වත්මන් යුගයේ බොහෝ නායකයන්ට නොමැති රට පිළිබඳ පැහැදිලි දැක්මක් වත්මන් ජනාධිපතිවරයාට තිබෙන බව පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී නායක ස්වාමින් වහන්සේ පවසයි.

වත්මන් යුගයේ බොහෝ නායකයන්ට නොමැති රට පිළිබඳ පැහැදිලි දැක්මක් වත්මන් ජනාධිපතිවරයාට තිබෙන බව පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී නායක ස්වාමින් වහන්සේ පවසයි.

වත්මන් යුගයේ බොහෝ නායකයන්ට නොමැති රට පිළිබඳ පැහැදිලි දැක්මක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට තිබෙන අතර මේ රට අභිවෘද්ධිය කර ගෙන යා හැකි දූරදර්ශි වැඩපිළිවෙළක් මෙන්ම අධිෂ්ඨානශීලි ගුණයක් එතුමා සතුව තිබෙන බව රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී නායක ස්වාමින් වහන්සේ පවසයි.

විපක්ෂයේ හෝ ආණ්ඩුවේ ද සහයක් නොමැතිව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමා තනිව මෙතෙක් ඉටු කළ කාර්යභාරය කිසිසේත් කිසිවෙකුට බැහැර කළ නොහැකි අතර සියලුදෙනාගේ සහයෝගයෙන් එම වැඩපිළිවෙළ ශක්තිමත් වන්නේ නම් නිසැකයෙන්ම යහපත් රටක් පිළිබඳ පැහැදිලි අපේක්ෂාවන් රටේ ජනතාවට තැබිය හැකි බව ද උන්වහන්සේ සඳහන් කළහ.

උඩුගම්පල වීදියවත්ත, නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථායේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද (03) පස්වරුවේ ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සහ දරු පරපුර හා යහපත් සමාජයක් වෙනුවෙන් ඉටුකළ කාර්යභාරය කිසිදු නායකයෙකු ඉටු නොකළ සුවිශේෂී කාර්යභාරයක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අද පස්වරුවේ උඩුගම්පල වීදියවත්ත, නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථාය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේ ය.

ඉන් අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමට අදාළ සමරු ඵලකය විවෘත කළ ජනාධිපතිතුමා අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ප‍්‍රථම පුෂ්පෝපහාරය ද සිදු කළේය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේ යහපත් සමාජයක් පිළිබඳව වගකීම් ඉටුකිරීමේ දී ගමේ විහාරස්ථානය ශක්තිමත් කිරීමට මෙන්ම මහා සංඝරත්නය පෝෂණය කිරීමට සහ සුරක්ෂිත කිරීමට ප‍්‍රමුඛ වගකීමක් පැවරෙන බවයි.

විනයෙන් සහ හික්මීමෙන් යුත් සදාචාර සම්පන්න ජාතියක් ලෙස ශ‍්‍රී ලාංකීය ජාතිය ගොඩනැගී ඇත්තේ බෞද්ධ සංස්කෘතිය නිසා බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. විහාරාධිපති පූජ්‍ය තෙප්පනාවේ සුනීත නායක ස්වාමින් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය වරාගොඩ පේමරතන අනු නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න, එඩ්වඩ් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ ප‍්‍රදේශයේ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

වීදියවත්ත නිග්‍රෝධාරාම විහාරයේ කොත නිරාවරණය කිරීම සහ ආශිර්වාද පිංකම අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව 2019-10-03 වන දින ගම්පහ උඩුගම්පොල

ගම්පහ උඩුගම්පොල වීදියවත්ත ප්‍රදේශයේ නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජාණන් වහන්සේ විවෘත කිරීමේ අවස්ථාවට ඔබ සියලු දෙනා ම සහභාගී වන අවස්ථාවක මට ද ඒ සඳහා එක්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාණ විහාරස්ථානයක් විදියට විශේෂයෙන් ම ඔබ කාගේත් ගෞරවයට, භක්තියට සහ ආදරයට පාත්‍ර වූ උතුම් පූජනීය ස්ථානයක අද මේ උතුම් පුණ්‍ය කටයුත්ත සඳහා අපි සහභාගි වෙලා මේ උතුම් නව චෛත්‍යරාජාණන් වහන්සේ බෞද්ධ පුද පූජාවන් සඳහා විවෘත කිරිමට ඒ උතුම් කටයුත්තට සහභාගී වීමට ලැබීම කාගේත් භාග්‍යයක්, පිනක්, වාසනාවක් කියලයි මම විශ්වාස කරන්නේ.

