රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක් බව ජනපති පවසයි.

රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක් බව ජනපති පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් දේශපාලනය කරන බහුතරයක් රටේ ජනතා සේවකයන් ලෙස ලබාදීමට බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) පස්වරුවේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ඥාති සහ හිතමිත‍්‍ර සබඳතා මත දූෂණයට ඉඩ තැබීම තම දේශපාලන ප‍්‍රතිපත්තිය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා කියා සිටියේ රටේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය දූෂණයෙන් තොර ජනතාවාදී රාජ්‍ය පාලනයක් බවයි.

තම පස් වසරක පාලන කාලය තුළ දූෂණය සහ වංචාව මැඩැලීමට ගත හැකි සෑම පියවරක්ම ගත් බව මෙහිදී පැවසු ජනාධිපතිතුමා පැවති රජයේ මෙන්ම පවතින රජයේ ද වංචා දූෂණ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව ද කියා සිටියේය.

එමෙන්ම මීට පෙර සිටි සියලූ ජනාධිපතිවරුන්ට තිබූ චෝදනාවන් වන මිනිස් ඝාතන, පෞද්ගලික දේපළවලට හානි කිරීම් හා දේශපාලන පළිගැනීම් පිළිබඳ ඒකම චෝදනාවක් තමාට නොමැති බව පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙම නොවැම්බර් මැද භාගය වන විට තමා ජනාධිපති ධූරයේ නිල කාලය අවසන් කර ඊළග පියවර තබන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ එම චෝදනා ලැයිස්තුවෙන් එකම චෝදනාවක්වත් නොමැති පිරිසිදු දේශපාලනඥයෙකු ලෙස බවයි.

ලබන 11 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී පිරිසිදු සහ නිවැරදි දේශපාලඥයන් පිරිසක් තෝරා පත් කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපතිතුමා එම ජනතාවට පෙන්වා දුන්නේ ය.

“තීන්දුව හරි අතට” තේමාව යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව පවත්වන සමුළු මාලාවේ ගාල්ල දිස්ත්‍රික් සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, වීරකුමාර දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඇල්පිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමිල කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිහු මිට එක්ව සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති
ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව -2019-10-05 වන දින ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ දී

රටේ සංවර්ධනය ස`දහා ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා මහජනයා විසින් පත් කරන ආයතන 4ක් තිබෙනවා. ප‍්‍රධාන තනතුර රටේ ජනාධිපති ධුරය. ඊළගට පාර්ලිමේන්තුව. පළාත් සභාව. හතරවෙනි ආයතනය පළාත් පාලන ආයතනය එහෙම නැත්නම් නගර සභාව සහ ප‍්‍රාදේශීය සභාව. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ 11 වන දා පවත්වන ඡුන්දයට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව පනස් තුන් දාහක් පමණ වෙනවා. ඒ වගේම තමුන්නාන්සේලාගේ ප‍්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ක් තිබෙනවා. අපේක්ෂක ලැයිස්තුව ඉන්නවා 31 ක්. 11 වනදට මේ පනස් තුන් දාහෙන් මගේ අත්දැකීමේ හැටියට ඡන්ද 40 දාහක් විතර පාවිච්චි වෙයි. ඒ 40 දාහෙන් දාසය දාහක්, දාහත්දාහක් ගන්න පුළුවන් නම් ඒ පක්ෂය තමයි ප‍්‍රාදේශීය සභාවේ බලයට පත් වෙන්නේ. තමුන්නාන්සේලට අපි ඉදිරිපත් කරල තියෙන්නේ, මම දන්න විදියට ඉතාම හොඳ අපේක්ෂක කණ්ඩායමක්. පාර්ලිමේන්තුවෙන් කරන කටයුතු කරන්න නෙවෙයි, පලාත් සභාවෙන් කරන කටයුතු කරන්න නෙවෙයි, ජනාධිපති ධුරයෙන් කරන කටයුතු කරන්න නෙවෙය ගමේ සභාවට ගමේ ප‍්‍රශ්න විසදන, ගමේි ජනතාවට ඉතාම සමීප තමුන්නාන්සේලට කැමති ගමට මන්ත‍්‍රීවරයෙක් තෝරගන්නයි. පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයකදී ඡන්ද දායකයා හිතන විදියට නෙවෙයි මේ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදි. ඡන්ද දායකයෝ හිතන්නේ මෙතන පැමිණ ඉන්න තමුන්නාන්සේලා වගේම මේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ සිටින සියුම ඡන්ද දායකයින්ට. මේ සියලුම පක්ෂ වලින් ඉල්ලලා තියෙන අපේක්ෂකයින් සමඟ නොයෙකුත් ආකාරයේ සම්බන්ධකම් තිබෙනවා.

