මිහින් එයාර් සහ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සෙවීමේ නව ජනාධිපති කොමිසම ලබන සතියේ පත්කරන බව ජනපති පවසයි.

මිහින් එයාර් සහ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සෙවීමේ නව ජනාධිපති කොමිසම ලබන සතියේ පත්කරන බව ජනපති පවසයි.

මිහින් එයාර් සහ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සෙවීමේ නව ජනාධිපති කොමිසම ලබන සතියේ පත්කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (13) පස්වරුවේ දඹුල්ල ගම්උදා කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුවක් අමතමිනි.

පසුගිය රජය සිදුකළායැයි පවසන සංවර්ධනයේ කළු – සුදු බව ඉදිරියේදී තවදුරටත් රටේ ජනතාවට අනාවරණය වනු ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද දූෂිත දේශපාලනය වෙනස් කර රට හැදීමේ අභියෝගය ජය ගන්නා බව අවධාරණය කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය ගෙනවිත් සිය ජීවිත කාලය පුරා ධූරයේ රැඳී සිටීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ ප‍්‍රතිපත්තිය 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අහෝසි කර දැමුවේ තමන් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය. බලයට පැමිණි ලෝකයේ කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ අන්දමින් විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට පවරා දීමට කටයුතු කළ එකම නායකයා වන්නේ තමන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

පොලිස්පති, නීතිපති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන් සහ ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ද එදා ජනාධිපතිවරයා විසින් සිදු කළ අතර එය වෙනස්කර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවක් වෙත එම වගකීම පවරා දුන්නේ ද තමන් බව පැවසු ජනාධිපතිතුමා පසුගිය සමයේ අරලියගහ මන්දිරයේ පණිවිඩ අනුව අධිකරණවලින් නියෝග ලබාදුන් අන්දම ද මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බව කියා සිටියේය.

වතුර ඉල්ලා හැඬු රතුපස්වල අහිංසක ජනතාවට යුද හමුදාව දමා වෙඩි තැබු ක‍්‍රමයද වෙනස් කළේ තමා බව පැවසු ජනාධිපතිතුමා අද රණවිරු දඩයමක් ගැන ආණ්ඩුවට චෝදනා කරන අය එදා යුද්ධය කළ නායකයා වූ ජනරාල් සරත් ෆොන්සේකා සිරගත කළ අයුරු ද සිහිපත් කළේය. හෘද සාක්ෂියට අනුව ඔවුන් කථා කරන්නේනම් නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන බණ්ඩාරනායක දර්ශනය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය එදාද ඔවුන් තුළ නොතිබූ අතර වංචා දූෂණ සහ අක‍්‍රමිකතා සිදුකරමින් මහජන මුදල් ගසා කෑවේද පක්ෂයේ ප‍්‍රතිපත්ති මෙන්ම ගෞරවය ද බිඳ දමමින් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අද සත්‍ය තත්ත්වය මේ රටේ ජනතාව අවබෝධ කර ගනිමින් සිටින අතර මෙම පෙබරවාරී 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වැඩිම ජනතා බලවේගය ඇති පක්ෂය බවට පත්වනු ඇති බවද අවධාරණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වෙන ජනහමු මාලාවේ මාතලේ දිස්ති‍්‍රක් පළමු ජන හමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. මෙහිදී ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

ප‍්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙන්ම ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දඹුුල්ල ආර්ථික මධ්‍යස්ථානය භෞතික වශයෙන් සංවර්ධනය කිරීම මෙන්ම එහි පරිපාලනය නිසි කළමනාකරණයකට යටත් කරමින් එහි පවතින වංචා දූෂණ නතර කර ආර්ථික මධ්‍යස්ථානයේ නිසි ප‍්‍රතිලාභ සියලුදෙනාට ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හිටපු අමත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක, වීරකුමාර දිසානායක, බන්දුල යාලේගම, දඹුල්ල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යූ.ඩී. දයා නන්දසිරි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

දඹුල්ල ප‍්‍රදේශයේ පැවැති ජනහමුවේදී ගරු ජනාධිපතිතුමා කළ කතාව 2018-01-13 වන දින

අවුරුදු තුනකට පසුව දඹුල්ල ඓතිහාසික පුදබිමට ඉතාම යාබදම මේ ස්ථානයේ දී නැවත වතාවක් දඹුල්ලේ ආදරණීය ජනතාව අමතන්නට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා.

2015 ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී එදා පොදු අපේක්ෂකයා විදියට රට පුරා ගෙන ගිය මැතිවරණ ව්‍යාපාරයේදී තමුන්නාන්සේලා හමුවන්නට මේ ස්ථානයට පැමිණියා. ඒවගේම එදා මෙදා කාලය තුළ මේ රටේ සිදු වූ සිදුවීම්, වෙනස්කම්, පරිවර්තනයන් මොනවාද කියන කාරණය ඇතැමුන් දැනගෙන ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. තවත් අය ඒ පිළිබඳ අවබෝධය නොමැති නිසා මොනවද කළේ කියලා අහනවා. සමහර අයට දැනුනත් නොදැනුනා විදියට ඉන්නවා. අද රට පුරා වෙනස් වන දේශපාලන රැල්ලේ පැහැදිලිව දකින දෙයක් තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙබරවාරි 10 පවත්වන පළාත් පාලන මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ලබන බව තමුන්නාන්සේලාට ඉතා පැහැදිලිව කියනවා.

මම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට අවුරුදු 50 අඛණ්ඩව වැඩ කරපු කෙනෙක්. පක්ෂයේ ලේකම්වරයා විදියට අවුරුදු 13 ක් හිටපු කෙනෙක්. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 13 ක කාලයක් කිසිම ලේකම් කෙනෙක් ඉඳලා නැහැ. රටේ කිසිම දේශපාලන පක්ෂයක අවුරුදු 13 ක් එක්කෙනෙක් ලේකම් ධුරයේ ඉඳලා නැහැ.

අද තමුන්නාන්සේලා අපි සියලු දෙනා එක්වී සිටින්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පුළුල් ජනතා ව්‍යාපාරය ජයග‍්‍රහණය කරන්නයි. දඹුල්ලට ආපුහම මට මතක් වෙන කෙනෙක් තමයි බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුව හදන්න, එදා නායකත්වය දුන්න තමුන්නාන්සේලාගේ මේ ප‍්‍රදේශය නියෝජනය කරපු දිවංගත ටී.බී. තෙන්නකෝන් මැතිතුමා. ටී.බී. තෙන්නකෝන් මැතිතුමා සමග මම මැතිවරණ කරපු කෙනෙක්. 1969 පොළොන්නරුව නගර සභා මැතිවරණය, ගම්සභා මැතිවරණය මෙහෙයවන්නට ගමක් ගානේ යන්නට මම පාසල් ශිෂ්‍යයෙක් ලෙස ටී.බී. තෙන්නකෝන් මැතිතුමා සමග එක් වුණා. අනුරාධපුරේ කේ.බී. රත්නායක මැතිතුමා, අම්පාරේ සෝමරත්න සෙනරත් මැතිතුමා, කොත්මලේ ආනන්ද දසනායක මැතිතුමා වැනි දේශපාලනයේ දැවැන්ත චරිත සමග මම ඒ හැම රැස්වීමකම කතා කරපු කෙනෙක්.

