වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවයට එරෙහිව වත්මන් රජය පියවර රැසක් ගත් බව ජනපති පවසයි.

වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවයට එරෙහිව වත්මන් රජය  පියවර රැසක් ගත් බව ජනපති පවසයි.

නිදහසින් පසු ලංකාවේ වසර 70 කට වැඩි කාල සීමාව තුළ වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවයට එරෙහිව ගත නොහැකි වූ තීන්දු තීරණ රැසක් ගනිමින් වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු රාජ්‍ය පාලනයක් රට තුළ ගොඩනැගීමට යහපාලන රජය කැපවූ බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ පැවති ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ශක්තිමත් කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම ඇතුළු පියවර රැසක් පසුගිය කාලය තුළ රජය ගත් බව සඳහන් කළ ජනාධිපතිතුමා විගණන කොමිෂන් සභාව පිහිටුවීමට ලැබීම එහිදී ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය.

එමෙන්ම වසර 40 ක 50 ක කාලයක් තිස්සේ කතා බහට පමණක් සීමාවූ විගණන සේවය ස්ථාපිත කිරීම ද කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

දූෂණයට, නාස්තියට සහ හොරකමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේ දී පවතින ප‍්‍රමාදයන් පිළිබඳව රටේ මහජනතාව තුළ පවතින කනස්සලු ස්වභාවය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ යහපාලන රජය තුළින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකරමින් එම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට කඩිනමින් කටයුතු කළයුතු බවයි.

රටේ සිදුවූ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට තමා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභා මගින් ලබාදෙන වාර්තාවන්ට අදාළ නිර්දේශ කඩිනමින් කි‍්‍රයාත්මක කරමින් වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එහිදී මහජන දේපොළ හා රාජ්‍ය මුදල් අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව කි‍්‍රයාත්මක කරන නීතියට මරණ දඬුවම වුවද ඇතුළත් කළ යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය අංශයේ ව්‍යාපාර ක්ෂේත‍්‍රවල පිබිදීමක් ඇති කිරීමේ දී දූෂණයෙන්, වංචාවෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොරව එම කටයුතු සිදුවීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා දූෂණයට හා වංචාවට එරෙහිව කටයුතු කරන ආයතනවල භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන පිළිබඳ විගණන විමර්ශන සිදු කොට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන විගණකාධිපති වාර්තා විභාග කිරීමේ සම්ප‍්‍රදායානුකූල ක‍්‍රමවේදයෙන් ඔබ්බට ගමන් කරමින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට ලක්වන සියලුම රාජ්‍ය ආයතනවල මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීම සහ කාර්යසාධනය පිළිබඳ තොරතුරු පරිගණක ජාලගත වැඩසටහනක් මගින් ලබා ගැනීමෙන් අනතුරුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් එම තොරතුරු විශ්ලේෂණය හා විමර්ශනය කොට සිදු කළ බර තැබීම් අනුව ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන ඇගයීම වෙනුවෙන් දෙවන වරටත් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

2016 මුදල් වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවේ පරිගණක ජාලගත තොරතුරු පද්ධතිය මගින් දිවයින පුරා විසිර තිබෙන සියලුම රාජ්‍ය ආයතන එනම්, මධ්‍යම රජයේ සියලුම අමාත්‍යාංශ, සියලුම දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, සියලුම පළාත් සභා, දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු ආයතන 837 කින් ලබාගත් තොරතුරු ඇගයීමෙන් අනතුරුව විවිධ කාණ්ඩ යටතේ තෝරාගනු ලැබූ අදාළ මුදල් වර්ෂයේදී උසස් කාර්යසාධනයක් පෙන්නුම් කරන ලද ආයතන 101 ක් සඳහා මෙහිදී සම්මාන ප‍්‍රදානය කෙරිණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, විගණකාධිපති ගාමිණි විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

රජයේ ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිතුමා කළ කතාව 2018-09-05 දින පාර්ලිමේන්තු පරිශ‍්‍රය