ප‍්‍රධාන වශයෙන්ම ඥාති සම්බන්ධකම් තිබෙනවා. තවත් මිත‍්‍ර සම්බන්ධකම් තිබෙනවා. තවත් සමහරවිට ව්‍යාපාරික සම්බන්ධකම් තිබෙනවා. වෘත්තීය සම්බන්ධකම් තිබෙනවා. මෙතනදි ප‍්‍රාදේශීය සභාවේ බලය දීමට තමුන්නාන්සේලාට වඩාත් ගැළපෙන සුදුසු කණ්ඩායම විදියට මම විශ්වාස කරන්නේ බුලත් කොළය ලකුණ යටතෙන් ඡන්දය ඉල්ලන අපේ එක්සක් ජනතා නිදහස් සන්ධානය, නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම. මෙතන සිටින තමුන්නාන්සේලා වගේම. මෙතනට පැමිණ නැති දහස් ගණනක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට ඡන්ද දෙන්න කියන්නේ ඇයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද දවසේ මේ රටේ තිබෙන පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට සුදුසුකම් කියන එකම දේශපාලන පක්ෂය කියලා මම බය නැතිව කියනවා. ඒ සහතිකය දෙන්න පුළුවන්. මම තමුන්නාන්සේලාගේ ජනාධිපති විදියට දැන් අවුරුදු 5ට ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරණයේදි මම මේ රටේ ජනතාවට දුන්නු පොරොන්දු කිහිපයක් තියෙනවා රාජ්‍ය මට්ටමෙන් රජය විදියට නෙවෙයි පුද්ගලික මට්ටමෙන්. මම 2015 ජනවාරි 08 ජනාධිපති ඡුන්ද ව්‍යාපාරයේදි මේ රටේ ජනතාවට කිව්වා මීට පෙර හිටපු ජනාධිපතවරු 5 දෙනෙක්, තමාගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් කරපු ජනතාව අකමැති, ජනතාවට නොගැළපෙන මහජන සේවකයෙක් විදියට නොකළ යුතු, එහෙත් පෙර අය කළ කරුණු ගණනාවක් ඒවා මම කරන්නේ නෑ කියලා. ඉන් එකක් තමා මම කිවුවා ඉල්ලීමක් කළා මම ජනාධිපති වෙලා. ජනාධිපතිවරයාට තියෙන අතිගරු කෑල්ල මට කියන්න එපා කියලා. මම කිව්වා මගේ බිරි`දට කියන ආර්යාව කියන වචනේ පාවිච්චි කරන්න එපා කියලා මම කිව්වා. මම ප‍්‍රතිපත්තියක් විදියට අතිගරුත්, ආර්යාවත් දෙකම පුද්ගලික මට්ටමෙන් ඉවත් කළා. මටත් මගේ බිරි`දටත් එවැනි ගෞරවයක් අවශ්‍ය නැ. අපි මහජන සේවකයෝ විදියට කියලා. මම එදා කිව්වා ගුවන් යානා පාවිච්චි කිරීමේදි තිබුණු තත්ත්වය. අදත් 2015 ට කලින් ගුවන් යානා පාවිච්චි කිරීම් වලට කෝටි 22 ක් 23 ක් ගුවන් යානා වලට ගෙවන්න තියෙනවා තවම ගෙවලා නැති. මම නොමැතිව මගේ බිරිඳවත්, මගේ දරුවෝවත්, කොළඹින් පොළොන්නරුවටවත්, නැතිනම් තවත් තැනකට වත් කිසිම හෙලිකොප්ටරයක්, චොපර් එකක් පාවිච්චි කරලා නැහැ. මගේ පවුලේ කිසිම කෙනෙක්. මාත් එක්ක ගියොත් මිසක්.