බණ්ඩාරනායක මැතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහිකළේ මේ රටේ අවශ්‍ය පුළුල් සමාජ පරිවර්තනයක් අවශ්‍ය නිසා. බි‍්‍රතාන්‍ය පාලනයෙන් සුද්දන්ගෙන් නිදහස ලබපු අපි අපිට කියන රටක් අපේම දේශයක්, අපේ මහා සංස්කෘතිය. අපේ ආගම, අපේ භාෂාව, අපේ මහා කලාශිල්ප, අපේ මහා වාරි තාක්ෂණය ඒ සියල්ලට අගයක් දෙන්නට පුළුවන්කම ලැබුණේ බණ්ඩාරනායක මැතිතුමාගේ සමාජ පෙරළියත් එක්කයි. ඒ සමාජ පෙරළිය තුළ මේ රටේ බෙහෝ වෙනස්කම් ඇතිවුණා. පුංචි මිනිස්සු ඔළුව ඉස්සුවා. කවුද පුංචි මින්ස්සු කියලා කියන්නේ. සමාජ තුළ තිබුණු ධනවාදය. තවත් පැත්තකින් කුලවාදය, තවත් පැත්තකින් ප‍්‍රභූ පංතිය. රදළයින්ගෙන් පැවත ආ රදළ පවුල්වල ඒ සිරිත් විරිත්. සුද්දන් අපිට බෝ කරපු, අපිට දායාද කරපු ඉංගී‍්‍රසි සංස්කෘතියේ බොහෝ නීති රීති සහ ගමන් මග. ඒවා වෙනස්කළේ බණ්ඩාරනායක මැතිතුමා.

ඒ නිසා තමයි අවුරුදු තුනක්, තුන හමාරක් වැනි ඉතා කෙටි කාලයක් මේ රටේ රාජ්‍ය නායකත්වයේ සිටි බණ්ඩාරනායක මැතිතුමා අදත් සමස්ත ජනතාවගේ හෘද සාක්ෂියේ සිටින්නේ රටට, මිනිස්සුන්ට සේවය කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් විදියට. බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය ඒ යුගය තුළ ලෝකය ජයග‍්‍රහණය කරන්න විශිෂ්ට ගමන් මගක් වුණා.

ශී‍්‍ර ලංකාව ලෝකයා හඳුනාගත්තේ බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවත් සමග. බණ්ඩාරනායක මැතිතුමා මැරුවේ එල්ටීටීඊය නොවෙයි. බණ්ඩාරනායක මැතිතුමා මැරුවේ යූඇන්පිය විසින් නොවෙයි. බණ්ඩාරනායක මැතිතුමා මැරුවේ ධනේෂ්වර ක‍්‍රමයට විරුද්ධව තීන්දු තීරණ ගන්න කොට වංචා කාරයින්ට, දූෂිතයින්ට පක්ෂය තුළ හිටපු ආණ්ඩුව තුළ හිටපු ඇමතිවරුන්ට විරුද්ධව තීන්දු ගන්නකොට බණ්ඩාරනායක මැතිතුමා මැරුවේ පක්ෂයේම අය කියන එක තමුන්නාන්සේලා දන්නවා.

ටී.බි. තෙන්නකොන් මැතිතුමා කවි කොළ විකුණමින්, මේ ප‍්‍රදේශවල ජනතාවගේ හදවත දිනා ගනිමින් මහනුවර නගරයත් සමග එදා බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනයත් එක්ක එකට බැඳී සිටියා.

ඒ නිසා තමයි දඹුල්ල මැතිවරණ කොට්ඨාසය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සෑම මැතිවරණයකදීම ඉතා ඉහළ දේශපාලන වාසිදායක මැතිවරණ කොට්ඨාසයක් බවට පත්වුණේ. දඹුල්ල මැතිවරණ කොට්ඨාසය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිජබිමක් බවට පත්වුණේ. දඹුල්ල මැතිවරණ කොට්ඨාසයයි දඹුල්ලේ ජනතාවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි කියලා කියන්නේ ගහට පොත්තයි පොත්තට ගහයි වගේ. ඒ තරම් සම්බන්ධයක් තියෙනවා.

අපිට රටක් විදියට යන ඉදිරි ගමනේදී තිබෙන බොහෝ බාධාවන්, අභියෝග ඒ සියල්ල එක්ක අපි විසින් අද දවසේ තේරුම් ගත යුතු වෙනවා අප කුමන ආකාරයට අපේ දේශපාලනය කළමනාකරණය කළ යුතු ද හැසිරවිය යුතුද කියලා.

2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා මම එදා ආණ්ඩුවෙන් එළියට බහින්න මේ ආණ්ඩුවෙන් එළියට බහිමු. අපි මේකෙ ඉන්නේ නැතුව අපි රට වෙනස් කරමු. ඒකාධිපති පාලනය වෙනස් කරමු. ප‍්‍රජාත‍්‍රන්තාවාදී සමාජයක් ගොඩ නගමු. මිනිස්සුන්ට ආදරය කරන සමාජයක් හදමු, වංචාවට, දූෂණයට විරුද්ධව සටන් කරමු ඒකට ඔබතුමා නායකත්වය ගන්න කියලා, එදා ආණ්ඩුවෙන් එළියට එන්න ආණ්ඩුව ඇතුළේ මාව උනන්දු කරපු අයගෙන් ප‍්‍රධානියෙක් ජනක බණ්ඩාර තෙන්නකෝන් මගේ සහෝදර හිටපු ඇමතිතුමා කියලා මම විශේෂයෙන් මෙහිදී කියන්න ඕනෑ.

