මුල්ලේරියාව, මණ්ඩාවිල Lake Crest Residencies මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට 

මුල්ලේරියාව, මණ්ඩාවිල Lake Crest Residencies මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට 

පැහැදිලි ජාතික සැලැස්මකට අනුව කි‍්‍රයාවට නංවන ලද නිවාස ප‍්‍රතිපත්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සෑම පවුලකටම මූලික පහසුකම් සහිත සුරක්ෂිත නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් කර ගැනීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මුල්ලේරියාව, මණ්ඩාවිල ප‍්‍රදේශයේ ඉදි කළ Lake Crest Residencies මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය අද (12) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන්, නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සැලසුම් හා මූල්‍ය දායකත්වය යටතේ ඉදිකරන ලද මෙම මහල් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතය.

රටේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව හා අර්ධ නාගරික ප‍්‍රදේශවල රජයේ හා පෞද්ගලික අංශයෙහි සේවය කරනු ලබන, එහෙත් තම රැකියා ප‍්‍රදේශය ආශ‍්‍රිතව නේවාසික පහසුකම් ලබා ගැනීමට පිරිවැයක් දැරීමට හැකියාවක් නොපවතින වෘත්තිකයින්, පරිපාලන නිලධාරින්, මාධ්‍යවේදින්, තාක්ෂණ අංශයේ නිලධාරින් වැනි විවිධ තනතුරු දරන සේවකයින් මෙම ව්‍යාපෘතියෙහි ඉලක්කගත කණ්ඩායම් වේ. නිවාස ලබා ගැනීම සඳහා බැංකු ණය පහසුකම් ද සලසා තිබීම විශේෂත්වයකි.

අක්කර පහක භූමිභාගයක් පුරා පැතිර පවතින නිවාස සංකීර්ණය මහල් 05 කින් සමන්විත අතර නවීන පහසුකම්වලින් මෙන්ම පානීය ජලය, විදුලිය, පුළුල් මංමාවත් සහ අපිරිසිදු ජලය පිරිපහදුකර පරිසරයට මුදා හැරීමේ ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් ද සමන්විත ය.

වර්ග අඩි 442කින් යුත් එක් නිවසක් නිදන කාමර 02 ක්, විසිත්ත කාමරයක්, සනීපාරක්ෂක පහසුකම් සහිත නාන කාමරයක්, මුළුතැන්ගෙය සහ සඳළුතලයකින් සමන්විතය.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර නිවාස සංකීර්ණය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා සංකේතාත්මකව එහි එක් නිවසක් විවෘත කිරීමට ද එක් විය.

අනතුරුව නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

ඉන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමේ ප‍්‍රතිපත්තියේ පැවති දුර්වලතාවයන් හේතුවෙන් සහ එම නිදහස වැරදි අන්දමින් භාවිතයට ගැනීම හේතුවෙන් ඉඩම් පිළිබඳ ගැටලු රැසක් රට තුළ මතු වූ බවයි.

වැඩිවන ජනගහනයට සාපේක්ෂව භූමිය වර්ධනය නොවන අතර ජාතික ආහාර නිෂ්පාදනය ඇතුළු කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉඩම් ප‍්‍රමාණය සේම, වන ඝනත්වය ද ආරක්ෂා කර ගනිමින් ගොඩනැගිලි සහ නිවාස ඉදිකිරීමේ දී දීප ව්‍යාප්ත වශයෙන් පැහැදිලි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිවැරදි රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තුළ සැලසුම් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් ඉකුත් වසර තුන හමාර තුළ වත්මන් රජය ජයග‍්‍රහණ රැසක් අත්කරගත් බවයි. මෙතෙක් කල් විසඳුම් ලබාගැනීමට නොහැකි වූ ගැටලු රැසකට ද ඒ තුළින් විසඳුම් ලබාගත හැකිවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ සිට අහිමි වූ ජාත්‍යන්තර සහය නැවත දිනා ගැනීම දක්වා වූ ජයග‍්‍රහණ එහිදී උදාකරගත හැකි වූ බව ද සඳහන් කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර්, කොළොන්නාව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මුල්ලේරියාව, මණ්ඩාවිල ප‍්‍රදේශයේ ඉදිකළ Lake Crest Residencies මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2018.09.12