ඒ වගේම ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිගේ සිට මේ දක්වා මට පෙර සිටි සියලු ජනාධිපතිවරුන්ට දේශපාලන පළිගැනීම් වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන කළ බවට, පෞද්ගලික දේපළවලට හානි කළ බවට, කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා නැගුණා.

හැබැයි මම නොවැම්බර් මාසයේ මැද භාගයේ මේ තනතුරේ නිල කාලය ඉවර කරලා, දේශපාලන ව්‍යාපාරයේ ඊළග පියවර තබන්නේ ඒ කිසිදු චෝදනාවක් නොලත් ජනාධිපතිවරයා විදියට. මේ රටේ මීට පෙර සිටි සියලූ ජනාධිපතිවරුන්ගේ කාලය තුළ කම්කරුවන්ට එරෙහිව තුවක්කු පත්තු වුණා. වෘත්තීය සමිතිවල අයට එරෙහිව තුවක්කු පත්තු වුණා. ශිෂ්‍ය ව්‍යාපර වලට, තුවක්කු පත්තු වුණා. නමුත් මම බෙහෝම පැහැදිළිවම කියනවා මගේ නිල කාලය තුළ ආණ්ඩුවේ තුවක්කු එකක්වත් මේ රටේ කිසිම පුරවැසියෙකුට එරෙහිව පත්තු වුණේ නැහැ. ඒ වාර්තාව මම පිහිටවලා තියෙනවා.

කිසිකෙනෙකුට ඒ වාර්තාව නැහැ. ඒ නිසා ඒ ප‍්‍රතිපත්ති තුළ වගේම මම උත්සහ ගත්තා දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙනියන්න. ඒකට මට සටන් කරන්න සිද්ධ වුණා. මම හිටපු තැනින් එළියට ආවේ එතන වැරදි රාශියක් තිබුණුු නිසා, නිවැරැුදි දේශපාලන ගමනක් යන්න. 2015.01.08 මේ රටේ ඡන්දය දුන්න හැට දෙලක්ෂ දාහත් දහස් පන්සියයකට වැඩි පිරිසක් මට ඡන්දය දුන්නේ කන්න ඉල්ලලා නෙවෙයි. රස්සාවල් ඉල්ලලා නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලලා. නිදහස ඉල්ලලා.

බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ සමාජයක් ඉල්ලලා. ඒ සමාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස මම තහවුරු කෙරුවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට තමුන්නාන්සේලා ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ කියන සුදුසුකම් අද මේ රටේ වෙනත් එකම දේශපාලන පක්ෂයකටවත් නැති නිසයි. මේ රටේ පැහැදිලි දේශපාලන ව්‍යාපාරයක් සඳහා ජනතාවාදී වාමාංශික ප‍්‍රගතිශීලි මානවවාදී දේශපාලන ව්‍යාපාරයකට, මූලික පදනම වැටුණේ අපේ දේශපාලන ඉතිහාසයේ මෑත භාගයේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමාගෙන්. බණ්ඩාරනායක මැතිතුමත්, මැතිනියත්, මේ රටේ පොදු මහජනතාවට පුංචි මිනිහට ඔලූව උස්සන්න, දුප්පත් මිනිහට නැගිටින්න, කම්කරුවගේ අයිතිය ලබාදෙන්න කටයුතු කළා.