මම ආණ්ඩුවෙන් එළියට යන්න සතියකට කලින් පොළොන්නරුවේ ගෙදර යන ගමන් කුරුණෑගල පහු කරලා මම දුරකතනයෙන් කතා කරලා ඇහුවා ජනක ගෙදර ඉන්නවා ද කියලා. කතා කරපු ගමන් ඔව් සර් මම ඉන්නවා කිව්වා. මම කීවා මම ගෙදර යන ගමන් මම එනවා කියලා. ජනක ඔයා කාලයක් තිස්සේ මට කීවා වැඩපිළිවෙළකට යමු කියලා. ඒවාගේම ඔයා මට කීවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කේන්දරය ඔයා බලලා කේන්දරයේ තියෙන දේවලුත් මට කිව්වා. ඒක නිසා මම යන ගමන් ඔයා හම්බ වෙන්න එනවා කියලා කිව්වා. ආණ්ඩුවෙන් එළියට යන්න සුමානයයි. එදා එතුමාගේ පවුලේ සියලු දෙනාම දඹුල්ලේ ගෙදර හිටියා.

මේ ඓතිහාසික මහා පුදබිම මේ බුදුන්වහන්සේගේ දේශය. මම මේ කියන්නේ සත්‍යයක් සැබෑවක් මිස බොරුවක් අසත්‍යයක් නොවෙයි. මම ගෙදර ගිහින් කතා කරලා කීවා මේ ප‍්‍රශ්නත් එක්ක මේ ගමන යන්න බැහැ නේද අපි ආණ්ඩුව වෙනස් කරමු කියලා ජනක ඇස්වලින් කඳුළු හළාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. මට කිව්වා ඔබතුමා මුහුණ දෙන දේවල්, ප‍්‍රශ්න, ගැටලු ගැන මම හරි වේදනාවෙන් ඉන්නේ කියලා. මම එදා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදුවා දවස් 42 න් තමුන්නාන්සේලා දන්නවා. ඒ ආණ්ඩුව හැදුවේ ඇයි ?

අද තමුන්නාන්සේලාත් සමහර වේලාවට කියනවා අපේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනෙක් කණ්ඩායම ජී.එල්. පීරිස් මහත්තයාගේ පක්ෂයේ අයත් කියනවා අපි යූඇන්පියත් එක්ක එකතු වෙලා ඒ නිසා අපි එක්ක එකතු වෙන්න බැහැ. යුඇන්පියත් එක්ක එකතු වුණ නිසා අපිත් එක්ක එකතු වෙන්න බැහැලු. යූඇන්පියත් එක්ක එකතු වෙලා ආණ්ඩු කරන්න ඉගැන්නුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා 2007 මාර්තු මාසේ. රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් අරලිය ගහ මන්දිරේ දී අත්සන් කළේ එකට ආණ්ඩුවක් කරන්න ගිවිසුමක්. මාව චිනයේ ඉඳලා ගෙන්නුවා හදිසියේ ඒ ගිවිසුම අත්සන් කරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ වම් පැත්තේ. දකුණු පැත්තේ මලික් සමරවික‍්‍රම එක්සත් ජාතික පක්ෂයේ සභාපති එතුමාගේ දකුණු පැත්තේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අරලියගහ මන්දිරයේ දී ඒ ගිවිසුම අත්සන් කළා තමුන්නාන්සේලාට මතක ඇති.

අද යූඇන්පියත් එක්ක ආණ්ඩු හැදීම ගැන බොහොම කෙටියෙන් මම තමුන්නාන්සේලාට යමක් කියන්න අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මහත්තයා බලයේ ඉන්න අවුරුදු දෙකක් තිබියදී ඇයි මැතිවරණයකට ගියේ. බලයේ ඉන්න තිබිය දී මැතිවරණයකට ගියේ එතුමාට එතනින් එහාට යන්න බැරි නිසායි.

යුද්ධය දිනුවේ අපි ඔක්කොම එකතු වෙලා. මම එල්ටීටීඊ ප‍්‍රහාර පහකට ලක්වෙච්ච කෙනෙක්. මට ගහන්න ආපු හැම එල්ටීටීඊ කාරයෙක්ම විනාශ වුණා. සමහර අය හිරේ ගියා. මම යුද්ධයේ අවසාන සති දෙකේ මේ රටේ ආරක්ෂක ඇමතිවරයා. ඊට කලින් හිටපු ජනාධිපතිතුමා නැති හැම වේලාවේම ආරක්ෂක ඇමතිවරයා විදියට මටයි භාර දුන්නේ. අවුරුදු දෙකක් බලයේ ඉන්න තිබියදි ඊට කලින් මැතිවරණයට යන කොට මම අතින් ලියලා ලිපියක් දුන්නා මේ මේ කරුණු නිසා ඡන්දයකට යන්න එපා ගියොත් පරදිනවා කියලා. මම ඒ ලියුම ලියන කොට මම දැනගෙන හිටියේ නැහැ මම පොදු අපේක්ෂකයා කියලා. මම ලියුුම ලියලා දීලා අරලිය ගහ මන්දිරයේ අනෙක් මැති ඇමතිවරුන්ටත් ඒකේ පිටපතක් දුන්නා. මම කීවා ඡන්දයකට යන්න එපා පරදිනවා කියලා.

ඇයි මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු දෙකක් බලයේ ඉන්න තියෙද්දී ඡන්දයකට ගියේ පක්ෂයේ ඔක්කොම එපා කියද්දී සන්ධානයේ නායකයෝ සියලු දෙනා එපා කියද්දී තනි මතයකට ඇයි ඡන්දයකට ගියේ ? එතුමා අදත් උත්තර දෙන්නේ නැහැ මේ අවුරුදු තුනට මම දහස් වරක් ඒ ප‍්‍රශ්නය අහලා තියෙනවා. උත්තර නැහැ ඒකට. ඡන්දයකට ගියේ ජාත්‍යන්තර එන අභියෝගය, චෝදනා, පැමිණිලි, යෝජනා වලට මුහුණ දෙන්න බැරි නිසා. ඒක තමා අංක. අංක දෙක 2015 ,2016 වන විට රටේ ඇතිවන මහා ණය බරත් එක්ක ආර්ථික අර්බුදය ඒ ප‍්‍රශ්න දෙකට මුහුණ දෙන්න බැරි නිසායි ඡන්දයකට ගියේ.

ඡන්දයකට ගිහිල්ලා මම පොදු අපේක්ෂකයා විදියට ජයග‍්‍රහණය කෙරුවා. මම ජනාධිපති වෙලා, මම ලෝකේ වටේ ගියා. මම ලෝකේ වටේ ගිහින් සියලු රාජ්‍ය නායකයින් හමුවුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගේ ඉඳලා ලෝකයේ සියලු ජගත් සංවිධානවල නායකයින් හමුවුණා. මම ඒ අයට කිව්වා මම අලුත් ආණ්ඩුවක් හැදුවා අවුරුදු 60 ක සිට පැවත එන රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකට එකතු කෙරුවා.