මුල්ලේරියාව, මණ්ඩාවිල ප‍්‍රදේශයේ ඉදිකළ Lake Crest Residencies මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ නිවසක හිමිකම උරුමකම ලැබෙන අවස්ථාවක, ඔබ හමුවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

1970, 1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ කාලයේ පීටර් කෙනමන් අමාත්‍යතුමා කොළඹ නගරය මුල් කරගෙන මෙරට මුල් ම නිවාස වැඩපිළිවෙළ ආරම්භ කළා. ඉන්පසුව හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා 1965, 1970 කාලවල නිවාස ඇමතිවරයාව සිටියදීත්, ජනාධිපතිව සිටියදීත් මේ රටේ නිවාස සංවර්ධනයේ පුළුල් පරිවර්තනයක් සිදුකළා. අපේ රජය යටතේ ගරු චම්පික රණවක ඇමතිතුමාගේ නායකත්වය සහ මඟපෙන්වීම ඇතිව කොළඹ නගරය ප‍්‍රමුඛව නාගරික ප‍්‍රදේශවල නිවාස යෝජනා ක‍්‍රම රාශියක් ආරම්භ කරලා තිබෙනවා. ඉන් සමහරක වැඩ අවසන් කරලා හිමිකම් භාර දීලා තිබෙනවා. පසුගිය අවුරුදු එකහාමරක දෙකක කාලය තුළ කොළඹ දිස්ත‍්‍රික්කය තුළ ම මෙවැනි නිවාස භාරදීම්, ප‍්‍රධාන උත්සව වැඩසටහන් රාශියකට මම සහභාගි වුණා.

අපේ රටේ පැහැදිලි ජාතික නිවාස ඉදිකිරීමේ ප‍්‍රතිපත්ති නොතිබූ යුගයක් අවසන් කරමින් නිවාස ඉදිකිරීමේ ජාතික ප‍්‍රතිපත්තිමය සැලසුම් ක‍්‍රියාත්මක වන කාලයක් විදියටයි මේ යුගය අපි දකින්නේ. වැඩි වන ජනගහන වර්ධනයත් සමග තිබෙන භූමි ප‍්‍රමාණය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත්. ආහාර නිෂ්පාදනයට, පරිසර සංරක්ෂණයට, රාජ්‍ය හා පොදු ගොඩනැගිලිවලට, පෞද්ගලික නිවාසවලට අපේ භූමියේ තිබෙන සුළු ඉඩම් ප‍්‍රමාණය එහි සීමාවන් කොහෙද කියන එක අපි තවමත් තේරුම් අරගෙන නැහැ. අපේ රටේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳව ප‍්‍රතිපත්ති තිබුණත්, බොහෝ අය තවමත් ඒවා පිළිගන්න ලෑස්ති නැහැ. ගොඩනැගිලි ඉදිකිරීම් ප‍්‍රතිපත්තියේ තිබෙන දුර්වලතාවයන් නිසා වැඩි වන ජනගහනය සමග ඕනෑම තැනක, ඕනෑම ගොඩනැගිල්ලක් හෝ නිවසක් හදාගෙන ඉන්න තිබෙන නිදහස වැරදි විදියට පාවිච්චි කිරීමේ ප‍්‍රතිඵලයක් විදියට ඉඩම් ප‍්‍රමාණය වේගයෙන් අඩු වෙනවා. වැඩිවන ජනගහන වර්ධන වේගයට රටේ ඉඩම් වැඩි වෙන්නේ නැහැ. නිෂ්පාදන ක‍්‍රියාවලියට, කෘෂිකර්මාන්තයට, රටේ ජනගහනයට අවශ්‍ය ආහාර සඳහාත් ඉඩම් වෙන් කිරීම ඉතාම අත්‍යවශ්‍යය යි.

