රටට නොගැළපෙන කිසිදු විදේශීය ගිවිසුමකට තම නිල කාලය තුළ අත්සන් තැබීමට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි.

රටට නොගැළපෙන කිසිදු විදේශීය ගිවිසුමකට තම නිල කාලය තුළ අත්සන් තැබීමට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි.

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

රට පාවා දෙන සෝපා, මිලේනියම් චැලේන්ජ් ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ රටට නොගැළපෙන ඉඩම් පනතක් පිළිබඳ මේ වන විට සමාජයේ කතා බහක් ඇතිව තිබෙන අතර සාකච්ඡා සහ සංවාද කුමන අන්දමින් පැවැතිය ද රටට හානි වන සහ රටට නොගැළපෙන එබඳු කිසිදු ගිවිසුමකට එළැඹීමට තමා ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ බිබිල මහජන ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට තමා නායකත්වය ගෙන සිටින විට දේශපාලන භේදයකින් තොරව රටේ ප‍්‍රබල දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරින් ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට ඉදිරිපත්ව සිටින බවයි. එහි ප‍්‍රතිඵල තවත් වසර කිහිපයකින් මේ රටේ අහිංසක දරුවන්ට අත්විඳීමට සිදුවනු ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කුමන ආකාරයෙන් පෙනී සිටිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව අද අධිකරණයට යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ මුදලට යට වූ පිරිස් බව ද කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටට සිදුව ඇති විනාශය සුළු කොට තැකිය නොහැකි අතර මත්ද්‍රව්‍ය උවදුර ජාතික ඛේදවාචකයක් දක්වා අද ඔඩු දුවා ඇත්තේ මෙතෙක් රටේ බලයට පත්වූ කිසිදු රජයක් තම දේශපාලන අරමුණු හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි සටන අතට නොගත් නිසා බව ද කියා සිටියේය. අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමා ගෙන යන ප‍්‍රබල සටන හේතුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ පැහැදිලි පසුබෑමක් දක්නට ලැබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ පොදු අරමුණු වෙනුවෙන් දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරියා ද එකට සිටිය යුතු අතර, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බෙදී වෙන් වුවහොත් සමස්ත ජාතියම විනාශයට පත්වන බවයි.

දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.  මොණරාගල දිස්ති‍්‍රක්කයට අයත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් ග‍්‍රාම නිලධාරි වසම් 319ක් ආවරණය කරමින් මෙම වැඩසටහන සතියක් පුරා කි‍්‍රයාත්මක වූයේ දිස්ති‍්‍රක්කයේ 479,000 ක් ජනතාවට ප‍්‍රතිලාභ රැසක් සලසමිනි. අද පැවති සමාප්ති වැඩසටහනේදී ද දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් ප‍්‍රතිලාභ රැසක් බෙදාදීම ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.

මේ අතර දිස්ති‍්‍රක්කයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ ප‍්‍රතිකාර සහ සායනික සේවාවන් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 36ක වියදමින් වැල්ලවාය මූලික රෝහලේ ඉදිකර ඇති වකුගඩු ඒකකය අද දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

පරිසරය පිළිබඳ වගකීම් සහිත ලියවිල්ල මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවපි‍්‍රය මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ යන මහත්වරුන් ද ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, රවින්ද්‍ර සමරසිංහ, මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම්, මොනරාගල දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති, ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානින් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

‘‘රට වෙනුවෙන් එකට සිටිමු” මොණරාගල දිස්ත‍්‍රික් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව  – 2019-07-06 බිබිල මහජන ක‍්‍රීඩාංගණය

