වසර 27 ක් පුරා වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය අද සිට ජනතාවට විවෘතයි – ජනපති යාපනයේදී කියයි

වසර 27 ක් පුරා වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය අද සිට ජනතාවට විවෘතයි – ජනපති යාපනයේදී කියයි

1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) යාපනයේ පැවති ජන හමුවක් අමතමිනි. එම මාර්ගය අද විවෘතවීමත් සමග ජනතාව ගමන්කළයුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා කිසිදු බේදයකින් තොරව යාපනය ජනතාව වෙනුවෙන් ද සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කරන බව සඳහන් කළේය.

රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට තමා කැපවී සිටින බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළ හැකි සෑම කැපකිරීමක් සිදුකරන බව ද පැවසීය. උතුරේත්, දකුණේත් සියලු ජනතාව එක්ව තමා ජනාධිපති ධුරයට පත්කර ගත්තේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් කෙරෙහි දැඩි අපේ්ක්ෂා සහගතව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අපේක්ෂාවන් ඉටු කිරිමට ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.

මේ අතර යාපනය අවතැන්වූවන් වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සියයට 75 කින් පමණ අවසන් කර තිබෙන අතර, ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ද කඩිනමින් නිමකරන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

අතුරුදන්වූවන් පිළිබඳ දීර්ඝ කාලයක් පුරා පවතින ජනතා හඬ නැගීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ වෙනුවෙන් ඉහළම සාධාරණය ඉටුකිරීමට තමා කැපවී සිටින බවයි. එම අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා අතර, ඔවුන්ගේ ඉල්ලීම් අනුව අවශ්‍ය සාකච්ඡා, සොයාබැලීම් සඳහා ඕනෑම අවස්ථාක තමා සූදානම් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

යාපනය මහ නගර සභා කී‍්‍රඩාංගණයේ පැවති මෙම ජනහමුවට දිස්ති‍්‍රක්කයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් ද මෙවර පළාත් පාලන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් යාපනයේ මහ නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේ්ක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

මේ අතර අද පෙරවරුවේ වව්නියාව ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා ද ජනාධිපතිතුමා එක්විය. මෙවර පළාත් පාලන මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින වව්නියාව දිස්ති‍්‍රක් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජනහමුව වව්නියාව යන්ග් ස්ටාර් කි‍්‍රඩාංගණයේ දී පැවති අතර ජාති, ආගම් බේදයකින් තොරව දිස්ති‍්‍රක්කයේ විශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.

ඔවුන් ද මහත් හරසරින් යුතුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පිළිගනු ලැබීය. එම ජනතාව අමතමින් ජනධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනතාවට සේවය කිරීමේදී කිසිවිටෙක පක්ෂ, පාට, ජාති, ආගම් බේද නොසැලකිය යුතු බවයි.

වව්නියාව ජනතාවට සේවය කර ඇත්තේ එක් දේශපාලන පක්ෂයක් බව සඳහන් කරමින් එම ජනතාව අතර බෙදා දී ඇති පති‍්‍රකාවක් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා වව්නියාව ඇතුළු උතුරේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර එයට සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය වන පරිදි මැති ඇමතිවරු පත් කරමින් පක්ෂ බේදයකින් තොරව සියලු ජනතාවට එක හා සමාන සංවර්ධනයක් ලබාදීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන ලද්දේ තමා විසින් බව කියා සිටියේය.