බණ්ඩාරනායක මැතිතුමත් මැතිනියත් වැඩකළේ මේ රටේ පොදු මහජනතාවට දුප්පත් මිනිහට නැගිටින්න. වැඩපොළේ කම්කරුවාගේ අයිතිය ලබා දෙන්න. කුඹුරේ වැඩකරන ගොවියාට අවශ්‍ය ජීවන තත්ත්වය උසස් කරන්න. මේ රටේ ගුරුවරයා, වෙද මහත්මයා, පන්සලේ හාමුදුරුවෝ නැගිට්ටවන්න. දේශීයත්වය, අපේකම්, අපේ සංස්කෘතිය, අපේ භාෂාව, අපේ ආගම ආදි ඒ සියල්ලත් එක්ක රට තුළ නව පුනර්ජීවනයක් ඇති කරන්න. මේ බණ්ඩාරනායක දර්ශනය නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වුණා. ඒ දර්ශනයෙන් බිහිවුණු දේශපාලන ව්‍යාපාරය තමයි මේ රටේ වමේ ප‍්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරය. ඒ තුළ මේ රටේ ආණ්ඩු ගණනාවක් රටට අවශ්‍ය බොහෝ වෙනස්කම් කළා. ඒ වෙනස්කම් අතරේ මහජනතාවට හොඳට දැනෙන දේවල් කළා. ජාත්‍යන්තර වශයෙන් ලෝකය දිනා ගත්තා. බණ්ඩාරනායක මැතිනිය තරම් ලෝකය දිනාගත් නායකයෙක් මේ රටේ නැහැ.
2015 මම ජනාධිපතිවරයා වන විට ජාත්‍යන්තරය, ලෝකයේ බලවතුන්, නායකයන් මේ රටට තර්ජනය කිරීමේ විශේෂයෙන්ම බලපෑම් කිරීමේ ව්‍යාපාරයක හිටියේ. අපිව ප‍්‍රතික්ෂේප කරලා හිටියේ. නමුත් මම ජනාධිපති ධුරයට පත් වෙලා පළවෙනි අවුරුද්ද ලෝකයේ රාජ්‍ය නායකයන් හමුවෙලා එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙලා ඒ සියලූදෙනාට කරුණු කියලා මේ රටට තිබුණු විදේශීය බලවේග තර්ජන ඉවත් කරන්න කටයුතු කළා. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය නිසා.

අපිට අදත් හෙටත් අවශ්‍ය වන්නේ දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක්. මම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරලා තිබෙනවා. ජනතාවගේ නිදහස ශක්තිමත් කරලා තිබෙනවා. දුගීභාවය වැඩි වෙන්න ප‍්‍රධානම කාරණය දේශපාලනඥයන්ගේ දූෂිත ක‍්‍රියාමාර්ග. 11 වෙනිදා තම තමන්ගේ  ඡන්දය පාවිච්චි කරන විට තමුන්නාන්සේලා බලන්නට ඕනෑ මේ රටේ දේශපාලනය කරන අයගෙන් රට වෙනුවෙන් කී දෙනෙක් දේශපාලනය කරනවද කියලා. තමන් වෙනුවෙන් කී දෙනෙක් දේශපාලනය කරනවද කියලා. මේ රටේ දේශපාලනය කරන අයගෙන් 95% ක් ඉන්නේ තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය. ඒ නිසා තමයි දේශපාලනය පිරිහිලා තිබෙන්නේ. ඒ නිසයි ජනතාවට දේශපාලනඥයා පිළිකුල්සහගත වෙලා තිබෙන්නේ. බලය අරගෙන කරන්න තිබෙන ජහජරා වැඩ දූෂණ, වංචා, හොරකම්, පොදු දේපල මහජන දේපල ගසාකෑම, ලියා ගැනීම මේවා තමයි මේ රටේ දේශපාලනඥයෝ තමන්ගේ ප‍්‍රතිපත්ති විදියට ක‍්‍රියාත්මක කරන්න පටන් අරන් තිබෙන්නේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරන්නේ රට වෙනුවෙන් දේශපාලනය කරන බහුතරයක් මේ රටේ ජනතාවගේ සේවකයන් විදියට ලබාදීමටයි. මම නම් කිසිම තැනක පක්ෂයේ වුණත් හිතවත් වුණත් මොන මිත‍්‍රකම් නෑදෑකම් තිබුණත් දූෂණයට වංචාවට කිසිම කෙනෙකුට ඉඩදෙන්නේ නැහැ. ඒක මම බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ. මම තමයි මේ රටේ එකම ජනාධිපතිවරයා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න හිටපු ආණ්ඩුවටත් ජනාධිපති කොමිෂන් දැම්ම. මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ දූෂණ හොයන්න කොමිසම් පත් කෙරුවේ නැහැ. මම මේ ආණ්ඩුවේ දූෂණ වංචා හොයන්න කොමිසම් දෙකක් දැම්ම බව ඔබ දන්නවා. පළවෙනි එක මහ බැංකු කොල්ලය. රටේ අගමැතිවරයාට සිදුවුණා කොමිෂන් සභාවට ගිහිල්ලා කරුණු ප‍්‍රකාශ කරන්න. ඊළඟට තවමත් ක‍්‍රියාත්මක වන මේ ආණ්ඩුවේ දේශපාලනඥයන් වේවා නිලධාරීන්ගෙන් වේවා මේ කාලය තුළ සිදු වූ දූෂණ වංචා සොයන්න. ඒ නිසා මම හිටපු අයටත් වගඋත්තර කියන්න ඉඩ සැලැස්සුවා. ඉන්න අයටත් වග උත්තර කියන්න ඉඩ සැලැස්සුවා. ඒක තමයි රටකට අවශ්‍ය ප‍්‍රතිපත්තිය. ඒ ප‍්‍රතිපත්තිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ක‍්‍රියාත්මක කරනවා.

