මහවැලි සංවර්ධනය වෙනුවෙන් පුළුල් කාර්යයක් ඉකුත් වසර 05 තුළ සිදු කළ බව ජනපති පවසයි.

මහවැලි සංවර්ධනය වෙනුවෙන් පුළුල් කාර්යයක් ඉකුත් වසර 05 තුළ සිදු කළ බව  ජනපති පවසයි.

මහවැලිය ආරම්භ වී වසර 50ක් සපිරෙන මෙම අවස්ථාවේ මහවැලි සංවර්ධනයේ සුවිශේෂී නවෝදයක් ඇති කිරීමට තමාට හැකිවූ බව පැවසූ ජනාධිපතිතුමා එහි ප්‍රතිලාභ අදට වඩා රටට හිමිවන්නේ හෙට දිනයේ දී බව කියා සිටියේය.

රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබාදෙමින් සහ පොදු ජන ජීවන තත්ත්වය ඉහළ නංවමින් තවත් වසර ගණනාවක් ඉදිරියට ඇදී යන එම සුවිසල් සංවර්ධන ක්‍රියාදාමය මහවැලි ගග ගලන්නා සේ අඛණ්ඩ ව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (08) පස්වරුවේ මැදිරිගිරිය බිසෝපුර දී පැවැත්වුණු 31 වන මහවැලි ක්‍රිඩා උලෙළේ සමාප්ති උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙරට භූමි භාගයෙන් සියයට 40ක පමණ ප්‍රමාණයක ව්‍යාප්තව ඇති මහවැලි සංවර්ධන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක දැවැන්තම සංවර්ධන ව්‍යාපාරය බවත්, ඒ වෙනුවෙන් සුවිශේෂි වැඩකොටසක් ඉටුකරමින් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් යුතුකම් රැසක් ඉටුකිරීමට තමාට හැකියාව ලැබුණු බවත් ය.

මොරගහකන්ද – කළු ගඟ සංවර්ධනය ව්‍යාපෘතිය මෙරට කෘෂිකර්මාන්තයේ සහ වාරිකර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඒ හරහා වැව් දහස් ගණනක් පෝෂණ්‍ය කිරීම වෙනුවෙන් ඉදිකෙරෙන ඉහළ ඇළහැර, වයඹ ඇළ, මිණිපේ ඇළ, උතුරු මැද මහඇළ ඇතුලු සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රජය රුපියල් කෝටි 23,000ක මුදලක් වැය කර තිබෙන බව ද කියා සිටියේය.

මහවැලි ගොවි පවුල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් දෙදිනක් පුරා පැවැත්වුණු අතර මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1500ක් පමණ ඊට සහභාගී වූහ.

ක්‍රීඩා උලෙළේ දක්ෂතා දැක්වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට තිළිණ හා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙවර ක්‍රීඩා උලෙළේ ජනාධිපති ශූරතාව මහවැලි “එච්” කලාපය දිනාගත් අතර අනුශූරතාවය මහවැලි “සී” කලාපයට හිමි විය.

අදාළ ජය සංකේත ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ද ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් සහ සුගත් තිලකරත්න මහතා ඇතුළු හිටපු ප්‍රවිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර මැදිරිගිරිය බිසෝපුර මහවැලි ක්‍රීඩාංගණය අද ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මහවැලි අධිකාරිය විසින් ඉදිකරන ලද දැවැන්තම ක්‍රිඩාංගණය ලෙස සියලු පහසුකම්වලින් සමන්විතව මෙය ඉදිකර තිබෙන අතර වැයකර ඇති මුදල රුපියල් මිලියන 170කි.

මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ කලාපයේ පාසල් දරුවන්ගේ ක්‍රිඩා කටයුතු වෙනුවෙන් ද මෙම ක්‍රීඩාංගණය විවෘත කරන ලෙසයි.

