රටට ආදරය කරන විනයගරුක සහ සදාචාරවත් දේශපාලන ගමනක මංගල පියවර මෙවර පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයත් සමග තබන බව ජනපති පවසයි.

රටට ආදරය කරන විනයගරුක සහ සදාචාරවත් දේශපාලන ගමනක මංගල පියවර  මෙවර පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයත් සමග තබන බව ජනපති පවසයි.

මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම අන්න හොරෙක්, අන්න හොරෙක් යැයි කෑ ගසනවා මෙන්ම අද දිනයේදී පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරායැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (10) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කළ ජන හමු මාලාවේ පළමු ජන හමුව ලෙස ‘නිදහසේ ජන හමුව’ නමින් අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම ජන හමුව පැවැත්විණි.

රටට ආදරය කරන, විනයගරුක සහ සදාචාරවත් දේශපාලන ගමනකට මංගල පියවර තබන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහජන නියෝජිතයින් සමග බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දේශපාලනයට පැමිණ සල්ලි හොයාගෙන, සාක්කු පුරවාගනිමින් ජනතාවගේ හෘද සාක්ෂියට පයින් ගසා ධනේශ්වරයින් වීමට මෙවර මැතිවරණයෙන් තේරිපත්වන කිසිදු නියෝජිතයෙකුට තමා ඉඩ නොදෙන බවට ද ජනතාවට ප‍්‍රතිඥා දුන්නේය.

2015 ජනාධිපතිවරණයේදී පැවති රජය පරාජය වීමට හේතුවූ කරුණු ගණනාවක් වසර දෙක තුනක සිට ගොඩනැගුනද පැවති රජයේ පරාජයට ප‍්‍රමුඛ හේතුවක් වූයේ පළාත් පාලන නියෝජිතයින් සිදුකළ වංචා දූෂණ සහ අසාධාරණකම් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රාදේශිය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට, අගමැති ධුරයට හෝ ජනාධිපති ධුරයට පත්වන කිසිවෙකුට ජනතාවගේ මුදල්වලට අත තැබීමට කිසිදු අයිතියක් නොමැති බවද අවධාරණය කළේය.

සෑම මැතිවරණයකදීම පොරොන්දු දුන් එහෙත් යථාර්ථයක් බවට පත් නොවුණු මොරගහකන්ද ජලාශය නිම කර රජ රට ජනතාව වෙනුවෙන් තිළිණ කළේ එම ගොවි ජනතාව වෙනුවෙන් වූ ඓතිහාසික වගකීමක් ඉටුකරමින් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අද ඊට උප්පැන්න ලියා ගැනීමට කතා කරන්නේ වසර 05 ක් යන තුරු ඒ වෙනුවෙන් ශත පහක්වත් ලබා නොදුන් අය වීම කනගාටුවට කරුණක් බවද කියා සිටියේය. එදා එහි වැඩ කටයුතු සිදුකෙරුණා නම් මොරගහකන්ද ජලයෙන් රජ රට කෙත් වතු සාරුසාර වන්නේ මීට වසර 05 කට පෙර සිට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රණවිරු දඩයමක් ගැන අද රජයට චෝදනා කළ ද රණවිරු දඩයම සැබෑ ලෙසම සිදුකළේ පැවති රජය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කරමින් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තරයෙන් නැගුණු චෝදනාවලින් යුද, නාවික, ගුවන් රණවිරුවරුන් බේරාගනිමින් ඔවුන්ගේ ගෞරවය සහ අභිමානය රැකදෙමින් යුතුකම් ඉටු කළේ වත්මන් රජය බව මේ රටේ ජනතාව දන්නා බවද කියා සිටියේය.

දේශපේ‍්‍රමිත්වය, ජාතික අනන්‍යතාවය සහ අපේ උරුමය ආරක්ෂා කරමින් සැමදා මාතෘභූමිය පෙරට ගෙන ගිය ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා අනාගතයේදී පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට රටට ආදරය කරන සියලු ජනතාව පෙළගැසිය යුතු බවද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ සහ ජාතික නිදහස් පෙරමුණේ කි‍්‍රයාකාරීන් රැසක් මෙන්ම ස්වාධීන කණ්ඩායම් නියෝජනය කළ අපේක්ෂකයින් ගණනාවක් මෙහිදී ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් වේදිකාවට පැමිණීම ද විශේෂත්වයක් විය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, යන මහත්වරුන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පක්ෂයේ මැති ඇමතිවරු රැසක් මෙම ජන හමුවට එක්ව සිටියහ.

අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී පැවැති ජනහමුව අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2018.01.10)

වසර 40 කට වැඩි කාලයක් මට හොඳට හුරු පුරුදු අනුරාධපුර නගරයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ සිට මේ ආදරණීය ජනතාව අමතන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අනුරාධපුරයටත් එකට බැඳුණු ඉතිහාසයක් තිබෙන්නේ. ඒ වගේම වසර දහස් ගණනක මේ රටේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික කතාවේ රටේ ස්වාධීනත්වය, රටේ ආර්ථික සමෘද්ධිය රටේ සංවර්ධනය, ශාස්ත‍්‍රීය දියුණුව, සංවර්ධනයේ ප‍්‍රමුඛත්වයෙන් ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණ සමග ඉතිහාසයේ රට ජයගත්, ලෝකය ජයගත් අනුරාධපුර යුගය සිහිපත් කරමින් තමයි අද ඔබත් මමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඓතිහාසික ජයග‍්‍රහණයක් කරා යන දේශපාලන ගමනේදී අප සියලුදෙනා මේ හමුවන්නේ.

