පරිසරය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නේ ඡන්ද බලාගෙන නොව මිනිසාගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනපති පවසයි.

පරිසරය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නේ ඡන්ද බලාගෙන නොව මිනිසාගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනපති පවසයි.

රටේ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් කිසිඳු දේශපාලනඥයෙකු නොගත් තීන්දු තීරණ රැසක් තමා ඉකුත් සිව් වසර තුළ ගත් බව ජනාධිපතිතුමා පවසයි.

පරිසරය වෙනුවෙන් වූ එම සියලු තීන්දු තීරණ ගත්තේ ඡන්ද බලාගෙන නොව මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

වඩු මඩු සහ ලී මෝල් සඳහා අලුතින් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව පරිසර අමාත්‍යවරයා ලෙස තමා ගත් තීන්දුව බොහෝ දෙනා අවඥාවෙන් බැහැර කළ ද රටේ වන සම්පත සීග්‍රයෙන් අහිමිවී යාමත් සමග මිනිසා ප්‍රමුඛ සියලු සතා සීපාවට ජීවත්වීම පිළිබඳ බරපතළ අභියෝගයකට තවත් වසර 15-20ක් ගත වන විට මුහුණදීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එබැවින් පරිසරය රැකීමට ගන්නා තීන්දු තීරණවල දී දේශපාලන මති මතාන්තරවලින් තොරව ගැටලුව දෙස අවංකව බලන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් දැක්වූයේ අද (08) පෙරවරුවේ මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට වනාන්තරවලින් 95%ක් විනාශ කරන්නේ ජාවාරම්කරුවන් විසින් බව සොයාගෙන තිබෙන බවයි. ලී මෝල් සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට මුවා වී මෙම ජාවාරම් සිදු කෙරෙන අතර, අධික ලෙස සිදුවන ගස් කැපීම් හේතුවෙන් ජල මුලාශ්‍රවලට සහ පරිසරයට විශාල හානියක් සිදුවෙමින් පවතින බව පරිසර විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එබැවින් ජීවිතය මෙන් වන සම්පත ද රැක ගත යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ කිසිඳු දේශපාලනඥයෙක් ඡන්ද ඉලක්ක කර ගනිමින් ජාතිවාදය සහ ආගම්වාදය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතු බවයි.

මේ වසර අවසානයේ පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් අද බොහෝ දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින අතර, ජාතිවාදයට සහ ආගම්වාදයට ඉඩ සැලසීම අප්‍රේල් 21 වනදා බෝම්බ පුපුරවමින් ත්‍රස්තවාදීන් තැබූ අපේක්ෂා ඉටුකිරීමට සහය වීමක් බව ද කියා සිටියේය.

එබැවින් රට වෙනුවෙන් එකට සිටිමින් සියලු දෙනා රට වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති රට වෙනුවෙන් එකට සිටිමු ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජනාධිපති කාර්යාලය සහ රජය මඟින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන සහ සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කරමින් එහි කඩිනම් ප්‍රතිලාභ ජනතාවට ලබා දීමයි. මෙතෙක් විසඳුම් නොලැබුණු ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම ද වැඩසටහන හරහා සිදු කෙරේ.

එහි සිව්වන අදියර පසුගිය 03 වනදා මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර, දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ග්‍රාම සේවා වසම් 136 ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති 1178කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කෙරුණු අතර වැය කෙරුණු මුදල රුපියල් මිලියන 52.4 කට අධිකය. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව තිස් දහස ඉක්මයි.

අද පැවති එහි සමාප්ති අවස්ථාවේ දී දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම, නව ප්‍රතිලාභින් සඳහා සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිනි.

