි ශිෂ්‍ය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගෘහස්ථ කි‍්‍රකට් කී‍්‍රඩාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-01-11

මේ පාසලේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය විවෘත කරන මේ අවස්ථාවේ මේ පාසලේ 69 වන සංවත්සරයත් යෙදී තිබෙනවා. එවැනි අවස්ථාවක පාසලට පැමිණ ඔබ හමුවීමට ලැබීම ගැන මා සතුටට පත් වෙනවා. මම ජනාධිපති ධුරයට පත් වුණායින් පසුව තර්ස්ටන් විදුහලට පැමිණි තුන්වැනි අවස්ථාව මෙයයි. ඒ වගේම වාඩිවෙලා ඉන්න බොහෝ අය මා දන්න අඳුනන මේ පාසලෙන් බිහි වී තිබෙන ගෞරවනීය කීර්තිමත් පුද්ගලයන්. ඒ ගැනත් මගේ සතුට මා ප‍්‍රකාශ කරනවා.

මේ 2019 වසර අපි කටයුතු කරන්නේ ගෙවී ගිය වර්ෂයේ අත්දැකීම් සමගයි. මේ වර්ෂයේ උත්සවයක් විදියට මම ප‍්‍රථමයෙන් සහභාගී වුණේ පසුගිය 5 වැනිදා මාතලේ අලුවිහාරයේ පැවති උතුම් ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ ජාතික උත්සවයටයි. දෙවැනි ජාතික මට්ටමේ උලෙළ ජනවාරි 8 වැනිදා නව කළුගග ජලාශය මහජනතාවට උරුමකර දීම සහ ලංකාවේ පළමු හරිත නගරය වන ලග්ගල නගරය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයටයි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල නගර කියන්නේ තනිකරම කොන්ක‍්‍රීට්වලින් වැසුණු ප‍්‍රදේශයි. ගහකොළ ස්වාභාවික සම්පත් දක්නට නැති නව තාක්ෂණයක් සමග ගොඩනැගුණුු බොහෝ දේයි දකින්න තිබෙන්නේ.

නමුත් මම සතුටු වෙනවා අපිට පුළුවන් වුණා පළමු වතාවට ලංකාවේ හරිත නගරය විවෘත කරන්න. මොරගහකන්ද – කළුගඟ ජලාශ ප‍්‍රදේශයට ගියොත් ඔබට දකින්නට පුළුවන් මේ මෑත භාගයේ බිහිවූ ජලාශය හා හරිත නගරය සැලසුම් සහගතව ඉදිකර තිබෙනවා කියලා. නගරයක තිබිය යුතු අංග සම්පූර්ණ සේවාවන් වූ රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පාසල්, රෝහල්, ගොවිජන සේවා, සමූපකාර, ආයුර්වේද ආදී සියලුම දේ මෙහි තිබෙනවා. ඒ හරිත නගරයේ අලුත් ගොඩනැගිලි 112 ක් හදලා තියෙනවා. කළුගග ජලාශයේ වැඩ වසර දෙක හමාරකින් අවසන් කරන්න පුළුවන් වුණා.

මොරගහකන්ද ජලාශය ගැන ඔබ දන්නවා. 2016 ජූලි මාසේ 25 වැනිදා තමයි කළුගඟ ජලාශයේ නිධන් වස්තු තැන්පත් කළේ. වසර දෙක හමාරකින් පුළුවන් වුණා වේල්ල හදලා ජලය සමග ජනතා අයිතියට පත්කිරීමට.

මම මේ ටික කිව්වේ වෙනත් කතාවක් කියන්න මුල පුරන්නයි. එදා ලග්ගල හරිත නගරයේ ගොඩනැගිලි 112ක් අපේ මැති ඇමතිවරු විවෘත කළා. ගයන්ත කරුණාතිලක ඇමතිතුමාත්, තිලංග සුමතිපාල මන්ත‍්‍රීතුමත් එහි ගියා. මැති ඇමතිවරු ගිහින් විවෘත කළ ගොඩනැගිලි 112 ක් තුළ සේවා කරන ආයතන 57 ක් නියෝජනය වෙනවා. ලග්ගල නගරයේ නව පාසලක් විවෘත කළා. රුපියල් කෝටි 30 කට වැඩිය පාසලට වියදම් කරලා තිබෙනවා. ඒ පාසලේ තමයි හවස්වරුවේ උත්සවේ තිබුණේ. ඒ උත්සවේට මම පාසලට යන විට දෙපස සිටි පුංචි දරුවෝ හත් අට දෙනෙක් මා ළඟට දුවගෙන ආවා. මම ඒ දරුවොත් එක්ක කතා කර කර තමයි උත්සවේට ගියේ. මම ඇහුවා ඔයාලා කීයේ පංතියේද කියලා. දෙතුන් දෙනෙක් කිව්වා පහේ කියලා. තවත් අයෙක් කිව්වා හයේ කියලා. ඒ කියන්නේ වයස අවුරුදු දහයයි එකොළහයි. මම දරුවන්ගෙන් ඇහුවා අද පාසල් විවෘත කළානේ වෙන අඩුපාඩු තියෙනවාද කියලා. එක් දරුවෙක් කිව්වා ඔව් ජනාධිපතිතුමා අපිට පාසල හදලා දුන්නට ඩෙස් පුටු නෑ කියලා. වෙන මොනවද නැත්තේ කියලා මම ඇහුවා. අපිට පරිගණක නෑ කිව්වා.