අද අපි සියලු දෙනාම ඓතිහාසික වෙල්ලස්සට පැමිණියේ රටපුරා ගෙනියන රට වෙනුවෙන් එකට සිටිමු කියන වැඩසටහනෙහි තවත් එක් අවස්ථාවක් ලෙසයි. මොණරාගල දිසාපතිතුමිය මේ වැඩසටහන තුළ පසුගිය කාලය තුළ කරන ලද පුළුල් කාර්යයන් පැහැදිලි කළා. දිස්ත‍්‍රික්කයේ දීර්ඝ කාලයක් නොවිසඳුණු ප‍්‍රශ්න විසඳිලා තිබෙනවා. ඇතැම් ක්ෂණිකව කරන්න තිබුණු කරුණු, ඒත් අතපසු වුණු දේවල් ඉෂ්ට වෙලා තියෙනවා. රජයක් විදියට කළයුතු කාර්යයන්වලදී දේශපාලන නායකත්වයන් වගේම, රාජ්‍ය නිලධාරින් තුළිනුත් ඇතැම් වෙලාවට ප‍්‍රමාදවීම්, අතපසුවීම්. මගහැරිම් සිදුවෙනවා. ඒ නිසා තමයි මේ රට වෙනුවෙන් එකට සිටිමු කියන වැඩසටහන ක‍්‍රියාත්මක කළේ. මේ වැඩසටහනට ප‍්‍රධාන වශයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය, දිසා ලේකම් කාර්යාල, පළාත් සභාව, අනෙකුත් දෙපාර්තමේන්තු ආයතන රාශියක් එක්කරලා තියෙනවා. රට වෙනුවෙන් එකට සිටිමුයි කියන වැඩසටහන ඇතිවුණේ අපි රට වෙනුවෙන් එකට සිටිය යුතු බොහෝ අවස්ථාවල්වල එකට සිට නැති නිසා. හවසට රූපවාහිනිය දිහා බැලුවොත් පේනවා අපි රට වෙනුවෙන් එකට නැහැ කියලා.උදේ පත්තර බැලුවොත් පේනවා අපි රට වෙනුවෙන් එකට නැහැ කියලා.පාර්ලිමේන්තුව දිහා බැලුවොත් පේනවා රට වෙනුවෙන් එකට නැහැ කියලා.

සමාජය තුළ ඇතිවෙන විවිධ ගැටුම්. ප‍්‍රශ්න, වාදභේදවල දී පේනවා රට වෙනුවෙන් අපි එකට සිට නෑ කියලා. වෙල්ලස්ස, ඌව කියන්නේ අපේ ජාතික විමුක්ති නිදහස් අරගලවල මහ කේන්ද්‍රස්ථානයක්. ඒ දිවි පිදු වීරයින් අපි අදත් සමරන්න ඕන. බි‍්‍රතාන්‍ය පාලකයින්ගෙන් අපි නිදහස් වෙලා දැන් අවුරුදු 70 ට වැඩියි. අපි 1505 ඉඳලා අවුරුදු 400 ට වැඩි කාලයක් විදේශීය ආක‍්‍රමිකයන්ට යටත්වෙලා හිටපු අපිට ඇතැම් වෙලාවට තවමත් ඒ ආක‍්‍රමිකයින්ගේ සංස්කෘතින්ගෙන් බැහැරවෙලා ඉන්න බැරිවෙලා තියෙනවා. ඒ ආක‍්‍රමිකයින් හදපු නීතිරීතිවලින් අපිට තවම ගැලවෙන්න බැරිව ගිහින් තිබෙනවා. අපේ නීති පොත්වල තාමත් තිබෙන්නේ සුද්දන් ගේ කාලේ හදපු නීති. ඒ නිසා ඇතැම් වෙලාවට පැයකින්, දවසකින්, දෙකකින්, විසඳිය යුතු ප‍්‍රශ්න විසඳෙන්නෙ නැතිව කල් පවතිනවා. මේවායින් දුක් විඳින්නේ පොදු ජනතාව. පොදු ජනතාව අතරින් ඉතාමත් දුප්පත් ජනතාව.

අපේ රට ඉස්සරහට යන්න ශක්තිමත් කරන්න අපිට තියෙන ප‍්‍රධාන අභියෝග මොනවාද. ඒ අභියෝග අතර අංක එක තමයි දුගීභාවය. දිසාපතිතුමියගේ වාර්තාවේ සඳහන් කරල තිබුණා මොණරාගල දිස්ත‍්‍රික්කේ දුගී භාවය ගැන. ඇත්තටම රට වශයෙන් ගත්තත් දත්ත තොරතුරු අනුව රටේ දුගීභාවය සියයට 40ක් විතර. එතනින් සියයට 10 ක් විතර අන්ත දුගීභාවය. රැකියාවක් නැති අය, ගොවිතැන් බතක් නැති අය, ඉඩමක් නැති අය, ජීවන වෘත්තියක් නැති අය වගේම, රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල අය තුළත් දුගී භාවය තිබෙනවා. රාජ්‍ය සේවයේ ලක්ෂ 16 න් ලක්ෂ 4 විතර ඇත්තටම දුගී භාවයේ පහළම කොටසේ ඉන්නවා. පෞද්ගලික අංශයේ වැඩ කරනවා ලක්ෂ 27 විතර.ඒ ලක්ෂ 27 න් ලක්ෂ 15ක් විතර රැකියාවන් කළත් දුගීභාවය තිබෙනවා. අද අපේ රට වගේම ප‍්‍රධාන වශයෙන්ම දුගීභාවය පිළිබඳව ප‍්‍රශ්නයෙදි මුළු ලෝකයම මුහුණ දීලා තිබෙන ප‍්‍රධාන අභියෝග තමයි, කාලගුණික, සහ දේශගුණික විපර්යාසවලින් ඇතිවන පීඩනය. ජල හිඟය ප‍්‍රධානයි. වර්ෂාව නොමැතිකම. බීමට, කෘෂිකර්මාන්තයට ජලය නොමැතිකම. මිනිසාගේ දෛනික අවශ්‍යතාවයන්ට ජලය නොමැතිකම විශාල ගැටලුවක්.

