මරණ දඬුවමට එරෙහි ජගත් මත්කුඩු ජාවාරම

මරණ දඬුවමට එරෙහි ජගත් මත්කුඩු ජාවාරම

මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම හා මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සූදානම්වීම තුළ දේශපාලන බලවතුන්, මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් මහත් කලබලයට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබේ. එසේ ක‍්‍රියාත්මක කිරීමට යන මරණ දඬුවම වළක්වාලීමේ අරමුණින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ගණනාවක් ඉදිරිපත්ව තිබේ. දේශපාලන වශයෙන් ගත්කල පක්ෂ රැසක නායකයන් අදහස් ප‍්‍රකාශ කරමින් කියා සිටියේ මරණ දඬුවමට විරුද්ධ බවය. ඒ අයගේ ප‍්‍රකාශයන් දෙස බැලීමේදී පෙනෙන්නේ මේ අය තරම් මානව හිමිකම් සුරකින පිරිසක් ලෝකයේ කොහේවත් නැති තරම්ය. එහෙත් මේ මරණ දඬුවමට විරුද්ධ සියලුම දෙනාගේ පසුපස යම් බලවේගයක් ක‍්‍රියාත්මක බව මේ සියල්ලටම වඩා හොඳින් ප‍්‍රදර්ශනය වේ.
 
 මේ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින්නේ දැඩි මතවාදයන් දෙකකි. එනම් මරණ දඬුවම නියම වී සිටින සියලුම දෙනා එල්ලා මැරිය යුතුයි. එසේ කිරීමේදී තමන්ට දේශපාලන වශයෙන් හෝ ව්‍යාපාරික වශයෙන් විනාශ කළයුතු පුද්ගලයාද එල්ලා මැරීමට හැකිවීම, එහි අනෙක් කණ්ඩායම වන්නේ යම් අයෙකු අද එල්ලා මැරීමට පියවර ගතහොත් ඉදිරියේදී මරණ දඬුවම නියම වී සිටින සියලුම දෙනා එල්ලා මැරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව සලකා සමහරුන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරනවාට විරෝධය දක්වන බවක් පෙනේ. එහෙත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාර තුළ සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින්නන් එල්ලා මැරීමටය.
 
 මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට එරෙහි වන පුද්ගලයන් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා පසුගිය කාලයේ දුන් සහාය කුමක් දැයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ රටේ යහපත වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවය. එම තීරණය ගැන තවදුරටත් පැහැදිලි කළ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය,
 
 මෙහිදී විශේෂයෙන් යමක් සඳහන් කළ යුතුය. චූදිතයෙකුට මරණ දඬුවම දෙන්නේ ජනාධිපතිවරයා නොවේ. පුද්ගලයන් කරන වැරදි සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන්නේ පොලිසිය දඬුවම් කරන්නේ අධිකරණය. ඒ අනුව චූදිතයන්ට මරණ දඬුවම නියම කරන්නේ අධිකරණයෙන්. ජනාධිපතිවරයා ක‍්‍රියාත්මක කරන්නේත් අධිකරණ නියෝගයක්. ඒ බව නොදැනද මේ අය විවිධ අදහස් මතින් ජනතාව මුළා කරන්නට හදන්නේ. අද දේශපාලඥයන් කුඩු කාරයන් එල්ලා මරණවාට විරුද්ධ වන ආකාරය දැක්කාම එක දෙයක් හොඳින්ම පැහැදිලියි. මේ අය ඊළඟ මැතිවරණය දිනන්න උත්සාහ කරන්නේ මේ කුඩුකාරයන්ගේ ඡුන්ද වලිනි. එසේ නැත්නම් ඔවුන්ගේ සල්ලි වලිනි.
 
