විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අද ද තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ජනපති පවසයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අද ද  තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ජනපති පවසයි.

වැරදි විදියට නඩු දමන්න උපදෙස් ලබා දුන් පහත් පෙළේ දේශපාලනඥයන් කවුදැයි දිල්රුක්ෂි ඩයස් මහත්මිය රටට හෙළි කළ යුතුයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සමග පැවති හමුව මාධ්‍යයට අනාවරණය නොකළේ එම සභාවේ ඉල්ලීම අනුවයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අද ද තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එය අතපසු කළේ තමා නොව, පාර්ලිමේන්තුව බවත්, එහෙත් මැතිවරණයක් නිවේදනය කර ඇති මේ මොහොතේ ඊට උත්සාහ දැරීම විහිළුවට කරුණක් බවත් කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (21)පස්වරුවේ නාවුල දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වූ හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවත් ය.

එමෙන්ම මේ දිනවල මාධ්‍යවල පළවන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ හඬ පටය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා සිහිපත් කළේ, එතුමිය සිය තනතුර අතහැර ගියේ තම අනුදැනුමකින් තොරව හිටපු ති‍්‍රවිධ හමුදාපතිවරු අධිකරණයට ගෙන ගිය අවස්ථාවේ තමා විසින් සිදුකළ ප‍්‍රකාශයක් හේතුවෙන් බවයි.

උදේ සිට සවස 4.00 වන තුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කර සවස 6.00න් පසු අරලිගයග මන්දිරයේ දූෂණ වංචා ලේකම් කාර්යාලයේ රාජකාරි කළ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් සඳහා පත්කරන ලෙස මෑතක දී ද අග‍්‍රාමාත්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලීමක් කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා, දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ හඬ පටයේ සඳහන් වන අන්දමින් වැරදි විදියට නඩු දමන්න ඇයට උපදෙස් ලබා දුන් එම පහත් පෙළේ දේශපාලනඥයන් කවුදැයි රටට හෙළිකරන ලෙස තමා එතුමියට දන්වන බවත් එය රටට අනාවරණය කිරීම අත්‍යාවශ්‍ය බවත් කියා සිටියේය.

මේ අතර ඊයේ දින තමා සහ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභා නියෝජිතයන් අතර පැවති හමුව මාධ්‍යයට අනාවරණය නොකිරීම තමාගේ ඉල්ලීමට අනුව සිදුවූ බවට කෙරෙන අසත්‍ය ප‍්‍රචාර පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එම සාකච්ඡාව ආරම්භයේ සිට අවසානය දක්වා මාධ්‍යයට විවෘත කිරීමට තමා සියලු කටයුතු සූදානම් කර තිබුණත් එසේ නොකරන ලෙස ඉල්ලා සිටියේ එම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව විසින් ම බවයි.

අදාළ සිදුවීම පිළිබඳ අදහස් සහ යෝජනා ලබාගැනීමට තේරිම් කාරක සභාව තමාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එහිදී තම අභිමතය පරිදි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා දන්වා තිබුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස තමා එම අවස්ථාව ලබාදුන් බව කියා සිටි ජනාධිපතිතුමා සැඟවීමට කිසිවක් තමාට නොමැති අතර අදාළ සිදුවීම පිළිබඳ සියලු සත්‍ය කරුණු තමා එම නියෝජිතයන්ට පැවසූ බව ද සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව සංවිධානය කරන දිස්ත්‍රික් සමුළු මාලාවේ මාතලේ දිස්ත්‍රික් සමුළුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (21) පස්වරුවේ නාවුල දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අලුතින් කෙතරම් දේශපාලන පක්ෂ බිහි වුව ද එම දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ කෙතරම් දුරට ජනතාවාදී ද යන්න ජනතාවගේ අවධානයට ලක්විය යුතු බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවත්, සංඛ්‍යාත්මකව ගණන් හැදීමට වඩා වැදගත් වන්නේ දේශපාලන පක්ෂයක ගුණාත්මකභාවය බවත් පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා පත්කරගත හැක්කේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බලවේගයක් තුළින් පමණක් බවයි.

සියලුදෙනා රැකගනිමින් රට ගැන සිතන ජාතික වැඩපිළිවෙළකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන බවත් එහි ශක්තිය යටපත් කිරීමට කිසිවෙකුට නොහැකි අතර අලුතින් පත්වූ දේශපාලන පක්ෂවලට වඩා ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දූෂණ වංචා, අවස්ථාවාදය සහ පවුල්වාදය පිළිබඳ කිසිදු චෝදනාවක් නොමැති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර මාතලේ දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් වසන්ත පෙරේරා, යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ දිස්ත්‍රික් සමුළුව හෙට ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මාතර දී පැවැත් වේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව ( 2019-09-21)

මා ඉතාමත් සතුටු වෙනවා මාතලේ දිස්ත්‍රික්කයට පැමිණ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන සමුළු මාලාවේ දෙවන සමුළුවට තමුන්නාන්සේලා සමග එක්වීමට ලැබීම පිළිබඳව. අපි පහුගිය සතියේ පළමු දිස්ත්‍රික්ක සමුළුව රත්නපුරයේ පැවැත්වුවා.

