රට නොසන්සුන් කිරීමේ උත්සාහයන්ට හසු නොවන ලෙස ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි.

රට නොසන්සුන් කිරීමේ උත්සාහයන්ට හසු නොවන ලෙස ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි.

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි අතර අසත්‍ය සහ ජනතාව නොමඟ යවන ප්‍රකාශවලට නොරැවටි ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගෙන යන ලෙස ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ අද (12) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් සමඟ ගාල්ල දක්ෂිණ පාය ගොඩනැගිල්ලේ පැවති හමුවට එක්වෙමිනි.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර සහ ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ආරක්ෂක අංශවලට ලැබිය යුතු සහය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මෙම හමුවීම් මාලාව සංවිධානය කර තිබේ.

නැගෙනහිර පළාත් සහ මධ්‍යම පළාත් හමුව පසුගිය දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද පැවති ගාල්ල දිස්ත්‍රික් සහ කළුතර දිස්ත්‍රික් හමුවට ද පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව මැති ඇමතිවරු, පළාත් පාලන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරිහු එක්ව සිටියහ.

ආරක්ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් ඔවුන්ගේ අදහස් සහ යෝජනා මෙහිදී දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරිණි.

ගාල්ල දිස්ත්‍රික් හමුව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රට අනාරක්ෂිත බව පෙන්වීමේ උත්සහයක මේ වන විට ඇතැම් පිරිසක් නිරතව සිටින බවයි. එබැවින් මෙම අවස්ථාව සියලු ජනතාව අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු අවස්ථාවක් බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ත්‍රස්තවාදී සිදුවීමෙන් බාහිරව සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අසමඟියක් ගොඩනැඟීමට රට තුළ ක්‍රියාත්මක උත්සාහය පිළිබඳව ද ජනාධිපතිතුමා සියලු දෙනාගේ අවධානය යොමු කළේය. රටේ ජනකොටස් අතර තිබිය යුතු විශ්වාසය සහ අවබෝධය තහවුරු කරමින් සාමකාමී සමාජයක් ගොඩනැගීමේ වගකීම ඉටුකිරීමට මෙන්ම අනවශ්‍ය සහ ජනතාව බිය වැද්දීමේ ප්‍රකාශවලට හසු නොවී දෛනික ජන ජීවිතය යථාවත් පරිදි පවත්වාගෙන යාම පිළිබඳ සමාජය දැනුවත් කිරීමට සියලු ආගමික නායකයන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජියන් ඇතුළු රාජ්‍ය සේවකයන් ඒකාබද්ධව විධිමත් වැඩපිළිවෙළකට අවතීර්ණවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පළාත් අමාත්‍ය විජයපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ ද, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපතිතුමා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් හමු විය.

අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මහින්ද අමරවීර, ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පළාත් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඊට ද එක්ව සිටියහ.

ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් සමඟ පැවති හමුවේ දී ජනාධිපතිතුමා කළ කතාව – 2019-05-12 ගාල්ල දක්ෂිණ පාය ගොඩනැගිල්ල

අප්‍රේල් 21දා සිදුවීම වී මේ වනවිට සති 03ක් වෙනවා. මේ කාලය තුළ ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශය, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය වගකීම ඉතා ඉහළින් සිදුකර ඇති නිසා ආරක්ෂක තත්ත්වය හොඳ අතට හැරී තිබෙනවා. රටේ ආරක්ෂක තත්ත්වය හොඳයි කියන්න හේතු සාක්ෂි රාශියක් තිබෙනවා. වසර 30ක යුද අත්දැකීම් හා මාධ්‍ය තුළින් ඔබ දකින්නට ඇති මෙවැනි සිදුවීමක් සිදුවෙලා ලෝකයේ බලවත් රටවල්වලත් ඒ සිදුවීමට සම්බන්ධ සියලු දෙනා, අවි ආයුධ, පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න හැකිවුණේ නැහැ. යුරෝපය ඇතුළු බලවත් රටවල්වලත් ඇමරිකාව, රුසියාව, ඇමරිකාව ඒ වගේම ඉන්දුනීසියාව, මැලේෂියාව, ඉන්දියාව, කැනඩාව ඒ සියලු රටවල්වල තිබෙන තාක්ෂණය හා යුද ශක්තිය පාවිචිචි කළේ ත්‍රස්තවාදී මූලස්ථාන විනාශ කරන්න. නමුත් අපේ රටේ දැනට තිබෙන ආරක්ෂක අංශවල දක්ෂතාවය නිසා මේ වනවිට මේ සංවිධානයට අයත් බවට වාර්තා ලැබුණු සියලු දෙනා අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ සංවිධානයේ 130ක් 140ක් සිටිනවා කියන වාර්තා තමයි ලැබුණේ. එයින් සෑහෙන පිරිස් මිය ගියා මරාගෙන මැරුණු ප්‍රහාරවලින්. තවත් පිරිසක් මිය ගියා හමුදාව සමග ගැටුමෙන්. ඉතිරි සියලු දෙනාම වගේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අය අතරේ ඉතාමත් ප්‍රබල මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් හිටියා. ඒ ආකාරයට රටේ තත්ත්වය යහපත් තත්ත්වයට හැරීම නිසයි රජය නිවේදනය කළේ ජනතාවගේ සහ සියලු අංශවල කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමේ වැදගත්කම පිළිබඳව.