 සැබැවින්ම මේ රටේ දේශපාලඥයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් වගේම පාතාලයන් අතර ඇත්තේ සමීප සබැඳියාවකි. ඔවුන්ගේ ඡුන්ද ව්‍යාපාරයට වැඩි වශයෙන් මුදල් වැය කරන්නේ මේ වැරදි කරන්නන්ය. එනිසා මේ දේශපාලඥයන් ඔවුන් බේරා ගැනීමට නිරන්තරයෙන්ම බැඳී සිටිති. එනිසාම රටේ මත්ද්‍රව්‍ය තුරන්කරනවාටත්, මරණ දඬුවම ක‍්‍රියාත්මක කරනවාටත් ඔවුන් විරුද්ධය. අද මේ සමාජයේ යහපත වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් මෙම සටන තනි පුද්ගල සටනක් ලෙස ජනාධිපතිවරයාට තනිවම කරන්නට සිදුව ඇත. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධකම් නොපවත්වන සුපිරිසිදු දේශපාලඥයන් ජනපති සටනට ශක්තියක් වී ඇති බවත් අප දුටුවෙමු.
 
 විශේෂයෙන් වාමාංශික කඳවුරේ නායකයෙක් වූ කම්කරු පන්තියේ දේශපාලඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා මරණ දඬුවම පැනවීමේ කිසිදු වරදක් නෑ. මරණ දඬුවම ක‍්‍රියාත්මක වූ අවස්ථාවක සිරකරුවන් තුළ තිබූ කම්පනය සිරකරුවකු ලෙස සිටියදී 1972 වසරේදී හොඳින් අත්දුටු අයෙක් මම. එහෙත් මත්රකුසාගෙන් රට ගලවා ගැනීමට වෙනත් මගක් නැහැ.
 
 එදා, උතුරේත්, දකුණේත් හටගත් යුද්ධයෙන් මිනිසුන් දහස් ගණනකට මරණය හිමි වුණා. දකුණු ආසියාවේ රටවල් රැසක මරණ දඬුවම ක‍්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට අමතක වෙලා. 88 – 89 භීෂණ යුගයේ දී තරුණයන් දහස් ගණනකට මරණය ගෙන දුන් එක්සත් ජාතික පක්ෂය අද මරණ දඬුවමට විරුද්ධවීම පිළිබඳව පුදුමයි. යැයි වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ පසුගියදා බොරැල්ල කොටා පාරේ, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති සමාජවාදී ජනතා පෙරමුෙණ් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ දී ය. 
 
 එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මොනරාගල පැවැති උත්සවයකදී සඳහන් කළේ තම පක්ෂය මරණ දඬුවම ක‍්‍රියාත්මක කරනවාට විරුද්ධ බවය. අගමැතිවරයා මේ ප‍්‍රකාශය කළේ 1988/89 වසරින් පසු පුනර් උප්පත්තියක් ලබාගෙන දැයි සිතේ. එම කාල වකවානුවේ නඩු විභාගවලින් තොරව බටලන්ද වැනි වධකාගාර තුළ අමානුෂික ලෙස තරුණ තරුණියන්ට දුන් මරණ දඬුවම අද අමතක වී තිබීම නිසාම එවැන්නක් සිතේ. එදා බටලන්ද පෝරකයට වරදක් නොකළ තම දරුවන් බිලිවූවන්ගේ දෙමාපියන් අදත් පසුවන්නේ ඒ වෙනුවෙන් කඳුළු සලමිනි. අගමැතිවරයා ඒ අතීතය අමතක කර මානව හිමිකම් ගැන කතා කිරීම හරියට කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් දකුණේ ජනතාවගේ මානව හිමිකම් ගැන කතා කළා හා සමාන දෙයකි.
 
 කෙසේ වෙතත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වටිනා පිළිතුරක් ලබාදුන්නේ රටේ යහපත වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බව සඳහන් කරමිනි. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව අමතමින්ය.
 
 ‘‘මම දැක්කා ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කියල තියෙනවා ඒ ගොල්ලන්ගේ පක්ෂයේ ප‍්‍රතිපත්තිය මරණීය දණ්ඩනය නෙමෙයි කියල. පක්ෂයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරා නම් මේ අවුරුදු හතර හමාරට රට කොච්චර හොඳද? විපක්ෂයෙන් මම දැක්ක කියල තියෙනවා, මරණීය දණ්ඩනයට විරුද්ධයි, මේක කරන්න එපා කියලා. මේ සියලු දෙනාගෙන් මම අහනවා ප‍්‍රශ්නයක්. මත්ද්‍රව්‍ය නැති කරන්න දීල තියෙන උදව්ව මොකක් ද? වැඩපිළිවෙළ මොකක් ද?” යනුවෙන් ජනාධිපතිවරයා ප‍්‍රශ්න කළේය.
 