දෙමව්පියනි, දරුවනි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඉතිහාසයේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද අපරිමිත මෙහෙවර මේ රටේ සමස්ත ජනතාවගේ හදවත්වල තිබෙනවා. බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබපු අපි අපට කියන රටක්, සංස්කෘතියක්, අපිටම අනන්‍ය වූ අපේම ගතිපැවතුම්, අපේ උරුමකම්, අපේ සාහිත්‍ය, අපේ කලාව, අපේ භාෂාව, අපේ ඉතිහාසය, අපේ ආගම, සියල්ලත් එක්ක මේ රට ගොඩනැගුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන එක ඉතා පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්නට ඕනෑ.

එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා 1951 හදපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ අලුත් දේශපාලන පක්ෂයක් හදලා කෙටි කාලයක් තුළ රටේ රාජ්‍ය බලය ලබා ගන්න කිසිදු දේශපාලන නායකයෙකුට මේ රටේ ඉතිහාසයේ පුළුවන්කම ලැබුණේ නැහැ. බණ්ඩාරනායක මැතිතුමා 56 ආණ්ඩුව බණ්ඩාරනායක අගමැතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ ආර්ථිකය, මේ රටේ දේශපාලනය, සංස්කෘතිය ඇතුළු සියල්ලත් සමග නව විශිෂ්ට වූ ජාතික ගමන්මගක් කරා ගමන් කළා. ඒ ඉතිහාසය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 65 කට 66 කට වැඩි කාලයක් තුළ ගොඩනැගුණා. ඒ වගේම ඔබ සෑම කෙනෙක්ම දන්නවා පක්ෂයේ නායකයා එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා එදා රටේ කරන පරිවර්තනය, දේශීයත්වය, ධනේශ්වර පන්තියට විරුද්ධව ගත් ක‍්‍රියාමාර්ග, අධිරාජ්‍යවාදයට විරුද්ධව ගත් ක‍්‍රියාමාර්ග තුළ ආණ්ඩුව තුළම පක්ෂය තුළම සිටි ධනේශ්වරයින් සහ දක්ෂිණාංෂිකයින් බණ්ඩාරනායක මැතිතුමාව මරලා දැම්මා. එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා 56 මැතිවරණය කළේ කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ පිහිටි එතුමාගේ නිවස උගසට තියලා ඡන්දේ කරන්න සල්ලි නැති නිසා. බණ්ඩාරනායක මැතිතුමාව 59 ඝාතනය කළාට පස්සේ බණ්ඩාරනායක මැතිතුමාගේ නිවස උගසට ගත්ත ව්‍යාපාරික මහත්තයා කිව්වා බණ්ඩාරනායක මැතිණියට දැන් මට මේ ගේ ඕනැයි කියලා. එදා බණ්ඩාරනායක මැතිතුමාගේ සමකාලීන මිත‍්‍රයින් එකතු වෙලා රොස්මිඩ් නිවසට ඇවිල්ලා ඒ ව්‍යාපාරිකයාව ගෙන්නලා බණ්ඩාරනායක අගමැතිතුමාව සිහිපත් කරලා එතුමාට ගරු කිරීමක් විදියට මේ උගසට ගත්තු ගෙයි මේ මැතිණියට සහ දරුවෝ තුන්දෙනාට ඉන්න දෙන්න ගෙයින් එළියට දාන්නේ නැතිව මේ ගෙය ආපහු දෙන්නයි කියලා ඉල්ලීමක් කෙරුවා. එතුමා ඒ ඉල්ලීම ඉෂ්ට කෙරුවා. මැතිණියට ආපසු ගේ දුන්නා. බණ්ඩාරනායක පවුලේ ඉතිහාසය එයයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දේශපාලන ඉතිහාසයේ සටන් බිම තුළ ජයග‍්‍රහණ ලබනවා. ඇතැම් විට පරාජය ලබනවා. ජය ලබමින් පරාජය ලබමින් සිය මාතෘභූමිය වෙනුවෙන් වගකීම් සහ යුතුකම් ඉටු කරනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කර කර ඉස්සරහට යනවා. ඇතැම් වෙලාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙනවා. කොතෙක් වැටුණත් වැටි වැටි සැමදාම නැගිටලා ජයග‍්‍රහණය කරපු පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන එක තමුන්නාන්සේලා අමතක කරන්න එපා. මේ රටේ වමේ ව්‍යාපාරය මේ රටේ ප‍්‍රගතිශීලී ව්‍යාපාරය මේ රටේ දේශපේ‍්‍රමිත්වය, මේ රටේ ජාතිකත්වය, මේ රටේ ජාතික අනන්‍යතාවය, මේ රටේ අපේ උරුමය, මේ රටේ අපේ මහා සංස්කෘතිය, මේ රටේ මහා ශිෂ්ටාචාරයේ ශ්‍රේෂ්ඨ වූ වගකීම සමග මාතෘභූමියේ ජනතාවත් සමග ඉදිරියට ගිය ප‍්‍රමුඛ වූ දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන එක තමුන්නාන්සේලාට පැහැදිලිව කියන්නට ඕනෑ.

