රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි.

රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි.

රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිතුමා අද දවසේ ඉටුකිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු බව අවධාරණය කරයි.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරුණු සංවර්ධන කාර්යයන් රැසක් ජනතා අයිතියට පවරාදීම සහ ප්‍රතිලාභ බෙදාදීම අද (01) දිනය පුරා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර පොළොන්නරුව මහ රෝහලේ විවෘත කිරීම් රැසකින් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රට වශයෙන් ඉටුකළ කාර්යභාරයට ප්‍රමුඛත්වය ලබාදුන්නා සේම පොළොන්නරුවට සංවර්ධනයේ සාධාරණයක් ඉටුකිරිමට තමා ගත් වෙහෙස අද මල් ඵල ගැන්වී තිබෙන බවයි.

පොළොන්නරුව සංවර්ධනයට තමාට සියලුදෙනාගෙන් ලැබුණු සහය රට වශයෙන්ම ගෙන ගිය වැඩපිළිවෙළට ද හිමිවූවානම් අද රට ද පුළුල් වෙනසකට ලක්ව තිබෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සමඟ රට සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂ වැඩකොටසක් තම පස් වසරක ධූර කාලය තුළ ඉටු කිරීමට හැකි වුව ද තමා රටත් ජනතාවත් වෙනුවෙන් තැබූ අපේක්ෂාවන්ගේ සහ අධිෂ්ඨානයන්ගේ අවසානය කරා ළගාවීමට බොහෝ බාධාවන් මතු වූ බව ද කියා සිටියේය.

තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පොළොන්නරුව නගරයේ ඉදිවූ සියලු පහසුකම් සහිත නිල නිවාස සංකීර්ණය අද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

රුපියල් මිලියන 97කට අධික වියදමක් දරමින් ඉදිකෙරුණු පොළොන්නරුව නව පොලිස් අධිකාරි කාර්යාලය ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හසිනි වාසනා සෙව්වන්දි දැරියගේ “මණ්කඩ රූ රටා 2019” සිතුවම් දැක්ම හා ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයට අනතුරුව ජනාධිපතිතුමා සහභාගී විය.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හසිනි වාසනා සෙව්වන්දි දැරියට නව නිවසක් ලබාදීමට ද ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර ඊට උපහාර දක්වමින් මෙම උලෙළ සංවිධානය කර තිබුණු අතර එම දැරිය විසින් රචනා කරන ලද චිත්‍ර කතා පොත් 12ක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

සමස්ථ ලංකා බර එසවීමේ ශූරතාවය දිනාගත් විද්‍යාලයේ දරුවන්ට ත්‍යාග සහ සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

විදුහල්පති රවීලාල් විජේවංශ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොළොන්නරුව සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකය සඳහා ඉදිකෙරුණු අංග සම්පූර්ණ පන්ති කාමර ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක්විය. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 7.9 කි.

රුපියල් මිලියන 63ක වියදමින් ඉදිකෙරුණු කදුරුවෙල සිව් මහල් තැපැල් සංකීර්ණ ගොඩනැඟිල්ල ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

පොළොන්නරුව මහ රෝහලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණේ ඉන් අනතුරුවයි.

ඒ අනුව පොළොන්නරුව මහ රෝහලේ නව අක්ෂි සායන ගෙඩනැඟිල්ල, ක්‍රීඩා වෛද්‍ය හා ශරිර සුවතා මධ්‍යස්ථානය, විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය, ඇඳන් 120කින් සමන්විත නව ශල්‍ය වාට්ටු සංකීර්ණය, ඇඳන් 120කින් යුත් නව වාට්ටු සංකීර්ණය, හදිසි අනතුරු ප්‍රතිකාර සංකීර්ණය,මෙන්ම අධ්‍යක්ෂ/ නියෝජ්‍ය අධ්‍යක්ෂ/ විශේෂඥ වෛද්‍ය නිල නිවාස විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

බාහිර රෝගී අංශයේ රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා එම පද්ධතියේ ලියාපදිංචි කිරීම සහ පළමු සෞඛ්‍ය තොරතුරු අංකන කාඞ්පත ජනාධිපතිතුමා වෙත නිකුත් කිරීම ද සිදු කෙරිණි.