මම මේ රටේ ප‍්‍රජාත‍්‍රන්තවාදය තහවුරු කරනවා. මම මේ රටේ මිනිස්සුන්ගේ නිදහස තහවුරු කරනවා. මම මේ රටේ මානව අයිතිවාසිකම් තහවුරු කරනවා. මම මගේ රටේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරනවා. මම මේ රටේ මාධ්‍ය නිදහස තහවුරු කරනවා. මාධ්‍යවේදීන් ඝාතනය වෙන්න මම දෙන්නේ නැහැ. මාධ්‍ය ආයතන ගිනි තියන්න මම දෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මම ජනතාවගේ සියලු අයිතීන් ලබා දෙනවා. පෙළපාළි යන මිනිස්සුන්ට මම වෙඩි තියන්නේ නැහැ. කම්කරු සටන් කරන කම්කරුවන්ට වෙඩි තියෙන්නේ නැහැ. දුරකතනයෙන් මිනිස්සුන්ට කතා කරන්න තියෙන අයිතීන් පැහැර ගන්නේ නැහැ. ඒවාට සවන් දෙන්නේ නැහැ. මම හොඳ රටක් හදනවා, මට උදව් කරන්න මේ අපිට තියෙන චෝදනාවලින් අපිව නිදහස් කරන්න කියලා ඉල්ලුවා. ලෝකයේ සෑම රාජ්‍ය නායකයෙක්ම මම කෙරෙහි විශ්වාසය තිබ්බා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරන්න මම පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු, ඇමතිවරු ගාවට පාර්ලිමේන්තුවේ කාමරයක් ගානේ ගියා. මන්තී‍්‍රවරු 142 කින් 100 කගේ විතර ගෙවල් වලට ගියා තුනෙන් දෙකේ ඡන්දය ගන්න මගේ බලය පාර්ලිමේන්තුවට දෙන්න.

මම තමුනාන්සේලාගෙන් අහනවා ලෝකයේ තමන් අතේ තියෙන බලය වෙන කෙනෙකුට දුන්න මේ යුගය තුළ දන්න කෙනෙක් මට කියන්න. මහින්ද රාජපක්ෂ මහතා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා දෙසැරයක් ජනාධිපති ඡන්දයට ගිහිල්ලා මුළු ජීවිත කාලය තුළම ජනාධිපති විදියට ඉන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගත්තා. ඒ ප‍්‍රතිපත්තිය මම වහලා දැම්මා 19 වෙනි සංශෝධනයෙන්. බලයට ආපු ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් නොකරන දෙයක් තමයි මම කෙරුවේ. මා සතු අසීමිත විධායක බලය මම පාර්ලිමේන්තුවට පැවරුවා.

කලින් පොලිස්පති පත්කෙරුවේ ජනාධිපති. නීතිපති පත් කෙරුවේ ජනාධිපති. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා සියලු විනිශ්චකාරවරු පත් කෙරුවේ ජනාධිපති. ස්වාධීන කොමිෂන් සභා කියලා නමට තිබුණට ස්වාධීන කොමිෂන් සභා පත් කෙරුවේ ජනාධිපති. ඒ සියල්ල මම වෙනස් කෙරුවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවක් හදලා ඒ සභාවට දුන්නා ඒ තනතුරුවලට සුදුස්සන් පත් කරන්න. තනි බලය අයින් කෙරුවා. ඒ කාලේ කොහොමද උසාවියට තීන්දු දුන්නේ. ඒ කාලේ කොහොමද අධිකරණයට දුරකතනයෙන් කතා කරලා කීවේ. ඒ කාලේ නඩු තීන්දුවලට කොහොමද අරගලියගහ මන්දිරයෙන් පණිවිඩ ඇරියේ. මම ඒ ක‍්‍රමය වෙනස් කෙරුවා. මිනිස්සුන්ට නිදහස දුන්නා පෙළපාළි යන්න, උපවාස කරන්න, සත්‍යග‍්‍රහ කරන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සතියකට දෙතුන් සැරයක් සයිටම් ප‍්‍රශ්නයට කොළඹ නගරයේ විදී බසිද්දී මම ඒ හැම දවසේම උදේට පොලිස්පතිවරයාට දුරකනයෙන් කතා කරලා කියනවා අද ළමයි එනවා කියලා එක තුවක්කුවක්, ආයුධයක් අරගෙන යන්න එපා ළමයි ටික කෑගහලා යාවි. ළමයින්ට ඒ නිදහස දෙන්න කියලා මම කිව්වා. ඒ ප‍්‍රශ්න විසඳුවේ එහෙමයි.

කටුනායක එදා කම්කරුවෝ සටන් කරලා, මහ පාරට බැස්සාම කම්කරුවන්ට වෙඩි තිබ්බා. වැලිවේරියේ වතුර ඉල්ලා අඬපු අහිංසක ජනතාවට යුද හමුදාව දාලා වෙඩි තිබ්බා. මම ඒ ක‍්‍රමය මේ රටේ වෙනස් කළා. තමුන්නාන්සේලා රජරට ජනතාව, මාතලේ ජනතාව, මධ්‍යම පළාතේ වයඹ, උතුර, නැගෙනහිර අවුරුදු 50,60,70 ජලය ඉල්ලා අඬන දුක් විඳින වේදනාව මෙයට විසඳුම මොරගහකන්ද ජලාශය. අවුරුදු 60 පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා.

මම මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනල්ලා අතේ රුපියලක් නැතුව කෘෂිකර්ම ඇමති විදියට මහවැලි ඇමතිවරයා විදියට 2007 ජනවාරි 25 දා මුල්ගල් තිබ්බා. ඒ වේලාවෙත් මගෙන් ඇහුවා සල්ලි නැතුව ඇයි මුල් ගල් තියන්නේ කියලා. සර් එන්න මම සල්ලි හොයා ගන්නම් කියලා කීවා. මුල්ගල් තියලා මම ඇමතිවරයා විදියට නිකන් හිටියේ නැහැ. මම ජපානයේ ජයිකා ආයතනයේ නියෝජිතයෝ හමුවුණා. ලිපිි ගනුදෙනු කෙරුවා. ඒ අය එකඟ කර ගත්තා මුදල් දෙන්න. මුදල් අමාත්‍යාංශයට යැව්වාහම ඒක ප‍්‍රතික්ෂේප කෙරුවා. මම චිනයේ මූල්‍ය ආයතනයකින් සල්ලි හොයා ගත්තා. ලිපි හදලා මුදල් අමාත්‍යාංශයට යැව්වාහම ඒක ප‍්‍රතික්ෂේප කෙරුවා. අවුරුදු 5 ක් යනකල් සත පහක් දුන්නේ නැහැ මොරගහකන්දට. මම ජනවාරි 25 මුල්ගල් තියලා මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක පැය 48 යනකොට මගෙන් මහවැලි ඇමතිකම ගැලෙව්වා. අවුරුදු 16 කෘෂිකර්ම, වාරිමාර්ගයේ මහවැලියේ ඉංජිනේරු මහත්වරු එක්ක වැඩ කරපු මම ඉංජිනේරු මහත්වරුන්ගෙන් අයින් කරලා මට දොස්තර මහත්වරු භාර දුන්නා. මම ඉංජිනේරු මහත්වරුන්ට වඩා දොස්තර මහත්වරු එක්ක වඩා හොඳින් වැඩ කෙරුවා.