 මේ ආකාරයෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මෙසේ මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කරනවාට විරුද්ධ බව ප‍්‍රකාශ කළේය. එහිදී ඔහු සඳහන් කළ විශේෂ කාරණයක් වූයේ තම පාලන සමයේදී මරණ දඬුවම ලබාදුන් අයගේ ලැයිස්තු තම අත්සනට එවනු ලැබුවද තමන් ඊට අත්සන් නොකළ බවය. එසේ වුවද එම පාලන සමයේ මානව හිමිකම් සුරැකී ආකාරය අප හොඳාකාරවම දනිමු. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ දී සිරකරුවන් විසිහත් (27) දෙනකු මරා දමා තවත් රැඳවියන් පිරිසකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය, මාධ්‍යවේදීන් ඝාතනය, වැනි සිදුවීම් කොතෙක් දුරට මානව හිමිකම් සුරැකීමක්ද ? මේ සියලු දේ ගැන හැරී බැලීමේ දී මේ අය එම සිදුවීම් වලින් පසු උපත ලැබූවන්දැයි සිතේ.
 
 එය කුමක් වුවත්, කවුරු කෙසේ කීවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්තිය හා ක‍්‍රියාදාමය තුළ ඇත්තේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය වලින් මුදා ගැනීම මිස වෙනත් කිසිවක් නොවේය. අද අපට සිතන්නට සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ව මුදාගන්නවාද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බහි වන අයව එයින් මුදාගන්නවාද යන්නයි. කෙසේ වෙතත් මේ සටන මෙහෙයවීමේ දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය පසුගියදා පොළොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ පැවැති ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ උත්සවයක් අමතමින් සඳහන් කළේය. තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙනයන සටන හේතුවෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව බුද්ධි අංශ මාර්ගයෙන් දැනුවත් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
 
 සමාජය තුළ මත්ද්‍රව්‍ය නැති කළ යුතු යැයි මතයක් ඇති ව තිබෙන බවත් තමන් එම සටන ශක්තිමත් කරමින් කුඩුකාරයන්ට මරණ දණ්ඩනය දීමට කටයුතු කළ බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඊට විරුද්ධව පිරිසක් උසාවියට ගොස් මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
 
 ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය දුම්කොළ තුරන් කිරීමට මෙතරම් කැපවීමක් කරමින් සිටින මොහොතක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා චීනයෙන් සිගරට් ගෙන්වීමට යෑමෙන් රටේ තවත් අර්බුදයක් ගොඩනැඟිනි. ඊට දැඩි විරෝධය පළකළේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාය. සැබැවින්ම මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කාර්යයට සහාය දුන් ඇමැතිවරයෙක් බව කිවයුතුය. ඔහු මංගලගේ චීන සිගරට් ගෙන්වීම ගැන දැක්වූයේ මෙවන් අදහසකි, 
 
 චීන සිගරැට් ලංකාවට ගේන්න හදනවා. මේකට හේතුව මොකක්ද කියන්නේ හොරෙන් ගේන ඒවා නීතිගත කරනවා. හොරෙන් ගේන ඒවා නීතිගත කළොත් ඉදිරියට මත්ද්‍රව්‍යත් නීතිගත කරන්න වෙයි. ඒකට තමයි රේගුව තියෙන්නේ, ඒකට තමයි මේ රටේ පොලිසිය තියෙන්නේ. ඒ නොහැකියාවට හේතුවක් නෙමෙයි මේවා සංස්ථාගත කිරීම. එවැනි සිගරට් ගේන්න තීන්දු කරනවා නම් එවැනි රජයක මටවත් මේ ජනාධිපතිවරයාටත් ඉන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒක නිසා කිසිම මත්ද්‍රව්‍යක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා වූ කිසිම නීතියකට අපි එකඟ වෙන්නේ නැහැ. 
 
