මෛත්‍රීගේ අවුරුදු පැතුම හා දේශපාලන සංක්‍රාන්තිය !

මෛත්‍රීගේ අවුරුදු පැතුම හා දේශපාලන සංක්‍රාන්තිය !

සුමේධ ජයබාහු

                        දස දෙස නැඟෙන අවුරුදු සිරියේ             මහිම

                        ඇස ඇස දකින බක්මහ නැකතේ            උරුම

                        සකිසඳ සතුරු බලමුළු නැඟුණත්       කොහොම

                        අතිරස කැවුම් හතරැස් වී නැහැ                තවම!

                                   

මේ අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළඳපොළ යාන්ත්‍රණයට යටවී නැතැයි කිසිවකුට හෝ කිව හැකිද? ජනාධිපතිවරයා යෝජනා කරන පරිදි ස්වභාවධර්මයේ ම දරුවන් වන අපි ඒ උදාර සංස්කෘතික සාරධර්මයට බාධා නොකෙළෙමු ද?

මෛත්‍රී ජනාධිපතිවරයා අපට ආරාධනා කරන්නේ ස්වභාවධර්මයේම දරුවන් වන්නට ය. මේ ආරාධනය ඇතැම් විටෙක නූතනවාදීන්ගේ සරදමට ලක් විය හැකිය. ‘එව, කව, බොව, නටව’ යනුවෙන් ජන මනස සකසන ඒ සඳහා ම සොබාදහමට සතුරුකම් කරන අය ‘මෙන්න යළිත් රට ගල් යුගයට ඇද ගෙන යනවෝ’යි මොර දෙන්නට ද බැරි නැත.

අද වටිනාම දේ ධනයයි. ධනය නැතහොත් මුදල යනු ජනතාවගේ කැමැත්ත ලබාගැනීමේ මාර්ගය බවට ද පත්ව තිබේ. ශාස්ත්‍රඥානය, ප්‍රඥාව, සීලය යනාදී සියල්ල මුදලට යටවී තිබේ. අල්පශ්‍රැතයන්ගේ පුරසාරම් දසත ගලා යමින් තිබේ. වෙළදපොළ යනු ඒ හැමදෙයක් ම තීරණය කරන කේන්ද්‍රයයි.

මෛත්‍රී ජනාධිපතිවරයා සිය අවුරුදු පණිවිඩය අවසන් කර ඇත්තේ මේ අලුත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසෙමුයි හෘදයංගම ආයාචනයක් ද කරමින් ය.

මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය හුදු ශ්‍රී ලාංකික ජනතාවට කරන ලද සුබ පැතුමකට වඩා අද්‍යතන ශ්‍රී ලාංකික සමාජ හා සංස්කෘතික පරිහානිය පිළිබඳ ගැඹුරු එහෙත් සංක්ෂිප්ත විශ්ලේෂණයක් වැන්න. මගේ සංස්කෘතික ධාරණා පුබුදු කරවීමට ද එය හේතු විය. අලුත් අවුරුද්ද සිංහල බෞද්ධ හා දෙමළ හින්දු ජන සංස්කෘතික ආධ්‍යාත්මයේ ප්‍රබල ප්‍රකාශනයක් පමණක් නොව පොදු ජාතික සංස්කෘතික උළෙලක් බවට පත්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ ජාතික සංස්කෘතික උළෙල පිළිබඳ නූතන යථාර්ථය කුමක්ද? මෛත්‍රී ජනාධිපතිවරයාගේ අවුරුදු පණිවිඩයෙන් අවධාරණය කරන්නේ ඒ සමාජ ගැටලුව බව නිසැක ය. මේ ජනාධිපතිවරයාගේ එක් අවධාරණයකි.

“අලුත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළඳපොල යන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැති ව ඇති කලෙක එහි ගැඹුරු හරය තේරුම් ගැනීම පිණිස මෙවර අපගේ අවධානය යොමු විය යුතුය. ස්වභාව ධර්මයේ ම දරුවන් වන අපි එය අපට බැහැරින් ඇති යමක් ලෙස සලකා ඊට අවහිර කෙළෙමු. දැන් අප එළැඹ සිටිනුයේ සොබාදහම සමඟ ඒකාත්මික වීමේ අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන මොහොතක් වෙත ය.”

