රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බවට ජනපති සහතික වෙයි.

රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බවට ජනපති සහතික වෙයි.

රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපතිතුමා පවසයි. ඒ රට, ජනතාව සහ මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළේ තමා නොවන අතර රට විනාශ මුඛයට ඇදගෙන ගිය එක්සත් ජාතික පක්ෂ නායකයා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අදූරදර්ශී වැඩපිළිවෙළ නිමා කර රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායකවන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ සහ නායකයන් වෙත සාමයේ දෑත් දිගු කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (04) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

“තීරණය රට වෙනුවෙන්” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සම්මේලනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අන්ත ලිබරල්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කළා පමණක් නොව යහපාලන සංකල්පය ද අමු අමුවේ ඝාතනය කර දැමූ බවයි. එම ප‍්‍රතිපත්ති හමුවේ ප‍්‍රබුද්ධ දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව තමන්ට ද අනිටු විපාකවලට මුහුණදීමට සිදුවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ හමුවේ තමාට ලබාදිය හැකිව තිබූ එකම පිළිතුර ඔහු අගමැති ධූරයෙන් ඉවත් කර දැමීම බව ද කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තබා ඇත්තේ මේ රටේ ජනතාව පිළිබඳව බව පැවසූ ජනාධිපතිතුමා රට විනාශ කරන අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙළ පරාජය කළ හැකි එකම දේශමාමක, මානවවාදී දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය(slfpnews.lk) අන්තර්ජාලයට මුදා හැරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් මෙන්ම පක්ෂ කි‍්‍රයාකාරිහු විශාල පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා කළ කතාව
2018-12-04 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය

අද මේ අවස්ථාවේදී මෙවැනි සමුළුවක් තුළින් ඔබ සියලු දෙනා හමුවීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා. එසේම මෙය සංවිධානය කිරීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්වයන්ට මා ස්තූති කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝග පැමිණි සෑම අවස්ථාවකදීම ඒ අභියෝගයට මුහුණ දුන්නේ ජනතාවගේ ශක්තියෙනුයි. ඒ ශක්තිය පෙන්නුම් කරන්න මේ විශේෂ සමුළුව වැදගත් අවස්ථාවක් ලෙස මා සලකනවා. රටේ ජනතාවට මේ සමුළුව මඟින් පණිවිඩයක් දීමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ පණිවිඩය කුමක්ද. එහි ස්වභාවය හා පසුබිම කුමක්ද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය මා මෙන්ම ඔබත් දන්නවා. රටත් දන්නවා. ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගොඩනැගී තිබෙන්නේ දේශප්‍රේමිත්වය, ජාතිවාත්සල්‍යය, දේශමාමකත්වය, දේශජබව, දේශහිතෛෂී බව ප්‍රමුඛව අපේ උරුමයන්, සිරිත් විරිත්, සංස්කෘතීන් මුල් කරගත් ජාතික සමගිය පිළිබිඹු කරන දේශපාලන සංකල්පයක් සහ දර්ශනයක් තුළයි. සිංහල ද මුස්ලිම් ද දෙමළ ද මැලේ ද බර්ගර් ද සියලු ජාතීන්ගේ දේශපාලන වේදිකාවක් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා හැදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ සැමවිටම ශක්තිමත් වූයේ ද පෝෂණය වූයේ ද ප්‍රබල වූ ප්‍රශස්ත වූ පක්ෂයක් බවට පත්වූයේ එහි දේශපාලන ගුණාත්මක භාවය තුළයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිස් දේශපාලන පක්ෂයක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසියේ බිහිවූ පක්ෂයක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ බ්‍රිතාන්‍ය නිදහස ලැබීමෙන් පසු අපේකම් කියන සියල්ල පිළිබඳව ගොඩනැඟෙන්නට තිබූ දේශපාලන අවහිරතා වෙනස්කරමින් නව දේශපාලන ගමනක් සඳහායි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා මේ පක්ෂය බිහිකළේ සිය සමකාලීන දේශපාලන නායකයන්, මිත්‍රයන්, සගයන් හා සටන්කරුවන් සමගයි. එසේ බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෝෂණය වූයේ එක් අයෙකුගෙන් දෙදෙනෙකුගෙන් නොවෙයි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ රුධිරයෙන්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කඳුළෙන්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ලෙයින්. සී.වී. ගුණරත්නලා, ලක්ෂ්මන් කදිරගාමර්ලා, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙලා, ද.මු දසනායක ප්‍රමුඛ මේ රටේ වැඩකරන පංතියේ කම්කරුවන්ගේ ලෙයින් කඳුළෙන් සහ සුසුමෙනුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෝෂණය වී ශක්තිමත් වුණේ.