 මේ විරෝධයත් සමග මංගලගේ සිගරට් ගනුදෙනුව අතරමඟ නතරවිය. කෙසේවෙතත් මරණ දඬුවම ක‍්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. සහනය අත්හිටුවන බවට ජාත්‍යන්තරය හරහා තර්ජන එල්ලවෙමින් පවතී. මේ ජී.එස්.පී සහනය පිළිබඳ තර්ජන එල්ලවන පළමු අවස්ථාව මෙය නොවේ. 2009 වසරේ යුද්ධය නතර කළේ නැත්නම් ජීඑස්පී සහනය නවත්වන බවට තර්ජන එල්ලවිය. එහෙත් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා එම තර්ජන ප‍්‍රතික්ෂේප කරමින් තම ගමන ඉදිරියටම ගිය නිසා 2009 මැයි මස 19 වැනිදා තිස් වසරක කුරිරු ත‍්‍රස්තවාදය නිමා කිරීමට හැකිවිය.
 
 එදා ජාත්‍යන්තරයට කොටි සමඟ තිබුණේ අවි ආයුධ ගනුදෙනුවකි. අද මරණ දඬුවම නියමවූවන් සමඟ තිබෙන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ ගනුදෙනුවකි. මේ ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා ජීඑස්පී සහනය නමැති තර්ජනය එල්ලකරමින් කටයුතු කරති. එදා යුද්ධය නතර කරන්න කෑ ගැසූ රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන ගැත්තන් අද මරණ දඬුවමට එරෙහිව හඬ නගති. මේ කරුණු දෙක තුළ ඇත්තේ පුදුමාකාර සමානතාවකි. මේ බලපෑම් ගැන ජනාධිපතිවරයා පසුගියදා පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව අමතමින් බලපෑම්වල සත්‍ය අනාවරණය කළේ මෙලෙසිනි. 
 
 ‘‘ආණ්ඩුවේ ලොක්කෝ කතා කරනවා, විපක්ෂයේ ලොක්කෝ කතා කරනවා, මැති ඇමැතිවරු කතා කරනවා, එන්ජී ඕ කාරයෝ කතා කරනවා, පාර්ලිමේන්තුවේ කතා කරනවා, ජාත්‍යන්තර සංවිධාන කතා කරනවා. දැන් දවස් තුනකට කලින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා මට ? අටට කතා කළා. ලංකාවේ මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නය උග‍්‍රයි කියල ආරංචියි, මරණීය දණ්ඩනය දෙනවද මගෙන් ඇහුව. මං මහ ලේකම්තුමාට කරුණු පැහැදිලි කෙරුවා.”
 
 පාසල් දරුවන් හා විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කර ගැනීම සඳහා ජාවාරම්කරුවන් ක‍්‍රියා කරන ආකාරය, ලංකාවේ පුනරුත්ථාපන කඳවුරුවල ඉඩ නොමැති වීම, මවුපියන්ගේ දුක්ගැනවිලි, ආණ්ඩුවට එල්ල වන චෝදනා ආදිය පදනම් කරගෙන මේ තීරණය ගත් බවත්, ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර හා මිනීමැරුම් ඇතුළු අපරාධ සඳහා මත්ද්‍රව්‍ය භාවිතය හේතු වී තිබෙන ආකාරය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට පැහැදිලි කළ බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පවසයි.
 
 එබැවින් රට විනාශ වන තුරු තමන්ට බලා සිටිය නොහැකි නිසා මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බව තමන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපතිවරයා පැවසීය.
 
 මීටත් වඩා ජාත්‍යන්තරය දැනුවත් කරන්න ක‍්‍රමවේදයක් නැත. කුමන බලවේග එල්ලවුණත් රටේ බහුතර මතය මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතුයි යන්න නොවේද? 

ටී. චන්ද්‍රසේකර

www.divaina.com

Share This Post

NEW