මේ රටේ අද ඉන්න දේශපාලනයේ කාටද මොන පක්ෂයට ද මොන නායකයට ද කියන්න පුළුවන් බලයේ ඉන්න මේ විදියේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා කියලා. කිසිකෙනෙකුට කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පක්ෂයක් විදියට පිරිසුදු දේශපාලන ව්‍යාපාරයකට විශේෂයෙන්ම ජනතාවගේ ප‍්‍රශ්න, දුප්පත්කම, දුගීභාවය, ආර්ථික අමාරුකම්, ඖෂධ, දරුවන්ට නිදහස් අධ්‍යාපනය, නිවසක් හදා ගන්න ජනතාවට ආදරේ නැති දේශපාලන පක්ෂ පස්සේ යන්න එපා. මිනිසුන්ගේ දුගීභාවය දුක් වේදනා තේරුම් ගන්නේ නැති අයට ඡන්දේ දෙන්න එපා. අපි පක්ෂයක් විදියට අපේ කණ්ඩායම්, අපේ මන්ත‍්‍රීවරු, අපේ සංවිධායකවරු, අපේ අපේක්ෂකයන් විනයක් ඇති පිරිසක් විදියට පුරුදු පුහුණු කරලා ඔවුන්ට අපි කියන්නේ මිනිසුන්ට ආදරය කරන සෙනෙහසින් දයාවෙන් පොදු මහජනතාවගේ දුක්කම්කටොළුවලට කන්දීලා වැඩකරන පිරිසක් බවට පත් විය යුතුයි කියලා. මේ ප‍්‍රාදේශීය සභා ඡන්දය ජනාධිපති ඡන්දය නෙවෙයි. මේක පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි. මේක පළාත් සභා මැතිවරණය නෙවෙයි. නමුත් ගමේ තමුන්නාන්සේලාගේ නියෝජිතයා මන්ත‍්‍රීවරයා පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක සිටිනවද කියන කාරණය තමුන්නාන්සේලා සොයලා බලන්නට ඕනෑ. තමුන්නාන්සේලා වෙනුවෙන් ඒ තිබෙන අවනතභාවය බලන්නට ඕනෑ. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා පැහැදිලිව කියන්නට පුළුවන් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානවවාදී මිනිසුන්ට ආදරය කරන, පවිත‍්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගෙනියන්නේ කියලා. අද මේ රටේ දේශපාලන පක්ෂ තිබෙනවා. දේශපාලන ව්‍යාපාර තිබෙනවා. හවසට රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න කොට අවංක මිනිස්සු කොච්චර ඉන්නවද. වාද විවාද කරන අය. විවේචනය කරන අය. නමුත් මිනිසුන්ගේ කතාවෙන් නෙවෙයි මිනිසුන්ගේ ක‍්‍රියාවෙනුයි මිනිස්සු තේරුම් ගන්න ඕනෑ කියලා තමුන්නාන්සේලා දන්නවා. බුදුන් වහන්සේත් දේශනා කරලා තිබෙනවා මිනිසෙක් උපතින් වැරදි කාරයෙක් නරක මිනිහෙක් වෙන්නේ නැහැ. ඔහු හොඳ මිනිසෙක් හෝ නරග මිනිසෙක් බවට පත් වන්නේ ඔහුගේ ක‍්‍රියාවෙන් කියලා.

