පරිසරය රැක ගැනීමේ වගකීම ඉටුකිරීමේ දී දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරන්නැයි ජනපති ඉල්ලයි.

පරිසරය රැක ගැනීමේ වගකීම ඉටුකිරීමේ දී දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරන්නැයි ජනපති ඉල්ලයි.

පරිසරය රැක ගැනීමේ වැදගත්කම සියලුදෙනා හඳුනාගෙන සිටින යුගයක එම වගකීම් ඉටුකිරීමේ දී කිසිවෙකු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

මතු පරපුර වෙනුවෙන් පරිසරයේ තුලිත පැවැත්ම තහවුරු කිරීමට රටේ වගකීම් දරන සියලුදෙනා කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ රත්නපුර/ නිවිතිගල සුමන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව තෙමහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේ දී අප විසින් සපුරාගත යුතුම ඉලක්කයක් බවට පත්ව ඇති රටේ වන ඝනත්වය 32% දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීම දේශපාලනඥයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ, පාසල් දරුවන්ගේ මෙන් ම සමස්ත පුරවැසියන්ගේ ම වගකීම බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දිස්ත්‍රික්කයේ දුගී භාවය ඉහළ යාමට මත්ද්‍රව්‍ය ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි.

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන්නේ රටේ දුගී භාවය තුරන් කර සියලු ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අරමුණෙන් බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම ජූනි 26 වන දාට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව ජූනි 23 වන දා සිට සතිය මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර තිබෙන බව ද කියා සිටියේය.

යෝජිත තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූවන්ට තිළිණ පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක් විය.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මියුරු භාෂිත ලියනගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, විදුහල්පති කේ.ඒ. වීරසිංහ මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රත්නපුර/ නිවිතිගල සුමන මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව තෙමහල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-06-21

මා රත්නපුරයට ඒමට සූදානම් වන විට තිබුණේ අයහපත් කාලගුණික තත්ත්වයක්. ගුවන් හමුදාවෙන් කිව්වා දැන් යන්න බැහැ යන්න කීය වෙයිද දන්නේ නැහැයි කියලා. මම කිව්වා කමක් නැහැ මට දවල් 12ට වත් යන්න පුළුවන් වුණොත් ඇති කියලා. කොහොම වුණත් අපිට  ඕනෑ වෙලාවට වහින්නෙත් නැහැ පායන්නෙත් නැහැ. අපට  ඕනෑ වෙලාවට බඩගිනි හැදෙන්නෙත් නැහැ. අපට  ඕනෑ වෙලාවට හැමදේම කරන්න පුළුවන්කමකුත් නැහැ. ලැබෙන විදියට තමයි භුක්ති විඳින්න  ඕනෑ. සොබාදහමේ ආශිර්වාදය අපි බලාපොරොත්තු වෙන්නේ හැමවිටම යහපත් පැත්තට.

මේ පාසලේ දරුවන් 1000කට වඩා අධ්‍යාපනය ලබනවා. පැරණි පාසලක්. හොඳ විභාග ප‍්‍රතිඵල පෙන්වන පාසලක්. මියුරු භාෂිත මහත්මයා කතාකරන ගමන් සබරගමුවේ ප්‍රෞඪ ඉතිහාසය ගැන පාඩමක් කිව්වා. ආණ්ඩුකාරතුමා කිව්වා සබරගමුව ලස්සනයි කියලා. මට තියෙන්නේ අනෙක් පැත්ත. මියුරු කියපු අතීතයේ ලස්සන ගැන කතාකරන එක තමයි අපි කරන්නේ. වර්තමානයේ අපට බොහෝ දේ අහිමි වී තිබෙනවා. ආණ්ඩුකාරතුමා කියපු ලස්සන තිබෙන්නේ මේ සබරගමුවේ විතරක් නෙවෙයි. මේ මුළු රටම ලස්සනයි. ලෝකයේ තිබෙන රටවල් ගත් විට ඉතාම ලස්සන රටක් අපේ රට. මිනිසුන් භෞතික වශයෙන් ලස්සනයි. නමුත් මිනිසුන් හුඟ දෙනෙක් කරන වැඩ කැතයි. අපි කොහොමද මියුරු කියපු අතීතයේ ප්‍රෞඪත්වය නැවත ලබා ගන්නේ. භෞතික වශයෙන් සුන්දර සබරගමුවේ අපි කොහොමද මිනිසුන් කරන ලස්සන ලබාගන්නේ. රටම ඒ විදියටයි බලන්නට  ඕනෑ.