1977 බලයට පත් වුූණ ආණ්ඩුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කෙරුවා. ඒ වෙලාවේ බොහෝදෙනා සිතුවා බණ්ඩාරනායක මැතිණිය දේශපාලනයෙන් සමු ගනී කියලා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවුරුදු 40 කට වැඩි කාලයක් නායකත්වය දුන්නා. බණ්ඩාරනායක මැතිතුමාගේ ලෙයින් තෙත් වුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ඝාතනයෙන් මේ රටේ ඉදිරියට පැමිණි ප‍්‍රගතිශීලී ජාතික ව්‍යාපාරත් සමග බණ්ඩාරනායක මැතිණිය මහා සිංහ නාදයක් නංවමින් තමයි මේ රට ගොඩනැගුවේ. මේ රට ඉස්සරහට ගෙන ගියේ. ලෝකයේ අධිරාජ්‍යවාදී රටවල් ඇමරිකාව සතු බි‍්‍රතාන්‍ය සතු ඇසෝ කැල්ටෙක්ස්, මොබිල් ගෑස්, තෙල් කම්පැණි ජනසතු කරන වෙලාවේ ඒ රටවල්වල නායකයෝ මැතිණියට කිව්වා අපේ කම්පැනි ජනසතු කෙරුවොත් අපි පාඩමක් උගන්වනවා. කරන දේ බලාගන්න පුළුවන් කියලා. බණ්ඩාරනායක මැතිණිය සිංහ නාදයෙන් කිව්වා තමුන්නාන්සේලාට පුළුවන් දෙයක් කරනවා. මම මේවා ජනසතු කරනවයි කියලා තමයි අධිරාජ්‍යවාදීන්ගේ තෙල් කම්පැනි ජනසතු කරලා බණ්ඩාරනායක මැතිතුමා ගෙන ගිය ව්‍යාපාරය ශක්තිමත් කරලා මේ රටේ වැඩ කරන පන්තියට කම්කරු පන්තියට වගේම සමස්ත පොදු ජනතාවට මහා සේවාවන් රාශියක් ඉෂ්ට කෙරුවේ.

මේ රටේ ගොවියා මේ රටේ කම්කරුවා මේ රටේ වැඩකරන ජනතාව මේ රටේ පුංචි මිනිස්සු සියලුදෙනාම ඔළුව ඉස්සුවේ බණ්ඩාරනායක යුගයේදි කියන එක තමුන්නාන්සේලා සෑම කෙනෙක්ම දන්නවා. ඒ ඓතිහාසික මහා මෙහෙවරත් එක්ක ඉතා පැහැදිලිව කියන්නට ඕනෑ ඒ ගමන්මග ශක්තිමත් කරමින් අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන්මග සෑමදාම ශක්තිමත් කෙරුවා. ඒ ඓතිහාසික කාර්යය අපිට ඉදිරියේදිත් ඉටු කරන්නට තිබෙනවා. රටේ අනාගතය වෙනුවෙන් ඒ වගකීම් සහ යුතුකම් ඉටු කරන්නට තිබෙනවා. ඒ වගකීම් සහ යුතුකම් ඉටු කරන්න මේ රටේ සියලු වාම ප‍්‍රගතිශීලී ව්‍යාපාර වගේම දේශපාලන පක්ෂ භේදයෙන් තොරව රටට ආදරය කරන ජාතියට ආදරය කරන රට ගොඩනගන්න එක්වන දූෂණයෙන් වංචාවෙන් හොරකමින් නාස්තියෙන් තොර ශක්තිමත් ජාතික දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය අද ඇති වෙලා තිබෙනවා. ඒ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු වෙනවා.

තමුන්නාන්සේලාට අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය රජරට සංවර්ධනය මේ සියල්ල ගත් කළ කෘෂිකාර්මික ප‍්‍රදේශවල ජනතාවක් විදියට තමුන්නාන්සේලා අවුරුදු 65 ක් 70 ක් කතා කරපු, වාද විවාද කළ, හැම මැතිවරණයකදීම පොරොන්දු දුන්න තමුන්නාන්සේලාගේ ප‍්‍රධාන දුක්ගැනවිල්ල වුණු, මොරගහකන්ද කළුගඟ මහා යෝධ සංවර්ධන ව්‍යාපාරය රජරට ජනතාවට අනුරාධපුර ජනතාවට මම පූජාකරලා ඉවරයි කියන එක මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ගොවි ජනතාව වෙනුවෙන් ඒ ඓතිහාසික මෙහෙවර අප විසින් ඉටු කරලා තිබෙනවා.

එදා මෛත‍්‍රීපාල සේනානායක මැතිතුමා වාරිමාර්ග ඇමතිවරයා විදියට තමුන්නාන්සේලාගේ ගම්වලට ඇවිල්ලා මොරගහකන්ද ජලාශය පිළිබඳව කොච්චර කතා කෙරුවද? මෛත‍්‍රීපාල සේනානායක මැතිතුමා පාර්ලිමේන්තුවේ කොච්චර කතා කෙරුවාද? බණ්ඩාරනායක මැතිණිය සමග පොල්ගොල්ලෙන් වතුර උතුරට හරවලා රජරටට ඒ වගකීම එදා එතුමිය ඉෂ්ට කළා.

මොරගහකන්ද ජලාශය රජරට ජනතාව වෙනුවෙන් එතුමාගේ සිහිනයක් වුණා. බාධාවන් කොතෙක් ආවත් ඒ ශ්‍රේෂ්ඨ කාර්යය ඉටුකරලා තමුන්නාන්සේලාගේ මහා කෙත්වතු සරුසාරවත් කරන්න ආර්ථිකය ගොඩනගන්න මොරගහකන්ද මහා ජලාශය තමුන්නාන්සේලාට පූජා කළේ අප විසින් කළ යුතු ඉහළම වගකීමක් ඉටු කිරීමක් බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අපි දැන් දවස් දෙකකට තුනකට කලින් උත්සවයක් පවත්වලා මොරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කෙරුවාට පස්සේ මම දැක්කා මොරගහකන්ද ජලාශයට උප්පැන්නේ ලියා ගන්න හදන අය ඊයේ පෙරේදා කතා කරලා තිබුණා.