සත්තකින් ම මේ අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළඳපොළ යාන්ත්‍රණයට යටවී නැතැයි කිසිවකුට හෝ කිව හැකිද? ජනාධිපතිවරයා යෝජනා කරන පරිදි ස්වභාවධර්මයේ ම දරුවන් වන අපි ඒ උදාර සංස්කෘතික සාරධර්මයට බාධා නොකෙළෙමු ද? ඇතැම් විට මෙයට දෙන පිළිතුරු විවිධ විය හැකිය. නූතන පරිභෝගිකවාදී සමාජ ආකල්ප විසින් පදම් කරන ලද මනසක් සහිත අයට නම් අලුත් අවුරුද්දේ විශේෂත්වයක් තිබිය නොහැකිය. එය හිරු මුල්කරගත් උත්සවයක් නැතහොත් සූර්ය මංගල්ලයක් ලෙස පමණක් හැඳින්වීමට ද බැරි නැත. එය සිංහල දෙමළ ජන කොටස් වල ආගමික විශ්වාස මත පදනම් වූවක් ලෙස අර්ථකථනය කිරීමට ද බැරි නැත. නැතහොත් සිංහල බෞද්ධ හා දෙමළ හින්දුන්ට සුවිශේෂ වූ උත්සවයකැයි කිව හැකිය. එහෙත් එය එබඳු සීමාවක් තුළ කොටු කළ හැකිද? අපි පළමුවෙන් ම එය විමසා බලමු.

ලාංකික ශිෂ්ටාචාරයේ අක් මුල් සොයා ගිය ඉතිහාසඥයන් විසින් පොදුවේ එකඟ වන එක් දෙයක් නම් මෙරටේ භූගෝලීය වශයෙන් වෙනස් කම් තිබුණත් ජන ජීවිතය කෘෂිකර්මය සමඟ බැදී තිබුණ බව ය. ප්‍රාග් ‍ඵෙතිහාසික පර්යේෂණ වලින් ද තහවුරු වී ඇත්තේ මිනිස් ජනාවාස ඉතා පැරණි බවත්, අපගේ ශිෂ්ටාචාරය ගොවිතැන මත පදනම් ව තිබුණු බවත් ය. විජය ප්‍රමුඛ පිරිස මෙරටට ගොඩ බට අවස්ථාවේදී පවා කුවණ්ණාවගේ ගබඩාවල ඒ පිරිසට ප්‍රමාණවත් සහල් තිබුණු බව ද ඉතිහාසයේ සඳහන් ව තිබේ. එසේම පණ්ඩුකාභය රජුගේ අග මෙහෙසිය වූ ස්වර්ණපාලි යුවතිය රජුට හමු වී ඇත්තේ සිය පියාණන්ගේ කුඹුරට ඇඹුල හෙවත් ආහාර ගෙන යද්දී බව ද කියති. අප මේ කරුණු දෙක පමණක් සඳහන් කළේ අපේ ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට ම කෘෂිකර්මය හා වාරි තාක්ෂණය දියුණුව තිබුණු බව පෙන්වා දීමට ය. ඒ කෘෂි ජීවන රටාවේ සංස්කෘතික උළෙල අලුත් අවුරුද්ද බව පෙන්වා දීමට ය.