මොන පාසලකට ගියත් විභාග ප‍්‍රතිඵල හොඳයි කියලා පෙන්නනවා. නිදහස් අධ්‍යාපනයේ හොඳ ප‍්‍රතිඵල අපට තිබෙනවා. නමුත් රත්නපුරේ හිරගෙදර ඉඩ නැහැ. කෑගල්ල, වැලිකඩ හිරගෙවල්වල ඉඩ නැහැ. ලංකාවේ හිර ගෙවල්වල දාන්න පුළුවන් එකොළොස් දහසක් විතරයි.  නමුත් අද හිරගෙවල්වල ඉන්නවා විසි හය දහසක්. ඒ කියන්නේ එක් කෙනෙක් දාන්න පුළුවන් කාමරයේ තුන් දෙනෙක් ඉන්නවා. එක් කෙනෙකුට නිදාගන්න පුළුවන් ඇඳේ තුන් දෙනෙක් ඉන්නවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ හිරගෙවල්වල ඇ‍ඳවල් තියෙනවා කියලා. හිරගෙදර මෙට්ටත් නැහැ. ඒ අයට දෙනවා පොඩි හයිය කාපට් එකක් වගේ එකක්. පාසල්වල විභාග ප‍්‍රතිඵල එන්න එන්න ඉහළ යද්දී සිරගෙවල්වල කට්ටිය වැඩිවෙන්නේ ඇයි. මම කිව්වා රට ලස්සනයි මිනිසුන් ලස්සනයි භෞතික වශයෙන්. නමුත් මිනිසුන් කරන වැඩ කැතයි කියලා කිව්වේ හැම කෙනා ගැනම නෙවෙයි. මිනිසුන් පිළිබඳ තිබෙන ප‍්‍රතිරූපය ගත් විට වැඩියෙන්ම නරක වැඩ කරන්නේ දේශපාලනඥයන්. දේශපාලනඥයාගෙන් පහළට ගලා එන රාජ්‍ය නිලධාරීන් බොහෝ අය දේශපාලනඥයා අනුකරණය කරනවා. එතනින් එහාට දේශපාලනඥයාගේ හා රාජ්‍ය නිලධාරියාගේ චරිත අනුව සාමාන්‍ය ජනතාව අනුකාරකවාදී වෙනවා. අපේ රටේ දේශපාලනයේ ඉන්න අය ගෙන් සියයට 10ක් දේශපාලනයට සුදුසු අය කියලා කියන්න පුළුවන්, නමුත් සියයට 90ක් ම දේශපාලනයට නුසුදුසු අයයි. හොරකම්, දූෂණ, වංචාව දේශපාලනයට ඇවිත් හම්බකිරීමේ පරමාර්ථය ඒවා තමයි ලංකාවේ දේශපාලනයේ හුඟක් තියෙන්නේ. එවැනි දේශපාලනඥයන් සමග වැඩකරන රාජ්‍ය නිලධාරීන් යම් ප‍්‍රමාණයකට වැරදි වැඩවලට යොමු වෙනවා. දේශපාලනඥයන්ගේ පැත්තෙන් ගත් විට සියයට 60ක් හොඳම නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් ගත් විට සියයට 10ක් හොඳම නැහැ. මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්නවා ලක්ෂ 16ක්. ගුරු සේවයේ ඉන්නවා ලක්ෂ 3 කට ආසන්නව කාර්මික විද්‍යාල, උසස් අධ්‍යාපන, විශ්වවිද්‍යාල ආදී අධ්‍යාපන ආයතන සියල්ල ගත් විට.