සංවර්ධනයට මුවා වෙමින් දේශපාලන වශයෙන් ජනතාව බෙදා වෙන් නොකරන ලෙස තමා උතුරේත් දකුණේත් සියලු දේශපාලනඥයින්ගෙන් ඉල්ලන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

වව්නියාව දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාදර් මස්තාපා ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

 

යාපනය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිතුමා කළ කතාව – 2018-02-05

යාපනය ප‍්‍රදේශයේ ඔබ සැම හමුවිමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

තමුන්නාසේලා හමුවීම සඳහා දේශපාලන රැස්වීමකට මා මෙහි පැමිණියේ මීට වසර 03 කට පෙරයි. ඒ ජනාධිපති ඡන්දයට පොදු අපේක්ෂකය විදියට හංසයා ලකුණෙන්. මට ඒ අවස්ථාවේ උතුරේ සියලුම දේශපාලන පක්ෂ උදව් කළා. එදා මට ඡන්දය දුන්න තමුන්නාන්සේලාටත් දේශපාලන පක්ෂ නායකයින්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම උතුර දකුණ භේදයක් නැතීව අපට ඡන්දය දුන්න සමස්ත ජනතාවටත් සහයෝගය දුන්න සියලුම දේශපාලන පක්ෂවලටත් මා අදත් ස්තූතිවන්ත වෙනවා. අද අපි මේ සූදානම් වන්නේ ඔබේත්, මගේත්, ජනතාවගේත් පක්ෂය වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත ලකුණෙන් තරග කරන පළාත් පාලන මැතිවරණයටයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල ජනතාවගේ පක්ෂයක් විතරක් නෙවෙයි. මේ පක්ෂය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා හදපු පක්ෂය බව ඔබ දන්නවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ පක්ෂයට නායකත්වය දුන්න බව ඔබ දන්නවා. සිරිමාවෝ මැතිණිය අගමැති කාලේ යාපනයට ආවිට එතුමියට යාපනයේදී ලැබෙන්නේ උණුසුම් පිළිගැනීමක්. ඒ කාලේ එතුමියට උතුරේ ජනතාව ඡන්දය දුන්නා. 1960 ගණන්වල එතුමිය යාපනයට ආ විට යාපනයේ කාන්තාවන් එතුමිය එන පාරේ තමන්ගේ කෙස් කළඹ බිම ඇතිරුවා ඒ උඩින් සිරිමාවෝ මැතිණියට එන්න කියලා. ඒ තරම් ගෞරවයක් කළා. බණ්ඩාරනායක මැතිණිය කිව්වා මේ මව්වරුන්ගේ කාන්තාවන්ගේ කෙස් කළඹ උඩින් මට යන්න බැහැ කියලා. උතුරේ ජනතාව එතුමියට ලොකු ආදරයක් තිබුණා.

1982 ජනාධිපති ඡන්දයක් තිබුණා ඔබට මතක ඇති. 1982 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මහත්මයා. 82 ජනාධිපතිවරණයෙන් එතුමට තමයි උතුරේ ජනතවා වැඩිපුරම ඡන්දය දුන්නේ. ඒක අපිට අමතක කරන්න බැහැ. සිරිමාවෝ මැතිණිය ඒ කාලේ යාපනයට ආ විට මෙහි වගාකරන මිරිස්වලින්, රතුළූණුවලින් හදපු මල්මාලා දැම්මා බණ්ඩාරනායක මැතිණියට. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා ලේකම්වරුන් පත්කරන අවස්ථාවේ ලේකම්වරුන් තිදෙනෙක් බණ්ඩාරනායක මැතිතුමා පත්කරගත්තා. බණ්ඩාරනායක මැතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නිලධාරීන් තෝරාගන්න විට රටේ සියලු ජනතාවට පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ සම තැන දුන්නා. සමතැන දුන්නේ කෙහොමද කියලා මම කියන්නම්.