මාතලේ දිස්ත්‍රික්කය මේ රටේ කෘෂිකර්මාන්තයේ, ආර්ථික සංවර්ධනයේ ඉතා විශිෂ්ට කේන්ද්‍රස්ථානයක්. අති බහුතරයක් ගොවි ජනතාව ජීවත්වන සරුසාර දිස්ත්‍රික්කයක්. එම පසුබිම සමඟ   අපිට පුළුවන්කම ලැබුණා මාතලේ දිස්ත්‍රික්කය සිසාරා යන, පළාත් ගණනාවක් ආවරණය වන මොරගහකන්ද කළුගඟ ජලාශය ඉදිකරන්න. එය මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවටත්, රටටත් විශාල ජාතික සම්පතක්. මොරගහකන්ද කළුගඟ ජලාශයේ සැබෑ ප‍්‍රතිඵල මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට වගේ ම අනෙකුත් ප‍්‍රදේශවල ජනතාවගේ ඇඟට දැනෙන්න ඇත්ත වශයෙන්ම තව වසර 10ක් විතර ගත වෙනවා. අපි විශාල වාරියෝජනා ක‍්‍රමයක මූලික වැඩ අවසන් කළා. මාතලේ දිස්ත්‍රික්කය හරහා ඇලහැර ඇළ, වයඹ මහ ඇළ ඒවගේම රජරටට යන උතුරුමැද මහ ඇළත් මේවත් එක්ක මාතලේ දිස්ත්‍රික්කයේ තිබෙන ගම්වල විශාල වැව් සිය ගණනක් ප‍්‍රතිසංස්කරණය කරනවා. එවිට තමුන්නාන්සේලට වඩා හොද ආර්ථික පසුබිමක් ගොඩනැගෙනවා.

මොරගහකන්ද ජලාශයට 2007 ජනවාරි 25 මුල් ගල් තියලා 2010 වන විට මේ දිස්ති‍්‍රක්කයේ ඊට සම්බන්ධ වැව් රාශියක් ප‍්‍රතිසංස්කරණය කළා. විශේෂයෙන්ම ලග්ගල, පල්ලේගම ප‍්‍රදේශවල තිබුණ පරණ වැව්. තමුන්නාන්සේලා ජීවිතයේ සැප විඳින කොටසක් නෙවේ, තමුනාන්සේලා ජීවිතයේ දුක් විඳින කොටසක්. තමුන්නාසේලාගේ ආර්ථික පීඩනයන් තුළ දුප්පත්කමත් හොඳට දැනෙන නායකයෙක් විදියට තමුන්නාන්සේලාට තිබෙන ආර්ථික ප‍්‍රශ්නවලදී ඊට පිළියමක් විදියට මේ ජලාශය ඉදිකළේ. ඒ තුළ අනාගතයේ මෙරට වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ ඇතිවන නවෝදය විවිධ බහුකාර්ය තුළින් ඇතිවන නවෝදයේ ප‍්‍රතිඵල දකින්න අඩුම වශයෙන් තව වසර 05ක් 06ක් ගත වෙනවා. ඒ තුළ මේ ප‍්‍රදේශවල ජනතාවගේ අනාගතය සුබවාදී කරන ඉතා වාසනාවන්ත පරිසරයක් ගොඩනැගේවි.

මේ දිස්ති‍්‍රක්කය සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනතාව නියෝජනය කරන දිස්ති‍්‍රක්කයක්. 2015 ජනවාරි 08 මැතිවරණයෙන් මාතලේ දිස්ති‍්‍රක්කය මට ඉතාම විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා දුන්නා. ඒවගේම තමයි අමතක කරන්න එපා 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ දිස්ති‍්‍රක්කය දිනාගත්තේ එක්සත් ජාතික පක්ෂය. අවසාන වරට පැවති ජාතික මැතිවරණ දෙකේදීම ප‍්‍රතිඵලය ඒකයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන. මාතලේ දිස්ති‍්‍රක්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරය අපි කොහොමද ශක්තිමත් කරන්නේ කියන කාරණාව. දේශපාලන පක්ෂ බිහි වෙන්න පුළුවන් ඕන තරම්. නමුත් ඒ දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති, දර්ශනය, වැඩපිළිවෙළ, සැලැස්ම මොනතරම් දුරට ජනතාවාදී ද කියන ප‍්‍රශ්නය සොයා බලන්න ඕන.
එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා මාතලේ දිස්ති‍්‍රක්කයේ බර්නාඩ් අලුවිහාරේ ලේකම්තුමා පත්කරගෙන එදා ඩී.බී. තෙන්නකෝන්ලා එක්ක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා පළවෙනි ආණ්ඩුව හැදුවා. රට සහ ජනතාව වෙනුවෙන් හදපු පක්ෂයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ. අලුතෙන් හැදෙන දේශපාලන පක්ෂ රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් නෙවෙයි තමන්ගේ අරමුණු සඳහා හැදෙන දේශපාලන පක්ෂ. ජාතික දේශපාලන පක්ෂ බිහි වෙන්නේ ඒ ඒ යුගයේ අවශ්‍යතාවය මත . සුද්දන්ගෙන් නිදහස ලැබීමෙන් පසුව එම පාලනයේ තිබූ කිසිවක් වෙනස් නොවූ නිසා බණ්ඩාරනායක මැතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා මේ රටේ මහා සමාජ පෙරළියක් කළා. දුප්පත් මිනිසා උඩට ගන්න කළහැකි සියලු දේ කළා.
මේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළා. මේ රටේ භික්ෂු සමාජය ශක්තිමක් කළා. මේ රටේ දේශීයත්වය, දේශීය සංස්කෘතිය අපේ උරුමය ශක්තිමත් කළා.

