මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (01) පෙරවරුවේ විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය යටතේ මුදල් කොමිෂන් සභාව 1987 වර්ෂයේ දී ස්ථාපිත කරන ලදී.

1988 දී ආරම්භ වී වසර තිහක වැනි කාලසීමාවක් තුළ මුදල් කොමිෂන් සභාවේ කාර්යාලය විවිධ ස්ථානවලට මාරු වීම හමුවේ ආයතනයේ ක්‍රියාකාරිත්වයට මෙන් ම ආයතනයේ කාර්යමණ්ඩලයට ද නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු විය.

මෙම දුෂ්කරතා හඳුනා ගනිමින් 2016 වසරේ දී මුදල් කොමිෂන් සභාව සඳහා නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් ආරම්භ කෙරුණු අතර ඉන් පසුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රාජගිරිය, සරණ මාවත අංක 03 දරණ ස්ථානයේ මෙම නව සය මහල් ගොඩනැගිල්ල ඉදිකර අවසන් කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

කථානායක කරූ ජයසුරිය මහතා ද පළාත් ආණ්ඩුකාරවරුන් ද කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරන් ද මුදල් කොමිෂන් සභාවේ සභාපති යූ.එච්. පලිහක්කාර මහතා ඇතුළු කොමිසමේ සමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටිය.

මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනධිපතිතුමා කළ කතාව – 2019-02-01 

මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. සභාපතිතුමනි මම මේ ගොඩනැගිල්ලේ උඩට එනකොට මට හිතුනේ සිරීපාදෙ යනවද කියලා. පඩිපෙළ හදලා තියෙන එක හොඳයි. ඇඟේ ලෙඩ එහෙම තියෙනවා නම් දවස ගානේ උඩට පහළට යනකොට ඒ ලෙඩ අඩුවෙනවා. එහෙම තමයි හදන්න ඕනෑ. රජයේ සේවකයෝ ගොඩක් ඉන්නවා හරියට බෙහෙත් ගන්නේ නැති. ඒ නිසා මේ පඩිපෙළ ඒ වැඩේ  නිකම්ම කරලා දෙනවා. මම හිතනවා මේ වගේ අනෙක් ගොඩනැගිලිත් හැදෙන්න ඕනෑ කියලා. ලිෆ්ට් එක අයින් කරලා පඩිපෙළ දාන්න ඕනෑ. කම්මැලියන්ට තමයි විදුලි සෝපානය තියෙන්නේ. මම සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන විදුලි සෝපානය කවදාවත් භාවිතා කරලා නැහැ. පඩි පෙළේ තමයි ගියේ.

පළාත් සභා හා මුදල් කොමිෂන් සභාව අතරේ තිබෙන්නේ ඉතාම සමීප සම්බන්ධතාවයක්. ගහට පොත්ත වගේ පොත්තට ගස වගේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙන් උපත ලැබූ පළාත් සභාවලට උප්පැන්න දුන්නේ පළාත් සභා පනතයි. දැන් වසර 30 කට වැඩි වෙලා තියෙනවා. මේ වසර 30 කට වැඩි කාලසීමාව තුළ පළාත් සභා රටේ සංවර්ධනයට පුළුල් කැපවීමක් කර තිබෙනවා. ඒ වගේම පළාත් සභාවලට විෂයන් බෙදීමේදී බලය බෙදීමේදී වෙන් කර තිබෙන විෂයන්, සමගාමී ලැයිස්තු, රජයට සහ පළාත් සභාව අතරේ තිබිය යුතු සම්බන්ධතාවය තුළ උසස් සේවාවක් ඉටුවී තිබෙනවා. පහුගිය දවසක මුදල් කොමිෂන් සභාවේ සමහර ලිපි ගනුදෙනු කරන විට මම දැක්කා එක ලිපියක් සෙන්ට්‍රල් ගවන්මන්ට් සහ ප්‍රොවින්ශල් ගවන්මන්ට් කියලා සඳහන් වෙලා තිබුණා. මම දන්න විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෙන්ට්‍රල් ගවන්මන්ට් කියලා වචනයක් ඇත්තෙත් නැහැ ප්‍රොවින්ශල් ගවන්මන්ට් කියලා වචනයක් ඇත්තෙත් නැහැ. හැබැයි මම දැක්කා එහෙම ලිපි ගනුදෙනු වෙනවා මේ ආයතනයේ.