ඒ කාලේ මැතිවරණ නීතිය අනුව පක්ෂයට ලේකම්වරු තුන් දෙනෙක් පත්කරගන්න පුළුවන්. නමුත් අද පුළුවන් එක ලේකම් කෙනෙක් විතරයි. ඒ ලේකම්වරු තුන්දෙනා පත්කළේ සියලු ජාතීන් නියෝජනය වන පරිදියි. සිංහල ලේකම් කෙනෙක් විදියට පත්කළේ බර්නාඞ් අලුවිහාරේ මහතා. දෙමළ ජනතාව වෙනුවෙන් ලේකම් වරයෙක් ලෙස තන්ගරාජා මහතා පත්කරගනු ලැබුවා. ඉස්ලාම්, මුස්ලිම් ජනතාව වෙනුවෙන් බදියුදීන් මහමුද් මහතා පත්කර ගත්තා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සිංහල ජනතාවගේ පක්ෂයක් විතරක් නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, සියලු ජනතාවගේ පක්ෂයක්. එය මම පැහැදිලිව කියනවා. මේ පක්ෂය සිංහල අයගේ පමණක් පක්ෂයක් නම් මෙවර අත ලකුණෙන් තරග කරන්න අපේක්ෂකයෝ පත්කරනවාද කියා මම අහන්න කැමතියි. මම මේ රටේ සමස්ත ජනතාවගේ ආදරයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ජාතීන් අනුව, ආගම් අනුව බෙදෙන්න එපා කියලා.

තමුන්නාන්සේලා මට ඡන්දය දීලා මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ මම කෙරෙහි විශ්වාසයකින්. මේ වසර තුන තුළ මම රට තුළ විශාල වෙනස්කම් රාශියක් කළා. මේ වසර තුනේ මේ රටේ අතුරුදහන්වීම් නැහැ. 2009 යුද්ධය ඉවරවෙලා රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ උතුරේ, දකුණේ අතුරුදහන්වීම් රාශියක් සිදුවුණා. ඇත්ත ලියන පත්තරවල කර්තෘවරුන් මහපාරේ මැරුවා. මාධ්‍යවේදීන් මරණ බියේ රට හැරදා ගියා. මුළු ලෝකයම අපිත් එක්ක තරහා වුණා. අපි ලෝකයේ තනිවුණා. අපේ රටට සලකන්නේ නැතිව ගියා. මම ජනාධිපති වූ පසු මම ලෝකයේ රාජ්‍ය නායකයින් හමුවුණා. මම ලෝක නායකයින්ට කිව්වා, එක්සත් ජාතීන්ගේ මහලේකම්ට කිව්වා මට මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්න, මානව හිමිකම් සහතික කරන්න, ජනතාවගේ අයිතිවාසිකම් සහතික කරලා ජනතාවගේ නිදහස සහතික කරන්න ඉඩ දෙන්න කියලා මම ඒ නායකයින්ගෙන් ඉල්ලුවා.