බණ්ඩාරනායක මැතිතුමාට පින්සිද්ධ වෙන්න තමයි 1958, 59 වන විට විශ්වවිද්‍යාලයට ගිය ශිෂ්‍යයෙකුට සිංහල භාෂාවෙන් උපාධියක් ගන්න පුළුවන්කම ලැබුණේ. 58 ඉස්සර වෙලා මේ රටේ විශ්වවිද්‍යාලවලින් බිහි වුණේ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් උපාධිය කරපු අය. නමුත් ගමේ ගොඩේ දුප්පත් ජනතාවගේ පවුල්වල දරුවන්ට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සිංහලෙන් උපාධියක් අරගෙන පසුගිය වසර 50ක, 60ක කාලය තුළ එහි ප‍්‍රතිඵල භුක්ති විඳලා ගම්බද දුප්පත් පවුල්වල දරුවන්ට ඒ අධ්‍යාපනයේ වරම් ලබාදුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, බණ්ඩාරනායක මැතිතුමා. බණ්ඩාරනායක මැතිනියගේ වැඩපිළිවෙළ, බණ්ඩාරනායක මැතිතුමාගේ වැඩපිළිවෙළටත් වඩා ප‍්‍රගතිශීලි වුණා. ඒ නිසා ලෝකයේ නායකයන් බණ්ඩාරනායක මැතිනියගේ යුගය තුළ ශ‍්‍රී ලංකාව හඳුන්වන්න පටන් ගත්තා ශ‍්‍රී ලංකාව කොමියුනිස්ට්වාදය කරා යන රටක් විදියට. ඒ තරම් අපේ පක්ෂය ප‍්‍රගතිශීලි වුණා ජනතාවට. ජනසතු ව්‍යාපාර, රක්ෂණ ක‍්‍රම, ගොවි ජනතාවට සහන, කම්කරු පංතියට සේවාවන් ඒ මහා සංවර්ධන පෙරළිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි මේ රටේ සිදු කළේ. පොඩි මිනිහට දැනෙන පොඩි මිනිහා උඩට ගන්න හැම වැඩපිළිවෙළක්ම කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ප‍්‍රතිඵල තමයි අද අනිත් සියලු දෙනා භුක්ති විඳින්නේ.

ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ තමුන්නාන්සේලා හැම කෙනෙක්ම දන්නවා මේ රටේ පොදු මහජනතාව නියෝජනය කරන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ සමගිය සහතික කරන ජාතික සංහිඳියාව ශක්තිමත් කරන ශක්තිමත් දේශපාලන පක්ෂයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු ලේකම්වරුන්ගෙන් මාතලේ බර්නාඞ් අළුවිහාරේ මහතා ලේකම් වන විට මුස්ලිම් ජනතාව සහ දමිළ ජනතාව වෙනුවෙන් එදා ලේකම්වරු දෙදෙනෙක් පත් කර ගත්තා. බණ්ඩාරනායක මැතිතුමා තමයි බලය බෙදීම පිළිබඳ පළමුවෙනි සාකච්ඡාව ආරම්භ කළේ චෙල්වනායගම්ලත් එක්ක. රටේ අනාගතය හොඳට දැක්කා. බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය මත එදා ඒ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කළානම් ප්‍රභාකරන්ලා බිහි වන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ ය බිහි වන්නේ නැහැ. ඒ ම්ලේච්ඡ යුද්ධයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. නමුත් බණ්ඩාරනායක මැතිතුමාගේ ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කළා. එතුමා මරලා දැම්මා. එහි ප‍්‍රතිඵල තමයි පසුකාලීනව නරක විදියට අත්විඳින්න සිද්ධ වුනේ.

තමුන්නාන්සේලා අපි දැන් කොතනද ඉන්නේ දේශපාලන වශයෙන්. 2015 මේ රටේ ජනතාව හැට දෙලක්ෂ පනස්දහසකට අධික ඡන්ද සංඛ්‍යාවක් පාවිච්චි කරලා මාව ජනාධිපති ධූරයට පත් කළේ ඇයි, මාව ජනාධිපති ධූරයට පත් කළේ කන්ඩ නැහැ කියලා නෙවේ, අඳින්න නැහැ කියලා නෙවේ, රක්ෂාවල් ඉල්ලලා නෙවේ, 2015 මැතිවරණ ව්‍යාපාරය තුළ ජනතාව මගෙන් ඉල්ලුවේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතාවගේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් බැහරව යන ගමනක් ගියා එදා ආණ්ඩුව. ඒ නිසා රටේ දූෂණය වගේම භීෂණකාරී පසුබිමක් තිබුණා. ඒ තුළ සිද්ධ වූ දේවල් තමුන්නාන්සේලා දන්නවා.

මම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරලා නිදහස් සමාජයක් ගොඩනැගුවා මේ වසර 05කට ආසන්න කාලය තුළ. ඒක තමයි ජනතාවට අවශ්‍ය වී තිබූ පළමු දේ. බියක් සැකක් නැතිව ජීවත්වීමේ අයිතිය. රට ඉස්සරහට ගෙන යන්නට මම දුන්න මැතිවරණ ප‍්‍රකාශයේ කරුණු යම් ප‍්‍රමාණයකට ඉෂ්ට කිරීමට මට පුළුවන් වුණා වගේම එක්සත් ජාතික පක්ෂය එක්ක ආණ්ඩු කිරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වැරදි දේශපාලන ගමනක යන්න පටන් ගත්තා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හිතුවා මෛතී‍්‍රපාල සිරිසේන කියන්නේ පොළොන්නරුවේ හාදයෙක්. මේ මිනිහා ජනාධිපති කරලා ඒගොල්ලන්නට ඕන විදියට ආණ්ඩු කරන්න පුළුවන් කියලා. අපි 2015 ට පෙර දූෂණය ගැන කථා කළානම් ඊට වඩා දූෂණයක් රනිල් වික‍්‍රමසිංහ සහ ඔහුගේ ගෝල බාලයෝ කළා. එහි ප‍්‍රතිඵලය පෙන්නුවා මහබැංකු මංකොල්ලයෙන්. ඒ වගේම තමයි දේශීයත්වය අගය නොකරන, ජාතිය පාවා දෙන, දේශපේ‍්‍රමි නොවන විදේශ බලවේගවලට අවශ්‍ය විදියට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා රට ගෙනියන්න උත්සාහ කළා.

අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ති‍්‍ර කණ්ඩායමක් ආණුඩවේ හිටියා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු ඇමති මණ්ඩලයේ කොටසක් විදියට හිටපු නිසා තමයි ඒ ශක්තියෙන් මට පුළුවන්කම ලැබුණේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා රට වැරදි පාරකට ගිනියන එක වළක්වගන්න.

2015 ජනවාරි 08ට කලින් මේ රටේ දේශපාලන වේදිකාවේ මාධ්‍යයේ කියවුණේ මොනවාද, විදුලි පුටු, විදේශීය විනිසුරුවරුන් නඩු අහන්න ලංකාවට එන එක. අපේ ති‍්‍රවිධ හමුදාවට දෙන දඬුවම්. මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව. ඒ ශබ්ද, ඒ වචන මගේ කාලය තුළ මම භාවිතයෙන් ඉවත් කරලා ඒ ප‍්‍රශ්නය මම අවසන් කළා. ඒ අවසන් කළා වගේම අපි ආණ්ඩුවක් විදියට වැඩ කිරීමේ දී තමුන්නාන්සේලාට මම කියන්න ඕන මේ ආණ්ඩු කාලය තුළ මීට පෙර සිටි විධායක ජනාධිපතිවරු පස් දෙනා ගත්තොත් ඔවුන් සියලුදෙනාට තිබූ චෝදනා මාලාවක් තිබුණා. ඒ ජනාධිපතිවරු තම තමන්ගේ කාලය තුළ යුද, නාවික, ගුවන් තී‍්‍රවිධ හමුදාව රාජකාරීවලින් බැහැරව වැරදි වැඩවලට පාවිච්චි කිරීම පිළිබඳ චෝදනා තිබුණා. මිනිස් ඝාතන, ගෙවල් ගිනි තැබීම්, මාධ්‍යවේදින්ට හිරිහැර කිරීම නොයෙකුත් දේශපාලන පළිගැනීම්, ජනාධිපති ආරක්ෂක නිලධාරින් පාවිච්චි කරලා කරපු නොයෙකුත් වද හිංසා හිටපු ජනාධිපතිවරු පස් දෙනාටම ඒ චෝදනා තිබුණා. නමුත් මම කියන්න ඕන තමුන්නාන්සේලාට ඒ එකම චෝදනාවක්වත් නැති ජනාධිපතිවරයෙක් මම. දූෂණයට, වංචාවට හොරකමට නාස්තියට විරුද්ධව සටන් කිරීමේ මගේ ප‍්‍රතිපත්තිය මම මේ කාලය තුළ තව තවත් ශක්තිමත් කළා. මේ ආණ්ඩු ව තුළ ඇති වූ ගැටුම ඒකයි.

දැන් තමුන්නාන්සේලා දන්නවා රට වෙනුවෙන් දේශපාලනය කරන අය කවුද, තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය කවුද කියලා. ලංකාවේ තිබෙන සමාජ, ආර්ථික සහ දේශපාලන ප‍්‍රශ්න සමඟ රට ගොඩනැගීමට තිබෙන අසීරුව කුමක් ද, රට ගොඩගැනීමට තිබෙන අසීරුව තමයි දේශපාලයේ ඉහළ ස්ථරවල සිට පහළ ස්ථර දක්වා ගත් විට දේශපාලනයේ ඉන්න අයගෙන් සුළු කොටසක් තමයි රට වෙනුවෙන් දේශපාලනය කරන්නේ. අනිත් අය තමන් වෙනුවෙන් දේශපාලනය කරන්නේ. තමන්ගේ තනතුර, තමන්ගේ ස්ථානය තමන්ගේ වත් පොහොසත්කම් ඒකට තමයි වැඩි පිරීසක් දේශපාලනය කරන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ නිසා තමයි දුගී භාවය. ඒ නිසා තමයි සමාජ ප‍්‍රශ්න, ආර්ථික අර්බුදය. මේ සියල්ල සමඟ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි නිවැරදි දේශපාලන ගමනක් යන්න ඕන.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක්. සංඛ්‍යාත්මක හදන ගණන්වලට වැඩිය වැදගත් වන්නේ ගුණාත්මකභාවය. පහුගිය 2018 රටේ තිබුණා පළාත් පාලන මැතිවරණයක්, ප‍්‍රාදේශීය සභා මැතිවරණයක්. අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කළා. පොහොට්ටුව තරග කළා. එක්සත් ජාතික පක්ෂය තරග කළා. ජනතා විමුක්ති පෙරමුණ තරග කළා. මම රටේ ජනාධිපතිවරයා විදියට ඒ මැතිවරණ ව්‍යාපාරය තුළ ආණ්ඩුවෙන් එළියට බැහැලා ආණ්ඩුවේ දූෂණ වංචා කතා කරන්න වීමේ ප‍්‍රතිඵලය තුළ ඉන් දැනුවත් වූ ජනතාව ඡන්දය පාවිච්චි කළේ පොහොට්ටුවට. පළාත් පාලන ආයතන 330ක් විතර තිබෙනවා මේ රටේ ඒකෙන් 230ක් විතර පොහොට්ටුව ගත්තා. හැබැයි ගිය අවුරුද්දේ පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඡන්දය පාවිච්චි කරන විට අපේක්ෂකයෝ කවුද කියලා බැලුවේ නැහැ.