ඒනිසා මම සිගරැට් තහනම අවවාද නඩු දාලා මම උසාවි ගිහින් බංකු උඩ වාඩි වෙලා හිටියේ. හංගපු ඖෂධ පනත අලුතින්ම ලියවලා මම ජනාධිපති වෙලා පළවෙනි මාසේම පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවා. එදා කරන්න දුන්නේ නැහැ. සුද්දන්ගේ සිගරැට් කොම්පැනියේ ගෙන්වලා අධ්‍යක්ෂක ගෙන්වලා නඩු අහනවා වගේ අරලිය ගහ මන්දිරයේ මාව හිටවා ගෙන ඒ අය වාඩි කරවාගෙන හිටපු ජනාධිපතිතුමා මගෙන් ප‍්‍රශ්න අහනවා මොකට ද ඔහොම ගැසට් ගහන්නේ. දුම් බිම පිළිබඳව ඉන්දියාවේ ඔහොම නැහැ පාකිස්ථානයේ ඔහොම නැහැ. ඇයි ලංකාවේ විතරක් කියලා.

සිගරට් බීම පාලනයක් ඇතිකිරීමට එයින් වන හානිය ගැන ඡායාරූප දාන්න ඇමති මණ්ඩලයට මම යෝජනා දැමූවිට ඉදිරිපත් කරපු කැබිනට් සංදේශය ප‍්‍රතික්ෂේප කෙරුවා මෙහෙම කළොත් මේ රටට සුද්දෙක්වත් එන්නෙ නැහැ සිගරට් බොන්න නැති නිසා කියලා කිව්වා.

මම මේ සියලු දේවල් ඉවසගෙන හිටියා. මම ඒ සියල්ල වෙනස් කළා මේ වසර තුන තුළ. මම ලෝකය ජයග‍්‍රහණය කළා. අද අපිට ලෝකයේ සතුරන් නැහැ. කවුද රණවිරුවෝ දඩයම කෙරුවේ. යුද්ධයට නායකත්වය දීලා යුද්ධය දිනපු ජෙනරල් සරත් ෆොන්සේකාව හිරේ දාලා ජම්පරේ ගහලා, තරු පටි ගලවලා රණවිරු දඩයම කළේ කවුද. මේක නේද ඇත්ත කතාව. තමන්ගේ හෘද සාක්ෂියට කතාකරන්න. බණ්ඩාරනායක දර්ශනය කියන්නේ , ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඒක නොවෙයි. එදා ආණ්ඩුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. එදා ආණ්ඩුවේ බණ්ඩාරනායක දර්ශනයක් නැහැ. ඒ  දූෂිත ආණ්ඩුව එදා කරපු දේවල් මට මෙතන කියන්න පුළුවන්කමක් නැහැ. තමුන්නාන්සේලා යම් ප‍්‍රමාණයකට ඒවා දන්නවා.

මම රට හදන්න පෙර ලෝකය දිනා ගත්තා. සති කිහිපයකට පෙර අපේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවා වූ රුසියාව අපෙන් තේ ගන්න එක පසුගිය 30 වැනි දා සිට නැවැත්තුවා. අප දෙදෙනාගේ තිබෙන හිතවක්කමත් දෙරටේ සම්බන්ධතාවයත් තුළ මේ තහනම ඉවත් කර දෙන්න කියලා මම රුසියානු ජනාධිපති වැලැඩ්මිර් පුටිං ට ලිපියක් යැව්වා. ලිපියත් සමග මගේ නියෝජිතයන් ලෙස ඇමතිවරු යැව්වා. මගේ ලිපිය යවලා පැය 48 ක් යන්න කලින් රුසියාව අපේ තේ තහනම අයින් කළා.

මේ දිස්ත‍්‍රික්කයේ තිබෙන තේ ආර්ථිකය ගැන මම දන්නවා. ගොවියන් විිදියට දින කිහිපයකට පෙර තමුන්නාන්සේලා බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා. පොහොර හිඟයක් ඇතිවුණ නිසා. තමුන්නාන්සේලා ආණ්ඩුවට බැන්නා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙොහාර මිළ ඉහළ ගියා කියලා පුද්ගලික අංශය පොහොර ගේන එක නැවැත්තුවා. ඒකෙනුයි පොහොර හිඟය ඇතිවුණේ. තමුන්නාන්සේලායි ආණ්ඩුවයි දෙකම අමාරුවේ වැටුණා. මම ඒ පිළිබඳව තමුන්නාන්සේලගෙන් සමාව ඉල්ලනවා. අපට පොහොර එවන පකිස්ථානයේ අගමැතිතුමාට මා කතා කළා. මම කිව්වා මට මෙහෙම ප‍්‍රශ්නයක් මට පෙහොර මෙට්ටි‍්‍රක් ටොන් 40000 ක් දෙන්න කියලා. එතුමා කිව්වා මම පැය කිහිපයකින් පණිවුඩයක් දෙන්නම් කියලා එහෙ පොහොර තොගවල තත්ත්වය බලලා.
එතුමා මට පහුවදා පණිවුඩයක් එව්වා ඔබ ඉල්ලුවේ පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 40000 යි, මම ඔබට පොහොර මෙටි‍්‍රක් ටොන් 75000 ක් අපි වහාම ලංකාවට නිකුත් කරනවා කිව්වා. මම එහෙමයි ජාත්‍යන්තරය දිනාගෙන තිබෙන්නේ. මම මෑතකදී කටාර් රාජ්‍යයට ගියා. මම නැවත අපේ රටට ගොඩබසින විට එහෙන් ඇමතිවරයෙක් සහ නියෝජිත පිරිසක් එහෙන් ගුවන්යානයට නග්ගලා ඉවරයි ලංකාවට එවන්න. මෙරටට අවශ්‍ය ආයෝජන සහ ආධාර දෙන්න. ඒ අය සමග මට ලිපියක් එවා තිබුණා කටාර් එමීර්වරයා වටිනාකම අච්චරයි මෙච්චරයි නැතිව ඔබ යෝජනා කරන්න ලංකාවේ නගරයක් අපි ඒ නගරය අංග සම්පූර්ණ ලෙස නවීකරණය කර දෙන්නම් අලුත් ගොඩනැගිලි සමග කියලා. මම ඒ සඳහා නගරයක් නම් කර යැව්වා. මම ගිය මාසේ කොරියාවේ සංචාරයකට ගියා. එහි නව ජනාධිපතිවරයා මම වගේ දූෂණයට විරුද්ධ අයෙක් ඔහු ජනාධිපති වී මාස 6 යි. අපි අවබෝධතා ගිවිසුම් රාශියක් අත්සන් කළා දෙරටේ යහපතට. එහි දින දෙකක් සිට මම නැවත ඒමට හදන විට මගේ වාහනය අසල ට පැමිණ මගේ කණට කර එතුමා කිව්වා ඔබට මොනවද හදිසි අවශ්‍යතාවලට අවශ්‍ය වන්නේ. ඕනෑම අවස්ථාවක මට ඇමතුමක් දෙන්න මම ඒ ප‍්‍රශ්නයට උදව් කරන්නම් කියලා. මම මෙහෙමයි ලෝකය දිනාගෙන තිබෙන්නේ.