පාර්ලිමේන්තුවේ සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් බොහෝ වේලාවට සාමාන්‍ය ජනතාව දැනුවත් වන්නේ පාර්ලිමේන්තුවේ සිදුකෙරෙන වාද විවාද සම්බන්ධයෙන් පමණයි. එහෙත් ඊට වඩා රජයක් විදියට රාජ්‍ය පාලනයේ දී තිබිය යුතු වැදගත් කාර්යයන් රාශියක් පාර්ලිමේන්තුව තුළ ඉටු වන බව අප කවුරුත් දන්නවා. පාර්ලිමේන්තුවේ ගිණුම් හා පොදු ව්‍යාපාර කමිටුවේ කාරක සභාවේ කටයුතු එහි දී ඉතාමත් විශේෂිතයි. එහි සභාපතිවරයා සහ එහි සාමාජික පිිරිස සිය ධුර කාලයන් තුළ තමාගේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කෙරෙනවා නම් රාජ්‍ය සේවය තුළ කෙරෙන ගිණුම් කටයුතුවල දී, විගණන කාර්යයන්වල දී ඉතාමත් පිරිසිදු බවක් සහ කාර්යක්ෂමභාවයක් මෙන්ම රටේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ඒ තුළ ක‍්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලසන්ත අලගියවන්න ඇමතිතුමාට මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා, එමෙන්ම මෙම කමිටුවේ කටයුතු කරන සියලුම සාමාජික මැති ඇමතිවරු සහ අනෙකුත් නිලධාරි මහත්ම මහත්මීන්ට ස්තුතිවන්ත වෙනවා.

මේ රටේ රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත‍්‍රවල, පළාත් පාලන ආයතනවල, ව්‍යාපාර අංශවල පිබිදීමක් ඇති කරන්න ඔවුන්ගේ උත්සාහය හේතුවක් වෙනවා නොඅනුමානයි. දූෂණයෙන්, වංචාවෙන්, අක‍්‍රමිකතාවයෙන් තොරව කටයුතු කරන්නට දරන අප උත්සාහය බොහෝ වේලාවට ඇතැම් අයගේ උපහාසයට සහ අපහාසයට ලක්වී තිබෙනවා. යහපාලන සංකල්පය යථාර්ථවාදී සැබෑ අරමුණක් ඇතිව කටයුතු කරන රාජ්‍ය පාලනයේ දේශපාලන සංකල්පයක් වශයෙන් හඳුන්වා දෙමින් ඒ අර්ථය රටට සහ මහජනයාට දැනුවත් කිරීමට නම් දූෂණයට හා වංචාවට එරෙහි ක‍්‍රියාමාර්ග තව දුරටත් ශක්තිමත් කළ යුතු වෙනවා. රජයේ ගිණුම් හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු එහිදී ඉතාමත් වැදගත් වෙනවා. මේ කාර්යයන්වල දී ගරු කතානායකතුමාගේ නායකත්වය, එතුමා කරන මගපෙන්වීම මා ඉතාමත් අගය කරනවා.

අපේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14 ට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. පෞද්ගලික අංශයේ ලක්ෂ 22 ට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. මේ රටේ සංවර්ධනයේ ප‍්‍රධාන වගකීම් දරන එම පිරිස් හා එම අංශවල සිදු කෙරෙන කටයුතුවල තිබිය යුතු විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, විධිමත්භාවය රටක් ලෙස සැලකීමේ දී ඉතාමත් වැදගත් වෙනවා. මේ රටේ පසුගිය දශක කිහිපය ගත්විට සෑම ආණ්ඩුවක්ම වගේ මේ යහපත් අරමුණු ඉටුකර ගැනීම සඳහා යම් යම් වැදගත් පියවර රාශියක් ගෙන තිබෙනවා. අලුත් නීති රීති සම්මත කරගෙන තිබෙනවා. අලුත් ආයතන සාදා තිබෙනවා. ඒ තුළ ඇතැම් අරමුණු සාර්ථක වී තිබෙනවා. ඇතැම් අරමුණු ඉෂ්ට වී නැහැ. ඇතැම් දේ අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව සැලකීමේ දී රටේ යහපත් අරමුණු ඉටු කර ගැනීම සඳඟා කටයුතු කිරීමට නම් ගිණුම් කාරක සභාවේ කටයුතු කාර්යක්ෂමව හා නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යාම ඉතා අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ආයතනයට පැවරී තිබෙන කාර්යයන් සැලකීමේ දී විශේෂයෙන්ම ලැබෙන වාර්තා පදනම් කරගෙන ඒවා විමර්ශනය කරමින් සිදුකරන මේ සම්මාන ප‍්‍රදානය ඉතාමත් වැදගත් වෙනවා.