එවැනි මහා යෝධ දේශපාලන පක්ෂයකට එදත් අදත් ඒ තිබුණු දේශපාලන දර්ශනයේ ප්‍රබලකම, මහා ආලෝකය හා මහා වර්ණය මේ රටේ පොදු මහජනතාවගේ හදවත් සැමවිටම දිනාගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් කැප වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු වෘත්තීය සමිතිවලට නායකත්වය දුන්නා. මෙහි සිටින වෘත්තීය සමිති නායකයන් ප්‍රමුඛ කම්කරු පිරිස් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුණේ ලෙයින්, කඳුළෙන් සහ දහඩියෙන් සැමවිටම කම්කරු පංතිය එහි ප්‍රබල බලවේගයක් බවට පත්වුණා.

එදා එසේ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව ආ ගමන්මඟේ දී අද දවසේ රනිල් වික්‍රමසිංහගේ අන්ත නව ලිබරල්වාදී දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහය පරාජය කරන්න සැමවිටම ශක්තියක් වී ඉදිරියට යා යුතුයි කියා මා තමුන්නාන්සේලාට මෙහි දී සඳහන් කරන්නට ඕනෑ. අද ඇති වී තිබෙන ප්‍රශ්නය කුමක්ද. ඔබට විශේෂ සමුළුවක් අපි ලබාදුන්නේ ඇයි. පවතින්නේ රට තුළ දේශපාලන නොසන්සුන්තාවයක් ද දේශපාලන අර්බුදයක් ද දේශපාලන ගැටුමක් ද. රට තුළ දේශපාලන ගැටුමක් නැහැ මිත්‍රවරුනි. රට තුළ දේශපාලන අර්බුදයක් තිබෙනවා. ඒ තුළ නොසන්සුන්තාවයක් තිබෙනවා. ගැටුම, අර්බුද, නොසන්සුන්තාවට දෙන්නා වූ නිර්වචනය හා එය විග්‍රහ කරන්නේ කෙසේද. ගැටුම් නිරාකරණය කිරීම. ගැටුම් කළමනාකරණය කිරිම විද්‍යාවක්. දේශපාලන අර්බුද නිරාකරණය කිරීම විද්‍යාවක්. එය ශාස්ත්‍රීය වූ ද ඉතාමත් ප්‍රබුද්ධ වූ ද විෂයක්.

මේ දේශපාලන නොසන්සුන්තාවය හා අර්බුදය එළියට එන්නේ කොතැනින්ද. එය නිර්මාණය වන්නේ කෙසේද. එහි පසුබිම කුමක්ද. 2015 ජනවාරි මාසේ 8 දින මා බලයට පත් කළ හැට දෙලක්ෂ පනස් දහසක් ඉක්මවූ ජනතාවට මම අදත් හිස නමා ආචාර කරනවා. මම 2014 නොවැම්බර් මාසේ 21 ගත් තීරණය එදාටත් වඩා අදත් ඉතාමත් නිවැරදියි කියා මා කියන්න කැමතියි. එය යුගයේ අවශ්‍යතාවයක් බවට පත්වුණා. එසේම පසුගිය ඔක්තෝබර් 26 දින ගත් දේශපාලන තීන්දුවත් එසේම ගත් නිවැරදි දේශපාලන තීන්දුවක් කියා මම කියනවා. 2014 නොවැම්බර් 21 ගත් දේශපාලන තීන්දුවත්, 2018 ඔක්තෝබර් මස 26 දින ගත් දේශපාලන තීන්දුවත් නිවැරදි වන්නේ කුමක් නිසාද. එය නිවැරදි වන්නේ දේශපාලන දර්ශනයක් තුළ රට වෙනුවෙන් ගත් තීන්දුවක් නිසයි. දූෂණයට, වංචාවට, හොරකමට, පාවාදීම්වලට විරුද්ධව රට තුළ යහපත් සමාජයක් ගොඩනගන්න මානවවාදී දේශපාලන චින්තනයකින් හෙබි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනයේ මහා ආලෝකයෙන් සහ ප්‍රභාශ්වරයෙන් ගොඩනැගිය යුතු සමාජයක් ගොඩනැගීමට, ආධ්‍යාත්මික වශයෙන් ගුණ යහපත් සමාජයක් ගොඩනගන්නයි මේ දේශපාලන තීන්දු දෙක මම ගත්තේ. එය බොහෝ සාකච්ඡා කළ යුතු කරුණක්. මෙවැනි වේලාවක දීර්ඝව පැහැදිලි කළ හැකි දෙයක් නොවේ. විශේෂයෙන් ඒ තීන්දු දෙකම ගත් කරුණු එකම ගමන් මගක දේශපාලන කරුණු. එකම දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා වූ කරුණුයි. දූෂණයට විරුද්ධ බව, රටට ආදරය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, රටේ යහපත් සමාජයක් ගොඩනැගීම, අපේ උරුමයන් ආරක්ෂා කිරීම ආදී පොදු කරුණු රාශියක් තමයි මේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ තිබෙන්නේ.