එදා තිබුණු පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල කවුරුන් හෝ මේ ජනාධිපතිවරණයේ දී ජාතික මැතිවරණයකදී ඒ ප‍්‍රතිපල අරගෙන ඒකේ ශක්තිය පෙන්නුම් කරලා ඒ ප‍්‍රතිඵල තමයි අදත් රටේ තියෙන්නේ කියලා පෙන්නන්න හදනවනම් ඒක ඒගොල්ලෝ කරගෙන තිබෙන වැරුද්දක්. මේ ජනාධිපතිවරණයකදී ප‍්‍රධාන වශයෙන්ම ජනතාව අපේක්ෂකයා දෙස බලනවා අපේක්ෂකයා කවුද කියලා. ප‍්‍රාදේශීය මැතිවරණයේ දී අපේක්ෂකයා කවුද කියලා ජනතාව බැලුවේ නැහැ. ආණ්ඩු විරෝධි ඡන්දයක් දුන්නා. මහබැංකු කොල්ලයට විරුද්ධව මම තමයි ප‍්‍රධාන කථිකයා. ඒ ඡන්ද ටික පොහොට්ටුවට තමයි ගියේ.

අද ජනාධිපතිවරණයකට මුහුණදෙන විට ප‍්‍රධාන වශයෙන් බලන්නේ අපේක්ෂකයා කවුද, අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන සංවිධානයේ වැඩපිළිවෙළ, ප‍්‍රතිපත්තිය කුමක්ද, මේක තමයි ප‍්‍රධාන වශයෙන්ම බලන්නේ. ඒ බැලීමේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනන්‍යතාවය ගෞරවය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. ගමේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. ගමේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ගෞරවය දේශපාලන මතය ඒ ශක්තිය වර්ධනය කර ගැනීම ඉතාමත් වැදගත්. රටේ ඉන්න අපේ 1300කට ආසන්න ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ගෞරවය, අනන්‍යතාවය රැක ගැනීම ඉතාමත් වැදගත්.

2017 පෙබරවාරි මැතිවරණයට අපෙන් තරග කරපු පළාත් පාලන නියෝජිතයන් 8000කට ආසන්න සංඛ්‍යාව අපි ආරක්ෂාකර ගැනීම ඉතාමත් වැදගත්. අපේ ආසන සංවිධායකවරු ඉන්නවා ඒ සියලුදෙනා රැකගෙන රට ගැන හිතන වැඩපිළිවෙළකටයි අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට යන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වළ දාන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පෙට්ටියකට දාලා ඇණ ගහන්න ලැබෙන්නෙත් නැහැ. හදිසියේ බිහි වු පක්ෂවලට වැඩිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය තුළ අනාගතයක් තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය මේ රටේ අනාගතයයි. අද දේශපාලන පක්ෂවල දූෂණ වංචා, අවස්ථාවාදය, පවුල්වාදය මේ සියල්ල ගත්තහම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ කිසිදු චෝදනාවක් නැහැ. ඒ නිසයි අපි කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය, දේශපාලන ප‍්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ තුළ ආණ්ඩුවක් හැදිය යුතුයි. ඒ නිසා තමුන්නාන්සේලාට බොහොම පැහැදිලිව කියන්න ඕන ලබන ජනාධිපතිවරණයේ දී කවුරු ජනාධිපති වුණත් ඒ ජනාධිපතිවරයා පත් කරගත හැක්කේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලවේගය තුළින් පමණයි කියන එක.

දේශපාලනයේ තිබෙන කුහකකම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය අමතක කරලා ප‍්‍රධාන වශයෙන් රට ගැන හිතන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යන්න ඕන. අපි මේ ගෙනියන වැඩපිළිවෙළ රට පුරා ශක්තිමත් කරලා තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් බලවේගයක් බවට වේගයෙන් පත්වෙමින් යනවා. ඒ නිසා තමුන්නාන්සේලාට අපිට ඒ ශක්තිමත්, ප‍්‍රගතිශීලී වාම දේශපාලනය ව්‍යාපාරය මිනිසුන්ට ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනගන්න ඕන. දේශපාලන නායකයෝ මිනිසුන්ට ආදරය කරන්න ඕන. ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගැනීමේ හැකියාව දේශපාලන නායකයන්ට තියෙන්න ඕන. අද බොහෝ දේශපාලනය කරන අය වේදිකාවට විතරයි. ප‍්‍රායෝගික කි‍්‍රයාකාරිත්වයේ නැහැ. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සැබෑ මානවවාදී ප‍්‍රගතිශීලි දේශපේ‍්‍රමී දේශපාලන පක්ෂයක්.

මේ අතර වාරයේ තමුන්නාන්සේලාට මම කියන්න ඕන, මේ ඊයේ පෙරේදා මාධ්‍ය තුළ පළවූ කරුණු කිහිපයක් පිළිබඳ, මේවා ගැන ජනතාව අතර සාකච්ඡා, සංවාද යනවා. අපේ‍්‍රල් 21 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අසරණ ජීවිත ගණනාවක් විනාශ වුණා වගේම ආර්ථිකයට බරපතළ හානි සිදුකළා. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 07 දෙනෙක් නියෝජනය කරන නඩු 05ක් යනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ කරනවා. මම පත්කරපු කොමිෂන් සභාව පරික්ෂණ කරලා ඒ වාර්තා ලැබිලා තිබෙනවා. ඒ අතරට පාර්ලිමේන්තුව තේරිම්කාරක සභාවක් පත්කරලා තිබෙනවා ඒ පිළිබඳ පරික්ෂණ කරලා වාර්තා කරන්න.