ඒ නිසා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව දේශපාලන ව්‍යාපාරයේ පිරිසුදු දේශපාලන පක්ෂයකට බලය දෙන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබේ අපේක්ෂක කණ්ඩායම ඔබ පත් කරන මන්ත‍්‍රී කණ්ඩායම අවංකව, දූෂණයෙන් තොරව වැඩ කරන ඔබට හිතවත්ව ආදරය කරන පිරිසක් බවට පත් කරවීමේ ඒ වගකීම අපි පෞද්ගලිකව භාර ගන්න ඕනෑ. ඒක තමයි අවශ්‍ය වන්නේ. ජයග‍්‍රහණයෙන් පස්සේ අතඇරලා දාන්නේ නැහැ. දැන් ඉතින් හරි දිනුවා. දැන් ඉතින් වැඬේ කර ගන්නවා කියලා. අපි නිවැරැුදි දේශපාලන ව්‍යාපාරයකට බලය දෙන්න කියලා කියන්නේ විශේෂයෙන්ම දේශපාලනයේ තිබිය යුතු දූෂණයෙන් තොර පවිත‍්‍රතාවය ඉතා වැදගත් නිසා. ප‍්‍රාදේශීය සභාවට යන මන්ත‍්‍රීවරයෙක් ඊළඟ මැතිවරණයකදි පළාත් සභාවට යයි. පළාත් සභාවට යන කෙනෙක් ඊළඟට පාර්ලිමේන්තුවට යයි. පාර්ලිමේන්තුවට යන කෙනෙක් ඊළ`ගට ජනාධිපති වෙයි. ඒක මේ රටේ සිද්ධ වෙලා තිබෙනවා. ඒක බණ්ඩාරනායක මහත්මයාගෙන් සිද්ධ වුණා. ඒක ප්‍රේමදාස මහත්මයාගෙන් සිද්ධ වුණා. ඒක ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගෙන් සිද්ධ වුණා. මම නම් ප‍්‍රාදේශීය සභාවල පළාත් සභාවල ඉඳලා නැහැ. මම පාර්ලිමේන්තුවටයි ඉස්සල්ලාම ගියේ  89. එතකොට මේ තත්ත්වය තමුන්නාන්සේලාගේ ගෙවල්වලට එන අය පත‍්‍රිකා බෙදන අය සාකච්ඡා රැස්වීම් තියන අය ඉදිරිපත් වෙලා සිටින දේශපාලන පක්ෂ මේ සියල්ලම අරගෙන කිරලා මැනලා බලන්න මේකේ අඩිය පිරිසුදු කාගෙද කියලා. හරියට පෙනේරෙකට දාලා හලනකොට හොයා ගන්න පුළුවන් කුණු රොඩු බොල් පිරිසුදු දේ මොකද්ද කියලා.