2007 ජනවාරි 25 වෙනිදා අපි මොරගහකන්දට මුල්ගල් තිබ්බා. 1994 මම වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිවරයා වූ ගමන්ම එදා ආචාර්ය කුලසිංහයන් සමග ඔය මහ කැලේ රිංගලා ගල් කඳුවලින් ගිහිල්ලා මහා ගස් අස්සෙන් ගිහිල්ලා ආචාර්ය කුලසිංහ තමයි එදා පෙන්නුවේ මෙතනින් වේල්ල බඳින්නේ මෙතනින් ඇළ යන්නේ මේ මේ ප‍්‍රදේශ තමයි ජලයෙන් යට වෙන්නේ කියලා. ඒ නිසා තමයි අපි ආචාර්ය කුලසිංහ ජලාශය කියලා මොරගහකන්ද ජලාශය නම් කෙරුවේ. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලේ ඒ පටන් ගත් කාර්යයට 2007 ජනවාරි 25 මුල්ගල තියලා මහා බලාපොරොත්තු ඇතුවයි මම කොළඹට ගියේ. නමුත් 2007 ජනවාරි 25 මහ උත්සවයක් පවත්වා මුල්ගල තබා කොළඹට ගියාට පසු ඊට පසුවෙනිදා මට අරලියගහ මන්දිරයෙන් එන්න කියා කිව්වා, අමාත්‍යාංශය වෙනස් කරනවා මහවැලිය වෙන කෙනෙකුට දෙනවා කියලා කිව්වා. මම ඒ වෙලාවේ ඇහුවා ඊයේ පෙරේදා මුල්ගල තියලා රජරට ජනතාවගේ ප‍්‍රාර්ථනාව මේක. මම මේ වගකීම ඉටු කරන්න ඕන. ඒ නිසා මේ කාර්යය රජරට ජනතාව වෙනුවෙන් කළ යුතුයි කියා. එවකට හිටපු නායකතුමා කිව්වා, නැහැ මේක මම වෙන කෙනෙකුට දෙන්න ඕන කියා. ඒ වෙලාවෙහි ඇතිවූ සංවාදය අවසානයේදී අමාත්‍යාංශය ලැබුණා. අවුරුදු පහක් යනකල් සත පහක් දුන්නේ නැහැ මොරගහකන්ද ජලාශය හදන්න. මම ජපානයේ ජෛයිකා ආයතනය සමග සාකච්ඡා කරලා මුදල් සොයාගත්තා. මම චීනයේ මූල්‍ය සමාගමක් සමග කතා කරලා මුදල් සොයාගත්තා. ඒ යෝජනා සියල්ලම ප‍්‍රතික්ෂේප කෙරුවා. තමුන්නාන්සේලා අද මුහුණපාන නියඟය වෙනුවට තමුන්නාන්සේලාගේ ජලාශ, වැව් අමුණු, ඇළවල් මේ සියල්ල මොරගහකන්ද මහා ජලාශයෙන් පුරවන්නට තිබුණේ මීට අවුරුදු පහකට පෙරයි. ඒ අවස්ථාව නොලැබීම පිළිබඳව මම කනගාටු වෙනවා.

අද තමුන්නාන්සේලාට අපිට රජරට ජනතාවට වගේම නැගෙනහිර, වයඹ, උතුරේ කොටසක ජනතාවට මොරගහකන්දේ ආශිර්වාදය ලැබෙනවා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා. මේ සංවර්ධන කටයුතු මේ විදියට ඉදිරියට ගෙනයනවා වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් පුළුල් ජාතික නිදහස් දේශපාලනයක් ගොඩනගමින් ඉදිරියට යනවා වගේම, තමුන්නාන්සේලා අපි බලාපොරොත්තු වන යහපත් රටක් හදන්න, සුබවාදී රටක් හදන්න තිබෙන බාධාවන් මොනවාද යන්න අපි තේරුම් ගතයුතු වෙනවා. දුමින්ද දිසානායක ඇමතිතුමා තමුන්නාන්සේලාගේ ඇමතිවරයා අපේ පක්ෂයේ ලේකම්වරයා මම අනුරාධපුර ජනතාවට රජරට ජනතාවට මගේ හෘදසාක්ෂියේ තිබෙන බැඳීමත් සමග මා තමුන්නාන්සේලාට කරන ලද ගෞරවයක් විදියටයි දුමින්ද දිසානායකව පක්ෂයේ ලේකම් කළේ. දුමින්ද දිසානායකව කෘෂිකර්ම ඇමති කෙරුවේ. ඒ ගැන තමුන්නාන්සේලාට මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. එදා බර්ටි දිසානායක සහෝදරයත් සමග ඔබේ තිබුණු බැඳීම් සමග මම තේරුම් ගත්තා පක්ෂය අලුත් මගකට ගෙන යන්නට ඉදිරියට ගෙන යන්න දුමින්ද වගේ තරුණයෙකුට අනුරාධපුරයේ කොල්ලෙකුට පක්ෂයේ ලේකම්කමත් කෘෂිකර්ම ඇමතිකමත් දිය යුතුයි කියා මම තීන්දු කළා. තමුන්නාන්සේලාගේ ගම හදන තමුන්නාන්සේලාගේ ප‍්‍රදේශය හදන පුළුල් සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක වන වෙලාවේ දුමින්ද දිසානායක ඇමතිතුමා අද මට පිළිගන්වනු ලැබුවේ ‘අපේ ගම අපි හදමු’ කියන මේ ඓතිහාසික පොත් පිංච. මේ පොතෙහි බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා තමුන්නාන්සේලාගේ ගම කොහොමද සංවර්ධනය කරන්නේ ප‍්‍රාදේශීය සභාවක් විදියට. ප‍්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව, ජනාධිපති ධුරය මේ රටේ ව්‍යවස්ථාපිත රටේ වගකීම් භාරකාරත්වය ගන්නා රටේ සංවර්ධනයේ ප‍්‍රමුඛ ආයතන. මේ ආයතනවලට පත්වෙන්න ඕනේ මේ ප‍්‍රාදේශීය සභාවේ වගකීම එන්න ඕනේ ගමට ආදරය කරන අපේක්ෂකයින්ට. මන්ත‍්‍රීවරු වෙන්න ඕන ජනතාවට ආදරය කරන මහජන නියෝජිතයින්. මේ ප‍්‍රාදේශීය සභාවෙන් තේරෙන්න ඕනේ වැඩ කිරීමට හැකි ගම හදන්න අවංක කැපවීමක් තිබෙන අය. මේ ප‍්‍රාදේශීය සභා ඡන්දෙන් ජයග‍්‍රහණය කරන්න ඕනේ අවංකව තමන්ට ලැබෙන මුදල් පිරිසිදුව වංචාවකින් තොරව ජනතාව වෙනුවෙන් වැයකරන අපේක්ෂකයින්ට. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරලා තිබෙන්නේ එවැනි අපේක්ෂක කණ්ඩායමක් කියන එක තමුන්නාන්සේලාට පැහැදිලිව සඳහන් කරන්නට ඕන.