එමෙන්ම සත්කාරක සේවා පිළිබඳ රෝගී තෘප්තිමත්භාවය මැනීම සඳහා වන Digital Customer Satisfaction සමීක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම ද සිදු වූ අතර පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පරිපාලන තොරතුරු හුවමාරුව විවෘත කිරීම සහ පුස්තකාල ස්වයංක්‍රීය පද්ධතිය දියත් කිරීමත්, රෝහල් සෞඛ්‍ය තොරතුරු පද්ධතිය E channeling සේවාවට සම්බන්ධ කිරීමත් සිදු කෙරිණි.

ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිළදාරින් පිරිසක් ජනාධිපතිතුමා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

පොළොන්නරුව මහ රෝහලේ විවෘත කිරීම් රැසකින් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-11-01

මම ඉතාමත් සතුටු වෙනවා පොළොන්නරුව මහ රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් රාශියක් ජනතා අයිතියට පත්කරන මේ අවස්ථාවේ ඔබ හමුවීමට ලැබීම පිළිබඳව. පොළොන්නරු නගරයේ ඉදිකිරීම් රාශියක් අපි විවෘත කළා. දිසා ලේකම් කාර්යාලය, පොළොන්නරු දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 25ක් එක ගොඩනැගිල්ලක තිබෙන පරිපාලන සංකීර්ණය, රාජ්‍ය සේවකයින් සඳහා තට්ටු නිවාස යෝජනා ක්‍රම අද විවෘත කළා. අද සවස් වරුවෙත් විවෘත කිරීම් රාශියක් තිබෙනවා.
පහුගිය මාසේ ඉඳලා මම කාලය යොමු කරලා තියෙන්නේ පොළොන්නරුවේ ආරම්භ කරපු වැඩ අවසන් කරන්න. විවෘත කරන්න. මේ රටේ වර්තමාන සෞඛ්‍ය සේවයේ අධිතාක්ෂණය සමග බද්ධ වූ ඩිජිටල්කරණය, පරිගණක විද්‍යාව සමග පැයෙන් පැය, දවසින් දවස සෞඛ්‍ය සේවයත් වෙනස් වෙනවා. නව පර්යේෂණ සහ නව සොයා ගැනීම ඇතිවෙනවා. සෞඛ්‍ය සේවය පිළිබඳව කතා කරන විට ලංකා ඉතිහාසයේ විශිෂ්ටතම සෞඛ්‍ය සේවයක් තිබුණු යුගය තමයි පොළොන්නරු යුගය. පොළොන්නරු සෙල් ලිපියේ සඳහන් වෙනවා එක් රෝගියෙකුට එක් හෙදියක් පරාක්‍රමබාහු යුගයේ සිටි බව. පුලත්ථි සෘෂිවරයා ප්‍රමුඛ මහා සෘෂවරු, මහා පඬිවරු, වෙදදුරන්, සාහිත්‍යධරයින්, විද්වතුන්ගේ ඓතිාහසික බිමක් තමයි පොළොන්නරුව.