මට මගේ රට නිදහසේ ගෙනියන්න ඉඩ දෙන්න කියලා ලෝකයේ සියලු නායකයින්ගෙන් මම ඉල්ලුවා. අද ලෝකයේ සියලු රටවල්වල නායකයින් අපේ රටට සලකනවා. මේ අවුරුදු තුනේ අතුරුදහන්වීම් නැහැ, දේශාපලන ඝාතන නැහැ, කවුරුත් බයේ රට හැරදා ගියේ නැහැ. මම ජනාධිපති විදියට දකින සිහිනයක් තිබෙනවා. ඒ සිහිනය සැබෑ කරගන්න මට උදව් කරන්න කියලා සියලු ජනතාවගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ සිහිනය කුමක්ද කියලා මම කියන්නම්. ඒ සිහිනය තමයි මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතාව එකම පවුලක් ලෙස සහෝදරත්වයෙන්, විශ්වාසයෙන්, සැකයක්, බියක් නැතිව අත්වැල් බැඳගෙන එකට ජීවත්වන රටක්, සමාජයක් ගොඩනැගීමයි. මම මේ රටේ සියලු දේශාපලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා උතුර්ත්, දකුණේත් දේශපාලන පක්ෂ විදියට ජනතාව බෙදන්න එපා කියලා. මනුෂ්‍යයෝ විදියට සියලු දෙනාම එකට එකතු කරන්න ඕන අපි. සාමකාමී සමාජයක් හදන්න ඕන. සියලු දෙනා සතුටින් ජීවත් වෙන්න රටක් හදන්න ඕන. සියලු දෙනාම රට සංවර්ධනය කරන්න එකට ඇත්වැල් බැඳගන්න ඕන. ඔබ දන්නවා අපිට වැඩ කරන විට නොයෙකුත් ප‍්‍රශ්න තිබෙනවා. ආණ්ඩුවෙන් මෙහාට එවන මුදල් කොපමණ ආපහු යනවාද? උතුරු පළාතේ නැවත පදිංචි කිරීම්වලට නැවත පදිංචි කරන අමාත්‍යාංශයට දුන්  මුදල් 2017 දී 60% ට වැඩිය ආපහු ගියා වැඩ කරන්නේ නැතුව. ඒ මුදල් ආණ්ඩුවෙන් දුන්නේ ගෙවල් හදන්න. නමුත් දෙන මුදල්වලින් 30% ක් 40% ක් තමයි වැඩ කර තිබෙන්නේ. මම බොරුවක් කියනවා නෙවෙයි. මම ගණන් මිනුම් ඇතිව ඕන කෙනෙකුට පෙන්වන්නම් මම බොරු කියනවානම්. බලන්න දේශපාලන පක්ෂවල තිබෙන අසමගිය. දේශපාලන පක්ෂවල අසමගිය නිසා එයින් පාඩු සිදුවෙන්නේ රටට, මහජනතාවට. ඡන්දේ වෙලාවට බෙදිලා වෙන්වෙලා දේශපාලන පක්ෂ ඡන්දේ ඉල්ලනවා. නමුත් ඡන්දය අවසන් වූ විට හැම දෙනාම එකට එකතුවී මිනිස්සුන්ට වැඩ කරන්න ඕන.