මෛත්‍රී ජනාධිපතිවරයා නිසැකයෙන් ම මේ ශිෂ්ටාචාරයේ හා සංස්කෘතියේ සැබෑ උරුමක්කාරයෙකි. ගොවි නායකයකුගේ පුතකු පමණක් නොව කෙත හඳුනන ජනනායකයකු ලෙස ඔහුට අද ඒ සංස්කෘතික ප්‍රවාහය වසා ගෙන ගලා යන පාරිභෝගික ගංවතුර දෙස බලා සිටිය හැකිද? පරාක්‍රම සමුදුර පිස හමා ආ සුළඟින් නිවී ගිය සිත කය ඇති එමෙන්ම වෙල් නියරක ඉපනැල්ලක දෙපයින් ඇවිද ගිය සංස්කෘතික විඥානයකින් හෙබි අයෙකු ලෙස මේ නුතනවාදී පාරිභෝගික රටාව ඔහුගේ කම්පනයට හේතු වේ නම් එය අතිශයින් ම ස්වභාවික ය. එනිසා ඔහු අපට මතක් කර දෙන්නේ තමන් ද අයත් ඒ සාර සම්ප්‍රදායේ ආශ්වාදජනක මතක සටහන් බව මගේ අදහස ය. පරිභොජනවාදී යන්ත්‍ර බවට පත් වූ පුද්ගලයන් බහුල සමාජයකට ඒ සංස්කෘතික සාරධර්ම ගැඹුරින් වටහා ගත හැකිද? යන ප්‍රශ්නය ජනාධිපතිවරයා ඉතා වියත් ලෙස අප අබියස නඟයි.

මෛත්‍රී ජනාධිපතිවරයා අපට ආරාධනා කරන්නේ ස්වභාවධර්මයේම දරුවන් වන්නට ය. මේ ආරාධනය ඇතැම් විටෙක නූතන වාදීන්ගේ සරදමට ලක් විය හැකිය. ‘එව, කව, බොව, නටව’ යනුවෙන් ජන මනස සකසන ඒ සඳහා ම සොබාදහමට සතුරුකම් කරන අය ‘මෙන්න යළිත් රට ගල් යුගයට ඇද ගෙන යනවෝ’යි මොර දෙන්නට ද බැරි නැත. අපි ඔවුනට එකක් කියන්නෙමු. මේ සමාජය පල් වලක් වනු දැකීමට අපිදු රිසි නොවෙමු. අපට අලුත් දැනුම, අලුත් ලෝකයට පිවිසෙන දොරටු විවර විය යුතුය. එහෙත් අපට තිබෙන ගැටලුව ඒ වෙනුවෙන් අපගේ සාරධර්ම දිය කර හැරීම ය. මුදල් මුල් කරගත් සමාජයක වටිනාකම් හා සාරධර්ම ඉතිරි විය හැකිද? කපටිකම, දූෂණය, රැවටීම ආදී නුගුණ සමඟ සමාජයේ ඉහළින්ම වැජඹෙන පුද්ගලයෝ අද සිටිති. මේ බොහෝ දෙනෙකුට ජනාධිපතිවරයාගේ ස්වදේශිකත්වය, සංස්කෘතික වටිනාකම, ආගමික ගෞරවය නොවටිනා දේවල් විය හැකිය. එහෙත් මෛත්‍රී දේශපාලන දැක්ම මේ මහපොළව සොබාදහම හා ගහකොළ සමඟ බැඳුණක් බව ඔවුහු අමතක කරති.