මම ඒ අවස්ථාවේම මගේ ලේකම්තුමාට කිව්වා මුදල් කොමිෂන් සභාවේ සභාපතිතුමාට කියන්න මෙන්න මේක වැරදියි කියලා. මේ රටේ තිබෙන්නේ රජයේ සහ පළාත් සභා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තිබෙන්නේ. ඒක අපි පිළිගන්න ඕනෑ. සමහර අය කැමති වෙන්න පුළුවන්. සමහර අය අකමැති වෙන්න පුළුවන්. ඉතින් පසුගිය වසර 30 කට වැඩි කාලය තුළ පළාත් සභාවල කාර්යභාරය පිළිබඳ අපේ රටට අලුත් අත්දැකීමක් වූ 80 දශකයේ අග භාගයේ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක්. එතකොට පළාත් සභා ක්‍රමය බලය බෙදීම තුළ මේ දී තිබෙන බලතල ආයතනික ව්‍යුහය, සිටින රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව ආදී මේවාත් එක්ක පළාත් සභා ක්‍රමය කොතෙක් දුරට සාර්ථක වී තිබෙනවාද කියන අධ්‍යයනයක් මා හිතන විදියට කිසිම ආණ්ඩුවක් කරලා නැහැ. කිසිඳු පසුවිපරමක් කරලා නැහැ. මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලෙත් ඇමතිවරයෙක් විදියට මට අයිති නැති වැඩක් වුවත් මම කැබිනට් මණ්ඩලයට යෝජනා කළා පළාත් සභා ආරම්භයේ සිට මේ දක්වා මේ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න. වාර්තාවක් ගන්න කොතෙක් දුරට සාර්ථක ද කොතෙක් දුරට අසාර්ථක ද. අඩුපාඩු, දුර්වලතා මොනවාද, ශක්තිමක් කළ යුත්තේ මොනවාද. පනතේ සංශෝධන මොනවාද. තව දෙන්න පුළුවන් සම්පත් සහ බලය මොනවද. මේ වෙනකම් කිසිම ආණ්ඩුවක් ඒ දේ කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලෙත් මම ඇමතිවරයෙක් විදියට ඔය යෝජනාව කළා. හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත්කළා. හැබැයි ඒ කමිටුව එක දවසක්වත් රැස්වුණේ නැති බව මම දන්නවා. මම ජනාධිපති වෙලා මේක මට අයිති විෂය ක්ෂේත්‍රයක් නෙවෙයි 2015 ම මම කිව්වා පළාත් සභාවල පසු කාලසීමාවල සාර්ථක අසාර්ථක භාවයන් පිළිබඳ කමිටුවක් පත්කරලා වාර්තාවක් අරගෙන පළාත් සභා ශක්තිමත් කරන්න අපි වැඩපිළිවෙළක් කරමුයි කියලා. මම හිතන්නේ ඒකත් ක්‍රියාත්මක වුණේ නැහැ.

රේඛීය අමාත්‍යාංශවල තිබෙන එෆ්.ආර්.ඒ.ආර්. මූල්‍ය කළමනාකරණය ගැන තිබෙන දේවල් මම හිතන්නේ පළාත් සභාවලට නැහැයි කියලයි. මොකද මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අඛණ්ඩව පාර්ලිමේන්තුවේ සිටි කාලය තුළ අපිට විමධ්‍යගත මුදලින් වෙන් කරන මුදල්වලින් පැහැදිලි චක්‍රලේඛ තිබෙනවා මෙන්න මේ මේ දේවල් තමයි කළ යුතු කියලා. හැබැයි වංගෙඩි, මෝල්ගස්, ටකරං, ප්ලාස්ටික් පුටු, සෙල්ලම් බඩු බෙදන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත මුදල්වලින් බැහැ. මම දන්නේ නැහැ මහ ඇමතිතුමා දැනුත් එහෙම බෙදනවා ද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන පිළිබඳ එක චක්‍රලේඛයකුයි පළාත් සභාවලට තව එකකුයි දෙකකුයි වෙන්න බැහැ. වංචාව, දූෂණය, අක්‍රමිකතාවය ගැන කියන කොට අපේ පරිපාලන ව්‍යුහයේ කළමනාකරණයේ අදාළ චක්‍රලේඛ හා නීති රීතිවලත් අඩුපාඩු රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි ඒවා කරන්නේ. රහසක් නෙවෙයිනේ. පළාත් සභාවල මහඇමතිවරු ඇමතිවරු වසරකට දෙන බඩු භාණ්ඩ ඔක්කොම ගබඩාවල එකතු කරනවා. වසර 4 ක 5 ක ඒවා එකතු කර කර ගබඩාවල දාලා වහනවා. ඡන්දෙ වෙලාවට බෙදනවා. මේක හොඳටම දන්නේ අපේ මැතිවරණ කොමසාරිස්තුමා. එතකොට නිකම්ම ඡන්දෙ ඉල්ලන්න ආපු අපේක්ෂකයින්ට මොනවත් නැහැ. ඇයි ඉතින් අනෙක් අය දිගට හරහට දෙනවනේ.