අපිට තිබෙන අභියෝග අප විසින් තේරුම් ගන්න  ඕනෑ. ලස්සන රටක හොඳ මිනිසුන් හදන්නේ කොහොමද. ලස්සන රටක හොඳ අධ්‍යාපනයක් ලබනවා නම් කොහොමද හිර ගෙවල් පිරෙන්නේ. ලස්සන රටක කොහොමද මිනිසුන් වැරදි දේවල්වලට යොමු වෙන්නේ. මේවා තමයි අපට තිබෙන ප‍්‍රශ්න. සතුටු වෙන්න පුළුවන් බොහෝ දේවල් රත්නපුරයේ තිබෙනවා. ඒ වුණත් පරිසරය විනාශ කරන අය හුඟක් වැඩියි රත්නපුරයේ. පරිසර සංරක්ෂණය ගත් විට පරිසරය විනාශ කිරීමේ ප‍්‍රමුඛ දිස්ත‍්‍රික්කයක් තමයි රත්නපුර දිස්ත‍්‍රික්කය. මැණික් ගරන්න දෝනාවන් ගිහින් වළවල් කපලා ඒවා වහන්නේ නැතිව කඳු කඩා වැටිලා. අපේ භූවිද්‍යාඥයන් කියනවා තව වසර 50කින් රත්නපුරය අද තිබෙන තැනින් කොහේ තියෙයිද කියලා හොයන්න පුළුවන් වෙයිද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. රත්නපුරයේ පරිසර සංරක්ෂණය වැදගත් කොට නොසැලකීමේ කාරණාවේ ප‍්‍රතිඵලයි ඒ. ඒ නිසා අපි හිතන්න  ඕනෑ කොහොමද රත්නපුර රැකගන්නේ කියලා. ඒ අභියෝගය අපි හැම කෙනෙකුටම තිබෙනවා.

අපේ රටේ වන ඝනත්වය සියයට 28ක් විතර තිබෙන්නේ. වසරකට සියයට 1.5ක්, වන ඝනත්වය අඩු වෙනවා. සියයට 28ක් තිබෙන වන ඝනත්වය වසරකට සියයට 1.5ක් අඩු වුණාම 28 දක්වා යෑමට වසර කීයක් යනවද. ඔබට අවබෝධයක් ඇති වසර 20ක් යන විට අපේ වනාන්තර ටික ඉවරයි කියලා. මේ නිසයි මම පහුගිය දිනවල අලුත් නීති රීති ගෙනාවේ වන ඝනත්වය වැඩි කරන්න. මම ත‍්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා ලංකාවේ ප‍්‍රථම වතාවට වනාන්තර ආරක්ෂා කරන්න. ජාතික ආරක්ෂාවට පමණක් නෙවෙයි. පොලීසිය හා වන සංරක්ෂණ නිලධාරීන් ද ඊට සම්බන්ධ කර ගෙන තිබෙනවා. මීට මාස කීපයකට පෙර චේන්සෝ තියෙන අය සති තුනක් ඇතුළත පොලීසිවල ලියාපදිංචි කරන්න කියලා මම නීතියක් ප‍්‍රකාශයට පත් කළා. සති තුනක් ඇතුළත ඒ යන්ත‍්‍ර 82000ක් පොලීසිවල ලියාපදිංචි කර තිබෙනවා. ලියාපදිංචි නොකළ ඒවා තව ඇති 25000ක් වත්. දවසකට එක මැෂින් එකකින් එක ගහක් කැපුවොත් ගස් ලක්ෂයක් දවසකට කපනවා. මම ගිය සතියේ කැබිනට් පත‍්‍රිකාවක් දාලා ලංකාවට ගස් කපන මැෂින් ගෙන්වන එක තහනම් කෙරුවා. මේ ඉන්න සියලු දෙනාගේ අතේ ජංගම දුරකථන තියෙන බව මම දන්නවා. දැන් සති දෙකකට තුනකට පෙර මට ගහපු ගැහිල්ල දකින්නට ඇති මේ අලුත් නීති රීති ගෙනාවා කියලා. වඩු මඩු ලියාපදිංචි කරන්නේ නැහැයි කියලා කියපු එකට මොරටුව පැත්තේ පිරිසක් උපවාස කෙරුවා.