ජාතිකත්වය හා සංස්කෘතික වටිනාකම් පිළිබඳ අපගේ මතකය සුපෝෂණය වූයේ බෞද්ධ සංස්කෘතියෙන් බව අපි සෘජු ව ම පවසන්නෙමු. සියවස් කීපයක් මුළුල්ලේ අප මැඬගෙන සිටි පෘතුගිසි, ලන්දේසී, ඉංග්‍රිසි යන පාලකයන් ගෙන් අපගේ සංස්කෘතියට බරපතලම විනාශය සිදු වූයේ ඉංග්‍රිසීන් ගෙන් බව සමහර විද්වත්හු පිළිගනිති. පෘතුගීසි නම් වචන හා නැටුම්, බයිලා අපට ලැබුණි; ලන්දේසීන්ගෙන් ද එබඳු දේ හිමි විය. එහෙත් ඉංග්‍රිසීන්ගෙන් අපට වු බලපෑම සුළුපටු නැත. අපේ අධ්‍යාපනය, සිරිත් විරිත්, භාෂාව ඇතුළු නොයෙක් දේවල් ඉංග්‍රිසීන්ගෙන් ලැබුණු බව නොරහසකි. ක්‍රිකට් ක්‍රීඩාව ද ඔවුන් අපට දුන් තෑග්ගකි. බමුණු කුලය යනු ඒ ඉංග්‍රිසි ආධිපත්‍යයේ දාසයන් ගෙන් සමන්විත පන්තියකි. ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා විසින් බිඳ දමන ලද්දේත් එ් බමුණු කුලය බව ප්‍රකට අදහසකි. ඉංග්‍රිසි ආධිපත්‍යයට යට වුවද ඉන්දියාව එයින් නන්නත්තාර වූයේ නැත. ඉංග්‍රිසීන්ට වඩා උසස් සංස්කෘතියක් තමන්ට තිබෙන බව භාරතීය මහා පුරුෂයෝ අවධාරණය කළහ. මහත්මා ගාන්ධිතුමන් සඳහන් කළේ සිව්දෙසින් හමන සුළඟට ජනෙල් හැර තබමු. එහෙත් එයට අපේ දේවල් ගසා ගෙනයෑමට ඉඩ නොදෙමු කියා ය. එසේම ඉංග්‍රීසීන්ගේ උපහාසයට ලක් වූ ‘සතිපූජාව’ වැනි චාරිත්‍ර ද භාරත සමාජයේ විය. හින්දු සංස්කෘතික වටිනාකම් පිළිබඳ මතභේද පවා ඇති විය. එහෙත් ලාංකික සමාජය ඊට වඩා වෙනස් ය. එහි පදනම වූයේ බෞද්ධ සංස්කෘතික වටිනාකම් ය. අලුත් අවුරුද්දේ ද ආගමික හා සාමුහික වටිනාකම් අඩංගු වී තිබේ.

අද වටිනාම දේ ධනයයි. ධනය නැතහොත් මුදල යනු ජනතාවගේ කැමැත්ත ලබාගැනීමේ මාර්ගය බවට ද පත්ව තිබේ. ශාස්ත්‍රඥානය, ප්‍රඥාව, සීලය යනාදී සියල්ල මුදලට යටවී තිබේ. අල්පශ්‍රැතයන්ගේ පුරසාරම් දසත ගලා යමින් තිබේ. වෙළදපොළ යනු ඒ හැමදෙයක් ම තීරණය කරන කේන්ද්‍රයයි. මත්ද්‍රව්‍ය අලෙවිය ඒ සමාජ විපතෙහි අංක එක බවට පත්ව තිබේ. එයට වඩාත් ගොදුරු වන්නේ නිර්ධනීන් ය. මෛත්‍රී ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ ප්‍රබල මෙහෙයුමක් දියත් කර ඒ සමාජ විපතට එරෙහිව ජනතාව පෙළ ගස්වමින් ද සිටියි. ‘බක්මහ දිවුරුම’ සඳහා අලුත් අවුරුද්දට කලින් රට ම එකතු කර ගන්නේ ද ඒ යහපත් සිතිවිලි නිසා ම ය.

අද සමහරුන් යෝජනා කරන සංවර්ධනය, වෙළඳපොළ හා බටහිර ප්‍රචලිත ආකල්ප සමග බැඳුණු ඒවා ය. ඒවා අපේ සංස්කෘතික උරුම සමඟ බොහෝ විට ගැටෙයි. සාක්කුව පිරවීම පමණක් සාර්ථක ජීවිතයකට ප්‍රමාණවත් නොවේ. නිදහස කිසිදු සීමාවකට යටත් කළ නොහැකි බව අද සමහරුන්ගේ අදහස ය. කලාකරුවාට තහංචි නොදැමිය යුතු යැයි ඝෝෂාවක් ද ඇසෙයි. එහෙත් සංස්කෘතික හරයන්ට ජාතික උරුමයන්ට ගැරහීමට ඉඩ දිය හැකිද යන ප්‍රශ්නය ද මතු කරන අය සිටිති. පැරණි ආගමික නටබුන් උඩ ඡායාරූප ගන්නා අය මෙන්ම උඩරට සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී දළඳා මාළිගාව අසල විසූක දර්ශන රූපගත කිරීම නිදහස ලෙස අර්ථ කථනය කරන්නෝ පමණක් නොව ඒවා අනුමත කරන්නෝද සිටිති. මෙබඳු විකෘති මානසිකත්වයකට ඉඩදීම ‘නිදහස’ ලෙස හැඳින්විය හැකිද?