දැන් සති 2 ට කලින් ප‍්‍රංශයේ පාසල් වැහුවා. ඔබ දන්නවා ලෝක සිතියමේ ප‍්‍රංශය තියෙන්නේ කොතනද කියලා. යුරෝපයේ ප‍්‍රබල බලවත් හොඳ කාලගුණික , දේශගුණික රටක් විදියට ප‍්‍රංශය අපේ මනසේ තිබුණත් ප‍්‍රංශ රජය පාසල් වැසුවා අධික උෂ්ණත්වය නිසා. ඉන්දියාව වගේ රටක් ගත්තොත් අද දිල්ලිවල එකම දුමාරයක්. මිනිස්සු පේන්නේ නැහැ. වැහිලා. වළාකුල් වගේ. ඉන්දියාවේ මාස 6 ට කලින් පාරේ යන මිනිස්සු ඇඟේ හැප්පිලා කාණුවලට වැටිලා, වාහනවලට වැදිලා මැරුණා 46 දෙනෙක්. වායු ගෝලීය දූෂණය ඉතාම ප‍්‍රබලයි. පරිසර දූෂණය ඉතාමත් බරපතළයි. ගෝලීය උෂ්ණත්වය තුළ අද මුළු ලෝකයේම ජනතාව දුක් විඳිනවා. මේ තත්ත්වය ඉතා බරපතළයි. චීනය වගේ රටක තාක්ෂණය ඉතාමත් ඉහළයි. බීජින් නගරයේ ඔක්සිජන් බෑගය කරේ දාගෙන යනවා හුස්ම ගන්න ඔක්සිජන් නැතිව. දැන් අපි මේ තත්ත්වය කොහොමද අවබෝධ කරගන්නේ. මේ තත්ත්වයන්ට විසඳුම් දෙන්නේ.

ලංකාවේ වන ඝනත්වය මොණරාගල දිස්ත‍්‍රික්කය ඉතා හොඳ තැනක තිබෙන දිස්ති‍්‍රක්කයක්. වන ඝනත්වයෙන් වැඩි දිස්ත‍්‍රික්ක ලේඛනයේ මොණරාගල දිස්ත‍්‍රික්කය දහයෙන් ඉහළ තිබෙනවා. ලංකාවේ හොඳම වන ඝනත්වය තිබෙන්නේ උතුරේ. වන ඝණත්වය උතුරේ තිබෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි ප‍්‍රභාකරන්ගේ යුද්දේ නිසා ප‍්‍රභාකරන්ලට ගරිල්ලා සටන් නිසා කැලේ අවශ්‍ය වුණා. ඒ නිසා උන් කැලෑව ආරක්ෂා කළා. ඒකෙන් තමයි ආරක්ෂා වුණේ. වන ජාවාරම්කාරයින්ට දැව කපන්න බැරිව ගියා. ලංකාවේ අනෙක් ප‍්‍රදේශවල හැම තැනම කැලේ විනාශ කෙරුවා. ඒ නිසා අද ලංකාවේ ඉහළම වන ඝනත්වය තියෙන්නේ වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි දිස්ත‍්‍රික්කවල. අද පාරිසරික ප‍්‍රශ්න තුළ තව අවුරුදු 25 යනවිට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම මිනිසෙකුගේ ලේ බෝතලේකට වඩා පානීය ජලය බෝතලේක වටිනාකම වැඩි වෙනවා. මිනිස් ලේවලට වඩා වතුරවල වටිනාකම වැඩිවෙනවා. ලෝකයේ බීමට සුදුසු ජලය වේගෙන් අඩු වෙනවා. ජල මූලාශ‍්‍ර විනාශ වීම. ගෝලීය උෂ්ණත්වය නිසා ප‍්‍රධාන වශයෙන්ම ඇතිවන තත්ත්වයන් මේ තුළ මිනිසාට බරපතළ අභියෝගයක් ඇතිවෙනවා. වනාන්තර ටික රකින්න රට වෙනුවෙන් එකට ඉන්න ඕන. ගස්ටික රකින්න රට වෙනුවෙන් එකට ඉන්න ඕන. එහෙම නැත්නම් අපේ රට කාන්තාරයක් බවට පත් වෙනවා.