මේ අතර තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මල්ලාවි රෝහලේ රු. මිලියන 37ක වියදමින් ඉදිකරන ලද වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානය මෙහිදී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මුලතිව් දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘති කාර්යාලය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

අමාත්‍යවරුන් වන දයා ගමගේ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ගයන්ත කරුණාතිලක, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පා.ම එම්.ඒ. සුමන්තිරන්, කාදර් මස්තාන්, එස්. සිවමෝහන් යන මහත්වරුන් ඇතුළු මුලතිව් දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් රූපවති කේදීෂ්වරන් යන මහත්ම මහත්මින් ද ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

මේ අතර මහවැලි එල්. කලාපයට අයත් වැලිඔය කිරිඉබ්බන්වැව ජලාශයේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරාදීම අද සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ජලාශය වෙත මත්ස්‍ය පැටවුන් දහදාහක් මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මහවැලි එල් කලාපයේ කිරි ඉබ්බන්වැව කොට්ඨාසයේ ජනකපුර ඒකකයේ විදුලි වැට කි.මි 8 ක් ඉදිකිරීම වෙනුවෙන් වූ රුපියල් ලක්ෂ 55 ක චෙක්පත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අක්කර අඩි 2440 ක් වූ කිරිඉබන්වැව ජලාශයෙන් කුඹුරු අක්කර 900ක් පමණ වගා කෙරෙන අතර පවුල් 520කට පමණ ඉන් සෙත සැලසේ.

වැව ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණේ වසර 30 කින් පසුව වීම ද විශේෂත්වයක් වන අතර වැය කෙරුණු මුදල රුපියල් මිලියන 103 කි.

“රට වෙනුවෙන් එකට සිටිමු” – මුලතිව් දිස්ත්‍රික් සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා කළ කතාව 2019-06-08

මම අද මුලතිව් ප්‍රදේශයට ආවේ විශේෂයෙන්ම ඉතාමත් සතුටින් ඔබ හමුවෙන්න. ලංකාවේ මට කලින් විධායක ජනාධිපතිවරු පස්දෙනෙක් ඉඳලා තියෙනවා. මම 6 වැනි ජනාධිපති කියලා ඔබ දන්නවා. 2015 ජනාධිපති ඡන්දයේදි මුලතිව් ප්‍රදේශයේ ජනතාව මගේ ජයග්‍රහණයට සියයට අසූවකට වැඩිය ඡන්දය පාවිච්චි කළා. මම ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. මම ඒ ගැන අදත් ඔබට ස්තුතිවන්ත වෙනවා. මම කිව්වේ මීට කලින් ජනාධිපතිවරු පස්දෙනෙක් හිටියා කියලා ඔබ දන්නවද. නමුත් මම තමයි ජනාධිපතිවරයෙක් විදියට මුලතිව් දිස්ත්‍රික්කයට වැඩිපුරම ඇවිත් තියෙන ජනාධිපතිවරයා. මම ආවේ හැමවෙලේම ඔබට මොනව හරි දෙන්න. ඔබ වෙනුවෙන් කුමක් හෝ කරන සේවාවන් ශක්තිමත් කරන්න. මම ජනාධිපති විදයටත් අවුරුදු හතරහමාරයි දැන්. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා අවුරුදු 11 ක් ජනාධිපති. චන්ද්‍රිකා බණ්ඩාරනායක අවුරුදු 11ක් ජනාධිපති.මහින්ද රාජපක්ෂ අවුරුදු නවය හමාරක් ජනාධිපති. නමුත් ඒ සියලු දෙනාට වඩා මුලතිව්වලට ඇවිත් තියෙන්නේ මමයි.