අප බෞද්ධ රටක් විදියට අපේ රටේ විශේෂයෙන් ම බෞද්ධ ආගමික පරිසරයක් තුළ සමාජය තුළ තිබෙන විනය, හැදියාව, ශීලාචාරකම, මනුස්සකම මේ සියලු දේ ම ශක්තිමත් වුණේ, බලවත් වුණේ, ගුණවත් වුණේ, නැණවත් වුණේ පන්සල, විහාරස්ථානය, පිරිවෙන මුල් කරගත් අවුරුදු දහස් ගාණක අපේ බෞද්ධ සංස්කෘතියේ, බෞද්ධ ශිෂ්ඨාචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් කියන එක ඔබ අප කවුරුත් දන්නවා.
මම ඊයේ දවසේ උත්සව හයකට සහභාගි වුණා. අපේ හාමුරුවනේ, ඒ උත්සව හයෙන් හතරක් ම විහාරස්ථානවල නව ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථා. ලෝකයේ බොහෝ දියුණු රටවල් තිබෙනවා තාක්ෂණයෙන්, භෞතික වශයෙන්. නමුත්, ශ්‍රී ලංකාවේ ජනතාව තරම් ප්‍රධාන වශයෙන් ම පරිත්‍යාගයට, දානයට එක් වූ පිරිසක් ලෝකයේ තවත් සිටිනවා ද කියල අපිට සොයා ගැනීමට මේ යුගය තුළ, මේ වකවානුව තුළ පු`ඵවන්කමක් නෑ. ලෝකයේ කිසිම රටක අපේ වගේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට, පසළොස්වක් පුන් පොහෝ දවසට තිබෙන විශේෂයෙන් ම දාන ශාලා, දන්සල් ලෝකයේ කිසිම රටක එවැනි සංස්කෘතියක් නෑ. අප රටට පැමිණෙන විදේශිකයෝ පොළොන්නරු, අනුරාධපුර, මිහින්තලේ ප්‍රදේශවල විශේෂයෙන් ම වෙසක්, පොසොන් උත්සව කාලෙට දන්සල් දැකලා විමතියෙන් බලාගෙන ඉන්නවා. ලෝකයේ මොන තරම් ධනවතුන් හිටියත් ඒ රටවල්වල එවැනි පරිත්‍යාගයක් නැහැ. දානය, පරිත්‍යාගය, අන් අයගේ දුක සැප සොයා බැලීම, කාරුණික බව, මනුෂ්‍යත්වය අප පුංචි රටක් විදියට අපි තමා ලෝකයේ ම අපේ ශිෂ්ටාචාරය තුළ උතුම් ලෙස ම පිහිටුවලා තියෙන්නේ. ඒකට මූලික ම හේතුව බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය.

අපි වසර දහස් ගාණක් ගමේ පන්සලත් එක්ක, විහාරස්ථානයත් එක්ක, පිරිවෙණත් එක්ක කටයුතු කිරීම අපිට ලැබුණු උතුම්ම දායාදයි. විශේෂයෙන් අපේ රටේ උගතුන් බිහිවෙන්න, ෂඞ් භාෂා පරමේශ්වර වැනි විවිධ අංශවලින් විවිධ දැනුම තිබෙන විද්වතුන්, උතුන්, පඩිවරුන් බිහි වුණේ පිරිවෙන් අධ්‍යාපනයත් සමඟ. ඒ නිසා අපි සෑම කෙනෙක්ම යහපත් රටක් පිළිබඳව කතා කරන විට, ඒ වාගේම අපි යම් වගකීමක් ඉටු කරන විට ගමේ විහාරස්ථානය, පිරිවෙන ශක්තිමත් කිරීම වාගේම ගෞරවනීය භික්ෂූන් වහන්සේලා පෝෂණය කිරීම, ආරක්ෂා කිරීම, උන්වහන්සේගේ දුකසැප සොයා බැලීම අපේ වගකීමක් සහ යුතුකමක් වෙනවා.

ඒ නිසා මෙවැනි උතුම් කාර්යයට එක්වන්න ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙමින් මේ උතුම් කටයුත්ත අප සියලු දෙනා එක් වී අද දවසේ ඉටු කළා වාගේ ම, විශේෂයෙන් ම මේ උතුම් චෛත්‍ය රාජයාණන්වහන්සේ ඉදිකිරීම සඳහා දායක සභාව සහ ගම්වාසීන්ගේ පරිත්‍යාගශිලීකම ඒ සෑම කෙනෙක්ම විහාරස්ථානයේ විහාරාධිපතීන්වහන්සේගේ උපදෙස් පරිදි කර ඇත්තේ මහා පිංකමක් සහ උතුම් කාර්යයක්. ඒ තුළින් ඇති වන ශ්‍රද්ධාව, සිතේ ඇති වෙන සැනසීම මඟින් අපි සියලු දෙනාම සතුටට පත්වෙනවා. සිත සැනසිලි සහගත වීම, සිත සන්සුන් වීම තමයි මනුෂ්‍යයෙකුට අවශ්‍ය දේ. එය තමය බොහෝ අය තුළ පිහිටන්නේ නැත්තේ.

සන්සුන් මනසක්, විශේෂයෙන් උපේක්ෂා සහගතව සියලු දේ ගැන බැලීමත්, බෞද්ධයන් වශයෙන් අපි විසින් හුරුපුරුදු කරගත් යහපත් සමාජයක යහපත් චරිතවත් ජීවිත ගතකිරීමේ වැදගත්කමත් මම හිතන්නේ ඔබ අප සෑම කෙනෙක්ම වටහාගත් කරුණක්.

ඒ නිසා අවසාන වශයෙන් මේ උතුම් කටයුත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන්වහන්සේ විවෘත කිරීමේ උතුම් කටයුත්ත, විශේෂයෙන් ම විහාරාධිපතීන්වහන්සේ වාගේම ගෞරවනීය දායක සභාව සහ මේ සම්බන්ධයෙන් අපට ආරාධනා කරලා මැති ඇමතිවරුන් සමඟ මේ කටයුත්තට සහභාගී කරවීම සම්බන්ධයෙන් මම නැවතත් ස්තුතිවන්ත වෙන අතර සියලු දෙනාට තෙරුවන් සරණ පතනවා.

Share This Post

NEW