මේ ප්‍රහාර නිසා සිදු වූ විශාල ජීවිත හානිය වගේම සංචාරක ව්‍යාපාරය කඩාවැටීම තුළ රටේ ආර්ථිකයට ඇති වූ ප්‍රබල බලපෑම අපිට ලේසියෙන් ගොඩගන්න පුළුවන්කමක් නැහැ. ආරක්ෂක අංශ මේ වනවිට ත්‍රස්තවාදීන් සියලු දෙනා කොටුකර තිබෙනවා. රජය මේ වනවිට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත්‍රය ආදිය ගොඩගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරමින් අවශ්‍ය මූලික පියවර ගණනාවක් ගෙන තිබෙනවා. භාණ්ඩාගාරය මහබැංකුව මේ ප්‍රශ්නයෙන් ඇතිවූ අලාභයත් ත්‍රස්තවාදී ප්‍රහාර නිසා විනාශයට පත්වූ ගොඩනැගිලි සියල්ලත් යථා තත්ත්වයට පත්කරන්න අවශ්‍ය උදව් කරන්න, ආධාර කරන්න, අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා. ණය ලබාගෙන තිබෙන ආයතනවල ණය ගෙවීම් කල් දාන්න අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා.

දකුණු පළාත භාර ආණ්ඩුකාරතුමා, පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා, යුද හමුදාවේ, නාවික හමුදාවේ ප්‍රධාන නිලධාරීන් ප්‍රකාශ කළා මේ පළාතේ ආරක්ෂක තත්ත්වය යහපත් තත්ත්වයකට පත් කරගෙන තිබෙන බව. ආරක්ෂාව සහතිකයි කියලා කිව්වා. ඒ කාරණය මම දැනගෙන තිබුණා. මම මෙහි ආවේ මතුවී තිබෙන තවත් ප්‍රශ්න කිහිපයක් නිසායි. ඒ නිසා ඔබව හමුවී මේ ගැන පැහැදිලි කරන්න මට අවශ්‍ය වුණා. මම ඊයේ අම්පාරට ගියා. එතනින් පොළොන්නරුවට ගියා. අද රෑ මම ආරක්ෂක ප්‍රධානීන් සමග කැබිනට් මණ්ඩලය රැස්කරලා තියෙනවා. පසුගිය දින 20 කට වැඩි කාලයක් මේ සිදුවීමෙන් පස්සේ රට සාමාන්‍ය තත්ත්වයට ගන්න ආණ්ඩුවක් විදියට ගත හැකි සෑම පියවරක්ම ගත්තා. මේ සිදුවීමේ වගකීම පැහැර හැරි අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි. ඒ ගැන මම මීට වඩා කතා කරන්නේ නැහැ. මම 22 වෙනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කළා. ඒ පරීක්ෂණ මණ්ඩලය මේ වනවිට ඒ කටයුතු සියයට අනූ නවයක්ම නිමකර තිබෙන්නේ. අතුරු වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. අවසන් වාර්තාව ලබන සතියේ ලැබෙයි. ලැබිලා තියෙන අතුරු වාර්තා දෙක තුළ පරීක්ෂණ මණ්ඩලය බොහොම පැහැදිලිව වගකිව යුතු අංශ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මේ වනවිටත් එය නීතිපතිවරයාට භාරදීලා තිබෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා. 21 වෙනිදායින් පසුව ඇතිවූ තත්ත්වය යහපත් අතට පත් කරන්න සියලු දේ කළා කියලා මම කියනකොට, කෙනෙක් අහන්න පුළුවන් 21 සිදුවීම ඇයි වළක්වා ගන්න බැරිවුණේ කියලා. 21 සිදුවීම වළක්වන්න බැරි වුණේ ඒ වගකිව යුතු අංශවල වගකීම පැහැර හැරි නිසයි. ඒකයි මම ඒ ගැන නිසි පැහැදිලි කිරීමක් කළේ.