තමුන්නාන්සේලා මාධ්‍ය තුළ දැක්කා මැති ඇමතිවරු නිලධාරින් ආරක්ෂක අංශ, බුද්ධි අංශ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට ගිහිල්ලා ඒගොල්ලෝ පෙනී සිටියා. අවසානයේ තේරීම්කාරක සභාව තීරණය කළා ජනාධිපතිවරයා හමු වන්න. මට තේරීම්කාරක සභාවෙන් ලිපියක් ආවා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිතුමාගේ යෝජනා සහ අදහස් ලබා ගැනීමට මාව හමුවිට කැමති කියලා. මම මේ පිළිබඳව නීතිපතිතුමාගේ උපදෙස් ගත්තා. නීතිපතිතුමා මට කිව්වා ජනාධිපතිතුමා කැමතිනම් මේ තේරීම්කාරක සභාවට කරුණු දෙන්න පුළුවන්. කැමති නැත්නම් නොදී ඉන්න පුළුවන් දේශපාලන වශයෙන් කිසි ප‍්‍රශ්නයක් නැහැ කියලා.

මම තීන්දු කළා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන කෙනෙක් විදියට තේරීම් කාරක සභාවට එන්න කියලා මගේ කාර්යාලයේ දී මගේ අදහස් සහ යෝජනා ලබාදිය යුතුයි කියලා.

ඊයේ උදේ 10.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට තේරීම්කාරක සභාවේ ඉන්න සියලුදෙනා පැමිණියා. පටන් ගන්නකොටම මම සූදානම් කරලා තිබුණා රටේ ජනතාවට දැකගන්න තේරීම්කාරක සභාවට මම කරන ප‍්‍රකාශය. නමුත් තේරීම් කාරක සභාවේ සියලුදෙනා එක හඬින් කිව්වා මාධ්‍යයට දෙන්න බැහැ මේ කැමරා අවශ්‍ය නැහැ මෙතනට කියලා. මම කිව්වා මීට කලින් තේරීම්කාරක සභාවට ගිය ඔක්කොගේම වටේ කැමරා දාලා රටේ මිනිසුන්ට බලන්න දුන්නනේ, ඇයි මගේ එක දෙන්නේ නැත්තේ කියලා. එහිදී ඒගොල්ලෝ ඉල්ලීමක් කළා මාධ්‍යයෙන් තොරව මගේ ප‍්‍රකාශය ඒ අයට ගන්න අවශ්‍යයි කියලා. පටන් ගත්ත ගමන් අර්බුදයක් ඕන නැති නිසා මම ඒකට කැමති වුණා. විශේෂයෙන්ම අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ තේරිම්කාරක සභාවට ඉතා සත්‍ය නිවැරදි කරුණු සහ මගේ අදහස් සහ යෝජනා මම ලබා දුන්නා. මේ පිළිබඳ නොයෙකුත් වැරදි මත සමාජය තුළ පැතිර යනවා තේරීම්කාරක සභාව සහ මා අතරේ තිබුණ සාකච්ඡාව මාධ්‍යයට පෙන්වන එක එපා කියලා මම ඉල්ලීමක් කළා කියලා තමයි බොහෝ තැන යන්නේ. ඒක සම්පූර්ණ වැරදියි. තේරීම් කාරක සභාවයි කිව්වේ මාධ්‍යයට දෙන්න ඕන නැ මේ සාකච්ඡාව කියලා.

ඊළඟට මේ දවස්වල, යන කතාවක් .මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව හදිසියේ කැබිනට් මණ්ඩල රැස්වීමක් තිබුණා ගිය බ‍්‍රහස්පතින්දා. සෙනසුරාදා පත්තරවලත් මුල් පිටුවේ තියෙනවා, රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා කියලා විශේෂ ඇමති මණ්ඩල රැස්වීම කැඳෙව්වේ ජනාධිපතිතුමාගේ වුවමනාවට කියලා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මේ කතාව කියන්නේ කලිසමක් කමිසයක් ඇඳල ද කියලා මට අහන්න වෙනවා. මට බ‍්‍රහස්පතින්දා උදේ කතා කළා. අපේ විදුලිබල ඇමතිතුමා. රවී කරුණානායක ඇමතිතුමා. උදේ 6 ට කතා කරලා මගෙන් ඇහැව්වා, සර් මේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවගන්න අපිට ඕන, අගමැතිතුමයි අපි ඔක්කොම සාකච්ඡා කළා අගමැතිතුමා කීවා, ජනාධිපතිතුමාට කියන්න කියලා, ඒක නිසා අද කොහොම හරි කැඳවලා දෙන්න පුළුවන්ද. කියලා. මම කිව්වා රවී ඔයා කීවට හරි යන්නේ නැ. අගමැති මගෙන් ඉල්ලීම කරන්න ඕන කියලා එතනින් ටෙලිෆෝන් එක තිබ්බා. විනාඩි 10 ක් 15 ක් ගිහිල්ලා රවී කරුණානායක දෙවෙනි සැරේටත් ගත්තා. අරගෙන කිව්වා සර් අගමැතිතුමායි ඔක්කොම කියනවා සර්ට කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා. එහෙනම් අගමැතිතුමාට කියන්න මට කතා කරන්න කියලා මම කිව්වා. එහෙන් නෑ උත්තරයක්. මමම අගමැතිතුමාට කෝල් එකක් ගත්තා.