මම මෙතනට ආවේ වව්නියාව ජනතාව හමුවෙලා. වව්නියාව ජනතාව මට කිව්වේ, එහි සිටින එක දේශපාලන පක්ෂයක අයට විතරයි ආණ්ඩුවෙන් වැඩ කරන්නේ කියලා. මම ඒ ගැන කනගාටු වෙනවා. මේ ආණ්ඩුව මුදල් දෙන්නේ දේශපාලන පක්ෂ ශක්තිමත් කරන්න නෙවෙයි. රට සංවර්ධනය කරන්නයි. මිනිසුන්ගේ ප‍්‍රශ්න විසඳන්නයි. මිනිසුන්ගේ දුක්ගැනවිලිවලට සවන් දෙන්න. ජනතාව කියන දේ අහගෙන ඉන්න. මිනිසුන්ගේ හඬට කන්දෙන්න ඕන. මේ රටේ දේශපාලන පක්ෂවල බොහෝ අය කරන්නේ මහා ලොක්කෝ වගේ හැසිරෙනවා දිනුවට පස්සේ. ජනතාවගේ හඬට කන්දෙන්නේ නැහැ. දුප්පත් ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න ගම්වලට එන්නේ නැහැ. ඒ නිසා දෙන මුදල් ආපහු යනවා. මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕන. මම මේ රටේ ජාතික සමගිය, සංහිඳියාව සඳහා කැපවී සිටින කෙනෙක්. මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවන්න සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ සමගිය ගොඩනගන්න මට කළ හැකි සෑම කැපවීමක්ම මම කරනවා කියා මම එදත් සහතික වුණා අදත් සහතික වෙනවා. අපේ රටේ සියලු ජනතාවට එක අරමුණක් තිබෙනවා. ඒ අරමුණ වන්නේ, මේ රට හොඳ රටක් කිරීමයි. ජනතාවගේ දුප්පත්කම නැති කරන්න ඕන. ජනතාවගේ ආර්ථිකය නංවන්න ඕන. දුප්පත් ජනතාව වෙනුවෙන් සැමවිටම වැඩ කළ යුතුයි. ඒ නිසායි මම ඔබෙන් ඉල්ලන්නේ, මේ පළාත් පාලන මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් ඉල්ලා සිටින අපේක්ෂකයින්ට ඡන්දය දෙන්න කියා ඉතාමත් ගෞරවයෙන්. මට අවශ්‍ය ඔබ සමග සමීපවීමට මිසක් දුරස්වීමට නොවේ. මට අවශ්‍ය තමුන්නාන්සේලා සමග එකට වැඩ කරන්න. නමුත් සමහර අය කැමති නැහැ මම ඔබ සමග එකට එකතු වෙනවාට. ඒ මගේ දේශපාලන බලය සඳහා නෙවෙයි මම කියන්නේ. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටුකර තිබෙනවා මා ජනාධිපතිවරයා කොට. තමුන්නාන්සේලා මාව ජනාධිපති කර තිබෙන්නේ තමුන්නාන්සේලාට වැඩ කරන්නයි. තමුන්නාන්සේලා අතරේ වැඩ කරන පාලමක් හදාගන්න ඕන මට. දැන් එහෙම පාලමක් නැහැ. මේ පාලම මට හදලා දෙන්න පෙබරවාරි 10 වැනිදා. ඒ පාලමෙන් එකට එකතුවී වැඩ කරන්න මම මුදල් දෙනවා සම්පත් දෙනවා සියලු දේ දෙනවා. මෙහි වැඩ කරන විට දේශපාලන පක්ෂ විදියට වෙන් වෙන්න එපා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් ඉදිරිපත්වී සිටින මහත්වරු 10 වැනිදා දිනුවාට පසු අපේ පක්ෂයේ අයට විතරක් වැඩ කරන්න එපා සියලු දෙනාට එක වගේ වැඩ කරන්න ඕන. ඡන්දේ දුන්නත් නැතත් වැඩ කරන විට හැම කෙනාටම වැඩ කරන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු එයයි. මිනිස්සුන්ට සමාජ සාධාරණත්වය ඉටු කරනවා කියන්නේ එයයි. සමතැන දෙනවා කියන්නේ එයයි. සම තැන කියන්නේ බෙදෙන එක නෙවෙයි. සමාජ සාධාරණත්වය සහ සමතැන පිළිබඳව අපේ ආගමික දර්ශනවල කියනවා. බෞද්ධ දර්ශනය සහ හින්දු දර්ශනයේ සම්බන්ධතාවයන් තිබෙනවා. බෞද්ධ දර්ශනය අභිධර්මය, ත‍්‍රිපිටකය තුළ එය පැහැදිලි කරනවා සමාජ සාධාරණත්වය සමාජය තුළ සහජීවනය කෙසේද ගොඩනගන්නේ කියා. හින්දු දර්ශනයේ භගවත් ගීතාව තුළ එය බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා. ඉස්ලාම් ජනතාවගේ කුරාණය තුළ පැහැදිලි කරනවා සමාජ සාධාරණත්වය ගැන. ක‍්‍රිස්තු දහම තුළ බයිබලයේ පැහැදිලි කරනවා කෙසේද සමාජ සාධාරණත්වය කියා. ආගමික දර්ශන තුළ සමාජ ආගමික සහජීවනය හොඳින් තිබෙනවා. අපිට බුදුන් වහන්සේගේත් දෙවියන් වහන්සේගේත් ආශිර්වාදය තිබෙනවා. ඒ ආශිර්වාදය අපිට ලැබෙනවා. හොඳින් වැඩ කරන්න. බුදුන් වහන්සේත් දෙවියන් වහන්සේත් අපිට කියන්නේ කවදාක්වත් බෙදෙන්න එපා කියලා. ඒ නිසා අපි පවිත‍්‍ර අරමුණින් වැඩ කරන්න ඕන. දේශපාලනය කරන විට හොරකම් කරන්න හොඳ නැහැ. මිනිසුන්ගේ මුදල් සාක්කුවේ දාගන්න හොඳ නැහැ. ආණ්ඩුවේ මුදල් ජනතාවගේ මුදල්. ඒවා හොරකම් කරන්න හොඳ නැහැ. දුප්පත් ජනතාවට ගෙවල් හදන්න, පාරවල් හදන්න, වතුර ටික දෙන්න තිබෙන මුදල් තමයි මේ රටේ දේශපාලනඥයෝ හොරකම් කරන්නේ. ඔබ දන්නවා රාජපක්ෂ ආණ්ඩුව කාලේ කොච්චර හොරකම් කරලා තියෙනවා ද කියලා.

