මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරු සම්බන්ධ බව ජනපති පවසයි.

මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරු සම්බන්ධ බව ජනපති පවසයි.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නීතිපතිවරයා දන්වා තිබෙනවා – ජනපති

ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනාම සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් මෙම දැවැන්ත පරිසර විනාශය වළක්වාගත යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රිඩාංගණයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව නිතිපතිවරයා විසින් තමා වෙත දන්වා තිබෙන බවයි.

මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැඟෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතැබිය යුතු බව ද කියා සිටියේය.

පසුගිය 29 වනදා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු “රට වෙනුවෙන් එකට සිටිමු” හය වන වැඩසටහන දින 06 ක් පුරා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර තුන් ලක්ෂ විසි පන්දහසකට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සලසමින් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් හාරදහසකට අධික සංඛ්‍යාව වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 123කි.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන මීට පෙර පුත්තලම, මඩකලපුව, අම්පාර, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කෙරුණු අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන පරිදි ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, සාමාජීය, පරිපාලන හා පාරිසරික ගැටලු විසදීමට රජයේ දායකත්වය ලබාදීම වැඩසටහනේ අරමුණයි.

ඒ අනුව, මෙම වැඩසටහන මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ග්‍රාමශක්ති, වකුගඩු රෝග නිවාරණ, ඩෙංගු මර්දන, ආහාර සුරක්ෂිතතා, මත්ද්‍රව්‍ය නිවාරණ, දරුවන් සුරකිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා, පරිසර සංරක්ෂණ, ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ යනාදී වැඩසටහන්වලට අදාළ ප්‍රජා මූල සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදයන් ඔස්සේ ජනතාවගේ ගැටලු විසඳීම සිදු වේ. ඊට අමතරව සියලු රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ වෙනත් ආයතන විසින් ඒ ඒ ක්ෂේත්‍රයන් ඔස්සේ ජනතාවට බලපාන ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත්, මුල්‍ය පහසුකම්, ආයෝජන හා වෙනත් ආධාර පිරිනැමීමටත් වෘත්තීය අවස්ථා විවෘත කර දීමටත් කටයුතු කරනු ලැබේ.

අද දින ද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ද ප්‍රතිලාභ රැසක් බෙදාදීම සිදු වූ අතර “ගම රැකුම” සංවිධාන ලියාපදිංචි සහතික පත් ප්‍රදානය, සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 02 බැගින් වූ චෙක්පත් ප්‍රදානය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිරිය ණය ප්‍රදානය, කෘෂිකර්ම හා ගොවිජන මණ්ඩලයේ ගොවි විශ්‍රාම වැටුප් පොත් ප්‍රදානය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සදහා ණය ප්‍රදානය, “දරුවන් සුරකිමු” වැඩසටහන යටතේ පාසල් උපකරණ කට්ටල ප්‍රදානය, කලායතන වෙනුවෙන් ආධාර පිරිනැමීම, ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය, රණවිරු සේවා අධිකාරිය මගින් පූර්ණ නිවාස ප්‍රතිලාභ ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

“පුනරුදය” පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ “රට වෙනුවෙන් එකට සිටිමු” ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනට සමගාමිව ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ ව්‍යාපෘති 06 ක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලය මගින් ලබාදෙන ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා වෙත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
එමෙන්ම “ස්මාර්ට් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ වගකීම් පැවරීමේ ලිපි ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න, හර්ෂණ රාජකරුණා, චන්දන ජයකොඩි, අජිත් බස්නායක යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් රැසක් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පෞද්ගලික අංශය, ග්‍රාමීය ස්වේච්ඡා සංවිධාන, මහජන සුබසාධන ආයතන නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Share This Post

NEW