හැබැයි ගස් රැක්කේ නැත්නම් මිනිසුන්ට හුස්ම ගන්න බැරිව යනවා තව අවුරුදු විසිපහක් පමණ ගත වන විට. ඉන්දියාවේ දිල්ලි නගරයේ, චීනයේ බීජිං නගරයේ, අද ඔක්සිජන් බෑග් එක එල්ලගෙන යන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මීට මාස කිහිපයකට කලිින් දිල්ලි නගරයේ 46 දෙනෙක් මැරුණා සතියක් ඇතුළත ඇඟේ හැප්පිලා විසිවෙලා වාහනවල හැප්පිලා. ඇයි ඒ? මිනිසුන් පේන්නේ නැහැ. කළුපාට ඇවිල්ල. ඒක තමයි ඇත්ත තත්ත්වය. අපි අපේ රටත් ඒ තත්ත්වයට පත් කරගන්නවාද? ජාවාරම්කාරයන්ට, වාචාලකම් කතාකරන අයට, වනාන්තරවල වැදගත්කම දන්නේ නැති අයට, ඡන්දය බලාගෙන දේශපාලන න්‍යාය පත‍්‍රවලට වැඩ කරන අයට පරිසරය කියන වචනය අවශ්‍යත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. නමුත් රටක වගකීම දරන කෙනෙක් විදියට අපි සියලු දෙනාම වගබලාගත යුතුයි මේ ලස්සන පුංචි රටේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. බොහොම කෙටි කාලයයි මේ රටේ මේ සුන්දරත්වය තිබෙන්නේ. මේ වනාන්තර ප‍්‍රතිශතය සියයට 32ක ට නංවන්නයි මගේ උත්සාහය.

මම තවත් පැත්තකට යොමු කරන්නම්. මියුරු කතාකරන විට කිව්වා මොනවද කසිප්පු, ගංජා මත්ද්‍රව්‍ය බොකු දිරා කියලා කිව්වා. බොකු දිරා කියන්නේ මොනවද කියලා දන්නවා ඇති මේ දරුවෝ. බොකු දිරා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැනේ ගොඩක් අය. ඒ නිසා මම කියන්නේ කසිප්පුවලට තමයි මේ බොකු දිරා කියන්නේ. කසිප්පුවලට යූරියා දානවා, ඇමෝනියා දානවා. බීපුවාම බඩවැල් දිරනවා. බොක්ක දිරනවා. දිරලා මැරෙනවා ඊටපස්සේ. ඒ නිසා කසිප්පුවලට කියන තවත් නමක් තමයි බොකු දිරා කියන්නේ ගමේ භාෂාවෙන්.

දැන් අපි 23 වන ඉරිදා ඉඳලා සතියක් නම් කරලා තිබෙනවා මේ වසරේ ජාතික මත්ද්‍රව්‍ය මර්දන සතිය කියලා. ලෝක මත්ද්‍රව්‍ය දිනය ජූලි 26. ඒ සතිය දීප ව්‍යාප්ත ජාතික වැඩසටහනක්, පාසල් දරුවෝ, රාජ්‍ය සේවකයන්, සාමාන්‍ය ප‍්‍රජාව, දේශපාලනඥයන් මේ සියලු දෙනා ඒ ජාතික වැඩසටහනට එකතු වෙයි කියලා මම හිතනවා. දුගී භාවයට ප‍්‍රධාන හේතුවක් තමයි ලංකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ ප‍්‍රශ්නය. රත්නපුරේ සල්ලි තිබෙන්නේ ඉතා සුළු පිරිසකට. ලංකාවේ දුගී භාවය පිළිබඳ සංඛ්‍යා ලේඛන ගත්තාම රත්නපුරේ දුගී භාවය, දුප්පත්කම ඉතාම වැඩියි. ඒ ගැන ඔබ දන්නවා ඇති. එහෙම නම් ලංකාවේ දුගී භාවයට ප‍්‍රධාන හේතුවක් තමයි ලංකාවේ මත්ද්‍රව්‍ය.