මම පසුගිය දා බදුල්ල සහ මොණරාගල උත්සව කිහිපයකට සහභාගි වුනා. ලංකාවේ විශාලත ම නව වාරි යෝජනා ක්‍රම සහ ලංකාවේ විශාලතම බලශක්ති ව්‍යාපෘතියක් විවෘත කළා, උමා ඔය ව්‍යාපෘතියත් එක්ක. තාක්ෂණික කටයුතු සියල්ල ම නිම කළේ ඉරාන ඉංජිනේරුවරුන්. ඉරාන තානාධිපතිතුමා ඒ උත්සවයට ඇවිල්ලා කතා කරමින් එතුමා සභාවේ හිටපු අයගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඇයි ලංකාව පොඩි රටක් කියලා හැමෝ ම කතා කරන්නේ කියලා. පොඩි රටක් කියලා කියන්න එපා ලංකාව. ඒ වාගේම ලංකාවේ ජනතාව කුඩා ජාතියක් කියලා කිසිවිටෙක කතා කරන්න එපා කියලා එතුමා කිව්වා. මෙය කිව්වේ ලංකාවේ කෙනෙක් නෙමෙයි ඉරානේ රාජ්‍ය තාන්ත්‍රිකයා. විශේෂයෙන් ම ඔහු සඳහන් කළේ මේ රටේ ඉතිහාසය පිළිබඳව. ඔබ දන්නවා වර්තමානයේ අපේ මානව විද්‍යාඥයින් වගේ ම පිටරට මානව විද්‍යාඥයින් කියනවා අවුරුදු ලක්ෂ පහකට පෙර ලංකාවේ මිනිසුන් ජීවත් වුණා කියලා. ඒ වගේ ම අපේ රටේ වසර 5000කට පෙර යකඩ ප්‍රමුඛ කාර්මික නිෂ්පාදන තිබුණා කියන එක සොයාගෙන තිබෙනවා. අපි නව ලෝකය තරගකාරීත්වය එක්ක එකතු වී සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මය ආදී සියලු අංශවල නව උත්පාදන ආර්ථික රටාවන් සමඟ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ මග පෙන්වීම් එක්ක ගමනක් යන රටක්.

පොළොන්නරු දිස්ත්‍රික්කය පහුගිය අවුරුදු 20ක 25ක, කාලය තුළ මහා වෙනස්කම් රාශියකට භාජනය වුණා. ලංකාවේ ඇතැම් දිස්ත්‍රික්කවල ජනතාවට නැති වාසනාවක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාවට ලැබුණා. මම පාර්ලිමේන්තුවට ගියේ 89 වසරේ. එදා සිට අඛණ්ඩව මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් විදියට රටට සේවය කිරීමට ප්‍රමුඛත්වය දුන්නා වගේ ම පොළොන්නරුව වෙනස් කරන්න මම ලොකු උත්සාහයක් ගත්තා. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ කෝටි 6000 ක සංවර්ධනයක් කරන්න මට පුළුවන්කමක් ලැබුණා. අද විවෘත කළ දිසා ලේකම් කාර්යාලය තට්ටු ගණනාවක අභිමානවත් ගොඩනැගිල්ලක්. කොළඹින් පිට කිසිම දිස්ත්‍රික්කයක නැති වෛද්‍ය, හෙද ඇතුළු රජයේ සේවකයින් සියලු දෙනාට නිවාස පහසුකම් සැපයීමට ඉදිකළ අලුත් ගොඩනැගිලි පොළොන්නරුවට මොන තරම් අභිමානයක්ද කියලා ඔබට වැටහෙනවා ඇති.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරයාට තම කාර්යය දක්ෂ ලෙස රෝගියා වෙනුවෙන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ තමාගේ සහයකයින් දෙන සහයෝගය නිසා. කණ්ඩායම් හැඟීමෙන් කරන නිසා. සමහර ශෛල්‍යකර්මවලදී විශේෂඥ වෛද්‍යවරයා සහ හෙද කණ්ඩායම පැය ගණන් හිටගෙන ඉන්වා ශෛල්‍යකර්මය කරන්න. විශේෂඥ වෛද්‍යවරයාගේ දැනුමට, ප්‍රතිපත්තියට, අදහස්වලට, අත්දැකීමට සහ බුද්ධියට දෙන සහයෝගය තුළ තමයි ඒ කාර්යය සාර්ථක වෙන්නේ. ආයතන සහ රටවල් වලත් එහෙමයි.
මට පොළොන්නරුව විශාල වශයෙන් වෙනස් කරන්න ලැබුණේ බාධාවන් නැති නිසා. දේශපාලන ක්ෂේත්‍රයේ, රාජ්‍ය නිලධාරීන්, ජනතාව මේ හැම කෙනෙක්ම සහයෝගය දුන්නා. පොළොන්නරුව වෙනස් කෙරුවා වාගේම රටත් වෙනස් කරන්නත් මට සහයෝගය දුන්නා නම් මම රටත් තව වෙනස් කරනවා. නමුත් මට රටේ බොහෝ වෙනස්කම් කළා. ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සමග සෑහෙන වැඩ කොටසක් කරන්න ලැබුණා.