පසුගිය අවුරුද්දෙත් මම මේ උත්සවයේ දී කතා කළ දෙයක් අදත් නැවත මතක් කරනවා. වැඩිම ලකුණු ගත් අයට ගෞරව කරලා සම්මාන දෙනවා වගේම ලකුණු අඩුවෙන් ගත් අයටත් සහතිකයක් දීම හොඳයි කියා. එවිට ඔවුන් දන්නවා ඔවුන් අන්තිම වුණේ ඇයි කියා. බොහෝ වේලාවට මේ තරගවල හොඳම අයට තමයි සම්මාන දෙන්නේ, ගෞරව කරන්නේ. අන්තිමට ආපු අයට  ඒ අයට එහෙම වුණේ ඇයි කියලා මතකයට එන්න දෙයක් සිදුවෙන්නේ නැහැ. සම්මාන නොලබන අය සම්මාන ගන්න නම් සම්මාන නොලබන අයවත් හඳුනාගෙන තිබිය යුතුයි.

අපි වර්තමාන රජය විදියට යහපාලන සංකල්පය තුළ මේ රටේ රාජ්‍ය සේවයේ දූෂණ, වංචා, අක‍්‍රමිකතා මැඩලීම සඳහා අලුත් ආයතන හැදුවා, අලුත් පියවර රාශියක් ගත්තා. ඒ තුළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් මෙන් ශක්තිමත් කළා. පසුගිය මාස කිහිපය තුළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ අදාළ සංශෝධන සිදුකළා. ජාතියක් ලෙස සැලකීමේ දී සුපිරිසිදු හා සංවර්ධන යහපත් අනාගතයක් උදෙසා අප ගත් එම ක‍්‍රියාමාර්ග ඉතාම වැදගත් වනු නොඅනුමානයි.

අපි ලද ජයග‍්‍රහණයක් තමයි විගණන කොමිෂන් සභාව පිහිටුවීමට හැකිවීම. නිදහසින් පසු ලංකාවේ වසර 70 ට වැඩි කාල සීමාවක් තුළ දූෂණය, වංචාව පිටුදැකීම සඳහා රාජ්‍ය සේවයේ පිරිසිදු පාලනයක් සඳහා ගැනීමට නොහැකි වූ වැදගත් තීන්දු තීරණ කිහිපයක් අප විසින් ගනු ලැබුවා. අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් විදියට ශක්තිමත් කිරීමත් අවශ්‍ය නීති රීති සංශෝධනය කිරීමත් ඒ අතර ප‍්‍රධානයි. විගණන කොමිෂන් සභාවත් සමග විගණන සේවය පිහිටුවීම ඉතාමත්ම ඉක්මනින් කළ යුතු වෙනවා. ඒ අනුව විගණන සේවය ස්ථාපිත කිරීම ඉතාම කඩිනමින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

දූෂණය, නාස්තිය, හොරකම පිළිබඳව කතා කරන විට මේ රටේ මෙතෙක් පැවැති නීති රීතිවල බොහෝ අඩුපාඩුකම් අපි දකිනවා. එම අඩුපාඩුකම් නිසා වැරදි කාරයන්ට දඬුවම්දීම් ප‍්‍රමාද වෙනවා. බොහෝ වෙලාවට චීනය වගේ රටක් ගත්තොත්, සිංගප්පූරුව වගේ රටක් ගත්තොත් දූෂණය වැනි චෝදනාවන්ට අදාළව අවුරුදු ගණන් නඩු අහන්නේ නැහැ. සති දෙකයි තුනයි වැඩේ ඉවරයක් කරනවා. මරණීය දණ්ඩනයත් එහෙමයි. ලංකාවේ මරණීය දණ්ඩනය ලැබෙන වැරදි මොනවද? ලංකාවේ මිනිහෙක් මරපුවහම වැරදි කාරයාට මරණීය දණ්ඩනය නියම කරනවා. රාජද්‍රෝහී නම් මරණීය දණ්ඩනය තිබෙනවා. සමූහ ස්ත‍්‍රී දුෂණවලට මරණීය දණ්ඩනය තිබෙනවා. මත්කුඩු වලට මරණීය දණ්ඩනය තිබෙනවා. හැබැයි ඒවා එකක්වත් ක‍්‍රියාත්මක නැහැ. ඒ නිසා නීතියේ පොතේ තිබුණට වැරදි කරන අය ඒ විදියටම කරනවා.