අපේ ආරක්ෂක තත්ත්වය යහපත් කිරීමේ දී පාසල්, රෝහල්, රජයේ ආයතන ආදී සෑම තැනම ආරක්ෂක තත්ත්වය විධිමත් කිරීමට ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ මැනවින් කටයුතු කර තිබෙනවා. ඒ වගේම මම සතුටු වෙනවා දකුණු පළාත විදියට ආණ්ඩුකාරතුමත් මැති ඇමතිතුමාලත් තමාගේ ප්‍රදේශවල පළාත් පාලන ප්‍රධානීනුත් මේ සම්බන්ධයෙන් කළ යුතු වගකීම් විශාල ලෙස ඉටුකර තිබීම ගැන. මේ ප්‍රදේශවල සිටින බෞද්ධ භික්ෂුන් වහන්සේලා, කතෝලික පූජකතුමන්ලා අනෙකුත් පූජකතුමන්ලා ඇතුළු ආගමික නායකයින් තමාගේ ප්‍රදේශය තුළ සිටින අය එකට එකතු කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්. පැතිර යන අසත්‍ය තොරතුරු, කටකතා, මහජනයා නොමග යැවීම ගැන. ඒ වගේම රටේ සාමයට බරපතළ ව්‍යසනයක් කරන අසත්‍ය තොරතුරු බෙදා හරින සමාජ වෙබ් අඩවි පිළිබඳව ඔබ වඩාත් අවධානයක් යොමු කළ යුතුයි. සමාජ වෙබ් අඩවි අනවබෝධයෙන්, ඇතැම් අය වෛරයෙන් කරන විවිධ අසත්‍ය ප්‍රකාශ තුළ ජනතාව නොමග යවනවා.

දැන් බලාගෙන ඉන්නවා හෙට 13 වැනිදා රටේ විශාල පිපිරීම් සිදුවෙයි කියලා. මේ කතා කොහෙන්ද ගේන්නේ. මේකෙ ඇත්ත කතාව මම කෙටියෙන් කියන්නම්. ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලට 13 වෙනිදා පහරදෙනවා කියලා මීට දවස් 10කට පෙර සිංහල භාෂාවෙන් ලියපු ලිපියක් ඇවිත් තිබුණා. එහි තානාපතිවරයා විදියට ඉන්නේ මම පත්කරපු හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්නගේ පුතාවන, බුද්ධි අතාවුද යි. ලියුම ලැබුණම තානාපතිතුමා එහි කොපියක් මට එව්වා. තවත් කොපියක් විදේශ කටයුතු ලේකම්ට යැව්වා. මට එවපු කොපිය මම බුද්ධි අංශවලට භාරදුන්නා. ලංකාවට වැඩියෙන් යුද ශක්තියෙන්, තාක්ෂණයෙන් ඉහළම රටක් තමයි ප්‍රංශය කියන්නේ. දවස් 10කට කලින් ගහනවා කිව්වත් ප්‍රංශ ආණ්ඩුවත් ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ලිපිය මම දන්නවා පොලිස්පතිතුමාටත් ගියා. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ වෙන කාගෙන්හරි සමාජ මාධ්‍යවලට ගියා. පැරිස් තානාපති කාර්යාලයට වගේම ලංකාවේ තැන් හතරකට ගහනවා කියලා මේ ලියුමේ තිබෙනවා. අනිත් එක මම විශ්වාස කරන්නේ නැහැ පැරිස් තානාපති කාර්යාලයට ගහනවා නම් සිංහල භාෂාවෙන් ලිපියක් එවයි කියලා. මෙවැනි දේවල්වලින් කරන්නේ බිය ගැන්වීම් සහ නොමඟ යැවීම් සඳහායි. අපේ ආරක්ෂාව පිළිබඳව දැනට තිබෙන තත්ත්වය පිළිබඳව මම නම් සෑහීමකට පත් වෙනවා. මම ඒක පැහැදිලිවම කියන්නට ඕනෑ. බුද්ධි අංශ වාර්තා කරලා තිබෙන විදියට මේ සංවිධානයට අයත් සියලුම පුද්ගලයින් අත්අඩංගුවට අරගෙන සිටිනවා. මම ආණ්ඩුකාරවරු නව දෙනාටම උපදෙස් දුන්නා පළාත් සභා විසුරවලා තිබුණත් සියලුම පළාත් සභා නැවත කැඳවන්න කියලා. කැඳවලා පළාතේ ආරක්ෂක තත්වය පිළිබඳ සාකච්ජා කරන්න. මේ සිදුවීමෙන් පස්සේ පාර්ලිමේන්තුව අවස්ථා තුනකදී රැස් වුණා. පාර්ලිමේන්තුවේ සුදුසු දේ වගේම අනවශ්‍ය දේත් කතා කරනවා. නමුත් පාර්ලිමේන්තුව රැස්වීම අත්‍යවශ්‍යයි.