මුලතිව් දිස්ත්‍රික්කය වගේම උතුරු පළාතේ හුඟක් ප්‍රශ්න තියෙන බව මම දන්නවා. ඒ අතර තියෙන පළමුවෙනි ප්‍රශ්නය තමයි දුගීභාවය. දුප්පත්කම.අපි මේ කරන අද වැඩසටහනේ මාතෘකාව තේමාව කුමක්ද කියලා ඔබ දන්නවා. රට වෙනුවෙන් එකට සිටිමු ඒ තමා අපේ තේමාව. ඇයි මේ වගේ තේමාවක්, සටන් පාඨයක්,මාතෘකාවක් එක්ක හැම දිස්ත්‍රික්කයකම මම මේ වගේ වැඩසටහනක් කරන්නේ. මීට කලින් මම තව දිස්ත්‍රික්ක හතරක කළා මගේ මතකයේ හැටියට මේ වැඩසටහන. කුමක් හෝ වැඩසටහනකට මම සෑම මාසයකටම දෙසරයක් හෝ දිස්ත්‍රික්කවල යනවා. රට වෙනුවෙන් එකට සිටිමු කියලා මෙහෙම මාතෘකාවක්, තේමාවක්, සටන් පාඨයක් ඇයි ඉදිරිපත් කළේ. රට වෙනුවෙන් එකට නැති නිසා. අපි භාෂාව විදියට බෙදිලා. අපි ආගම් විදියට බෙදිලා. අපි ජාතීන් විදියට බෙදිලා. අපි කුල විදියට බෙදිලා. අපි එකට නැහැ. රට දියුණු කරන්න තියෙන ප්‍රධාන අභියෝගය ඒක තමයි. ඒ නිසා එකට ඉන්න ඕන කියන සටන් පාඨයක් ඉදිරිපත් කෙරුවෙ රට වගේම ඔබත් දියුණු කරන්න ඕන නිසයි.

අද මේ වැඩසටහන ඔබ දන්නවා ග්‍රාම ශක්ති, සමෘද්ධි, මත්ද්‍රව්‍ය, පරිසරය මේ වගේ වැඩසටහන් එක්ක වැඩසටහන් රාශියක් මුලතිව් දිස්ත්‍රික්කයේ පහුගිය මාසයක් දෙකක් විශේෂයෙන් ක්‍රියාත්මක කළා. මුලතිව් දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය එක් ලක්ෂ විසිපන්දාහකට වඩා අඩුයි. මේ එක් ලක්ෂ විසිපන්දාහකට වැඩිය අඩු ජනගහනයට අපි මේ පහුගිය මාස දෙක තුළ ව්‍යාපෘති එක් දහස් එකසිය හැත්තෑ අටක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. 1700 ක් අපි පටන් අරන් තියෙනවා.1178 ක් ඉවර කරලා තියෙනවා. මේ වැඩසටහනට සෑම පවුලකින්ම දිස්ත්‍රික්කයේ එක්කෙනෙක් හරි සම්බන්ධ වෙලා තියෙනවා. තමුන්නාන්සෙලාගේ විසඳෙන්නේ නැතිව තිබුණු ප්‍රශ්න හුඟක් විසඳලත් තිබෙනවා.මේ වැඩසටහනට තමුන්නාන්සෙලාගේ එක් ලක්ෂ විසිපන්දහට අඩු දිස්ත්‍රික්ක ජනගහනෙන් හැට අටදාහක් එකතුවෙලා තියෙනවා. ඒ නිසා මමඒ ගැන ඉතාමත් සතුටුවෙනවා. ජනාධිපති කාර්යාලයේ නිලධාරි මණ්ඩලයට, සියලුමඅමාත්‍යංශවලට, පළාත් සභාවේ සියලු නිලධාරින්ට, දිසාපතිතුමිය ඇතුළු ප්‍රාදේශිය ලේකම්තුමාලා ඇතුළු සියලු නිලධාරි මහත්ම මහත්මින්ට, පොලිසිය, ත්‍රිවිධ හමුදාව,ඒ සෑම කෙනෙකුටම මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සාර්ථක කිරීම ගැන. දයා ගමගේ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් අලුතෙන් සමෘද්ධි පවුල් දහස් ගාණකට අද සමෘද්ධි ප්‍රතිලාභ හම්බුවෙනවා. ඒ වගේම ගයන්ත කරුණාතිලක ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් දහස් ගාණකට ඉඩම් ඔප්පු ලැබෙනවා. නමුත් මම තව විශේෂ කාරණයක් අද දැනගත්තා මේ ප්‍රදේශයට ආපුහම.තමුන්නාන්සෙලගේ හුඟක් පවුල්වල ඉඩම් ඔප්පු බලපත්‍ර යුද්ධ කාලෙදි විනාශ වෙලා තියෙනවා. ඒකනිසා බැංකුවකින් ණයක්වත් ගන්න බැරි අය ඉන්නවා හුඟක් ඉඩම් ඔප්පුවක්, බලපත්‍රයක් නැති නිසා.