2015 ජනවාරි මාසයේ 08 වැනිදා පැවැති මැතිවරණයේදී මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්තා. එදා ඒ ජයග‍්‍රහණය ලබන්න ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනුත් විශාල වශයෙන් ඡන්දය භාවිතා කළා කියා මම දන්නවා. එදා තිබුණු ආණ්ඩුව පරාජය වීමට මූලික හේතු ගණනාවක් ඊට අවුරුදු දෙක තුනක සිට ගොඩනැගුණා. 2015 පෙර තිබුණු ආණ්ඩුව ජනාධිපතිවරණයේදී පරාජයවීමට හේතුවූ කාරණා ගණනාවක් තුළ පළමු වූ මූලික කාරණයක් වන්නේ, පළාත් පාලන ආයතනවල සභාපතිවරු රාශියක් එදා සිදුකරන ලද වංචා, දූෂණ සහ අසාධාරණකම් නිසා බව තමුන්නාන්සේලා දන්නවා. ස්ත‍්‍රී දූෂණ, හොරකම්, මංකොල්ලාකෑම්, මිනීමැරුම් එදා සභාපතිවරු රාශියක් කළා අපේ පක්ෂයේ. එයයි පක්ෂය පරාජයවීමට මුල් වුණේ. එතනයි පක්ෂයේ අනාගතය පිළිබඳව අභියෝගාත්මක තත්ත්වයක් ඇති වුණේ. එවකට හිටපු නායකතුමාට මම කිව්වා, මේක බරපතළ ප‍්‍රශ්නයක් පළාත් පාලන ආයතන, ප‍්‍රාදේශීය සභා, නගර සභාවල සභාපතිවරු බරපතළ ප‍්‍රශ්න ඇති කරනවා. 2012, 2013 වසරවල්වල පුවත්පත් සොයා බැලුවිට තමුන්නාන්සේලාට සොයාගත හැකියි ස්ත‍්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලාකෑම්, මත් කුඩු විකිණීම් වැනි රාශියකට එදා හිටපු සභාපතිවරුන්ගෙන් බාගයකට වැඩි ප‍්‍රමාණයක් දඬුවම් වින්ද බව. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සභා හතයි තිබුණේ. ප‍්‍රාදේශීය සභා හතෙන් මෙවර මැතිවරණයේදී හිටපු සභාපතිවරු හතර දෙනෙකුට ඡන්දය ඉල්ලන්න බැහැ. අධිකරණයෙන් වංචා, දූෂණවලට වැරදිකාරයෝ වෙලා ඔවුන්. මම එදා හිටපු නායකතුමාට කිව්වා, මේ වැරදි කරන්න දෙන්න බැහැ. පක්ෂයේ විනය ක‍්‍රියාත්මක කරන්න ඕන. රටේ නීතිය ක‍්‍රියාත්මක කරන්න ඕන කියලා. සභාපතිවරු සියලු දෙනාවම කොළඹට ගෙන්නුවා. මම හිටපු නායකතුමා සමග කතා කරලා සභාපතිවරුන්ට කිව්වා, මේ කරන වැරදි බරපතළයි. අපි පක්ෂ විනය ක‍්‍රියාත්මක කරනවා. රටේ පොදු නීතිය ක‍්‍රියාත්මක කරනවා. පක්ෂයේ ගෞරවය රැකගෙන ආණ්ඩුවේ ගෞරවය රැකගෙන ජනතාවාදී ලෙස මිනිසුන්ට ආදරය කරලා ආයතනවල කටයුතු කරන්න කියා කිව්වා.

නමුත් මම කනගාටුවෙනවා හිටපු නායකතුමා මගේ කතාවෙන් පසුව අනෙක් අයට කතාකරලා කිව්වා ඔන්න ඔය කරගන්න දෙයක් හිමින් කරගන්න තමුන්නාන්සේලා දැනගන්න ඕන කියලා. ඒක තමයි දුන්න උපදේශය. මම බොහොම පැහැදිලිව අනුරාධපුර දිස්ත‍්‍රික්කය වගේම මේ රටේ සමස්ත ජනතාවට පක්ෂයේ සභාපතිවරයා විදියට මේ ඓතිහාසික පුරවරයේදී මම පොරොන්දුවක් දෙනවා මෙවර ජයග‍්‍රහණය කරන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරු, මන්ත‍්‍රීවරු නිසි මග අරගෙන විනයක් ඇතිව සදාචාරාත්මක ලෙස රටට ආදරේ කරන දේශපාලන ගමනකට මංගල පියවර තබන්නේ මේ ජයගන්නා නියෝජිතයින් සමගින් බව සඳහන් කරනවා.