මේ රටේ මොන ආණ්ඩුව ආවත් නවත්තන්න බැරි පෝලිමක් තියෙනවා. කොච්චර සියලු දේවල් දුන්නත් පෝලිම් නැති කෙරුවට එක පෝලිමක් තියෙනවා හවසට. ඒ තමයි අරක්කු කඩවල්වල තියෙන පෝලිම. මිනිස්සුන්ට කොච්චර නැතිබැරිකම් තිබුණත් කොච්චර දුප්පත්කම තිබුණත් කොච්චර අගහිඟකම් තිබුණත් අරක්කු විකුණන කඩවල්වල පෝලිම ලංකාවේ හවසට අඩුවෙන්නේ නැහැ. ඒක තමයි පිරිහීම කියලා කියන්නේ රටක.

රට ලස්සනයි, ප‍්‍රදේශය ලස්සනයි, ඒත් මිනිස්සු කැත වැඩකරනවා. ඒකේ අංක එක දේශපාලනඥයෝ කියලා මම කිව්වා. දෙක රාජ්‍ය නිලධාරින්. තුන්වනුව ඒ අය කරන දේ දිහා බලන් ඉඳලා අනික් අයත් එතැනින් පල්ලෙහා ඉන්න අයත් ඒ ගොඩට එකතු වෙනවා. දරුවන්ගේ වටිනාකම් හදන්නේ දරුවන්ට උගන්නන්නේ දෙමව්පියෝ දරුවන් පිළිබඳව ලොකු බලාපොරොත්තු තබාගන්නේ ඔබේ ගුරු මව් පියවරු ඇතුළු සියලු දෙනා ඔබ දිහා බලන්නේ ඔබ පින්වන්ත වාසනාවන්ත භාග්‍යවන්ත දරු පිරිසක් විදියට. ඔය කියන වැරදිවලින් තොර මිනිසුන් විදියට ජීවත්වීමයි අපේක්ෂා කරන්නේ. ඒ ජීවත්වීමේ වටිනාකම්වලට වටිනාකම දෙන්න අධ්‍යාපනය තමයි ඉතා වැදගත් වෙන්නේ.

අධ්‍යාපනයේ තිබෙන වැදගත්කම පිළිබඳව විදුහල්පතිතුමාගේ කතාවේදිත් කිව්වා. අවුරුදු පහක් ආයෝජනය කරන දේ, අවුරුදු දහයක් ආයෝජනය කරන දේ අවුරුදු සීයක් ආයෝජනය කරන දේ දිගුකාලීන ආයෝජනය තමයි අධ්‍යාපනය කියන එක. ඒ නිසා අපි පිළිගන්න  ඕන අපි දුප්පත් රටක්. අපි ආර්ථික වශයෙන් දුර්වල වුණ රටක්. ඒකට වගකිවයුත්තෝ රටේ දේශපාලනඥයෝ. සමාජය නිවැරදි කරන්න පාසල් දරුවන් ලබන අධ්‍යාපනයත් එක්ක හොඳපැත්තට අරගෙන ඉස්සරහට ගෙනියන්න රටක යහපත් මිනිස්සු විදියට මේ සමාජයේ කරන ප‍්‍රධාන වැරදි දේවල් අපි වළක්වාගන්නට  ඕන.