අද තිබෙන පළාත් පාලන ආයතන විතරක් නොවෙයි පසුගිය අවුරුදු 30 ක් 35 ක් 40 ක් එහාට ගියත් පළාත් පාලන ආයතන දූෂිතයි. මම පසුගිය දවස්වලත් මේක කියපුවහම මට ඇතැම් අය බැණලා තිබුණා. හැබැයි තරහා යන්නේ වැරැුදි කරන අයට. දූෂිත නොවන අයට තරහ යන්න උවමනාවක් නැහැ. මම කියන්න ඕනැ දේ ඕන කෙනෙකුට කියනවා. මම ගත්ත තීන්දු තීරණ කවුරුවත් මේ රටේ නායකයෙක් ගත්තේ නැහැ. මීට කලින් කතා කළ අපේ සහෝදර මැතිඇමැතිවරු ලේකම්තුමාලාත් ඒ ගැන සඳහන් කළා. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් ඔබෙන් ඉල්ලන්නේ 11 වෙනිදා බුලත් කොළයට ඡන්දය පාවිච්චි කරලා අපේ අපේක්ෂක කණ්ඩායම ජයග‍්‍රහණය කරලා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානයට භාර දෙන්න කියලා. තමුන්නාන්සේලා අපිට බලය දුන්නොත් රටේ තිබෙන පළාත් පාලන ආයතන අතරේ හොඳම ප‍්‍රාදේශීය සභාව බවට ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව පත් කරන්න අපි කටයුතු කරනවා.

දේශපාලන වශයෙන් අපිට ඕනැ වෙන්නේ ජනාතාවාදීව මිත‍්‍රශිලීව ක‍්‍රියාකරන ගුණයහපත් පිරිසක්. නිකන් කාලා බීලා විනාශ කරලා නටන කනබොන මිනිසුන් නෙවෙයි. මෙම ඡන්දයේදි මූලික වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනැ ජාතික දේශපාලනයේ ඉලක්ක දිහා නෙවෙයි. අපි කොහොමද ගමේ පුංචි පාර, බොක්්කුව, ක්‍රීඩාපිටිය, පාසැලේ අඩුපාඩු පන්සලේ අඩුපාඩු හදා ගන්නේ කියලා. දුකක් කරදරයක් වුණාම බලන දුක සැප අහන කෙනෙක් තමයි ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයා කියලා කියන්නේ. එහෙම නැතිව ගුවන්තොටුපළ, වරාය, උමා ඔය, මොරගහකන්ද වැනි දැවැන්ත ව්‍යාපෘති හදන අය නෙවෙයි ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයා කියලා කියන්නේ. අපි පත් කර ගන්නේ සාමාන්‍ය එදිනෙදා දෛනික ජීවිතයට මිනිසාට ගමට අවශ්‍ය දේවල් කරන පුංචිම මහජන සේවකයා.
පළාත් පාලන ආයතනවල ඉතිහාසය ගත්තම මේ ප‍්‍රාදේශීය සභා පනත හැදුවේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතුමා. ඊට කලින් තිබුණේ ගම් සභා. ගම් සභාවේ හිටියේ ගම් සභාවේ නියෝජිත මහත්මයා. ගමේ භාෂාවෙන් කිව්වා මැම්බර් මහත්මයා කියලා. පඩි ගත්තේ නැහැ. ගම් සභාවේ නියෝජිතයා විදියට පත් කර ගත්තේ ගමේ ඉන්න ඉතාම ගුණ යහපත් වැදගත්ම කෙනා. ගමේ වැඩිහිටියෙක් තමයි බොහෝ වෙලාවට ඒ සඳහා පත් කර ගත්තේ. මොකද ඒ යුගවල අද වගේ උගත් තරුණ පරපුරක් ඉදිරියට ඇවිත් සිටියේ නැහැ. ඒ නිසා ගමේ ඉන්න ඉතාම ගුණයහපත් වැදගත්ම පිළිගත් තැන්පත් ගුණගරුක පුද්ගලයා තමයි ගම්සභා නියෝජිතයා විදියට පත් කර ගත්තේ. එතකොට කාලානුරූපව මේවා වෙනස් වෙලා තිබෙනවා. අද වැඩි පඩි ඉල්ලනවා. වාහන ඉල්ලනවා. දුරකථන ඉල්ලනවා. ඒ සමාජ විකාශනයත් එක්ක ඇති වෙලා තිබෙන පරිවර්තනය.