ගරු අගමැතිතුමනි, ගරු කතානායකතුමනි, මම මේ ගරු පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවලින් අද මේ වගේ වැදගත් කාර්යයක් ඉෂ්ට කරන වෙලාවේ ඉල්ලීමක් කරනවා. මේ රටේ රාජ්‍ය දේපළ හොරමකට දූෂණයට එරෙහි නිතියට මරණීය දණ්ඩනය ඇතුළත් කළ යුතුයි. මේ කාලය තුළ ඒක කරනවා නම් මගේ ධූර කාලය තුළ එක් කෙනෙක් දෙන්නෙකුට ඒ දඬුවම දීලා යන්නත් මම ලෑස්තියි. මේ හුඟක් වැරදි කරන්නේ බය නැත්තේ දඬුවම් නැති නිසා අපේ රට උතුම් ලස්සන පින්වන්ත රටක්. මේ පුංචි ලස්සන රට සංවර්ධනය කරන්න ලෝකයේ අනිකුත් සංවර්ධිත රටවල්වල තත්ත්වයට ශක්තිමත්ව ගොඩනැගීම කළයුතුයි. අපි අපේ වැඩ ටික හරියට කරනවා නම් අපිට ජිවිත කාලයක් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. හැම කෙනාම සාමූහිකත්වයෙන් තමාගේ වගකම් සහ යුතුකම් ඉෂ්ට කරනවා නම් අපිට අවුරුදු 05ක් වගේ කෙටි කාලයකින් ඒ දෙය කරන්න පුළුවන්. උඩ ඉන්න අය හොරකම් කිරිම නැවැත්වීම එහිදී ඉතාමත් වැදගත්. දේශපාලකයන් වගේම පහළ ඉන්න අය දවසේ පැය ගණන හරියට වැඩ කළ යුතුයි. ගරු කථානායකතුමා කිව්වා පැය 08 වත් හරියට වැඩ කරන්නේ නැහැ කියලා. මගේ අදහස නම් ගරු කථානායකතුමනි උඩ ඉන්න දේශපාලන ක්ෂේත‍්‍රයේ, රාජ්‍ය නිලධාරීන්ගේ ක්ෂේත‍්‍රයේ කරන බරපතළ දූෂණ වංචා නැති කරලා, පහළ රාජ්‍ය සේවයේ ඉන් බාහිර අනික් ආයතන දවසේ පැය 04 ක් හරියට වැඩ ටික කළා නම් මේ රට අවුරුදු 05 ක් වගේ කෙටි කාලයකින් ලස්සන රටක් බවට පත් කරන්න පුළුවන්.

මම පසුගිය සතියේ නේපාලේ ගියා. ඒ වගේ රටකට ගියාම අපේ රට අද කොතරම් හොඳ තැනක ද ඉන්නේ කියලා හිතෙනවා. ඒ රටවල් වල තිබෙන තත්ත්වය සහ අපි ඉන්න තැන බලලා අපිට මේ රට ගොඩගන්න බොහෝම පොඩි වැඩ කොටසක් නේද තියෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි දූෂණයට සහ වංචාවට විරුද්ධව කටයුතු කිරීමේදී ඒ ආයතන ශක්තිමත් කිරීම සහ ඒ සඳහා පෙනී සිටීන පුද්ගලයන් ශක්තිමත් කිරීම ඉතාම වැදගත් වෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීම. ඒ අවශ්‍ය වරප‍්‍රසාද ලබාදීම. ආයතනවලට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් ලබාදීම ඉතාමත් අවශ්‍ය වෙනවා. විගණාධිපතිතුමාගේ වැටුප් සංශෝධනය අවුරුදු දෙකක් ද තුනක් ද දැන් කල් යනවා. දැන් සති දෙකකට කලිනුත් ඉල්ලා අස්කර ගත්තා. ඇයි එහෙම වෙන්නේ කියලා මම දන්නේ නැහැ. එහෙම වෙනකොට අවංකව වැඩ කරන නිලධාරියෙකු දුර්වල වෙනවා. උනන්දු වෙන්නේ නැහැ. තමන්ගේ වැටුපවත් හරියට හම්බ වෙන්නේ නැත්නම් ඒක බරපතළ ප‍්‍රශ්නයක් තමයි. ඒ නිසා එවැනි අය උනන්දු කරවන්න ඕන. ඒ අය ශක්තිමත් වෙන්න ඕනෑ. එතකොට තමයි වැඩ කෙරෙන්නේ.