ඒ වගේම පළාත් පාලන ප්‍රධානීන්ගෙන් මම ඉල්ලීමක් කරන්නේ නගරාධිපතිතුමන්ලා ප්‍රාදේශීය සභාපතිතුමන්ලා සභාවේ මන්ත්‍රී මණ්ඩලය මේ වෙනුවෙන්ම කැඳවන්න. ආරක්ෂක තත්ත්වය සාකච්ජා කරන්න. යම් යම් දුර්වලකම් අඩුපාඩුකම් තියෙනවානම් ප්‍රදේශයේ පොලිසියේ ප්‍රධානීන්, හමුදාවේ ප්‍රධානීන් සමඟ මේ ගැන සාකච්ජා කරන්න, අවශ්‍ය සහයෝගය ඉල්ලන්න. අපි ආරක්ෂක අමාත්‍යාංශය විදියටත්, පොලිසිය හා හමුදාව විදියටත් රටේ මහජනතාවගේ ජීවිතවලට සහ පොදු දේපළවලට සම්පූර්ණ ආරක්ෂාව සැලසීමට බැඳී සිටිනවා. රටේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කළ යුතු වෙනවා. ඒ වගකීම් ඉෂ්ට කරලා තිබෙනවා. ඒ නිසා මේ තිබෙන තත්ත්වය මූලිකව වශයෙන් ප්‍රාදේශීය වශයෙන් ආයතනික වශයෙන් ගනු ලබන සැලකිල්ල වැදගත් වෙනවා.

අනෙක් කාරණය තමයි දැන් අලුතින් මතුවෙන තත්ත්වය ගැන මම පැහැදිලි කරන්න අවශ්‍යයි. ත්‍රස්තවාදී සිදුවීම්වලින් පසුව සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව අතරේ අසමගියක් ඇති කරන්න, ගැටුම් ඇති කරන්න, යම් යම් පිරිස් උත්සාහ ගන්නවා.

අද හලාවත උදේ වුණු සුළු සිදුවීමත් එවැනි සිදුවීමක්. ඇතිවූ ත්‍රස්ත සිද්ධීන් අවසන් වෙලා රටට ස්ථිර සාමයක් ඇති කරන විට රට නොසන්සුන් කරන්න, විශේෂයෙන්ම ජාතිවාදී ගැටුම් ඇති කරන්න, ඇතැම් පිරිස් උත්සාහ කරනවා. ඒ උත්සාහය පිළිබඳව ඔබ සෑම කෙනෙක්ම සැලකිල්ලෙන් සිටිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. යම් යම් පුද්ගලියන් තමන්ට හිතෙන දේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් වැරදි මත ඇති කරනවා. ජනතාව නොමග යනවා. බිය ඇති කරනවා. අපි පාසල් විවෘත කරලා පාසල්වලට දරුවන්ට එන්නයි කියලා කිව්වේ ඒ පිළිබඳව වගකීමක් ඇතිවයි. වගකීමක් නැතුව එහෙම කියන්නේ නැහැ. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, බුද්ධි අංශ ඉතා පැහැදිලිව වාර්තා කරලා කිව්වා පාසල් විවෘත කරන්න පුළුවන් කියලා. පාසල් දරුවන්ගේ පැමිණිම දුර්වල බව ඔබ දන්නවා. නමුත් පුදුමය පාසලට දරුවෝ එන්නේ නැහැ. එවන්නෙත් නැහැ. නමුත් ටියුෂන් පන්තිවල දරුවෝ සිය දහස් ගණන් පිරිලා. හමුදාව, පොලිසිය ආරක්ෂක නිලධාරීන් සියලුදෙනා පාසල්වලට දීලා තියෙනවා. දැන් මට හැම තැනම වාර්තා වෙච්ච දේ තමයි ටියුෂන් පන්තිවල කිසිම අඩුවක් නැහැ කියලා. කොළඹත් එහෙමයි පිට පළාත්වලත් එහෙමයි. මේවා පැහැදිලිවම යම් යම් මානසික තත්ත්වයන්.