අපේ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීතුමාලා, මහින්ද අමරවීර මන්ත‍්‍රීතුමා වගේම මේ පාර්ලිමේන්තු කණ්ඩායම, අපේ ආසන සංවිධායකවරු, රටේම ඉන්න අපේ ආණ්ඩුකාරතුමාලා, මහඇමැතිතුමාලා ඒ සෑම කෙනෙක්ම මම දන්නවා පසුගිය දිනවල මේ පැත්තේ ඇවිල්ලා ගම්වල ගිහිල්ලා ඔබේ සාකච්ඡාවලට ඇවිල්ලා අපේක්ෂක මහත්වරු ශක්තිමත් කරලා යම් නිවැරදි දේශපාලන මතයක් ගොඩනඟන්න විශාල උත්සාහයක් ගත්තා. ඒ සියලූදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ කැපවීම කරන්නේ අවංක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟන්න. මේ රට වැටිලා තිබෙන මහා අගාධයෙන් ගොඩගන්න පුංචි තැනින් හරිදේ කරන්න පටන් ගන්න ඕනෑ. දැන් ලොකු තැන් හදන්න බැහැ. ලොකු තැන් විනාශ වෙලා අවසන්. පුංචි තැතින් පටන් අරගෙන පුංචි තැන පිරිසුදු කරගෙන අඩියෙන් අඩිය පියවරෙන් පියවර අපි ඉස්සරහට යමු.

ගාල්ල දිස්ත‍්‍රික්කය මේ රටේ ආර්ථිකයේ ඉතාම වැදගත් කේන්ද්‍රස්ථානයක්. වැවිලි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය ඒ සියල්ල ගත්තම ගාල්ල දිස්ත‍්‍රික්කය කියලා කියන්නේ ජාතික ආර්ථිකයේ පුළුල් ශක්තිමත් කේන්ද්‍රස්ථානයක්. ලංකාවේ විශාල උගත් පිරිසක් සිටින දිස්ත‍්‍රික්කයක්. ඒ නිසා ගාලු ජනතාව ගාලූ දිස්ත‍්‍රික්කය කියපුවහම අපේ තිබෙන්නේ විශාල ගෞරවයක්. ඒ නිසා අද ඔබ හමුවෙන්න ආවේ ඔබේ ගුණගරුකභාවයට, ගරුත්වයට, මානුෂීයභාවයට, මිනිස්කමට තමුන්නාන්සේලාට ගරු කරලා ඔබේ ගමෙන් අපි ඉදිරිපත් කළ අපේ කණ්ඩායම ජයග‍්‍රහණය කරන්න බුලත් කොළයට ඡුන්දේ දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ නිසා සංවිධායකවරු, මැති ඇමැතිවරු, පක්ෂයේ ලේකම්තුමාලා, පැමිණි ඔබ මැතිවරණ ව්‍යාපාරයේ යෙදි සිටින සියලූ දෙනා ඔබ සෑම කෙනෙකුටම පක්ෂයේ සභාපතිවරයා විදියට ඔබේ ප‍්‍රධාන මහජන සේවකයා විදියට මගේ ගෞරවය සහ ස්තූතිය පුද කරමින් 11 වෙනි දා පැවැත්වෙන මැතිවරණයේ බුලත් කොළය ජයග‍්‍රහණය කරන්න සියලුදෙනාට ධෛර්යයෙන් ශක්තියෙන් කටයුතු කරන්න හැකියාව ලැබේවායි කියලා ප‍්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් ගාලු දිස්ත‍්‍රික්කයේ ඇල්පිටිය ප‍්‍රදේශයේ තමුන්නාන්සේලාට ජයවේවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

 

Share This Post

NEW