පොළොන්නරුව වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ – මුල්ගල් තැබීම ජනපති ප‍්‍රධානත්වයෙන් ජූලි මසදී

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ – මුල්ගල් තැබීම ජනපති ප‍්‍රධානත්වයෙන් ජූලි මසදී

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.

ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජනක ශී‍්‍ර චන්ද්‍රගුප්ත මහතා සහ චීන රජය වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක Yang Zuoyuan  මහතා විසින් එම ගිවිසුමට අත්සන් තබන ලදී.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු මාසයේදී චීනයේ සිදු කරන ලද නිල සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා සමග පැවැත්වූ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම වකුගඩු රෝහල ශී‍්‍ර ලංකාවට හිමි විය.

ඇඳන් 200 කින්, රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 100 කින් හා නවීන තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර සංකීර්ණයක් සහිත වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ රෝහලක් ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12 කි.

මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් දිවයින පුරා දිස්ති‍්‍රක්ක රැසක ජනතාව පීඩාවට පත්ව ඇති අතර එම සියලුදෙනා වෙනුවෙන් වූ දීර්ඝකාලීන අවශ්‍යතාවය සපුරාලමින් ඉදිකෙරෙන මෙම වකුගඩු රෝහල සඳහා ලබන ජූලි මසදී ජනාධිපතිතුමා අතින් මුල්ගල් තැබීමට නියමිතය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක, පොළොන්නරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර යන මහත්වරුන් ද චීන තානාපති Yi Xianliang මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This Post

NEW