පස් වසරක ජනපති මෙහෙවර මහා සංඝරත්නයේ ආශිර්වාදාත්මක ඇගයීමට

පස් වසරක ජනපති මෙහෙවර මහා සංඝරත්නයේ ආශිර්වාදාත්මක ඇගයීමට

රටේ අද දවස පමණක් නොව මතු අනාගතය ද විනාශ කර දමමින් තිබු මත් උවදුරෙන් සමාජය මුදවා ගැනීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සද්භාවයෙන් ඉටුකළ මෙහෙවර රටේ සමස්ත මහා සංඝරත්නය ආශිර්වාදාත්මකව අගයන බව ගෞරව ශාස්ත‍්‍රවේදී, පූජ්‍ය අලූත්ගම පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ පවසති.

අහිංසක ජනතාව දැවෙමින් සිටි ගැටලු රැසකට විස`දුම් ලබාදෙමින් අධ්‍යාත්මික ගුණවගාවෙන් යුත් සමාජයක් ගොඩනැගීමට මෙන්ම උතුම් ති‍්‍රපිටකය මනාකොට සුරක්ෂිත කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ජනපති ගත් කි‍්‍රයාමාර්ග අද දවසේ පමණක් නොව මතු දිනක ද කෘතවේදිව සිහිපත් කෙරෙණු ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

සෑම පුන්පොහෝ දිනකම දිවයිනේ ප‍්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍රකර ගනිමින් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සදහම් යාත‍්‍රා ධර්ම දේශනා මාලාවේ 56 වන දම් සභාව ඉල් මස පුර පසළොස්වක පොහොය යෙදුණු අද (12) දින කොටුව ජනාධිපති මන්දිරයේ බෝධින් වහන්සේ අභියස දී පැවැත්විණි.

ගෞරව ශාස්ත‍්‍රවේදී, පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ අද දින ධර්ම කථිකයාණන් වහන්සේ වූ අතර එම ධර්ම දේශනාව සිදු කරමින් උන්වහන්සේ මේ බව පෙන්වා දුන්හ.

අද උදෑසන බෝධින් වහන්සේ අභියසට පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට එක් විය.

ජයන්ති සිරිසේන මැතිණිය ද, මැති ඇමතිවරු ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය ද, දහම් පාසල් දරුවන් විශාල පිරිසක් ධර්ම දේශනය ශ‍්‍රවණය කිරීමට එක්ව සිටියහ.

Share This Post

NEW