නමුත් මාගේ තිබුණු අධිෂ්ඨාණය, බලාපොරොත්තුව අනුව අවසාන තැනට යන්න මට බොහෝ බාධා ඇති වුණා. ඒ බාධාවන් නිසා කරන්නට තිබුණු වැඩ කරන්නට බැරි වුණා. නමුත් විශේෂඥ වෛද්‍යවරයෙකුට ශෛල්‍යකර්මයක් කිරිමේ දී ඒ ලබා දෙන සහයෝගය වාගේ මාගේ ප්‍රතිපත්තිවලට සහ තීරණවලට ගැලපෙන කණ්ඩායමක් මට හිටිය නම් මේ අවුරුදු පහේ මම රටේ විශාල පරිවර්තනයක් කරනවා. අපි හැමවෙලාවේම අධිෂ්ඨානශීලි වෙන්න. කිසි විටෙක රටක් ජයග්‍රහනය කරා යා යුතුයි පරාජය නොවී. රටක් අසමත් නොවිය යුතුයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් රට ජයග්‍රහණය කරවන්න අපි හැම කෙනෙක්ම අද බැරි වුණ දේ හෙට කළ යුතු වෙනවා.

මේ කරන සේවාවල සැබෑ ප්‍රතිලාභය සහ ප්‍රතිඵලය ලබා ගන්නේ දුගී දුප්පත් අසරණ ජනතාව කියන එක අමතක කළ යුතු නැහැ. මිනිස්සු විදිහට ඉපදුණු අපි අපේ වගකීම සහ යුතුකම හැමවෙලාවේ ම අසරණ මිනිස්සු වෙනුවෙන් ඉටුකළ යුතුයි. මම සතුටු වෙනවා පොළොන්නරු රෝහලේ වෙනස්කම් රාශියක් කිරීමට ලැබීම සම්බන්ධයෙන්. අපේ ගම ඉතා දුක්ෂර ගමක්. පන්සලක්, හොඳ පාරවල්, වාහන, රෝහල් තිබුණෙ නෑ. අසනීපයක් හැදුන වේලාවක තාත්තා සමග බයිසිකලේ කිලෝමීටර් ගානක් පැදගෙන තමයි රෝහලට යන්න වුණේ. මට ඒ අත්දැකීම් තිබෙනවා. මගේ ජීවිතේ අත්දැකීම් එක්ක මම කල්පනා කළා මිනිස්සු වෙනුවෙන් රට වෙනුවෙන් අපි යමක් කළයුතුයි කියලා.

විශේෂයෙන්ම පොළොන්නරුව රෝහලේ වගේම ලංකාවේ අනෙත් රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍ය, හෙදි, අතුරු වෛද්‍ය, පාරිපුරක සේවා සහ අනෙකුත් සුළු සේවා කාර්ය මණ්ඩල සියලු දෙනාට මම රජය සහ ජනතාව වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. යම් යම් දුෂ්කරතාවයන්, අඩුපාඩු තිබුණත් ඒ කිසිවක් නොසලකා අපේ රෝගීන් වෙනුවෙන් ඔබ කරන උතුම් මෙහෙවර මා අඟය කරමින් ඒ සියලුදෙනාට ස්තුතිවන්ත වෙමින් මම සමුගන්නවා තෙරුවන් සරණයි.

Share This Post

NEW