මේ අතර මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මැදිරිගිරිය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

31 වන මහවැලි ක්‍රීඩා උලෙළ සමාප්ති උත්සවයේ දී අතිගරු ජනාධිපතිතුමා කළ කතාව 2019-09-08 වන දින

අද මහවැලි ක්‍රීඩා ඉතිහාසයේ තවත් වැදගත් අවස්ථාවක්. 31 වන මහවැලි ක්‍රීඩා උලෙළ වඩාත් වැදගත්කමක් ගන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයට එක් වූ නව බල ප්‍රදේශයක ඉදිකරන ලද මේ නව ක්‍රීඩා පිටිය තුළ මේ ක්‍රීඩා උලෙළ පැවැත්වීමයි. මම මහවැලි ඇමතිවරයා විදියට මැදිරිගිරිය ප්‍රදේශය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට යටත් කළේ 2007 වර්ෂයේ දී. ඉන් පසු ව ආරම්භ වූ මොරගහකන්ද කළු ගඟ ජලාශයේ සංවර්ධන කටයුතු සමඟ මොරගහකන්ද කළු ගඟ ජලශයෙන් යටවූ ජනතාව නැවත පදිංචි කිරීමේ කාර්යයේ දී අපි තෝරා ගත්තේ මැදිරිගිරිය බිසෝපුර ප්‍රදේශය. ඒ අනුව තමයි මේ ඩී කලාපයේ බිසෝපුර කොට්ඨාසය නව මහවැලි සංවර්ධන ප්‍රදේශයක් විදියට සංවර්ධනය වෙන්න පටන් ගත්තේ. ඔබ කවුරුත් දන්නවා මොරගහකන්ද, කළුගඟ ජලාශයට.,ඒ වගේම ඒ හා සමගාමීව වැව් දහස් ගණනක් සංවර්ධනය කෙරෙනවා. ඒ වගේම විශාල ඇළවල්, ඉහළ ඇලහැර, වයඹ ඇළ. මිනිපෙ, උතුරු මැද මහ ඇළ, ඒ සියල්ලත් එක්ක ඒවාට රජයේ වියදම් කරන මුදල රුපියල් කෝටි විසිතුන්දාහකට වැඩියි. ඒ වියදම් කරන මුදලට මේ වන විට ප්‍රතිඵල රාශියක් දැනටම රටේ ජාතික ආර්ථිකයට ලබල දීලා තිබෙනවා. මහජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට එම ක්‍රියාවලිය බලපාල තිබෙනවා. රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ ගොස් තිබෙනවා. කර්මාන්ත සඳහා මේ තුළ අතහිතදීමක්, ශක්තියක් මග පෙන්වීමක් ඇති කරල තිබෙනවා.

ඒ වගේම ඉතාම පැහැදිලිව කියන්නට ඕන අද පොළොන්නරුව, අනුරාධපුර වගේම දිස්ත්‍රික්ක ගණනාවක් ගත්තොත් විශාල ජල හිඟයක් තිබෙනවා. ඒ ජල හිඟය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන සියලු වැව්වල අද තිබෙන්නේ මොරගහකන්ද ජලාශයේ ජලයයි. අනුරාධපුරයට යවන ජලය, නාවුලෙන් යවන්නේ. ඒ ප්‍රදේශයට ගිහිල්ලා කලාවැවට යන ජලය වගේම මොරගහකන්දෙන් පොළොන්නරු දිස්ත්‍රික්යට ලැබුණු වතුර අද පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල කියන ජලාශවලට එනවා. ඒ නිසා මේ කන්නය තුළ අපිට ජල හිඟයක් ඇතිවුණේ නැහැ. නමුත් අනුරාධපුර දිස්ත්‍රික්ය ගත්තොත් විශාල වශයෙන් ජල හිඟයක් තිබෙනවා. ඒ වගේම ලංකාවේ තවත් ප්‍රදේශවල ජල හිඟය ඉතාමත්ම තදින්ම තිබෙනවා. අපි මොරගහකන්ද, කළු ගඟ ජලාශ ව්‍යාපෘතියට විශේෂයෙන්ම සම්බන්ධව වැඩ කටයුතු කිරීමේදි, බිසෝපුර කොට්ඨාසයේ වැඩ ආරම්භ කෙරුවේ 2016, අවුරුද්දේ. ඒ ආරම්භ කරපු වැඩ පිළිවෙළ, සංවර්ධන වැඩවල විශාල ප්‍රගතියක් තිබෙනවා. අලුත් ඇළවල්, අලුත් කුඹුරු ඉඩම්, පාසල්, රෝහල්, පොලිසි, ක්‍රීඩාංගණ , සාමාන්‍ය පාසල් දරුවන්ට සහ ජන ජීවිතයට එදිනෙදා අත්‍යවශ්‍ය, සියලු ගොඩනැගිලි, කාර්යාල, ඒ පහසුකම් අපි හදලා තියෙනවා. ඒ අනුව අපි මේ බිසෝපුර කොට්ඨාසයට විතරක්, මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව නියෝජනය වන මේ සංවර්ධන ව්‍යාපෘතියට රුපියල් මිලියන් 6000ක් . කෝටි 600 ක් වෙන්කරල තිබෙනවා. ඒ කෝටි 600 න්, බිසෝපුරට මේ වන විට අපි රුපියල් කෝටි 435 ට වැඩි මුදලක් වැය කරල තිබෙනවා. ඒ කෝටි 435 ට වඩා වැඩි මුදලින් තමයි මම ඔය කියපු පාරවල් හැදුණේ, ගොඩනැගිලි හැදුණේ, විශාල වශයෙන් සංවර්ධන කටයුතු රාශියක් ඇතිවුණේ.