මම අහනවා මෑත නායකයින්ගෙන් ඔවුන්ට ඒ තත්ත්වය ඇතිකර ගැනීමට පුළුවන් වුණාද. ලෝකය තරහා කරගත්තා මිසක්. තමුන්නාන්සේලා ජීවත්වන නිවස වටේම අය තරහකාරයෝ නම් තමුන්නාන්සේලාට නිදාගන්න පුළුවන්ද. නින්ද යනවාද. ගෙදරින් එළියට බහින්න පුළුවන්ද. ගේ වටේම පොලු අරගෙන කඩු අරගෙන ඉන්නවා නම් බැහැපල්ලා කියලා කිව්වහම තමුන්නාන්සේලාට ගෙදර ඉන්න පුළුවන්ද. එහෙම තමයි මේ රට තිබුණේ 2015 ජනවාරි 8 වෙනකොට.

සංවර්ධනය ගැන කතාකරනවා. සංවර්ධනයේ කළු සුදු ගැන කතාකරන්නවා. මම ඒවා ගැන කතාකරන්න ඕනේ නැහැ. තව ටික දවසකින් ඒවා එළියට එයි. මම ලබන සුමාණේ වෙනකොට මිහින් එයාර් ගුවන් සේවයේත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයෙත් දූෂණ වංචා සොයන්නට අලුත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනවා. එදාට තේරෙයි කවුද සුද්ධෝදනලා කියලා අපේ රට හදන්න බැරි දූෂිත දේශපාලනඥයෝ නිසයි මේ රටට මොනවද අඩු. උගතුන් අඩු ද, බුද්ධිමතුන් අඩු ද. පණ්ඩිතයෝ අඩු ද. ස්වාභාවික සම්පත් වලින් අඩු ද. රට වට කර මහ මුහුද. රටේ සම්පත් පිරිලා. මේ රට උද්‍යානයක්.

බණ්ඩාරනායක මැතිතුමා තමන්ගේ ඇමති මණ්ඩලයේ දෙන්නෙක් එළියට දාලා එදා ගමනක් යන්න හදනකොට තමයි එදා එතුමාට වෙඩි තියලා මරලා දැම්මේ. මම මේ කිසි දේකට බය නැහැ. මම රට හදන්න ඕනෑම අභියෝගයක් බාර ගන්නවා. මොන පක්ෂෙ ද මොන පාට ද මොන තනතුරේ ද කාගෙ ද ඒ කිසිම ප‍්‍රශ්නයක් මට නැහැ. වැරදි, හොරකම්, වංචා, දූෂණ. මහජන මුදල්, මහජන දේපළ ගසා කන ඕනෑම කෙනෙකුට විරුද්ධව ගන්න තියෙන ඉහළම තීන්දු තීරණ අරගෙන නීතිය ක‍්‍රියාත්මක කරනවා කියන එක මම තමුන්නාන්සේලාට කියන්නට කැමතියි.

මේ ප‍්‍රාදේශීය සභා ඡන්දය. 2012-13 මතකද අපේ සභාපතිවරු කරපු දේවල්. ලංකාවේ ප‍්‍රාදේශීය සභා 342 ක් තියෙනවා. අපි තරග කරනවා 339 ක්. ඉතිහාසයේ පළමු වතාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්සත් ජනතා නිදහස් සන්ධානය තරග කරන්නේ. කවදාවත් එච්චර තරග කරලා නැහැ. 2012-2013 පරණ පත්තර ටිකක් හෙව්වානම් සියලු දෙනා නෙවෙයි හිටපු සභාපතිවරුන්ගේ සියයට 50 ක් කරපු කෙරුවාව සඳහන් වෙලා ඇති. ස්ත‍්‍රී දූෂණ, මිනීමැරුම්, මත්කුඩු වෙළෙඳාම, මංකොල්ලකෑම, රාජ්‍ය දේපළ අවභාවිතය, ජනතාවගේ ආණ්ඩුවේ දේපළ මංකොල්ලකෑම, ගැන. මම 2014 ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ මහත්මයාට කිව්වා අපට පාරේ බහින්න බැහැ මේ සභාපතිවරුන් කරන වැඩ නිසා, මාධ්‍යයෙන් ගහනවා. විපක්ෂයෙන් ගහනවා. විශාල ප‍්‍රශ්න රාශියක් ඇතිවෙලා. ජනතාවගෙන් දැඩි විවේචනයන් එනවා. මේ මිනිස්සු ටික ගෙනල්ලා අවවාද කරමු කියලා. මට කිව්වා ගෙන්වන්න කියලා. මම ගෙන්නුවා ජනාධිපති ලේකම් කාර්යාලයට. එදා හිටියේ හිටපු ජනාධිපතිතුමයි මායි විතරයි ඒ රැස්වීමට. සභාපතිවරු එකසිය ගණනක් ආවා. මම විනාඩි 45 ක් දේශනයක් දුන්නා. මම කිව්වා මේ වැඩ කරන්න එපා, පක්ෂය පිරිහෙනවා, ආණ්ඩුව පිරිහෙනවා. ඊළඟ මැතිවරණයකට අපට යන්න බැහැ පරදිනවා. ඒ නිසා වැරදි වැඩ, දූෂිත වැඩ කරන්න එපා. මම පක්ෂයේ විනය හරි ලෙස ක‍්‍රියාත්මක කරනවා. රටේ පොදු නීති ක‍්‍රියාත්මක කරවනවා පොලිස්පතිවරයාට කියලා ආදී ලෙස මම විනාඩි 45 ක් කතා කළා. ඊට පසුව කතාකළේ හිටපු ජනාධිපතිතුමා. එතුමා බොහොම කෙටියෙන් කතාකරලා අවසානයේ කිව්වා ”තමුසෙලා කරන දෙයක් හිමින් කරගන්නවකෝ ඕයි” කියලා.