2015 ජනවාරි 9 මා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඒ මොහොතේම අගමැතිවරයා ලෙස දිව්රුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි 8 හැට දෙලක්ෂ පනස් දහසක් ඡන්දය පාවිච්චි කරමින් බිහි කළ ඒ පිවිතුරු දේශපාලන ගමන සහ යහපාලන සංකල්පය අමු අමුවේ දූෂණය කළා. ඔහු අමු අමුවේ එය විනාශ කළා. එහිදී මා වසර තුන හමාරක් ඉවසමින් අසීරු ගමනක ආවා. එය ලෙහෙසි පහසු ගමනක් නෙවෙයි. සහෝදර ඇමති මණ්ඩලය මේ තත්ත්වය දන්නවා. ආණ්ඩු පක්ෂය මේ තත්ත්වය දන්නවා. වසර තුන හමාරක ගැටුම පිළිබඳව රට දන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම හදිසියේ අහම්බයක් නොවේ. එය වසර තුන හමාරක කටුක, අභියෝගාත්මක ගමනක බොහෝ දුෂ්කර වූ ගිරිදුර්ගයක ගමන් කරමින් ගත් තීරණයක්.

රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ විනාශ කළා මෙන්ම රට විනාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ප්‍රබුද්ධයන්ගේ ඓතිහාසික වැදගත්කමක් තිබූ මේ රටේ වැදගත් දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා. යහපාලන ආණ්ඩුව විනාශ කළ රනිල්, රට විනාශ කළ රනිල්, එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රනිල්, යම් ප්‍රමාණයකට මා විනාශ කළ රනිල් වික්‍රමසිංහට ඒ වෙනුවෙන් දීමට තිබූ එකම විසඳුම සහ පිළිතුර ඔහු අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියන එකයි මම තීන්දු කළේ. අපි අපට ගැළපෙන දේශපාලන ගමනක් යා යුතුයි. ඔබ දන්නවා මහබැංකු මංකොල්ලය කියූ විට. ඔහුගේ දුෂිත බව මම පසුගිය කාලය තුළ කිව්වා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවට දී තිබු බලතල ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැම් පනත්වලින් ආපහු ගත්තා. ඔහු ගෙනා බොහෝ පනත් මා ප්‍රතික්ෂේප කළා. ඔහුට අවශ්‍ය විදියට රට බරපතළ ලෙස විනාශ කිරීම හැකිතරම් මගේ ශක්තියෙන් මම පාලනය කළා. එහෙත් ඔහු දරදඬු මුරණ්ඩු මිනිහෙක් විදියට අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශපාලන දර්ශනය මේ රට විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස ඔහු පාවිච්චි කළා.

ඔහු උතුරේ ජනතාව රැවැට්ටුවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්නට, දීමට හැකියාවක් තිබූ දේවල් රට කඩන්නේ නැතුව, රට පාවාදෙන්නේ නැතිව, රට ෆෙඩරල් කරන්නේ නැතිව උතුරේ ජනතාව වෙනුවෙන් දිය යුතු දේ දීම ඔහු හිතාමතාම අතපසු කළා. මේ තත්ත්වයන් උඩ මේ ගත්තා වූ දේශපාලන තීන්දුව ඊයේ අද වගේම හෙට දවසටත් නිවැරදියි. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ වූ සිදුවීම්, මා ගත් තීන්දු තීරණ මම රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමටත් මේ රටට ගැළපෙන දේශපාලන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීමටත් රට ගැන හිතන, ජනතාව ගැන හිතන, මානවවාදී ප්‍රබුද්ධයන්ගේ දේශපාලන ගමන්මග පෝෂණය කරන්නට, සුරක්ෂිත කරන්නට සහ ශක්තිමත් කරන්නට මම පියවර රාශියක් ගත්තා.