ඉතින් අපි විනය ගැන කතා කරනවා, හොරකම, වංචාව, දූෂණය ගැන කතා කරනවා. 65 ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිතුමා අයි.එම්.ආර්. ඊරියගොල්ල මහතායි. ඒ කාලේ අපි පාසල් යනවා. එතුමා ඒ කාලේ සින්දුවක් හදලා එව්වා පාසලේ ළමයින්ට කියන්න. ඒක තමයි ලෝකෙන් උතුම් රට ලංකාවයි … ලංකාවයි සිරි ලංකාවයි… කියලා. කතානායකතුමා දැන් පාසල් ළමයින්ට අපි සින්දුවක් හදලා දෙන්න ඕනෑ. ලෝකෙන් ලොකුම හොරු ලංකාවෙයි.. ලංකාවෙයි සිරි ලංකාවෙයි කියලා. මේක තමයි ඇත්ත කතාව. අපි වංචා, හොරකම්, දූෂණ ගැන කතා කරනවා. හැබැයි මේවාට අවශ්‍ය තීන්දු තීරණ අවංකව අරගෙන ක්‍රියාත්මක කරන්නේ කවුද. විගණකාධිපතිතුමාගේ වාර්ෂික වාර්තාව අමාත්‍යාංශවලට දෙපාර්තමේන්තුවලට එනවා. ඒ වාර්තාවේ අවසාන නිර්දේශ කී දෙනෙක් ක්‍රියාත්මක කරනවාද. එතුමාගෙන් ඇහුවොත් කියයි. ඒ ගැන ඇමතිවරයාගේත් කිසිම වගකීමක් නැහැ. සමහර ඇමතිවරු විගණකාධිපතිතුමාගේ වාර්තාව කියවන්නෙත් නැතුව ඇති. එතකොට ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා අඩුම තරමේ විගණකාධිපති වාර්තාව කියවලා ඒ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනෑ. මොන අමාත්‍යාංශයේ ද මොන දෙපාර්තමේන්තුවේ ද එහෙම කෙරෙන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මූල්‍ය කළමනාකරණය හා විනය ගැන කියනකොට විගණකාධිපති වාර්තාවේ තිබෙන නිර්දේශ යෝජනා ඒ වාර්තාව බාරදීමෙන් පසුව සිටින ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ ලේකම්වරයා අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ ඇමතිවරයාට ද දඬුවම් දිය යුතුයි. ඒ සදහා පාර්ලිමේන්තුවෙන් නීති සම්පාදනය කළ යුතුයි