ඒ නිසා අපි පාසල් වහලා තියෙනවා කිව්වොත් ඒක රටේ පරාජයක් ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක්. රජයේ කාර්යාල වහලා තිබුණොත් ඒක ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක්. ඒ වගේම අනෙකුත් ව්‍යාපාරික අංශ වගේම ජනතාවගේ දෛනික ජීවිතය කඩා වැටිලා තිබුණොත් මිනිස්සු ගෙවල් ඇතුළට වේලා හිටියොත් ඒක ත්‍රස්තයින්ගේ ජයග්‍රහණයක්. ලෝකයේ කිසිම තැනක ත්‍රස්තවාදීන් විනාශ වීම මිස ජයග්‍රහනය කළේ නැහැ. අපි අවුරුදු 30 ක් අපි යුද්ධයත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. අවුරුදු 30 ක් අපි බෝම්බ එක්ක ජිවත් වෙච්ච මිනිස්සු. මට කලින් හිටපු ජනාධිපතිවරු පස් දෙනාගේම කාලේ මේ රටේ බෝම්බ පිපුරුවා. මේ සිදුවීම මම සුළු කොට තකනවා නොවෙයි. බෝම්බ පිපුරුණා. බෝම්බ පිපිරිය යුතුයි කියලා මම කියනවා නොවෙයි. නමුත් මේ රටේ ප්‍රශ්න පිළිබඳව අපි හොඳ අත්දැකීම් තිබෙනවා. මෙවැනි ප්‍රශ්නවලට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා.

එල්ටීටීඊය ආරම්භ වෙච්ච කාලයේ සෑම දමිළ ජාතිකයෙක්ම කොටියෙක් කියලා සලකන්න පටන් ගැනීම නිසා තමයි අවුරුදු 30 ක් යුද්ධය ඇදී යන්න හේතු වුණේ. 83 ජුලි කලබලය තමයි එල්ටීටීඊ සංවිධානය වඩාත් ශක්තිමත් වෙන්න ප්‍රධාන හේතුව. කොළඹ, මහනුවර ලංකාවේ හුඟාක් ප්‍රදේශවල සිටි ත්‍රස්තවාදීන්ට කිසිම සම්බන්ධයක් නැති ඉහළම දමිළ ව්‍යාපාරිකයන්ට හිරිහැර කෙරුවා. දේපල විනාශ කෙරුවා. සල්ලි තියෙන අය පිටරට ගියා. විශාල පිරිසක් වෛරයත් එක්ක එල්ටීටීඊයට සම්බන්ධ වුණා. එල්ටීටීඊ යුද්ධය පටන් අරගෙන අවුරුදු 10 ක් 15 යනකල් බැරුව ගියා ත්‍රස්තවාදීන් සහ සාමන්‍ය දෙමළ ජනතාව වෙන් කරගෙන හැසිරෙන්න.

මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදයට ඇදී යාම වළක්වා ගන්න නම් මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර අවිශ්වාසය සැකය ඉවත් කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මේ සඳහා විශේෂයෙන් මම දකුණු පළාතේ මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරතුමා ඇතුළු පළාත් පාලන ආයතන ඇතුළු ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සිංහල සහ මුස්ලිම් ගම්මාන එකට තියෙන ප්‍රදේශවල ආගමික පූජකතුමාලා ඇතුළු සිංහල සහ මුස්ලිම් ප්‍රාදේශීය නායකයින් එකතු කරලා හොඳ වැඩපිළිවෙළක් විධිමත්ව හදා ගන්න ප්‍රශ්න ඇති නොවන ආකාරයට.