අර සභාපතිලා මට කුණුහරුපෙන් බැණ බැණ යන්න ගියා. මේ යකාට තමයි අපි ගැන අමාරුව කියලා. අපේ නායකතුමා අපට ඕනෑ දේ කරගන්න කිව්වනේ කියලා. ඉතින් කෙරුවා තමයි. ඒකේ ප‍්‍රතිඵලය තමයි 2015 ජනවාරි 8 වෙනිදා ලැබුණේ. මහින්ද රාජපක්ෂ මහත්මයා පැරුද්දුවේ මම නෙවෙයි. ඔහුව පැරුද්දුවේ එදා හිටපු සභාපතිවරු, සමහර ඇමතිවරු, ඔවුන්ගේ පවුලේ අය විසින් කරන ලද දූෂණ, වංචා සහ බරපතළ වැරදි නිසයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්න සිදුවුණේ.

මොරගහකන්ද ජලාශයේ ජලය මේ මාතලේ කෙත් බිම් තෙත් කරගෙන අනුරාධපුර, පොළොන්නරු, ත‍්‍රිකුණාමලය, වව්නියා, කුරුණෑගල දිස්ත‍්‍රික්ක තෙත් කරන විට ඉදිරි වසරක් එකහමාරක් යනවිට ඉතා පැහැදිලිව ගොවි ජනතාවගේ හොඳ ආර්ථිකයක් ඇතිව ජල හිඟයක් නැතිව යල මහ දෙකන්න කරන්න ඒ මහා ජලාශයේ වතුර ලැබෙනවා. ඒක මම දන්නවා. වසර දෙකක නියඟයක් තිබෙනවා. ලෝකයේ බොහෝ රටවලටත් එහෙමයි. මෑතකදී ප‍්‍රකාශයට පත්කළා ඇමරිකන් ඉතිහාසයේ වැඩිම සීතල දවස වන්නේ මේ එළැඹෙන 26 දා කියලා. මේ වනවිට අධික සීතල හේතුවෙන් ඇමරිකාවේ සිය දෙනෙක්ට අධික පිරිසක් මැරිලා තිබෙනවා. පකිස්ථානයේ වෙළෙඳ ඇමතිතුමා ඊයේ ලංකාවට ආවා. අද උදේ මාව හමුවණා. මම මේ නියඟය ගැන එතුමාට කියද්දී එතුමා කිව්වා පකිස්ථානයේත් මේ තත්ත්වය තියෙනවා කියලා.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියෙන් අනුරාධපුර, පොළොන්නරු, ත‍්‍රිකුණාමලය, වව්නියා, කුරුණෑගල දිස්ත‍්‍රික්කවල වැවි 200 කට වැඩිය ප‍්‍රතිසංස්කරණය මේ වන විට ආරම්භ කර තිබෙනවා. වෑමැඩිල්ල ජලාශයත් එක්ක මෙතනින් හුරුළුවැව. වෑමැඩිල්ලෙන් තමයි කුරුණෑගල, යාපහුවට නියඟය. ඒ පැත්තට පොළොව යටින් උමගයක් කිලෝමීටර් 27 ක් දිගයි. ඒ සියල්ලටම මුදල් හොයාගෙන තියෙන්නේ. මේ දිස්ත‍්‍රික්කයේ එක් පැත්තක තේ වතු ආර්ථිකයක් අනෙක් පැත්තෙන් වී ගොවිතැන, එළවළු, අතිරේක බෝග සඳහා ජල ප‍්‍රශ්නය කෙටි කලකින් විසෙඳනවා.

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වය පිළිබඳව මා කනගාටු වෙනවා. මම ඒ පිළිබඳව කතාකරන්න කැමති නැහැ. ඒ ආර්ථික මධ්‍යස්ථානය භෞතික වශයෙන් ප‍්‍රතිසංස්කරණය කරන්නත් ඕනෑ. ආර්ථික මධ්‍යස්ථානයේ වැඩ කරන ක‍්‍රම අලුත් වැඩපිළිවෙළක් හරහා යන්න ඕනැ. මම ආර්ථික මධ්‍යස්ථානයට අත ගහනවා ළඟදීම මේ කඩා වැටිලා තිබෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන දූෂණ, චංචා, ගසාකෑම් ඒ සියල්ල වෙනස්කරලා ආර්ථික මධ්‍යස්ථානයක් ලබාදීමේ නියම ප‍්‍රතිඵල වන සාධාරණ මිලක් ගොවියාට ලබා ගැනීමත් සාධාරණ මිලක් වෙළෙන්දාටත් සාධාරණ මිලක් පාරිභෝගිකයාටත් ඇති කිරීමේ ක‍්‍රම මම පැහැදිලිව ඇති කරනවා කියලා මම අද කියනවා.

අපි දුර ගමනක් යා යුතුයි. ඒ දුර ගමන ඔබටයි. රටටයි. මේ රටේ ජනතාවටයි. දේශපාලනයේ ගොඩනැගී තිබෙන අසීලාචාරකම නැති කළ යුතුයි. මේ රට විනාශ කෙරුවා. සියලු මානව සම්පත්, භෞතික සම්පත් සහ ස්වාභාවික සම්පත් අනූන වෙච්ච අපේ මාතෘ භූමිය ලෝකයේ අද දියුණු වෙච්ච රටවල් වගේ වෙන්න එකම බාධාව වන්නේ ඇතැම් දේශපාලනඥයින්ගේ තිබෙන දූෂිත ක‍්‍රියාකලාපයයි. දේශපාලනයේ ඉතා හොඳ පිරිසක් ඉන්නවා. මහ මිනිහා වැරදි කරනවිට පොඩි මිනිහාත් වැරදි කරනවා. මම හොරකම් කරනවා නම් මගේ ලේකම් හොරකම් කරනවා. මම හොරකම් කරනවානම් නම් මගේ ඇමතිවරුත් හොරකම් කරනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. මේ රට ගොඩගන්න ගමේ ඉඳලා පිරිසිදු දේශපාලනයට එන පිරිසක් ඉන්න ඕනෑ. මේ අපේක්ෂක මහත්වරු හරියට වැඩේ කෙරුවොත් අනාගතයේ අගමැතිවරු ජනාධිපතිවරු බිහිවෙයි. ඒ වගේම පළවෙනි සැරේ ගිහින් හරියට වැඩේ නොකෙරුවොත් ඊළඟ සැරේ ගෙදර කියලත් මතක තබාගන්න ඕනෑ. බණ්ඩාරනායක අගමැතිතුමා කොළඹ නගර සභාවෙන් ඇවිත් අගමැති වුණා මේ රටේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ලංකා සමසමාජ පක්ෂයෙන් තරගකරලා නගර සභා මැතිවරණයට පසුව රටේ ජනාධිපති වුණා. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා කොළඹ නගර සභාවට තරගකරලා නාගරික මන්ත‍්‍රී වෙලා රටේ ජනාධිපති වුණා.