මම ගැසට් නිවේදන පහක් නිකුත්කළා. විධායක බලය පාවිච්චි කරලා. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කරන්න එක ගැසට් පත්‍රයක්. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරන්න තව එකක්. හිටපු ඇමති මණ්ඩලය අවලංගු කරන්න තව එකක්, පාර්ලිමේන්තුව කල් දාන්න තව ගැසට් නිවේදනයක් හා පාර්ලිමේන්තුව විසුරුවන්න තව එකක් වශයෙන්. ඒ නිවේදන පහටම මම අත්සන් කළේ, විධායක බලය භාවිතා කළේ පවිත්‍ර වූ චේතනාවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය රකින්න දූෂණයට විරුද්ධව මානවවාදී සමාජයක් ගොඩනගන්න මේ රට බේරාගන්නයි කියන එක මම පැහැදිලිව කියනවා. මේ දේශපාලන අර්බුදය, දේශපාලන නොසන්සුන්තාවය අපේ රටට 47 න් පස්සේ එක්තරා අන්දමටකට අලුත් අත්දැකීමක්. දේශපාලනඥයින්ට, ජනතාවට සහ රාජ්‍ය නිලධාරීන්ට. නමුත් ලෝකයට මෙය අලුත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල්වල පැහැදිලි ලෙස මෙවැනි අර්බුද, නොසන්සුන්තාවයන් මෑත භාගයේම රාශියක් දැක්කා. අපේ පාර්ලිමේන්තුවේ සිදුවූ ඒ ගැටුම් සහගත තත්ත්වය ඒ හැසිරීම පක්ෂ භේදයක් නොමැතිව මා හෙළා දකිනවා. එය කිසිසේත් සුදුසු දෙයක් නෙවේ, අප තුළ තිබෙන මතවාද අප ජයග්‍රහණය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින්. එය ශරීරි ශක්තියෙන් නොව, කාය ශක්තියෙන් නොව බුද්ධි ශක්තියෙන් සහ චින්තන ශක්තියෙන්. ආධ්‍යාත්මික ලෙස ඒ ප්‍රශ්න අපි ජයගත යුතු වෙනවා.

ඒ නිසා මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී අපි අද තිබෙන්නා වූ මේ වටපිටාව පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. පසුගිය සති දෙකේ, තුනේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය හමුවට ගිය පිරිස්වලට ඒ සියලු ඉදිරිපත් වූ නඩු සම්බන්ධයෙන් නඩු විභාග කර අවසන් තීන්දු දුන්නේ නැහැ. කිහිපයකට අතුරු තහනම් නියෝග ලැබුණා. නඩු ගණනාවක් අධිකරණයේ තිබෙනවා. මේ නඩු මොනවාද, මේ නඩු මිනිමැරුම් නඩු නෙවේ, මංකොල්ල කෑම් නඩු නෙවේ, මේවා ස්ත්‍රී දූෂණ නඩු නොවේ, මේවා දේශපාලන නඩු, මේ දේශපාලන නඩු පිළිබඳව අධිකරණයෙන් දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව රටේ ජනතාව තුළ විවිධ මත සහ අදහස් තිබෙනවා. මම සැමවිටම අධිකරණයට ගරු කරනවා. අධිකරණය ලබා දෙන්නා වූ තීන්දු තීරණ ඒ සියල්ල මම ඉතාම ගෞරවයෙන් භාරගන්නවා. එහෙත් අධිකරණයේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාවගේ මතය විවිධාකරයි.

මේ දේශපාලන අර්බුදය තුළ විශේෂයෙන් අපි හැසිරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතිගරුකව, විනයගරුකව සෑමවිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් කියලා මම කියන්න ඕන. ප්‍රධාන වශයෙන්ම මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන ඊයේ හමුවූ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට මම පැහැදිලිව ප්‍රකාශ කළා, ඔවුන් මේ වන විට තුන් වරක් මාව හමුවුණා අපි ඉතාම සුහදව කතා බහ කරනවා, අපි සෑම පක්ෂයක් එක්කම මිත්‍රශීලි ලෙස මෙම ප්‍රශ්න සාකච්ඡා කරනවා, මම ඊයේ සන්ධ්‍යාවේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට කියපු දේ අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 යි, මේ 225 ම අත්සන් කරලා දුන්නත් මම නැවත රනිල් වික්‍රමසිංහව අගමැති කරන්නේ නැහැයි කියන එක මම ඉතාම පැහැදිලිව කියනවා. ඒ ඔහුගෙයි මගෙයි පුද්ගලික ප්‍රශ්නයක් නෙවේ, පාට පිළිබඳ ප්‍රශ්නයක් නෙවේ, එසේ මා කරන්නේ ඔහු රටට නොගැළපෙන දේශපාලනඥයෙක්. ඔහුගේ දර්ශනය මේ රටට ගැළපෙන්නේ නැහැ. ඔහු හිතන පතන විදිය මේ රටට ගැළපෙන්නේ නැහැ. දේශීයත්වය, අපේකම්, අපේ උරුමය, සංස්කෘතිය, සිරිත් විරිත් අපේ සම්ප්‍රදායන් අපේ බෞද්ධාගමික හා අනෙකුත් ආගමික ධර්මතාවයන් ඔහු තුළ නැහැ.