ලංකාවේ වන ඝනත්වය දැන් සියයට 28 යි. අවුරුද්දට සියයට එකයි දශම 5 ක් වනාන්තරය විනාශ වෙනවා. මම පහුගිය දවස්වල ගස් කපන මැෂින් පිටරටින් ගෙන්වන එක තහනම් කෙරුවා. දැන් පිටරටින් ගස් කපන මැෂින් ගේන්න බැහැ. කැබිනට් තීරණයකින් අතේ ගෙනියන ගස් කපන මැෂින් සති 3ක් ඇතුළත ලියාපදිංචි කරන්න කියලා නිවේදනයක් නිකුත් කළා. ඒ සති 3 ඇතුළත ලංකාවේ පොලීසිවල ලියාපදිංචි කළා මැෂින් අසූ දෙදහක්. මැෂින් ලක්ෂයකට වැඩිය මේ රටේ තිබෙනවා. එක මැෂිමකින් දවසකට එක ගහක් කැපුවොත් ගස් ලක්ෂයක් කැපෙනවා. එහෙමනම් සියයට 28 ක වන ඝනත්වය කොහොමද ආරක්ෂා කරගන්නේ. රට වෙනුවෙන් එකට සිටිමු කියන්නේ දේශපාලන සටන් පාඨයක් නොවෙයි. ජාතියේ අනාගතය වෙනුවෙන් දේශපාලනඥයා ද. රාජ්‍ය නිලධාරින් ද, ජනතාව ද, ව්‍යාපාරිකයා ද, පාසල් දරුවා ද සියල්ල පොදු ජාතික අරමුණු සඳහා එකට සිටින්නට ඕනෑ.