මේ ගැටුම් වර්ධනය වුණොත් රටේ ආර්ථිකය කඩා වැටිලා රට අස්ථාවර වෙලා ඉතාම අසීරු තැනකට රට ගමන් කරනවා. ඒ නිසා තිබෙන තත්ත්වයෙන් රට හොඳ තැනකට ගන්න අපි සෑම කෙනෙක්ම කැප වී තිබෙනවා. මේ සඳහා ඔබ සැම කෙනෙක්ම කරන කැපවීම මම ඉතාමත් අගය කරනවා.

දිසා ලේකම්තුමා කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සතියක සැරයක් පවතින ආරක්ෂක තත්ත්වය ගැන තමාගේ කාර්යාලයේ අය එක්ක එකට එකතු වෙලා කතා කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විශාල මහජන සම්බන්ධතාවයක් තියෙන තැනක්. ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා එක්ක මේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වී රටේ ජනතාවට විශ්වාසය ඇති වෙන තෙක් සතියකට සැරයක් වත් මුලික වශයෙන් එකට එකතු වෙලා කතා කරන්න. මොනවද තොරතුරු. මොනවද අඩුපාඩුකම් මොනවද. අපි පොලිසියට හමුදාවට දැනුම් දෙන්නේ ඒ විදියට ආයතන තුළත් කතිකාවක් ඇති කර ගන්න. ඒ වගේම අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් තමන්ගේ කාර්ය මණ්ඩලය සමඟ ඒ සාකච්ජාව කරලා වැඩ පිළිවෙළක් හදා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අපි රජය විදියට අපේ වගකීම උපරිම වශයෙන් ඉෂ්ට කරනවා. කළ හැකි කාර්යයන් අඩුපාඩුවක් නැතුව මේ දක්වා කරලා තියෙනවා. ආරක්ෂක හමුදාවට සම්පූරණ බලය දීලා තියෙනවා. පොලිසියට සම්පුර්ණ බලය දීලා තියෙනවා. දේශපාලන හිතවත් කම් හිතමිතුරු කම් පුද්ගලික හිතවත්කම්, තරාතිරම් කිසිවක් නොසලකා ඕනෑම කෙනෙක් සැකනම් ඔහුව අත්අඩංගුවට ගන්න, ප්‍රශ්න කරන්න, අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. හදිසි නිතීයේ බලතල යටතේ බලය දීලා තිබෙනවා. මට මතකයි හදිසි නීතිය ගැසට් කරපුහම යුද හමුදාපතිතුමා කිව්වා අපි ඉල්ලුවේ ෆුට් බයිසිකලයක් අපිට මොටර් සයිකලයක් හම්බ වුණා කියලා. වැඬේ කරන්න බලය දිලා තියෙනවා. සම්පත් දීලා තිබෙනවා. හොඳ ආරක්ෂක ලේකම් කෙනෙක් අපි පත් කරලා තියෙනවා.

ඒ නිසා මේ තත්ත්වය තුළ පොලිසිය, හමුදාවට අවශ්‍ය ප්‍රතිසංවිධානය මේ වන විට කරලා තියෙනවා, කර ගෙන යනවා. ඒ වෙනස්කම් එක්කම ජනතාවගේ සහයෝගය ඉතාමත් වැදගත් වෙනවා. ජනතාවගේ සහයෝගය තුළ මේ දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරීන් එක්ක මේ වැඩපිළිවෙළ තවත් විධිමත් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා මෙතෙක් ඔබ දකුණු පළාත විදියට කළ හැකි සියලු කාර්යයන් පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. ඔබ සියලු දෙනාට ඒ පිළිබඳව ස්තූතිවන්ත වෙමින්, ඉදිරි කාලය තුළත් මේ තත්ත්වය තවත් ශක්තිමත් කර ස්ථාවර සාමයක් ඇති කරගෙන ජනතාවට විශ්වාසයක් ඇතිව, තමාගේ දෛනික කටයුතුවල යෙදෙන්න ගෙදර පරිසරය සකස් කර ගැනීමට අපි සියලු දෙනා එකමුතුව, සමගියෙන් මිත්‍රශීලීව කටයුතු කරමු කියන ඉල්ලීම කරනවා.

 

Share This Post

NEW