ආණ්ඩුවේ මිනින්දෝරු මහත්තුරු මැනලා දුන්නු රේඛා සහතිකයක් ඔබ හුඟදෙනෙකුට තිබෙනවා. ඒ නිසා මම විශේෂයෙන් අපේ ඇමතිවරු එක්කත් අමාත්‍ය මණ්ඩලේ සහ ප්‍රධාන නිලධාරින් සමඟ සාකච්ඡා කරලා වැඩ පිළිවෙළක් හදනවා ඉඩම් ඔප්පුව නැතත් රජයේ බැංකුවකින් ණයක් ඔබට ගන්න පුළුවන් ක්‍රමයක් මං හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ඔබේ තියෙන ප්‍රශ්න තේරුම් අරගෙන තියෙනවා රජයක් විදියට. අපි මේ සියලුදේම කරන්න සියලු දෙනා එකට ඉන්න ඕන. සංවර්ධනයට ජනතාවගේ යහපතට වාද භේද අමතක කරන්න ඕන. යුද්ධය කාලේ අසීමිත විදියට කියන්න බැරි විදියට තමුන්නාන්සෙලා දුක් වින්දා.ඒ ගැන මම අතීතය අවුස්සන්න ඕන නෑ ඔබ හොඳින් දන්නවා. ඒ නිසා මේ රට එකට සිටිමු කියන වැඩසටහන යටතේ අපි සෑම දිස්ත්‍රික්කයකම යන්නේ සියලු දෙනා එකට එකතු කරගෙන රට ගොඩනගන්න ඕන නිසා. රට එකට සිටින්න නම් මේ රටේ විශේෂයෙන්ම නායකත්වය ගත යුත්තේ කවුද. මේ රටේ මහා සංඝරත්නය සියලු බෙදීම්වලින් තොරව එකට සිට රට එකට එකතු කරන්න උන්වහන්සේලා නායකත්වය ගන්න ඕන. හින්දු ,ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික ඒ සියලුම පූජකතුමන්ලා එකට සිටින්න ඕන. සමාවෙන්න ඕන මම මෙහෙම කිව්වට. නමුත් ඒ අයත් බෙදිලා. ඉතින් රට එකට සිටින්නේ කොහාමද. මම මේ කථා කරන්නේ ඡන්ද ගන්න බලාගෙන නෙවෙයි.මම කථා කරන්නේ රට එකට සිට ගන්නයි. නමුත් රට එකට සිටිමු කිව්වම එකට සිට ගන්නේ නැති අයත් ඉන්නවා. මේ අවුරුද්ද අවසානේ මේ රටේ ඡන්දයක් තියෙනවා. අද හුඟ දෙනෙක් වැඩ කරන්නේ ඡන්දය ඉලක්ක කරගෙන. ඒක නිසා හුඟක් රට බෙදිලා. ඒ නිසා අපි සෑම වෙලේම අන්තවාදය ප්‍රතික්ෂේප කරන්න ඕන.