කොළඹ නගරයේ පමණක් නොවෙයි ගාල්ල, රත්නපුරය මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය වැනි ඈත ප‍්‍රදේශවලත් ඉදිකිරීම් පිළිබඳව ප‍්‍රතිපත්තිමය තීරණ ක‍්‍රියාත්මක කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. කොළඹින් ඈත ප‍්‍රදේශවලත් යම් ඉඩම් ප‍්‍රමාණයක් වෙන් කරගෙන නිවාස සහ අනිකුත් ගොඩනැගිලි ඉදිකිරීමේ ප‍්‍රතිපත්තියෙන් බැහැර වෙන්න අපට සිද්ධ වෙලා තිබෙනවා. වැඩි වන ජනගහන වේගයට ඉඩම් ප‍්‍රමාණය වැඩි නොවීම පමණක් නොව ඉඩම් ප‍්‍රමාණය එන්න එන්න සීමා වීම එයට හේතුවයි. ඒ නිසා කොළඹින් පිට ප‍්‍රදේශවලත් නිවාස හිගය වැළැක්වීම සඳහා තට්ටු නිවාස ක‍්‍රමය ඉතා අත්‍යවශ්‍ය වෙනවා.
අපේ වන ගණත්වය මේ වන විට භූමියෙන් 28‍% වගේ ප‍්‍රමාණයක් තිබෙන්නේ. වාර්ෂිකව තිබෙන වන ගණත්වයෙන් 1.5% ක් පමණ සෑම වර්ෂයකම අඩු වෙනවා. වසර 10 ක් පමණ යන විට රටේ වන ගණත්වය සියයට 16 ක් 17 ක් වගේ ප‍්‍රමාණයකට පහත බහිනවා. තව අවුරුදු 25 කින් මේ තත්ත්වය වෙනස් වී රටම කාන්තාරයක් බවට පත් වෙන්න පුළුවන්. එවිට මැදපෙරදිග රටකුයි අපේ රටෙයි වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. වනාන්තරය පිළිබඳව අපේ සංඛ්‍යා ලේඛන තොරතුරුවලට අනුව වනාන්තර වේගයෙන් විනාශ වෙනවා. ඒ නිසා පරිසර සංරක්ෂණය ඉතාමත් වැදගත්. භූමියේ වටිනාකම් ඉතාමත් වැදගත්. ගොඩනැගිලි හැදීමේ ප‍්‍රතිපත්තිය ඉතාමත් වැදගත්. නිවාස ඉදිකිරීමේ ප‍්‍රතිපත්තිය ඉතාමත් වැදගත්. ඒ තුළයි අපි කටයුතු කිරීම අවශ්‍ය වන්නේ.

රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේදී වර්තමාන ආණ්ඩුව විදියට අපි ලබා ගත් ජයග‍්‍රහණ රාශියක් තිබෙනවා. ඒ ජයග‍්‍රහණ අතරේ විසඳුණේ නැති ප‍්‍රශ්න අපි විසඳලා තිබෙනවා. ඇමතිතුමත් මන්ත‍්‍රීතුමත් කොළොන්නාව කුණු කන්ද පිළිබඳව කතා කළා. අප කුණු කඳු කීපයකටම යට වෙලා ඒ කුණු කඳුවලින් ඔළුව උස්සපු ආණ්ඩුවක්. අපේ ආණ්ඩුව බලයට එනවිට තිබුණු ප‍්‍රධානම කුණු කන්ද තමයි ජාත්‍යන්තර කුණු කන්දෙන් රට බේර ගන්න එක. ජාත්‍යන්තර සංවිධාන අපෙන් ඈත් වෙලා හිටියේ. ලෝකයේ ප‍්‍රබල රටවල් අපෙන් ඈත් වෙලා හිටියේ. අපිට ආධාර දෙන, මුදල් දෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ජයිකා, ජපන් ජාත්‍යන්තර බැංකුව, කොරියන් කොයිකා බැංකුව වගේම මේ රටේ මුස්ලිම් ජනතාවට ඇති වුණු හිරිහැර නිසා සවුදි කුවෙට් අරමුදල් සියල්ල නැවතිලා තිබුණේ. අපි ඒ සියල්ල දැන් නිවැරදි කරගෙන තිබෙන නිසා ඒ සම්පත් ලබාගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. අපි ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර හොඳහිත දිනාගෙන තිබෙනවා. ලෝකයේ කිසිම අන්තර්ජාතික සංවිධානයක් හෝ ලෝකයේ කිසිම රාජ්‍යයක් අපේ සතුරන් විදියට නැහැ. සෑම කෙනෙක්ම අපිට උදව් කරනවා. අපි බියට පත් වෙලා තිබුණු අපේ සංවර්ධනයට ප‍්‍රශ්නයක් වෙලා තිබුණු ජාත්‍යන්තර මිත‍්‍රත්වය ගොඩනගාගැනීමෙන් ජාත්‍යන්තර වශයෙන් අපට තිබුණු බරපතළ කුණු කන්දක් අප අයින් කරගෙන තිබෙනවා. කොළොන්නාව කුණු කන්ද අපි හදපු එකක් නොවෙයි. ජාත්‍යන්තර කුණු කන්දත් අපි හදපු එකක් නෙවෙයි. අපේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති නිසා අපිට ඒකෙන් පිරිසිදු වෙන්න පුළුවන්කම ලැබුණා. රටක් විදියට අපිට විවේචන තිබෙනවා. නොයෙකුත් ආකාරයෙන් නින්දා අපහාස කරනවා. නමුත් අපි රටක් විදියට ජයග‍්‍රාහී ගමනක් යනවා. කොළොන්නාව කුණු කන්ද අපේ ඇඟේ තමයි වැටුණේ. අවසානයේ විවේචන, නින්දා අපහාස ජීවිත හානි සමග ඒ බරපතළ ඛේදවාචකයේ වගකීම රජයක් විදියට අප මත පැටවුණා. සයිටම් සිද්ධිය ගත්තහම සයිටම් කුණුකන්ද අපි නෙවෙයි හැදුවේ. නමුත් ඒකත් අපේ ඇඟේ ආවා. අපිට පුළුවන් වුණා ඒ ප‍්‍රශ්නයත් විසඳන්න. මේ විදියට අර්බුද බවට පත්වෙලා තිබුණු ඒ ප‍්‍රධාන ප‍්‍රශ්න අපි විසඳලා තිබෙනවා. ආණ්ඩුවක් විදියට අපි කරපු දේවල්, කරන දේවල් පිළිබඳව කතා කරන්න මම බලාපොරොත්තු වන්නේ නැහැ.