කාලගුණික, දේශගුණික, තත්ත්වයන් තුළින් ඇතිවන පීඩාකාරී තත්ත්වයෙන් ඇතිවන දුප්පත්කම වගේම ලංකාවේ ජනතාවගේ දුප්පත්කම වැඩි වෙන්න ප‍්‍රධාන හේතුවක් මත්ද්‍රව්‍ය. ඒ නිසා තමා මත්ද්‍රව්‍යවලට විරුද්ධව රට පුරා පුළුල් ජාතික වැඩසටහනක් අපි ගෙනියන්නේ. මම සෞඛ්‍ය ඇමතිවරයා කාලෙත්, ඊට කලිනුත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙනගිය පුළුල් ජාතික වැඩපිළිවෙළ ජනාධිපති ධූරයට පත්වුණාට පස්සේ ශක්තිමත් කළා. අලුත් නීති හැදුවා. රට පුරා ජාතික වශයෙන් විවිධ වැඩ සටහන් ක‍්‍රියාත්මක කළා. ඒ තුළින් ඉතාමත් හොඳ ප‍්‍රතිඵල ලැබුණා. දේශපාලනඥයින්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයා, විවිධ ඉහළ සමාජ මට්ටම්වල ඉන්න මිනිස්සු මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධයි. මර්ජුවානා, කොකේන්, හෂීස්, අයිස්, හෙරොයින්, මේවා ඉතාමත්ම ප‍්‍රබලයි. මත් කුඩු, මත් පෙති අද විශ්වවිද්‍යාලවල නොමිලේ බෙදාගෙන යනවා. පාසල් දරුවන්ට නොමිලේ දෙනවා. හිර ගෙවල්වල ලංකාවේ ඉඩ තියෙන්නේ 11 දාහකට. දැන් ඉන්නවා 24 දාහක්. ඒ 24 දාහෙන් 15 දාහක් මත්ද්‍රව්‍ය වැරදිකරුවෝ. මත්ද්‍රව්‍ය නිසා පුනරුත්ථාපනය කරන කඳවුරු ලංකාවේ තියෙන්නේ 10ක් 11ක්. දෙමව්පියන්ගේ විශාල ඉල්ලීමක් තියෙනවා දරුවෝ පුනරුත්ථාපනය කරල දෙන්න කියලා. නමුත් ඒවා ඉඩ නෑ. කඳවුරු පිරී ඉතිරී ගිහිල්ලා. මත්ද්‍රව්‍ය නිසා ඇතිවන බරපතළ සමාජ ව්‍යසනය ජාතික ඛේදවාචකයක් වෙලා. ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. මේකට හේතුව කිසිම ආණ්ඩුවකින් මේ රටේ මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ ප‍්‍රශ්නය අතට ගත්තේ නැහැ. ඒ ප‍්‍රශ්නය අතට ගත්තේ අපි. ඒ තුළ අද හොඳ ප‍්‍රතිඵල තියෙනවා. මත්ද්‍රව්‍ය තුළ විශේෂ පසුබෑමක් ඇතිවෙලා තියෙනවා. තවත් මත්ද්‍රව්‍ය මර්දනය කරන්න තමයි මරණීය දණ්ඩනය මම ක‍්‍රියාත්මක කරන්න අත්සන් කෙරුවේ. මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිසා ඇතිවෙලා තියෙන සමාජ ව්‍යසනය නිසා දෙන්න තියෙන ඉහළම දඬුවම දිය යුතුයි කියන එක තමයි ජනතාවගේ මතය වුණේ. දැන් මරණීය දණ්ඩනය තීන්දු කරලා අත්සන් කළාට පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ කොච්චර එළියට බැහැලා තියෙනවද. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ තමයි උසාවි ගිහින් තියෙන්නේ. මොන නමින් ගියත්, මොන නමින් පෙනී හිටියත්, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පිටිපස්සේ ඉඳන් මෙහෙයවනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් එකට සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්න අපි නායකත්වය අරන් තියෙන විට රටේ අද ප‍්‍රබලයෝ, රටේ ලොක්කෝ දේශපාලන භේදයකින් තොරව, නිලධාරින් භේදයකින් තොරව ජාවාරම්කරුවෝ රකින්න අද ඉදිරිපත්වෙලා ඉන්නවා.

ජාවාරම්කාරයෝ රකින්න ඉදිරිපත් වෙලා තියෙන එකේ ප‍්‍රතිඵලය පෙනෙයි තව වසර කිහිපයකින් මේ රට කුඩු කාරයින්ගේ රටක් බවට පත්වුණාම. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න පටන් ගන්නවා. එය ලෝකයේ රටවල්වල වී තිබෙනවා. ඒ නිසා තමයි මත්ද්‍රව්‍ය සම්බන්ධ දැඩි නීති රීති ක‍්‍රීයාත්මක කරලා දැඩි දඬුවම් දෙන්න මම තීරණය කළේ. නමුත් දඬුවම්වලට විරුද්ධව අද පෙළගැසිලා සිටින අය සෘජුව හෝ වක‍්‍රව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ සල්ලිවලටයි වැඩ කරන්නේ කියලා මම කියනවා. ඒ නිසා මේ බරපතළ ප‍්‍රශ්නය අප විසින් තේරුම් ගෙන අපි දැනගන්නට ඕනෑ මත්ද්‍රව්‍ය මර්දනයට එකට ඉන්න. එහෙම එකට ඉන්න බැරි අය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ සාක්කුවල ඉන්න අය බව මම බොහොම පැහැදිලිව කියනවා.