කුමන පාර්ශ්වයකින් හෝ අන්තවාදය හොඳ නැහැ. පහුගිය අප්‍රේල් 21 දා මේ රටේ ඇති වූ ත්‍රස්තවාදී ප්‍රහාරය බෝම්බ පිපිරීම හා ජීවිත විනාශය ඔබ දන්නවා.ඒ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මොකක්ද රටට සිද්ධ වුණේ. 300 ට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. රටට විශාල ආර්ථික අලාභයක් සිද්ධ වුණා. සංචාරක ව්‍යාපාරය කඩා හැලුණා.නමුත් ඒ සියල්ලටම වඩා ඇතිවෙලා තියෙන පාඩුව කුමක්ද ඒ බෝම්බ පිපිරීමෙන් පස්සේ.රටේ වෙන්වීම් බෙදීම් වැඩිවෙලා තියෙනවා. ඒකෙන් ඒ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදින්ගේ ඉලක්කය ඔවුන් ජයග්‍රහණය කරල තියෙනවා. ඒ බෝම්බ පිපිරෙව්වේ ජීවිත විනාශ කරන්න විතරක් නෙවෙයි.රට ජාතීන් වර්ග විදියට කඩන්න බෙදන්න විනාශ කරන්න. අන්තවාදය හා ත්‍රස්තවාදය බෝම්බ පුපුරන්න විනාශකාරි කරන්නේ රටවල් බෙදන්න කඩන්න විනාශ කරන්න. ඒ ඔවුන්ගෙ ඉලක්කය අද ලංකාවේ සාර්ථක වෙලා තියෙනවා. ඇයි ඒ. දේශපාලනඥයෝ ඔක්කොටොම කලින් රට වෙන් කරනවා, බෙදනවා ජාතින් විදියට. ආගම් විදියට බෙදීම් වැඩිවෙනවා. ජාතීන් විදියට බෙදීම් වැඩිවෙනවා. ඒ වගේම භාෂා විදියට බෙදීම් වැඩිවෙනවා. කුලය විදියට බෙදීම් වැඩිවෙනවා. මේක මේ රටේ විනාශයක්. ඒ නිසා මම විශේෂයෙන් යමක් කිව යුතුයි. ත්‍රස්තවාදින්ගේ බෝම්බ පුපුරපු ඉලක්ක සම්පූර්ණ කරන්න දෙන්න එපා. මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න දෙන්න එපා. උතුරෙන් ප්‍රභාකරන් කෙනෙක් රටේ ලොකු විනාශයක් සිද්ධ වුනා. තමුන්නාන්සේලා අපි ඔක්කොම දුක් වින්දා. සිංහල, දෙමළ, මුස්ලිම්, හැම කෙනෙක්ම මියගියා. ඒ දුක්ඛිත සිද්ධීන් හමුවේ අත්දැකීම් අප හැම කෙනෙකුටම තිබෙනවා.

මේ අප්‍රේල් 21 බෝම්බ පිපිරීමේ ඉලක්කය සහ පරමාර්ථය මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් මේ රටේ බිහි කිරිම. අප ඒ කොටුවට අහුවෙන්න හොඳ නෑ. විශේෂයෙන්ම ඒ නරක වැඩේට අපි අහුවෙන්න හොඳ නෑ. ඒකට අපි වැටුණොත් අපි වැරදි තැනකට වැටෙනවා. ඒක නිසා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම කෙනෙක්ම සමඟියෙන් ජීවත් වෙන්න ඕන. මේ අවුරුද්ද අවසානයේ තියෙන මැතිවරණය නිසා දේශපාලනඥයෝ මේ රටේ හුඟදෙනෙක් වැඩ කරන්නේ ඡන්ද ඉලක්ක කරගෙන. ඡන්ද දිනන්න බලාපොරොත්තුවෙන්නේ ජාතිවාදෙන්. මේ හැමදෙයක්ම අපි හිතන්න ඕන. අපි බෙදුණොත් කැඩුණොත් වෙන්වුණොත් අපි ඔක්කොම රටම පරාදයි. මේ රටේ නැවත යුද්ධය ඇතිවේවි. මේ රටේ දුප්පත්කම වැඩිවේවි. මේ රට කඩා හැලේවි. මේ රට අපි රැක ගන්න ඕන. විශේෂයෙන්ම මම තමුන්නාන්සෙලාට මුලතිව් දිස්ත්‍රික්කය පිළිබඳව කථා කරන විට, මුලතිව් දිස්ත්‍රික්කයේ තියෙන සම්පත් රැක ගන්න ඕන රටේ අනෙක් ප්‍රදේශ වගේම. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කෙරෙන ව්‍යාපෘති රාශියක් ගැන ඔබ දන්නවා. ග්‍රාම ශක්ති. ඒ වගේම පරිසරය, ඒ වගේම මත්ද්‍රව්‍ය, දරුවන් රකිමු. මේ වගේ ව්‍යාපෘති රාශියකට ඔබ එකතු වෙලා තියෙනවා. තමුන්නාන්සෙලාගේ දිස්ත්‍රික්කයට මගේ විශේෂ ගෞරවයක් තියෙන හේතුවත් තිබෙනවා. ඒ කුමක්ද දන්නවද. ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක අතරින් මුලතිව් දිස්ත්‍රික්කයේ තමා ලංකාවේ වන ඝනත්වය වැඩිම දිස්ත්‍රික්කය. තමුන්නාන්සෙලා මේ දිස්ත්‍රික්කයේ වනන්තරේ කැලෑව ආරක්ෂා කරගෙන තිබෙනවා.

