“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ වැඩ නිම කළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද දිනයේ ද ජනතා අයිතියට

“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ වැඩ නිම කළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අද දිනයේ ද ජනතා අයිතියට

ඓතිහාසික පොළොන්නරු පුරවරය පුළුල් සංවර්ධනයකට ගෙනයමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කළ “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ සිදු කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පවරාදීම උතුරු මැද පළාත් ආණ්ඩුකර සරත් ඒකනායක මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද (15) දිනයේ ද සිදු කෙරිණි.

මැදිරිගිරිය දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් ඉදිකරන ලද මහල් 07 කින් සමන්විත නිල නිවාස සංකීර්ණය අද පෙරවරුවේ ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති මෙම නිල නිවාස සංකීර්ණය නිවාස 30කින් යුක්ත අතර වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 783කි.

“සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනයක් උදෙසා” තේමාව යටතේ මැදිරිගිරිය, අඹගස්වැව කලාපයේ ඉදිකෙරුණු නව ගොවිජන සේවා මධ්‍යස්ථානය ද අද විවෘත කෙරිණි.

කලාපයේ ගොවි පවුල් 5498කට පමණ සේවා සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 165 ක වියදමින් මෙම නව ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

මේ අතර ලංකාපුර මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 67ක වියදමින් ඉදිකරුණු නව පුස්තකාල ගොඩනැඟිල්ල අද සිසු අයිතියට පැවරුණේ ද උතුරු මැද පළාත් ආණ්ඩුකර සරත් ඒකනායක මහතා ප්‍රමුඛ පළාතේ මහජන නියෝජිතයන් අතිනි.

විදුහල්පති ඒ.ඒ.සී කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ජයන්තිපුර, යාය 13 සමගි සුබසාධන සමිතියේ බහුකාර්ය ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ ඉදිකිරීම් නිම කරමින් ජනතා අයිතියට පවරාදීම ද අද සිදු විය.

මැදිරිගිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සම්පත් ශ්‍රී නිලන්ත, සුබසාධන සමිතියේ සභාපති සරත් ප්‍රේමසිරි අතුකෝරාළ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

දිස්ත්‍රික්කයේ ආගමික පුනර්ජීවය අරමුණ කර ගනිමින් සිංහ උදාගම සුදර්ශනාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 35 ක වියදමින් ඉදිකෙරුණු නව සංඝාවාස ගොඩනැඟිල්ල සඟ සතු කොට පූජා කිරීම ද අද සිදු විය.

විහාරාධිපති පූජ්‍ය රම්බොඩ පුෂ්පරතන හිමි ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ.

 

Share This Post

NEW