කතානායකතුමා කිව්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන. ශ්‍රී ලන්කන් ගුවන් සේවය බංකොළොත් වෙන්න කරුණු ගණනාවක් තියෙනවා. ඒ කරුණු ගණනාවක් ඇතුළේ තිබෙන එක කාරණයක් තමයි විශාල අතිරික්ත සේවක සංඛ්‍යාව. සේවකයෝ ඉන්නවා හත් අට දාහක්. සෑම රාජ්‍ය ආයතනයකම සේවක බඳවාගැනීමේ ක්‍රමවේදයන්, නීතිරීති තියෙනවා, කාඩර් එකක් තියෙනවා. හැබැයි ඒකෙන් පිට බඳවා ගන්නවානම් කිසිම ඇමතිවරයෙක්ට, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට, දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට අද වෙනකම් දඬුවමක් දීලා නැහැ. කොහෙද එහෙම දඬුවමක් දීලා තියෙන්නේ. ඒ කරන්න තියෙන දේවල් කරනවා. සේවකයින් ආයතනයක ඉන්න පුළුවන් 500 කියලා තියෙනවා නම් ඇමතිවරයෙක් යනකොට යනවා ඒක 700 ක් කරලා. කොහෙද මූල්‍ය කළමනාකරණය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉන්නවා. මහ බැංකු අධිපතිතුමා ඉන්නවා. මේ සියලු දෙනා මේ රට ගොඩගන්න තියෙන අභියෝග තේරුම්ගත යුතු වෙනවා. මූල්‍ය කළමනාකරණය ගැන කියනවිට මේ රටේ මුදල් නාස්තිය සිදුකරන අධික ධනය විනාශ කරන ආයතන මොනවාද කියලා මට මෙතන කියන්න පුළුවන්. හැබැයි මම කියන්නේ නැහැ. කිව්වොත් මට විරුද්ධව හෙට ස්ට්‍රයික් කරන්න පාරට බහිනවා කියයි. විගණකාධිපතිතුමා විශ්‍රාම ගිය දවසකත් ඕක කියයි නැතිනම් ඔබතුමාටත් ස්ට්‍රයික් එකක් එනවා. මමත් හිතාගෙන ඉන්නේ විශ්‍රාම ගිය දවසක මම කියනවා අර ආයතන තමයි මුදල් විනාශ කරන්නේ, දුප්පත්කම වැඩි කෙරුවේ, රටේ අගහිඟකම් වැඩි වුණේ, භාණ්ඩාගාර බංකොළොත් වුණේ මෙන්න මේ දෙපාර්තමේන්තු, ආයතන නිසා කියලා මමත් ඉදිරියේ දවසක කියනවා. දැන් කිව්වොත් මට ප්‍රශ්නයක්. ඒක තමයි මේ රටේ තත්ත්වය.

එහෙනම් මූල්‍ය විනයට මේ රටේ කොහෙද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කොහොමද රට හැදෙන්නේ. මේ රට ගොඩගන්න බැරි ප්‍රධාන ප්‍රශ්නය දූෂණය, වංචාව, හොරකම, නාස්තිය. රාජ්‍ය ආදායම සියයට 50 ක් එන්නේ නෑනේ. රාජ්‍ය ආදායම ඒ සියයට 50 ට වෙන්නේ මොකද කියලා තමුන්නාන්සේලා දන්නවා. වාර්ෂික අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට අයවැය පරතරය පියවගන්න ක්‍රමය ගැන ඔක්කොම කියන්නේ අරකෙන් ගන්නවා. මේකෙන් ගන්නවා. දේශීය බැංකුවලින් ගන්නවා කියලා කඩදාසිවලින් හදලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා. පසුගිය වසර 20 ක් ගත්විට අයවැය පරතරය පියවගන්න ගෙනාපු යෝජනා කීයක් ක්‍රියාත්මක වෙලා තියෙනවාද. ගිය වසරේ තිබූ හිඟය මේ වසරටත් එනවා. ඉතින් දිගින් දිගට ගිහින් මේක ගිලා බහිනකම් දන්නේ නැහැ.