ලංකාවේ වැඩිම වන ඝනත්වය පළාත් විදියට ගත්තොත් එන්නේ උතුරු පළාත. අපි ගහක් කපනවා කියලා කියන්නේ මිනිහෙක්ගේ ජීවිතයක් විනාශ කරනවා. ගහකොළ නැත්නම් අපිට හුස්ම ගන්න බැහැ. වාතය නැහැ. ඔක්සිජන් නැහැ. ඒකනිසා අපි තියෙන වනාන්තරය අපි රැක ගන්න ඕන. ඔබ හැම කෙනෙක්ම ඔබේ උපන් දිනයට පැළයක් හිටවන්න ඕන. විශේෂයෙන් ඒක පාසල් දරුවන්ට උගන්නන්න ඕන. ඔබේ ජීවිතයේ වැදගත් දවස්වලට පැළයක් හිටවන්න ඕන. මේ රට වශයෙන් ගත්තම තමුන්නාන්සෙලාගේ දිස්ත්‍රික්කයේ වන ඝනත්වය සියයට හැට පහකට වැඩියි. ලංකාවේ මුළු රට වශයෙන් ගත්තම සියයට 28 යි.

මම පහුගිය අවුරුදු හතරමාරේ ජනාධිපති වගේම පරිසර ඇමති විදියට මේ වනන්තරය රැකගන්න නීති රීති අලුතෙන් හැදුවා. ඒ වගේම වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කළා. එහි හුඟක් ප්‍රතිඵල තිබෙනවා. අලුත් නීති රීති හැදුවා. මේ ගම්වල හැමතැනම ලංකාවේ තියෙනවා කැලෑ කපන මැෂින් අතේ ගෙනියන ඒවා. මම මාස දෙකකට කලින් කිව්වා චක්‍රලේඛයක් නිකුත්කළා පොලිසිවලට ඒවගේම මහජනයාට දැන්වුවා තමන්ගේ ගෙවල්වල තියෙන කැලෑ කපන මැෂින් ඔක්කොම පොලිසිවල ලියාපදිංචි කරන්න කියලා. සති තුනක් ඇතුළත මැෂින් අසූදෙදහක් පොලිසිවල ලියා පදිංචි කෙරුවා. ගෙවල්වල තව ලියා පදිංචි කර නැති මැෂින් හොරෙන් හංග ගෙන ඉන්නවා විසිපන්දාහකට වැඩිය. ගස් කපන මැෂින් ලංකාවේ ලක්ෂයකට වැඩිය තියෙනවා ඒ විදියට. එක මැෂින් එකක් දවසකට එක ගහක් කැපුවොත් දවසකට ගස් ලක්ෂයක් කපනවා. ලංකාවේ ගස් වනාන්තර සියයට අනූපහක් විනාශ වෙන්නේ ජාවාරම්කරුවෝ හොරට කපලා. ඒ නිසා මම පහුගිය දවසක අලුත් නීති රීති දැම්මා. පිටරටින් ගේන ගස් කපන මැෂින් සම්පූර්ණයෙන්ම මම තහනම් කරනවා. ගස් කපන මැෂින් තියෙන හැම කෙනෙකුගෙන්ම බද්දක් අය කරනවා ආණ්ඩුවට. මේ හැම දෙයක්ම කරන්නේ ගස් කැපීම නවත්වන්න. ගෙදර තියෙන බඩු හදා ගන්න, ගෙවල් හදන්න, ගොඩනැගිලි හදන්න පිටරටින් ගස් ගේන්න ඕන.