කිලෝමීටර් 17 ට ආසන්න කවුඩුල්ල උප ප්‍රධාන ඇළ ඒ යටතේ වැඩ අවසන් කරල තිබෙනවා. ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ 5 ක නව ඉඩම් සංවර්ධනය කරල. වැව් 23 ක් හදලා තිබෙනවා. ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ 11 ක, කුඩා වැව් 28 ක් ප්‍රතිසංස්කරණය කරල තිබෙනවා, සංවර්ධනය කරල තිබෙනවා. බිසෝපුර සහ සූර්යපුර කලාප, නව කොට්ඨාස කාර්යාල අපි ඉදි කරල විවෘත කරල තිබෙනවා. ඒ වගේම අද විවෘත කළා මැදිරිගිරිය මේ කොට්ඨාසයේ නව නේවාසික ව්‍යාපාර කළමනාකරුගේ කාර්යාලය . මේ බිසෝපුර අද ඔබ අප සියලුදෙනාම එක් වී සිටින මේ ක්‍රීඩාංගණයට අපි වියදම් කරල තිබෙනවා රුපියල් කෝටි 17 ක්. මෙහි විශාලත්වය අක්කර 22 යි. මම කියන්නට ඕන මැදිරිගිරිය කන්තලේ මාර්ගය මේ ව්‍යාපෘතිය යටතේ කරන ලද ඉදි කිරීම, බිසෝපුර අඹගස්වැව මාර්ගය කාපට් කරල ලස්සන පාර, අනෙකුත් කුඩා මාර්ග කිලෝමීටර් 60 ක් අපි වැඩ අවසන් කරල තිබෙනවා. බිසෝපුර ප්‍රදේශයට එන රජයේ නිලධාරින්ට ඉන්න තැනක් නැහැ. ඒ නිසා සංචාරක නිවාසයක්. ඒ වගේම බිසෝපුර නව නගරය ස්ථාපිත කිරීම, පොළ භූමිය, මධ්‍යම රථ ගාල, වාණිජ ඉඩම් 58 ක්. මේ කටයුතු සියල්ලම, මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාවට ලැබිච්ච ප්‍රතිලාභ. ඒ තුළ විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික සංවර්ධනය ගත්විට, ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නවසිය 40 දශකයෙ, 50 යේ දශකයේ මැද භාගයේ තමයි සී. පී. ද සිල්වා ඇමතිතුමා. ඇමතිවරයෙක් විදියට ගොවිජනපද ව්‍යාපාරය පටන් ගත්තේ.

එදාමෙදා කාලය තුළ මැදිරිගිරිය ගෙන ගිය පුළුල් සංවර්ධන කාර්යයන් සමඟ මම 2007 මෙම ප්‍රදේශයේ මහවැලි කලාපයක් කිරිමත්, බිසෝපුර නව ජනපද ව්‍යාපාර ආරම්භ කිරිමත් තුළ 56 බණ්ඩාරනායක මැතිතුමාගේ යුගයෙන් පසුව මැදිරිගිරිය සංවර්ධනයේ නව ප්‍රබෝධයක් ඇති වුණා. මේ බිසෝපුර ව්‍යාපෘතියේ කටයුතු අවසන් වනවිට පවුල් 1500 ට විතර තමයි ඉඩම් තිබෙන්නේ . නමුත් ඉදිරි පියවරට යන විට මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වන විට පවුල් දොළොස් දාහක් පදිංචි කිරීමට නියමිතයි. මේක යෝධ සංවර්ධන ව්‍යාපෘතියක්. එදා ඩී. එස්. සේනානායක යුගයේ පොළොන්නරුව ගොවි ජනපද ව්‍යාපාර, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය වගේම, අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය වගේ, ඊට සමානව වගේම අධි තාක්ෂණය සම්බන්ධ වෙච්ච, නව සංවර්ධනයක් මේ තුළ සිද්ධ වෙන්නේ.

ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා, මැදිරිගිරිය ප්‍රදේශය විදියට ගත්තම ඒ සිදුවන කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳව වාරිමාර්ග ක්ෂේත්‍රයේ සංවර්ධනය වගේම, පිබිදෙමු පොළොන්නරුව යටතේ කරන පුළුල් ජාතික සංවර්ධනයට අද මේ ක්‍රීඩාංගණයත් එයට ඇතුල් වෙනවා. මේ ක්‍රීඩාංගණය මහවැලි අධිකාරියේ බව ඇත්ත. නමුත් අද සිට මහවැලි අධිකාරියත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාත් ඒකාබද්ධව ආණ්ඩුකාරතුමා මේ ක්‍රීඩාංගණය භාරගන්න ඕන. මේ ක්‍රීඩාංගණය දරුවන්ටයි. මේ ක්‍රීඩාංගණය මැදිරිගිරියේ ජනතාවටයි. මේ ක්‍රීඩාංගණය මැදිරිගිරිය පාසල් දරුවන්ට මං පූජා කරනවා. පරිත්‍යාග කරනවා. මේක කැළෑ වැවෙන්න බැහැ. මේක හොඳින් නඩත්තු වෙන්න ඕන. මේක බලාගන්න එක පුංචි වැඩක් නෙවෙයි. විශාල ක්‍රීඩාංගණයක්. ඒ නිසා ප්‍රදේශයේ පාසල් දරුවන්ට අද ඉඳලම විවෘතයි මේ ක්‍රීඩාංගණය. ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට ක්‍රීඩාංගණයක මෙතෙක් කල් නොතිබුණු අවශ්‍යතාවය සම්පූර්ණ කරා වගේම මේ ක්‍රීඩාංගණය හොඳින් නඩත්තු වීම. එතකොට ඒ දෙකම සිද්ධ වෙන්නට ඕන. ඒ නිසා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හෙට අනිද්දාම ආණ්ඩුකාරතුමාත් එක්කත් කතා කරලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාත් මේ ළඟ තිබෙන පාසල්වල විදුහල්පතිතුමාලත් ගෙනල්ලා මේ ක්‍රීඩාගංණය ඒගොල්ලන්ට භාරදෙන්න. මෙතනින් එහාට ඒගොල්ලන්ට මේක අරගෙන යන්න. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා මැදිරිගිරිය වගේ සංවර්ධනයෙන් අඩු බොහෝ දුෂ්කර ජීවිත ගතකරන අඩු පහසුකම් තිබෙන ජනතාවක් සිටින ප්‍රදේශයක මේ පුළුල් සංවර්ධන කාර්යය තුළ විශාල ප්‍රතිඵලයක් අද වගේම ඉදිරියට අත්විදින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. රටේ ආහාර නිෂ්පාදනය වී නිෂ්පාදනය ප්‍රමුඛව ජාතික ආර්ථිකයට පුළුල් ශක්තියක් දෙන්න මේ ව්‍යාපෘතිය තුළ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා.