අද බොහෝ දේවල් හොඳ හෝ නරක වහන්න පුළුවන්කමක් නැහැ. අපි පුංචි කාලෙ නම් දෙමව්පියෝ එහෙම නැත්නම් වැඩිහිටියෝ සමහර වේලාවට පුංචි ළමයි ඉන්න තැන සමහර දේවල් කතාකරන්නේ නැහැ. මේ ළමයි ඉන්නවා මෙතැන කතා කරන්න හොඳ නැහැ කියලා. හැබැයි අද එහෙම එකක් නැහැ. ඇයි ඒ අද කිසි දෙයක් වහන්න බැහැ.

අද හොඳ වගේම නරක ඊටත් වැඩිය තියෙනවා අන්තර්ජාලයේ. හැමකෙනෙක් අතේම ජංගම දුරකථනයක් තියෙනවා. අන්තර්ජාලය නිර්මාණය කරපු විද්‍යාඥයා සැබෑ මානවවාදියෙක්. විශිෂ්ටයෙක්. ඔහු මානව සමාජය උසස් තැනට ගෙනියන්න කටයුතු කළා. නමුත් අද අන්තර්ජාලය මගින් මොනතරම් අසත්‍ය, බොරුව, නින්දාව, අපහාසය කරනවද කියන එක මට වඩා හොඳින් ඔබ දන්නවා. ඔබේ හැම කෙනෙකුගේම අතේ ජංගම දුරකථනයක් තිබෙන නිසා. මගේ අතේ කොයි වේලෙකවත් ජංගම දුරකථනයක් නැහැ. මං ජංගම දුරකථන පාවිච්චි කරන්නෙත් නැහැ. ඒවායේ තියෙන ඒවා මං බලන්නෙත් නැහැ. මට තියෙන වැඩවල හැටියට ඒවා දිහා බල බලා ඉන්න බැහැ. ටෙලිෆෝන් කෝල්වලට උත්තර දෙන්න  ඕක අතේ තියාගෙන පුළුවන්කමක් නැහැ. ජනාධිපති කෙනෙක් කියන්නේ මොබයිල් ෆෝන් එකක් අතේ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි.

අතීතය කියන්නේ දරුවනේ ඉතිහාසය. ඒ වගේම අතීතය නැත්නම් අනාගතයේ හෙට දවස ගොඩනගන්නේ කොහොමද? එහි දී නායකත්වය ගතයුත්තේ පාසල් දරුවන් තමයි. ඒ පාසල් දරුවන් නායකත්වය ගන්නවා කියලා කියන්නේ ඔබ හොඳට ඉගෙනගෙන ඔබ යහපත් මිනිස්සු වෙන එක. ඒ යහපත් මිනිස්සු වෙන්න සමාජය නිවැරදි කරන්න පාසල් දරුවා ඉතාමත් ම හොඳ පණිවිඩකරුවෙක්. ඒ නිසා අද සුමන මධ්‍ය මහා විද්‍යාලයට ඇවිල්ලා ඔබට මේ සම්පත් ලබාදීලා ඔබ වාගේ පින්වන්ත භාග්‍යවන්ත ගෞරවනීය රත්තරන් දරු පිරිසක් හමුවන්නට ලැබීම භාග්‍යයක්. මේ දෙමව්පියන් විදුහල්පතිතුමාලා ඒ වගේම හුඟාක් දරුවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වන ආචාර්ය මණ්ඩලය මීට උදව් දෙන මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරීන් ඒ සියලු දෙනාටම මං සුබ පතමින් ආශිර්වාද කරනවා. අතීතයේ අත්දැකීම් සමග වර්තමානයේ වැරදි සහ නිවැරදි තේරුම් ගනිමින් අනාගතයේ හෙට දවස වඩාත් යහපත් හෙට දවසක් කරන්න ඔබ අප සියල්ලන්ම කැපවෙමු. එහි දී නායකයන් ඔබයි. ඔබේ නායකත්වයයි රටට අවශ්‍ය වන්නේ. ඔබ සියලු දෙනාට ස්තූතියි.

තෙරුවන් සරණයි.

Share This Post

NEW