මම ඊයේ පෙරේදා කිව්වා මේ ලංකාවේ අලුතෙන් වඩු මඩු විශේෂයෙන් ඒවා අලුතෙන් ලියා පදිංචි කරන්නෑ. තහනම් කියලා. වඩුමඩු අලුතෙන් ලියා පදිංචි කරන්නේ නෑ තහනම් කියලා කියපුවහම මට හෝ ගාල දැන් ගහන්න පටන් අරන් තියෙනවා. මං දැක්කා අද පත්තරවල කව්ද ලොකු මහත්මෙකුත් කියලා තිබුණා මේ වඩුමඩු නැතිව ගියොත් එහෙම මිනීපෙට්ටියක් වත් හදා ගන්න විදියක් නෑ කියලා. ඒ මහත්මයා දන්නේ නැහැ මිනීපෙට්ටි හදන්නේ වඩුමඩුවල නොවෙයි කියලා. මිනීපෙට්ටි හදන්නේ මිනී සාප්පුවල. වඩුමඩුවල කරන්නේ වෙන වැඩ. තියෙන වඩුමඩුවලත් සියයට 80 ක් හොර ලී තමා තියෙන්නේ කපන්න. ඒකනිසා මම මේවා කියන්නේ කරන්නේ ඡන්ද ගන්න නෙවෙයි. මට ඕන කෙනෙක් බණින්න ඒකට කමක් නැහැ. මම මේ නීති දාන්නේ මිනිස්සුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න. මම කිව්වා රටේ තියෙන්නේ වන ඝනත්වය සියයට 28 යි කියලා. අවුරුද්දට සියයට එකයි දශම 5ක් කැලේ කපනවා. එතකොට තව අවුරුදු 15 ක් ගියහම මේ රට කාන්තාරයක්. ඒවා නවත්ව ගන්නයි මම මේ නීති රීති දාන්නේ. අපට හුස්ම ගන්න අයිතිය ජනතාවට තියෙන්න. හෙට උපදින දරුවන්ට හුස්ම ගන්න වාතය තියෙන්න ඕන.

ඔක්සිජන් තියෙන්න ඕන මේ රටේ. නැත්නම් ලෝකයේ වෙන රටවල්වල වගේ ඔක්සිජන් බෑග් එකක් කරේ බෙල්ලේ එල්ල ගෙන යන්න වෙනවා. ඒක නිසා ජීවිතය වගේ වනන්තරය රකින්න. ගස් රකින්න ඔබ. අපිට වතුර නැතිව යනවා, ජලය නැතිව යනවා ගස් නැතිව ගියාම. ජල මූලාශ්‍ර ඔක්කොම ආරක්ෂා වෙලා තියෙන්නේ වනන්තර නිසා. ඒ නිසා මේ රට රකිමු එකට එකතු වෙමු කියන්නේ මේ සියලු දේට.ඒ නිසා මේ ඔබට එකතු වෙලා කරන මේ සියලුම වැඩසටහන් අපි සාර්ථක කරමු තව ඉස්සරහට දිගට කරගෙන යමු. ඔබ සියලු දෙනා මේ වැඩසටහන්වලට සහයෝගය දුන්නු එකතු වෙච්ච සාර්ථක කරපු සියලු දෙනාටත් මම නැවත නැවතත් මම ස්තුති වන්ත වෙනවා. අපි සියලු දෙනා එකට එකතු වෙමු රට එකට ගොඩ නගමු. ජාතිවාදය පරාජය කරමු. කුල වාදය පරාජය කරමු. අන්තවාදය පරාජය කරමු. රටක් විදියට සියලු දෙනා එකට එක්වෙමු.

ඔබ සියලු දෙනාටම ජයවේවා. ස්තුතියි.

 

Share This Post

NEW