මම ඇහුවා වෙන මොනවාද නැත්තේ කියලා. අපිට මේකප් සෙට් නැහැ කියලා උත්තර දුන්නා. මගෙන් පරිගණක ඉල්ලූවෙත්, මගෙන් මේකප් සෙට් කියලා ඒ වචන පාවිචිචි කරලා ඉල්ලූවේත් වයස අවුරුදු 10 යේ 11 දරුවෝ. ඒ ලග්ගල නගරය වගේම මම ඉගෙන ගත්තේ පහේ පන්තියට යනකම් පොළොන්නරුව ඉතාම දුෂ්කර ගම්මානයක තමයි. මම එදා උත්සවය ඉවර වෙලා ගෙදර ඇවිත් ඉන්න කොට මට කල්පනා වුණා ඒ දරුවෝ කියපු කතාව.

මම පොළොන්නරුවේ ඉතාම දුෂ්කර කැලෑ ගමක පහේ පන්තියේ ඉගෙන ගෙන හයේ පන්තියට ගියේ නගරයේ පාසලට. මගේ වයස අවුරුදු 10 යේ දී පරිගණකය කියන එක දන්නෙත් නැහැ. අහලා තිබුණෙත් නැහැ. ඒ වගේම තමයි මගේ වයස අවුරුදු 10 යේ දී මේකප් කියන වචනය අහලාත් නැහැ. මේ දරුවන්ගේ ඉල්ලීම් දෙකම හරි වැදගත්.
ලග්ගල වගේ පිටිසර ගම්මානයක පාසලක පහේ පන්තියේ දරුවෝ ජනාධිපතිවරයාගේ අතෙහි එල්ලිලා අපිට පරිගණක, ඩෙස්පුටු නැහැ කියනවා. ඔවුන් පරිගණකය තමන්ට නොලැබුණත් මනසින් දකිනවා. මේකප් සෙට් ඕනෑ කියන කොට මම හෙමින් ඇහුවා මොකටද මේකප් සෙට් කියලා. අද ජනාධිපතිතුමා එන උත්සවයට අපේ අක්කලාට ඩාන්ස් කරන්න ටීචර් පුරුදු කළත් ඒ අයට මේකප් කරන්න බඩු නැතුව ගියා. ඒ නිසා අපිට මේකප් සෙට් ඔනි කියලා කිව්වා.

නව සංස්කෘතික ප‍්‍රවාහයන් සමග දරුවන්ගේ ඒ් ඉල්ලීම සමාජ සංස්කෘතික බලවේගයන් එක්ක අලුත් දෙයක්. දරුවෝ අලුත් ලෝකයට කොතරම් අවතීර්ණ වෙන්න උත්සාහ ගන්නවා ද? අලුත් ලෝකයට ඇතුළු වී දැනුමෙන් බුද්ධියෙන් අවබෝධයෙන් අත්දැකීමෙන් යුතුව එහි රසය භුක්ති විඳින්න දරුවන්ට මොනතරම් උවමනාවක් තියෙනවා ද කියලා පෙනෙනවා. ඒ නිසා අපේ රට වාසනාවන්ත රටක්.
හවසට රූපවාහිනිය බලනකොට හරි දේ වගේම වැරුදි දේ අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේ විනීත දේ, වගේම අවිනීත දේ් විචාරශීලී දේ වගේම අවිචාරවත් දේ මාධ්‍ය මගින් දැක්කත් මේ රටේ දරුවන්ට හෙට දවසේ වාසනාවන්ත, පින්වන්ත, භාග්‍යවන්ත කාලයක් උදාවෙනවා.

මම එදා ලග්ගල උත්සව සභාවේදීම කිව්වා මේ දරුවන් මගෙන් ඉල්ලපු ඩෙස් පුටු නම් මාසයකින් දෙකකින් එවන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ කියලා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නැත්නම් පළාත් සභාවෙන් අහලා ඩෙස්පුටු එවන්නම්. ඒත් ඒකට ටික කාලයක් යයි කියලා කිව්වා. මම එහෙම කිව්වේ ඩෙස් පුටු ලබා දීමේ දී අවුරුදු තුනේම මම දැක්ක ප‍්‍රමාදය නිසා. පසුගිය අවුරුදු තුනේ මමත් ටෙන්ඩර් කැඳවලා ඩෙස් පුටු පාසල්වලට දෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. ඩෙස්පුටු හදන්න. මම ගිය සතියෙත් ටෙන්ඩර් එකට අනුමැතියට අත්සන් කළා.

අපිට නව ලෝකය ජය ගන්න තාක්ෂණය, නව දැනුම සමග මේ ආදි ශිෂ්‍යයන් විවිධ ක්ෂේත‍්‍රවල ලබපු පරිණත භාවය සහ අත්දැකීම් වැදගත් වෙනවා. ආදි ශිෂ්‍යයන් රටට, සමාජයට වැඩදායි කොටසක් ඉටු කළා වගේම තර්ස්ටන් විද්‍යාලයේ හැට නව වසරක කීර්තිමත් අතීතය තුළ ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් උගතුන්, විද්වතුන්, බහුශ‍්‍රැතයන් බිහි කරලා තිබෙනවා.

ඒ නිසා තර්ස්ටන් විද්‍යාලය කියලා කියන්නේ අපේ රටේ ගෞරවයට ආදරයට භක්තියට පිළිගැනිමට ලක්වන පාසලක්. ඔබේ පාසලට පැමිණිලා මේ උත්සවයට සහභාගි වෙන්න ලැබීම මම ඉතාමත් සතුටු වෙනවා. මට පුංචි දරුවෙක් දීපු ලිපිය කියෙව්වා. එහි තියෙන්නේ ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන්. මම අධ්‍යාපන ලේකම්තුමා සමග සාකච්ජා කර ඒ ගැන වැඩ පිළිවෙළක් හදනවා කියන එක ප‍්‍රකාශ කරනවා.

ඔබ සියලු දෙනාට ස්තූතියි, තෙරුවන් සරණයි!

 

Share This Post

NEW