ඒ නිසා මහවැලි ව්‍යාපාරය කරන කටයුතුවලදී නව සංවර්ධන යුගයක එක් අවස්ථාවක් විදියට අද හඳුන්වන්නට පුළුවන්. මහවැලි අධිකාරිය ආරම්භ කරලා අපේ රාජ්‍ය ඇමතිතුමා කිව්වා මහවැලි ව්‍යාපාරයට අවුරුදු 50 යි කියලා මේ අවුරුද්දට. 1969 තමයි මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වුණේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පළමුවැනි ඇමතිවරයා බිහිවුණේ පොළොන්නරුවෙන්. ඒ තමා සී.පී.ද සිල්වා ඇමතිතුමා. ආණ්ඩුවක් විදියට මහවැලි විෂය අමාත්‍යංශයක් තුළට එක්කළේ ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ආණ්ඩුව. 1965 සී.පී. ද සිල්වා ඇමතිතුමා වාරිමාර්ග, විදුලිබල, ඉඩම් ඇමතිවරයා වශයෙන් සිටින කාලයේ සී.පී. ද සිල්වා ඇමතිතුමාට මහවැලි විෂය භාරදීලා තිබුණා.

ඉන්පසුව විශේෂයෙන්ම මහවැලියේ නවෝදයක් ඇතිකරන්න අනුරාධපුරෙන් බිහිවෙච්ච මෛත්‍රීපාල සේනානායක ඇමතිතුමා විශාල වැඩ කොටසක් කලා. පොල්ගොල්ලේ වේල්ලේ වැඩ අවසන් කරලා. එයින් තමා අනුරාධපුරයට, පොළොන්නරුවට රජරටට 1976 ජනවාරි මාසේ 8 වෙනිදා ජලය ලැබුණේ. ඒ වගේම ගාමිණී දිසානායක මැතිතුමා කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළමේ රටේ ආර්ථිකයේ වේගවත් පිම්මක් පැන්නා. පුළුල් විදුලිබල නිෂ්පාදනය, කෘෂිකාර්මික සංවර්ධනය ගාමිණී දිසානායක ඇමතිතුමා තමයි මහවැලි ක්‍රීඩා පටන් ගත්තේ. 80 දශකයේ මැද භාගයේ. එතුමාට විශේෂ ගෞරවයක් හිමිවන්නට ඕන ඒ පිළිබඳවත්. එදා මෙදා කාලය තුළ මහවැලි විෂය භාරව සිටි ඇමතිවරුන්ගෙන් මහවැලි විෂය භාරව මේ වන විට වැඩිම කාලයක් කටයුතු කරලා තියෙන්නේ මමයි. මේ කාලය තුළ අවුරුදු 17කට වැඩි කාලයක් කඩින් කඩ මහවැලි ඇමතිවරයා විදියට ලංකාවේ අනික් මහවැලි කලාපවල සංවර්ධනය, ප්‍රතිසංවර්ධනය, නැවත පදිචි කිරීම්, පුනරුත්ථාපන කටයුතු විදේශ ආධාර අරගෙන විශාල වශයෙන් අපට කරන්න පුළුවන්කම ලැබුණා.

අපි පහුගිය දිනවල අලුතින් පටන් ගත්ත මිනිපේ කලාපය දැන් අලුත් මහවැලි කලාපයක්. මිනිපේ කලාපය තුළ දැන් අලුතෙන් ඒ සංවර්ධන කටයුතු කෙරෙනවා. ඒ නිසා අපි රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් දෙන යෝධ බහුකාර්යය ව්‍යාපෘතිය විදියට අවුරුදු 50ක් මේ වසරට සම්පූර්ණ වන මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 31 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ ඉතාමත් වැදගත් අවස්ථාවක්. මේ දරුවෝ මහවැලි කලාපවල ජීවත්වන දරුවෝ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. ඔබ ගොවි පවුල්වල රජයේ සේවකයින්ගේ එහෙම නැත්නම් සුළු ව්‍යාපාර කරන අයගේ ඒ විවිධ ප්‍රදේශවල ඉන්න අපේ ආදරණීය ජනතාවගේ ඒ දෙමව්පියන්ගේ දරුවෝ. විශේෂයෙන්ම අද මහවැලි ක්‍රීඩා උළෙලට ලංකාවේ සතර දිග් භාගයෙන් පැමිණි ඒ දරුවන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහවැලි නිලධාරීන්ට ඒ සමග පැමිණි දෙමව්පියන්ට මං විශේෂ ස්තූතියක් පිරිනමනවා. මේ නව මහවැලි සංවර්ධන කලාපය මැදිරිගිරිය බිසෝපුර කොට්ඨාසයටත් පැමිණිලා මේ ප්‍රදේශය දැකලා අලුත් අත්දැකීම් ලබාගෙන මේ ක්‍රීඩා උලෙළට සහභාගී වෙලා ඒ තුළ ඔබට අලුත් අදහසක් එක්ක රටේ සංවර්ධනයේ නව නැම්මක් සමග ඔබට මේ කටයුතුවලට එකතු වෙන්න, දායකත්වය ලබාදෙන්න පුළුවන් වීම පිළිබඳව.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ව්‍යාපෘතිවල වැඩ තව අවුරුදු විසිපහකටවත් ඉවර වෙන්නේ නැහැ. අපි පටන් ගත්ත වැඩ ඉහළ ඇලහැර, වයඹ මහ ඇළ, මිනිපේ මහ ඇළ, උතුරු මැද මහ ඇළ මේ සියල්ලම ප්‍රධාන වශයෙන්ම ඉදිරි අවුරුදුවල තමා විශාල ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඉදිරි අවුරුදුවලත් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මහවැලි ගඟ ගලන්නා සේ නොනැවතීම ඉදිරියට යන රටේ පුළුල්තම සංවර්ධන ව්‍යාපාරය යි. ඒ තුළ ඔබ සෑම කෙනෙක්ම විශේෂයෙන්ම රටට බත සපයන ගොවි ජනතාව මහවැලි කලාපවල ඔවුන්ගේ දක්ෂකම් පෙන්වන දරුවන් ක්‍රීඩා ක්ෂේත්‍රය වගේම අධ්‍යාපනය අනෙකුත් විවිධ ක්ෂේත්‍රවල ජාතික මට්ටමට වගේම අන්තර්ජාතික මට්ටමට ක්‍රීඩා ඉතිහාසයේ එක්වුණු මහවැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.