මම නාගරික මන්ත‍්‍රී වුණෙත් නැහැ. මම විපක්ෂ නායක වුණෙන් නැහැ. අගමැති වුණෙත් නැහැ. ඇමතිකමින් මම ජනාධිපති වුණා. මේ රටේ ජනාධිපති වූ හැම කෙනෙක්ම ඊට පෙර අගමැති හෝ විපක්ෂ නායක වී සිටි අයයි. නමුත් සෞඛ්‍ය ඇමති විදියට, කෘෂිකර්ම ඇමති විදියට, වාරිමාර්ග ඇමති, පරිසර ඇමතිකම් දැරූ කාලය තුළ මම මගේ හෘද සාක්ෂියට එකඟව අවංකව වැඩ කළා. ඒ නිසා මේ රටේ ජනතාවට මම කෙරෙහි විශ්වාසයක් තිබුණා. ඒ නිසයි මාව ජනාධිපති කෙරුවේ. අපිට පිරිසිදු දේශපාලනඥයින් පිරිසක් අවශ්‍යයි. අපට මොන සම්පත් තිබුණත් දේශපාලනඥයින් හිතට අවංක නැත්නම් ඒ ආයතන පිරිහෙනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ හිටපු සභාපතිවරුන්ගෙන් කිහිපදෙනෙක්ට මේ සැරේ තරග කරන්න බැහැ. දූෂිතයෝ කියලා අධිකරණයෙන්ම වැරදිකරුවන් කරලා. පසුගිය ආණ්ඩුවේ හිටපු සභාපතිවරුන්ගේ නම් ලැයිස්තුව අරගෙන බලන්න කී දෙනෙක්ටද මේ සැරේ තරග කරන්න පුඑවන් කියලා. බොහෝ අය අධිකරණයෙන් වැරදිකරුවන් වෙලා.

පක්ෂය පිරිසිදු කරගෙන, හොඳ දේශපාලන ව්‍යාපාරයක් එක්ක, හෘද සාක්ෂියට එකඟව, මිනිසුන්ගේ දුක් හඬට කන්දෙන, රාජ්‍ය දේපළ වත්කම් ආරක්ෂා කරන පිරිසක් ඕනෑ. අද ඉන්නවා සියයට පනහක් විතර හොඳ අය. ඒක අපි සියයට සියය කරන්න ඕනෑ. දෙන්නෙක් ඉන්න තැන එක්කෙනෙක් හොර නම් අනෙක් කෙනා කොච්චර හොඳට හිටියත් වැඩක් නැහැ. ඒ නිසා හොඳ ප‍්‍රාදේශීය සභාවක් හැදීම සඳහා මේ පත්වෙන මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියා කලාප අපි දැඩි ලෙස පක්ෂ විනයට යටත් කරනවා. තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් පත්වෙන මන්ත‍්‍රීවරයා තමුන්නාන්සේලාගේ නියෝජිතයා විතරක් නෙවෙයි ඔහු මගෙත් නියෝජිතයා කියන එක අමතක කරන්න එපා. තමුන්නාන්සේලාගේ ගම්මාන සංවර්ධනය කරන්න අවශ්‍ය සියලු සම්පත් මම දෙනවා. සල්ලි දෙනවා.

අපි පිරිසිදු දේශපාලන ගමනක් යන්න ඕනෑ. ඒ සඳහා තමුන්නාන්සේලාගේ සහය මම ඉතා අගය කරනවා. ඉදිරි මැතිවරණයේ දී බුලත් කොළේ ලකුණට තමුන්නාන්සේලාගේ ඡන්දය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම 29 නැවත මාතලේට එනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වේගයෙන් ජනතාව ගලා එනවා මේ වනවිට. මට පක්ෂයේ සභාපතිකම දීලා පළමු මැයි දිනය අපි හයිඩි පාක් වල තිබ්බා. ගිය අයට මතක ඇති 10000 ක් විතර හිටියා. දෙවෙනි මැයි දිනය ගාල්ලේ තිබුණා. 60000 කට වැඩි පිරිසක් හිටියා. තුන්වන මැයි දිනය මහනුවර තිබ්බා. 80000 කට වැඩි පිරිසක් ආවා. 2015 දී පක්ෂයේ සංවත්සර උළෙ සැප්තැම්බර් 2 වැනිදා පොළොන්නරුවේ පැවැත්වුණා. එදා 10000 ක් විතර හිටියා. මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඇවිල්ලා මා අසල වාඩිවෙලා හිටියා. දැන් කියනවානේ පක්ෂෙ බාරදුන්නේ නැහැ. බලෙන් ගත්තේ කියලා. මට කතාකරලානේ මේක බාරගන්න කිව්වේ. ඊට පස්සේ තිබුණ පළමු පක්ෂ සංවත්සරේටත් ආවනේ පොළොන්නරුවට. ඊට පස්සේ අපේ මැයි දිනය තිබුණේ කුරුණෑගල. මුළු කුරුණෑගල නගරය පිරී ඉතිරි ගියා. පසුගිය මැයි දිනය අපි කැම්බල් පිටියේ තිබ්බා. ගිය අයට මතක ඇති කොච්චර ජනතාව හිටිය ද කියලා. මේ වසර තුනේ මැතිවරණ වලින් පැරදිච්ච පක්ෂය දැන් වේගයෙන් උඩට එනවා. පෙබරවාරි 10 වෙනකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩි ජනතා බලවේගය ඇති පක්ෂය බවට පත්වෙනවා. ඒ දේ සිදුවෙමින් පවතිනවා. සත්‍යය, සාධාරණත්වය ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. ඒ නිසා රටට, ඔබට හොඳ අනාගතයක් ඇතිකරන්න, බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය අදට ගැළපෙන ලෙස ඉදිරියට ගෙනයන්න, මේ රටේ දුප්පත් මිනිසුන්ගේ, පොඩි මිනිසුන්ගේ හඬට කන්දෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න, වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර, පාලන ක‍්‍රමයක් ඇතිකරන්න, අපි සියලු දෙනා එකට එකතුවෙලා වැඩ කරමු. සියලු දෙනාටම ජයවේවා ජයවේවා ජයවේවා.

Share This Post

NEW