අද ඒවා කොමිෂන් සභා වාර්තාවලින් පැහැදිලියි. ඒ වගේම මහබැංකු කොල්ලය පිළිබඳ, කොමිෂන් සභා වාර්තාවලින් කියනවා මේ ආණ්ඩුවෙත් සමහර අය මේවාට සම්බන්ධයි කියලා. මට ගිය ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද කියලා වෙනසක් නැහැ. හොරකම් කරනවාට දඬුවම් දෙනවා. හොරකම් කරන කෙනා මොන පක්ෂයේද, හිතවත් අය ද කියලා මම බලන්නේ නැහැ. අපේ තියෙනවා ගුවන් සමාගමක් ශ‍්‍රී ලන්කන් හා මිහින් එයාර්. ඒවාගේත් හොරකම් සිදුවෙලා තිබෙනවා. ඒ හොරකම් හොයන්නත් මම කොමිෂන් සභාවක් දැම්මා. ඒකෙනුත් පැහැදිලි වෙයි හොරකම් කළේ කවුද කියලා. වැරදි කරන ඕනෑම කෙනෙක්ට නීතියෙන් දඬුවම් කරනවා. ඒ නිසා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මට සහය දෙන්න කියලා.

අපි සියලු දෙනාම එකට සහෝදරත්වයෙන් වැඩ කරමු. අද මුළු ලෝකයම එකට එකතු වෙලා තිබෙන්නේ. සියලුම ජාතීන් එකට වැඩකරන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම මේ ආදරණීය මාතෘභූමිය ගොඩනගන අරමුණට යන්න ඕන. ඔබ වෙනුවෙන් කරන්න තිබෙන ඕනෑම දෙයක් කරන්න මම කැපවෙනවා. මම පසුගිය දිනවල යාපනයේ ආවා කෘෂිකර්ම වැඩසටහනකට. ඒ වෙලාවේ ගොවිජනතාව මම හමුවුණා. අර්තාපල් වවන ගොවීන් කිව්වා බීජ ගෙන්වන බදු අඩුකරලා දෙන්න කියලා. මම කොළඹ ගිහින් කැබිනට් මණ්ඩල රැස්වීමේදි කිව්වා මෙහෙම ගැටලුවක් තිබෙනවා ඒ නිසා බීජ අල බදු අඩුකරන්න ඕන කියලා. ඒ අනුව සියයට පනහක් ඉවත් කළා. මම ගිය සතියේ බදුල්ලේ රැස්වීමකට ගියා. එයාලා ඉල්ලීමක් කලා සියයට පනහක් නෙමේ සිීයක් අඩුකරලා දෙන්න කියලා. සෑම ගොවිමහතෙක්ම කිව්වා බදු නිදහස් කළොත් ආර්ථික ලාභයක් මෙන්ම පාරිභෝගිකයාටත් පහසුයි කියලා. ඒ නිසා බීජ අල වල බදු සම්පූර්ණයෙන් ඉවත් කරන්න කටයුතු කරනවා.

ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕන. ඔබගේ කන්කසන්තුරේ ඒ බී 21 පාර, වහලා තිබෙන්නේ 1990 ජූලි මස 20 වනදා ඉඳලා. ඒ පාර අද ඔබට විවෘත කරනවා. ඒ පාර ඇරියාම ඔබලාට ගොඩාක් පහසුයි. කි.මී. 50 ක් විතර ලේසියි. මේ මාගේ කතාව ඉවර වෙන කොට ඒ පාර ඇරලා ඇති. ඒ වගේම විශේෂයෙන්ම අවතැන් වෙලා ඉන්න පවුල්වල ජනතාවට ඉඩම් දීමේ කටයුතු ඉවර කළා. සියයට 75ක ට වැඩිය නිදහස් කරලා තිබෙනවා. ඒ වගේම ඉතිරි ඉඩම් ටිකත් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ කටයුතු ගැන මම හොඳ අවධානයකින් ඉන්නේ. ඔබ දන්නවා වසර ගණනක් තිස්සේ අතුරුදන්වූවන් ගැන නගන හඬ. ඒ අතුරුදන්වූවන්ගේ සංගම්, දෙමාපියන්, ඥාතීන් සමග සාකච්ඡා කළා කිහිප අවස්ථාවකම. එයාලා කිව්වා ඒ අතුරුදන්වූවන් මේ රටේ හංගගෙන ඉන්නවා කියලා. එයාලා කිව්වා හමුදා කඳවුරුවල, පොලිසියේ, කැළෑවල ආණ්ඩුව හංගගෙන ඉන්නවා කියලා. නමුත් මම මේ ගැන හොයලා බැලුවා. මම ඉතාම කාරුණිකව කියනවා අද එහෙම හංගගෙන නැහැ කියලා. ඒ නිසා එයාලගේ පවුල්වලට රජය මගින් සුබසාධන දීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ අතුරුදන්වීම් සිදුවුණේ උතුරේ පමණක් නෙමේ. දකුණේත් මෙවැනි අතුරුදන්වීම් සිදුවුණා. ඒ නිසා රජය විදියට මම කරන්න පුළුවන් සෑම දෙයක්ම සිදුකරන්න කටයුතු කරනවා.

මට කිසිම දෙයක් හංගන්න නැහැ. මම විවෘත කෙනෙක්. ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න මම ලෑස්තියි. මම මේ කාරණාව කිව්වේ මේක ප‍්‍රශ්නයක් බව දන්න නිසා. ඒ නිසා අද මේ අවස්ථාවේදී ඔබ හමුවන්න ලැබීම ගැන සතුටු වෙනවා. මේ රැස්වීමට පැමිණි ඔබ සියලු දෙනාටම ස්තුතිය පළකරනවා. ඒ වගේම අපි බෞද්ධ, හින්දු, ඇතුළු සියලුම ආගමික නායකයින්ටත් සියලු දෙනාටමත් මම ස්තුතිය පළකරනවා. මේ අපේක්ෂක මහත්වරු දිනවන්න කියලා මම ඉල්ලා සිටිනවා. පෙබරවාරි 10 වන දා අත ලකුණට ඡන්දය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ අපේක්ෂකයෝ ඔබලාගේ නියෝජිතයෝ. ඒ අය තමයි මාත් සමග සම්බන්ධ වෙලා වැඩකරන්නේ. ඒ වගේම තව දෙයක් මම කියන්න ඕන ඔබ ඡන්දය දෙන නියෝජිතයින් මගේත් නියෝජිතයින්. එයාලා ඔබලාගේ ගම සංවර්ධනය කරන ජනාධිපතිගේ සේවකයින්. ඒ නිසා අවශ්‍ය සම්පත් සියලු දේ මම දෙනවා. ජනාධිපතිගේ නියෝජිතයෝ පත්කරන්න පුළුවන් මගේ පක්ෂයෙන් පමණයි. ඒ නිසා සංවර්ධන වැඩ කරන්න ජනාධිපතිට තිබෙන හයිය මේ අයට දෙනවා මම. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඒ අපේක්ෂකයින්ගෙනුත් ජනතාවට හොඳට වැඩ කරන්න කියලා. වැරදි කරන්නේ නැතිව හොඳට වැඩකරයි කියලා මම විශ්වාස කරනවා. මැතිවරණයෙන් පසුවත් මම එනවා ඔබ සමග සාකච්ඡා කරන්න, ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව. ඔබ සියලු දෙනාටම ජය වේවා….

ස්තුතියි.

Share This Post

NEW