සැබැවින්ම ඒ ‘නිදහස’ සමඟ අපට නම් එකඟ විය නොහැකිය. අප දකින්නේ එය ඊට වඩා වෙනස් ශිෂ්ට සම්පන්න මානව හිමිකමක් ලෙස ය. ජනාධිපතිවරයාගේ අවුරුදු පණිවිඩයෙහි සඳහන් පරිභෝජනවාදය ඒ හැම නූතනවාදියෙක් ම මැනවැයි පිළිගත්තකි. කෑම බීම, ඇදීම, සුඛ විහරණය සැලසීම ඔවුන්ගේ සමාජ දැක්ම වී තිබේ. රටේ ආර්ථිකය මෙහෙයවීමේදී ඇති කර ගනු ලබන ගිවිසුම් ආදියෙන් ද අපේක්ෂා කරන්නේ පරිභෝජනවාදයකි. චිරාගත සංස්කෘතික වටිනාකම් නැති බටහිර රටවල සංකල්පය වු වැලන්ටයින් දිනය මුහුණු පොත් මඟින් මිතුරු මිතුරියන් හඳුන්වා ගැනීමෙන් පසු පැවැත්වෙන රහසිගත සාද අද සමාජයට අනතුරක් වී තිබේ. ඒ සාදවල හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය මූලික අංගයක් වී තිබේ.

මේවා නවීනත්වය හෝ දියුණුව ලෙස සමහරු දකිති. ජනමාධ්‍ය වලද අඩු වැඩි වශයෙන් තරඟකාරී වෙළඳ පොරයක් දැක ගත හැකිය. සමෘද්ධිමත් යුගයක් පිළිබඳ කෙබඳු ආර්ථික සිහින නිර්මාණය කළත් මේ තාවකාලික මැවීම් වලින් රටට යහපතක් සිදු නොවේ. මැද පෙරදිග රටවල කඹුරමින් ද, වධ හිංසා විඳිමින් ද මේ රටට විදේශ විනිමය ලබා දෙන කාන්තාවන් ගැනවත් අපට ළතෙක් බවක් තිබේද? අද දේශීය කාර්මාන්තවල හෝ නිෂ්පාදන වල අගය කුමක්ද? පිටරටින් ගෙන්වා ජන ජීවිත සුඛිත මුදිත කළ හැකි යයි සිතන ආර්ථික විදවත්හු ද සිටිති. විදේශ ණය දෙන ආයතනවල කොන්දේසි රටට හානිදායක යැයි ඝෝෂා කළත් ඒ හඬ මැඬීම පාලකයන්ගේ ව්‍යයාමය වී තිබේ. සහන ආර්ථිකය අත්හිටුවීමට මෙන්ම අධික බදු පැනවීමට ද අද බොහෝ විට උත්සාහ කරන බවට චෝදනා නැඟෙයි.

මෛත්‍රී ජනාධිපතිවරයා සිය අවුරුදු පණිවිඩය අවසන් කර ඇත්තේ මේ අලුත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසෙමුයි හෘදයංගම ආයාචනයක් ද කරමින් ය. මේ ආණ්ඩුව පිළිබඳ ව ජනාධිපතිවරයාට ද යම් යම් විවේචන තිබේ. අප ඉහත දැක්වු බොහෝ දේ සමඟ එකඟ වන සුළු පිරිසක් හෝ ආණ්ඩුවේ ද සිටිය හැකි වෙති. මේ ආණ්ඩුව කෙරෙහි ජනතාවට කළකිරීමට හේතු වුයේ ද ආණ්ඩුව මෙහෙය වු සුළු කණ්ඩායමක් නිසා බවද ඔවුහු තේරුම් ගත යුතු වෙති. දූෂණය, නාස්තිය, වංචාව දුරලීමට ජනතාව විසින් තෝරා ගන්නා ලද මහජන නියෝජිතයන්ට ඒ කාර්යයට වඩා වැදගත් පෞද්ගලික න්‍යාය පත්‍ර නොවී නම් මේ අර්බුද කිසිවක් මතු නොවන බව ද පෙන්වා දිය යුතුය.