අරගෙන කිව්වා රවී කරුණානායක කියනවා අගමැතිතුමා කියනවා කියලා කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා හදිසියේම අද. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට් එකේ සම්මත කරන්න. එහෙම අවශ්‍යතාවයක් තියෙනවද, ඕනද කැබිනට් රැස්වීමක් කැඳවන්න. එතකොට අගමැතිතුමා මට කිව්වා. ඔව් ඔව් අපි සාකච්ඡා කළා, ටී. එන් ඒ. ,ජේ. වී පී., අපේ පක්ෂ ඔක්කොම කැමතියි. දැනුත් කාලය ඇති. ජනාධිපතිතුමා අද හවස 2 යි 4 යි අතරේ අපිට කැඳවලා දෙන්න කියලා කිව්වා. මම වෙලාව දැම්මා 3 ට.

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම තිබ්බා. හැබැයි දවල් 12 විතර වෙනකොට රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාගෙන්. කැබිනට් සංදේශය කැබිනට් ලේකම්ට ගියා, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අත්සන් කරපු විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් එකට ඉදිරිපත් කරන එක. කැබිනට් ලේකම් මට කතා කරලා කිව්වා අගමැතිතුමාගෙන් ඇවිල්ලා තියෙනවා කැබිනට් පත‍්‍රිකාවක්. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන්. සිංහල ඉංග‍්‍රීසි 2ක් තියෙනවා. සිංහල එකේ අත්සන් කරලා නැ. ඉංග‍්‍රීසි එකේ අත්සන් කරලා තියනවා කියලා. මම කිව්වා එහෙනම් ඕක ඇති දාන්න කියලා. 3ට වාඩි වුණා කැබිනට් මණ්ඩලය. වාඩිවෙන කොටම අගමැතිතුමා කැබිනට් ලේකම් ළඟට ගිහිල්ලා මට ඇහෙනවා කියනවා, අර මම එවපු කැබිනට් පති‍්‍රකාව දාන්න එපා මෙතනට ඒක තියාගන්න කියලා කිව්වා. මම ඇහුනේ නෑ වගේ හිටියා.
කැබිනට් රැස්වීම පටන් ගත්තා, මගෙන් විශේෂ ඉල්ලීමක් කලා කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා. දැන් ඉතින් කැඳෙව්වා. මොකක්ද කාරණය. ඔබතුමාලා කියන්න. එතකොට අගමැතිතුමා පටන් ගත්තා. මේ විධාායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඕන. මේක ජනාධිපතිතුමාත් දුන්නු පොරෝන්දුවක්. මම කිව්වා මගේ ප‍්‍රශ්නයක් නෑ. මම හැමදාම කියන්නේ අහෝසි කරන්න ඕන කියලා. තමුන්නාසේලාගේ පාර්ලිමේන්තුවනේ කළේ නැත්තේ. ඒ නිසා තමුන්නාන්සේලාට ඕන දෙයක් කරන්න කියලා.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයට ඒ ටික විතරයි කියන්න ලැබුණේ. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු,අනෙක් සුළු පක්ෂවල, එතන ඇවිත් හිටපු ඇමතිවරු මනෝ ගනේෂන්,රවුෆ් හකීම්. දිගම්බරම්, තලතා අතුකෝරළ, මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, චම්පික රණවක, හරින් ප‍්‍රනාන්දු, ඔක්කොම නැගිට නැගිට අගමැතිතුමාගේ යෝජනාවට විරුද්ධව කතා කළා. දැන් ලොකු යුද්ධයක් කැබිනට් මණ්ඩලයේ. මම කිව්වා, මට මේවා බේරන්න බැ. කැඳවන්න කීව නිසා කැබිනට් මණ්ඩලය කැඳෙව්වේ. ඒ නිසා මේවා ඔයගොල්ලන්ගේ පක්ෂය තීන්දු කරන්න. එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, තමුන්නාන්සේලාගේ විධායක සභාව, ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම. දැන් මා හමුවන්න කලින් පූර්ව කැබිනට් මීටින් තියලා තියෙනවා. කරුණාකරලා යන්න. මෙහෙ ගහගන්න බැ. ඔයාලගෙ උවමනාවට කැඳෙව්වේ. ජයවේවා යන්න පුළුවන්. කියලා මම කැබිනට් රැස්වීම නැවත්තුවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අද කියනවා පත්තරවල ජනාධිපතිතුමාගේ වුවමනාවට තමයි කැඳෙව්වේ කියලා. වෙන්න තියෙන ඒවා ඔක්කොම කරගෙන වැඩේ බකල් වෙලා, හොඳටම නාගෙන. මේක දැන් මගේ ඇඟේ ගහන්න හදනවා.

මම ප‍්‍රතිපත්තියක් විදියට කවදත් කිව්වා ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා. ඒක කළේ නැත්තේ පාර්ලිමේන්තුව. ඊයේ පෙරේදා මේක ගෙනල්ලා, ඡන්දයක් නිවේදනය කළාට පස්සේ ඒක කරන්න හදන එක විහිළුවක්. කැබිනට් මණ්ඩලයේ සම්මත වුණානම් පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී වරුන්ගෙන් තුනෙන් දෙකක් ඡන්දවලින් ඡන්ද 151 ලැබෙන්න ඕන. ඊට පස්සේ මම ජනමත විචාරයක් කැඳවන්න ඕන. ඒක කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. ඊට පස්සේ සම්මත වෙලා දවස් 21 ඇතුළත ජනමත විචාරණය තියන්න ඕන. ලියා පදිංචි ඡන්ද දායකයින්ගෙන් තුනෙන් දෙකක් ඡන්දය පාවිච්චි කරන්න ඕන. ජනමත චිචාරණ යෝජනාවට පක්ෂව. පාවිච්චි කරන ඡන්දවලින් සියයට 51 තියෙන්න ඕන යෝජනාවට පක්ෂව. මම දන්න විදියට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන එක ජනමත චිවාරණයෙනුත් කරන එක කොතෙක් දුරට සාර්ථක වෙයිද කියලා මට ඒක කියන්න පුළුවන්මක් නෑ. එදා තිබුණු ප‍්‍රතිපත්තිය මගේ අදත් තියෙනවා. හැබැයි ඒක කළ යුතු කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. මේ තත්ත්වය පැහැදිලි කළේ වැරදි ප‍්‍රචාරයන් යන නිසා.