වංචාව, දූෂණය, හොරකම දේශපාලනය කරන අයට අයිති දෙයක් නෙමේ. ඡන්දය ඉල්ලලා මන්ත‍්‍රීවරු වෙන හැමකෙනෙක්ම ජනතාවගේ සාංඝික වස්තූන් වගේ වන ධනයට දේපළට අත තියන්න හොඳ නැහැ කිසිම කෙනෙක්. දේශපාලනයට ඇවිල්ලා සාක්කු පුරවගෙන ජනතාව අමතක කරලා, ජනතාවගේ හෘද සාක්ෂියට පයින් ගහලා හොරකම් කරන්න, රාජ්‍ය දේපළ ගසාකන්න, වංචා කරන්න මගේ පක්ෂයේ කිසිම කෙනෙක්ට මම ඉඩ තියන්නේ නැහැ. අපි හොඳ ගමනක් යායුතු වෙනවා. දැන් අද උදේ පාර්ලිමේන්තුව රැස්වුණා. පාර්ලිමේන්තුවේ දෙපැත්තේ ඉන්න අය දෙගොල්ලන්ටම හොරා කියන්න පටන් ගත්තා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි හැමෝම අද උදේ ඉඳලා අනුරාධපුරයේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ දෙපැත්තෙම අය හොරා කියාගෙන, හොරා කවුද නැත්තේ කවුද කියලා හොයාගන්න බැරිව පාර්ලිමේන්තුවේ විශාල කලබලයක් වුණා.

ඔබ දන්නවා ඉස්සර කොළඹ කොටුවේ පික්පොකට් ගහන මිනිස්සු හිටියා අදට වඩා. අහිංසක මිනිස්සු පේමන්ට් එකේ යනකොට ඔවුන් මිනිසුන්ගේ සල්ලි ටික ගන්නවා. අරගෙන දුවනවා. දුවනකොට පොකට් එකේ අයිතිකාරයා කෑගහගෙන දුවනවා මගේ සල්ලි අරන් හොරා දුවනවා කියලා. හොරා කිය කිය. එතකොට මිනිස්සු බලනවා එක මිනිහෙක් දුවනවා ඉස්සර වෙලා, අනෙක් කෙනා දුවනවා හොරා හොරා කියලා. එතකොට හොරා මොකද කරන්නේ? එයත් දුවනවා අන්න හොරෙක් අන්න හොරෙක් කියලා. මේක තමයි අද දේශපාලනයේ සිදුවෙලා තිබෙන්නේ. අද ඒ දේශපාලනයේ සිදුවෙලා තිබෙන සිද්ධියක් එක්ක හොරා කවුද, හොරකම් නොකරන කෙනා කවුද කියන ප‍්‍රශ්නය මේ රටේ ජනතාව පැහැදිලිවම දන්නවා කියන එක මම දන්නවා.

ඒ නිසා අපිට පිරිසිදු ප‍්‍රාදේශීය සභාවක් අවශ්‍යයි. පිරිසිදු නගර සභාවක් අවශ්‍යයි. විනයක්, හික්මීමක් ඇතිව ජනතාවට ආදරේ කරන නියෝජිත පිරිසක් අවශ්‍යයි. පිරිසිදු පළාත් සභාවක් අවශ්‍යයි. පිරිසිදු පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පිරිසිදු රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. ඒ සඳහා මේ යන ගමන්මගේ දී මෙවර පෙබරවාරි 10 වනදා පවත්වන මැතිවරණයේදී ඔබලා අත ලකුණට ඡන්දය දීලා, ඔබලාගේ වගකීම යුතුකම ඉටු කරන්න. අපි හොඳ ගමක් හදනවා. අපි හොඳ රටක් හදනවා. අපි හොඳ නගරයක් හදනවා. අපි හොඳ පරපුරක් හදනවා. අපි ශක්තිමත් ශ්‍රේෂ්ඨ ජාතියක් ගොඩනගනවා. අපි දූෂණයෙන් වංචාවෙන් තොර සමාජයක් හදනවා. මිනිසුන්ගේ දේපළ ගසා කන්නේ නැති, මිනිසුන්ට, රටට ආදරේ කරන, රාජ්‍ය සම්පත් සුරකින, දේශපාලන ජාතික ව්‍යාපාරයක් එක්ක ආදර්ශවත් පිරිසක් ඉදිරියට ගෙනියන්න මම මේ පක්ෂයේ නායකයින් සමගින් ඒ වගකීම බාරගන්නවා.

මේ අතර අලුත් දේශපාලන පක්ෂත් හැදිලා තිබෙනවා. ඒවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අලුත් දේවල් නෙමේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එජාපයත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ පක්ෂ ගැටුම්, ආරවුල්, වියවුල් සමග අත්දැකීම් තිබෙන පක්ෂ. එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමා පිරිසිදු රාජ්‍ය පාලකයෙක් වගේම සැබෑ මානවහිතවාදියෙක්. ඔහු රට ජයගත්තා පමණක් නොවේ. ඔහු ලෝකය ජයගත්තා. ශ‍්‍රී ලංකාව කියන රට ලෝකයට හඳුන්වා දුන්නේ එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා. ඩී. එස් සේනානායක මැතිතුමා ජාතික නිදහස් අරගලය කරලා බි‍්‍රතාන්‍ය පාලනයෙන් රට නිදහස් කරගෙන රටට ආදරය කරන ශ්‍රේෂ්ඨ ජාතියක් ගොඩනගන්න නායකත්වය දුන්නා. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මේ රට අලුත් කරලා ඒ සංස්කෘතික පද්ධතීන් ශක්තිමත් කරලා රට නව දිසාවකට ගෙනවිත් මානවහිතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ස්ථාපිත කළා. ඩඩ්ලි සේනානායක මැතිතුමා මියයන විට එතුමාගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් හාරසිය හැටයි. එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කළාම උකස් වෙලා තිබුණ ගේ අහිමි වෙන්න ගිහින් බේරගත්තා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිය දේපළ, ඉඩම් දහස් ගණනක් ජනතාවට බෙදා දුන්නා. ඒ සැබෑ ශ්‍රේෂ්ඨ රටට ආදරය කරන නායකයෝ වැඩකළේ එහෙමයි.