පසුගිය වසර හතර හමාරක කාලය තුළ රටේ සංවර්ධනය සඳහා අපි පුළුල් වැඩ කොටසක් කළා. රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළා. රට තුළ ජනතාවගේ නිදහස ශක්තිමත් කළා. ඕනෑම කෙනෙකුට නිදහසේ කතාකරන්න ඉඩකඩ දුන්නා. රටේ ජනාධිපතිවරයාටත් තිත්ත කුණුහරුපයෙන් කතා කරන්න මම නිදහස දීලා තිබෙන්නේ. ඒ නිදහස දුන්නේ සමාජ මාධ්‍යවල එහෙම කතාකරන්න නෙවෙයි. මිනිස්කම දන්න සමාජයක් ඇති කරයි කියලයි ඒ නිදහස දුන්නේ. අද සමාජ වෙබ් අඩවිවලින් මට කතාකරන විදියට මීට පෙර සිටි ජනාධිපතිවරු පස්දෙනාගෙන් ඕනෑම කෙනෙකුට කිව්වානම් සමාජ මාධ්‍යවල වෙබ් අඩවිවල කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් ඉතුරු වෙන්නෙත් නැහැ. මම ඒ නිදහස දුන්නේ යහපත් ගතිගුණ තිබෙන අයට, මනුස්සකම තියෙන අයට මිස සත්තුන්ට, අමනුස්සයින්ට නෙවෙයි. රටේ විවිධ ක්ෂේත‍්‍රවල භෞතික සම්පත් සංවර්ධනය වන විට ආධ්‍යාත්මික සංවර්ධනය සිදුවෙන්නට ඕනෑ. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට නායකත්වය ගන්නේ මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික පූජකතුමන්ලා යි. ඒ ඇරෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේදය වැනි විවිධ ක්ෂේත‍්‍රවලින් ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ. රටම එකට සිටිමු කියන්නේ එක් පැත්තකින් ආධ්‍යාත්මික වැඩසටහනක්. මිනිසුන්ට ආදරය කරන සෙනෙහෙබර වැඩසටහනක්.

මේ දවස්වල මාධ්‍ය තුළ සාකච්ඡා වෙනවා විදේශ ගිවිසුම් ආණ්ඩුව අත්සන් කරන්න යනවා, රට පාවා දෙනවා කියලා. සෝෆා කියන ගිවිසුමක් ගැන කතා කරනවා. සහශ‍්‍ර අභියෝගතා ගිවිසුමක් ගැන කතා කරනවා. රටට නොගැළපෙනවයි කියන ඉඩම් පනතක් ගැන කතා කරනවා. මේ සාකච්ඡා සංවාද කෙසේ තිබුණත් මේ රටේ ඔබ පත්කළ ජනාධිපතිවරයා විදියට මගේ ඉදිරි නිල කාලය තුළ නම් රටට නොගැළපෙන, නුසුදුසු කිසිඳු විදේශීය ගිවිසුමක් අත්සන් කරන්න ඉඩ තියන්නේ නැහැයි කියන එක මම පැහැදිලිව කියන්න ඕනෑ. සමහර විදේශ බලවේග උත්සාහ කරනවා ලංකාව ඔවුන්ගේ කේන්ද්‍රස්ථානයක් කරන්න. යම් යම් කටයුතුවලට ඔවුන්ගේ මධ්‍යස්ථාන කරගන්න, ඒ අයගේ වැඩවලට අවශ්‍ය බිමක් කරගන්න උත්සාහ කරනවා. රට ඇතුළට ඇවිත් මොනම බලවතෙකුටවත් මොනම ගිවිසුමකින්වත් රටේ ස්වාධීනත්වයට අභියෝගයක් වන විදියට කිසිම රටක කිසිම ගිවිසුමකට අත්සන් කරන්න මම ඉඩ තියන්නේ නැහැයි කියලා මම ප‍්‍රකාශ කරනවා.

මේ නිසා හැම දේටම රට වෙනුවෙන් එකට සිටිය යුතුයි. අපි ග‍්‍රාමශක්ති ව්‍යාපාරය තුළ දුගීභාවය නැති කරන්නත් රට වෙනුවෙන් එකට සිටිමුයි කියන පාඨය අනුවයි කටයුතු කරන්නේ. පරිසර සංරක්ෂණය, ග‍්‍රාම ශක්ති, දරුවන් සුරකිමු, වකුගඩු රෝග මර්දනය, ආහාර නිෂ්පාදනය ආදී විවිධ ක්ෂේත‍්‍රවලට අපි නායකත්වය දීලා තිබෙන්නේ පොදු ජනතාවට සුඛිත මුදිත අනාගතයක් ඇති කිරීම සඳහායි. මේ සියලු කටයුතුවලදී මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, ආගමික පූජකවරු ආදී සෑම කෙනෙක්ම ලබාදුන් සහය පිළිබඳව ඔබ සියලු දෙනාට මගේ ස්තූතිය පිරිනමමින් රට වෙනුවෙන් එකට පෙළගැසෙන්න කියන ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා.

Share This Post

NEW