මේ දවස්වල අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ නෝනගේ හඬ පටයක් යනවා හැමතැනම. තමුන්නාන්සෙලාට මතකද මම දන්නේ නැහැ අපේ ත‍්‍රිවිධ හමුදාපතිවරු උසාවියට ගෙනිච්ච වෙලාවේ, ආරක්ෂක ඇමති විදියට මගේ අනුදැනුමකින් තොරව මම කරපු කතාවකින් තමයි දිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂ ජනරාල් ධුරය දාලා ඉල්ලා අස්වෙලා යන්න ගියේ. රනිල් වික‍්‍රමසිංහ මහත්මයම මට කිව්වා ඒ දවස්වල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 72 ට දූෂණ හා වංචා ලේකම් කාර්යාලයෙන් ලිපි ගොනු හදලා තියෙනවා නඩු දාන්න කියලා. මම කිව්වා ඇයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් ඇයි එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර වරයෙකුටවත් නඩුවක් නෑ. ඒ නිසා තමා මම කිව්වේ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මෙයා කරන්නේ වැරදි වැඩක් කියලා. එයා තනතුරු දාලා යන්න ගියා. මාස තුන, හතරකට කලින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මට ලියුමක් එවනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් සඳහා දිල්රුක්ෂි ඩයස් මහත්මිය පත් කරන්න කියලා. මේ දවස්වල යන හඬ පටයේ තියෙන ඒවා තමුන්නාන්සේලා අහන්න ඇති. එයා කියන්නේ මොනවද කියලා. ඒවායින් පැහැදිලියි එයා ඒ තනතුරට සුදුසු කෙනෙක් නොවන බව.

ඒ වගේම තමයි ඒ දාපු නඩු තනිකරම දේශපාලන පලිගැනීම් නඩු. උදේ ඉඳලා හවස 4 වෙනකම් අල්ලස් හෝ දූෂණ කොමිසමේ රාජකාරී කරන දිල්රුක්ෂි ඩයස් මහත්මිය සවස 6 පසු අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ රාජකාරි කරනවා. එහෙම තමා වැඩ කෙරුවේ. ඒවා දැනගෙන තමයි මම කිව්වේ මෙයා මේකට සුදුසු නෑ කියලා. එතකොට පේනවා මේ වැදගත් තනතුරුවල ඉන්න අය, මොනතරම් වැරදි විදියට කටයුතු කරලා තිබෙනවා ද කියන කාරණය. හැබැයි ප‍්‍රශ්නය ඒක නෙවේ. මේ හඬ පටයේ දිල්රුක්ෂි වික‍්‍රමසිංහ නෝනා කියනවා මේ ජරා දේශපාලනය නිසා තමයි මට මේ තීන්දු තීරණ අරගෙන නඩු පවරන්න වුණේ මම නම් කැමති නැහැ නඩු පවරන්න, නීතිය නමන්නත් පුළුවන් ඒ වගේ කතා ගොඩක් කියනවා. දැන් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක් විදියට ඉන්නවා. අතිරේක සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මියට මම කියනවා ඔය හඬපටයේ කියන මේ ජරා දේශපාලනඥයෝ තමයි මට බල කරන්නේ, උපදෙස් දෙන්නේ කියන කතාවේ දී කරුණාකරලා වික‍්‍රමසිංහ මැතිනිය රටට කියන්න වැරදි විදියට නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න ඒ ජරා විදියට ඔබට උපදෙස් දුන්න දේශපාලනඥයන් කවුද කියලා පුළුවන්නම් කියන්න කියලා මම වික‍්‍රමසිංහ මහත්මියට කියනවා. ඒක රටට ඉතාමත් වැදගත්. රටක තිබිය යුතු දේශපාලන සදාචාරය, විනය, හික්මීම නීතියේ ආධිපත්‍ය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතාවගේ නිදහස මේ සියල්ල ගත්තහම රට එක මගක යන්න ඕන. පසුගිය අවරුදු 04 මහ බැංකු මංකොල්ලයේ ඉඳලා දිල්රුක්ෂි ඩයස් මැතිනියගේ කතාවේ පසුබිම ගත්තහම මොනතරම් වැරදි විදියට දේශපාලන බලය පාවිච්චි කරලා වැරදි දේවල් මේ රටේ කරලා තියනවා ද කියලා බොහොම පැහැදිලිව පෙනී යනවා.

ඒ නිසා අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට, පිවිතුරු දේශපාලන පක්ෂයක් විදියට, මිනිසුන්ට ආදරය කරන දේශපාලන පක්ෂයක් විදියට බණ්ඩාරනායක මැතිතුමාගේ ලෙයින්, බණ්ඩාරනායක මැතිනියගේ කඳුළින් පෝෂණය වූ දේශපාලන පක්ෂයක් විදියට පැහැදිලි පවිත‍්‍ර දේශපාලන ව්‍යාපාරකයකට එක් වෙමු.

 

Share This Post

NEW