නමුත් අපේ රටේ දේශපාලනය කුණු වුණා, වසංගත රෝගයක් වගේ විනාශ වෙන්න ගත්තා. දේශපාලකයන්ගේ කුණු, ඔවුන් විසින් කරගන්නා දේවල් නිසා දේශපාලනඥයින් තමන්ගේ ගෞරවය, පෞරුෂත්වය නැතිකරගත්තා. ජනතාව දේශපාලනඥයා පිළිකුල් කරන්න පටන් ගත්තා. හොරකම, වංචාව, දූෂණය, රාජ්‍ය දේපළ අවභාවිතය වැනි කාරණා නිසා තමයි ජනතාව එහෙම කළේ. පක්ෂ වල ඇතිවන ගැටුම් පිළිබඳ ඔබට අත්දැකීම් තිබෙනවා. 1959 සැප්තැම්බර් 25 වනදා එස්. ඩබ්. ආර්. ඩී.  බණ්ඩාරනායක මැතිතුමාට වෙඩි තියලා එතුමාව ඝාතනය කිරීම මේ රටේ ප‍්‍රගතිශීලි ජනතාවට තිබූ වෙඩිල්ලක්.

බණ්ඩාරනායක මැතිතුමාට වෙඩි තියලා එතුමා ඝාතනය කරපු වෙලාවේ එය මේ රටේ ප‍්‍රගතශීලී ව්‍යාපාරයට තියපු වෙඩිල්ලක්. මේ රටේ ජාතික දේශපාලන ගමනට තියපු වෙඩිල්ලක්. මේ රටේ මානව හිතවාදී ගමනට තියපු වෙඩිල්ලක්. අද අලුත් දේශපාලන පක්ෂයක් හදලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාට පාචිච්චි කරගෙන, ඒ අලුත් දේශපාලන පක්ෂය කරන්නේ දෙවැනි බණ්ඩාරනායක ඝාතනයයි කියන එක මම පැහැදිලිවම කියන්නට ඕනෑ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කළොත් එහි ප‍්‍රතිඵලය කුමක්ද කියා තමුන්නාන්සේලා දන්නවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වෙලා ඇද වැටුණු හැම වෙලේම ඔළුව ඉස්සුවේ කවුද කියලා තමුන්නාන්සේලා දන්නවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමෙන් රටට ඇතිවන අහිතකර ප‍්‍රතිඵල කුමක්ද කියලා තමුන්නාන්සේලා දන්නවා. ඒ ගැන අත්දැකීම් පසුගිය වසර 65 කට වැඩිය තමුන්නාන්සේලා දන්නවා. ඒ නිසා අලුත් දේශපාලන පක්ෂවලට අනාගතයක් නැහැ. ඒවාට දේශපාලන දර්ශනයක් නැහැ. දේශපාලන ප‍්‍රතිපත්තියක් නැහැ. දේශපාලන වැඩපිළිවෙළක් නැහැ. ඒවා හදිසියේ හදාගන්න දේශපාලන පක්ෂ. වෛරයෙන්, ක්‍රෝධයෙන් යුතු අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත‍්‍ර ඒවා. පක්ෂයක් වුණාම න්‍යාය පත‍්‍රයක් තියෙන්නට ඕනෑ. පක්ෂයක් වුණාම රටේ ජනතාව වෙනුවෙන් කරන වැඩ පිළිවෙළක් තියෙන්නට ඕනෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දේශපාලන ගමනේ ඔප්පුකර තිබෙනවා පක්ෂයේ දර්ශනය, ප‍්‍රතිපත්තිය, මානවවාදී බව, ජාතික දේපළ සම්පත් ආරක්ෂා කිරීම, පොඩි මිනිහා ගොඩනැගීම හා ශක්තිමත් කිරීම. මේ රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, මේ රටේ ගොවි ජනයාගේ අයිතිවාසිකම්, වැඩකරන පංතියේ ජනයාගේ අයිතිවාසිකම් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගත් එක්ක ධීවර, රණවිරු ක්ෂේත‍්‍රත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි ශක්තිමත් කරමින් ගමන් කරන බව මම පැහැදිලිව තමුන්නාන්සේලා කියන්නට කැමතියි.

සමහර අය රණවිරු දඩයමක් ගැන කියනවා. රණවිරු දඩයම කළේ කවුද. රණවිරු දඩයම පටන්ගත්තේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් පරාජය කරන්න මේ රටේ යුද හමුදාවට නායකත්වය දුන්න ජෙනරල් සරත් ෆොන්සේකාව ජම්පරේ ගහලා හිරබත් කන්න දීලා හිරේ දැම්මේ කවුද කියලා තමුන්නාන්සේලා දන්නවා. රණවිරු දඩයම් කරනවා කියන අයට මම කියනවා 2015 ජනවාරි 8 වෙනිදා ලබපු ජයග‍්‍රහණයක් එක්ක මම ලෝකයේ රාජ්‍ය නායකයින් ළඟට ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවෙලා සියලු දෙනාට පැහැදිලි කරලා මම අලුත් ආණ්ඩුවක් හදල තියෙනවා. අලුත් ගමනක් යනවා. රටේ නිදහස ස්ථාපිත කරනවා. නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් හදනවා. ඒ නිසා මට මගේ රට ගෙනියන්න සහයෝගය දෙන්න කිවුවහම ඒ සියලු දෙනාම සහයෝගය දීලා විදුලි පුටුවට ගෙන යන්න හිටපු, යුද්ධාධිකරණයට ගෙනයන්න හිටපු, දඬුවම් ලබන චෝදනාවට ලක්වෙලා හිටපු මේ රටේ ත‍්‍රිවිධ හමුදවේ ශ්‍රේෂ්ට රණවිරුවන් බේරාගත්තේ ජාත්‍යන්තරයට කරුණු කියලා මමයි කියලා ඉතාම පැහැදිලිව මම කියනවා.