මේ නිවාස යෝජනා ක‍්‍රමයට අක්කර පහක භූමිය රෝහල් භූමියෙන් වෙන් කරලා දුන්නේ මම සෞඛ්‍ය ඇමතිවරයා විදියට කටයුතු කළ කාළේ කියන එක මේ අවස්ථාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. එදා සෞඛ්‍ය ඇමතිවරයා විදියට මේ ඉඩම වෙන් කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ගරු චම්පික රණවක ඇමතිතුමත් ඒවගේම නාගරික සංවර්ධන අධිකාරිය, එතුමාගේ අමාත්‍යාංශය, කාර්යමණ්ඩල මේ කටයුතුවලදි දක්වන දැඩි උනන්දුව උද්යෝගය පිළිබඳව සතුටට පත්වෙනවා. එතුමා මෙම කටයුතුවලට ලබා දෙන නායකත්වය, ජාතික සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා එතුමාගේ තිබෙන කැපවීම මා ඉතාමත් අගය කරනවා. උගත්, පරිණත ඇමතිවරයෙක් විදියට එතුමාගේ අත්දැකීම් පාවිච්චි කරමින් ඒ අමාත්‍යාංශයේ කටයුතු ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. මරික්කාර් මන්ත‍්‍රීතුමා, සෝලංගාරච්චි මහතා මේ ප‍්‍රදේශයේ ජනතාවගේ දෛනික ප‍්‍රශ්න, ජීවන ප‍්‍රශ්න වගේම සමාජීය හා අනිකුත් ප‍්‍රශ්නවලදි විශාල කැපවීමකින් කටයුතු කරන බව අපි දන්නවා. රාජ්‍ය සේවකයින්, අර්ධ රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශය, මධ්‍යම පන්තිකයින් මේ නිවාස යෝජනා ක‍්‍රමයේ ප‍්‍රතිඵල භුක්ති විඳිනවා. නිවාස 500 ක් කිව්වහම මේක යෝධ නිවාස ව්‍යාපෘතියක්. අපේ යුගයේදි මෙවැනි ව්‍යාපෘතියක් ඔබට උරුම කරදෙන්න ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා.

ඇමතිතුමා ප‍්‍රමුඛව මේ සඳහා ඇප කැපවූ සියලු දෙනාටම මගේ ස්තූතිය සහ ගෞරවය පිරිනමන අතර, මේ නිවාස ලබා ගන්න ඔබ සෑම කෙනෙකුටම භාග්‍යවන්ත වූත් පින්වන්ත වූත් අනාගතයක් සඳහා සියලු ආකාරයෙන්ම ආශිර්වාදය පළ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තූතියි. තෙරුවන් සරණයි!

Share This Post

NEW