මුදල් කොමිසමේ සභාපතිතුමා කිව්වා සිංගප්පූරු රජය ගැන. මීට සති දෙකකට පෙර මම සිංගප්පූරුවේ ගිය වෙලාවේ තැන් තැන්වලට ගියා. එහිදී රාජ්‍ය නායකයින් වගේම නිලධාරී මහත්වරුන් ද මුණගැහුණා. ඒ රටේ පුරවැසියන් සමග ද පොඩි පොඩි සාකච්ඡාවන් දානව හොරෙන් යන ගමන් ඒ හොඳ පැත්ත වගේම මොනවද නරක පැත්ත කියලා අහගන්න. දැන් සිංගප්පූරුව බොහොම දියුණුයි. ඇත්ත. සිංගප්පූරුව අද මුහුණ දී තිබෙන අලුත්ම තත්ත්වය කුමක්ද. අද ප්‍රශ්නේ තමයි ඉදිකරලා තිබෙන ගොඩනැගිලි නඩත්තු කරගන්න බැරි ප්‍රශ්නය. අති විශාල ගොඩනැගිලි. මම ගියේ පරිසර සමුළුවකට. ඒක හිතන්න බැරි මහා විශාල ශාලාවක්. ඒකේ කෙළවරක් කොහෙද දන්නේ නැහැ. මම ඇතුළට ගියේ සිංගප්පූරු අගමැතිතුමත් එක්ක එකටමයි. මම එතුමාට කිව්වා මේක ලොකු ශාලාවක් නේද. මේකේ කෙළවරක් පේන්න නෑනේ කියලා. ඒ එක්කම මම නිකන් තොරතුරු කතාබහ කරන කොට දැනගත්තා ඒවා නඩත්තු කිරීම ගැන අද සිංගප්පුරු ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. මේ සංවර්ධනයත් එක්ක මුහුණ දෙන අලුත් ප්‍රශ්න. මම මේක රැස්වීමකදීත් කිව්වා සිංගප්පූරුවේ තිබෙන්නේ ආණ්ඩුවක් නෙවෙයි රාජ්‍ය සමාගමක්. පෞද්ගලික සමාගමක ස්වරූපය ගන්න. අපේ රටේ වන විනාශය ගැන ඔබ දන්නවා. සිංගප්පූරුවේ සෑම ගහකටම ලිපි ගොනුවක් තියෙනවා. දැන් ලිපි ගොනු නෑනේ පරිගණකයනේ තියෙන්නේ. සිංගප්පූරුවේ තිබෙන සෑම ගහක් ගැනම පරිගණකයේ තියෙනවා. අත්තක් කැපුවානම් ඒ ගැන කොම්පියුටර් එකේ තියෙනවා. ඒ අදාළ තැන්වලින් අවසර අරගෙන වාර්තා කරන්න ඕනෑ මේ අත්ත කැපුවා. මේ රිකිල්ල කැපුවා. මේ ගහ දැන් දිරලා නිසා අයින් කරන්න ඕනෑ. ඒ හැම ගහක් ගැනම වාර්තාවක් තියෙනවා පරිගණකයේ.

ඊයේ මම චිත්‍රපටයක මුහුරත් උලෙළකට ගියා. මහාචාර්යවරයෙකුගේ දේශනයක් තිබුණා. එතුමා කතා කරන ගමන් කිව්වා වල් අලි, වල් කැලෑවන්, වල්නාශක කියලා දේවල් තියෙනවා. නමුත් ඒ එකක්වත් වල් නැහැ. වල් මිනිස්සු තමයි ඉන්නේ කියලා. මම නෙවෙයි ආචාර්ය රණසිංහ මහත්මයා විශ්වවිද්‍යාලේ කිව්වේ. ඒ නිසා අනෙක් ඔක්කොම වල් වෙලා කිව්වා. ඇත්ත නේන්නම්. අපි කොච්චර වල් ද කියලා අපි දැනගන්න ඕනෑ.

අද මා සතුටුවෙනවා මෙහි නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ලැබීම ගැන. සභාපතිතුමා ඇතුළු කොමසාරිස්තුමාලා ඉතාමත් හොඳින් වැඩකරනවා. කතානායකතුමා කිව්වා වගේ අනෙක් ස්වාධීන කොමිෂන් සභා සියල්ලටම ස්ථීර ගොඩනැගිලි අවශ්‍යයි. ඒවා වෙනස්වෙන කොමිෂන් සභා නෙවෙයි. ඒ නිසා ඒවාට අවශ්‍ය මානව හා භෞතික සම්පත් දීලා ඒ සියලු කොමිෂන් සභා ශක්තිමත් කරන්න ඕනෑ. නව ගොඩනැගිල්ලත් එක්ක මෙහි තිබෙන අලංකාරය වගේම පළාත් සභා සහ ඉන් බාහිර වූ අනෙකුත් මූල්‍ය කළමනාකරණය හා මූල්‍ය විනයේ දී රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය ලබේවායි සුබ පතමින් මගේ කතාව අවසන් කරනවා.

ස්තූතියි.

Share This Post

NEW