රණවිරු දඩයම බලන්නට තිබුණා 2015 දී පරිවර්තනයක් සිදුවුණේ නැත්නම්. 2013-14 වෙනකොට යුරෝපය අපේ මාළු ගන්න එක නැවැත්තුවා. යුරෝපය අපේ ඇඟලුම් ගන්න එක නැවැත්තුවා. අපිට ආර්ථික සම්බාධක දැම්මා. 2015 දී මේ පරිවර්තනය නොවුණා නම් අපි හිඟමනට වැටෙනවා. ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන්, නායකයින්, ආයතන ඒ සියල්ල මේ රටට සම්බාධක දානවා. ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ජපන් ජයිකා, කොරියාවේ කොයිකා මේ ආයතන සියල්ල අපිට මුදල් දීම නවත්වන්නයි තීරණය කරලා තිබුණේ. තමුන්නාන්සේලා කරන ලද පරිවර්තනයේ ප‍්‍රතිඵලයක් ලෙසයි ඒවා සියල්ල වෙනස් වී රටේ ඉදිරි ගමනට ජාත්‍යන්තර සහය අරගෙන මුළු ලෝකයේම රාජ්‍ය නායකයින් ජාත්‍යන්තර සංවිධාන ශ‍්‍රී ලංකා ජනතාවගේ සහ ශ‍්‍රී ලංකා රජයේ මිතුරන් බවට පත්කරගත්තේ කියන එක මම පැහැදිලිවම කියන්න ඕනෑ.

ඒ නිසා අපි යන්නේ හොඳ ගමනක්, අලුත් ගමනක්, අපි යන්නේ රට වෙනුවෙන් ගමනක්. අපි යන්නේ ජනතාවාදී ගමනක්. අපි යන්නේ හෙට උපදින දරුවන් වෙනුවෙන් ගමනක්. අපි යන්නේ මුළු මහත් මානව සමාජය ලෝකයේ ප‍්‍රබුද්ධ ජාතියක් ලෙස ගොඩනැගෙන ලෝකයේ තවත් රටකට නොදෙවෙනි ලෙසයි. ඒ ගමන යනවිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිල ධජය සහිතව අත ලකුණ සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය ලකුණත් සමග ලබන ජයග‍්‍රහණ විශිෂ්ට ජයග‍්‍රහණයක් වෙනවා. ඒ විශිෂ්ට ජයග‍්‍රහණයට තමුන්නාන්සේලාගේ කැපවීම සහයෝගය පිළිබඳව මා ස්තූතිවන්ත වෙනවා.

අද දවසේ ඓතිහාසික පුරවරයේදී තමුන්නාන්සේලා හමුවීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. දුමින්ද දිසානායක ඇමතිතුමයි, ආසන සංවිධායකවරු, පක්ෂයේ ප‍්‍රධානීන් තමුන්නාන්සේලා ඒකරාශී කරනකොට මෙතනට, කුරුණෑගලින් කවුරුවත් ගෙනාවේ නැහැ. පොළොන්නරුවෙන් ගෙනාවේ නැහැ. පුත්තලමින් ගෙනාවේ නැහැ. හැබැයි මීට පෙර මෙතන රැස්වීම තබපු අය මුළු රටෙන්ම සෙනග ගෙනල්ලා මේ පිට්ටනියෙන් බාගයක ඒ ජනතාව පෙන්නලා ලොකු ෂෝ එකක් දැම්මා මෙන්න අපට ඉන්න මිනිස්සු කියලා. අද පටන්ගත්ත මේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක පෙබරවාරි 10 වැනිදා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමග අත ලකුණ සහ බුලත්කොළය ජයග‍්‍රහණය කරලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්න රටට ආදරය කරන, ගමට ආදරය කරන, මිනිසුන්ට ආදරය කරන ජනතාව මේ රටේ කොතෙක් ඉන්නවාද කියන එක විරුද්ධවාදීන්ට බලාගන්න පුළුවන්.

ඒ නිසා මෙතන සිටින අමාත්‍යවරු, ආසන සංවිධායකවරු සියලු දෙනාම රට වශයෙන් මේ ජයග‍්‍රහණය සඳහා කැපවී කටයුතු කරනවා. මේ රටේ පළාත් පාලන ආයතන 341 ක් තිබෙනවා. ඒ 341 ක් අපි 339 ක් තරග කරනවා. අපි උතුරේ අත ලකුණින්, නැගෙනහිර, බටහිර, දකුණ අත ලකුණෙන්, බුලත් කොළෙන් තරග කරනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ පක්ෂයේ ලේකම් විදියට වසර 13 ක් තමුන්නාන්සේලා සමග වැඩකරපු වසර 50 ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජීවත් වූ කෙනෙක් ලෙස කිසිඳු පළාත් පාලන මැතිවරණයක දී මෙවර තරම් ලංකාවේ වැඩි ගණනක් තරග කරලා නැහැ. මෙවර තමයි පළමු වතාවට සියලුම ප‍්‍රාදේශීය සභා පළාත් පාලන ආයතන වලට අපි තරග කරන්නේ කියන එක අපි මතක් කරන්න කැමතියි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා, අත ලකුණට ජයවේවා, අනුරාධපුර ජනතාවට ජයවේවා, ප‍්‍රගතිශීලී ව්‍යාපාරයට ජයවේවා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන මැති ඇමතිවරු, සංවිධායකවරු, ජනතාව ඒ සියලු දෙනාට ජයවේවා කියමින් විශිෂ්ට ජයග‍්‍රහණයකට තමුන්නාන්සේලා අපි ඉදිරියට යමු. අපිට ජයග‍්‍රහණය ස්ථීරයි.

ස්තූතියි.

Share This Post

NEW