කෙසේ හෝ එ.ජා.පෙ. ආණ්ඩුව හා මෛත්‍රී ජනාධිපතිවරයා අතර අද දේශපාලන නෑ සබඳකම් ගොඩ නඟා ගත නොහැකි බව අපට පෙනන සත්‍යයි. ආණ්ඩුවේ සිටින සමහරු තවමත් තම අහංකාර මානසිකත්වයෙන් මිදී නොසිටිති. කුමක් වුවත් අලුත් අවුරුද්දෙන් පසුව උදා වන්නේ දේශපාලන සංක්‍රාන්ති සමයක් බව නම් පැහැදිලි ය. මෛත්‍රී ජනාධිපතිවරයාගේ අපේක්ෂාව එයින් මිදී, රටත් මුදා ගැනීම බව ඔහුගේ දේශපාලන චර්යාවෙන් පැහැදිලි ය.

අද ඔහු දේශපාලනයේ විනය හා පවිත්‍රත්වය උදෙසා කැප වී සිටියි. ජාතික සංස්කෘතික අභිලාෂයන් ඉටු කිරීමට නොයෙක් පියවර ගනිමින් සිටියි. කුටුම්බය හෙවත් පවුල සුරක්ෂිත වූ මාතෘත්වය ගරු කරන සමාජයක් ඔහුගේ අරමුණ ය. මත් කුඩු වලින් වැනසී ගිය පවුල එක්කර, අඩුම තරමින් පියා හවසට සිහි බුද්ධියෙන් ගෙදරට එන දවසක් නිර්මාණය කිරීමේ වැදගත්කම මෛත්‍රී ජනාධිපතිවරයා තේරුම් ගෙන සිටියි. පක්ෂය තුළ මෙන්ම රට තුළ ද ඔහු අලුත් නායකයකු ලෙස නැඟී සිටියි. සැබැවින්ම දේශීයත්වය අගයන, ජාතික සංස්කෘතික වටිනාකම් වලට ගරු කරන රාජ්‍ය නායකයකු රටකට සිටීම මොන අතින් බැලුවත් භාග්‍යයක් වැන්න. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ගනු ලබන ඇතැම් පියවර දෙස සමහරුන් බලන්නේ ඉතා පටු ආකල්ප වලින් බවද කිව යුතුය. ජනාධිපතිවයා ආණ්ඩුව සමඟ යමින් විපක්ෂයට අවශ්‍ය දේ කරන බව ආණ්ඩුවේ ම සමහරුන්ගේ චෝදනාවකි. එසේම මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා ජනාධිපතිවරයා සහභාගිත්වය දරණ ශ්‍රි ල.නි.ප.ය පසු බසින බවට තවත් චෝදනාවක් විපක්ෂයේ සමහරු නඟති. එහෙත් මේ විවේචන දේශපාලනික ව බලන විට නම් ඒවා පදනම් විරහිත බව ද පෙනේ.