ඒ නිසා ඉතා පැහැදිලිව මම කියන්නට ඕන මේ ගත්තා වූ දේශපාලන තීන්දු තීරණවලදි මේ වන විට මම දන්නවා විශේෂයෙන්ම මාව ජනාධිපතිවරයා කරන්න කටයුතු කළ එක්සත් ජාතික පාක්ෂිකයන් මා සමග තරහෙන් පමණක් නොව, මට වෛර කරන බව මා දන්නවා. ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයිනි, ඔබේ වර්තමාන නායකයා ඔබේ ගෞරවනීය දේශපාලන පක්ෂය විනාශ කළා. ඩී.එස්. සේනානායකලා, ඩඩ්ලි සේනානායකලා, ජේ.ආර්. ජයවර්ධනලා, රණසිංහ ප්‍රේමදාසලා ගෙන ගිය ඒ ප්‍රතාපවත් මහා යෝධ දේශපාලන පක්ෂය, ඒ දේශපාලන නායකයන්ගේ දර්ශනයන් පිළිබඳව අපිට යම් යම් මත ගැටුම් තිබෙනවා, නමුත් ඒ සියලුම නායකයෝ රටට ආදරෙයි. ඒ සියලුම නායකයෝ මේ ඔබෙත්, මගෙත් මාතෘ භූමියට ආදරෙයි. ඒ හැම නායකයෙකුටම මහ පොළවේ අඩිය ගහලා යන ජනතාවගේ දුක් වේදනා දැනුනා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයට ඒ කිසි දෙයක් දැනෙන්නේ නැහැ.
ඒ නිසා මේ තිබෙන සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම හෙට දවසේ රට වෙනුවෙන් තිබෙන වගකීම් අපි ඉටු කරමු. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළයුතු වෙනවා. කිසිසේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමට කිසිකෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. මම කලිනුත් කිව්වා රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී දේශපාලන දර්ශනයට විකල්ප වූ දේශහිතෛෂි, දේශප්‍රේමි, දේශමාමක, දේශජ එකම මානවවාදී දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරයි කියන එක මම පැහැදිලිව කියනවා.

අද දවසේ තිබෙන දේශපාලන අර්බුදය වැඩිම වුණොත් ස්ථීර වශයෙන්ම තව දින 07 ක් ඇතුළත අවසන් වන බව මම පැහැදිලිව කියනවා. ඉදිරි සතියක් තුළ මේ දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාවය සම්පූර්ණයෙන් අවසන් කරන බව මා ඔබට පැහැදිලිව සහතික වෙනවා. ඒ රට වෙනුවෙන්, පොදු ජනතාව වෙනුවෙන්, ඔබ වෙනුවෙන්. හෙට උපදින දරුවන් වෙනුවෙන්. මේ සියලු ප්‍රශ්න විසඳාගන්න මේ රටේ සියලු දේශපාලන නායකයන්ට සියලු දේශපාලන පක්ෂවලට ඒ සියලුදෙනාට මම සාමයේ දෑත් දිගු කරනවා. අපි එකට එකතු වෙලා ප්‍රශ්න විසඳා ගනිමු. ප්‍රශ්නය හැදුවේ මම නෙවේ, ප්‍රශ්නය හැදුවේ, රට විනාශ කළේ රනිල් වික්‍රමසිංහයි කියන එක මම බොහොම පැහැදිලිව කියන්න ඕන. ඒ දේශපාලන පාප කර්මය අපි රට වෙනුවෙන් විසඳා ගනිමු. ඒ පිනට සියලුදෙනා දායක කර ගමු. ඒ පින කරන්න අපි හදන මල් වට්ටියට හැම කෙනෙකුගේම අත ගස්ස ගනිමු. ඒ පිනෙන් අපි රට බේර ගනිමු.

ඒ නිසා අද ‘රට වෙනුවෙන් තීරණය’ නමින් සංවිධානය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික විශේෂ මහා ජාතික සමුළුව සංවිධානය කිරීමේදී පක්ෂයේ සියලු නායකයන් කළ කැපවීම මම ඉතා අගය කරමින් සියලුදෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා.

 

Share This Post

NEW