නේපාල නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

නේපාල නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

බිම්ස්ටෙක් නව සභාපති ධූරයෙන් පිදුම් ලද ජනපතිට කටුනායක ගුවන් තොටුපොළේ දී හරසර 

නේපාලයේ පැවති බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව, එහි නව සභාපති ධූරයෙන් පිදුම් ලද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය නේපාල සංචාරය සාර්ථකව නිම කර ඊයේ (02) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේය.

ශ‍්‍රී ලංකා මාතෘභූමිය ජාත්‍යන්තරයේ ලැබූ තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් සනිටුහන් කරමින් බිම්ස්ටෙක් සංවිධානයේ නව සභාපති ධූරයෙන් පිදුම් ලබා දිවයිනට පැමිණි ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද ඊයේ රාති‍්‍රයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සංවිධානය කර තිබුණි.

ඊයේ රාති‍්‍ර 10.20 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිතුමා රතුපලස මතින් කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ‍්‍රය වෙත කැඳවාගෙන එන ලදී.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරමින් සෙත් පිරිත් සහ අන්‍යාගමික වතාවත් ද සිදු කෙරිණි.

ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

බෙංගාල සමුද්‍රීය ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල සහයෝගීතාවය හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ හතරවන රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට ජනාධිපතිතුමා ඉකුත් 29 වනදා නේපාලය බලා පිටත්ව ගියේය. බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ‍්‍රී ලංකාව, තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය 30 සහ 31 යන දිනයන්හි නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්විණි. රාජ්‍ය නායක සමුළුව අවසානයේ එහි නව සභාපතිවරයා වශයෙන් ශ‍්‍රී ලංකා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පිදුම් ලැබූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැපවූ නායකයෙකු ලෙස ශ‍්‍රී ලංකා ජනපතිගේ වැඩපිළිවෙළ එහිදී සුවිශේෂී ඇගැයීමකට ලක් විය.
මේ අතර නව සභාපති ධූරයට පත් වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සමුළුවට එක්ව සිටි සියලු රාජ්‍ය නායකයින් සිය උණුසුම් සුබපැතුම් පළ කළ අතර ඔවුන් සියලුදෙනා ප‍්‍රකාශ කළේ අත්දැකීම් බහුල, පරිණත දේශපාලන නායකයෙකු වූ ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ බිම්ස්ටෙක් සංවිධානයේ කටයුතු ඉතා ශක්තිමත්ව සහ අර්ථවත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවයි.

මේ අතර රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුව නේපාලයේ දෙදින රාජ්‍ය සංචාරයකට ද එක් වූ ජනාධිපතිතුමා නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය සහ අග‍්‍රාමාත්‍ය කේ.පී. ඕලි මහතා සමග ද ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. එහිදී දෙරට අතර ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවයක් ගොඩනගා ගැනීමට එකඟතාවයන් රැසකට එළැඹුණු අතර තරුණ සහ රාජ්‍ය සේවා පුහුණු කටයුතුවලට අදාළ සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමේ නව අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තැබීණි.

මීට අමතරව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මියන්මාර් ජනාධිපති වින් මයින්ට් යන මහත්වරුන් සමගද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ද ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජයීය කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට උපරිම සහය ලබාදෙන බවට එම නායකයින් ප‍්‍රතිඥා දුන්හ.

එමෙන්ම නේපාල – ශ‍්‍රී ලංකා වෙළෙඳ සහ ආයෝජන සමුළුවකට ද ජනාධිපතිතුමා සිය සංචාරයේදී සහභාගී වීය.

මේ අතර බුදුන් වහන්සේ උපන් අසිරිමත් ලුම්බිණිය ඇතුළු ආගමික ස්ථාන රැසක් වැඳපුදා ගැනීමට ද ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එක් වූහ.

නේපාල සංචාරය සාර්ථකව නිම කළ ශ‍්‍රී ලංකා ජනපතිට ගෞරවනීය සමුදීමක් වෙනුවෙන් කෙටි උත්සවයක් ද කත්මණ්ඩු නුවර ත‍්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සංවිධානය කර තිබූ අතර ජනාධිපතිතුමාට සමුදීම වෙනුවෙන් එරට මැති ඇමතිවරු ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ඉකුත් වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ පැවති කළු ලප ඉවත් කරමින්, කොන්වී සිටි මාතෘ භූමිය යළි ජාත්‍යන්තරය වෙත සමිප කරවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සුවිශේෂී වැඩකොටසක් ඉටු කරන ලදී. මිත‍්‍රශීලී සහ නොබැඳි විදෙස් පිළිවෙතක් ඔස්සේ ජාත්‍යන්තරය සමග අතිනත ගෙන යන එම ගමන තුළ ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට වඩා සුබදායී ප‍්‍රතිඵල රැසක් උදාකරනු ඇත.

Share This Post

NEW