එක එක අංශවල සේවාවන් ගත්තාම, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව මම පත් කරලා තිබෙන කොමිෂන් සභාවට අදාළව මාධ්‍යවල පළවන වාර්තා ඔබ දකිනවා ඇති. මොනතරම් දූෂණ වංචා අක‍්‍රමිකතා සිදුවෙලා තිබෙනවද. මොනතරම් අවිධිමත් විදියට ඒ කටයුතු කෙරිලා තිබෙනවද? එතකොට තේරුම්ගන්න පුළුවන් ඒ වැරදි කළ අය සම්බන්ධයෙන් අවශ්‍ය දඬුවම් පැමිණවීම ඉක්මන් වීම ඉතාමත් අවශ්‍යය යි. චෝදනා පැමිණිලි 32 ක් සම්බන්ධයෙන් පසුගිය දා පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ගරු අගමැතිතුමනි, ගරු කථානායකමනි, ඒ කොමිෂන් සභා වාර්තාවල කටයුතු සම්බන්ධයෙන් ක‍්‍රියාකාරිත්වය සහ සඳහන් චෝදනා සහ චූදිතයන්ට අදාළව දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් මම දකින්නේ බොහොම මන්දගාමී ස්වභාවයක්. මහබැංකුව සම්බන්ධයෙන් පත්කර ඇති කොමිෂන් සභා වාර්තාව, දැන් ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳ විමර්ශනය, මේ ලැබෙන වාර්තා හා විමර්ශනයන් එක්ක රටේ මහජනයාට පැහැදිලිව පෙනෙන්නට ඕන මේවාට ඒ නිර්දේශවලට අදාළව දඬුවම් පැමිණවීම ඉක්මන් වෙනවා කියලා. ඒවායේ ඇතිවන මන්දගාමී ස්වභාවය ඉතාමත් තදින් බලපානවා. එතකොට කාලයක් යනකොට දීර්ඝ වෙනවා. මේ වග උත්තරකරුවෝ අතුරුදන් වෙනවා. විභාග අඩපණ වෙනවා. නිලධාරීන් මාරුවෙනවා, පරීක්ෂණ අඩපණ වෙනවා. ආණ්ඩු වෙනස් වෙනවා. එතකොට ජනතා අප‍්‍රසාදය වෙනවා.

අපි රජයක් ලෙසට සූදානමින් ඉන්න වෙනවා මේවාට අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඉක්මනින් නීතිය ක‍්‍රියාත්මක කරන්න. දඬුවම් පමුණුවන්න. ඒ තුළින් තමයි මේ වැඩකටයුතුවල වඩා සාර්ථකත්වයක් දකින්නේ. ඒ නිසා අද මම සතුටු වෙනවා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව තම වගකීම් හා යුතුකම් ඉටුකරමින්, සාර්ථකව ඉටුකිරීම පිළිබඳව. ඒ වගේම මේ සම්මානලාභී ආයතනවල කාර්යමණ්ඩලවලට අපි ස්තුති කරනවා, ගෞරව කරනවා, ඔබේ ඒ හැකියාවන් තුළින් වගකීම් ඉටුකිරීම පිළිබඳව. ඒ වගේම අපි බලාපොරොත්තු වන අරමුණු ඉටුකරන්න කැපවිය යුතු බව පෙන්වා දෙමින් මාගේ කතාව අවසන් කරනවා.

ස්තුතියි

 

Share This Post

NEW