අද වැඩම කළ වන්දනීය පූජනීය මහා සංඝරත්නයට ඒ වගේම අපේ ආණ්ඩුකාරතුමා ඇතුළු සියලු මැතිඇමතිතුමාලට මේ සඳහා සහයෝගය දුන්න සියලුම රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ට විවිධ ප්‍රදේශවලින් පැමිණි කලාපවල නිලධාරීන්, දෙමව්පියන්, දරුවන්, ඒ වගේම ක්‍රීඩා උලෙළ ශක්තිමත් කළ පුහුණුකරුවන්, විනිශ්චයකරුවන් ඒ සියලු දෙනාටමත් මම මගේ ස්තූතිය ඉතාමත් ම ගෞරවයෙන් පුද කරනවා. ඔබ ඉතාම සාර්ථක ලෙස 31 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ කටයුතු සිද්ධ කිරීම සහයෝගය දැක්වීම පිළිබඳව.

ඒ වගේම ශාරීරික අභ්‍යාස සංදර්ශනය පිළිබඳවත් මා කියන්නට ඕන. මම හිතන්නේ කාගේත් සිත්ගත් දර්ශනයක් තමයි, මැදිරිගිරිය ජාතික පාසලේ දරුවන්ගේ සන්දර්ශනය. එය මේ සංදර්ශනය පුහුණු උපදේශකවරයා මිල්රෝයි මහත්මයා. අධ්‍යාපන අමාත්‍යංශයේ. මං ඔහුටත් විශේෂ ස්තූතියක් පිරිනමනවා. මැදිරිගිරිය දරුවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩා අභ්‍යාස සංදර්ශනයක් ඉතාම අලංකාර ලෙස කොළඹ නුවර ප්‍රදේශවල දරුවන්ට වගේ පුහුණු කිරීම පිළිබඳ. මා එතුමාට ස්තූතිවන්ත වෙනවා. මම එතුමා අඳුරන්නේ සෑහෙන කාලයක ඉඳන්. ඔහු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉතාම දක්ෂ නිලධාරියෙක්. ඒක නිසා ඔබ සියලුදෙනාටම මා නැවත නැවතත් මගේ ගෞරවනීය ස්තූතිය පුදකරමින් 32 වැනි මහවැලි ක්‍රීඩා උළෙලත් මීටත් වඩා සාර්ථකව ලබන වසරේ පවත්වන්න ඔබ සියලුදෙනාට සියලු ආකාරයෙන් ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවායි කියලා ආශිර්වාද කරමින් සුභපතමින් මගේ කතාව අවසන් කරනවා.

ස්තූතියි.

 

Share This Post

NEW