මේ වසරේ පළමුවෙන් ම එළැඹෙන්නේ ජනාධිපතිවරණයක් බවට තිබුණු අදහස ද දැන් වෙනස් වෙමින් තිබෙන බව පෙනේ. දේශපාලන අනාවැකි මෙන්ම දේශපාලන පේන කීමට ද අපට නොහැකිය. එහෙත් අපට පෙනෙන ආකාරයට නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී රටට අවශ්‍ය ජයග්‍රහණය කුමක්ද යන්න පිළිබඳ ව ප්‍රබුද්ධ සංවාදයක් මෙන්ම ජාතික, සංස්කෘතික හරයන්ගෙන් පිරිපුන් දේශපාලන වශයෙන්ද පරිණත නායකයකු ද අවශ්‍ය ය. දූෂණ, භීෂණ චෝදනා එල්ල නොවූ දේශීයත්වය හා ජාතිකත්වය අගයන නායකයකුට රට බාර කිරීමට ඒ ජනාධිපතිවරණය ජනතාව විසින් යොදා ගනු ලබන බවද නිසැක ය. මේ වන විට ආණ්ඩු පක්ෂය තුළ මෙන්ම, පොදු ජන පෙරමුණේ ද ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ නිරවුල් අදහසක් නැත. ශ්‍රී ල.නි.ප.ය තුළ නම් ඒ පිළිබඳ ඒකමතික යෝජනාව පක්ෂයේ සභාපති වන මෛත්‍රී ජනාධිපතිවරයා බව ද ප්‍රකාශ වී තිබේ. මෛත්‍රී – මහින්ද සුසංයෝගය ගැන බටහිර බලවේග මෙන්ම මෙරටේ ජාතිකත්වයට එරෙහි බලවේග ද කලබල වී සිටින ආකාරය ද අපට පෙනේ.

2015 දී මහින්ද පැරදවූ බලවේග අපේක්ෂා කළ යහපාලනයක් මේ රටේ ස්ථාපිත නොවු බවද කවුරුත් දනිති. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක වූයේද මහින්ද පාර්ශ්වයෙන් ලැබුණු සහාය නිසා බව ද සඳහන් කළ යුතුය. රාජපක්ෂ යුගයේ දූෂණ භීෂණ ඝාතන ඇතුළු බොහෝ දේවල් වේදිකාවල රැව් දුන් ප්‍රලාප වලට වඩා ඉදිරියට ගොස් තිබේද යන්නත් විමසා බැලීම වටී. ඒ කුමක් වුවත් මහින්ද සාධකය මෙ රටේ දේශපාලන ගමනට අවශ්‍ය බව ජනතාවගේ තීරණයකි. මහින්ද හා මෛත්‍රී යනු එකම දේශපාලන ධාරාවකින් ප්‍රාණය ලද්දෝය. මහින්ද එයින් ඉවත් කර ගොඩ නැඟූ දේශපාලන බලවේගය පොහොට්ටුව බව සැබෑ ය. එහෙත් පොහොට්ටුව යනු ශ්‍රී ල.නි.ප.යෙන් ම උපන්නකි. එසේ වුවද පොහොට්ටුව තුළ ශ්‍රී ල.නි.ප. විරෝධයක විෂබීජ වැඩෙන බව ද පෙනේ. අද රටට අවශ්‍ය දේශපාලන තීරණය වන්නේ මෛත්‍රී – මහින්ද සුසංයෝගයක් බව දේශපාලන විචාරකයන්ට වඩා පොදු ජනතාව අන්තර්ඥානයෙන් වටහා ගෙන සිටියි. මහින්ද කළ යුත්තේද අලුතින් සිතීම හා නිවැරදිව දැකීම ය. එ.ජා.පෙරමුණ ද දේශපාලනික වශයෙන් තහවුරු වීමට අවශ්‍ය නම් ස්වදේශිකත්වයට හා සංස්කෘතික වටිනාකම් වලට ගරු කරන පක්ෂයක් ලෙස වර්ධනය විය යුතුය. මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය කරන්නේ දෙමළ සන්ධානය බව ආර්. සම්පන්දන් මහතා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණි. ඔහු අමුතුවෙන් නොකීවාත් යථාර්ථය එයයි.

මේ අනුව අලුත් අවුරුද්දෙන් පසු උදාවිය හැක්කේ දේශපාලන සංක්‍රාන්තියකි. මෛත්‍රී ජනාධිපතිවරයාගේ අවුරුදු පැතුම ඒ දේශපාලන සංක්‍රාන්තිය නිමවා උදාවන පුණ්‍ය කාලය පිළිබඳ නැකැත් සීට්ටුවක් වැන්න. අලුතින් දේශපාලන වැඩ ඇල්ලීමට පරණ අවුරුද්දේ දේශපාලන ගින්දර නිවා දැමීමද රට ගැන හිතන නායකයන්ගේ වගකීම බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.

සිළුමිණ; සුමේධ ජයබාහු

Share This Post

NEW